1980 මහා වැඩවර්ජනයේ අත්දැකීම් – දෙවන කොටස “(1980) මාර්තු කම්කරු නියෝජන සමුළුව”

ජූනි 5 කෑම පැයේ පිකට් ව්‍යාපාරය අතරතුර පොලිස් කැරළි මර්ධන ඒකකය (සේයා - අන්තර්ජාලයෙන්)

සටහන – 1980 මහා වැඩවර්ජනයේ අත්දැකීම් පිලිබඳ මෙම ලිපි මාලවේ දෙවන කොටසෙන් වික්‍රමබාහු කරුණාරත්න සහෝදරයා සාකච්ඡා කරන්නේ ඓයින්ද්‍රීය පංති අරගලය විප්ලවකාරී මාවයත් ගැනීමේ විභවය ගැනයි. ඕනෑම මහා වැඩවර්ජනයක් එය ඇති වීමේ හේතු-සාධක තුළම දේශපාලන වැඩ වර්ජනයක ස්වාභාවය ගනු ලබන බව ඉතිහාසය අපට උගන්වයි. නමුත් වික්‍රමබාහු සහෝදරයා මේ සාකච්ඡාව ඉදිරිපත් කරන්නේ එවන් වූ වියුක්ත න්‍යායක් තහවුරු කිරීමේ විලාශයෙන් නම් නොවේ. ඒ වෙනුවට 1980 මහා වැඩවර්ජනය සංයුක්ත අරගලයක් ලෙස ගෙන ඒ තුළ මතුවුනා වූ දේශපාලන අභියෝගයන් සංයුක්ත ලෙස ඉදිරිපත් කිරීමේ ආකාරයෙනි.
 
එදා ධනපති පාලකයන් විසින් මේ මහා සටන දේශපාලන අරගලයක් ලෙස ගෙන එයට මුහුණ දුන් ආකාරයත්, ඒ දේශපාලන අභියෝගය ඉදිරියේ සුළු ධනේශ්වර රැඩිකල්වාදයත්, අවස්ථාවාදී කම්කරු පක්ෂ හා වෘත්තීය සමිති නායකයන් මේ දේශපාලන අරගලය මඟහැරීමට ගත් වැර වෑයම් නිසා සටන වර්ධනය වී ඉදිරියට යෑම ඇනහිටි ආකාරයත් පිළිබදව සවිස්තරාත්මකව පැහැදිලි කිරීමක් මේ දෙවන කොටසේ එයි. එසේ වෘත්තීය අරගලයේ සීමාවන් තුළ සිටිමින් කළ හැක්කේ ජයග්‍රහණයක් අත් කර ගැනීමේ ප්‍රීතිය භුක්ති විදින්නන් බවට පත් වීම නොව; පාවාදෙන්නන් බවට පත් වීමේ අවමානයත්, සංවිධාන ශක්තින් බිද වැටීමේ ශෝකාලාපයත් බව අපට කියා දෙයි. ලිපි පෙලේ පළමු ලිපිය – අසූවේ අරගලයේ අත්දැකීම්

මාර්තු සමුළුව පංතියේ සැබෑ නියෝජිත සමුළුවක් නොවී ය. එසේ වී මුත්, එය එවැන්නක් කිරීමට රජයේ ලිපිකරු සේවා සංගමය, එක්සත් කම්කරු සම්මේලනය වැනි සම්මේලන ගෙන ගියා වූ අරගලය නිසා වෘත්තීය සමිති එක්සත් ක්‍රියාකාරී කමිටුව තුළට වැද්ද නොගන්නා ලද ලොකු කුඩා සැම සමිතියකටම මේ සමුළුවට නියෝජිතයන් එවීමේ හැකියාව ඇතිවිනි. විශේෂයෙන් වතුකරයේ අසීස්ගේ ප්‍රජාතන්ත්‍රවාදී කම්කරු කොන්ග්‍රසය ඇතුළු සංවිධාන ගණනාවකින් නියෝජිතයන් පැමිණි අතර, ද්‍රවිඩ විමුක්ති පෙරමුණට සම්බන්ධ සමිති වලින් ද නියෝජිතයින් පැමිණ සිටියහ. සමුළුව කැදවනු ලැබුයේ වෘත්තීය සමිති එක්සත් ක්‍රියාකාරී කමිටුවේ තීන්දු කරනු ලැබූ ඉල්ලීම් 23 ක් සාකච්ඡා කිරීමට හා ඒවා දිනා ගැනීමේ ඉදිරි වැඩපිළිවල සාකච්ඡා කර ගැනීමටයි. මෙම ඉල්ලීම් 23 ඇත්ත වශයෙන් පංතිය ඉදිරියේ තිබුන ප්‍රශ්න ගණනාවක් නිසා මතුවූ ඒවා විය. අප විසින් පෙන්වා දුන් ආකාරයට පංතිය ඉදිරියේ ඇති ප්‍රශ්න පස් ආකාරයකින් මතුවී එන්නේ ය. ඒවා හුදු ආර්ථික ඉල්ලීම් නොව පංතියේ හා ජනතාවගේ සමස්ත ප්‍රශ්නයන්ගෙන් මතුවී එන ඉල්ලීම් ය. එම ඉල්ලීම් වල වැදගත්කම එම ඉල්ලීම් වල පදනම අලලා විස්තර කරදීමට රජයේ ලිපිකරු සේවා සංගමය හා එක්සත් කම්කරු සම්මේලනය ඉදිරිපත් වූ අතර ඒ වෙනුවෙන් පොතක් පල කරමින් සම්මන්ත්‍රණ මාලාවක් පවත්වන ලදී.

නියෝජිත සම්මේලනය ඉල්ලීම් මත පැවැත්වෙන අතර, ඒවා උදෙසා සටන් ක්‍රියාමාර්ගයන් තීන්දු කළ යුතු බවද එම සම්මන්ත්‍රණ වලදී පෙන්වා දෙන ලදී.

