රජයේ සේවකයන්ගෙන් පරිත්‍යාග ඉල්ලන්න ජනාධිපති ලේකම් පී.බී.ජයසුන්දරට කිසිම අයිතියක් නෑ

(D.M.D. අබේරත්න, සභාපති – ආණඩුවේ කම්කරු සමිති සම්මේලනය හා දුම්රිය සේවක සංගමය)

වැටුප් විෂමතා ඉවත් කිරීමේ වාර්තාව කුණු බක්කියට දාලා, විශ්‍රාම වැටුප් කපලා, මේ අවුරුද්දේ උත්සව අත්තිකාරම් නොදී, 2005 ඉදල 2015 වෙනකල් සත පහකින් රාජ්‍ය සේවක වැටුප් වැඩි නොකළ පී.බී.ජයසුන්දර රජයේ සේවකයන්ගෙන් පරිත්‍යාග ඉල්ලීමට ඉදිරිපත් වීමෙන් පෙනෙන්නේ ලජ්ජා නැතිකම මහමුදලි කමටත් වඩා ලොකු බව යයි ආණ්ඩුවේ කම්කරු සමිති සම්මේලනයේ හා දුම්රිය සේවක සංගමයේ සභාපති DMD අබේරත්න කියා සිටියේ ය.

ඔහු අප වෙත කළ ප්‍රකාශය මෙහි පහත පළ කරමු.

”දැන් ජනාධිපති ලේකම් පී.බී.ජයසුන්දර මහත්තය යෝජනාවක් කරල තියෙනවා රාජ්‍ය සේවාවේ ඉන්න සේවකයින්ගෙන් මාසික වැටුප, නැත්නම් සතියක වැටුප, ඒත් නැත්නම් දිනක වැටුප හරි පරිත්‍යාග කරන්න කියල. මේ ජයසුන්දර මහත්තය ගැන අපි දන්නේ අවුරුදු ගානකට ඉස්සෙල්ල ඉදල. මහින්ද රාජපක්ෂ 2010 දි දෙවන වතාවට ජනාධිපති උනාට පස්සෙත් භාණ්ඩාගාරයේ ලේකම් වශයෙන් කටයුතු කළේ මේ පී.බී.ජයසුන්දර. ඔහු ඒ් අවස්ථාවේ දී රාජ්‍ය සේවකයන්ට වසර 35-40 විතර සේවා කාලයෙකින් පස්සේ විශ්‍රාම යනකොට ලැබෙන පාරිතෝෂික දීමනාව බැංකු වලින් ලබා දෙන්න යෝජනාවක් ගෙනාවා. මේ යෝජනාවේ අරමුණ උනේ පාරිතෝෂික දීමනාව බැංකු ණයක් බවට පත් කරල මුළු දීමනාවම කපාගන්න කටයුතු කරන්නයි. මොකද උදාහරණයක් වශයෙන් කෙනෙක් විශ්‍රාම යන විට ලක්ෂ 06 ක් ලැබෙනව කියල හිතමු. එතකොට පසුව ආණ්ඩුව  ඔහුගෙන් අය කර ගන්නේ ඉන් ලක්ෂ 04 ක් විතරයි. නමුත් ඒ්ක බැංකුවෙන් ගත්තම ලක්ෂ 06 ම ගෙවන්න වෙනවා. ඒ් විදියට විශ්‍රාමිකයගේ ලක්ෂ දෙකට කටුව ගහන්න තමයි එයා යෝජනා කළේ. ඔන්න ඔහොම පුද්ගලයෙක් තමයි මෙයා. ඉතිං අපි ඒදා ඒ්කට විරුද්ධව උද්ඝෝෂණය කරල ඒ වැඩේ නතරකර ගත්ත.”

”තවත් අවසථාවක දී අපි ජනාධිපති මහින්ද රාජපක්ෂ සමග වැටුප් වැඩි වීමක් ගැන සාකච්ඡා කරන වෙලාවේ ඔහු සූදානම් උනේ නිකං රුපියල් 100 ක වැටුප් වැඩිවීමක් දෙන්න. විශේෂයෙන් මතක් කරන්න අවශ්‍යයි 2005 මහින්ද රාජපක්ෂ බලයට ආපු දවසේ ඉදල 2015 දක්වා කාලය තුළ රාජ්‍ය සේවකයින්ගේ මූලික වැටුප සත පහකින්වත් වැඩි නොකළ බව. ඒ අත‌රේ දැන් මේ ගිය අවුරුද්දේ ආයෙත් මේ අය බලයට ආවට පස්සේ කරපු දේ තමයි පසුගිය ආණ්ඩුවෙන් රාජ්‍ය සේවයේ වැටුප් විෂමතා ඉවත් කරන්න පත් කරපු රනුක්ගේ කමිටුවේ නිර්දේශ පැත්තකට දාන ඒක. ඒ වාර්තාව අනුව රජයේ සේවකයන්ට රුපියල් 3000/- ක අවමයකට යටත්ව වැටුප් වැඩිවීම් ක්‍රමයක් මගින් මේ විෂමතා ඉවතක් කරන්න යෝජනා ඉදිරිපත් කරල තිබුනේ. මේවාට කැබිනට් අනුමැතියත් ලැබිල අදාල චක්‍රලේඛ නිකුත් කරන්න විතරයි ඉතුරුවෙලා තිබුනේ”  

