සිවරාම් වෙනුවෙන් යුක්තිය ඉල්ලන මාධ්‍යවේදීන්ටත් තර්ජන

සේයා - අන්තර්ජාලයෙන්

අගනගරයේදී පැහැරගෙන ගොස් ඝාතනය කරන ලදුව මේතාක් යුක්තිය ඉටුවී නැති කීර්තිමත් දෙමළ මාධ්‍යවේදියකුට යුක්තිය ඉල්ලා නැගෙනහිරදී දියත් කළ විරෝධතාවක් සිවිල් ඇදුමින් සිටි පොලිස් නිලධාරීන් විසින් වීඩියෝ ගත කිරීමත් සමග මාධ්‍යවෙිදීන්ගේ ජීවිත ආරක්ෂාව පිළිබදව නැවත වතාවක් බිය පළ වී තිබේ.

චන්ද්‍රිකා බණ්ඩාරනායක පාලනය පැවති 2005 අප්‍රේල් 28 දා වෑන් රථයකින් පැමිණි කණ්ඩායමක් විසින් බම්බලපිටිය පොලීසිය අසලදී පැහැරගෙන ගොස් ඝාතනය කර තිබු තරාකී නමින් ප්‍රකට ටැමිල්නෙට් පුරෝගාමී කතුවර ධර්මරත්නම් සිවරාම් ගේ 17 වැනි ගුණානුස්මරණ දිනයේ ඔහුට යුක්තිය ඉල්ලා ජනතා නියෝජිතයන් සමග මාධ්‍යවේදීන් මඩකලපුවේදී දියත් කළ උද්ඝෝෂණයක් පොලිස් නිලධාරීන් විසින් වීඩියෝ ගත කර ඇත.

“ඇයි මේගොල්ලන්වත් මරන්නද? ඇයි මේ ගොල්ලන්ව වීඩියෝ කරගෙන පොටෝ අරගෙන ගිහිල්ලා මරන්නද? බලු වැඩ කරන්න එපා!” යි මාධ්‍යවේදීන් අතර සැඟවීගෙන වීඩියෝ කරන සිවිල් හැඳගත් පොලිස් භටයන්ගෙන් ශානක්‍යන් රාසපුත්‍රම් මන්ත්‍රීවරයා කෝපයෙන් අසන ආකාරය වීඩියෝ ගත වී තිබේ.

තමන් පොලිස් නිලධාරියෙකු බවට හදුන්වා දුන් පුද්ගලයාට තරුණ මන්ත්‍රීවරයා එහිදී අවවාද කළේ කොළඹට එක නීතියකුත් මඩකලපුවට එක නීතියකුත් ක්‍රියාත්මක කිරීමට උත්සාහ නොදරන ලෙසයි.

ශ්‍රී ලංකා රජයේ අනුග්‍රහය ලත් සන්නද්ධ කල්ලි විසින් පැහැරගෙන ගොස් 2005 අප්‍රේල් 29 දා මරා දමන ලද ධර්මරත්නම් සිවරාම් සිහි කරමින් උතුරු නැගෙනහිර දෙපළාතේ ස්ථාන කිහිපයකදීම අනුස්මරණ සංවිධානය කර තිබුනි.

ශ්‍රී ලංකාවේ ඝාතනයට ලක් වු මාධ්‍යවේදීන් අනුස්මරණය උදෙසා මඩකලපුව ගාන්ධි උද්‍යානය ඉදිරිපිට ස්ථාපිත කර තිබෙන ස්මාරකය අසලදී ජනතා නියෝජිතයන් සමග එක්ව මාධ්‍යවේදී ධර්මරත්නම් සිවරාම් ට උපහාර දැක්වු මඩකලපුව දෙමළ මාධ්‍ය සංගමය, මඩකලපුව මාධ්‍ය සමාජය හා නැගෙනහිර පළාත් දෙමළ මාධ්‍ය සංගමය ඉන් පසුව විරෝධතාවය දියත් කරමින් ඉල්ලා සිටියේ එම ඝාතනයට වග කිව යුත්තන් ලෝකය හමුවේ හෙළි කරන ලෙසයි.

යාපනය මාධ්‍ය සමාජය, මුලතිව් මාධ්‍ය සමාජය සහ වව්නියා මාධ්‍ය සමාජය විසින් ද ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ධර්මරත්නම් සිවරාම්ගේ 17 වැනි ගුණ අනුස්මරණය දිනයේ ඔහුගේ ඡායාරූපයකට මල් මාලයක් පළඳා මලින් පහනින් ගෞරව දැක්වීමට කටයුතු කර තිබුනි.

