අකාබනික පෝර තහනම – ආහාර කැරළි වලට අතවැනීමක්!

Landscape Thailand Paddy Fields  - Expatsiam / Pixabay
Expatsiam / Pixabay

මේ ලියන දිනයට සති හයකට පෙර අපේ රටේ ගොවියන්ගේ හිස මතට වැහි නැති අකුණක් පාත් වූයේය. ඒ ප්‍රහාරය කොයිතරම් අනපේක්ෂිත වී ද යත්, කිසිවකුට ඔලුව බේරා ගැනීමටවත් ඇසිල්ලක් තිබුනේ නැත. 

ඒ 2021 අප්‍රේල් 27 දා දාතමින්, එදිනම ජනාධිපතිවරයා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ලදුව, ඒකෂ්ණයෙන් අනුමැතියද ලද කැබිනට් සංදේශයක් නිසාය. පිටු අටක් පුරවා තිබූ මෙම සංදේශය තුළ, ඉදිරි දැකුම්, බලාපොරොත්තු, පැහැදිලි කිරීම් ලැයිස්තුවක් දක්නට තිබේ.

ඒ අතර කැබිනට්ටුවට සම්මත කිරීමට තිබූ එකම එක අලුත් යෝජනාවක් දක්නට ලැබේ. ඒ රාසායනික පෝර හා වෙනත් කෘෂි රසායනික යෙදවුම් භාවිතය, ආනයනය හා නිෂ්පාදනය එළැඹෙන 2021/22 මහ කන්නයේ සිට තහනම් කිරීමය.

දැන් ජනාධිපතිට අවශ්‍යව තිබුනේ මෙම තීරණය හදිසි හෙනපතයක් නොව; දෙවසරකට පෙර තමන්ගේ “ඝෝඨාභය – රට හදන සෞභාග්‍යයේ දැක්මේ” ප්‍රකාර “තිරසාර පරිසර ප්‍රතිපත්තියක් සඳහා ප්‍රතිඥා දී ඇති” බැවින්, එය ඉෂ්ඨ කිරීමට ගන්නා වූ කල්පනාකාරී තීරණයක් බව රටටත් ලෝකයටත් පෙන්නීමටය.  ඒ සඳහා මෙහි 1.3.1 වගන්තිය ලෙස ඉදිරිපත් කර ඇත්තේ මේ ‘සෞභාග්‍ය දැක්මේ’ 39 පිටුවේ ‘පොහොර භාවිතයේ නව පෙරලිය’ අනුමාතෘකාවෙන් ඉදිරිපත් කර ඇති ජේද 07 කින් යුත් වැඩපිලිවෙලේ පළමු ජේදයයි.

ජන වරමක්

එහි මෙසේ කියයි  “නිරෝගී සහ ඵලදායී පුරවැසියන් කිරීමට නම් රජය විසින් වස විසෙන් තොර ආහාර වේලක් සඳහා ජනතාවට ඇති අයිතිය සහතික කළ යුතුය. ඒ සදහා ඉදිරි දශකය තුළ ලංකාවේ කෘෂිකර්මාන්තය සඳහා මුළුමනින්ම කාබනික පොහොර යොදා ගැන්මට එම නිෂ්පාදන වේගවත් කළ යුතුය.”

දැන් මේ දේ ගැන ජනාධිපතිවරයා ට අවබෝධයක් තිබේදැයි පැනයකි. මන්ද එහි 2021 දී මෙවැනි තහනමක් ගෙන එන බවක් කියා නැති නිසාය. එසේ කියා තිබුණි නම් ගොවියන් මේ තත්ත්වයට මුහුණ දීම සදහා සංවිධානාත්මක පියවරක් ගැනීමට ඉඩ තිබුණි.

මේ අතර වාර්තා වූයේ, එහිදී ඇතැම් අමාත්‍යවරුන් ඒ සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ජා කිරීමට අවශ්‍ය බව පවසද්දී ජනාධිපතිවරයා දැඩිව ප්‍රකාශ කර ඇත්තේ තමා ජනධිපතිවරණයේ දී දුන් පොරොන්දු ඉටුකිරීම තවදුරටත් පමා කළ නොහැකි බවයි. මෙවැනි පොරොන්දුවක් දී නැති බව මේ ඇමතිවරු කී බවක් නම් වාර්තා වී නැත.

එසේ මුත් කෘෂිකර්ම ඇමති මහින්දානන්ද විසින් ජනාධිපතිවරයාගේ තීන්දුව අගයමින්, කාබනික පොහොර වලින් මෙරට කෘෂිකර්මාන්තය ගොඩදැමිය හැකි බවට සහතික වී ඇති බවද වාර්තා විය.

