අසූවේ අරගලයේ අත්දැකීම්

බාහු අරගලකරුවන් අමතමින්

සටහන

1980 මහා වැඩවර්ජනයේ ආරම්භය, එම ජූලි 17 වැනිදා ලෙස අපි සලකමු. එම අරගලයට 40 වසරක් සපිරෙන අද දින සිට සටනේ කූටය වූ අගොස්තු 08 සත්‍යග්‍රහය දක්වා වන දින ගණනාව අප රටේ දේශපාලනයේ බැරෑරුම් පරිවර්තනයන් ගණනාවක ආරම්භය සටහන් කරයි. ඒ දින ගණනාව අප කම්කරු පංතියේ පෙරමුණු බලඇණි විසින් ජාත්‍යන්තර ධනේශ්වරය 1970 දශකයේ දෙවන භාගයේ සිට දියත් කළ මූල්‍යවාදී ආර්ථික ප්‍රතිපත්තීන් මෙහි ක්‍රියාත්මක කිරීම හරස් කිරීම සඳහා ගෙනගිය අතිශයින් පරිත්‍යාගශීලී වූ අරගලයේ අත්දැකීම් වලින් සම්ප්‍රයුක්ත ය.
 
මේ මහා වැඩවර්ජනය නූතන ඉතිහාසයේ අත්කර ගන්නා ස්ථානය පිලිබඳව සාකච්ඡා කිරීමට කාලය එළඹ ඇතැයි අපි සිතමු. ඒ එයට වසර 40 ක් සම්පූර්ණ වීම නිසාම නොවේ. එදාමෙදාතුර ප්‍රජාතන්ත්‍රීය විප්ලවයේ ගතිකය ප්‍රකාශයට පත්කර ඇති අප්‍රමාණ වූ පරස්පර විරෝධයන් පිලිබද සාකච්ඡාව පංති අරගලයේ මේ ලක්ෂය නාඹිය කොට ගෙන ඇති නිසා ය.
 
අපි මෙහි දී සාකච්ඡාව ඇරඹීම සදහා සුදුසුම එළඹුම වික්‍රමබාහු කරුණාරත්න වැඩවර්ජනයේ නායකයෙකු වීමේ වරදින් සිරගතව සිටියදී ලියන ලද ලිපි මාලාව යයි තීරණය කළෙමු. ‍මේ ඓතිහාසික වැඩ වර්ජනය සම්බන්ධයෙන් ඊට වඩා පෘථුල යුක්තියක් ඉටු කළ වෙනත් ලේඛනයක් එදා මෙදා තුර අප දැක නැති නිසාය ඒ.
 
අතීතයත් අනාගතයත් එක් කරන්නේ වර්තමානය විසින් ය. එබැවින් අපි සාකච්ඡාව මෙතැනින් විවර කරමු.
 
(මේ මහා වැඩවර්ජනය පිලිබද ලිපි මාලාව 1980 අගොස්තු 13 දා (මතක පරිදි) සිට සති 07 කට කිට්ටු කාලයක් මැගසින් සිරගෙදර සිටියදී ලියන ලද ලිපි නවයකින් යුක්තය. ඒවා එකල ‘වමේ සටන’ පුවත් පතේ කොටස් වශයෙන් පළකෙරිනි. ඉන් දශකයටත් වඩා කල් ඉකුත් වීමෙන් පසුව මේ ලිපි එක් කර පොත් පිංචක් ලෙසින් මුද්‍රණය කිරීම එක්සත් කම්කරු සම්මේලනයේ හා ආණ්ඩුවේ එක්සත් කම්කරු සම්මේලනයේ අනුග්‍රහයෙන් සිදු විය. එදා මෙදා තුර ගත් කල ද තවත් දශක තුනකට කිට්ටු කාලයක් ගලා ගොස් ඇත්තේ ය. ඉතිහාසයක් එහි ජීවමාන කර්තෘත්වයෙන් යුතු වූ කල්හි කල් ඉකුත් නොවන බව සත්‍ය මුත්, මුද්‍රණ කඩදාසි කල් ඉකුත් වී යයි. එබැවින් අලුත් සාකච්ඡාවකට අලුත් වර්ණයෝජනයක් උවමනා වෙයි.
 
එසේ මුත් අපි මේ සියල්ල එකවර නොව එක් එක් ලිපිය බැගින් ඉදිරි දින වල දී ඉදිරිපත් කරමු. එ් ඔබගේ කියවීමටත්, අවධාරණයටත් පහසුවක් කොට‍ සලකමිනි.  අද පළවන්නේ පළමු ලිපියයි.)

1980 මහා වැඩ වර්ජනයේ අත්දැකීම්

සටනේ පසුබිම

ජේ.ආර්.ගේ ව්‍යවස්ථාදායක බොනපාට්වාදී මූලිකත්වය සහිත මේ යූඇන්පී ආණ්ඩුව බලයට පත් වූයේ පසුගිය සභාග ආණ්ඩුව ගැන කම්කරු පංතිය තුළත් සෙසු ජනතාව තුළත් ඇති වූ ව්‍යාකූලත්වය පදනම් කරගෙන ය. ශක්තිමත් වූ හා සටන්කාමී සම්ප්‍රදායක් රැගෙන සිටියා වූ ද විප්ලවවාදී පක්ෂයක් ගොඩ නැගීම පිළිබද සංකල්පයෙන්ගෙන් පදනම් වූ ප්‍රවනතාවයන් ඉතිහාසය තුළ අභ්‍යන්තරයේ මතු වුනාවූ ද ලංකා සම සමාජ පක්ෂය මෙම සභාගයේ ප්‍රධාන කොටස්කරුවෙක් විම විශේෂ කාරණාවක් විය. නායකත්වය විසින් ගන්තා වූ එම වැරදි පියවර නොතකා කම්කරු පංතියේ සංවිධාන ශක්තිය රැකගැනීමට හා සටන්කාමීත්වය පෙන්විමට හැකි වූ නිසාම බරපතල පරාජයක් තුළින් ගමන් නොකර සිටීමට පංතියට හැකි විය. සාමාන්‍ය වශයෙන් ගත් කල, මහජන පෙරමුණු දේශපාලන වැඩ පිළිවෙලකින් එනම් සභාග ආණ්ඩු වැඩපිලිවෙලකින් පසුව පංතිය ඉමහත් අවුලකට පත්වීම ද එවන් තත්ත්වයක් තුළ ඇතිවන්නා වූ ගැටුම් තුළින් පංතිය විශාල ලෙස කඩාවැටීම ද ඉතිහාසයේ දිගින් දිගටම මතුවූ කාරණයයි. 1927 චීන‍යේ සිට ඉංදුනීසියාව, චිලී රට දක්වා අපට පෙන්වන උදාහරණය එයයි. එහෙත් එවන් විපත්තියකට මුහුණ නොදී නැවත ක්‍රියාකාරීවීමට ලාංකික කම්කරු පංතියට හැකි විය. මෙය අහම්බයෙන් සිදුවූවක් නොවේ.

