කොරෝනා පිට දමා යුක්ති සහගත විරෝධතා මර්දනය නින්දා සහගතයි – බාහු

සේයා - ෆේස්බුක්

ඇමරිකාවේ මහ මඟ මැද දී කලු ජාතිකයෙකු ඝාතනය කිරීමට විරුද්ධව නැගී එන ලෝක පරිමාන විරෝධයට සමගාමීව පෙරටුගාමී පක්ෂය සංවිධානය කරන ලද විරෝධතාවයට සහභාගී වූවන් පොලීසිය යොදා මර්දනයට ලක් කිරීම, මහාචාර්ය වික්‍රමබාහු කරුණාරත්න දැඩි ලෙස හෙලා දැක තිබේ.

“මේ ආණ්ඩුව අද ඇමරිකාවෙ වෙච්ච අපරාධයක් ගැනවත් කථා කරන්නවත් ඉඩ දෙන්නෙ නැති, ඒ තරම්ම ජාතිවාදී මුර්ගයො වශයෙන් හැසිරෙන කණ්ඩායමක් අද වන කොට පොලිසිය ඇතුලේ හදාගෙන, වැඩකටයුතු කරන බවයි පෙනෙන්නේ.” යි ඔහු ප්‍රකාශ කර සිටී.

සුදු ජාතික පොලිස් නිලධාරියකු කළු ජාතික ජෝර්ජ් ෆ්ලොයිඩ්ව, සිය දනහිසින් ගෙල සිරකොට ඝාතනය කරන ලද්දේ 2020 මැයි 25 වන දා ය. එම  මරණයට විරෝධය පෑමට ඊයේ (09) කොළඹ දී සංවිධානය කරන ලද උද්ඝෝෂණයට සහභාගි වූ පෙරටුගාමී පක්ෂ නායකයන් ඇතුළු පිරිස් මෙසේ අත්අඩංගුවට ගෙන ඇති අතර, කොටුව මහෙස්ත්‍රාත් අදිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එහිදී ඇප පිට නිදහස්කර ඇත.

“අපි කවුරුත්, ඒ වගේම ලෝකය පුරා ම ජනතාවත්, මේ ඇමරිකාවේ කලු ජාතිකයන්ට වෙන අපරාධ ගැන කම්පා වෙලා තියෙන්නේ. ඒක ගැන ඇත්ත වශයෙන්ම, අපි කලු ජාතිකයන් වශයෙන් ඉන්න රටක් හැටියට අපටත් විශාල කම්පාවක් තියෙනවා. මේකට විරුද්ධත්වය ප්‍රකාශ කිරීම සඳහා එලියට බැස්ස ඒ තරුණයින්ව හොර මාර්ගයකින් නීති විරෝධී කණ්ඩායම් ගැසීමක් කියල පෙන්නගෙන, කාන්තාවන්ද දරුවන්ද කියල බලන්නෙ නැතුව පහර දීල, හිරගෙදරට ඇදගෙන යාම නින්දිත ක්‍රියාවක් හැටියට අපි හෙලා දකිනවා.” යි වාමාංශික නායකයා ප්‍රකාශ කර සිටියේය.

මෙහිදී රජය කොරෝනා වෛරසය ව්‍යාප්තිය වැළැක්වීම මුවාවෙන්, ජනතාවගේ ප්‍රජාතන්ත්‍රීය අයිතීන් උල්ලංඝණය කිරීමට පියවර ගෙන ඇතැයි ද මහාචාර්ය කරුණාරත්න චෝදනා කරයි.

“මේක මේ කොරෝනා ලෙඩේ පිළිබඳ ප්‍රශ්නයක් නෙවෙයි. කොරෝනාව දැං ඕන ඕන විදියට පාවිච්චි කරල, යුක්ති සහගත විරෝධතාවන් නැවැත්වීම සඳහාත් යොදා ගන්න බවයි පෙනෙන්නේ. මේකට නම් ඉඩ දෙන්න බෑ. අපි තරයේ හෙලා දකිනවා මේ කරන වැඩේ” ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ ය.

ජෝර්ජ් ෆ්ලොයිඩ් ඝාතනයට සහ ජාතිවාදයට එරෙහිව පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් අද උද්ඝෝෂණයක් සංවිධානය කර තිබුණු අතර එම උද්ඝෝෂණයට පොලිසිය කඩා පැන විරෝධතාකරුවන්ට පහර දී නීති විරෝධී ලෙස අත්අඩංගුවට ගනු ලැබීය. පොලිසිය පැවසුවේ ඇමරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණ පැවැත්වීමට එරෙහිව අධිකරණ වාරණ නියෝගයක් ඇති බවයි. එහෙත් කොල්ලුපිටිය, ලිබර්ටි වටරවුම අසලදී අත්අඩංගුවට ගැනීම සහ පහරදීම සිදු කරන ලද්දේ කිසිදු උද්ඝෝෂණ ක්‍රියාමාර්ගයක් ආරම්භ වීමටත් පෙරය. ඉන් පසුව පෙසප සාමාජිකයන් ලිප්ටන් වටරවුමට පැමිණ සෞඛ්‍ය ආරක්ෂක ක්‍රම අනුගමනය කරමින් විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් නිහඬ විරෝධතාවක නිරත වූහ. එම අවස්ථාවට කඩා වැදුණු පොලිස් නිලධාරීන්, කැරලි මර්දන ඒකකයේ නිලධාරීන් එම සාමකාමී විරෝධතාකරුවන්ට පහරදී ඔවුහු අත්අඩංගුවට ගනු ලැබීය. පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රධාන ලේකම් කුමාර් ගුණරත්නම්, ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව මධ්‍යම කාරක සභිකයන් වන සුජිත් කුරුවිට, සී. ලන්දගේ, ක්‍රිෂාන්ත ප්‍රියදර්ශන ඇතුළු පෙසප සාමාජිකයන් 42 දෙදෙනකු අත්අඩංගුවට ගෙන ඇත. නීතිඥ නුවන් බෝපගේද අත්අඩංගුවට ගෙන තිබේ.

Posted by Front Line Socialist Party on Tuesday, June 9, 2020

සබැදි ලිපි

You may also like...

1 Response

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.