කොරෝනාවට බුදු දහමේ උත්තරය ගල්කන්දේ ධම්මානන්ද හිමි කියා දෙයි

සේයා - අන්තර්ජාලයෙන්

අද මනුෂ්‍යයා මුහුන දී ඇති කොරෝනා වසංගතයට, බුදු දහමේ ඇති උත්තරය ගල්කන්දේ ධම්මානන්ද හිමියන් විසින් විස්තර කිරීමට කටයුතු කර තිබේ.

පිරිත් පැන් ගංගාවන්ට දැමීම බුදු දහමේ පිළිතුරක් නොවෙයි

“අපේ සමාජයම කොරෝනා තත්ත්වයකට මුහුණ දීල ඉන්න මොහොතේ මේ වෙලාවේ බුදු හාමුදුරුවන්ගේ ඉගැන්වීමෙන් මේකට තියෙන උත්තරය මොකද්ද කියල ඇහුවොත් බොහෝ දෙනා හිතන්න පුළුවන් පිරිත් කියන එක, පිරිත් නූල් බදින එක, පිරිත් පැන් ගංගා වල පාකරන එක වගේ නොයෙක් පුද පූජා කරන එක තමයි බුදු හාමුදරුවන්ගේ පණිවිඩයෙන් ලබා ගන්න පුළුවන් උත්තරේ කියල” යයි උන්වහන්සේ තම සාකච්ඡාව ආරම්භයේ දී, සමාජයේ පවතින දුබල අදහස මතුකර පෙන්වා දෙයි.

ඇත්තෙන්ම අද වන විට පාර්ලිමේතුවේ පවා මෙවැනි පුද පූජා, වෛරසයෙන් ආරක්ෂා වීමට යොදා ගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා වන තත්වයක් මතු වී තිබේ.

රටේ සෞඛ්‍ය භාර ඇමතිනිය පවා මෙසේ පුද පූජා වලට යොමු වී ඇති අයුරු අපි දුටිමු.

ධම්මානන්ද හිමියන් පෙන්වා දෙන්නේ, මේ සියල්ල සංස්කෘතිය විසින් ගොඩ නගන ලද පිළිතුරු බවයි.

ඕනෑම සමාජයක සංස්කෘතික වශයෙන් ගොඩ නැගී ඇති උත්තර, පැහැදිලිව ධර්මයෙන් වෙන් කොට හදුනා ගැනීමට අපට කටයුතු කළ යුතු බව ඔහු කියා සිටී.

“බුදු හාමුදරුවෝ තමන්ගේ පණිවිඩය කියා දුන්නේ මනුෂ්‍ය වර්ගයාට. එතකොට මනුෂ්‍ය වර්ගයා යනු මුළු ලෝකයේම වසන පොදු මනුෂ්‍ය වර්ගයා. මේ සියලු මනුෂ්‍යයන්ට සංස්කෘතික වෙනසක් නැතිව භාවිතා කරන්න පුළුවන් බුදු හාමුදරුවෝ ගෙනා උත්තරය මොකක් ද?” යි විමසමින්,

අවදි සිහිය පුරුදු පුහුණු කිරීම

ධම්මානන්ද හිමියන් පෙන්වා දෙනුයේ කොරෝනාවට බුදු දහමේ උත්තරය නම්, අපගේ සෑම ඉරියව්වක් පවත්වන මොහොතක දී ම අවදි සිහියෙන් යුක්තව කටයුතු කිරීම බවයි.

“අපි හිටගෙන ඉන්නකොට, අවිදින කොට, හිදගෙන ඉන්නකොට, වැතිරිලා ඉන්නකොට, යන සතර ඉරියව්වේ දී ම, අවදි සිහියෙන් කටයුතු කිරීම”

” ‘යෝනිසෝ මානසිකයෙන් කටයුතු කිරීම.”

