පුද්ගලික අංශ කම්කරුවාගේ කොරෝනා ශේෂ පත්‍රය

සේයා - අන්තර්ජාලයෙන්

ඉකුත් මැයි මස දී  පුද්ගලික අංශ කම්කරුවන්ගේ රැකියා, වැටුප් හා දීමනා පිළිබඳව සේව්‍ය සම්මේලනය, කම්කරු ඇමතිවරයා සහ වෘත්තීය සමිති අතර එළඹී එකඟතා ඉදිරි මාස තුනේද ඉදිරියට ගෙනයාමට නියමිතය. කම්කරුවන්ගේ වැටුපෙන් සියයට පනහක් හෝ රුපියල් 14,500 ක් ලබා දීම අදාල ත්‍රෛපාර්ශවිය එකඟතාවයි. ඊට අමතරව සේවයට වාර්තා කළ දින අනුව සැකසෙන වැටුප් සූත්‍රයකි. සාකච්ජාවන්ට එක්වූ වෘත්තීය සමිති නියෝජිතයෝ සතියක් ගත වන්නට මත්තෙන් නිවේදන, මාධ්‍ය හමු හරහා කියා සිටියේ ලිඛිත ගිවිසුමක් නොමැති වුවද අදාළ එකඟතා ක්‍රියාත්මක කිරීමට සේව්‍ය සම්මේලනය අපොහොසත් වුවා සේම අදාළ එකඟතාද බිඳ දැමු බවය. කම්කරු ඇමතිවරයාට අනුව එම එකඟතා ඓතිහාසික ගිවිසුමක් වූ අතර සේව්‍ය සම්මේලනයට අනුව එය ඓතිහාසික ඩීල් එකකි. කෙසේ වෙතත් කොළඹ දී  එළඹුණු මේ එකඟතා කටුනායක, බියගම, කොග්ගල හා කඳුකරයේදී කොන්දේසි විරහිතව බිඳ වැටුණි. වැටුප් කප්පාදුව හා සේවයෙන් ඉවත් කිරීම් හෝ  සේවයට නොකැඳවීම ඇතුළු තවත් කාරණා හේතුවෙන්  කම්කරුවෝ මහ මඟ අසරණ  වූහ. කඳුකරයේ දී පිඩිත වතු කම්කරුවාගේ ද  වැඩ කෙරෙන දින ගණන්  කප්පාදු කිරීම හේතුවෙන් ඔවුන් අත රැඳුනේ සොච්චමකි.

1978 දී කටුනායක ඇරඹි ස්මාර්ට් ෂර්ට් ලංකා සමාගම මේ වන විට කටුනායකට අමතරව හුන්නස්ගිරිය, කොටදෙණියාව, ආරගම, කටාන කර්මාන්තශාලා අටක සමස්ත කම්කරු සංඛ්‍යාව 10,000 කි. කම්කරුවන්ගේ රැකියා සුරක්ෂිත බව ගැන සහතිකයක් ලබා නොදෙන ස්මාර්ට් ෂර්ට් ලංකා පාලකයෝ  මූලික වැටුපෙන් අඩක් ගෙවමින්, සේවා කාලය මාස තුනක් ඉක්ම නොවූ හා වයස අවුරුදු පනහ ඉක්මවූ කම්කරුවන් සේවයෙන් ඉවත් කරමින් සිටි. එම සංඛ්‍යාව දැනට දහසකට ආසන්නය.  චිෆ් වේ  සමාගම  කම්කරුවෝ 150කට සේවය ලබා දීමට කැමැත්තක් නොදක්වා ඇත්තේ ඔවුන්ගේ  අප්‍රියෙල් මස වැටුපද අහිමි කරමින්ය. හයිඩ්‍රාමනී ආයතනය ද  වයස අවුරුදු පනහ ඉක්මවූ කම්කරුවෝ සහ අවුරුද්දක කාලයක් සම්පුර්ණ නොකළ කම්කරුවෝ ඉවත් කර ඇත්තේ කිසිදු හේතුවක් නොදන්වාය. ස්ටාර් ගාමන්ට්  අවුරුදු  උත්සව දීමනා කපා දමා  කම්කරුවන්ගේ  වැටුපෙන්  අඩක්  පමණක් ගෙවා දමන විට   ස්ක්‍රීන් ලයින්  කම්කරුවෝ  65 කගේ සේවයට තිත තැබිණි. කම්කරුවෝ 40 දෙනෙකුගේ සේවය අත්හල මීගමුව තලාහේන ස්කයි වේ සී ෆුඩ්ස්  සමාගම සෙසු කම්කරුවන්ට ස්වෙච්ජාවෙන් සේවයෙන් ඉවත් වන ලෙස දන්වා සිටියේ වන්දි ලබා දෙන පොරොන්දු අනුවය. යක්කල, ඒකල සහ කෑගල්ල පිහිටි මෙයට පෙර පොලිටෙක්ස් නම් වූ එස්වෙල් සමාගම ස්වෙච්ජාවෙන් ඉල්ලා අස්වීමේ ක්‍රමයක් හඳුන්වා දුන් අතර යක්කල කම්හලේ කම්කරුවෝ  300 කට වැඩි පිරිසක් ඒ යටතේ ඉවත් වූහ. ඉතිරි කම්කරු පිරිස ඒකල කර්මාන්ත ශාලාවට අනුයුක්ත කළ පාලකයෝ යක්කල කර්මාන්ත ශාලාව වසා දැමුහ. වැඩ කරන මුළු කම්කරු සංඛ්‍යාව දෙදහසක් වූ බියගම ස්ට්‍රෙච් ලයින් සමාගමේ  ස්වේච්ජාවෙන් සේවයෙන් ඉවත්වීමේ ක්‍රමය යටතේ 600 ක් දෙනා ඉවත් විය. වත්තල පිහිටි සුමිත්‍ර හසළක සමාගම කම්කරුවන් 400 ක් ඉවත් කරන විට පයාගල ජේ:ජේ  ගාමන්ට්ස්  ඉවත් කළ කම්කරුවෝ ගණන 100 ඉක්මවීය. කම්කරුවන් හාරසියයක් දෙනා සේවයේ නිරත  හම්බන්තොට මිරිජ්ජවිල කේන් ඇපරල් සමාගම දැනුම් දීමකින් තොරවම දොරගුළු දැමිණි. ඇණවුම් නොමැති කමින් කම්කරුවන්ට වන්දියක් පවා ගෙවීමට නොහැකි බව කේන් ඇපරල් පාලකයෝ පසුව කියා සිටියහ.