මේ හදිසි තීන්දුවක් නොවේ යයි පෙන්නමින් කෘෂිකර්ම ඇමති පාර්ලිමෙන්තුවේ දී කීවේ ‘දැකුමේ’ පමණක් නොව, ඊට පෙර මහින්ද රාජපක්ෂ රට කරවන කාලයේත් මෙම ප්‍රතිපත්තියම ඉදිරිපත් කළ බැවින්, මෙම තීන්දුව ‘දැකුම’ටත් වඩා පරණ බවයි. ඔහු මේ කියන්නේ 2014 මාර්තු 26 දාතමින් හා “කාබනික පොහොර නිෂ්පාදනය හා භාවිතය ප්‍රචලිත කිරීමේ ව්‍යාපෘතිය” තේමාව මත කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් ඉදිරිපත් කරන ලද ලියවිල්ල ගැන ය. එහි රට කාබනික කෘෂිකර්මය කරා ගෙන යෑම වෙනුවෙන් ඉතා වැදගත් වැඩ පිලිවෙලක් ඉදිරිපත් කර තිබුණි. විෂයගත දැනුම හා ක්ෂේත්‍රයේ අත්දැකීම් ඇති යම් ප්‍රාමාණිකයින් පිරිසක් විසින් සකසන ලදැයි බැලූ බැල්මටම පෙනෙන එහි දී යෝජනා කර තිබුනේ කෘෂිකාර්මික ප්‍රදේශයන්හි කාබනික අමුද්‍රව්‍ය පිළිබද දැනුවත් කිරීමේ හා පොහොර සැකසීමේ ප්‍රායෝගික වැඩසටහන් ක්‍රියාත්මක කරමින් කොම්පෝස්ට් නිෂ්පාදනයට යොමු කිරීමත්, ඒ සදහා අවශ්‍ය තාක්ෂණික උපකරණ නිෂ්පාදනය කිරීමත් ප්‍රාථමික ලෙස කළ යුතු බවයි. විශේෂයෙන් වගා කටයුතු හා බැදුනු සත්ත්ව පාලනය පිලිබදව ද අවධාරණය කර තිබුණි.

මෙකී කාබනික පොහොර නිෂ්පාදනයට හා භාවිතාවට යොමුවීමේ ක්‍රියාමාර්ගයන් දියත්ව යන අතර, රසායනික පොහොර තහනමක් නොව, ආනයනය 25% කින් අඩු කිරීමට එහි යෝජනා කර තිබුනේ ඊලග අත්දැකීම හරහා ගොවීන් ගෙන යෑමට යයි සිතිය හැකිය.

දැන් ප්‍රශ්නය පැන නගින්නේ මේ කිසිම ලියවිල්ලක ‘වැසි නැති අකුණු විධික්‍රමය’ ගැන කිසිම ඉඟියක් වත් නැතිව මේ පියවර ගත්තේ ඇයි? ඒ මදිවාට “එළඹෙන 2021/22 මහ කන්නයට මුළුමනින්ම රසායනික පොහොර හා කෘමිනාශක භාවිතයෙන් තොරව වගා කිරීමට පියවර ගත යුතුය” (සංදේශය 2.4 වගන්තිය) හා “රටක් ලෙස එම අභියෝගයට මුහුණ දිමට ජනතා වරමක් ලැබී ඇති බැවින් ඒ සඳහා ජනතාව පෙළගැස්වීමට සමස්ථ රාජ්‍ය යන්ත්‍රය මෙහෙයවිය යුතුය” (සංදේශය 2.5 වගන්තිය)  

දැන් මේ කියන්නේ කුමක් ද? රසායනික පොහොර තහනමකට තමන්ට ජන වරමක් ඇතැයි කූට පුයෝගයක යෙදෙමින් ජනාධිපති එම අදිසි ජනවරම යකඩ සපත්තුවක් ලෙස යොදා ගැන්ම මෙන්ම සන්නද්ධ බලය පාරට ගැනීමට අවශ්‍ය සමාජ මනෝභාවයන් සූදානම් කරන බවයි.

