කම්කරුවන්ට කැරළි ගහනව හැර වෙන දෙයක් කරන්න නැති වේවි!

සේයා - ෆේස්බුක්

–          අනාගතය කියන තරම් සොදුරු නෑ – ලෙස්ලි දේවේන්ද්‍ර
–          කම්කරුවන්ට කැරළි ගහනව හැර වෙන දෙයක් කරන්න නැති වේවි – ඇන්ටන් මාකස්
–          මුන්ට ගහන්නේ නැතිව හොද හිතින් මුකුත් ලැබෙන එකක් නෑ – සිල්වෙස්ටර් ජයකොඩි
–          ඡන්දය නිසා කම්කරු අරගල නවත්තන්න මර්ධනය ගෙනේවි – සුරංජය අමරසිංහ

කෝවිඩ් 19 ගෝලීය වසංගත රෝග තත්ත්වය මත විශේෂයෙන් ඇගලුම් කර්මාන්තය, හෝටල් හා ආපන ශාලා ඇතුළු පෞද්ගලික අංශයේ සේවක පිරිස් තමන්ගේ රැකියා සුරක්ෂිත භාවය හා සේවා අයිතිවාසිකම් සම්බන්ධයෙන් මුහුණ දී සිටින අවදානම් තත්ත්වය පිළිබදව පැහැදිලි කිරීම සඳහා, ක්ෂේත්‍රයේ වෘත්තීය සමිති ගණනාවක් එක්ව මෙම ජූලි 02 වැනිදා, ලංකා වෙළද, කාර්මික සහ පොදු කම්කරු සංගම් (CMU) කාර්යාලයේ දී ජනමාධ්‍ය සාකච්ඡාවක් කැඳවා තිබුණි.

එහි දී පවතින අවිනිශ්චිත තත්වය පිලිබදව නිදහස් සේවක සංගමයේ ප්‍රධාන ලේකම් ලෙස්ලි දේවේන්ද්‍ර, නිදහස් වෙළද කලාප සහ පොදු සේවා සේවක සංගමයේ ප්‍රධාන ලේකම් ඇන්ටන් මාකස්, ලංකා වෙළද කාර්මික සහ පොදු කම්කරු සංගමයේ ප්‍රධාන ලේකම් සිල්වෙස්ටර් ජයකොඩි, වාණිජ හා කාර්මික සේවක සංගමයේ ප්‍රධාන ලේකම් සුරංජය අමරසිංහ ඇතුළු වෘත්තීය සමිති නායකයින්, කර්මාන්ත ක්ෂේත්‍ර කිහිපයක මිලියනයකට අධික සේවක සේවිකාවන් ගේ අදුරු වලාවන් අරක්ගත් අවිනිශ්චිත හෙට දවස පිළිබදව සංකා මතු කළේය.

මේ අතර කොරෝනා නීති යොදා ගනිමින් සේවකයන් ඒකාරාශී වීම් වැළැක්වීමට ද පියවර ගනිමින් තිබෙන බවත් ඔවුන් පෙන්වා දුන්නේ ය.

අනාගතය කියන තරම් සොදුරු නෑ – ලෙස්ලි දේවේන්ද්‍ර

“අපි පසුගිය මැයි 11 වැනි දා මේ ගැඹුරට කා වැදුන ප්‍රශ්නයේ උඩට එමින් තිබුණු තත්ත්වයන්ට යම් උත්තරයක් හොයන්න යි අපි වෙහෙසුනේ. මේ මොහොතේ අපේ වෘත්තීය කේවල් කිරීමේ ශක්තිය දුර්වල උවත්, ගන්න පුළුවන් උපරීම සහනය ගන්නයි මහන්සි වුනේ. තත්වය හොද වුනොත් වැඩිය ලැබෙයි. තත්වය දරුණු උනොත් අපිට පිළිගන්න වෙනවා ඒකත්. එතකොට ජූනි අග වෙන කොට මොන විදියේ යෝජනා පාලකයන් ගෙන ඒවිද දන්නේ නැහැ. මේ වෙලාවේ දරා ගන්න පුළුවන් විකල්පයක් විදියට පිලිගැනුනේ ගෙදර තිබ්බත් සේවකයන්ව වැටුපක් ගෙවීමේ තැනට ගේන එක. කොටස් වශයෙන් මාරුවෙන් මාරුවට වැඩ කිරීමේ ක්‍රමයක් ගැන එකඟ වුනා. ප්‍රශ්නය වුනේ වැඩ කරන අයට හා නොකරන අයට ගෙවන පදනම මොකක්ද කියන එක. වැඩ කරන අයට වැඩ කරන කාලයට නියමිත වැටුප ගෙවන්නත්, නැති අයට අවම ලෙස 14,500/- ගෙවන්න. ඒකත් නොපිලිගත්ත හාම්පුතුන් ඉන්නවා. විශේෂයෙන් පොඩි පොඩි තැන්වල. මේ විස්තර ඔබ කව්රුත් දන්නවා. ඒත් මේක මාස දෙකක එකඟත්වයක් විතරයි. ඕඩර්ස් නැතිනම්, සංචාරකයෝ නැතිනම් මාස දෙක ගත වුනාට පස්සේ – තව සති හතරයි තියෙන්නේ මාස දෙක ගෙවෙන්න – එතකොට කොරෝනාවට වඩා දරුණු ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්. ලක්ෂ ගාණක් රස්සා නැති වෙයි! ”  යි නිදහස් සේවක සංගමයේ ප්‍රධාන ලේකම් ලෙස්ලි දේවේන්ද්‍ර කියා සිටියේ ය.