ලංකා සම සමාජ පක්ෂය ඇතුළත කම්කරු පංතිය මත පදනම් වූ විප්ලවකාරී විරුද්ධ පක්ෂයක් 1964 සභාග තීන්දුවේ සිටම ක්‍රමයෙන් මතු වන්නට විය. 1970 වන විට සංවිධානාත්මක මුහුණුවරක් ගනිමින් ගමන් ගත් මෙම විප්ලවකාරී කණ්ඩායම, නායකත්වය ගත්තාවූ සභාග ආණ්ඩු තීන්දුව තුළින් මතුවන්නාවූ අතිශයින් කටුක අත්දැකීම් හරහා පංතිය ගමන් ගනිද්දී ඔවුන් සමඟ සමීපව සිටිමින් විකල්ප මාවත පැහැදිලි කරන්නට විය. සභාගයට පැටලී සිටි සම සමාජ පැරණි නායකයින් හා කොමියුනිස්ට් පක්ෂ නායකයින් මෙම වැඩපිලිවෙලට ඉතාම මර්ධනකාරීව මුහුණ දුන්හ. ඔවුන්ගේ තාඩන පීඩන නොතකා ඉදිරියට ගිය මෙම වාම සම සමාජ කණ්ඩායමට සභාගය බිදී යන විටදී පංතිය ඇතුලත ප්‍රමුඛයන් හා වැඩබිම් නායකයින් අතර වැදගත් පදනමක් අයත් වී තිබීම තීරණාත්මක සාධකයක් විය. ඇත්තවශයෙන්ම ඉංදුනිසියාවේ දී, චිලියේ දී මෙන් මහජන පෙරමුණ කඩා දමමින් අවුල් වූ කම්කරුවන් දෙසට ධනපති පංති ප්‍රතිගාමීන් සාහසික ලෙස කඩා වැදීම වෙනුවට පංතිය විසින් ම එම පෙරමුණ බිඳ දැමීමට මූලිකත්වය ගැනීම ‘වාම සම සමාජ’ මැදහත්වීම තුළින්ම මතු වූ කරුණක් විය. මෙහි දී එම සභාගය පංතිය විසින් අවසන් කළා පමණක් නොව, ඒ විගස පංතිය අරගලකාරී මාර්ගය දෙසට අවතීර්ණ වන්නට විය. 1976 දුම්රිය වැඩ වර්ජනය හා එයින් මතුවූ මහා වැඩවර්ජනය එලෙස සිදු විය. සභාගය අවසන්වීම මෙන්ම පංතිය සටන් මඟට ගැනීම ද නවතා දැමීම උදෙසා පැරණි සම සමාජ නායකයින්ද කොමියුනිස්ට් නායකයින්ද අප්‍රමාණ උත්සාහ දැරූහ. තිබුන සභාගය නොහැකි නම් නව සභාගයක් අටවා ගැනීම ඔවුන්ගේ උවමනාව විය. අනෙක් අතට එදා විරුද්ධ පක්ෂය වූ එක්සත් ජාතික පක්ෂය සමග අන්තරාදායක ලෙස එකමුතු වන්නට ගමන් කිරීම ද පැරණි සම සමාජ නායකත්වයේ අරමුණ විය. මෙම උවමනාවන් අභිබවා පංතිය සටන් මගට ගැනීමෙහි ලා ප්‍රධාන වූයේ වාම සම සමාජයයි.

1976 මහා වැඩ වර්ජන සටන පංතියේ සංවිධ‍ාන පුබුදුවා ගැනීමටත් පංතියේ ඇත්ත ශක්තිය නැවත ගොනු කිරිමටත් හේතු විය. මෙම බලවේගය නිසාම ආණ්ඩුව දෙදරා ගියේ ය. එහෙත් මෙම දේශපාලන කඩා වැටීම තුළ ඉදිරියටවිත් පංතිය මත පදනම්ව ජාතික නායකත්වයක් දිමට වාම සම සමාජ කණ්ඩායමට නොහැකි විය. එදා එයට එතරම් දේශපාලන ශක්තියක් ගොනුවී තිබුණේත් නැත. එහෙයින්ම පංතියේ සටන මෙන්ම එය වටා ගොනු වූ අනෙක් සටන්කාමී බලවේගයන්ගේ වාසිය නෙලා ගත්තේ එජාපයයි. ඔවුන් මහා වැඩ වර්ජනය දැවැන්ත ලෙස ගොඩනැගීම වලක්වාලීමට සියළු වැඩ කොටස් කළා වූ නමුදු වාමාංශික පක්ෂ, එනම් කම්කරු පක්ෂ එක්වී දේශපාලන නායකත්වයක් දීමට ඉදිරිපත් නොවීමෙන් එම හිදැස්සේ වාසිය ලබා ගත්තේය. වාම සම සමාජයේ එකම උද්ඝෝෂණය වූයේ වැඩවර්ජනයෙන් මතු වූ පංති සංවිධාන පදනමට වාමාංශික පක්ෂ විසින් දේශපාලන නායකත්වයක් ඉදිරිපත් කළයුතු බවය. එහෙත් එයට පැරණි සම සමාජ නායකයන් හෝ කොමියුනිස්ට් නායකයන් හෝ ඇහුම්කන් දුන්නේ නැත. මෙම තත්ත්වය පිරවීමට වාම සම සමාජයට තනිවම නොහැකි වූ හෙයින් ම එම වාසිය යූඇන්පී යට අත් විය.