මේ හදිසි පියවර මහත් වූ සමාජ ආර්ථික කම්පනයන්ට ගොවි ජනතාව හා පොදුවේ රටේ අඩු ආදායම් ලබන ජනතාව මුහුණ පාන බැවින් යම් කැරලිකාරී තත්ත්වයක් දුගී ජනයා අතරින් මතු වීම ජනාධිපති බලාපොරොත්තු වන බව පෙනේ. එය මැඩපැවැත්වීමට කොරෝනා නීති කොයිතරම් දුරට යොදා ගත හැකි ද යන්න සැක සහිතය. ඇති වීමට නියමිත මේ තත්ත්වයට වඩා ඉතා අඩු සරළ ප්‍රශ්න මත ජනතාව පාලකයන් සමග ගැටුම් ඇතිකර ගැනීම නිරන්තරව සිදුවෙමින් තිබේ.

දැන් මේ ප්‍රයෝගය, විදේශ විනිමය දැඩි ලෙස පහල වැටෙමින් යෑම නිසා ආනයන කැපීමේ උවමනාව මත ගත් අනුවන පියවරක් බව ගැන කිසිවකුට සැකයක් නැත. ඒ නිසා ඒ ගැන කතා කිරීමේත් ඵලක් නැත. 

”රසායනික පොහොර භාවිතයෙන් ඉහළ අස්වැන්නක් ගත හැකිය. එහෙත්, වැව්, ඇලවේලි සහ භූගත ජලය දූෂණයෙන් ජීවිත වලට වන හානිය එම ලාභයෙන් පියවිය නොහැකිය. දැනට වාර්ෂිකව පොහොර ආනයනය සදහා වැය කෙරෙන ඩොලර් මිලියන 400ක මුදල ජන ජීවිතය නගා සිටුවීමට යොදාගත හැකි බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.” යි ජනාධිපති මන්දිරයේ දී, රාජ්‍ය සංස්ථා සහ ව්‍යවස්ථාපිත මණ්ඩල වල ප්‍රධානීහු සමග පැවති හමුවකදී ජනාධිපතිවරයා කියා සිටි බව වාර්තා විය.

නමුත් මේ කියන “ඉහළ අස්වැන්න” කොපමණ ද? එසේනම් රසායන පොහොර භාවිතයෙන් තොරව ලැබෙන පහල අස්වැන්න කොපමණ ද? ඉන් ඇතිවන ආහාර හිගයේ ප්‍රමාණය කෙතෙක් ද, එම හිගය පියවීමට ආනයනය කිරීමට වැය කොපමණ ද යන්න ගැන විමසුමක් කර ඇති බවක් නොපෙනේ.

හෙක්ටයාරයකට වී ඇස්වැන්න පිලිබද සංඛ්‍යා වලින් මේ ගැන යම් අදහසක් ඇති කර ගත හැකිය. රසායන පොහොර වලට පෙර 1950 දී හෙක්ටයාරයකට ලබා ඇති අස්වැන්න මෙට්ට්‍රික් ටොන් 0.90 කි. 1970 දී එය මෙට්ට්‍රික් ටොන් 2.11 ක් බවට පත් විය. ඒ රසායනික පෝර ප්‍රචලිත වීම නිසා බව ජනාධිපති තුමාගේ ප්‍රකාශය අනුව ද පෙනේ. ඊලගට 1995 දී  එය මෙට්ට්‍රික් ටොන් 3.12 ක් දක්වා ඉහල ගියේ ය. ඒ අනුව 1950 දී සහල් වලින් ස්වයංපෝෂිත රේට්ටුව 36% ක් වූ අතර එය 1970 දී 68% ක් බවට පත් වී 1995 දී 92% දක්වා ඉහල ගියේ ය.

ඊලඟ කාරණාව වන්නේ සහල් නිෂ්පාදනය හා ආනයනය අතර තත්ත්වයයි. 1950 දී සහල් නිෂ්පාදනය සඳහා යොදාගත් හෙක්ටෙයාර් 399,000 කින් මෙට්ට්‍රික් ටොන් 360,000 ක් නිශ්පාදනය කළ අතර, එය මුළු පාරිභෝජනයෙන් 36% කට පමණක් සෑහුන බැවින් හිගය සැපිරීමට මෙට්ට්‍රික් ටොන් 649,000 ක් ආනයනය කළේ ය. 1970 දී හෙක්ටෙයාර් 667,000 කින් මෙට්ට්‍රික් ටොන් 1,409,000 ක අස්වැන්නක් ලැබුණු අතර, එය 73% කට සෑහුන අතර මෙට්ට්‍රික් ටොන් 523,000 ක් ආනයනය කළේ ය. 1995 දී හෙක්ටෙයාර් 791,000 කින් මෙට්ට්‍රික් ටොන් 2,473,000 ක් ලැබුණු අතර එය 92% කට සෑහුන අතර මෙට්ට්‍රික් ටොන් 244,000 ක් ආනයනය කළේ ය. (පාරිභෝජනය ඉහල යෑම ජනගහන වර්ධනයට සාපේක්ෂව ය.)

