අසමසම විප්ලවවාදී පෞරුෂය – ට්‍රොට්ස්කි ඝාතනය කර වසර 80ක්

රුසියානු විප්ලවයට නායකත්වය දුන් ලෙනින් සහෝදරයා ප්‍රමුඛ රුසියානු මාක්ස්වාදී ව්‍යාපාරයේ අසමසම විප්ලවවාදී පෞරුෂයක් වු ලියොන් ට්‍රොට්ස්කි සහෝදරයා ඝාතනයෙන් වසර අසූවක් මෙම අගෝස්තු 21 දින සම්පූර්ණ වෙයි. 1879 දී යුක්රේනයේ උපත ලද ට්‍රොට්ස්කි, එදා නම් ලද්දේ ලෙව් ඩෙවිඩෝවිච් බ්‍රොන්ස්ටයින් යනුවෙනි. පසුව විප්ලවවාදී ව්‍යාපාරය තුලදී 1902 පමණ සිට හෙතෙමේ ප්‍රසිද්ධ වූවේ ට්‍රොට්ස්කි ලෙසයි. ට්‍රොට්ස්කි නාමය ජර්මානු ‘trotz’ යන වචනයේ අරුත වන ‘විරුද්ධතා නොතකා නිර්භීතව ක්‍රියාකරන’ යන්න හා සම්බන්ධිතය. 1924 ආරම්භයේ දී සිදුවූ ලෙනින්ගේ මරණයෙන් පසු ජාතික ජාත්‍යන්තර දේශපාලන විපරිවර්තනයන්, නව දේශපාලන ප්‍රපංචයන් සම්බන්ධයෙන් වඩාත් නිවැරදිව විග්‍රහ කිරීමත්, ඒවායේ අනාගත විකසනයත් හෙලිපෙහෙලි කරමින් අනාගත වක්තෘ වරයකුගේ කාර්යභාරය ඉටු වූයේත් ඔහු අතිනි. ජාත්‍යන්තර පංති ව්‍යාපාරයට තම උපාය උපක්‍රම සකසා ගැන්මේ දී හෙතෙමේ එසේ මඟ හෙලි කළේය. ඒ නයින් ගත් කල මාක්ස්වාදයේ වර්ධනය සහා විශිෂ්ඨ මෙහෙයක් ඔහු අතින් සිදු විය. රුසියානු විප්ලවයට නායකත්වය දුන් බොල්ෂෙවික්වරුන් අතර ප්‍රමුඛයෙකු ලෙසින් දර්ශණය වූ හෙතෙමේ ලෙනින්ගේ මරණයෙන් පසු රාජ්‍ය බලය සියතේ තහවුරු කරගැනීමේ ලොල් බවින් මැඩී ගිය ජෝසප් ස්ටාලින් ට අවශ්‍ය වූ වැදගත් ම ගොදුර බවට පත්වූයේ ය.  

ට්‍රොට්ස්කි සෝවියට් සංගමයේ කොමියුනිස්ට් පක්ෂයෙන් 1927 දී පහ කරන ලද අතර 1929 දී තුර්කියට පිටුවහල් කෙරිණි. ඔහු හා ඔහුගේ භාර්යාව නතාලියා සෙඩෝවා පසුව ප්‍රංශයටත්, අනතුරුව නෝර්වේ වෙතත් සිය පදිංචිය වෙනස් කළේ ය. 1936 දෙසැම්බරයේ දී ට්‍රොට්ස්කි හා නතාලියා බඩු නැවකින්, අත්ලාංතික් සාගරය තරණය කරමින් මෙක්සිකෝවට පා තැබී ය. එහි දී යටගිය දවස විප්ලවවාදී නායකයකු වූ මෙක්සිකෝවේ ජනාධිපති ලසාරෝ කාර්ඩිනස් ට්‍රොට්ස්කි පවුල සාදරයෙන් පිලිගනිමින් මෙක්සිකෝ නගරයේ කෝයෝකාන් පෙදෙසේ නිවසක තවත් දෙදෙනෙකු සමගින් පදිංචිය සලසා දුන්නේ ය. එහි වාසය කළ අනෙක් දෙදෙනා වූයේ චිත්‍ර ශිල්පීන් වූ දියෝගේ රිවේරා හා ඔහුගේ භාර්යාවයි. තමාගේ මේ පිටුවහල් ජිවිතයේ දී හෙතෙමේ සටාලින්වාදය මුල මැද අග ලෙස හෙලි පෙහෙලි කලාවූ තම කෘතිය “පාවාදුන් විප්ලවය” (Revolution Betrayed) නිම කළ අතර, එය 1937 වසරේ ප්‍රංශයේ දී ප්‍රකාශයට පත් විය. ඔහු එහි දී ස්ටාලින් යටතේ කම්කරු රාජ්‍යයේ පදනම වූ සෝවියට් ප්‍රජාතන්ත්‍රවාදය, විනාශ කරමින් රුසියාව නිලධාරි කුලකයක ග්‍රහණය යටතේ ඒකාධිපතීත්වයක් බවට පිරිහි ගිය අයුරු විස්තර කළේ ය. ජාත්‍යන්තර විප්ලවයේ ඇනහිටීම චිරස්ථායී වන්නේ නම් යලි මේ කම්කරු රාජ්‍යය ධනවාදය විසින් ගිල ගැනීමට ඇති විභවයත් පැහැදිලි කර දුන්නේ ය.

