ලංකාව විප්ලවයකට සූදානම් ද?

2015 ජනපතිවරණයෙන් වසර 03කට ආසන්න කාලයක් ගත වුවද, නොලැබූ ඉල්ලීම් මත 2017 නොවැම්බරයේ සංවිධානය කරන ලද විරෝධතා ව්‍යාපාරයක් අතරතුර

2022 පෙබරවාරි 19 දින නසසප විසින් පවත්වන ලද වැඩමුළුවේ සාකච්ඡාව සඳහා සකස් කරන ලද සටහන.

1. මේ මොහොත කුමක් ද?

පොදුවේ කථා කරන විට, කෙනෙකුට ලංකාවේ විප්ලවකාරී තත්වයක පූර්වාවශ්‍යතා තහවුරු වී ඇතැයි නිගමනයන් ඉදිරිපත් කළ හැකිය. මේ පුර්ව අවශ්‍යතා තහවුරු වන්නේ රටේ නිෂ්පාදන ශක්තීන් ක්ෂය වී යද්දී ය. ධනපති නිෂ්පාදන විදිය පවත්වාගෙන යන්නාවූ රටක් ලෙස ගත් කල, ලෝක වෙළඳපල මත තමන් සතුව ඇති බර ක්‍රමාණුකූලව හීන වී යන අතර, ඒ පරිද්දෙන් ම සියළු සමාජ පන්තීන්ගේ අය මාර්ග ක්‍රමාණුකූලව අඩු වී යද්දී ය. විරැකියාව, ආර්ථිකයන්හි කලින් කලට සිදුවන ඉහල පහල යෑම් අනුව සිදුවන අවස්ථානුගත උච්චාවචනයක ප්‍රතිඵලයක් නොව, එය වැඩෙමින් යෑමේ ප්‍රවණතාවයකින් යුත් ස්ථාවර සමාජ විපතක් වන විට දී ය.

2. මේ තතු මුළුමනින්ම අද ලංකාවේ පවතින තත්ත්වය විදහා දක්වනු ලබන්නේ ය. ඒ අනුව විප්ලවවාදී තත්ත්වයක ආර්ථික සමාජ පූර්වාවශ්‍යතා මෙහි පවතින බවත්, දිනපතා ඒවා වඩ වඩාත් උග්‍ර වන බවත් යමෙකුට කිව හැකිය.

එහෙත් අප විප්ලවවාදී තත්ත්වයක් අර්ථ විවරණය කරන්නේ සමාජ විද්‍යාත්මකව පමණක් නොව දේශපාලනිකව බවත්, ඊට මනෝබද්ධ සාධකය ඇතුළත් වන බවත් අප අමතක නොකළ යුතුය. මෙම පැහැදිලි කිරීම තුළ නිසැකවම මනෝබද්ධ සාධකය ඇතුළත් වනවා සේම, මනෝබද්ධ සාධකය යනු, නිර්ධන පංතියේ පක්ෂය පිළිබඳ ප්‍රශ්නය පමණක් නො වේ. එය සියළුම සමාජ පංතීන්ගේ, මූලික වශයෙන් නිර්ධන පංතියේ සහ පක්ෂයේ සවිඥානකත්වය පිළිබඳ ප්‍රශ්නයකි.

3. කෙසේ වතුදු විප්ලවවාදී තත්ත්වයක් ආරම්භ වන්නේ, විප්ලවයක් සඳහා වන පෙරකී ආර්ථික හා සමාජීය පූර්වාවශ්‍යතා මගින් සමාජයේත්, විවිධ පන්තීන්ගේත් විඥානයෙහි හදිසි වෙනස්කම් ඇති කෙරෙන විට දී පමණි.

4. කවර වෙනස්කම් ද?

(i) මෙහි දී අපගේ විශ්ලේෂණය සඳහා මූලික සමාජ පංතීන් තුන එකිනෙකින් වෙන් කොට හඳුනාගත යුතුය. මන්ද යත්, ධනපති පන්තිය, මධ්‍යම පන්තිය හා සුළු ධනේශ්වරය සහ කම්කරු පංතිය යන සමාජ පන්තීන් අතර  පවතින අන්තර් සබඳතා එසේ තිබියදී ම ඒවායේ මානසිකත්වයේ (ඉරියව්වේ) ඇතිවන වෙනස්කම්, ඒ එකිනෙක පන්තිය සම්බන්ධයෙන් බෙහෙවින් වෙනස් වන නිසාය.