දැන් රසායනික පෝර ආනයනය නැවැතීමෙන් ඉතිරි වන මුදල ගැන ජනාධිපතිවරයා කරන කතාව තාර්කික වීමට නම්, ඔහු කියන අස්වනු අඩුවීම කොපමණද? එය හිගය ආනයනය සඳහා කොපමන විදේශ විනිමය වැය වන්නේ ද යන්න ඉදිරිපත් කළ යුතුය. 

සමහර දේශකයෝ කියන්නේ අස්වනු අඩුවීම 40% ක් පමණ වන බවයි. එම සංඛ්‍යා කොහෙන් ලබා ගත්තා දැයි අපි නොදන්නා බැවින්, ඒවා මත කතා කිරීම තේරුමක් නැත. එවැන්නවුන් කියන්නේ කාබනික පොහොර මගින් ලැබෙන අස්වැන්න අඩුය යන සාමාන්‍ය තර්කය මත සිටයි. නමුත් මේ යන ක්‍රමයට එය සත්‍ය වුවහොත්; ඉතිරි 60% ක අස්වැන්න ලැබෙන්නේ කුමන ප්‍රමිතියකින් යුත් කාබනික පොහොර වලින් ද? එහි ප්‍රමිතිය සොයන්නේ කවුද? අඩුම තරමින් එහි ප්‍රමිතිය මෙසේ විය යුතු යයි නිගමනය කර තිබේ ද? තිබේනම් කුමන ආයතනයකින් ද? යන ගැටළු පැන නගී.

නවීකරණය කරන ලද සහල් ප්‍රභේද සහ නව ගොවිතැන් ක්‍රම මගින් ඉහළ අස්වැන්නක් ලබා ගැනීම සඳහා රසායනික පොහොර හා කෘමි/වල් නාශක රසායනික යෙදවුම් යොදා ගත යුතුය. 1960 ගණන් වල හරිත විප්ලව සමයේ සිට මේ ක්‍රම ලංකාවේ ද වී ගොවිතැන් සඳහා යොදා ගැනේ. 70 දශකයට ලං වෙද්දී එළවළු, අල බතල ඈ මෙකී නොකී සියළුම කෘෂි නිෂපාදන වාණිජකරණය වීම සමග, ඒවා සදහා නවීකරණය කළ බීජ වර්ග වගාව ඇරඹීමට සාපේක්ෂව මේ සියලු යෙදවුම් භාවිතයට ගැනිනි.  

එතෙක් පැවැති සම්ප්‍රදායික පොහොර යෙදවුම් දැන් කාබනික පොහොර ලෙස හඳුන්වනු ලබන්නේ ඒ පැරණි පොහොර ක්‍රම වඩාත් විද්‍යාත්මක පදනමකින් තේරුම් කිරීමෙන් පසුවය. එනම් ඒවායේ ඇති රසායන සංඝටක සොයා ගැනීමෙනි. ඒ අනුව අද මේ කාබනික ද්‍රව්‍ය ආහාර වගාවන්ට යෙදවිය යුත්තේ ඒවායේ අඩංගු මේ සංඝටක ප්‍රමාණ ගනනය කිරීමෙනි. උදාහරණයක් ලෙස; දෙන ලද කාබනික පොහොර හොන්ඩරයක නයිට්‍රජන්-පොටෑසියම් හා ප්‍රොස්පරස් යන මූලික ශාක පෝෂක අතරින් කුමන ප්‍රතිශතටක් තිබිය යුතුද? යන්න පැහැදිලි විය යුතුය. එම අවශ්‍ය ප්‍රතිශත තිබේදැයි බලන්නේ කව්ද? කුමන ආයතනයද? ප්‍රමිති සහතිකයක් මේ පෝර වලට ලබා දෙන්නේ ද? මේ පිලිබදව මහ කන්නයට පෙර ජනාධිපති සැලසුම් කළ යුතුය.

එසේ වූ කල්හි මේ පොහොර වර්ග දෙකේම විද්‍යාත්මක පදනම සමානය. බොහෝ විට විද්‍යාඥයන් හා අත්දැකීම් බහුල වූ අය ප්‍රශ්නය පොහොර මොනවා ද නොවන බවත් ඒවා ක්ෂේත්‍රයට යෙදීමේ දී පවතින බාල ප්‍රමිතිය හා අවීද්‍යාත්මක භාවිතාව බවත් කියන්නේ මෙවන් නිරීක්ෂණයන් රහිත නිසා විය හැක.