දැන් ස්ටාලින් ඔහුව සදහටම නිහඩ කිරීමේ අවශ්‍යතාවය පිලිබදව අධිෂ්ඨානවත් විය. 1940 මාර්තු මාසයේ දී පමණ ට්‍රොට්ස්කි හා නතාලියා අවෙනිදා වියෙනා (Avenida Viena) ආසන්නයේ පිහිටි නිවසකට පදිංචියට ගියාහුය. ඔවුන්ගේ ආරක්ෂාව සදහා ආරක්ෂක භටයන් යොදා සිටියේ ය. එසේ මුත් 1940 මැයි 24 වැනිදා නිවස අවටින් පාන්දර 04 ට පමණ නිවෙස වෙත වෙඩි ප්‍රහාරයන් එල්ල විය. නිදි ඇදේ සිටි ට්‍රොට්ස්කිගේ ක්ෂණික කල්පනාවට ආවේ සාමාන්‍ය රතිංඤා හඬවල් ය. නමුත් නතාලියා ඔහුව ඇදෙන් පහල ඇද ඒ යට සගවා ගත්තී, ජනෙල් වීදුරු බිදගෙන කාමරය තුලට ගලා එන වෙඩි උන්ඩ මඟ හැරීමට ක්‍රියා කළාය.

මෙක්සිකෝවේ ක්‍රියාත්මකව සිටි රුසියානු ඒජන්තයන් විසින් ට්‍රොට්ස්කිගේ ලේකම් වරුන් අතරට සිල්වියා ඇජිලොෆ් (Sylvia Ageloff) නම් කාන්තාවක් රිංගවා ලීමට සමත් වූ හ. ස්පාඤ්ඤ කොමියුනිස්ට් පක්ෂයේ සාමාජිකයෙකු වූ රේමන් මර්කාඩර් (Ramon Mercader) ඇයගේ ප්‍රේමවන්තයා ලෙස පෙනී සිටියේය. සිල්වියා පමණක් නොවේ නිවසේ සිටි අන් සැවොමත් මෙතෙමේ ගැන ප්‍රියමනාප වූවෝය. ට්‍රොට්ස්කි මේ වන විට සමහන් නොවන අධි රුධිර පීඩනයෙන් රෝගීව සිටියේ ය.

1940 අගෝස්තු 20 වැනිදා මර්කාඩර් නිවසට ලගා වූයේ තම වැහි කබාය වම් බාහුවේ එල්ලා සිරුරට සිරකරගෙන ය. ඔහු උඩුමහලට යමින් ට්‍රොට්ස්කිගේ අධ්‍යයන කුටියට ඇතුල්විය. දෙදෙනා කතාබහ කරන අතර වාරයේ මේසය වටේ යමින් ට්‍රොට්ස්කිගේ පසු පසට වන් හෙතෙමේ තම වැහිකබායෙහි රදවා තිබූ හිම පොරව එලියට ගනිමින් ඉන් ට්‍රට්ස්කිගේ හිසට තද පහරක් එල්ල කළේ ය. පසුව මර්කාඩර් පැහැදිළි කල පරිදි ට්‍රොට්ස්කි ‘ආ..ආ…ආ…’ ලෙසින් දිඟු හඬක් පිට කළේ ය. ට්‍රොට්ස්කිගේ මේ වේදනාබර හඬ අසා උඩමහලට දිව ආ නතාලියාට දිස් වූයේ හිසේ සිට පහලට ගලන ලේ දහරින් භරිත වූ ට්‍රොටස්කිගේ මුහුණයි. ආරක්ෂකයෝ කඩිමුඩියේ සිද්ධිය වූ ස්ථානයට දිව ආහ. මර්කාර්ඩර් ග්‍රහණයට ගෙන පහර දීමට පටන් ගත් ඔවුන්ට ට්‍රොට්ස්කි කියා සිටියේ “ඔය මිනිහව මරන්න එපා. ඔහු කථා කළ යුතුයි” යනුවෙනි. ඊලඟ මොහොතේ දී ඔහු විසඥ වූ අතර මර්කාඩර් පොලිස් භාරයට පත් විය.