ඉල්ලීම් මාලාව එවැනි මූලික විග්‍රහයකට ලක් කිරීමට අවස්ථාවාදී නායකයින් විරුද්ධ වූවා පමණක් නොව වතුකරයේ කම්කරුවන්ට බලපාන ප්‍රධාන ප්‍රශ්නය වන්නාවූ පුරවැසි ප්‍රශ්නය අලලා කළ යුතු ඉල්ලීම වූ, සියළු වතු කම්කරුවන්ට පුරවැසි අයිතිය දියව්! යන ඉල්ලීම ඉදිරිපත් කිරීමට ඔවුහු තරයේ විරුද්ධ වූහ. තොන්ඩමන් මඟින් ආණ්ඩුවට බැඳ තබා ඇති දෙමළ වතු කම්කරුවන් ආණ්ඩුවට විරුද්ධව යොදවා ගන්නට හා අනෙක් කම්කරුවන් සමඟ එකට ගොනුකර ගැන්ම උදෙසා තිබූ එකම මාවත මෙසේ මේ නායකයින් විසින් වසා දමනු ලැබීය. ඇත්තවශයෙන් මෙහි ඵලවිපාක මහා වැඩ වර්ජනය තුළදී දක්නට ලැබුනේ වතු අංශය ඇතුලත වැඩ වර්ජනයට ආධාර ලබා ගැනීමට මතුවූ බාධක ඇතුළතය. විශේෂයෙන් කොමියුනිස්ට් පක්ෂයට සම්බන්ධ කම්කරු නායකයින්ගේ වංචාකාරී ප්‍රතිපත්තිය මෙහි දී එලිදරව් කළ යුතු වන්නේ ය. ඔවුන් මෙම ඉල්ලීම් වෙනුවෙන් පෙනී සිටින බව පෙන්වමින් අනෙක් අතට ජාතිවාදීන්ට ඉඩ දෙමින් කට්ටි පැනීමට ක්‍රියා කළහ. ඇත්ත වශයෙන් ක්‍රියාකාරී කමිටුවේ වැඩි බලය අයත්ව තිබුනේත් කොමියුනිස්ට් පක්ෂයටයි. එනිසා ම ඔවුන් අප සමග මේ ප්‍රශ්න වෙනුවෙන් දැඩි ලෙස ඉදිරිපත් වූවා නම් නියත වශයෙන් ම අනෙක් කොටස් පරාජය කර දමන්නට තිබුණි. එහෙත් කොමියුනිස්ට් පක්ෂය ක්‍රියා කළේ ජාතිවාදීන් හා පංතියේ ප්‍රජාතන්ත්‍රවාදයට විරුද්ධ කොටස් වලට මුවා වී ප්‍රශ්න මඟහැර සිටීමට ය. පුරවැසි ඉල්ලීම් ප්‍රශ්නය පමණක් නොව නියෝජිත සමුළුවේ මතුවූ සෑම ප්‍රශ්නයකදී ම මතු වූයේ එම ස්ථාවරයයි. කොමියුනිස්ට් පක්ෂය පංතියේ ප්‍රධාන පක්ෂය ලෙසට ක්‍රියාත්මක වූයේ පංතියේ සැබෑ එක්සත් කමටත් සටන් ක්‍රියාමාර්ගයටත් විරුද්ධවය. ඔවුන් කටින් මොන දේ කීවත් වැඩේදී පැරණි සම සමාජය, බාලා තම්පෝ, ශ්‍රීලනිප ආදී සමිති නායකයින් දැමූ සෑම ප්‍රතිගාමී මතයක්ම ආරක්ෂා කරන්නන් බවට පත් වූහ.

සභාග දේශපාලනය නිසා ව්‍යාකූල වූ පංතිය ඇතුළත දේශපාලන පිල් බෙදීම තදින් පැවතුනි. ඇත්ත වශයෙන් එක්සත් ජාතික පක්ෂයට කම්කරු පංතිය තුළ පසුගාමී තීරු නතුකර ගැන්මට ඉඩ ලැබුණේ මෙම කාල පරිච්ජේදය තුළ දී ය. විශේෂයෙන්ම සංස්ථා ක්ෂේත්‍රය තුළ මෙම දියවීම බලගතු විය. සභාගවාදී පිරිහීම බලගතුවම මතු වූයේ ලංගමය තුළ ය. ලංගමය තුළ ජාතික සේවක සංගමය ඇත්තටම කම්කරුවන්ගේ සංවිධානයක ස්වරූපය ගත්තේ ය. දුම්රිය වැඩ වර්ජනය සමඟ ලබාගත් පුනර්ජීවය නොතිබෙන්නට සමිති ව්‍යාපාරය ඇතුළත බෙදීම වඩාත් බරපතල වන්නට තිබුණි. හිරිවැටී තිබූ සමිති ව්‍යාපාර, 1976 මහා වැඩවර්ජන අරගලය නිසා පිබිදී ආ නිසාම ජාතික සේවක සංගමය අභිබවා විවිධ ක්ෂේත්‍රවල වමේ සමිති ව්‍යාපාරය යලි පැන නැගී ආවේ ය. මෙහි දී නව සම සමාජවාදීන් ඇති කර ගත්තා වූ බලපෑම වැදගත් විය. එසේම එම දේශපාලනය නොතිබෙන්නට පළපුරුදු පංති නායකයින් පරපුරටම වැඩබිම් වල තම ආධිපත්‍යය අහිමි වනු නොඅනුමාන ය.

සමිති ව්‍යාපාරයේ පසුගාමීත්වය බලගතු වූ විශාලම ක්ෂේත්‍රය වූයේ වතුකරයයි. වතු කම්කරුවෝ 1948 සිටම වමේ වෘත්තීය සමිති ව්‍යාපාරය විසින් අඩමාන ලෙස සලකන්නට වූ ක්ෂේත්‍රයක් විය. විශ්ෂයෙන්ම ඔවුන්ගේ පුරවැසි අයිතිය පිළිබදව සිදුවූවා වූ අසාධාරණ හා අකටයුතුකම් මධ්‍යයේ වමේ සමිති පැහැදිලි ස්ථාවරයක් නොගැනීම නිසා ඔවුන් තොණ්ඩමාන්ගේ නායකත්වය දෙසට යොමු වී සිටියහ. මෙම තත්ත්වය වඩාත් නරක අතට හැරෙන්නට පටන් ගත්තේ ඉඩම් ප්‍රතිසංස්කරණය (1972) ඇතුළත දී ශ‍්‍රීලනිපය තුළ සිටියා වූ ජාතිවාදී කොටස් දෙමළ ජනයා වතු වලින් එළවා දැමීම දිසාවට පියවර ගනු ලැබීම ය. මෙම තත්ත්වයට මුහුණ දීම උදෙසා වමේ කිසිදු සමිති ව්‍යාපාරයක් ඉදිරිපත් වූයේ නැත. තොණ්ඩමන් ඇතුළු ජාතිවාදී ප්‍රතිගාමී නායකයින් ගත් ස්ථාවරය වූයේ මුළු ඉඩම් පෙරලියටම විරුද්ධවීම හා පෞද්ගලික අයිතිය වෙනුවෙන් ක්‍රියා කිරීමයි. මේ නිසාම මෙම වෘත්තීය සමිති නාකයින්ට ඉඩම් ප්‍රතිසංස්කරණය වෙනුවෙන් පිබිදී ආ ගැමි ජනතාවට ආමන්ත්‍රණය කරන්නට හැකියාවක් නොතිබුණි. අනෙක් අතට වමේ සමිති නායකයින් මෙම වැඩ කරන ජනතාවට ඉදිරියට ආවේ නැත. මේ තතු යටතේ, ඒ දිනවල දී වාම සම සමාජය හැටියට මෙම ප්‍රශ්නය වෙනුවෙන් සකස් කළ ඉදිරි දර්ශනයක් ලංකා වතු කම්කරු සමිති නියෝජිතයින් පිරිසක් විසින් ඉදිරිපත් කරන ලද්දේ ය. ඒ අතර ලංකා වතු සේවා සංගමය ද එම වැඩ පිළිවෙල ඉදිරියට ගෙන යාමට පියවර ගත්තේ ය. එය එදා වතු කරයේ ඇති වූ වැදගත්ම සාකච්ඡාව දියත් කළේ ය.