වෘත්තීය සමිති ශක්තිමත් හා ක්‍රියාශීලි මෙන්ම සේව්‍ය – සේවක දෙපාර්ශය අතර සාමුහික ගිවිසුම්  ක්‍රියාත්මක බොහෝ සමාගම් වල මෙම තත්වය යම් ප්‍රමාණයකට යහපත් ය. එහෙත්  ඇතැම් පුද්ගලික සමාගම් වල වෘත්තීය සමිති ක්‍රියාධරයන් යළි සේවයට කැඳවීමට පාලකයෝ  සුක්‍ෂම ලෙස කර ඇරිණි. ඒකල ජිනසේන ප්‍රයිවෙට් සමාගමේ කළමණාකාරිත්වය විසින් ලංකා වෙළඳ කාර්මික  හා පොදු කම්කරු සංගමයේ ශාඛාවේ සභාපති, ලේකම් සහ උප සභාපති යළි සේවයට කැඳවා නොමැත. කටුනායක එල් ස්ටීල් සමාගම ද වෘත්තීය සමිති නියෝජිතයන් අරඹයා දියත් කර ඇත්තේ  මෙවැනිම වැඩපිළිවෙලකි. එක් අතකින් එය වෘත්තීය සමිති ක්‍රියාකාරිත්වය අඩපණ කිරීමේ දැනුවත් ක්‍රියාවක් ද විය හැකිය. මෙවැනි  දේ ගෙවී ගිය මාස  කීපය  තුළ පුද්ගලික අංශයේ වැඩකරන ජනයා මුහුණ පෑ අසීරු දෑ පිළිබදව වෘත්තීය සමිති විසින් කම්කරු කොමසාරිස්වරයාට යොමු කළ කටුක යතාර්ථයෙන් බිඳකි. ඉදිරියේ දී මෙම තත්වය වඩාත් තීව්ර වනු නිසැකය.

මෙවැනි දුෂ්කර තත්වයන් යටතේ කටුනායක නිදහස් වෙළඳකළාප කම්කරුවන් වෙනුවෙන් තමන්ට හැකි පමණින් සුභ සාධන කටයුතු වල නියැළුණු චමිලා තුෂාරිගේ “ඩාබිඳු සාමුහිකය”, අශිලා දන්දෙනියගේ “ස්ටෑන්ඩඩ් මුමන්ට්”, පද්මිණි වීරසිංහගේ “ශ්‍රමිකා ස්ත්‍රී මධ්‍යස්ථානය” ට ප්‍රශංසාව හිමිවිය යුතුය.

අදාළ ඓතිහාසික ත්‍රෛපාර්ශවික ගිවිසුම්, එකඟතා, සම්මුති වලින් පසුවද මේ කටුක යථාර්ථයේ වෙනසක් දකින්නට නොමැති තරම්ය. කම්කරු  ඇමැතිවරයා ම පවසන පරිදි  කොරෝනා වසංගතය  හමුවේ බිඳ වැටුනු ආර්ථිකය නංවාලන්නට සමාගම් හිමියන් ඉල්ලන මුල්‍ය සහන ලබා දීමට රජය අසමත්ය. එහෙත් සිය සාමාජිකයන් සඳහා උපරිම සහන ලබා දෙන්නට සේව්‍ය සම්මේලනය මහත් වෙහෙසක් දරමින් සිටී. එවන් වටපිටාවකදී  කෙතරම් එකඟතාවයන්ට පැමිණියද  අවසානයේ සියළු බර පැටවෙන්නේ කම්කරු ජනයා මතය. 

ඉෂංඛා සිංහආරච්චි

සබැදි ලිපි

You may also like...

Leave a Reply

Your email address will not be published.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.