සභාගයෙන් වෙන්වීමෙන් පසුවද සභාගවාදී පාර්ලිමේන්තුවාදී අදහස් තුළම පැරණි නායකයින් ගමන් කළ නිසා තරුණ පරපුර තුළ වූයේ අතිමහත් අවුලකි. 1971 කැරැල්ල තෙක් ගමන් ගත් සුළු ධනේශ්වර රැඩිකල්වාදය යටපත් විමත් සමග තරුණ පරපුරේ ස්වාධීන දේශපාලනය අඩාල විය. මේ කොටස් 1976 වැඩවර්ජන රැල්ලෙන් පිබිදී ආවේ මුත් ඔවුන් අවනත කර ගැනීමට වමේ දේශපාලනයට නොහැකි විය. මේ නිසාම ඔවුන් නැඹුරු වූයේ අනිවාර්යයෙන්ම එජාප දෙසටම ය. දෙමළ ජනතාව අතර තිබුනේද මීට සමාන වූ තත්ත්වයක් ය. සභාගය නිසා තැලුන දෙමළ ජනතාවට හිත යොමු කළ හැකි වූයේ යූඇන්පී ය දෙසට පමණි. මෙම ජනනා කොටස් පුළුල් වශයෙන් වෙනතකට යොමු කරවීමට හැකියාවක් වාම සම සමාජයට තිබුනේ නැත.

මේ අනුව ජේආර් ගේ ආණ්ඩුව මතුවූයේම ඉමහත් අර්බූදයක් ඇතිවම ය. එක් අතකින් ධනවාදය නියෝග කරන්නාවූ වැඩපිළිවෙල දියත් කිරීමට ඔවුන් බැදී සිටි අතර, අනෙක් අතට ජනයාගේ සටන්කාමීත්වය ගසා කෑ නිසාම එහි බලපැමට අවනත වෙමින් වැඩ කරන්නට ඔහුට සිදු විය. මේ නිසාම එම බලවේග එකිනෙකට හප්පා තුලනය කරමින් ව්‍යවස්ථා රාමුව ඇතුළට ගනිමින් බොනපාට්වාදී ක්‍රියා පිළිවෙතක් අනුගමනය කිරීමේ මාවතට ජේආර් යොමු විය. එහෙත් පංතිය කොටු කර ගැන්ම පහසු නොවී ය. ධවල පත්‍රිකාවේ සිටම ආණ්ඩුව ගත් සෑම පියවරකටම පංතිය තම එක්සත් බලය යොදන දෙසට නැඹුරු විය. එම බලපැම් අනුව සිසුන්, දෙමළ ජනතාව හා ගොවීන් තම ප්‍රශ්න මත ක්‍රියාකාරීවීම දෙසට යොමු විය. පැරණි බෙදීම් පුපුරුවා හරිමින් ඉහළ මට්ටමෙන් හෝ වෘත්තීය සමිති එක පෙරමුණකට ගෙන ඒමට හැකි වීම මෙම බලවේග එක්තැන් කරවීමේ විශාලම සාධකයකි.

මේ ලෙසට ගොනුව ආ බලවේගය ආණ්ඩුව සමග ඒකාබද්ධ ගැටුමක් දෙසට යොමුවූයේ 1978 යෝජිත සංකේත මහා වැඩ වර්ජනය තුළිනි. එම වැඩවර්ජන සූදානම තුළම ආණ්ඩුවේ සැබෑ ස්වරූපය එලිදරව් විය. ආණ්ඩුව ඊට මුහුණ දුන්නේ යුධ සූදානමක් තුළිනි. සංකේත වැඩවර්ජනයේ ඉල්ලීම් 05 ගැන සළකා බැලීමට ඇති නොහැකියාව පමණක් නොව වැඩවර්ජන ක්‍රියාමාර්ගයකට ඉඩ ඇරීමෙන් ඇතිවන සංවිධාන පනගැන්වීමේ හා තහවුරු වීමේ තත්ත්වයට මුහුණ දෙන්නට ආණ්ඩුවට කිසිදු ඉඩක් නොමැති බව ඉතාම පැහැදිලි විය. ඇත්ත වශයෙන් එම අදහස විවාදිතවම එලියටද ආවේ ය. එම නිසාම පංති සටන් මාවත කිසිසේත් සුබසාධක හා සහන දිනාගැන්මේ මායිම් තුළ රදවා ගැන්මට නොහැකි බවද, ආරම්භ වන්නාවූ සටන දේශපාලන සටනක් ලෙස වර්ධනය වන්නාවූ බව ද එලිවිය. ආණ්ඩුව වර්ජන සටන පරිවර්තනය කරන්නේ දේශපාලන යුද්ධයකට ය.

එවැනි දේශපාලන සටනක් සදහා නායකත්වයක් දීමට පැරණි නායකයින්ට නොහැකි ය. සභාග ආණ්ඩු හරහා පංති සහයෝගතා මඟ යෑමෙන් ඇති කරගත් විනාශය තුළ පංතිය ඉදිරියේ ශක්තිමත් දේශපාලන නායකත්වයක් ගොඩනැගිය හැක්කේ එම වැරදි ඉතිහාසයට පිටුපා යමින් පරිත්‍යාගශීලී ලෙස සටන්වලට මැදිහත්වීමෙනි. එහෙත් පැරණි නායකත්වය 1975 දී සභාගයේ අවසන් වූ දා සිටම යොමු වූයේ එවන් දිසාවකට නොවේ. පංතිය තුළ ඇති වූ ව්‍යාකූලත්වය නැතිකරමින් සටන් මාවත පිළිබඳ පංතියේ විශ්වාසය ඇතිකර ලීමට කිසිදු පියවරක් ඔවුන් ගත්තේ නැත. අනෙක් අතට නැවත නැවතත් නව සභාගයක් අටවා ගැන්ම ගැනත් පාර්ලිමේන්තු ප්‍රචාරක සීමාවන් තුළ සියළු වැඩ කටයුතු කරගෙන යෑම ගැනත් ඔවුන් මූලික වශයෙන් නැඹුරු විය.  පහලින් ගොඩ නැගී එන සටන් වලට ඔවුන් ඇතුළු වූයේ තම නායකත්වය මුළුමනින්ම එළිවී, විසිවී යාම වලක්වා එම සටන තම අවස්ථාවාදී දේශපාලනයට යම් පිටුබලයක් කර ගැන්ම සදහා පමණි. මේ නිසාම 1978 සංකේත වැඩ වර්ජනය ඉදිරියේ ආණ්ඩුව දේශපාලන තර්ජන එල්ල කරද්දී පැරණි වමේ නායකයින්ට කර කියාගත හැකි දෙයක් නොවීය. සටන නවත්වා දැමීම හැරෙන්නට වෙන කළ හැකි දෙයක් ඔවුන්ට නොතිබුණි.