ඉහත කී බලපෑම් අප ඇති කළා වී නමුත් වතු කම්කරුවන් තුළ ඇති වූ ව්‍යාකූලත්වය මැඩ පැවැත්විය නොහැකි විය. තොන්ඩමන් එකම ගැලවුම්කරුවා ලෙසට ඔවුන් සලකන්නට වූවා පමණක් නොව ජාතික සේවක සංගමයේ වතුකරයේ අංශයක් ද වර්ධනය වන්නට විය. වතු කම්කරුවන් අතර එසේ කෙලින්ම යූඇන්පීයට සම්බන්ධ වෘත්තීය සමිතියට රොක්වීමට පවා නැම්මක් ඇති වීම ඉතිහාසයේ විශාලම සරදම විය. දෙමළ වතු කම්කරුවන් වහලුන් ලෙසට සැලකීමට සියළු පියවරයන් ගත්තාවූ ද ඔවුන්ගේ පුරවැසි අයිතිය උදුරා ගත්තා වූ ද යූඇන්පී ය ඔවුන්ගේ විමුක්ති ව්‍යාපාරය ලෙසට සැලකීම එම සරදමයි. කෙසේ වුවද අප වටහා ගත යුතුවූ ප්‍රධාන කාරණය නම් පසුගාමී පංති කොට්ඨාශ ඇතුළත යූඇන්පී ය හා ප්‍රතිගාමී නායකත්වයන් ද බලපෑමක් ඇති කරගත් බවයි.

පැරණි සම සමාජ ව්‍යාපාරය ඇතුළත ගෙන ගියාවූ අරගලය තුළින් නව සම සමාජය බලගතු පංති පදනමක් දිනා ගත් අතර වෘත්තීය සමිති ව්‍යාපාරය තුළද අප ප්‍රධාන නායකත්වයක් විය. කම්කරු පංතියේ මහා වැඩ වර්ජනයක් වටා අනෙක් ජනතාවගේ සියළු සටන් ඒකරාශී කරමින් ජන අරගලයක් ගොඩ නැගීමත් එමගින් යූඇන්පී ය එලවා දමා විප්ලවකාරී වාමාංශික ආණ්ඩුවක් ගොඩ නැගීමත් අප විසින් යෝජනා කෙරුණි. අප මේ අදහස ඉදිරිපත් කළේ ධනපති ක්‍රමය ඇද වැටී තිබෙන පරිහානි තත්ත්වය තුළ කම්කරු පංතියේ අරගලය පත්වී තිබෙන ස්ථානය සළකා බැලීමෙනි. ගරා වැටෙන ක්‍රමයේ බර ජනතාව මත පටවන තත්ත්වය තුළ දී ගොඩ නැගෙන විරුද්ධත්වය යම් සමථයකට පත් කිරීමට ඉඩක් නැති බවත් එනිසාම එය දේශපාලන අරගලයක් වන බව අප පෙන්වා දුන්නෙමු. එය ජයග්‍රහනය කළ හැක්කේ කම්කරු පංතිය ජන අරගලය තුළින් බලය ලබා ගැන්ම කෙරෙහි යොමු වීමෙනි. ඒ හැර අන් අතරමැදි ජයක් නැත. අඩු තරමේ හුඹස් ජයක් හෝ ලබා ගැන්මට ඉඩ අද ඉතුරු වී නැත. ජේආර් ඇත්තටම බිත්තියට හේත්තු වී අපට මුහුණ දෙන්නාවූ සතුරෙකි. ඔහු ගහන්නේ මරු විකල්ලෙනි.

මේ ආණ්ඩුව ඇති වීමේ සිටම අප විසින් මෙම දේශපාලන ඉදිරි දර්ශනය ඉදිරිපත් කළ නමුත් අප ගිරව් මෙන් ආණ්ඩුව එලවා දැමීම ජප කිරීමට යොමු වූයේ නැත. ආණ්ඩුව එලවා දැමීම හා විප්ලවකාරී වාමාංශික ආණ්ඩු ඉදිරි දර්ශණය ඇත්තේ වී නමුදු ජනතාව නිසි සටන් මඟට ගැනීමේ උපාය මාර්ගය වන්නේ ඔවුන්ගේ ඓයින්ද්‍රීය උවමනාවන් තුළින් ඇති වන්නාවූ සටන ඇතුළතින් ම දේශපාලන උවමනාව මතු කිරීමෙනි. කම්කරු පංතියේ සටනත් එය වඩා ජන අරගලය ගොනුවීමත් සංයුක්ත ප්‍රශ්ණයන් හරහා සිදු වන්නකි. එනිසාම පංතිය මුහුණ දෙන්නා වූ ප්‍රශ්න මත සකස් වූ ඉල්ලීම් පංතිය ඉදිරියේ මතු කිරීමත්, එය පදනම් කොට පංතිය පෙලගස්වා වැඩ බිම් කොමිටි හා පෙදෙස්බද කොමිටි හරහා නියෝජිත සමුළුවක් තුළින් ඒකාරාශී වීමක් කළ යුතුය. එක් මධ්‍යස්ථානයකට ගොනුකොට සටනට ගෙන යා යුතුය. අනෙක් අතට ගැමි ගොවි ජනයා පෙදෙස්බද ජන සභා ආදී ජන සංවිධාන මගින් සටන් බිමේ දී ගොනු කොට පංතියේ සටන් සමග එකට ඈදා ගත යුතුය. එම සටන් ඇති වන්නේ ද ඉඩම් ප්‍රශ්නය, මර්ධනය, බඩු මිල, ජාතිවාදය ආදී වූ සාමාන්‍ය ජනයාගේ ජන ජීවිතයට එදිනෙදා වදින්නාවූ ප්‍රශ්න වෙනුවෙනි. එහෙත් මේ සැබෑ සාධාරණ ඉල්ලිම් මත පදනම්ව ඇති වන්නාවූ කම්කරු පංති අරගලක් එය වටා ගොනු වන්නා වූ ජන අරගෙලයත් එම ඉල්ලීම් දිනා ගැන්ම කරා ගමන් ගන්නේ දේශපාලන අරගලයක් ලෙස වර්ධනය වෙමිනි. ඉල්ලීම් සාධාරණ වන නිසාම පමණක් ඒවා පවතින රටාව ඇතුළත විසදා දිනා ගැන්මට නොහැකි ය.