”ඒ වගේම තමයි දැන් 2016 ජනවාරි මාසේ 01 වැනිදා ඉදල 2020 ජනවාරි මාසේ 01 දක්වා විශ්‍රාම යන සියලුම සේවකයින්ගේ විශ්‍රාම වැටුපට ඒ ආණ්ඩුවෙන් රජයේ සේවකයන්ට වැඩි කරපු රුපියල් 10,000/-ලබා දීමට අදාල 35/2019 කියන චක්‍රලේඛයෙන් පියවර අරන් තිබුනේ. මොකද මේ රුපියල් 10,000/- දීමනාවක් ලෙස ලබා දුන්නට වැටුපට එකතු කළේ වාරික 05 කින්. ඒ නිසා 2006 හා ඉන් පස්සේ අවුරුදු තුනේ දී විශ්‍රාම ගිය කෙනෙක්ගේ විශ්‍රාම වැටුපට මේක එකතු වුනේ නැ. ඒක ලබා දීම තමයි මේ 35/2019  චක්‍ර ලේඛයෙන් කළේ. දැන් මේ අය බලයට ඇවිත් අවුරුදු 35 – 40 සේවය කරල විශ්‍රාම යන සේවකයන්ට හිමිවිය යුතු ඒ මුදල ලබා දීම නතර කෙරුව. මේ අය රජයේ සේවකයන්ට සලකන්නේ එහෙමයි.”

”රනුක්ගේ කමිටු වාර්තාවෙන් නිර්දේශිත රුපියල් 3000/- ක අවමයකට යටත් ව ලැබෙන්නට තිබුණ වැටුප් වර්ධකයනුත් දැන් නැති කරලා තියෙන්නේ. විශ්‍රාම වැටුප් කපල. අත්සව අත්තිකාරමත් නොදී දැන් යෝජනා කරනව මාසෙක වැටුප පරිත්‍යාග කරන්න. මේ කථා කරන්නේ රෙද්දක් ඇදගෙන ද මන්ද? පරිත්‍යාග  කරන්නත් තිබුණ මේ ‘උපදේශකයෝ’ ලැබෙන්න තිබුන දේවල් කැපුවේ නැත්තන්.”

”අපි දැනුවත් කරනව රජයේ සේවකයන්ව මේ කිසිම විදියක වැටුප් හිර කිරීමකට ඉඩ නොදෙන ලෙසට. වැටුප් කප්පාදු කරල රාජ්‍ය සේවය දියකර හැරීමේ ආරම්භයක් තමයි මේ. ඒ නිසා අපි කියනව කිසිම රාජ්‍ය සේවකයෙක් මසක වැටුපක්, සතියක වැටුපක් තබා දිනක වැටුපක් වත් දෙන්න කටයුතු කරන්න එපා කියල.”

”මේ ගොල්ලන්ට විදේශ ආධාර ලැබිල තියෙනව. කොරෝනා උවදුර වෙනුවෙන්. කෝටි 12,000 ක් ණය ගත්ත කියල අගමැති කියනව. ඒ අතරේ මේ ඊයේ පෙරේදා මිලියන දහස් ගණන් අධිවේගී මාර්ග හදන්න වෙන් කරල තියෙනවලු. ඒව නවත්තල ඔය කියන අය-වැය හිගය පියවගන්නනේ තියෙන්නේ. දැන් කොරෝනා අස්සේ අධිවේගී මාර්ග හද හදා රජයේ සේවකයගේ වැටුප ඉල්ලන්නේ සිහි බුද්ධිය නැති වෙලා ද කියල අහන්න වෙනවා අපිට. ඉස්සෙල්ලා ජනතාවගේ ජීවිත මේ අගාධයෙන් බේරාගෙන ඉන්න අවශ්‍යයි නේ ද? ජනතාව මැරිල අධිවේගී පාරවල් මොකට ද? අලුත් දෙයක් නොවේ කලින් කියපු, ලැබෙන්න තිබුණ වැටුප් වැඩිවීම් හා විශ්‍රාම වැටුප් නිසි ලෙස ගෙව්වා නම් අපිට කැමැත්තෙන්ම ඔය කියන පරිත්‍යාගය කරන්න තිබුනා. 2010 ඉදල 2015 වෙනකල් මුදල් අමාත්‍යාංශයේ ලේකම් හැටියට සත පහක් වැටුප් වැඩි කරන්න උත්සාහයක් නොගත්ත ඔය ජයසුන්දර ට රජයේ සේවකයන්ගෙන් සත පහක් වත් ඉල්ලන්න අයිතියක් නෑ කියන එක ප්‍රකාශ කරන්න අවශ්‍යයි.”

”අපි දුම්රිය වෘත්තීය සමිති සංධානය හැටියටත්, රජයේ සේවයේ සියළුම අංශ නියෝජනය වන වෘත්තිය සමිති ලෙස එකතුවෙලා පොදු ප්‍රකාශයටකුත් මේ සම්බන්ධයෙන් නිකුත් කරන්න කටයුතු කරගෙන යමින් සිටිනවා.”  යි ආණඩුවේ කම්කරු සමිති සම්මේලනයේ හා දුම්රිය සේවක සංගමයේ සභාපති DMD අබේරත්න තව දුරටත් කියා සිටියේ ය.

මේ සම්බන්ධයෙන්, ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් පළ කළ අදහස් සදහා පහත යොමුවට පිවිසෙන්න.

ජනාධිපති ලේකම්ගේ ඉල්ලීම, වැටුප් අරගල මතුවීම වැලැක්වීමේ උපක්‍රමයක් ද?

You may also like...

1 Response

  1. 2020-06-09

    […] රජයේ සේවකයන්ගෙන් පරිත්‍යාග ඉල්ලන්න ජ… […]

Leave a Reply

Your email address will not be published.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.