නූතන සුගතිගාමී ප්‍රතිපදාව
ජෝර්ජ් ෆ්ලොයිඩ් අමානුෂික ලෙස ඝාතනය කිරීමට විරෝධතාවය දැක්වීමට විදි වලට පැමිණි පෙරටුගාමී සමාජවාදී පක්ෂ සාමාජිකයන් ප්‍රමුඛ විරෝධතාකරුවන්ට එරෙහිව පසුගිය 09 වෙනි දින රාජ්‍ය මර්ධනය එල්ල කෙරුණි. එය කොරෝනා ව්‍යාප්තිය පිටුදැකීමේ මානුෂික මෙහෙවරක් ලෙස රාජ්‍ය බලධාරීන් විසින් අර්ථ දක්වන ලද්දේ ය. නමුත් මධ්‍ය ඔස්සේ එලි දැක්වූයේ මානුෂික මෙහෙවරක අමානුෂික ස්වරූපය යි. එසේම විරෝධතාකරුවන් අත් අඩංගුවට ගැනීමේදී සෞඛ්‍ය නීති රීති වලට කොතෙක් දුරට අනුගත වූයේද යන්න පැනයකි. ජෝර්ජ් ෆ්ලොයිඩ් ඝාතනය වෙනුවෙන් පමණක් නොව, මෙය ඉදිරියේදී දිගහැරෙනු ඇතැයි අනුමාන කළ හැකි සියලු ප්‍රජාතන්ත්‍රීය පෙළගැසීම් වලට අනතුරු හඟවන පූර්ව සංඥාවකි. ඇතිවූ ස්භාවයම සමස්ථ මානව සංහතියේ හුස්ම හිරකිරීමේ අසුභවාදී නිවේදනයක් වූයේ ය.
දියුණු යැයි සැලකෙන ධනපති රට වල ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් හඬ නැගීමේ අයිතියක් ඇත. ප්‍රජාතන්ත්‍රවාදය ඉල්ලා හඬ නැගීම ද ප්‍රජාතන්ත්‍රවාදයක් ලෙස මුහුකුරා ගිය පසුබිමක් නිර්මාණය වී ඇතිද යන්නට සාක්ෂියකි. පසුගිය දිනෙක ත්‍රස්ත මර්ධන පනත් සම්බන්ධයෙන් පැවති සම්මන්ත්‍රණයකදී මෙම අර්ථය පිළිබිඹු වන අදහසක් ආචාර්ය ජයම්පති වික්‍රමසිංහ ඉදිරිපත් කළේය. 2018 ඔක්තෝබර් මස එවක ජනපති මෛත්‍රීපාල සිරිසේන විසින් ව්‍යවස්ථා විරෝධී ලෙසින් පැවැති නීත්‍යානුකූල ආණ්ඩුව විසුරුවා හැරීමෙන් පසු හිටපු මන්ත්‍රී සමන් රත්නප්‍රිය හා මහාචාර්ය සරත් විජේසූරිය විසින් කරන ලදැයි සැලකෙන ප්‍රකාශයක් මීට ප්‍රස්තුත විය. එනම් එකී හිටපු මන්ත්‍රීවරයා හා මහාචාර්යවරයා විසින්, “යම් විදියකින් ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රජාතන්ත්‍රවාදයට පටහැනි තීන්දුවක් ලබාදුන්නේ නම්, එහිදී ජනතාවට වීදි බැසීමට සිදුවෙනු ඇත” යනුවෙන් කරන ලදැයි සැලකෙන ප්‍රකාශයක් නිසා, ඔවුන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක වීම යි. මෙවන් ප්‍රකාශයක් කිරීම පමණින් ඊට එරෙහිව නීතිය ක්‍රියාත්මක වීම ප්‍රජාතන්ත්‍ර විරෝධී බව ජයම්පති වික්‍රමසිංහ හිටපු මන්ත්‍රීවරයා යලිත් ප්‍රකාශ කළේය. ප්‍රජාතන්ත්‍රවාදය සිඳී යන මොහොතක ප්‍රජාතන්ත්‍රවාදය ඉල්ලා වීදි බැස හඬ නැගීමද ප්‍රජාතන්ත්‍රවාදයක් මිස ත්‍රස්තවාදයක් නොවන බව ඔහු කියා සිටියේය.
කෙසේ වුවද ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය පිළිබඳ බරපතල ගැටලුවක් අප ඉදිරියේ දිස්වේ.
ඒ අතරේ තවත් සමහරෙකුට තම පුද්ගලාර්ථය සඳහා හඬ නැගීම, ප්‍රජාතන්ත්‍රවාදයක් මෙන්ම වීරාභිවාදනයකි. 2015 මහා මැතිවරණයේදී ත්‍රස්තවාදී ග්‍රහණයෙන් රට මුදවා ගත් තමා (විරුවා) විදුලි පුටුවට ගෙනයාමට දරණ උත්සාහය වීරාභිවාදනයක ස්වරූපයෙන් රාව නැගුණි. එය ප්‍රජාතන්ත්‍රවාදයකි. ඒ යටතේ තම රැකවරණයද මතුකෙරුණි. මෑත දින වලදී එවැනිම වීරාභිවාදනයක් ගොඩනැගෙමින් තිබුණි. ඒ 2020 මහා මැතිවරණය වෙනුවෙනි. එහි ප්‍රකාශනය රැව් පිළිරැව් දීමට තිබුණු වාතාවරණය කොරෝනා වසංගතයත් සමඟම මඟහැරුණි. එය මෙවර මහා මැතිවරණය සඳහා අතිශයින්ම යෝග්‍යය වීරාභිවාදනයකි. එනම් දිනේෂ් ගුණවර්ධන අමාත්‍යවරයා පසුගිය දින වල ජාත්‍යන්තර මානව අයිතීන් පිළිබඳ සම දායකත්වයෙන් ඉවත්වීමට නැගූ හඬයි. එය පුස් වෙඩිල්ලක් වුවද, මානව හිමිකම් ගැන වත්මන් පාලනයේ ඇති අප්‍රසාදය ඉන් ප්‍රකට කෙරුණි.
ඝාතනය කළ අමෙරිකානු කලු ජාතිකයාට යුක්තිය ඉල්ලා නැගී සිටි ලාංකික උද්ඝෝෂකයින් මර්ධනය කළ කෲර ස්වභාවය තුළ ඇත්තේද මානව අයිතියට රජයේ ඇති ගරුත්වයේ තරම යි. එහි අන්තර්ගතය වසංගත රෝගයකින් රට වැසියා රැකගැනීමේ ‘සුගතිගාමී’ ප්‍රතිපදාවයි. පවත්නා කොරෝනා වෛරස ව්‍යාප්තිය යටතේ මැතිවරණයට යොමු වුවද, මැතිවරණ උද්ඝෝෂණවලදී වසංගත රෝග ව්‍යාප්තිය පාලනය කිරීමේ මුවාවෙන් විරුද්ධ පක්ෂ වල දේශපාලන ක්‍රියාකාරීත්වයන් මර්ධනය කිරීමේ පෙර නිමිති මෙම ප්‍රවේශය තුළ අන්තර්ගත ව ඇත්තේ ය. එම ක්‍රියාන්විතය බලගැන්වීම සඳහා කල් තියා කරන ලද පෙර හුරුවක් ද මේ?
ප්‍රියන්ත සිල්වා
සබැදි ලිපි