තවත් මාස හයක් පඩි බාගෙන් ජීවත් වෙන්න බෑ – CMU සටනේ

සේයා - මුහුණු පොතෙන්

රැකියා සහ කම්කරු සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන වෙත ජුනි 12 සිකුරාදා ලිපියක් භාර දෙමින් ලංකා වෙළද, කාර්මික සහ පොදු කම්කරු සංගමය (CMU) අවධාරණය කර ඇත්තේ ඉදිරි මාස සදහා සේවකයන්ට සියයට පනහක් හෝ රුපියල් 14,500 ක් ගෙවීම සදහා සේවායෝජකයන් විසින් කරන ලද යෝජනාවකට දැඩි විරෝධය පළ කරන බවයි.

මෙහිදී තමන් සමඟ ‘ත්‍රයි පාර්ශවීය ගිවිසුමක්’ ඇති කරගත් බවට ලංකා සේව්‍ය සම්මේලනය (EFC) විසින් අසත්‍ය ප්‍රකාශයන් සිදු කරමින් චක්‍රලේඛ නිකුත් කිරීම පිළිබඳව සිය අප්‍රසාදය පළ කරන ලංකා වෙළද, කාර්මික සහ පොදු කම්කරු සංගමයේ ප්‍රධාන ලේකම් සිල්වෙස්ටර් ජයකොඩි, එසේ ඇති කර ගත්තා යැයි ඔවුන්ම කියන ගිවිසුමේ කොන්දේසි පවා ලංකා සේව්‍ය සම්මේලනයේ සාමාජිකයන් ඇතුළු සේව්‍යයන් ගණනාවක් විසින් උල්ලංඝණය කර ඇති බව තමන් කලින් පෙන්වා දුන් බව සිහිපත් කරයි.

මෙම චක්‍රලේඛය යොදා ගනිමින්, පාලකයන් විසින් මේ වන විටත් ගෙවමින් සිටි වැටුප් පවා කප්පාදු කිරීමට පියවර ගෙන ඇති බව තමන් වෙත වාර්තා වන බවද තමන් ජූනි 11 දින පැවති කාර්ය සාධක බළකායේ රැස්වීමේදී ප්‍රකාශ කළ බව හෙතෙමේ සිහිපත් කරයි.

එමෙන් ම මාර්තු අප්‍රේල් මාස වල පැවැති  තත්ත්වයට වඩා වෙනස් ලෙස කර්මාන්තශාලා සහ ආයතන සිය සාමාන්‍ය කාර්යයන් ආරම්භ කළ තත්වයක්  තුළ පවා ස්වාමි සම්මේලනය ය තවත් මාස දෙකකට රුපියල් 14.500  හෝ වැටුපින් 50% ගෙවීමට අනුමැතිය ලබා දෙන ලෙස කරන ඉල්ලීම සේවයන්ගේ ජීවිත පැවැත්මේ මූලික අවශ්‍යතා පවා නොතකන, හුදෙක් ම ලාභ සඳහා වන පාලකයන්ගේ සංයුක්ත කෑදරකම මැනවින් පෙන්වා දෙන්නක් බව උක්ත ලිපිය ‍මගින් ඔහු පෙන්වා දී ඇත.

මෙම රැස්වීමේදී “කර්මාන්ත හිමියන්ගේ සංගමයක් වෙනුවෙන් යෙහාන් ලෝරන්ස් මහතා කියා සිටියේ එය දෙසැම්බර් මාසය දක්වා තවත් මාස 6 කට දීර්ඝ කළ යුතු බවයි.”

ඒ පිළිබඳව සිය සංගමය එකඟ නොවන බව ඉතා පැහැදිලි ව දන්වා සිටි බව මේ වෘත්තිය සමිති නායකයා නැවත වරක් අමාත්‍යවරයාට අවධාරණය කර තිබේ.

එසේම ස්වාමි සම්මේලනය විසින් මැයි ජුනි මාසවල දහස් ගණන් සේවකයන් සේවයෙන් පහ කිරීම හා වෘත්තීය සමිති ක්‍රියාධරයන්ට රැතියාව නොදීම පිළිබඳවද, තොරතුරු ඇති බැවින් ඒ සම්බන්ධයෙන් වහාම කම්කරු කොමසාරිස්වරයා විසින් කටයුතු කළ යුතු බවත් ඔහු සිහිපත් කර සිටී.