මේ තත්ත්වයට විරුද්ධව පංතිය නිවැරදි පිලිවෙත දෙසට යොමු කරවන ලද්දේ වාම සම සමාජයෙන් වර්ධනය වී බිහිවූ නව සම සමාජ පක්ෂය පමණි. එහෙත් පංතියේ ප්‍රධාන බලවේගය ලෙසට වර්ධනය වූ බහුජන විප්ලවවාදී පක්ෂයක් ලෙසට මතු වීමට පෙර තනිවම තත්ත්වය ඉදිරියට ගෙන යෑමට නව සම සමාජයට නොහැකි විය. ඒ නිසා පැරණි නායකයින්ගේ ස්වාභාවය එලිදරව් කරමින් සංකේත වර්ජනය නවතා දැමීමට එකගවීමට ඔවුන්ට ද සිදු විය. මේ වන විට සිරෙන් නිදහස් වී පක්ෂයක් ලෙස වර්ධනය වූ ජනතා විමුක්ති පෙරමුණ ගත්තා වූ ස්ථාවරය අතිශයින් සාහසික විය. ඔවුන් දිගින් දිගටම දැරුවා වූ ස්ථාවරය වූයේ මෙවැනි අවස්ථාවාදී නායකයින් සමිති ව්‍යාපාරය තුළ සිටිනතාක් සටන් නොකළ යුතු බවය. තම පක්ෂය ගොඩනැගීම හැර පවතින තත්ත්වය තුළින් මතුවන ප්‍රශ්න ගැන ක්‍රියාකිරීම ඔවුන් අත්හැර දැමූහ. මෙම අතිවාමවාදී ස්ථාවරය පැරණි වමේ නායකයින්ගේ ස්වාභාවය වසා දැමීමට මෙන්ම ආණ්ඩුවේ කප්පාදු, මර්ධන ඉදිරියේ ජනතාව හිරිවැට්ටවීමට ද අතිශයින් ප්‍රයෝජනවත් විය. සටන් නොකිරීමට සැරසී සිටි නායකයින්ට තමා සටන්කාමී බව උඩින් පෙන්වා සටන් ක්‍රියාමාර්ගයට ‘ජවිපෙ පිහියෙන් අනින්නේය’ පවසමින් ගැලවී සිටීමට ඉඩ ලැබුණා වූ අතර, ආණ්ඩුවට සටන් බිම අවුල් වී ඇනහිටීම නිසා ඉමහත් වාසියක් සැලසුනේ ය.

මේ ලෙසට 1978 සැප්තැම්බර් සටන අත්හැර දැමීම තුළ ආණ්ඩුවේ තත්ත්වය වඩා තහවුරු වූ අතර ඔවුන්ගේ ආර්ථික සැළසුම් ක්‍රියාත්මක කරගැනීමට අවශ්‍ය වූ දේශපාලන ස්ථාවරතාවය තාවකාලිකව හෝ මතු කර ගත්තේ ය. 1978/79 කාලය තුළ ජාත්‍යන්තර ණය ලබා ගැන්මද, එය මත පදනම් වූ ඉදිකිරීම්, ව්‍යාපාර හා සේවාවන් වල දියුණුව ද හා සංවර්ධන රේට්ටුවේ වැඩිවීම ද මෙම දේශපාලන වාතාවරණය තුලින් ලබා ගත්තක් විය. 1976 දුම්රිය වැඩ වර්ජනය, සිසු සටන්, දෙමළ තරුණයන්ගේ ක්‍රියා ආදියෙන් ජනතා බිමේ මතුවී තිබූ ක්‍රියාකාරී බලවේගය ඇත්තටම අඩපන වූයේ 1977 මැතිවරණයේ දී නොව මේ 1978 සැප්තැම්බර් පාවාදීම තුළිනි. බලයට ආ ජේආර් ට තමා පසුපසම වුව ද හොල්මන් කරන්නාවූ ජනතා ක්‍රියාකාරීත්වය ආම්බාම් කරන්නේ කෙසේද යන ප්‍රශ්නය 1977 සිටම තිබූ බලගතු ප්‍රශ්නය විය. එය ඔහුට තාවකාලිකව හෝ විසදා දෙනු ලැබුවේ 1978 සැප්තැම්බර් පසුබැසීම විසින් ය.