(ii) තමන් නියෝජනය කරන ධනපති නිෂ්පාදන සම්බන්ධතා පද්ධතිය බේරා ගැනීමට තමන්ට නොහැකි බව පෙනීයාමත් සමඟ, තමන් කෙරෙහිම විශ්වාසය භංග වී ධනපති පාලක පැලැන්තීන් බිඳී විසිරෙන්නටත්, කණ්ඩායම් හා කල්ලි වලට බෙදෙන්නටත් පටන් ගන්නා විට දී, ඉන් ජනිත වන පාලක පන්තියේ මනෝභාවයෙහි ඇති වන වෙනස්කම් වලට අනුරූපව හා සමාන්තරව, මධ්‍යම පංතියේ හා සුළු ධනේශ්වරයේත්, නිර්ධන පංතියේත් මනෝභාවයන්හි වෙනස්කම් ඇති වීම.

(iii) ලංකාවේ ධනපති පංතිය අද මුහුණ දී සිටින්නේ හුදු ධනපති නිෂ්පාදන විධියේ අර්බූදයකට වඩා, තමන්ට ඉතිහාසය මගින් පවරා ඇති ඓතිහාසික වගකීම් ඉටු කිරීමට අසමර්ථ වීමේත්, එම අසමර්ථ භාවය නිසා ගෝලීය ප්‍රාග්ධනය හා වෙළඳපල සමග අන්තර් සබඳතා ඇති කර ගැනීමට නොහැකිව එහි පරිධියේ කැරකැවෙමින් ඉවතට වීසිවී යන ඉඳුල් බුදිමින් සිටීමට සිදුවීමේත් තත්වයටයි. එනම් තමන් විසින් සමාජයට දායාද කර දියු යුතු ප්‍රජාතන්ත්‍රීය විප්ලවයේ කර්තව්‍යයන් ඉටු කිරීමට එදා මෙදා තුර අසමත් වීම නිසා, දියුණු ශිෂ්ඨ සමාජයෙන් පිටස්තර වී යෑමයි. එම ධනපති ප්‍රජාතන්ත්‍රීය විප්ලවයේ කර්තව්‍යයන් වෙත යොමු වූ සැම විටම, ලංකාව වැනි පසුගාමී සමාජයකදී එවැනි වෑයම් වලට එරෙහිව නිරතුරුව එල්ල වන, ආදීවාසීන්ගේ[1] – ප්‍රතිගාමී විරෝධතාවයන්ට මුහුණ දී ඒවා පරාජය කර ඉදිරියට යෑමට නොහැකිව පසුබැස යෑමයි. ඉන් ජනිතව ඇති කාලකන්නි කම මේ ජන සමාජයම ගොදුරු කරගෙන සිටී

මෙයින් පෙන්නුම් කරන්නේ කුමක් ද? දැන් මේ ලාංකීය සමාජය තම සියළු අභ්‍යන්තර ශක්‍යතා (feasibility) ක්ෂය කර ගෙන ඇති බවත්, නව සමාජයක් මගින් විස්ථාපනය විය යුතු හෝ එසේ නොවූයේ නම්, තම ශක්‍යතා ක්ෂය වූ තතු යටතේ පවා එය විස්ථාපනය කිරීම සඳහා ඉදිරිපත්වීමට පන්තියක් නො පැවතීමේ හේතුවෙන් ග්‍රීක හා රෝම ශිෂ්ටාචාරයන් ඇද වැටුනාක් මෙන් මේ සමාජයත් (සමහරවිට චීන හෝ ජාත්‍යන්තර ජාවාරම්කාර කළු ප්‍රාග්ධනයේ ආර්ථික වහල් භාවය තුළ) ම්ලේච්ඡත්වය කරා එළඹෙනු ඇති බවයි. සිය මුතුන් මිත්තන් මෙරට  ධනේශ්වර විප්ලවය සාක්ෂාත් නොකළ බවත්, එනිසා ඔවුන්ගෙන් පැවතෙන්නන් වන තමන් වෙත ඉතිහාසයට දැවැන්ත ණයක් ගෙවීමේ වගකීම පැවරී ඇති බවත්, මෙහි වෙසෙන ‘ලිබරල්’ මධ්‍යම පංතිකයන් හට (ඔවුන් අතර වෙසෙන හීරළු මාක්ස්වාදීන්ගේ විතන්ඩවාද එසේ තිබියදී ම) පසක් කර දීමෙහි ලා මේ සමාජ ආර්ථික විපත්තීන් පවා සමත්වී ඇති බවක් නොපෙනේ. ඔවුන් තමන් විසින් කටපාඩම් කරගත් ආර්ථික විද්‍යා සූත්‍රයන් හා ලිබරල් සමාජ විද්‍යා වගන්ති මත, යුත්තිය හා සාධාරණත්වය සැලසෙන්නේ යයි සිතා ශෝකාලාප නගයි.