අප මේ දේශපාලනය ඉදිරිපත් කරද්දී අනෙක් නායකයින් කීවේ කුමක් ද? ශ්‍රීලනිප සම්බන්ධ වෘත්තීය සමිති නායකත්වය අනුගමනය කළේ ඔවුන්ගේ පාර්ලිමේන්තු ව්‍යවස්ථාදායක ධනපති විරුද්ධවාදීත්වයට ඔබින්නා වූ ක්‍රියා මාර්ගයකි. ඇත්ත වශයෙන් ශ්‍රීලනිපයේ වෘත්තීය සමිති ව්‍යාපාරය ශ්‍රීලනිපය තුළ දෙවැනි හෝ තුන්වැනි පැලැන්තියේ බලවේගයකි. ගැමි ජනතාවගේ රැඩිකල් මැදිහත්වීම් සමඟ ගොඩනැගුන ජනතාවාදී ධනේශ්වර පක්ෂයක් ලෙසට කම්කරු පංතිය තම සහායට ගනිමින්ම එය අනෙක් අතට දඬුකදේ ගසාගැන්ම ද ඔවුන්ගේ ක්‍රියාමාර්ගයේ ප්‍රධාන වැඩකොටසකි. ජේආර් ගේ ව්‍යවස්ථාදායක බොනපාට්වාදය ඉදිරියේ තර්ජනයට හසුවී සිටින ශ්‍රීලනිපය, කම්කරු පංතියේ ආණ්ඩු විරෝධී ප්‍රහාරය, දේශපාලන විකල්ප මාවතක් නොගන්නාතෙක් ඉදිරියට යනවාට විරුද්ධ නැත. එහෙත් ඔවුන් එයට නායකත්වය නොදෙනවා පමණක් නොව බරපතල ලෙස එවැනි දේශපාලන ප්‍රහාරයක් ඇතිවෙනවාට විරුද්ධය. කම්කරු පංතිය ඒ ලෙසට ඒකරාශී වී බලවේගයක් වන්නට පටන්ගත් විට, තමාගේ ජන පදනම් සූරාගනිමින් බලවත් ක්‍රියාකාරී ව්‍යාපාරයක් ගොඩ නැගෙන බව ඔවුහු දනිති. එය තම නායකත්වයේ විනාශය වන්නා සේම තමන් ආරක්ෂා කිරීමට බැදී සිටින ධනපති රාමුව බිඳගෙන යන්නා වූ විප්ලවකාරී බලයක් ගොඩ නැගෙන බව ඔවුන් ඉවෙන් මෙන් දනිති. එනිසා එවැනි බලවත් ව්‍යාපාරයක් ගොඩ නැගෙනවාට ඔවුන් විරුද්ධය. එය තම සීමා සහිත වැඩපිළිවලට අනුපූරක කර ගැන්මට පමණක් ඔවුන් බලාපොරොත්තු වෙති. මෙ සටන තුළද ඔවුන් දුටුවේ එයයි. විශේෂයෙන්ම වමේ නායකයින් ගේ අවස්ථාවාදී ක්‍රියාකලාපය තුළ දී ඔවුන් නිර්භීතව සටන් බිම තුළට ආවේ කම්කරු පංතිය ස්වාධීන ක්‍රියාමාර්ගයකට යාමට තිබෙන්නාවූ ඉඩකඩ වමේ අවස්ථාවාදී නායකයින් හා ජනතා විමුක්ති පෙරමුණේ කට්ටිවාදීන් විසින් වසා තබන බව දැන සිටි හෙයිනි. එහෙයින් ඔවුන්ට ඇත්තටම එම නායකයින් ගැන බිය වීමකට උවමනාවක් නොතිබුණි. තම උවමනාව සඳහා ඔවුන් යොදා ගැන්මට ඇති හැකි කම ගැන සැකයක් නොතිබිණි. එහෙත් ඔවුන්ට ඇත්තටම බිය වීමට තිබුණේ අප විසින් ඉදිරිපත් කළ ඉදිරි දර්ශනයටයි.

ශ්‍රීලනිපය කම්කරුවන් සටන් මඟට පිවිස ඒ තුළින් රටේ දේශපාලන අවුලක් ඇති කරනවාට නම් අකමැති නැත. එවැන්නක් පාර්ලිමේන්තු රාමුව ඇතුළත මැතිවරණක් දීම දක්වා ගමන් ගන්නේ නම් ඔවුන්ගේ සිහින සැබෑ වීමෙකි. එහෙත් කම්කරු අරගලය අනෙක් ජනයා ඒකරාශී කර ගනිමින් මහා හර්තාලයක් කරා ගමන් ගන්නේ නම් ඔවුන් එයට විරුද්ධය. ඇයි? එවන් සටනක් අනිවාර්යයෙන්ම යූඇන්පී ආණ්ඩුව පෙරලා දැමීමෙන් නවතින්නේ නැත. එය ගමන් ගන්නේ අධිරාජ්‍ය ගැති ධනේශ්වර උවමනාවන් පරදවා පංති බලය ගොඩනැගීම දෙසටය. මෙය ශ්‍රීලනිප වටා සිටින ජනයාට හා එහි පහල සාමාජිකත්වයට හිතකර වුවද ඉහළ නායකත්වයට විරුද්ධව යන ගමනකි. ඔවුන් මේ තේරුමෙන් නව සම සමාජ පක්ෂයට විරුද්ධ වෙති. මන්ද? අප ආණ්ඩු විරෝධී සටන ඇතුළත ඉතාම නිරවුල්ව එහි පෙරමුණේ ගමන් ගනිමින් එය ශ්‍රීලනිප ඉහළ නායකත්වය ද අභිබවා කම්කරුවන්ගේ නායකත්වයෙන් සටන ඉදිරියට ගෙන යාමට සූදානම්ව සිටින හෙයිනි. මේ ශ්‍රීලනිප දෙබිඩි ප්‍රතිපත්තිය ඉතාම පැහැදිලිව සටන තුළ දී එළියට ආවේ ය.