ආරෝග්‍යශාලාවට රැගෙන යන විටත් ට්‍රොට්ස්කි අධිමූර්ච්ඡා (Coma) තත්ත්වයට පත්ව සිටි අතර පසුදා සවස 7.25 ට ඔහු දිවි හැර ගියේ ය. එවිට ඔහු 60 වන විය ලබා සිටියේ ය. මහත් වූ ජනකායකගේ සහභාගීත්වයෙන් ඔහුගේ අවමංගල්‍යය සිදු කෙරුණේ අවසන් වරට ජීවත්ව සිටි ඒ අවෙනිදා වියෙනා හි නිවසේ ගෙවත්තේ ය. නතාලිය  සැම දිනකම හිමිදිරියේ ඔහුගේ සොහොන් ගැඹ නැවුම් මලින් සැරසුවා ය. ඇය 1962 වන තෙක් ජීවත් වූවාය. ට්‍රොට්ස්කි විසූ නිවස දැන් කෞතුකාගාරයකි.

මර්කාඩර් පළමු කොටම තමාගේ සැබෑ අනන්‍යතාවය පොලිසියට හෙලිදරව් නොකළේ ය. ඔහු කියා සිටියේ තමාට සිල්වියාව බිරිය කොට ගැනීමට අවශ්‍ය වූ මුත් ට්‍රොට්ස්කි එයට ඉඩ දීම ප්‍රතික්ෂේප කළ බවත්, එනිසා පලිගැනීමේ අටියෙන් මේ ඝාතනයට එළඹුන බවත් ය. සිල්වියාව සහාපරාධියා ලෙස අත් අඩංගුවට ගැණුනු මුත් දින කිහිපයකින් ඇයව නිදහස් කරන ලද්දේ ය. මර්කාඩර් නඩු විභාගයෙන් වරදකරුවා බවට පත් අතර වසර 20 ක සිර දඬුවමකට යටත් කළේ ය. 1960 දී සිරගෙයින් එළියට පැමිණි ඔහුව කියුබානු පාලකයා වූ ෆිඩෙල් කැස්ට්‍රෝ විසින් සාදරයෙන් පිළිගත් අතර, ඊලග වසරේ දී ඔහු “සෝවියට සංගමයේ” විරුවකු ලෙස ප්‍රකාශයට පත් කරන ලදී. 1978 දී හවානා නගරයේ දී ඔහු මිය ගියේ ය.

ඝාතනයට මාස කිහිපයකට පෙර 1940 පෙබරවාරි-මාර්තු කාලයේ දී ට්‍රොට්ස්කි විසින් සටහන් කර තැබූ; හෙතෙමේ විසින් තෙස්තමේන්තුව (Testament) ලෙසින් හදුන්වනු ලැබූ ලියවිල්ලේ ඔහු නතාලියාව හදුන්වා ඇත්තේ ක්ෂය නොකළැකි ආදරයේ, උදාරත්වයේ සහ මුදු මොලොක් බවේ  උල්පතක් ලෙසින් ය.

ඒ ලියවිල්ල මෙසේ කියා සිටී.

තෙස්තමේන්තුව

මාගේ (දිගින් දිගටම ඉහල යන්නාවූ) අධි රුධිර පීඩනය මාගේ ජීවනයේ සැබෑ තත්ත්වය සම්බන්ධයෙන් මා වටා සිටිනවුන් මුලාවට පත් කරයි. මා කාර්යශීලීව ද, වැඩ කිරීමටද හැකියාව ද ඇතිව සිටින්නේ වී මුත් ප්‍රතිඵලය පැහැදිලිවම ආසන්නය. මාගේ මරණයෙන් පසු මේ වාක්‍යයන් ජනගත කරනු ඇත්තේ ය.

ස්ටාලින් හා ඔහුගේ ඒජන්තවරුන් විසින් කරනු ලැබෙන මුග්ධ සහ අධම මඬ ගැසීම් වලට මෙහි දී නැවත වරක් පිළිතුරු දීමට මට අවශ්‍ය නැත. මගේ විප්ලවීය ගර්වයෙහි එකදු කැළලක්වත් නැත. කම්කරු පංතියේ සතුරන් සමඟ කෙලින්ම හෝ වක්‍ර මඟකින් හෝ, කිසිදු රහස් ගිවිසුමකට හෝ සාකච්ඡාවකට පවා හෝ මම කිසි දිනෙකත් එළඹී නැත. එවැනි බොරු චෝදනා වලට ස්ටාලින්ගේ විරුද්ධවාදීන් දහස් ගණනක් ගොදුරු වූහ. නව විප්ලවවාදී පරම්පරාවන් විසින් ඔවුන්ගේ දේශපාලන ගර්වය යලි යථා තත්ත්වයට පමුණුවා ක්‍රෙම්ලිනයේ අළුගෝසුවන් සම්බන්ධයෙන්  ඔවුන්ට හිමි ඉරණම අනුව සලකනු ඇත.