මේ ව්‍යසනය ගෙන ආ සිංහල බෞද්ධ වර්ගවාදී බලවේග පිලිබඳව තවමත් ඔවුන්ට විශ්ලේෂණයක් නැත. ඔවුන්ට අනුව ඒ පාපී බලවේග සියල්ල ‘කොටි ත්‍රස්තවාදයේ’ තිඹිරිගෙයින් උපනි. සත්‍යය එහි අනෙක් පැත්ත බව කීමට ධෛර්යයක් නැති කල මේ මධ්‍යම පංතිකයෝත්, සිංහල බෞද්ධ ෆැසිස්ට් පන්නයේ රාජ්‍ය බලයක් වෙනුවෙන් මේ මධ්‍යම පංතිකයන් විසින් ගොඩනගන මතවාදයන්ගේ කරවටක් ගිලී සිටින සුළු ධනේශ්වරයත්, තමන් විසින් මේ කරගසා ගෙන සිටින්නේ ඉතිහාසයට ගෙවිය යුතු ණය කන්දරාව බව නොදැන සිටී.

(5) මෙහි පවතින විමතිය වන්නේ, එදා ග්‍රීසියේ හෝ රෝමයේ මෙන් නොව, නූතන ලෝකයේ මෙන්ම උක්ත විපත්ති අභිමුඛව සිටින මේ රටෙත්, ඓතිහාසිකවම තම ශක්‍යතා සිඳගත් ධනපති/මධ්‍යම පංතික පාලක කල්ලි විස්තාපනය කිරීම උරුම කරගත් පංතියක් වෙසෙන්නේය යන්නයි. ඒ කම්කරු පංතියයි. එකල්හි විප්ලවවාදී තත්ත්වයක් යනු, එළඹෙන කාලපරිච්ජේදයේ දී, කම්කරු පංතියට සමාජයේ පාලක බලය බවට පත්වීමට ඉඩ සලසන්නාවූ එකකි. ඒ එසේ මුත්, එය රැදී පවතින්නේ ද (ඒ ඒ රටවල නිෂ්පාදන බලවේගයන්ගේ තත්ත්වය අනුව අඩු වැඩි වශයෙන් උවත්) මධ්‍යම පන්තීන්ගේ දේශපාලන චින්තනය හා මනෝගතිය මත ය. මේ මතවාදී යටත් භාවය භංග විමද සිදුවිය යුතු අතර, එමගින් සමාජයේ රැඩිකල්, විප්ලවවාදී වෙනසක් (ප්‍රතිවිප්ලවවාදී එනම් ෆැසිස්ට් පන්නයේ වෙනසක් නොව) පිළිබඳ බලාපොරොත්තු ජනිත විය යුතුය. ඒ අතර කම්කරු පංතියේ ඇතිවන රැඩිකල් වීම් මධ්‍යම පංතීන්හි මනෝ ගතියෙහි වෙනස් කම් ඇති කරනු ඇත.

දැන් මෙරට බෙලහීන ධනපති පංතිය විස්තාපනය කිරීම පිළිබඳ කාර්යභාරය සමඟ, ඔවුන්ගේ පරම්පරාවන් මෙතෙක් ඉටු කිරිමට අසමත් ව ඇති ධනපති ප්‍රජාතන්ත්‍රීය විප්ලවයේ කර්තව්‍යයන් ඉටු කිරීම පිළිබඳ උභතෝකෝටිකය ද ගැටගැසී ඇති බව, සියළුම න්‍යායවාදීන්ට වඩා හොඳින් කම්කරු පංතිය දනී. නමුත් ඒ අභියෝගය ජය ගැනීමේ දිසාවෙන් ඔවුන් වැඩ පටන්ගන්නවාත් සමඟම දැවැන්ත ප්‍රතිවිප්ලවකාරී බලවේගයන්ට මුහුණ දීමට සිදුවූයේ ය. මේ විප්ලවකාරී ගමන් මගේ සහකරුවන් ලෙස ඉදිරිපත්ව පෙරමුණ ගත් ලිබරල් ධනේශ්වර කොටස් හා මධ්‍යම පන්තික ප්‍රජාතන්ත්‍රවාදීන්, ප්‍රතිවිප්ලවය ඉදිරියේ එයට මුහුන දෙනවා වෙනුවට, අතරමඟ දී හැරී යනු මෑත අතීතයේ දී කම්කරු පංතිය අත් දුටුවේ වරක් දෙවරක් නොවේ.