ලසසප නායකයින් ද සිටියේ ඉහත කී අදහසට වැඩි දුර නොවේ. ඇත්ත වශයෙන්ම ඔවුන්ගේ උවමනාව වූයේ පංතිය සටනකට යොමු වන විට දී පංතිය තුළ බරපතල බලපෑමක් ඇත්තටම තමන්ට ඇති බව ශ්‍රීලනිප ඉහළ නායකයින්ට පෙන්වා දීමට ය. ඒ ලෙසට ම පංතිය තුළ තමාට ඇති බලපෑම් තව දුරටත් ඇත්ත බලපෑමක් ලෙස රැක ගැනීමටයි. අනෙක් අතට පංතියේ සම්පූර්ණ ක්‍රියාකාරීත්වය වර්ධනය වනවාට ඔවුන් ශ්‍රීලනිප නායකයින්ටත් වඩා විරුද්ධය. එවන් සටන්කාමීත්වයක් ඍජු ලෙසට දේශපාලන මගට ගමන් නොකළත් එවන් වර්ධනයක් තුළ පංතිය ලබාගන්නා අත්දැකීම් වල ප්‍රතිඵලය වන්නේ අවස්ථාවාදී නායකත්වයන් විසිවී යාමයි. ඔවුන්ගේ සීමිත ස්වාභාවය හෙලිදරව් වීමයි. එමඟින් ඔවුන් බලාපොරොත්තු වන්නා වූ පාර්ලිමේන්තු සභාග මාවතට මෙන්ම ඔවුන්ගේ දේශපාලන ජීවිතයටම එල්ල වන්නේ ඉමහත් පහරකි.

අනෙක් අතට ඔවුන්ගේ එම ආකල්පයේ තේරුම වන්නේ පංතියට යා හැකි ඉදිරි ගමන ගැන ඇති අවිශ්වාසය යි. ඔවුන් දකිනා ලෙසට කම්කරු පංතියට ජන ව්‍යාපාරයේ නායකත්වය ලබා ගනිමින් විප්ලවකාරී මාවතට යන්නට බැරිය. එවන් ශක්තියක් පංතිය සතුව නැත. එනිසා එම බලාපොරොත්තු හා ඉලක්කයන් ඇතුව උනන්දුවෙන් සටන ඉදිරියට ගෙන යාම වැඩක් නැත. කළ යුතු වන්නේ ආණ්ඩුවට ප්‍රශ්න ඇතිවන ලෙසට අවුල් ඇති කිරීම සහ එමඟින් පංතියේ උවමනාව ශ්‍රීලනිප සමඟ ගිවිසුමකට යොමු කරවා ගැන්මය. ඇත්ත වශයෙන් මේ සාහසික ගණන් හිලව් හැදිල්ල බැටී, ජී.එච්. ආදීන් වෘ.ස.එ.ක්‍රි.කමිටුව තුළ ක්‍රියා කළ ආකාරයෙන් ඉතාම පැහැදිලි විය. කම්කරු පංතියේ ඉස්මත්තේ පැලපදියම් වූ මධ්‍යම පංතික තට්ටුවක, ඕතෑනි බියසුළුගතිය හා ප්‍රකෝපකාරී ස්වාභාවය ද මේ නායකයින් තුළින් ප්‍රකාශ වන්නට විය.

ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ දේශපාන ස්ථාවරය වඩාත්ම අවුල් සහගත වුවක් විය.  

ඔවුන් එලිපිට ප්‍රකාශ කරන්නේ අදට නියමිත වන්නේ කම්කරු පංතිය ප්‍රමුඛව දේශපාලන විකල්පයක් ගොඩ නැගීම බවයි. ඒ අනුව වාමාංශික පක්ෂ එකතු කළ යුතු යැයිද වමේ විකල්පය ගොඩ නැගිය යුතු යැයිද ඔවුහු කියති. එම වමේ විකල්පය ගොඩ නැගීම ගැනත් පාර්ලිමේන්තුවෙන් පිට සටන් ක්‍රියා ගොඩනැගීම ගැනත් ඔවුන් කථා කරන දේ වල ඇත්ත තත්ත්තවය එලිදරව් වූයේ මේ සටන ඇතුලේ ය. ඔවුන් කල්පනා කරන ලෙසට මේ ආණ්ඩුවට විරුද්ධව කම්කරු පංතියේ අරගලය අනිත් පක්ෂ සහභාගීත්වය ඇතිව ඉදිරියට ගෙන යාමෙන් වමේ විකල්පය ගොඩ නැගෙන්නේ හෝ දේශපාලන බලය පිළිබද ප්‍රශ්නය මතුවන්නේ නැත. එතරම් තත්ත්ත්වයක් විෂයබද්ධව ඇත්තේ නැත. වමේ විකල්පය ගොඩ නැගිය යුත්තේ සටනට පෙරය. වෙනත් වචන වලින් කියනවා නම් වමේ විකල්පය ගොඩ නැගෙන තුරු ඒකාබද්ධ මහ සටනක් ගොඩ නගන එක වැරදිය. වමේ විකල්පය ලෙස ගොනු කිරීමද කළ හැක්කේ මුළු කම්කරු පංතියම එක්සත් කිරීමෙනි. විශේෂයෙන්ම වතුකම්කරුවන් වෘ.ස.එ.ක්‍රි. කමිටුව වටා පෙලගැසෙන තෙක් පංතියේ එක්සත් කම පූර්ණ නැති නිසා එය එනතෙක් කල්මැරිය යුතුය.