මාගේ ජීවිතයේ ඉතාම අමාරු පැය වලදී මා හා ලෙංගතුව සිටි මිතුරන් හට මම මාගේ උණුසුම් ස්තූතිය පුද කරමි. මම කිසිවෙකුත් නම් වශයෙන් සඳහන් නොකරනුයේ ඔවුන් සියල්ල නම් කිරීමට මා හට නොහැකි හෙයිනි.

කෙසේ නමුත්, මෙහිදී මාගේ සහකාරිය, නතාලියා ඉවනෝව්නා සෙදෝවා (Natalia Ivanovna Sedova) සම්බන්ධයෙන් විශේෂයක් සිදු කිරීම සාධාරණයයි මම සළකමි. සමාජවාදය වෙනුවෙන් සටන් කරන්නෙකු වීමට ලැබීමේ සතුටට අමතරව, ඇගේ සැමියා ව සිටීමේ සතුට ද දෛවය විසින් මා හට හිමිකර දෙන ලදී. වසර හතලිහකට ආසන්න අප එක්ව ගත කළ ජීවිතය පුරාවට ඇය ක්ෂය නොකළැකි ආදරයේ, උදාරත්වයේ සහ මුදු මොලොක් බවේ  උල්පතක් වූවාය. ඇය, විශේෂයෙන්ම අපගේ ජීවිත වල අවසන් කාලපරිච්ඡේදය තුළ බොහෝ දුක් වේදනාවන්ට මුහුණ දුන්නාය. නමුත් සතුටින් පිරි දවස්ද ඇය දැන සිටියාය යන කරුණ මා හට යම් සැනසීමක් ලගා කර දෙයි.  

මගේ දැනුවත් ජීවිතයේ අවුරුදු හතලිස් තුනක් මම විප්ලවවාදියෙක් ලෙස සිටියෙමි. එයින් අවුරුදු හතලිස් දෙකක්ම, මාක්ස්වාදයේ ධජය යටතේ මම සටන් කළෙමි. ඒ සියල්ල නැවතත් වරක් මුල සිට යලි පටන් ගැනීමට සිදුවෙනවා නම්, මේ වරද හෝ අර වරද හෝ කිරීමෙන් වැළකීමට ඇත්ත වශයෙන්ම මම උත්සාහ කරමි. නමුත් මගේ ජීවිතයේ මූලික ක්‍රියාමාර්ගය නොවෙනස්ව පවතිනු ඇත. මම කම්කරු පංති විප්ලවවාදියෙක් ලෙස, මාක්ස්වාදියෙක් ලෙස, අපෝහක භෞතිකවාදියෙක් ලෙස මිය යමි. මනුෂ්‍ය වර්ගයාගේ කොමියුනිස්ට්වාදී අනාගතය පිළිබඳ මගේ විශ්වාසය මගේ තරුණ කාලයේ දී තිබුනාට වඩා අඩු නැත. ඇත්ත වශයෙන්ම වඩාත් දැඩිය. මගේ මරණය මොනයම් තත්ත්වයක් යටතේ සිදුවුවත්, මා මිය යන්නේ කොමියුනිස්ට්වාදී අනාගතය පිළිබද අචල විශ්වාසයකින් යුතුවය. මිනිසාගේ සහ ඔහුගේ අනාගතය පිළිබද විශ්වාසය, කිසිදු ආගමකින් දිය නොහැකි අන්දමේ විරුද්ධත්වය පෑමේ බලයක් මේ අවස්ථාවේ දී පවා මට ලබා දෙයි.

මේ දැන් මැද මිදුලේ සිට ජනේලය වෙත පැමිණි නතාශා, මාගේ කාමරයට වඩා නිදහසේ වාතාශ්‍රයට ඇතුල්වීමට ඉඩ සළසමින් එය වඩාත් පුළුල්ව විවෘත කළේය. තාප්පයට පහළින් ඇති දීප්තිමත් කොළ පැහැති තණ තීරුව ත්, බැම්මට ඉහලින් ඇති සැහැදිලි නිල් පැහැති ආකාශය ත්, දසත විහිදුනු හිරු එලිය ත් මට දර්ෂණය වෙයි . ජීවිතය ලස්සනයි. අනාගත පරම්පරාවන්ට එහි පවතින සියලු නපුර, පීඩනය සහ ප්‍රචණ්ඩත්වය පවිත්‍රකර පරිසමාප්ත  ප්‍රීතියෙන් භුක්ති විඳීමට හැකියාව ලැබේවා.