එහෙත් ආණ්ඩුවේ තාවකාලික පැලදියම් වීම් වැඩිකල් පැවතුනේ නැත. කම්කරු පංතිය පැත්තෙන් නායකත්වයට බල කිරීම් වැඩිවීමත් සමග ආණ්ඩුව තම දේශපාලන තහවුරුවීම විදහා දැක්වීම උදෙසාත්, නාගරික බලවේග ව්‍යවස්ථා රාමුවට ඇතුලත් කර ගැනීම උදෙසාත් පලාත් පාලන මැතිවරණය පැවැත්විණි. එය ඔවුන්ගේ ව්‍යවස්ථාදායක බොනපාට්වාදී සැලසුම් වලට උපකාර වූ අතර, පංතිය තුළ අවුල් ඇති කිරීමට හේතු විය. මේ ලබාගත් ස්ථාවරත්වය තුළින් පංතියේ සංවිධාන විනාශ කිරීම උදෙසා සංචිතය  හා නව සේවක මණ්ඩල පනතක් ද, අනෙක් අතට සරසවි සිසුන්ගේ ක්‍රියාකලාපයන් කොටු කර ගැන්ම උදෙසා නව පනතක් ද, දෙමළ ජනතාව තුළ තරුණයන්ගේ සටන්කාමීත්වය මරා දැමීම උදෙසා කොටි පනතද ගෙන එන්නට පියවර ගන්නා ලදී. මේ සෑම පියවරකටම විරුද්ධව දැඩි ලෙස ක්‍රියාකාරීව මැදහත් වූයේ නව සම සමාජ පක්ෂය පමණි. විශේෂයෙන් ම ජාතික ප්‍රශ්නය, එනම් දෙමළ ජනතාවගේ සටන්කාමීත්වය මර්ධනය කිරීම හා ඔවුන්ගේ ස්වයං නීර්ණ උරුමයට ඇති අයිතිය පැහැර ගැනීමට විරුද්ධවත් නව සම සමාජ පක්ෂය බරපතල ලෙස සටන් වැදුනේ ය.

1979 අවසන් වීමත් සමඟ ආන්ඩුවේ ස්ථාවර පදනම මුළුමනින්ම බිද වැටෙන්නට විය. ජාත්‍යන්තරික අවපාතය තුළ ජාත්‍යන්තර ණය ලබා ගැන්මේ ඉඩ බිඳ වැටීම සමඟ වඩා තියුණු ලෙස ජනතාවගේ සෑම කොටසක් දෙසටම කඩා පැණීමට ආණ්ඩුවට සිදු විය. කම්කරු පංතියට බලවත් පහර එල්ල කිරීමට සූදානම් වූ අතර එහි ප්‍රධාන පියවර වූයේ නිවාඩු කප්පාදුවයි. මේ අතර කටුබැද්දේ සිසුන්ගෙන් ඇරඹුණ සටන තුළින් සිසුන් තම අයිතින් වෙනුවෙන් වඩා බලවත්ව ඉදිරියට එන්නට විය. උතුරේ හදිසි නීතියට විරුද්ධව එහි ජනතාව ගෙන ගියාවූ සටන නිසා හදිසි නීතිය අත්හැර දැමීමට ආණ්ඩුවට සිදු විය.

ඇත්ත වශයෙන් ආණ්ඩුව උතුරේ තරුණයන්ට විරුද්ධව හමුදාව යෙදුවේ ද්‍රවිඩ විමුක්ති පෙරමුණු නායකයින් බියවද්දා ගිවිසුමකට ගැනීමේ අරමුණ ඇතිවය. එයට වැඩිමනත් ලෙස ජනතාව ප්‍රකෝපකාරී කර ගැනීම ජේආර්ගේ උවමනාව නොවී ය.

මේ තත්ත්වය තුළ මතුවූ කම්කරු රැල්ල ගමන් ගත්තේ මාර්තු 8-9 (1980) කම්කරු නියෝජිත සමුළුව දෙසට ය. එම කම්කරු සමුළුව තුළ විරෝධතා දිනයක් වෙනුවෙන් තීන්දුවක් ගැනීමට නායකයින්ට සිදු වූයේ ඒ වන විට සෑම පංති තීරුවකින්ම මතුවී බලගතු ලෙස ගොනුවූ ශක්තිය නිසා ය. විශේෂයෙන්ම කම්කරු පංතිය නිවාඩු කපනවාට විරුද්ධව කළ අරගලය ජය ගැනීම නිසාම වඩාත් පිබිදී සිටියේ ය. මේ නිසාම නායකයින්ට සටන් තීන්දුව මඟහැර සිටීමට නොහැකි විය. අනෙක් අතට ජනතා විමුක්ති පෙරමුණ ද පංතිය තුළින් මතුවී එන්නට වූ බලවේගය දැක්කේ ය. ඒ නිසාම ඔවුන්ගේ උවමනාව වූයේ සටන් තීන්දුව මඟ ඇර යාමට ය.

සටන් තීන්දුවක් කම්කරු නියෝජිතයන් ගැනීම අවස්ථාවාදීන්ට වන්නාවූ වාසියක් ලෙස ඔවුන් දුටුවෝය. මාර්තු 8-9 සමුළුවන් ඔවුන් නැගිට යන්නට ගියේ ඒ නිසාය. එහෙත් එම අදබාල ක්‍රියාවන් නොතකා 4000 කට වැඩි වූ එම නියෝජිත පිරිස විරෝධතා දිනය වෙනුවෙන් බලවත් උද්යෝගයක් පෙන්වූවෝ ය.  

විරෝධතා දිනය සෝමපාල සහෝදරයාගේ මරණය තුළින් තවත් පිම්මක් ඉදිරියට ආවේ ය. සතුරාගේ සහාසික ප්‍රහාරය සැම පංතිකාමියෙකුගේම කෝපය ඇවිස්සීමට හේතු විය. එනිසාම අවමගුල් දිනය තවත් විරෝධතා දිනයක් බවට පත් විය. ඇත්ත වශයෙන් ජූනි 05 ට වඩා ජූනි 09 ක්‍රියාකාරී විරෝධය ප්‍රකාශ කළ දිනයක් විය. රත්මලාන දුම්රිය කම්කරුවෝත්, පුද්ගලික අංශ ගණනාවක කම්කරුවෝත් වරුවක වැඩවර්ජනයක් සමඟ මලගමට ආහ. එවැනි වැඩවර්ජන සඳහා බලපෑම් දුම්රියේ අනෙක් කොළඹ අවට වැඩබිම් තුළද, රජයේ වැඩපොල, රජයේ මුද්‍රණාලය ආදී තැන්වලද බලගතු ලෙස මතු විය. මේ නිසා මෙම වැඩබිම් සියල්ල තුළ ඊලගට මතුවී ආවේ ආණ්ඩුවේ පළිගැනීම් වැඩපිළිවෙලයි. රත්මලානේ සටන්කාමීන් 12 දෙනා එලියට වැටු‍නේ මෙම ප්‍රශ්නය තුළිනි. එය මහා වැඩවර්ජන සටනේ ආරම්භය ඇති කළේය.