මේ අදහස් මාලාව නම් සටන් මඟඇරීමට හා ඇත්තටම පංතියේ එක්සත්කම හා වමේ බලවේගය ගොඩ නැගීම අවුල් කිරිමට හොද සූත්‍රයක් ය. එය දෙවෙනි වන්නේ ජනතා විමුක්ති පෙරමුණේ කට්ටිවාදී අණ්ඩරදෙමළ වලට පමණය. මෙහි ඇත්තේ හැම දෙයකම කණපිටය. ඇත්තටම වෘ.ස.එ.ක්‍රි.කමිටුව වටා මුළුමහත් පංතිය ඒකරාශී කළ හැක්කේ පංතියේ ඇත්ත ඉල්ලීම් මත, ඇත්ත වැඩබිම් නියෝජිතයන්ගේ සමුළුවක් තුළින් ගමන් කිරීමෙන් හා ප්‍රශ්න වෙනුවෙන් සටන් මඟට අවතීර්ණ වීමෙනි. ඇත්ත වශයෙන් වතුකරය ඇතුළු අනෙක් පංති කොටස් වමේ සමිති ව්‍යාපාරයෙන් ඈත් වූයේ සභාගවාදී වැඩපිළිවෙල නිසාය. එනිසා ඔවුන් ඇතුළට කාන්දු වී ඇති අඩුදියුණු මතවාදයන් අභිබවා අපට ගමන් කිරීමට හැකි වන්නේ පංතියේ සැබෑ ප්‍රජාතන්ත්‍රවාදයත්, සැබෑ ඉල්ලීමුත් හා නිරවුල් සටන් මඟත් උඩය. එහෙත් කොමියුනිස්ට් පක්ෂයේ වෘත්තීය සමිති නායකයන් එම මාර්ගය ගැනීමේ පූර්ව කොන්දේසිය ලෙස කම්කරුවන්ගේ පූර්ණ සමගිය ඉල්ලා සිටියි. අඩු තරමේ පුරවැසි ඉල්ලීම වෙනුවෙන් වා.ස.එ.ක්‍රි.කමිටුවේ හා මාර්තු 8-9 සමුළුවේ අරගලයක් කරන්නට අසමත් හා ශ්‍රීලනිප හා ලසසප ජාතිවාදී ස්ථාවරයන්ට යටත් වුන කොමියුනිස්ට් පක්ෂයේ නායකයින් වතු කම්කරුවන්ගේ විශ්වාසය වෘ.ස.එ.ක්‍රි.කමිටුව දෙසට ගොනු කරගන්නේ කෙසේ ද? එම නායකයින් එලිදරව් කරමින් පැරණි සභාගවාදී මිණී කරත්තයෙන් නිරවුල් ලෙස වෙන්වී, එම ම‍ෙඟහිම නැවතත් යන්නට හදන කොටස් වල කොන්දේසි එලි කරමින් ඉදිරියට නොගොස් පංතියේ සමගියට පදනම දමන්නේ කෙසේ ද? අවස්ථාවාදය එලිකිරීමට කිසිදු එඩිතර පියවරක් නොගෙන රකින ඉහළ සමගිය අවස්ථාවාදයට ආවරණයක් සැපයීම පමණි.

වඩාත් තෙරපීම් පහළින් මතු වන්නේ විෂයබද්ධ උවමනාව උඩය. එවා වෘත්තීය සමිති හා පක්ෂ නායකයන්ට උවමනා ලෙසට ඉහලින් හසුරුවන්නට හෝ කොටුකර ගැන්මට හැකි සීමාවක් ඇත. එනිසා කොමියුනිස්ට් පක්ෂය එම විකල්පය ගොඩ නැගෙන තෙක් සටන් පමා කිරීමට ඇඟිලි ගැනීම අතීසාරයට අමුඩ ගැසීමක් වැනි නිශ්ඵල ක්‍රියාවක් විය. අනෙක් අතට වමේ විකල්පය ගොඩ නැගෙන්නේ සටන තුළය. සටන් වලින් මඟඇර හුදු ප්‍රචාරක රැලිවලට ඉහලින් වමේ නායකයින් එකතු කර ගත්තාට වමේ විකල්පය ගොඩ නැගෙන්නේ නැත. එවැනි ඉහලින් තනා ගන්නා කෘතිම පෙරමුණු සටනට බාධා වන කාණ්ඩ ගැසීම් හැටියට පෙරලී යාමට වැඩි ඉඩක් තියෙන අතර ඒවා වැඩිකල් පවතින්නේ ද නැත. අවස්ථාවාදී උවමනාවන් එකිනෙකට ගැටී පිපිරී යාම ස්වාභාවිකය. පසුගිය වමේ පක්ෂ පහේ එකතුව මෙය ඉතාම හොදින් ඔප්පු කළේ ය. කොමියුනිස්ට් පක්ෂය එයින් උකහා ගෙන ඇත්තේ වැරදි පාඩමකි. වමේ විකල්පය ගොඩ නැගීමේ අමාරුකම එයින් පෙනෙන නිසා ඉවසා සිටීම ඔවුන්ගේ සූත්‍රයයි. ඉහල අවස්ථාවාදය හා කට්ටිවාදය පරාජය කරමින් පහලින් වමේ සමගිය පිළිබද බලපෑම ගෙන ඒම ඔවුන්ට වලංගු නැත. සටන තුළ පංතියේ දේශපාලන විකල්පය මතු කිරීමද ඔවුන්ට ගෝචර වන්නේ නැත.

මේ ඊනියා වමේ විකල්ප දර්ශනය උඩ කොමියුනිස්ට් පකෂය ගමන් කළේ සටන අතර මැද නවතා ගැන්මේ නිශ්ඵල වෑයමකට ය. ඇත්ත වශයෙන් ඉතාම විසකුරු ව්‍යායාමයකටය. සටන වෘත්තීය සටනක් හැටියට ඉතාම අවම තැනින් නවත්වා ගැන්ම ඔවුන්ගේ අදහස විය. එහෙත් ඔවුන්ට එය එලිපිට කියන්නට බැරිය. එලිපිට ඔවුන් ගන්නේ සටනේ පෙරමුණේ රාළ යන පෙනීමය. එහෙත් ඇත්ත ක්‍රියාකාරිත්වයෙන් ඉන්නේ සටන වෘත්තීය සමිති මට්ටමේ රදවාගෙන සාකච්ඡාවක් ලබා ගැන්මටය. සාකච්ඡා දැන් ලැබෙයි දැන් ලැබෙයි යනුවෙන් සිතමින් තලුමරමින් සටන ශක්තිමත් කිරීම අඩපන කරමින් ප්‍රමාද කරමින් කල්මැරීමය. “වමේ විකල්පයක් නැතිව සටන පළල් කිරීමෙන් වාසිය ලැබෙන්නේ ශ්‍රිලනිපයට ය. එනිසා සටන සමිති මට්ටමෙන් නවත්වා හොදට සංවිධානය වී සටන දියත් කළ යුතුය”. මේ කෙටියෙන් කොමියුනිස්ට් පක්ෂයේ අදහසයි. එහෙත් එම අදහස මත ක්‍රියා කිරීමෙන් ඇත්තටම වන්නේ ශ්‍රීලනිපය තහවුරු වීමයි. වමේ දේශපාලන නායකත්වයක් නොමැතිව අඩාල ලෙස පුළුල් වන සටනක් තුවාල ලබමින් අවසන් වෙයි. එවිට වඩා වාසි වන්නේ මිලඟ දේශපාලන විකල්පය තමා යැයි සරල ලෙස කියා දෙන ශ්‍රීලනිපයටයි. අසරණ වන කම්කරුවා යොමු වන්නේ කෙසේ හෝ මීලඟට බලයට එන්නන්ගෙන් සහනයක් ලබා ගැන්මේ දිසාවටයි. මේ ලෙසට වෘත්තීය මට්ටමෙන් නවත්වන්නට නොහැකි පුළුල් සටන් ක්‍රියාදාමයක් ඉහලින් හිර කරන්නට යාමේ දී තමාට ලැබෙන ප්‍රතිඵලය වන්නේ තමා බලාපොරොත්තු නොවන පිළිතුරුය.