– 1940 පෙබරවාරි 27 – කොයොකෑන් හි දී

Trotsky along with members of the Left Opposition – 1927

නොනවතින විප්ලවය

ට්‍රොට්ස්කි රුසියානු විප්ලවයේ ගමන් මඟ පිළිබදව නිරීක්ෂණයෙන් ඉදිරිපත් කළ පෘථුල අදහස් මාලාව ඔහු මාක්ස්වාදයට කළා වූ විශිෂ්ඨ එකතු කිරීම වූයේ ය. “නොනවතින විප්ලව න්‍යාය” ලෙසින් ප්‍රචලිත මේ අදහස් මාලාව ප්‍රමාද වී ධනපති නිශ්පාදන සම්බන්ධතා වලට ඇතුල් වූ රටවල සමාජ විප්ලවයේ ගමන් මඟ පිළිබඳ ප්‍රාථමික පූර්වායවයන් හෙලි පෙහෙලි කරන පොදු න්‍යායක් ලෙස අත්දැකීම් තුළින් වර්ධනය කෙරුණි.

සැබැවින්ම 1848 යුරෝපා විප්ලවයන් තුළ මතුවූ විප්ලවීය නැගිටීම් රැල්ල එක් පසකින් ප්‍රජාතන්ත්‍රීය ව්‍යුහයන් වූ ව්‍යූහයන් හයන් ශක්තිමත් කළේය. නමුත් අරුමය වූයේ එම ක්‍රියාදාමය තුළින්ම ප්‍රජාතන්ත්‍රවාදයට හතුරු බලවේග  පෙළ ගැසීමයි. 1789 ඇරඹුණු ප්‍රංශ විප්ලවයෙන් රදළවාදය යටපත් කර බිහි වූ ධනපති පංතියේ ආධිපත්‍යය ජාත්‍යන්තර විප්ලවවාදීන්ගේ වර්ණනාවට බඳුන් උවද; විප්ලවයට සහභාගී වූ සමහර සමාජ පංතීන් අතර ගැටුම තුළ ඒවා තුලනය කරන්නෙකු ලෙස පෙනී සිටිමින්; පළමු සමූහාණ්ඩුව ඉක්මවා නැපෝලියන් බොනපාට් රාජ්‍ය කැරැල්ලක් ඇතිකොට යුධ ආඥාදායකත්වයක් බිහි කළේය. 1789 විප්ලවයේ ජයග්‍රහණයන් සියල්ල කණපිට හැරවීමට හැකියාව නොලද්දේ වී මුත්, අන්තිම වශයෙන් එය මාවත පෑදුවේ ප්‍රංශය යලි බූර්බොන් රාජවංශය යටතට පත්වීමට ය.

1848 පෙබරවාරියේ සිදු වූ ප්‍රංශ විප්ලවය විසින් යලි රාජණ්ඩුව බිඳ දෙවන සමූහාණ්ඩුව බිහි කළේය. මේ විප්ලවයේ විශාල වැඩ කොටසක් ඉටුකළ පැරිස් නිර්ධන පංතිය එයට ස්වකීය මුද්‍රාව තබමින් එය ‘සාමාජයික සමූහාණ්ඩුව’ ක් ලෙස ප්‍රකාශට පත් කළේය. එහි ගැබ් වූයේ මේ විප්ලවයෙන් ක්ෂණික ලෙස ව්‍යවහාරිකව දිනාගත හැකි දේට වඩා දුරදිග යෑමේ අවශ්‍යතාවය පෙන්නුම් කළ, විප්ලවයට සහභාගී වූ දේපල හිමි පංතීන්ට පටහැනි පංති ප්‍රතිවිරුද්ධතාවයකි. ඒ අනුව මේ පෙබරවාරි විප්ලවය මතුපිටින් පෙනෙනවාට වඩා බැරෑරුම් අන්තර්ගතයක් පැවැති බව මාක්ස් පෙන්නුම් කළේ ය. කම්කරු පංතියේ සංවිධිත බලය විප්ලවයේ ප්‍රතිඵල වලට කරන්නා වූ බලපෑමෙන් එය මුදවා ගැනිම ධනපති පංතියේ අවශ්‍යතාවය විය. ඒ අනුව නිර්ධන බලය බිඳීම සදහා නිර්ධනීන් හැර අන් සෑම සමාජ පංතියක් ම; පල්ලිය, පුවත්පත්, හා බොහෝ කලාකරුවන් එක්සත් විය. ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් සටන් කළ කම්කරුවන් 3,000 ක් මරා දමා 15,000 ක් පිටුවහල් කර ප්‍රතිවිප්ලවය දියත් කෙරිණි.