ඒ අරගලයන් මධ්‍යයේ තමන් ලත් සීමිත ප්‍රජාතන්ත්‍රීය ජයග්‍රහණයන් ආපසු හරවනු ද නිහඬව බලා සිටීමට නිර්ධනීන්ට සිදුවී තිබුනේ; තමන් උරුම කරගත් මධ්‍යම පංතික නායකයන්, එක්කෝ ප්‍රතිවිප්ලවයේ කොටස් කරුවන් බවට පත් වීම නැතිනම් සැඟවී ගැන්මත් නිසාය. තවත් එවන් සමහරුන්ගේ පශ්චාත් මරණ විශ්ලේෂණ, වලහම් හඬවල් හා  කන්කෙඳිරිලි කිසිසේත් ම නිර්ධන පංතියට ගැම්මක් වූයේ නැත. ඒ සියල්ල මගින් විප්ලවකාරී ප්‍රජාතන්ත්‍රීය කර්තව්‍යයන් වෙනුවෙන් නැගී සිටි නිර්ධන පංතියේ ප්‍රධාන බලවේග, තවමත් දේශපාලන වශයෙන් එක්කෝ ප්‍රතිගාමීන්ගේ ප්‍රචාරයන්ට මෝහනය වී, නැතිනම් සිල්ලර ආර්ථික හා වෘත්තීය අයිතීන් පිළිබඳ සටන් වලට සීමා වී සිටි. තමන් අද නිරතව සිටින සියළුම වෘත්තීය හා ආර්ථික සටන්, හුදු සාමූහික කේවල් කිරීමේ සීමාවන් ඉක්මවා ගිය හේතු මත ජනිතව ඇති බව හෝ, ඔවුන්ගේ උද්ඝෝෂණ සඳහා ඉදිරිපත්ව ඇති සිල්ලර සටන්පාඨ මගින් පැහැදිළි නොවේ.

අඩුම තරමින් බොහෝ රජයේ හා රාජ්‍ය සංස්ථා අංශ වල මුදුනේ තබා ඇති හමුදා නිලධාරීන්, හුදු ඔවුන්ගේ උප්පත්තියේ දුර්ගුණ වලින් නොව වෘත්තීය පුහුණු වීම් හා යුධවාදයේ ආකල්ප මගින් තමන් සිවිල් පුරවැසියන්ට ඉහලින් සිටින පරාරෝපිත ආත්මාභිමානයෙන් පෙ‍ෙළන්නවුන් වෙති. යුධ ක්‍රියාදාමයකට ක්‍රියාකාරීව සහභාගී වූ හමුදා සාමාජිකයින් යුධය නිමාවෙන් පසු,  විශේෂයෙන් සිවිල් යුද්ධයකින් පසු යම්කිසි පුණරුත්ථාපන ක්‍රියාවලියක් හරහා ගෙන යෑම වැදගත් වන මුත්, එවැන්නක් සිදු නොවීය. මන්ද යත්, ලංකාවේ සිවිල් යුද්ධය නිල වශයෙන් නිමා වුවද, උතුරු නැගෙනහිර ජනතාවගේ සාමාන්‍ය ජන ජීවිතය පවත්වා ගෙන යාම වලක්වමින් අදිසි යුද්ධයක් පවත්වාගෙන යන නිසාය. එමගින් ඔවුන්ව යලි සුපුරුදු ජීවන රටාවන්ට ඇතුළු වීම වලක්වා තිබේ. ඒ සියළු පියවරයන් පවත්වාගෙන යන්නේ සිවිල් යුධයේ නිරතවූ හමුදාවන් විසින් ම ය. ඒ නයින් බලන කල, මේ සිවිල් වෘත්තීන්හි නිරත කර ඇති හිටපු හමුදා නායකන් තවමත් සිටින්නේ, සාමාන්‍ය සිවිල් පරිපාලකයන්ගේ මනෝ භාවයෙන් නොව සිවිල් යුධ මෙහෙයුම් කරුවන්ගේ මානසිකත්වයේ ය.