ඔහු තවදුරටත් අදහස් දක්වමින් “හේතු රාශියක් නිසා, වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ගන්න තත්ත්වයක් තිබුනේ නෑ. විශේෂයෙන් ඇදිරිනීති සමයේ සම්ප්‍රදායික වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ගන්න බැරි වුනා. දැන් අනෙක් ප්‍රශ්නය තමයි කොන්ත්‍රාත් හා ආදේශක සේවකයන් මේ ගිවිසුමට අයත් නැති බව හාම්පුතුන් කියනවා. අපි ඒකට එකඟ නෑ. අපි වෙන් කිරීම්, වර්ග කිරීම් වලින් තොරව පොදුවේ ‘සේවකයින්’ කියන පදනම මතයි එකඟත්වයට ආවේ. ඒත් මේවා ඊලඟට එකඟතාවය අර්ථකථන කිරීමේ ප්‍රශ්න බවට පත් වෙනවා. මාස දෙක ඉවරවෙලා ඊලගට වෙන්නේ මොකද්ද? කියන එක ඇතුලේ මේ ප්‍රශ්න අලුත් තලයක ඉදිරිපත් වේවි. අනාගතය හිතන තරම් සොදුරු නෑ. මීට වඩා නරක තත්ත්වයන් ආවත් අපි ඒවාට මුහුණ දෙන්න සූදානම් වෙන්න ඕනා. ජාතික කාර්ය සාධාක බලකායේ කම්කරු ප්‍රශ්න වෙනුවෙන් ඉන්නේ කම්කරු කොමසාරිස් විතරයි. ඒ නිසා ඒ ප්‍රමාණයට එතැනදී කම්කරු ප්‍රශ්න ඉදිරිපත් වෙන එක සීමා වෙනවා” යි ප්‍රකාශ කර සිටියේය.

කම්කරුවන්ට කැරළි ගහනව හැර වෙන දෙයක් කරන්න නැති වේවි – ඇන්ටන් මාකස්

කම්කරු කාර්ය සාධක බලකායේ සාකච්ඡා තුළ දී තම සංගමය දැඩි ලෙස පෙනී සිටි ස්ථාවරය වූයේ කොවිඩ් 19 හේතුකොට ගෙන කිසිම සේවකයෙක් ඉවත් නොකළ යුතුය යන්න බව පොදු සේවා සේවක සංගමයේ ප්‍රධාන ලේකම් ඇන්ටන් මාකස්ගේ අවධාරණය විය. “ලක්ෂ 09 ක් පමණ වන අපනයන කර්මාන්ත සේවක සේවිකාවන්ගෙන් 60% ක් ඉවත් කරන්න තමයි හාම්පුතුන්ගේ යෝජනාව උනේ. ඒ යෝජනාව ඉවත් කරගන්න අපිට හැකිවුන එක මේ වෙලාවේ හැටියට ලත් ජයග්‍රහණයක්. ඇදිරිනීති කාලයට වැටුප් ගෙවන්න බෑ කියපු යෝජනාව වගේම අපිට පුලුවන් වුනා ඒ කාලයට සේවකයන්ගේ නිවාඩු කැපීමත් නවත්තන්න. ඒ විදියට බැලුවම ඇතිවෙන්න ගිය හානිය අවම කරගන්න මේ වෙලාවේ පුලුවන් වුනා. හොදම දේ නොවේ. නරක අඩුකරගන්න එක තමා කරන්න පුලුවන් වුනේ” යි ඔහු පෙන්වා දුන්නේ ඉතාම අරාජික ලෙස ඒ ඒ හාම්පුතුන් තම තමන්ට කැමති කැමති පරිදි සේවකයන් පිළිබදව තීන්දු ගැනීම වලක්වා යම් පමණකට හෝ සිදුවන දේ පෙනෙන තත්ත්වයකට ගෙන ඒමට මේ එකගත්වය ට හැකි වූ බවයි.