මේ ආණ්ඩුව බලයට පත්වන්නාවූ අවස්ථාව වන විටත් ආණ්ඩුව මුහුණ දෙන්නා වූ ධනවාදයේ බංකොලොත්කම ඉදිරියේ කම්කරු පංතික අරගලය දේශපාලන තලයට ඇදීයාම නොවැලැක්විය හැකි බව අපි දැන සිටියෙමු. එනිසාම කම්කරු පංතියේ එක්සත්කම වැඩපල මට්ටමේ සිට ගොඩ නගමින් ඒකාබද්ධ ජාතික මධ්‍යස්ථානයක් ගොඩනැගීම තුළින්, ඇතිවන අරගලයට පොදු මධ්‍යස්ථානයක් සැපයීම උදෙසා අපි අරගල කළෙමු. ඇත්තවශයෙන් පසුගිය දශකය පුරාම වුවද කම්කරු අරගලය දේශපාලන අරගලයක් ලෙස වර්ධනය වීමේ ලකුණු නිසඟ ලෙසින්, නිරන්තරයෙන්ම මතු විය. 1976 දුම්රිය වැඩ වර්ජනය ඇතුලතින් ද ඉතාම නිරවුල් ලෙස මෙම තත්ත්වය එලිවිය. එය ඇරඹුනේ ඉතාම සරල ආර්ථික ඉල්ලිමක් පදනම් කරගෙන ය. එනම් රු: 500/- ක් දරුවන්ගේ පොත් ගැනීම උදෙසා ණය වශයෙන් ඉල්ලා එම සටන ඇරඹුණි. එහෙත් ඉතා ඉක්මණින් එය පංතියේ සමස්ථ වැඩවැරුමක් බවට පත් වුණි. අනෙක් අතට එදා සිටි ආණ්ඩුවද එයට මුහුණ දුන්නේ දේශපාලන අරගලක් යන තේරුම දෙමිණි. සටන කැඩීමට රාජ්‍යයේ සාහසික  බලය යෙදුවේ එම අරුත ඉදිරිපත් කරමිනි.

මේ අතර එදා දුම්රිය සටන් පෙරමුණ මගින් ලොකු කුඩා සියළු සමිති නියෝජිතයන්ගේ කැදවීමක් කරන ලද අතර එය සාර්ථක විය. පොදු මධ්‍යස්ථානයක හැඩ රූ මෙම සභාව තුළින් මතු විය. ඇත්ත වශයෙන් වාම සම සමාජය ලෙස අප ගෙන ගියාවූ උද්ඝෝෂණය ඵලදැරීමක් ලෙසට මෙය දැක්විය හැකිය. මෙම අවස්ථාවට පෙර 1976 පේරාදෙණියෙන් අරඹුණු සිසු සටන ඇතුලත දී ද අන්තර විශ්ව විද්‍යාල සිසු සභාව මඟින් මෙවැනිම කැදවීමක් කරන ලදී. ඉහලින් සමිති නායකයින්ට එල්ල වූ විවිධාකාර බලපෑම් නොකතා ඔවුන්ට පොදු සභාවක් ඇතුලට එන්නට සිදු විය. එය තුළ දේශපාලන වශයෙන් ප්‍රවනතාවයන් කවරක් වුවද පංතියේ පොදු සටන වෙනුවෙන් තීන්දු ගැනීමට ඔවුන්ට බල කෙරුණි.

ජාතික වශයෙන් පංතියේ මධ්‍යස්ථානයක් පිලිබද අදහස මෙසේ මතුවෙද්දී වැඩබිම් හා ප්‍රාදේශීය වශයෙන් ඒකාබද්ධ සටන් කොමිටි ඇති වන්නට විය. රත්මලාන ඒකාබද්ධ පෙරමුණ අනුව යමින් සෑම ෆැක්ටරියකම ඒකාබද්ධ කමිටු ඇති වන්නට විය. මේවා නැවත ගොනු වෙමින් සමස්ථ ආයතන හා දෙපාර්තමේන්තු වසාගත් ඒකාබද්ධ සටන් පෙරමුණු ඇති විය. මේ අතර පෙදෙස්බඳව විවිධ වැඩබිම් හා ආයතන වල පහළ මට්ටමේ ඒකාරශීවීම් ඇති වන්නට විය. ඉහලින් වෘත්තීය සමිති නිලධාරී ආධිපත්‍යය තිබුණේ මුත් මෙලෙසට පංතියේ පොදු අවශ්‍යතාවය අනුව එක්තරා ප්‍රමාණයකට හෝ ප්‍රජාතන්ත්‍රවාදීව පංති උවමනාව නිරූපනය වීම පෙන්වන්නාවූ රටාවක් හෝ සංවිධාන පද්ධතියක් ඇති වීම බලගතු විජයග්‍රහණයක් විය. පංතිය ලබා ගත් මෙම බලගතු පදනම ඇත්ත වශයෙන් සභාග ආණ්ඩුව විසින් අඩපන කොට හිරිවට්ටා තිබූ පංති ව්‍යාපාරයට විශේෂ වූ ශක්තියක් හා නව පනක් පෙවී ය. ’76 වර්ජන රැල්ල තුළින් පංතිය ඇතුලත වූ මෙම නව පනගැන්වීම නොතිබෙන්නට ධනපතියන් පංති ව්‍යාපාරය හා වාමාංශික ව්‍යාපාරයට බලගතු තුවාල එල්ල කරනවා නොඅනුමානය.