මේ ඒලියන්ස් ලා සියළු සිවිල් පරිපාලන තනතුරු වලින් ඉවත් කරන ලෙස සටන් පාඨයක් ඉදිරිපත් වන්නේ නම්, ප්‍රජාතන්ත්‍රීය සටන්පාඨයක් ලෙස පළල් නිර්ධනීන්ට විශාල අධ්‍යාපනයක් ගෙන එයි. නමුත් මේ පරිපාලකයන්ගේ අත්තනෝමතික පිලිවෙත් විවේචනය කරනවා විනා, ඒ විවේචන සටන්පාඨයක් බවට පත් නොකෙරේ.

එය පෙන්වන්නේ, බොහෝ සේවා ප්‍රශ්න වලට හේතුව වී ඇති මේ ප්‍රජාතන්ත්‍රීය විරෝධී පත්කිරීම් වලට එරෙහිව සටනක් ඇති වීම සඳහා අවශ්‍ය ප්‍රභල දේශපාලන නායකත්වයක් කම්කරු පංතියේ ඓන්ද්‍රීය නායකයන් සතුව නැති බවයි.

කම්කරු පංතියේ ආංශික එක්සත් කමිටු පැවතියත්, ජාතික මට්ටමේ එ්කාබද්ධ නායකත්වයක් සංවිධානය වී නොමැතිකම මේ උකටලී බවේ ප්‍රාථමික හේතුවයි. යුධවාදී වෘත්තීය සමිති නායකයන් වෘත්තීය සමිති එක්සත් ක්‍රියාකාරී කමිටුවෙන් පලවා හරිමින්; උතුරෙන් සිංහල හමුදා වහා ආපසු කැදවනු! යන ලෙසින් ප්‍රබල ප්‍රජාතන්ත්‍රවාදී සටන්පාඨ ඉදිරිපත් කළ (1986 ජූලි – ජාතික කම්කරු නියෝජන සමුළුවේ ඉල්ලීම් මාලාව) බලගතු කම්කරු පංති ව්‍යාපාරයක් එදා පැවැතියේ, ඒ ජාතික මට්ටමේ ඇතිකර ගත් එ්කාබද්ධ සංවිධාන බලය තුළය. එවැන්නක් නැති කල්හි, තමන්ගේ කරමත ලග්ගවා සිටින ඒලියන්ස් ලා ඉවත් කිරීම සටන්පාඨයක් බවට පත් කර ගැනීමට වත් ශක්තියක් නැති වීම ස්වාභාවිකය.

(6) ලිබරලුන්ගේ හා ප්‍රජාතන්ත්‍රිකයන්ගේ ගන්ධබ්භ තත්ත්වය ගැන පැහැදිලි තක්සේරුවක් තිබිය යුතුය. මේ පවතින සමාජ ආර්ථික පරිසරය තුළ ඔවුන් කිසිම අයුරක ශක්තිමත් දේශපාලන නායකත්වයක් ඉස්මතු නොකරයි. ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී ධාරාවෙන් බිඳීගිය කොටස් කරන්නේ කුමක් හෝ මැතිවරණයක් ලබා ගැනීම සඳහා ආණ්ඩුවට ‘අභියෝග’ එල්ල කිරීමයි. ආණ්ඩුව ද බොහෝම කැමැත්තෙන් එම ‘අභියෝගය’ සමඟ පෙළගැසී, ඒ නාටකය මධ්‍යයේ තමන්ගේ කටයුතු සාර්ථක ලෙස කරගෙන යමින් සිටි.