කොමියුනිස්ට් පක්ෂය සටන වෘත්තීය මට්ටමෙන් රදවා ගැන්මට හැකි යයි කල්පනා කරන්නේ ආර්ථිකයේ කඩාවැටීම හා එයින් මතුවන සමාජ දේශපාලන අර්බූදයේ ස්වාභාවය වටහා නොගෙන මනෝ බද්ධ ලෙස අරගලය හසුරුවන්නට යොමු වීමකිනි. අද ධනපති අර්බුදය ගමන් කර තිබෙන්නේ ඉතාම අසාධ්‍ය තැනකටය. මේ තත්ත්වය තවම පවතින්නේ ක්‍රමය තුළ ඇති විශේෂ ශක්තියක් නිසා නොවේ. වමේ නායකයන් සභාග දේශපාලනය තුළින් පංතිය ඇතුළට ගෙනආවා වූ විශාල ව්‍යාකූලත්වය හා නරුමත්වයේ පිහිටාධාරයෙන් ය. එසේ නැත්නම් අද පංතිය බලයට ලක් වී හමාරය. එවන් වටා පිටාවක් තුළ දී ඉල්ලීම් වලට සාධාරණ ඇහුන්කන්දීමක් කරන්නට ආණ්ඩුව සූදානම් වන්නේ නැත. ඕනෑකම තිබුණත් ආණ්ඩුවට එය කරන්නට බැරිය. අනෙක් අතට සමිති ව්‍යාපාරයට ඇහුන්කන් දීමෙන් සමිති ව්‍යාපාරය නැවත ශක්තිමත් වී පනගැසී බලවත් වී වටයෙන් වටය සටන් මගට අවතීර්ණ වෙයි. එහෙයින් වෘත්තීය සමිති බලපැමට යටත් වීමට ආණ්ඩුවට ඉඩක් නැත. ආරම්භ කරන්නා වූ සමස්ත සටනක්, දේශපාලන සටනක් ලෙසට වර්ධනය වන්නේ ඒ නිසාය. එය මේ ආණ්ඩුව දේශපාලන අභියෝගයක් ලෙස සළකන නිසාය. කොමියුනිස්ට් පක්ෂය මේ ඇත්ත තත්ත්වය සළකාගත නොහැකිව එසේ නැත්නම් එය ගැන අමතක කර දමා සටන වෘත්තීය මට්ටමෙන් නවතා ගන්නට උත්සාහ ගත්තේ ය.

ජනතා විමුක්ති පෙරමුණ සටන ඇතුළත දී ක්‍රියා කළ ආකාරය ගැන ඉතාම ලස්සන චිත්‍රයක් අපට එම පක්ෂයේ ප්‍රධාන නායකයකුව සිටි ලංකා ගුරු සංගමයේ එච්.එන්.ප්‍රනාන්දු ඉදිරිපත් කර ඇත. ඇත්ත වශයෙන් එම කරුණු වලින්ද ඔප්පුවන්නේ ජනතා විමුක්ති පෙරමුණ සටන් කිරීමට විරුද්ධව සිටි බවයි. ඔවුන් මුල සිටම දරණ ලද අදහසක් වූයේ සටන් කිරීම මර්ධනය කැදවීමක් බවත්, එයින් අවස්ථාවාදීන් මඩ සෝදා ගන්නා බවත් ය. ඒ අනුව අදට නියමිත වැඩ කොටස ලෙසට ඔවුන් දුටුවේ අවස්ථාවාදීන් පිළිබද දේශනා පැවැත්වීම හා සංවිධානය වීමය. ඒ අනුව සටන් ඇතිවීමේ දී ඍජු ලෙසත් වක්‍ර ලෙසත් ඔවුන් ගමන් කළේ සටනට විරුද්ධ දිසාවකටය. කම්කරු අරගල වලදී පමණක් නොව සිසුන්ගේ, ගොවීන්ගේ, දෙමළ ජනතාවගේ අරගල වලදී ඔවුන් වැටුනේ මෙලෙසට සටනට හරස් වන්නාවූ තැනට මිස, සටන් ඉදිරියට ගෙන යන්නා වූ තැනට නොවේ. විශේෂයෙන්ම කටුබැද්ද සිසු අරගලය ඇතුළත දී ඔවුන්ගේ ඉදිරි දර්ශනයේ නරුම ස්වාභාවය චමත්කාරජනක ලෙසට සිසු ක්ෂේත්‍රය තුළ දී එළියට ආවේ ය. ප්‍රචාරකවාදී ලෙස ඔවුන් ගොඩනගන්නාවූ ඊනියා විප්ලවවාදී පක්ෂය වටා සිසුන්, ජනතාව එක්වන තෙක් කිසිදු සටනකට ඔවුන් ඉදිරිපත් වන්නේ නැතුවා පමණක් නොව ඍජු ලෙසම ඒවාට ද්‍රෝහීකම් කිරීම ඔවුන්ගේ ඉදිරි දර්ශනයයි. ලෙනින්ගේ නාමයෙන් මේ තරම් සහාසික පියවරක් මිට පෙර කවර කළක දී වත් ඉදිරිපත් නොවූ තරම් ය.

මාර්තු 8-9 සමුළුව ඇතුළත දී කම්කරු පංතියේ වැඩබිම් නියමුවන්ගේ හඬ ප්‍රකාශ වීම වලක්වාලීමට නොහැකි විය. එම හඬින් ප්‍රකාශ වූයේ සටනක අවශ්‍යතාවයයි. සමුළුව තුළ දී විරෝධතා දිනයක් පැවැත්වීමට තීන්දු කළේ වී නමුදු, දිනයක් තීන්දු කර ගැන්මට නොහැකි විය. දිනය තින්දු කර ගැන්මේ බලපෑම් නව සම සමාජ පක්ෂය විසින් බලගතු ලෙස පංතිය ඇතුළට එදා සිටම කාවද්දනු ලැබී ය. එම උවමනාව වැඩ බිම් වලට හා පෙදෙස්බද නායකත්වයන්ට ගෙන යාම උදෙසා වීදිවල උද්ඝෝෂණයන් දියත් කරන ලද්දේ විය. එම බලපෑම තුලින් ජූනි 05 වෙනිදාට විරෝධතා දිනය තීන්දු කරන ලද්දේ නමුත් එම දිනයෙන් ආරම්භ වන්නාවූ සටන් ව්‍යාපාරය ඉදිරියට ගෙනයාම උදෙසා සංවිධාන රටාවක් සඳහා එකඟත්වයක් ගන්නට නොහැකි විය. ජූලි 5 වෙනිදා ඇති වූයේ කම්කරු පංකියේ තවත් බලපැමක් නොවී ය. එය දිගින් දියට ඇදී යන්නාවූ සටනක මුල පිරීමක් පමණක් විය.