මෙම ආණ්ඩුව පත්වීමෙන් පසුව මෙම රටා පද්ධතිය ස්ථාවර කිරීම ප්‍රධාන අවශ්‍යතාවයක් විය. ‘කම්කරු පංතියේ නියෝජන සභාවක්’ යන සටන් පාඨය අප ඉදිරිපත් කළේ ඒ අනුවය. මෙම උද්ඝෝෂණයේ එක් ප්‍රතිඵලයක් වූයේ ප්‍රධාන වෘත්තීය සමිති 24 ක් සමන්විත වූ නියෝජන සභාවක් ඇති වීමයි. ’77 දෙසැම්බර් මහා රැළිය පැවැත්වූයේ මෙයිනි. මෙම සභාව වැඩබිම් හා පෙදෙස් බද කොමිටි පදනම් ව සැබෑ ප්‍රජාතන්ත්‍රවාදී මධ්‍යස්ථානයක් ලෙසට වර්ධනය කරනවා වෙනුවට අවස්ථාවාදී නායකයන් එයින් ඉහළ නායකයින්ගේ කමිටුවක් වූ වෘත්තිය සමිති එක්සත් ක්‍රියාකාරී කමිටුව සාදා ගන්නා ලදී. එහෙත් මෙම කමිටුව කෙලින්ම ආණ්ඩුවේ හිතවත් පංති කොටස් හැර අන් සෑම කෙනෙක් විසින්ම වක්‍රව හෝ නියෝජනය කරන්නාවූ සභාවක් වූයේ ය. ඒ නිසාම පංතියේ බලපෑමට, ’78  සැප්තැම්බර් වන විට දී රට තුළ විවිධ දෙසින් මතු වි ආ විරුද්ධත්වයන් තුළින් එල්ල වූ පීඩනයට හසුවී සංකේත මහා වැඩ වර්ජන තීන්දුව ගනු ලැබීය. ’76 දුම්රිය වැඩ වර්ජනය සිට ගොඩ නැගුණ පංති ව්‍යාපාරයේ අවදිකම දිගින් දිගටම ගලා යමින් ආණ්ඩුවේ කප්පාදු වලට විරුද්ධව මෙම තීන්දුව කරා නායකයින් දක්කන ලදී. වෘත්තීය සමිති කප්පාදුව හා අනෙක් මර්ධන සැලසුම් ඇත්තටම ආණ්ඩුවට ඉදිරියට දමා ගන්නට නොහැකි වූ අතර සලාක කප්පාදුව ආදී සහන කප්පාදුවද, ඉඩම් වලින් ගොවීන් එලවා දැමීම ද, සිසුන්ගේ අයිතින් මර්ධනය කිරීම හා උතුරේ හා අනෙක් පෙදෙස් වල ජනයාට විරුද්ධව ඇති කළා වූ ජාතිවාදී ඇවිස්සීම් ද යන කරුණු නිසා විරුද්ධත්වය ගොඩ නැගී තිබුණි. ’78 සැප්තැම්බර් සංකේත මහා වැඩ වර්ජනය පිළිබද තීන්දුවේ බලපෑම එයයි.

මෙම සංකේත වැඩ වර්ජන සූදානම තුළ වැඩබිම් වල නායකයින්ගේ ජාතික සභාවක් කැදවීමට නායකයින්ට සිදු විය. ඇත්ත වශයෙන් ඔවුන් බලාපොරොත්තු වූයේ තමා ගත් තීන්දු වැඩබිම් වල නායකයින්ට කියා බලපෑමක් වැඩබිම් දක්වා ගෙන යෑමයි. ඒ හැර ඇත්තටම සටන් තීන්දුව උඩ සංවිධාන කිරීමට නොවේ. අනෙක් අතට මෙම නියෝජිතයින් කැදවනු ලැබුවේ ප්‍රජාතන්ත්‍රවාදී පදනමක් උඩ නොවේ.

ඔවුන් සමිති නායකයින්ගේ උවමනාව උඩ තෝරාගනු ලැබූවන් ය. එසේම එම නියෝජිතයන් වෘ.ස.එ.ක්‍රි. කමිටු‍වට සම්බන්ධ සමිති සම්මේලන වලින් පමණක් තෝරා ගන්නා ලද අතර එයට සම්බන් කරගනු නොලැබූ සමිති වලින් නියෝජිතයින් කැඳවනු ලැබුයේ නැත. එසේ වුවද පංතියේ සැබෑ නියෝජිත සභාවක් කරා යන්නා වූ අරගලයේ වැදගත් පියවරක් එද‍ා මෙයින් ගනු ලැබී ය.

එම අත්දැකීම් පදනම් කරගනිමින් අප විසින් ලියන ලද ප්‍රථම කුඩා පොත් පිංච තුළදීම අප විසින් අවධාරණය කරනු ලැබුවේ ආණ්ඩු විරෝධී අරගලයේ දී පංතියේ ඒකාබද්ධ බලය නියෝජනය කරන්නාවූ මධ්‍යම සභාවක් හා එයට සම්බන්ධ වැඩ බිම් හා ආයතන සම්බන්ධ වන්නාවූ රටා පද්ධතියක අවශ්‍යතාවයයි . ඒ වන විට වෘ.ස.එ.ක්‍රි. කමිටුවට අමතරව පංතිය ඉහළ මට්ටමෙන් පවා බෙදී විහිදී ඇති අයුරු පෙන්වමින් එම තත්ත්වයේ සිට පංතිය ප්‍රජාතන්ත්‍රවාදී ලෙස ඒකරාශී කිරීමේ පියවර ගැනීමේ අවශ්‍යතාවය ගැන බරපතන උද්ඝෝෂණයක් දියත් කෙළෙමු. ඉහලින් සමිති නායකත්වය අල්ලාගෙන සිටිනාන්වූ අවස්ථාවාදී නායකයින්ට මෙන්ම මෙම උද්ඝෝෂ්‍ණය ඇතුලත දී අපට ජනතා විමුක්ති පෙරමුණේ සුළු ධනේශ්වර දේශපාලනය සමඟද හැප්පෙන්නට සිදු විය. අවස්ථාවාදී නායකයින් එලවා දමන තුරු කිසිදු සටනකට එළඹිය යුතු නැතැයි යන ස්ථාවරය ගෙන සිටි ජනතා විමුක්ති පෙරමුණ වෘ.ස.එ.ක්‍රි.කමිටුව සටන් මධ්‍යස්ථානයක් ලෙසට සීමිත ලෙස හෝ ඉදිරියට එනවා දකිද්දී ගමන් ගත්තේ අන්ත ප්‍රතිගාමී ස්ථාවරයන් දෙසටය. කම්කරුවන්ගේ සංවිධාන ඇතුළත ඇති නිලධාරිවාදය කඩා දැමීම උදෙසා අරගලය ඇතුලත දී කළ යුතු වූ දුෂ්කර, ඉවසිලි සහගත වැඩකොටසට පිටුපා ඔවුන් ඉදිරිපත් කළ අදහස් වූයේ දැනට තිබෙන සියළු සමිති විසුරුවා හැර එක මධ්‍යස්ථානයකට රොක් විය යුතු බවය. එක වෘත්තියකට එක් සමිතියක් ගොඩ නැගිය යුතු බවය. එක මධ්‍යස්ථානයක් හා එක වාත්තියකට එක් සමිතියක් යන පංතියේ ඇත්ත උවමනාව සංයුක්ත ලෙස පවතින බෙදුන පංති ව්‍යාපාරය ඇතුලට ගෙන යනවා වෙනුවට, පවතින සමිති විසුරුවා හැරීමට යෝජනා කිරීම හා වෘ.ස.එ.ක්‍රි.කම්ටුව කඩා දැමීමට ක්‍රියා කිරීම අතිශයින්ම හානිකර අදහස් විය. එක් අතකින් එය ආණ්ඩුවේ ප්‍රතිගාමී සැලසුම් සමඟ ගැලපුන අතර, අනෙක් අතට අවස්ථාවාදී සමිති නායකයින්ට සමිති ඇතුලත තහවුරු වීමට කදිම ඉඩක් සපයා දුන්නේ ය.