2015 ජයග්‍රහණයට පාදක වූ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහය පුපුරුවා හල එහි අභ්‍යන්තර අන්ත දක්ෂිනාංශික බලවේග එසේ අද කරගෙන යමින් සිටින්නේ, සැළකිය යුතු ලිබරල් හා ප්‍රජාතන්ත්‍රීය පිරිස් ගණනාවක් එළියට ඒම වලක්වන කෙමනක් ලෙස ක්‍රියා කරමින්, ප්‍රජාතන්ත්‍රීය සටන්පාඨ ඉදිරියට ඒම වලක්වා, ඊලඟ පාවාදීම සූදානම් කිරීමයි. එපමණට එයට පිටින් සිටින ප්‍රජාතන්ත්‍රීය ප්‍රවණතාවයන් ද තවමත් ස්ථීරසාර සටන්පාඨ ඉදිරිපත් කිරීමෙන් හා ඒවා මත පියවරයන් ගැනීමට ඉදිරිපත් වීමෙන් වැලකී සිටිනු දැකිය හැකි ය.

මේ අසාර පරිසරය දෙමළ විමුක්ති අරගලය තුළත් දැකිය හැකිය. එහි ද සටන්පාඨ අපහැදිලිය. නායකත්වයන් විසිර සිටී. තම ජාතියේ අනාගතය සකසා ගැනීමේ පැහැදිලි ඉදිරි දැක්මක් ඉදිරිපත් කරනු පෙනෙන්නේ නැත.

(7) 1905 නොමැතිව 1917 විප්ලවය ජයගැනීමට ඉඩක් පැවතියේ නැත. එසේ ම 2015 නොමැතිව මීලග ප්‍රජාතන්ත්‍රීය ප්‍රවාහය ජයග්‍රාහී නොවනු ඇත. එබැවින් 2015 පරාජය වී, ගතවූ වසර දෙක තුලදී අපගේ පරාජයන් තේරුම් ගැනීමට හා ඒවා නිවැරදි කර ගැනීමට අපට හොඳ අවස්ථාවක් ලැබුණි. අප එම අවස්ථාව ප්‍රයෝජනයට ගැනීමට වැර දරන්නේ දැන් ය. එතෙක් අපි කළේ කම්පාවෙන් හිරි වැටී සිටීමය. එම චෝදනාවෙන් ගැලවීමට හේතු දැක්වීම සඳහා අපට COVID 19 යේ රැලි කීපයක් ම ඉදිරිපත් කළ හැකිය. නමුත් අභ්‍යන්තර සාකච්ඡාව පවත්වාගෙන යෑමට අපට බොහෝ අවස්ථා තිබූ මුත් අපි ඒ සියල්ල මඟහැර සිටියෙමු.

එයට හේතුවී ඇත්තේ 2015 ජයග්‍රහණයක් ද? යන්න ගැනත්, එහි ප්‍රමාණය හා ගුණය ගැනත් අප අතරම බොහෝ විචිකිච්ඡාවන් පැවැතීම ය. මාක්ස්වාදය සූත්‍ර කීපයක් හා ස්ථාවරයන් ගණනාවක් බවට පත් කරගෙන සිටිමින් පක්ෂය තුල විවාදයක් ඇරඹූ “සුළුතර යුධවාදී ප්‍රවණතාවය”, 2015 පසුබිමේ පැවැති ප්‍රජාතන්ත්‍රීය ප්‍රවාහය කනපිට හැරවීම සඳහා ක්‍රියාත්මක වූ යුධවාදී බලවේග වල අනියම් නියෝජනයක් විය. ඔවුන් පක්ෂ නායකත්වය හා අභ්‍යන්තර ව්‍යුහය එල්ල කර ගෙනගිය අවලාද ව්‍යාපාරයත්, කිසිම බැරෑරුම් සාකච්ඡාවකින් තොරව ඒ අවලාද සමඟ ජාත්‍යන්තර ලේකම් මණ්ඩලය පෙළ ගැසීමත් සැබැවින්ම මේ හිරිවැටීම පසුපස රාව ප්‍රතිරාව නැංවී ය. 

අපගේ මේ නිස්සාර වසර කීපය, පංති ව්‍යාපාරය තුළ මෙන්ම පසුබැස ගිය 2015 බලවේගයන් ආමන්ත්‍රණය කිරීම සඳහාත් අවශ්‍ය මතවාදී අරගලයක් ශක්තිමත්ව ඉදිරිපත් කිරීමටත් නොහැකි විය. ඒවා ආමන්ත්‍රණය කරන, හා ජනතා පෙළගැසීම් වලට ආමන්ත්‍රණය කරන සංක්‍රමණීය වූ සංයුක්ත දේශපාලන සටන් පාඨ බලපෑමක් ඇතිවන අයුරින් ඉදිරිපත් කිරීම ට අපි අසමත් වීමු.