“ නමුත් හාම්පුතුන් කවදත් කරන විදියට මේ සම්මුතියෙන් සේවකයන්ට ලැබෙන වාසියෙන් ගැලවෙන්න අලුත් අලුත් උපක්‍රම පාවිච්චි කරනවා. ස්වේච්ඡාවෙන් ඉල්ලා අස්වීමේ ක්‍රමය එකක්. ඒක මඟින් සේවකයන් ප්‍රමාණයක් ඉල්ලා අස්වෙන තැනට බලපෑම් කරල ඊලඟට ආයතනය පවත්වාගෙන යන්න සේවක ප්‍රමාණය මදි කියල ආයතනය වහනව. වෘත්තීය සමිති සුද්ද කරන්න පටන් අරන්. වැඩට කැදවන අය අතරට වෘත්තීය සමිති ක්‍රියාධරයන් ඇතුලත් කරන්නේ නෑ, එලියේ තියල අර 14,500 ගෙවනව. ඒ විදියට මේක වෘත්තීය සමිති දිය කරන්න පාවිච්චි කරනවා. මේ මාස දෙක ඉවර වෙනකොට – තව සති තුනකින් යලිත් කතා කරන කොට හාම්පුතුන් ගේ යෝජනා මොනව වේවිද කියන්න බෑ.” යි ඇන්ටන් මාකස් මේ පෙන්වා දෙන්නේ කෝවිඩ් 19 මත ඇති වී තියෙන වෙළදපල අවපාත තත්ත්වය යලි තුලනයකට එන තෙක් කම්කරුවන්ගේ සංවිධාන බලය එයට සාපේක්ෂව පහලට වැටෙන බවයි. එවන් තත්ත්වයක් තුළ වෘත්තීය සමිති වලට සම්ප්‍රදායික වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ගත නොහැකි තත්වයක් මතු වූ කල්හි, උදාහරණයක් ලෙස වැඩ වර්ජන ක්‍රියාමාර්ග හාම්පුතුන්  විසින්ම ඉල්ලා සිටින කල්හි උත්තරය කුමක්ද යන්න ය.

පවතින කම්කරු නීති කිසිවක් වෙනස් වී නොමැති බවත්, ඒ අනුව වන්දි නොගෙවා සේවය අහෝසි කිරීම කළ නොහැකි මුත්, අද වන විට කම්කරු දෙපාර්තමේන්තුව එම නීති ක්‍රියාත්මක කරන තැනක සිටින්නේද යන්න අභියෝගයක් බවට පත් වී ඇති බව මේ බොහෝ වෘත්තීය සමිති නායකයන්ගේ අදහස් දැක්වීම් වල පසුබිමේ පවතින අයුරු ප්‍රකට වූයේ ය.

ඇන්ටන් මාකස් තම අදහස් දැක්වීම නිමා කරමින් කියා සිටියේ “පාලකයන් හිතනව නම් තම තමන්ට ඕන දේ කරන්න, අපිටත් ඒ විදියට අපේ වැඩ කරන්න සිද්ද වේවි. මේ තත්ත්වය ඉදිරියට යනවා නම් මේ රටේ කම්කරුවන්ට කැරලි ගහනව හැර වෙන කරන්න දෙයක් නෑ. කම්කරු දෙපාර්තමේන්තුව නීති ක්‍රියාත්මක කරන්නේ නැහැ. ඇමති කියන එක කරන්නේ නැහැ. මේ සම්මුතිය ඉදිරියට යන්නේ නැත්නම් තත්ත්වය ඉතා බියකරු වේ වි.” යනුවෙනි.