කෙසේ වෙතත් ජනාධිපතිවරයාත් ඉදිරිපත් කළ හා, පොදුවේ කාබනික ගොවිතැනට එරෙහි ජනප්‍රිය තර්කය නම් ඉන් ප්‍රමාණවත් අස්වැන්නක් නොලැබෙන බවයි. ඒ නිසා එයින් ලංකාවේ ජනගහනයට අවශ්‍යවන ආහාර සැපයුම කළ නොහැකි වන බවත් ය.

කාබනික හා අකාබනික පොහොර පිලිබඳ සමික්ෂණයක්

මේ සම්බන්ධයෙන් යමක් අවබෝධ කර ගැනීමට කාබනික හා අකාබනික (රසායන) පොහොර වල ඵල පිලිබඳ සමික්ෂණයක් මගින් (වී වගාව මුල් කර ඉදිරිපත් කළ) ඉදිරිපත් කරන දත්ත අනුව සාකච්ඡාව ඉදිරියට ගෙන යා හැකි ය. මෙම සමීක්ෂණය ශ්‍රී ලංකා ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනය (Institute of  Policy Studies of Sri Lanka (IPS) මගින් සිදු කරන ලද්දකි.

මේ සමීක්ෂණ නියැදියේ කාබනික ගොවීන් 310 ක් සිටියේ ය. ඔවුන් ලැබූ උපරිම අස්වැන්න අක්කරයකට කිලෝග්‍රෑම් 2730 කි. අකාබනික (රසායනික පෝර) ගොවි නියැදියට ද ගොවීන් 310 ක් විය. ඔවුන් ලැබූ උපරිම අස්වැන්න අක්කරයකට කිලෝග්‍රෑම් 2625 ක් විය. කාබනික ගොවියන් ලද අස්වනුවල සාමාන්‍ය අක්කරයකට කිලෝග්‍රෑම් 1393.7 ක් වූ අතර අකාබනික ගොවියන් ලද අස්වැන්න අක්කරයකට කිලෝග්‍රෑම් 1313.7 කි.

ඒ අනුව සමීක්ෂකයන් පෙන්වන්නේ කාබනික හා අකාබනික ගොවීන් ප්‍රමාණාත්මකව සමාන අස්වනු ලබමින් සිටි බැවින් මෙම නිරීක්ෂණ ප්‍රතිඵල; අකාබනික ගොවිතැන පොදුවේ වැඩි අස්වැන්නක්  ලබන්නේ ය යන ජනප්‍රිය විශ්වාසයට පටහැනි වූ බවයි.

දැන් මේ සමාන අස්වනු ලැබූ ගොවියන් තම කුඹුරු වලට කළ පොහොර යෙදවුම් බලමු. මෙහි දී සමීක්ෂණය පෙන්වන්නේ සමහර කාබනික ගොවීන් (නියැදියෙන් 20% කට ආසන්න) රසායනික පොහොර ද භාවිතා කරන බවයි. ඒ අතර කාබනික පොහොරත් යොදා ගන්නා අකාබනික ගොවීන් ද සිටින මුත් ඒ ප්‍රමාණය 5% ක් පමණ බැවින් මේවා සංසන්දනාත්මකව සැලකීමේ පලක් නැති බව සමීක්ෂකයන් කියයි.

දැන් කාබනික පොහොර ලෙස භාවිත කරන්නේ ප්‍රධාන වශයෙන් සත්ව පොහොර, කොළ පොහොර සහ අස්ථි පොහොර යන ප්‍රධාන කාබනික පොහොර වර්ග වේ. කාබනික ගොවීන් සත්ව පොහොර අක්කරයකට කිලෝග්‍රෑම් 120.2 ක්, කොළ පොහොර අක්කරයකට කිලෝග්‍රෑම් 28 ක් සහ අස්ථි පොහොර අක්කර අක්කරයකට කිලෝග්‍රෑම් 35 ක් භාවිතා කරන බවත්;  තවද, කාබනික ගොවීන් වගාවන් සඳහා සාමාන්‍යයෙන් අක්කරයකට කිලෝග්‍රෑම් 539.6 ජෛව පළිබෝධනාශක භාවිතා කරනු ලබන බවද සමීක්ෂණය පෙන්වා දෙයි.