1851 ඔක්තෝම්බර් 09 දා සිට දෙසැම්බර් 02 දා දක්වා පාර්ලිමේන්තුවේ හා විධායක බලය අතර විවෘත බෙදීමක් ඇති වීම, පාර්ලිමේන්තුවේ පරිහානිය, ස්වකීය පංතිය හා යුද්ධ හමුදාව සහ සෙසු පංතීන් පාර්ලි‌මේන්තුව අත්හැරීම නිසා එය විනාශ වීම, පාර්ලිමෙන්තු ආණ්ඩුක්‍රමයේ සහ ධනේශ්වර අධිකාරීන්ගේ බලයේ විනාශය, යනාදිය ඔස්සේ ලුවී බොනපාට්ගේ ජයග්‍රහණය හා අධිරාජ්‍යවාදය යලි පුන‍රුත්ථාපනය කිරීමේ කටයුත්ත සිදු විය.

මේ අත්දැකීම පෙන්නුම් කළේ නිර්ධන පංතිය ධනපති ප්‍රජාතන්ත්‍රීය ආයතන තම බලය තහවුරු කර ගැනීම සහා යොදා ගන්නා පළමු මොහොතේ දී ම ධනපති පංතිය එම ආයතන අත්හැර, නිරුවත් පංති ආඥාදායකත්වයේ ආයතන එලියට ගන්නා බව යි.

මේ අත්දැකීම වෙනත් රූපාකාරයකින් ප්‍රමාද ධනපති විප්ලයක් හටගත් රුසියාවේ දී අත් දුටුවේ ය.

1905 ජනවාරි 09 වැනිදා ශාන්ත පීටර්ස්බර්ග් නගරයේ කම්කරුවන් සාර් රජුට පෙත්සමක් බාර දීම සඳහා ඔහුගේ මාලිගය දෙසට සාමකාමී පෙළපාලියකින් ගමන් කරමින් සිටියහ. එම පෙළපාලියට සාර් රජුගේ නියමයෙන් සන්නද්ධ හමුදා වෙඩි තබන ලදී. නිරායුධ කම්කරුවන් මෙසේ කෲර ලෙස ඝාතනය කිරීම නිසා රුසියාව පුරා පැතිර ගිය දේශපාලන වැඩ වර්ජන රැල්ලක් ඇති විය. එය රුසියාවේ 1905 විප්ලවයේ ආරම්භය සළකුණු කළ සිද්ධිය විය. ඔවුන් සාර් රජු වෙත ගෙන ගිය පෙත්සම තුළ ඉල්ලීම් ලැයිස්තු ගත කර තිබුණි. රටේ පවතින දේශපාලනීකරණය වූ නීති පසිඳලන ආයතන වලින් සිදුවන අයුක්තීන් දක්වා සියල්ලක් එහි විය. එය සමාව දීම, මහජන නිදහස, රජය පල්ලියෙන් වෙන් කිරීම, පැය 08 ක වැඩ දිනය, ජීවත් විය හැකි වැටුපක්, වැඩ වර්ජනය කිරීමේ අයිතිය, ඉඩම් ක්‍රමිකව ජනතාව අතට පත් කිරීම ආදී වශයෙන් ඉල්ලා තිබුනේ ය. මේ සියල්ලට ඉහලින් පැවතුනේ ව්‍යවස්ථාදායක සම්පාදක මණ්ඩලයක් කැඳවීම පිළිබද ලිබරල්වාදීන්ගේ ඉල්ලීම ය.