සතිපට්ඨාන සූත්‍රයේ මෙය මනාකොට විස්තර කර ඇති බව පෙන්වා දෙන හිමියන්, මේ පිලිවෙත පුහුණු කරන අභ්‍යාසයන් බුදු හාමුදුරුවන් විසින් උගන්වා ඇති බවත් පෙන්වා දුන්නේය.

බුදුන් වදාල දහමට අනුව අවදි සිහියෙන් කටයුතු කිරීම මෙම වසංගතයට මුහුන දීමට යොදා ගන්නේ කෙසේ දැයි ධම්මානන්ද හිමි මෙසේ පැහැදිළි කරනු ලබයි.

පළමුව;

හුස්ම ගැන සිහියෙන් යුතුව ආනා පාන සතිය වැඩීම.

අපි හුස්මක් ගන්නකොට හුස්ම ගන්නවා කියන අවබෝධයෙන් ගැනීම. හුස්ම පිට කරන කොට ඒ අවභෝධයෙන් හුස්ම පිට කිරීම.

එතකොට අපි මේ හරහා සිත පුහුණු කරනව මේ මොහොතේ ජීවත් වීමට.

දෙවනුව;

කායානුපස්සනාවේ දී අපි කායිකව කරන හැම දෙයක් ගැනම අවදි සිහියෙන් සිටීම.  

අපි යමක් අල්ලන කොට මම මගේ අතින් යමක් ඇල්ලුවා කියන එක මම දැනගෙන ඉන්න ඕනා. දැන් මම අත් සෝදන්න ඕනා කියන දැනුම එවිට සිහියට නැගෙයි.

මම දැන් යමක් ඇල්ලුවා දැන් මගේ අත මුහුණ වෙත යනවා. මම මුහුණ ඇල්ලුවොත් මගේ අතේ තැවරුන වෛරසය මට ඇතුලත් වෙන්න පුළුවන් කියන අවදි සිහිය.

අතින් මුහුණ කට අල්ලන එකෙන් වලකින එක.

තුන්වනුව;

අපි යම් ගනුදෙනුවක් යම් අයෙක් එක්ක කළොත් එතකොට මම දන්නවා යමෙක් මට දුන්න දෙයක් මම ඇල්ලුවා, මුදල් මම ඇල්ලුවා එතකොට වෛරසයට එන්න පුළුවන්.

දැන් අවදි සිහියෙන් නම් ඉන්නේ ඔබට පුළුවන් එය පාලනය කර ගන්න.

හතරවනුව;

කෙනෙකුට අපි ලංවෙන කොට, අපි මීටරයකට වඩා ලං වෙනකොට අපි දන්නවා අවදි සිහියෙන් නම් ඉන්නේ අපි සීමාව ඉක්මවා ලංවෙනවා කියන එක.

අපි මොන දේ කතා කළත්, සිත් ගන්නා සුළු විහිලු කරමින් හිටියත්, මොන දේ කතා කළත්, අවදි සිහිය අප තුල තියෙනව නම් දන්නවා අපි සීමාව ඉක්මවා ලං උනා කියන එක.  

“මෙන්න මේ ටික මනුෂ්‍ය වර්ගයා අතරේ පුහුණුවක් බවට පත් වෙනවා නම් අපට මේකෙන් ගැලවෙන්න පුළුවන්. වෛද්‍ය උපදේශ මත එන අවශ්‍ය දැනුම අපි අවදි සිහියෙන් සිටීම පුහුණු කරවා ගත් තත්ත්වයක සිටිනවා නම් අපිට නොවරදවා භාවිතා කරන්න පුළුවන්.”

මේ පණිවිඩය සමාජය තුළ බෙදා ගන්නා ලෙස ඉල්ලා සිටින ධම්මානන්ද හිමියන්, මෙවැනි ව්‍යසනයකට මුහුන දීමට නම් සිය වගතීම තමන් අතට ගැනීම ඉතා වැදගත් බව පෙන්වා දෙයි.

ගල්කන්දේ ධම්මානන්ද හිමියන් අදහස් දක්වන එම වීඩියෝ පටය පහතින්.

සබැදි ලිපි

You may also like...

1 Response

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.