අප මෙම අභියෝගයට මුහුණ දෙමින් කම්කරු පංතියේ මධ්‍යස්ථානයක් ගොඩනැගීම පිළිබද සංයුක්ත අරගලය ඉදිරියට ගෙන ගියෙමු. ආයතන හා සේවයන් අනුව ඇතිවන එක්සත්කම ද, ඒ අනුව ඒකාබද්ධ සමුළු පවත්වා නියෝජිතයින් පත් කර ගැන්ම ද වෘ.ස.එ.ක්‍රි. කමිටුව මැදහත් වී එවැනි නියෝජිතයින්ගේ මහා සමුළුවක් කැදවීම, එමගින් විධායක කමිටුවක් තෝරාගැන්මද, ප්‍රකාශණයක්, රැස්වීම් මධ්‍යස්ථානයක්, අරමුදලක් ඇති කළ යුතු බවද පෙන්වා දෙමින් පත්‍රිකා හා සම්මන්ත්‍රණ මගින් උද්ඝෝෂණය කළෙමු. මෙම අදහස් මාලාව සෑම වැඩ බිමක්ම හරහා විනිවිද යාම අවස්ථාවාදීන්ට මෙන්ම සුළු ධනේශ්වර රැඩිකල්වාදයටද බලවත් ප්‍රශ්නයක් වූ අතර ආණ්ඩුව කම්කරු පංති ව්‍යාපාරය තුළට ගෙන ආ නරුම විවේචනයට ද නිසි පිළිතුරු විය. නියෝජිත සමුළුව පිළිබද අදහස බලවත් වන්නට විය. එය එත්හැර දමා පනින්නට වෘ.ස.එ.ක්‍රි. කමිටුවට කිසිදු හැකියාවක් නොතිබිණි. මාර්තු 8-9 සමුළුවට පදනම වැටුනේ ඒ මගිනි.

You may also like...

2 Responses

  1. 2020-07-17

    […] අසූවේ අරගලයේ අත්දැකීම් (1980) […]

  2. 2020-07-19

    […] සටහන – 1980 මහා වැඩවර්ජනයේ අත්දැකීම් පිලිබඳ මෙම ලිපි මාලවේ දෙවන කොටසෙන් වික්‍රමබාහු කරුණාරත්න සහෝදරයා සාකච්ඡා කරන්නේ ඓයින්ද්‍රීය පංති අරගලය විප්ලවකාරී මාවයත් ගැනීමේ විභවය ගැනයි. ඕනෑම මහා වැඩවර්ජනයක් එය ඇති වීමේ හේතු-සාධක තුළම දේශපාලන වැඩ වර්ජනයක ස්වාභාවය ගනු ලබන බව ඉතිහාසය අපට උගන්වයි. නමුත් වික්‍රමබාහු සහෝදරයා මේ සාකච්ඡාව ඉදිරිපත් කරන්නේ එවන් වූ වියුක්ත න්‍යායක් තහවුරු කිරීමේ විලාශයෙන් නම් නොවේ. ඒ වෙනුවට 1980 මහා වැඩවර්ජනය සංයුක්ත අරගලයක් ලෙස ගෙන ඒ තුළ මතුවුනා වූ දේශපාලන අභියෝගයන් සංයුක්ත ලෙස ඉදිරිපත් කිරීමේ ආකාරයෙනි. එදා ධනපති පාලකයන් විසින් මේ මහා සටන දේශපාලන අරගලයක් ලෙස ගෙන එයට මුහුණ දුන් ආකාරයත්, ඒ දේශපාලන අභියෝගය ඉදිරියේ සුළු ධනේශ්වර රැඩිකල්වාදයත්, අවස්ථාවාදී කම්කරු පක්ෂ හා වෘත්තීය සමිති නායකයන් මේ දේශපාලන අරගලය මඟහැරීමට ගත් වැර වෑයම් නිසා සටන වර්ධනය වී ඉදිරියට යෑම ඇනහිටි ආකාරයත් පිළිබදව සවිස්තරාත්මකව පැහැදිලි කිරීමක් මේ දෙවන කොටසේ එයි. එසේ වෘත්තීය අරගලයේ සීමාවන් තුළ සිටිමින් කළ හැක්කේ ජයග්‍රහණයක් අත් කර ගැනීමේ ප්‍රීතිය භුක්ති විදින්නන් බවට පත් වීම නොව; පාවාදෙන්නන් බවට පත් වීමේ අවමානයත්, සංවිධාන ශක්තින් බිද වැටීමේ ශෝකාලාපයත් බව අපට කියා දෙයි. ලිපි පෙලේ පළමු ලිපිය – අසූවේ අරගලයේ අත්දැකීම් […]

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.