මෙහි දී ට්‍රොට්ස්කි ප්‍රශ්නය මතු කළේ රුසියාවේ ප්‍රජාතන්ත්‍රවාදී පුබුඳු කිරීම සඳහා වන අරගලය පටන් ගන්නේ පූර්ණ වශයෙන් ධනවාදී නිෂ්පාදන බලවේගයන්ගේ වර්ධනය මත බවත්, එය ඉදිරියට ගෙන යන්නේ ද ඉන් මතුවන බලවේගයන් මඟින් බවත් ය. මූලිකවම මේ බලවේගයන් මෙහෙයවනු ලබන්නේ ධනවාදී සමාජයක සංවර්ධන මාර්ගයේ පිහිටා ඇති වැඩවසම් හා වහල් බාධක වලට විරුද්ධව ය. නමුත් ප්‍රශ්නයේ මූලික හරය මතුවන්නේ කුමන බලවේගයන් හා කුමන මාර්ග මඟින් මේ බාධක පරාජය කළ හැකි ද යන්න යි, යන ලෙසින් ය. වැඩවසම් සබඳතා එසේ තිබිය දී වී මුත් අද රුසියාවේ ප්‍රධාන ආර්ථික සාධකය වී තිබෙන්නේ ධනපති සාමූහීකරණය කළ නිෂ්පාදන විධිය නිසා නිර්ධන පංතියේ බලවේගයන් උපරීම හා අවම වැඩපිළිවෙලේ පරතරය බිඳ හෙලීමට හැකියාව ලබා සිටී. ඒ අනුව විප්ලවයේ විශය මූලික ජයග්‍රහණයන්ගේ පෙරමුණු බලවේගය වන්නේත්,  ප්‍රජාතන්ත්‍රවාදී ජයග්‍රහණයන්ගේ මූලික උරුමකරුවන් වන්නේත් නිර්ධන පංතිය නිසා විප්ලවීය ජයග්‍රහනය ධනපති සීමාවෙන් එහාට ගෙන යෑමේ විභවයක් පවතී. එසේ හෙයින් නිර්ධන පංති බලය හුදු ධනපති ප්‍රජාතන්ත්‍රීය විප්ලවයේ හැපී විනාශ වී යෑමට නියමිත වූවක් නොවේ. ඒ අනුව ප්‍රජාතන්ත්‍රීය විප්ලවයේ කර්තව්‍යයන් සම්පූර්ණ කෙරෙනු ඇත්තේ අනෙක් පීඩිත ජනතාවන්ගේ සහයෝගය ලබන නිර්ධන පංතියේ ආඥාදායකත්වය මිනි. මේ නිර්ධන පංති ආඥාදායකත්වය වෙත හදිසි කටයුතු ලෙස ධනපති ප්‍රජාතන්ත්‍රීය කර්තව්‍යයන් ඉටු කිරීම පැවරෙනවා පමණක් නොව, ඒතැනින් නොනැවතී සමාජවාදී කාර්යභාරයන් ද ඉටු කිරීම දක්වා පෙරට යන්නේ ය. ඒ හා සමාන්තරව එය ජාත්‍යන්තර සමාජවාදී විප්ලවය පෙරට තල්ලු කරනු ඇත. බටහිර ලෝකයේ නිර්ධන පංති ජයග්‍රහණයන් පමණක් රුසියාව තුළ ධනවාදී ප්‍රතිවිප්ලවයකට ඉඩ නොතබන්නේ ය.

එසේ ට්‍රොට්ස්කි සූත්‍රගත කළ රුසියානු විප්ලවයේ ගමන් මඟ ධනපති ප්‍රජාතන්ත්‍රීය විප්ලවය ඉටු නොවූ, ප්‍රමාද ධනපති රටවල් වල විප්ලවය පිලිබද න්‍යායික ගැටළුව විසදුවේ ය. 1848 ප්‍රංශයේ දී මෙන්ම මේ රටවල ද ශක්තිමත් නිර්ධන පංතියක් බිහිව සිටීම නිසා ස්වාභාවිකවම ප්‍රජාතන්ත්‍රීය විප්ලවයේ කර්තව්‍යයන් හිදී ධ‍නපති පංතිය ඉක්මවා නිර්ධන පංතියේ සංවිධිත බලය නැගී සිටී. ධනපති පංතිය ඉක්මවා බලය කරා යෑමේ විභවයක් නිර්ධන පංතිය සතුය. එම නිසා මේ රටවල ධනපති පංතිය ඓතිහාසික වශයෙන් තමන්ගේ කරමත පැටවී ඇති ප්‍රජාතන්ත්‍රීය විප්ලවයේ වගකීම විප්ලවීය චලනයේ අතරමදී කර ඇර පලා යයි. ඒ අනුව නිර්ධන පංතියේ දැනුවත් විප්ලවවාදී නායකත්වයක් මින් මේ පලායන ධනපති නායකයන් ඉක්මවා ධනපති ප්‍රජාතන්ත්‍රීය විප්ලවය ඉදිරියට ගෙන යමින් නිර්ධන බලය හරහා එම ප්‍රජාතන්ත්‍රීය කර්තව්‍යයන් ද ඉටු කරමින් ඉදියට යා යුතුය. ඒ ම ගැනීමට නිර්ධන පංති නායකත්වය සමත් නොවන්නේ යම් තැනකද; ඒතැන ප්‍රතිවිප්ලවයේ ජයග්‍රහණය නම් නොවැලැක්විය හැකිය.