හොදයි! දැන් අප අක්කරයක් නිසි ප්‍රමිතියකට පොහොර කිරීම සදහා අවශ්‍ය සත්ත්ව, කොළ හා අස්ථි පොහොර ප්‍රමාණය දනිමු. දැන් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව 2014 තම ව්‍යාපෘතියේ දී කියන ප්‍රමිතියෙන් යුක්ත කාබනික පොහොර කිලෝග්‍රෑම් 50 ක තිබිය යුතු පෙරකී ශාක පෝෂක අනුපාතයක සකසා ගත හැකිය. එමෙන්ම එම  අනුපාතය අනුව තව මාස කිහිපයකින් මහ කන්නය ඇරඹෙත්දී අවශ්‍ය කරන මුළු පොහොර ප්‍රමාණය කුඹුරු අක්කරයකට අවශ්‍ය පොහොර ප්‍රමාණය රටේ කුඹුරු අක්කර ප්‍රමාණයෙන් වැඩි කිරීමෙන් ලබා ගත හැකිය.

එකල්හි මේ සමීක්ෂණයේ ගොවියන් කරන යෙදවුම් කිරීමට අවශ්‍ය සත්ත්ව,ශාඛා හා අස්ථි ප්‍රමාණය සොයා ගැනීම මේ රටෙන් කල හැක්කක් නොවන බව පැහැදිලි වනු ඇත. (උදා: සත්ත්ව පොහොර කිලෝ 120.2 X 1,828,000 – කිලෝ කීයක් ඕනද? උතුරු කොරියාවේ නැතිනම් අතීත ජපානයේ මෙන් ක්‍රියා කිරීමෙන් මෙරට වැසිකිලි ප්‍රශ්නයට විසදුමක් දීමට හැකි යයි මහින්දානන්ද තුමා කල්පනා නොකරාවි ද යි විමතියකි. – එතකොට කටු පෝර කිලෝග්‍රෑම් 35X 1,828,000 දැන් මීනී වලවලුත් හෑරීමට සිදු වෙන්නා සේ ය.)

මෙය පෙන්වන්නේ ගොවීන්ගෙන් සුළු ප්‍රතිශතයකට පමණක් මේ අයුරු කුඹුරු කළ හැකි බවයි. එසේ නම් සමීක්ෂණයෙන් ආ ප්‍රථිඵල නොව 40% ප්‍රතිඵලය සත්‍ය වීමට ඉඩ තිබේ. මන්ද එම ද්‍රව්‍ය එම අනුපාතයෙන්ගෙන් යුක්තව සැකසූ කාබනික පොහොර ප්‍රමාණයක් ආනයනය කිරීමට වයිමාගේ රටේ නම් තිබිය හැකිය. මොලොව නම් නොවේ. එසේ තිබේ ද?

එසේ නම් ජනපති සංදේශය පරිදි ආහාර කැරළි සදහා දැන් දැන්ම සිට සූදානම් වීම නුවණට හුරුය. මන්දපෝෂණය දරුවන්ගේ හා මාතෘමරණ අනුපාත පිම්මේ ඉහල නංවනු ඇත. කොරෝනා පරදචමින් දැනට යටපත් වී ඇති වසංගත එලියට එනු ඇත.

ගණන් හදා ගැනීමට අවශ්‍ය දත්ත කිහිපයක් මෙසේ ය. 2019/2020 – අස්වනු නෙලන ලද අක්කර/හෙක්ටෙයාර් ගණන – අක්කර 1,828,000/ හෙක්ටෙයාර්  740,000 . අස්වැන්න (සාමාන්‍යය) අක්කරයකට බුසල් 87.87 – හෙක්ටෙයාරයකට කිලෝ ග්‍රෑම් 4,531. මුළු නිෂ්පාදනය බුසල් මිලියන 153.21 – මෙට්‍රික් ටොන් 3,197,000.

ජනපතිවරයා විසින්, රසායනික පොහොර, කෘමිනාශක හා වල් නාශක භාවිතය හා ආනයනය තහනම් කිරීම පිළිබඳව දැනුවත් කිරීමට මැයි 29 පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේ දී ජනාධිපතිතුමා මෙසේ ද කියා තිබුණු බව එම මාධ්‍ය අංශය වාර්තා කළේ ය. “පස නිසරු වී අස්වන්න අඩුවීමත්, ජෛව විවිධත්වය විනාශවීමත් දක්නට තිබේ…. වකුගඩු, පිළිකා ඇතුළු බෝ නොවන රෝග රැසකට රජය විසින් දරණ වියදම වාර්ෂිකව ඉහළ යමින් පවති….. ග්‍රාමීය ජනතාවගේ ජීවනෝපාය මාර්ග අහිමිවීම, සෞඛ්‍ය තත්ත්වය දුර්වල වීම සහ ජනතාවගේ ඵලදායීතාව අඩුවීම රට මුහුණ දෙන අභියෝගක් බවට පත්වී ඇත.”