මාධ්‍යවේදී ධර්මරත්නම් සිවරාම් ඝාතනයට ලක්වී දාහත් වසරක් ගතවී ඇතත් ඔහුට මේ තාක් යුක්තිය ඉටු වී නොමැති බව සදහන් කළ එම අවස්ථාවට එක්ව සිටි වෘත්තිය මාධ්‍යවේදීන් වැඩි දුරටත් අවධාරණය කලේ මේ වන විටත් උතුරු නැගෙනහිර මාධ්‍යවේදීන් හා මාධ්‍ය ආයතන තම රාජකාරිය ඉටු කරන්නේ දැඩි තර්ජන මධ්‍යයේ බවයි.

බලහත්කාරයෙන් අතුරුදහන් කරන ලද තම ආදරණීයයන්ට අත්වු ඉරණම හෙලි කරන ලෙස රජයට බල කරමින් වසර ගණනාවක් පුරා අඛණ්ඩ විරෝධතාවයක යෙදී සිටින වව්නියාවේ මව්වරුන්ද සිය අරගල භුමිය තුලදී මාධ්‍යවේදී ධර්මරත්නම් සිවරාම් අනුස්මරණය කිරීමට කටයුතු කර තිබුනි.

ආරක්ෂා සහිත ඝාතනයක්

1959 අගෝස්තු 11වන දින මඩකලපුවේදී උපන් ධර්මරත්නම් සිවරාම් 2005 අප්‍රේල් 28 වැනි දා බම්බලපිටිය පොලිස් ස්ථානය ඉදිරිපිටදී පැහැරගැනුණේ සුදු වෑන් රථයකින් පැමිණුනු පුද්ගලයන් සිව් දෙනකු විසිනි.

ඝාතනය කර දමන ලද සිවරාම්ගේ සිරුර පසුදින හමුවූයේ ශ්‍රී ලංකා පාර්ලිමේනතුව ආසන්නයේ කිඹුලා ඇල ඉවරේ අධි ආරක්ෂක කලාපයේ දී ය. ඔහු වධබන්ධනයට ලක්කර හිසට වෙඩිතබා තිබිණ.

ඝාතනයට ලක්වන විට සුප්‍රකට ටැමිල් නෙට් වෙබ් අඩවියේ ප්‍රධාන සංස්කාරකවරයා වශයෙන් කටයුතු කළ සිවරාම් සිය මාධ්‍ය ජීවිතය ඇරඹූයේ 1990 දී ඝාතනය කෙරුණු සහෝදර මාධ්‍යවේදී රිචඩ් ද සොයිසාගේ මඟ පෙන්වීම යටතේ ය.

1997දි ටැමිල් නෙට් වෙබ් අඩවිය අරඹන තුරු සිවරාම් ‘දි අයිලන්ඩ්’, ‘සන්ඩේ ටයිම්ස්‘, ‘ඩේලි මිරර්‘, ‘වීරකේසරී‘, ‘ටැමිල් ටයිම්ස්‘ යන මාධ්‍ය ආයතනවල නිදහස් මාධ්‍යවේදියකු ලෙස කටයුතු කළේ ය.

තරාකී

1989දී ‘දි අයිලන්ඩ්‘ පුවත්පතේ ප්‍රධාන සංස්කාරක ගාමිණී විරකෝන් විසින් දේශපාලන විශ්ලේශකයෙක් සොයනු ලබමින් සිටියදී රිචඩ් ද සොයිසා විසින් ඔහුට සිවරාම් හඳුන්වා දෙනු ලැබිණ.

ගාමිණී වීරකෝන් විසින් සිවරාම් වෙනුවෙන් නිර්මිත අරූඪ නාමය වූයේ ‘තාරක‘ යන්නයි. නමුත් උප සංස්කරණ දෝෂයක් හේතුවෙන් ඒ නම මුද්‍රණය වී තිබුණේ ‘තරාකී‘ වශයෙනි. නමුත් දෝෂ සහිතව පළවූ එම නම සිවරාම් විසින් දිගින් දිගටම තම ආරූඪ නාමය ලෙස භාවිතා කෙරුණි.

TheLeader

You may also like...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.