මුන්ට ගහන්නේ නැතිව හොද හිතින් මුකුත් ලැබෙන එකක් නෑ – සිල්වෙස්ටර් ජයකොඩි

පොදු කම්කරු සංගමයේ ප්‍රධාන ලේකම් සිල්වෙස්ටර් ජයකොඩි මෙහිදී අදහස් දක්වමින්, “මේ වෙලාවේ කම්කරුවන්ට එරෙහිව ලෝක පරිමාන මර්ධනයක් මර්ධනයක් යමින් තියෙනවා. මියන්මාරයේ අයිතීන් කථා කළාම සමිති නායකයන් හිරේ දාන තත්ත්වයක් තිබෙන්නේ. සංවිධානය වී නැති කම්කරුවන්ගේ ආරක්ෂාව විශාල ප්‍රශ්නයක්. අපි ඒ ගැනත් වැඩ කරන්න ඉදිරියට එන්න ඕනා. මේ එකඟත්වය ගැන වැඩ කරන හැටි බැලුවම පේන දේ තමයි මුන්ට ගහන්නේ නැතිව අන්තිම වශයෙන් හොඳ හිතින් මුකුත් ලැනේනේ නැති එක. ඒ නිසා අපි වෘත්තීය සමිති කථා කරල සටන් තීන්දු ගන්න වෙනවා දැන්. ඒ සදහා අපි ශක්තිමත් වෙන්න ඕනා. ඇමතිවරයා සංවේදී කෙනෙක් වෙන්න පුලුවන්. ඒත් එයා නොවේ එදිනෙදා ගනුදෙනු කරන්නේ නිලධාරීන්. තීරණ ගන්නේ ඒ අය. මේ යන විදියට කොරෝනා ඉවරවෙන කොට 50% ක් වත් සේවයට කැඳවන එකක් නැති වෙන්න පුළුවන්. එයටත් වඩා වෘත්තීය සමිති ක්‍රියාධරයන් ඉලක්ක කරලම සේවයට කැඳවන එක නවත්තන්න පුළුවන්. හාම්පුතුන්ට කෝවිඩ් කියන්නේ දේව වරමක් වගේ වෙන්නයි යන්නේ ඒ විදියට බැලුවම” යි ප්‍රකාශ කර සිටියේය.

ඡන්දය නිසා කම්කරු අරගල නවත්තන්න මර්ධනය ගෙනේවි – සුරංජය අමරසිංහ

මේ තත්ත්වය සම්බන්ධයෙන් අදහස් පළ කළ වාණිජ හා කාර්මික සේවක සංගමයේ ප්‍රධාන ලේකම් සුරංජය අමරසිංහ පෙන්වා දුන්නේ නිරෝධානයන පනත යටතේ කම්කරු උද්ඝෝෂණ දැඩි මර්ධනයන්ට ලක් කිරීමට ඉදිරියේ දී පියවර ගනු ඇති බවයි. ඒ සඳහා යොදා ගෙන සිටින්නේ මූලික ලෙස හමුදා-පොලිස් නිලධාරීන් බවත්, දශ ලක්ෂ සංඛ්‍යාත සංවිධිත කම්කරු පංතියේ එකම නියෝජිතයකුවත් මේ තීන්දු ගන්නා ජාතික කාර්ය සාධක බලකා වල නැති බවත් පෙන්වා දුන් හෙතෙමේ කියා සිටියේ එවන් මර්ධනයකට වැඩකරන ජනතාව ලක් වුවහොත් රටේ ප්‍රජාතන්ත්‍රවාදය විශාල අභියෝගයකට ලක් වන බවයි.

“කොරෝනා මත්තේ ඇමරිකානු පාලකයන් තමන්ගේ බලය ලෝකයට පාන්නට ගියාට එක සිද්ධියකින් මුලු රටම නැගී සිටල තියෙනවා. ඒකේ පුද්ගල ඝාතනයක් පිලිබද සිද්ධියක් නිමිත්ත බවට පත්වෙලා තිබුනත්, මේ ජනතා නැගිටීම විරක්ෂිත බව, ජීවන රටාවන් කඩා වැටීම, වියරු ජනාධිපතිවරයෙකුගේ අත්තනෝමතිකත්වය හේතුවෙන් වර්ධනය වන ජනතා අසහනයේ ප්‍රකාශනයක් ලෙස පැතිරී යන” බවත්, එය අද ජාත්‍යන්තර අරගලයක් බවට වර්ධනය වෙමින් පවතින බවත්, ඔහු කියා සිටියේ ය.

ඔහු දක්වන අදහසේ අරුත වන්නේ ජනතාව පමණ ඉක්මවා පීඩාවට පත් කෙරෙන්නේ නම්, කාලය දේශය ද්වීපය ඉක්මවා පීඩකයන් නොසිතූ විරූ පුපුරා යෑම් ජනතාව අතරින් මතු විය හැකි බවය.

සබැදි ලිපි

You may also like...

4 Responses

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.