ට්‍රොට්ස්කි පිලිබද ස්මරණයකදී රුසියානු විප්ලවයේ සෝවියට් ප්‍රජාතන්ත්‍රවාදය දෙබෑකරගෙන මතුවූ නිලධාරී තන්ත්‍රයේ ජයග්‍රහණය නොහොත් ස්ටාලින්වාදය සමග ඔහු ගෙන ගිය අරගලය කිසිම අයුරකින් මගහැරිය අත්හල හැකි නොවේ. මන්දයත් ෆැසිස්ට්වාදය බලයට ඒ්ම වැලැක්වීමේ අරගලය සමග කෙලින්ම සම්බන්ධ වී තිබීම නිසාය.  ඒ් සමග බැදී පැවැතුනේ සභාගවාදය, ප්‍රතිසංස්කරණවාදය ත්, අවස්ථාවාදය හා කට්ටිවාදය බිද ගෙන විප්ලවවාදී නායකත්වයක් ගොඩනැගීමේ අත්‍යාවශ්‍ය සාධකයක් වූ අපෝහක භෞතිකවාදී විධික්‍රමය සදහා වූ අරගලයයි. ට්‍රොට්ස්කි මේ සෑම පෙරමුණකම නොවෙහෙසී සටන් කළේ ය.

ඔක්තෝම්බර් විප්ලවයේ දෙවැනි සැමරුම – 1919. ස්ටැලින් පාලනය විසින් ඡායාරූප වලින් ට්‍රොට්ස්කි ඇතුළු ස්ටැලින්වාදී නොවූවන් ඉවත් කරන ලදී.

සැබෑ රුසියානු මාක්ස්වාදීන් ස්ටාලින්වාදී පසුගාමී විධික්‍රමයන් කරා පසුබැසීමට විරුද්ධව දිගින් දිගටම ම සටන් වැදුනහ. මේ අරගලය තුල දී ඔවුන් බොහොමයක් දිවි පිදූහ. තමා බලයට නැග ගැනීමේ දී බොල්ෂෙවික් පක්ෂය න්‍යායිකවත්, දේශපාලනිකවත් මෙන්ම කායිකවත් විනාශ කර දැමූ ස්ටාලින් තමා නියෝජානය කළ නිලධරයත්, විප්ලවවාදී සටන්කරුවනුත් අතර ඒසේ රුධිර ගංගාවක් විවර කළේ ය.

මේ නිලධාරිවාදී පරාභවයට ඒරෙහි සටන හුදකලා වූවක් නොවී ය. බොල්ෂෙවික් පක්ෂයේ හොදම කේඩර්වරුන්ගේ සහාය ඔහුට ලැබුණි. වාම විරුද්ධ පාර්ශවය ලෙස සංවිධාන ගත වූ ඒ් සහාය ට්‍රොට්ස්කි ජාත්‍යන්තර පරිමානව සංවිධානය කරමින් හතරවන ජාත්‍යන්තරය ගොඩ නැගීම කරා මෙහෙය වීය. ඒ් හිට්ලර්ට බලයට ඒ්මට අවශ්‍ය සම්පූර්ණ පරිසරය සකසා දීමට ස්ටාලින්වාදය ගත්තාවූ පියවර ට ඒරෙහිව කොමියුනිස්ට් ජාත්‍යන්තරයේ පක්ෂ බහුතරයක් කිසිම බැරෑරුම් විරුද්ධත්වයකින් තොරව ඉඩ හැරීමත් සමගය. 

හතරවන ජාත්‍යන්තරය බිහිකරන ලද්දේ පළමු, දෙවන හා තුන්වන ජාත්‍යන්තරය බිහිවූ වකවානුවලට වඩා හාත්පස අදුරු ගැන්වූ ෆැසිස්ට්වාදයේ ජයග්‍රහණය මධ්‍යයේ, ස්ටාලින්වාදය බලවත්වූ පරිසරයක් හා කම්කරු පංතියේ දියුණු කොටස්වල ධෛර්යයත් බලයත් සිදීගිය යුගයක උවද ඒය බිහි කිරීමේ අවශ්‍යතාවයේ කිසිම අඩුවක් නොතිබුණි. ඒදා මෙදා තුර ට්‍රොට්ස්කිගේ අරගලයේ න්‍යායික දේශපාලනික මතකයන් විප්ලවවාදීන් වෙත ගෙන ඒමින් ඒය හිතකර, අහිතකර පරිසරයන් මධ්‍යයේ ජීවමාන වෙයි. 

You may also like...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.