රසායන පෝර කර ඇති විනාශය බලන්න!

ලංකාවට එහෙම නම් ලෝකයට කොහොම ඇද්ද? විශ්මය දනවන මග හැරීමක් ජනාධිපතිවරයා අතින් සිදු වී තිබේ. එනම් රසායන පෝර නොවන්නට ලෝකයේ කෝවිඩ් වසංගතයක් ඇති වන්නේ නැතැයි නොකී ම ය.

පස නිසරුවී විශේෂ අස්වනු අඩුවීමක් සිදුව නැති බව පෙරදී ඉදිරිපත් කළ අස්වනු ගැන සංඛ්‍යා පෙන්වයි. වන විනාශය, කඩොලාන විනාශය, තෙත්බිම් ගොඩ කිරීම, සතුන්ගේ වාසභූමි විනාශය, ජල වහන පද්ධතීන් විනාශය මෙකී නොකී පාලකයන්ගේ හා ඉහල නිලධාරීන්ගේ අනුග්‍රහයෙන් සිදුවන එකදු විනාශක් නොදකින ජනපතිවරයා, දකින්නේ රසායන පොහොර භාවිතාවේ ව්‍යතිරේකයක් ලෙස නයිට්‍රජන්ව දූෂණයෙන් සිදුවන පරිසර විනාශයන් පමණි. ඒ මන්දයත් මොහු නිකමම නිකං විලෝපිකයෙක් පමණක් වන නිසාය.

කෙසේ වෙතත් අපි ජන ජීවිතයේ මේ තතු 1963 හරිත විප්ලවයට පෙර හා පසු කෙසේ දැයි බැලීම සෑහෙයි.

1.       ලදරු මරණ අනුපාතය – උපත් 1000කට- ආසන්න දශමස්ථානයට  – 1950 දී  98 – 1960 දී 69 – 1970 දී 49 – 1980 දී 33 – 1990 දී 22 – 2000 දී 14 – 2010 දී  09 – 2020 දී 07

2.       ආයු අපේක්ෂාව – පිරිමි හා ගැහැණු ලෙස වෙනම – 1920/22 දී  පි: 32.7  ගැ:30.7  1952 දී   පි: 57.6       ගැ: 55.5 – 1962/64  දී පි: 64.0 ගැ: 63.7  1970/72 දී පි: 64 ගැ: 66.9 –  1980/82 දී පි: 67.7 ගැ: 72.1    2000/02 දී  පි: 68.8 ගැ: 77.2 – 2011/2013දී පි: 72.0 ගැ: 78.6 – 2020 ගැහැණු/පිරිමි පොදුවේ: 77.6

3.       මෙයට මාතෘ මරණ අනුපාත (මේ වන විට ලක්ෂයකට 37.2 දක්වා අඩු වී ඇත), මන්දපෝෂණය, නිදන්ගත කුසගින්න ආදී සමාජ දත්ත එකතු කළ යුතුය. එමෙන් ම මිනිසුන්ගේ ප්‍රඥාවන්ත භාවයේ වර්ධනය ගණනයට ගත යුතුය. එය දේශීය පරිමානව සිදුවන්නක් නොව විශ්වීය මට්ටමින් සිදු වන්නකි. මේ ප්‍රඥා වර්ධනය අඳුරු බිම්ගෙයකට කොටු විනැයි මොහොතක දී පෙනුනත් ඊලග මොහොතේ ඒ බිම්ගෙය පුපුරුවාගෙන විකසිත වන්නේ අලුතින් අනන්ත වූ කිරණ විහිදුවමිනි.