සෝමපාල සහෝදරයාගේ අවමගුල් පෙළපාලිය අතරතුර (සේයා – අන්තර්ජාලයෙන්)

ජූනි 5 වැනිදා සෝමපාල ඝාතනය නිසා කුපිත වූ පංතිය ජූනි 09 වෙනිදා දෙවෙනි විරෝධතා දිනයක් බවට පෙරළූහ. එදින ඇත්තටම පංතිය තුළින් ප්‍රකාශ වූවා වූ වෛරය ශක්තිමත් ලෙස ගොනු කොට ප්‍රදර්ශණය කිරීමට වෘ.ස.එ.ක්‍රි.කමිටුවේ අනෙක් නායකයින්ට අවශ්‍ය නොවී ය. වීදි පුරා, කොළඹ නගරය සිසාරා  යන ශෝක දිනයක් පවත්වනවා වෙනුවට, එමඟින් අනෙක් ජනයා අවුලුවනවා වෙනුවට  රජයට උවමනා වූ ලෙසටම එය තවත් සාමාන්‍ය මළගම් දිනයක් බවට පෙරලීමට එම නායකත්වයන් උත්සාහ දැරූහ. අඩු තරමේ සමිති වල බැනර් සහිතව මිනිය වීදිවල ගෙන යමින් පාරවල් පුරා යන මළ පෙරහැරක් පැවැත්වීමටවත් එමගින් අනෙක් පංති හා ජන කොටස් අවුලවා ගැන්මටත් ඔවුන්ට උවමනා නොවී ය. මළමිනිය වටා පංතිය එක්වී බලවේගයක් බවට පත්වීමෙන් තම ශක්තිය වර්ධනය කර ගන්නවා දකින්නට ඔවුන් සූදානම් නොවූහ.

එහෙත් පංතිය තුළ පහළින් ඇත්වූ බලපෑම නිසා මතු වූයේ ශක්තිමත් මළ පෙරහැරකි. රත්මලානේ දුම්රිය කම්කරුවෝ වැඩ වර්ජනයකින් මළගමට එක්වූහ. උණුසුම් සිදුවීම් රජයේ කර්මාන්තශාලාව තුළ, මුද්‍රණාල කම්කරුවන් තුළ මතු විය. මේ නිසාම පසුදා සිටම මතු වූයේ සටන්කාමීන් මර්ධනය කිරීමේ තර්ජනයේ සෙවනැල්ලයි. විශේෂයෙන්ම මළගමට යාමට වැඩ වැරුමක් සඳහා මෙන්ම විරෝධතා දිනය වෙනුවෙන් ද කම්කරුවන් සටනට එළඹීම වලක්වාලීම උදෙසා වෙහෙසුන ජුන්ටා සමිති නායකයින් පලිගැනීමේ උවමනාවෙන් වෙලී සිටියහ. මෙයින් සමහරෙකු රත්මලාන දුම්රිය කම්කරුවන් විසින් අතින් පයින් පහර ගසා එළවා දමන ලද්දේ ය.

මේ අවමන් ඉදිරියේ ඔවුන් විශේෂයෙන්ම යොමු වූයේ මර්ධනය සඳහා ඔත්තු සැපයීමටයි. මේ අනුව රත්මලානේ කම්කරු නායකයින් පිරිසක් මර්ධනය කරනු සදහා නම් කරනු ලැබීය. මෙවැනිම මර්ධන තත්ත්වයක් මුද්‍රණාල කම්කරුවන් අතර ද ආණ්ඩුවේ කර්මාන්තශාලා කම්කරුවන් අතරද මතුවූ  අතර ලිපිකරුවන් ආදී කොටස් අතර මාරු කිරීම් තර්ජනය බලගතු ලෙස මතු විය. පළමුවෙන්ම වැඩ තහනම් කරනු ලැබුවේ මුද්‍රණාල කම්කරු නායකයින් ය.

රජයේ කර්මාන්තශාලාවේ කම්කරුවන්ගේ දිනක වැටුප් කපා දැමීමේ තීන්දුව ගෙන තිබිණි. ලිපිකරුවන් ගණනාවක් මාරු කිරීමට භාජනය විය. මේ සියල්ල මතු වූයේ රත්මලාන කම්කරුවන් 12 දෙනාගේ වැඩ තහනම් ප්‍රකාශ වන්නටත් පෙරය. මුද්‍රණාල කම්කරුවන් හා රජයේ කර්මාන්තශාලා කම්කරුවන්ට එල්ල වූ මර්ධනයට පිළිතුරු වශයෙන් සටන්කාමී පියවරක් ගැනීමේ අවශ්‍යතාවය මතුවී තිබුණි. මෙම ප්‍රශ්නය නව සම සමාජ පක්ෂයට සම්බන්ධ කම්කරුවන් විසින් වැඩපල මට්ටමේ දී මෙම වෘත්තිය සමිති නයකයින්ට ඉදිරිපත් කරනු ලැබූ නමුත් ඔවුන්ට ඒ ගැන කිසිදු දර්ශනයක් නොතිබුණි. පාලකයින් සමග සාකච්ඡාවක් බලාපොරොත්තුවෙන් එහා මෙහා බලමින් සිටිනවා ඇරෙන්නට වෙන වැඩපිළිවෙලක් ඔවුන්ට නොවී ය. වැඩබිම් වලින් මතු වූයේ ඉතාමත් නොඉවසිලි තත්ත්වයකි. ලිපිකරුවන් මාරු කිරීම සම්බන්ධයෙන් ද ඒ ඒ කාර්යාල වල මතු වූයේ එවැනිම නොසන්සුන් තත්ත්වයකි.

You may also like...

2 Responses

  1. 2020-07-30

    […] දෙවන ලිපිය – 1980 මහා වැඩවර්ජනයේ අත්දැකීම් – දෙවන කොට… […]

  2. 2020-08-10

    […] 1980 මහා වැඩවර්ජනයේ අත්දැකීම් – දෙවන කොට… […]

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.