ලංකාවේ ආර්ථික අර්බූදයට මුල ‘දෙමළ ජනයාට එරෙහි යුද්ධයට ගත් ණයයි’

සේයා - අන්තර්ජාලයෙන්

යුද්ධ කිරීමට විදෙස් රටවලින් ලබා ගත් ණය කන්දරාව වර්තමාන ආර්ථික අර්බුදයට මූලික හේතුව යැයි ගෝඨාභය පාලනයට එරෙහි දීර්ඝතම පාද යාත්‍රාව සංවිධානය කළ උතුරු නැගෙනහිර බහුජන සංවිධානයක් පෙන්වා දී තිබේ.

දෙමළ, මුස්ලිම් හා කඳුකර දෙමළ ජනයාගේ ඉල්ලීම් රැගෙන පොතුවිල් සිට පොලිකන්ඩි දක්වා කිලෝමීටර් 700ක් පාද යාත්‍රාව දියත් කළ P2P සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ, දෙමළ ජනයාට එරෙහිව යුද්ධ කිරීමට ගත් ණය හේතුවෙන් මතු වූ ආර්ථික බිඳවැටීම අද වන විට දේශපාලන අර්බුදයක් නිර්මාණය කර ඇති බවයි.

සිංහල ජනයා 69 ලක්ෂයකගේ ජන්දයෙන් ජය ගත් බවට උදම් ඇනු සිංහල ජනාධිපතිවරයාට අද ඉල්ලා අස්වෙන ලෙස විදී බැස සටන් කරන්නේ ඔහුට ජන්දය ලබා දුන් එම ජනතාවම බව P2P අවධාරණය කරයි.

සිංහල දේශයේ කිනම් අයුරකින් ආණ්ඩු වෙනස්වුවද දෙමළ ජනතාවට කිසිදු යහපතක් නොවන බවට එම සංවිධානය බිය පල කරයි.

සිංහල පාලකයන් කවුරු බලයට පැමිණියත්, අපේ අයිතිවාසිකම් උදුරා ගන්නවා. අපේ ඉඩම් බලහත්කාරයෙන් අත්පත් කරගන්නවා. අපේ සම්පත් සුරාකනවා පමණක් නොව අපේ ප්‍රදේශවල ජන සංයුතිය වෙනස් කිරීමට ද ඔවුන් පසුබට වන්නේ නෑ.

හින්දු පූජක වේලන් ස්වාමි, සබාරත්නම් සිවයෝගනාදන් සහ කන්දයියා ජෙගනාදන් නම් දෙමළ සමාජ ක්‍රියාකාරීන්ගේ අත්සනින් යුත් එම නිවේදනයේ දැක්වෙන්නේ ආර්ථික අර්බුදයට මෙන්ම දෙමළ ජනයාගේ අයිතිවාසිකම් නැවත දිනා ගැනීම වෙනුවෙන් දියත් කර ඇති සටන අඛණ්ඩව ඉදිරියට ගෙන යන බවයි.

අපිට මේ අද පවතින අර්බුදය අලුත් දෙයක් නොවේ. වසර 20 කට වැඩි කලක් අප දිවි ගෙවුයේ විදුලිය, ඉන්ධන, අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහ බෙහෙත් නොමැතිව ආර්ථික තහංචි මැදය.

දෙමළ ජනයාට එරෙහිව ගෙන ගිය යුද්ධයට ආණ්ඩුව ලබා ගත් විදේශීය ණය හේතුවෙන් කරවටක් එරී තිබෙන ආර්ථිකයෙන් පිඩාවට පත් උතුරු නැගෙනහිර හා කඳුකර දෙමළ ජනතාව වෙනුවෙන් ඉන්දීය මධ්‍යම හා තමිල්නාඩු ප්‍රාන්ත ආණ්ඩු ආර්ථික සහන ලබා දී ඇති බවට P2P සංවිධානය සිය නිවේදනයේ සඳහන් කර තිබේ.

එසේ ආර්ථික සහන සලසන අතරේ දෙමළ ජනයාගේ ප්‍රශ්නයට විසදුම් ලබා දීමට ලංකා ආණ්ඩුවට බලපෑම් කරන ලෙස එම සංවිධානය ඉන්දියාවෙන් ඉල්ලයි.

සිංහල ජනතාව සිය පරිපාලනය වෙනස් කිරීමට කරන සටන දෙස දෙමළ ජනතාව බැලිය යුත්තේ ඉතාමත් කල්පනාකාරීවය. අද පවතින පසුබිම නිර්මාණයට හේතු නොසොයා පුද්ගලයන් වෙනස් කිරීම පමණක් අනුමත කළ නොහැක.

දිනෙන් දින දෙමළ ජනතාව විනාශය කරා තල්ලු කිරීම නවත්වා, සිංහල ජනතාව විසින් දෙමළ ජනයාගේ අයිතීන් දිනා ගැනීමේ යුක්ති සහගත සටන පිළිගත යුතුය.

TheLeader

You may also like...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.