එබැවින් අප මේ රසායන පෝර සම්බන්ධයෙන් ද බැලිය යුත්තේ ඒ දෘෂ්ඨියෙන් ය. ගොවීන් වගාවට යොදනු ලබන නයිට්‍රජන් පොහොර මුළු ප්‍රමාණය ම අවශෝෂණය කරගැනීමට ශාකයකට හැකියාවක්‌ නැත. ශාකයට ලබාගැනීමට හැකි වන්නේ එයින් 30%ක ප්‍රමාණයක්‌ පමණි. ඉතිරි 70% ම පරිසරයට නිදහස්‌ වී යයි. මෙය මගින් සිදුවන පාරිසරික විනාශය අපි නයිට්‍රජන් දූෂණයට ලෙස හඳුන්වමු. මෙය ලොව පුරා මුහුණ දෙන ප්‍රශ්නයක් වන්නේ ය. මෙසේ සිදුවන පාරිසරික ප්‍රශ්නයන් හා සිදුවන නයිට්‍රජන් නාස්තිය වළකා, ශාකයේ නයිට්‍රජන් භාවිත කාර්යක්‌ෂමතාවත්, ඉක්මනින් ජලයේ දියනොවන ස්පටික ලෙස නයිට්‍රජන් පොහොර නිෂ්පාදනය කළ හැකි නම්, මේ ප්‍රශ්නයට තිරසාර විසඳුමක්‌ සොයාගැනීමට හැකි ය.

නයිට්‍රජන්, පොටෑසියම් හා පොස්‌පරස්‌ යන සාර්ව ශාක පෝෂක අතරින් කෘෂිකර්මාන්තයේ දී, ශාකයේ ආහාර, ජීව ස්‌කන්ධය (Bio-Mass) සහ තන්තු නිෂ්පාදනය කිරීමේ දී වඩාත් වැදගත් වන්නේ නයිට්‍රජන් ය. ඒ නිසා ආහාර වේලේ ගුණාත්මක බව මෙන්ම එහි ප්‍රමාණය ද අඩු නොකරගෙන විකල්ප නයිට්‍රජන් පොහොරක්‌ නිපදවීමට අවශ්‍ය දැනුම නිෂ්පාදනය විද්‍යාඥයන් ඉදිරියේ අද මග හැරිය නොහැකි වගකීමකි. මන්ද යත් තව වසර 09 කින් ලෝක ජනගහනය බිලියන 08 ක් වීමට නියමිත නිසා ය. එමෙන්ම අදත් ලෝවාසීන් නව දෙනෙකුගෙන් එක් අයෙක් නිදන්ගත කුසගින්නෙන් පෙලෙන නිසා ය. මේ අභියෝගයට විසඳුම් සෙවීමට පර්යේෂකයෝ දැනටමත් යොමු වී සිටියි. විවිධ රසායනික ක්‍රියාවලි, ජෛව විද්‍යාත්මක ප්‍රවේශ හා නව තාක්‌ෂණික භාවිතය ඔස්‌සේ යමින් මේ ගැටලුවට විසඳුම් සෙවීමට ඔවුහු උත්සාහ කරයි. නමුත් එක එල්ලේ සාර්ථකත්වයන් ඇති වන්නේ නැත.

යුධ අවශ්‍යතා සදහා වායුගෝලයෙන් නයිට්‍රජන් උකහා ගැනීමට ක්‍රම සොයා ගියා සේම, උත්තර ලැබෙන මොහොතක් එළඹෙන්නේ ය. අන්තිමට මෙම සොයාගැනීම නොවන්නට මිනිසාගේ දැනුම වර්ධනයට සාපේක්ෂව වේගයෙන් වර්ධනය වූ ලෝක ජනගහනයට අවශ්‍ය ආහාර නිෂ්පාදනය බරපතල ප්‍රශ්නයක් වන්නට ඉඩ තිබුණි.

ඒ නිසා ප්‍රශ්නයට පිලිතුරු සොයා ඉතිහාසයට යෑමේ පොල්පොට්වාදය මානව විනාශයේ මගයි. ඉතිහාසයේ අත්දැකීම්/ඝනීභූත ඥානය සොයා යෑම අවශ්‍යය. නමුත් ඉතිහාසයේ ජීවත්වීමට කටයුතු කිරීම නම් කිසි කලෙකත් නිවැරදි කළ නොහැකි බරපතල වරදකි.

වර්තමාන මුදල් හිගකම නිසා හෝ එසේ කිරීමට සිතීම මගින් ජනාධිපතිවරයා කරන්නේ සමාජයට ගිනි තැබීමය. විදේශ විනිමය ප්‍රශ්නයට හේතුව ධරණීය සංවර්ධනයට හරස්ව පිහිටන ඔබගේම ඥාති-හිතමිත්‍රාදීන්ගේ සමාජ, ආර්ථික හා දේශපාලන කූටෝපායයන් විනා රසායනික පෝර නම් නොවේ.

රණත් කුමාරසිංහ

You may also like...

Leave a Reply

Your email address will not be published.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.