දැන් මේ වගකීම ඉටුකිරීම සඳහා කටයුතු ඇරඹීමට අපි දේශපාලන වශයෙන් පැහැදිලි අදහසක්, හා නිසි සටන්පාඨ මත ක්‍රියා කිරීම සඳහා පෙළගැසිය යුතුය. එමගින් කම්කරු පංති ව්‍යාපාරය හා ප්‍රජාතන්ත්‍රීය හා ලිබරල් බලවේග අතරට සංක්‍රමණීය සටන්පාඨ හා පියවරයන් යෝජනා කරමින්, අනාගතය දකින නායකත්වයක් ලෙස මේ මොහොතේ අපගේ වගකීම ඉටු කිරීමට ක්‍රියා කළ යුතු වෙමු.

(8)    ආරම්භය සඳහා අපට විශිෂ්ඨ කොටස් සිටී; ඉතා හොඳ, බැරෑරුම් ලෙස අධ්‍යාපනය ලත් මිනිස්සු, එසේම හොඳ සංවිධායකයන් මඬුල්ලක් සිටී. ඔවුන් නිසි ලෙස ක්‍රියා කිරිම ඇරඹූ කල්හි, නිර්ධන පංතියේ මනෝගතියෙහි වෙනස ඉතා වේගවත් රිද්මයකින් එළඹෙනු ඇතැයි විශ්වාස කළ යුතුය. යුධ නිමාවත් සමඟ එළැඹි 2011-14 වසර දෙක තුන පෙන්වන්නේ එයයි. මහා දැවැන්ත හැඩි දැඩියෙකු ලෙස බලයට ගෙනා ගෝටාබය අද යම් විට‍ෙක ගොරවනවා සේ රඟපෑවත්, ඇසෙන්නේ උඩු බිරුමක නාදයක් බවට පත් වී ඇත්තේ ද ඒ පසුබිම තුළය.  

‘It is not excluded that the general revolutionary change of the proletariat and the middle class, and the political decomposition of the ruling class, will develop more quickly than the ripening of the Communist Party. It signifies that it does not exclude after tomorrow a genuine revolutionary situation without an adequate revolutionary party.’- (Writings of L. Trotsky – 1931) ‘කම්කරු පංතියේ හා මධ්‍යම පංතියේ පොදු විප්ලවවාදී පරිවර්තනය හා පාලක පන්තියේ දේශපාලනික බිඳී විසිර යෑම, කොමියුනිස්ට් පක්ෂයේ පරිණත වීමට වඩා ඉක්මනින් වර්ධනය විය හැකිය යන්න නොතකා හරිනු නො ලැබේ. මෙයින් ගම්‍යවන්නේ, අවශ්‍ය තරමේ විප්ලවවාදී පක්ෂයකින් තොරව අව්‍යාජ විප්ලවවාදී තත්ත්වයක් වර්ධනය විය හැකිය යන්න හෙට දිනයෙන් පසු බැහැර නොකරනු ඇති බවයි.’ (ලියොන් ට්‍රොට්ස්කි)


[1] මෙහිදී “ආදිවාසීන්” යනුවෙන් අදහස් කරන්නේ, දියුණු සමාජයට ඇතුල් වී ගැන්මට නොහැකි කම නිසා, තම ව්‍යාපාරයේ, වෘත්තියේ ආරක්ෂාව වෙනුවෙන් අතීතයේ ජීවත් වීම යෝජනා කරන මධ්‍යමපාන්තික ව්‍යාපාරිකයන් හා ඊනියා බුද්ධිමතුන්වය.

You may also like...

7 Responses

  1. 2022-05-03

    […] ලංකාව විප්ලවයකට සූදානම් ද? […]

  2. 2022-05-03

    […] ලංකාව විප්ලවයකට සූදානම් ද? […]

  3. 2022-05-03

    […] ලංකාව විප්ලවයකට සූදානම් ද? […]

  4. 2022-05-03

    […] ලංකාව විප්ලවයකට සූදානම් ද? […]

  5. 2022-05-03

    […] ලංකාව විප්ලවයකට සූදානම් ද? […]

  6. 2022-05-03

    […] ලංකාව විප්ලවයකට සූදානම් ද? […]

  7. 2022-05-11

    […] ලංකාව විප්ලවයකට සූදානම් ද? […]

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.