කම්කරු ඇමතිවරයා අමතන තම ලිපිය මගින් ජූලි මස සිට සම්පූර්ණ වැටුප් සියලුම අදාළ සේවකයන්ට ගෙවිය යුතු බව අවධාරණය කරන ඔහු, එසේ වැටුප් ගෙවා යම් කර්මාන්තයක් පවත්වාගත නොහැකි බව කියන්නේ නම් එම අසාර්ථක ආයතන කම්කරු පාලනයට භාර දෙන ලෙස ඉල්ලා සිටින අතර, හැකි ඉක්මණින් ජාතික කම්කරු උපදෙශක සභා රැස්වීමක් (NLAC) කැඳවන ලෙස ද ඉල්ලීමක් කරයි.

මොකක්ද මේ වෙන්න යන්නේ?

මෙම තත්වය පිළිබඳව බැලීමේදී රජය කර ඇත්තේ හුදෙක් සේව්‍යයන්ට හා සේවකයන්ට ගැටළුවට පිළිතුරු සෙවීම භාර දී, සාකච්ඡා වේදිකාවක් ගොඩ නැගීම පමණක් දැයි යන ගැටළුව මතු වේ.

දිවයිනේ සමස්ථ ආර්ථිකයට බලපාන ගැටළුවකදී රජය විසින් පුළුල් මැදිහත් වීමක් කර සේව්‍ය සේවක දෙපාර්ශවයටම සහන ලබා දී කර්මාන්ත ශක්තිමත්ව ඉදිරියට ගෙන ඒමට කටයුතු කළ යුතුය.

එක අතකින් ලාභ නොමැතිව සිය ප්‍රාග්ධනය සහන වැඩ සඳහා ව්‍යාපාර හිමියන් යොමු කරතැයි කල්පනා කිරීමට නුපුළුවන. අනෙක් අතෙන් හුදෙක් ප්‍රාග්ධනයට පමණක් ආර්ථිකය ගොඩ නැගිය නොහැකි අතර ශ්‍රම බලකාය රැක ගැනීමට කටයුතු නොකරන්නේ නම් ව්‍යාපාර වලට මොන සහය දුන්නද රටේ ආර්ථිකයට වෙන සෙතක් නම් නැත.

මෙහිදී ඕනෑම කෙනෙකුට මතුවන සාධාරණ සැකය නම්, සියලුම සේවකයන් සේවා මුර ක්‍රමයට හෝ රැකියාව සඳහා ගෙන්වා ගැනීමට හැකියාව තිබියදී, පාලකයන් විසින් තෝරා ගත් පිරිසක් – එනම් කම්කරු නායකයින් මාස ගණනාවක් පඩි බාගෙට ගෙදර තබා ක්‍රමයෙන් ඔවුන් සිය ආයතන තුළින් ඉවත් කිරීමේ ඉලක්කයක් ඇතිව ක්‍රියා කරන්නේ ද යන්නයි.

රජයේ නිෂ්ක්‍රීය භාවය මෙයට උඩගෙඩි දීමක්ද යන සාධාරණ සැකයද යමෙකුට මතුවීමට හැකිය.

ඉදින් මෙම තත්වය තුළ වෘත්තීය සමිති විසින් කර්මාන්තශාලා තමන් අතට ගැනීමේ සටන් පාඨය කරළියට නැංවීම දක්වා දිව යෑම නොනැවැත්විය හැක්කකි.

සබැඳි ලිපි

ලංකා වෙළද, කාර්මික සහ පොදු කම්කරු සංගමය විසින් පසුගිය ජුනි 12 දින, රැකියා සහ කම්කරු සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන වෙත භාර දුන් ලිපිය පහතින් දැක්වේ.

New-Document-25

You may also like...

1 Response

  1. 2020-09-03

    […] * තවත් මාස හයක් පඩි බාගෙන් ජීවත් වෙන්න බ… […]

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.