ගොවීන්ට ගොවිබිම් අහිමි කිරීමේ පනත් කෙටුම්පතක් සම්මත කරගත් බවට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට චෝදනා

Hand Palm Corn Field Farm Green  - StockSnap / Pixabay
StockSnap / Pixabay

පාර්ලිමේන්තුවේදී පසුගියදා සම්මත කරගත් ඉඩම් සංවර්ධන (සංශෝධන) පනත් කෙටුම්පත ගොවීන්ට ගොවිබිම් අහිමි කිරීමේ පනත් කෙටුම්පතක් ලෙස දිවයිනේ ප්‍රමුඛතම වෘත්තිය සමිති හා සිවිල් සංවිධාන රැසක් විසින් පෙන්වා දී තිබේ.

ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කරමින් වෘත්තිය සමිති හා සිවිල් සංවිධාන 32 ක් රජයෙන් ඉල්ලා‌ සිටින්නේ නව ඉඩම් පනත නීතියක් ලෙස සම්මත වීමට පෙර ඉඩම් සංවර්ධන සංශෝධන පනත් කෙටුම්පතේ, ප්‍රාදේශිය ලේකම්වරයාගේ අනුමතයකින් තොරව ඉඩම් කොටසේ අයිතිකරුට ඉඩම් කොටස උකස් කිරීමට හැකියාව ලබා දෙන 4 වන වගන්තිය සහ ඒ අනුව ඉඩම් කොටසක් බැහැර කිරීමේ දී හෝ උකස් කිරීමේ දී ඉඩම් කොටසේ අයිතිකරු විසින් අනුගමනය කළ යුතු ක්‍රියාපටිපාටිය සම්බන්ධයෙන් නියෝග සෑදීමට අමාත්‍යවරයාට හැකියාව ලබා දෙන 9 වගන්තිය ඉල්ලා අස්කර ගන්නා ලෙසයි.

ඉඩම් සංවර්ධන (සංශෝධන) පනත් කෙටුම්පත (Land Development (LDO) (Amendment) Bill) මාර්තු 11 වැනි සිකුරාදා පාර්ලිමේන්තුවේදී දෙවැනිවර කියවීමෙන් සම්මත වී තිබුණි.

වෘත්තිය සමිති හා සිවිල් සංවිධාන චෝදනා කරන්නේ එහිදී ගොවීන්ගේ ණයගැතිභාවය පිලිබඳ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ප්‍රදර්ශනය කළ නොදැනුවත්කම සහ උදාසීනත්වය පිළිකුල් සහගත බවයි.

“ඇමති මන්ත්‍රී වරුන්ගේ ප්‍රකාශ වලින් පෙනුනේ ගොවීන්ගේ ඉඩම් බැංකුවලට උකස් කිරීමට හැකිවීම සියලු ගොවීන්ගේ ප්‍රශ්නවලට එකම විසඳුම බව ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් විශ්වාස කරන බවටයි. පනත් කෙටුම්පතේ ඇති තීරණාත්මක වගන්ති ගැන සාකච්ඡා කිරීමට පරිසරයක් නිර්මාණය නොකර කඩිමුඩියේ පනත් කෙටුම්පත සම්මත කරන ලදී.”

LDO සංශෝධන පනත් කෙටුම්පත බැටළු ඇඳුමින් සැරසුණු වෘකයෙක් ලෙසින් හදුන්වන වෘත්තිය සමිති හා සිවිල් සංවිධාන පෙන්වා දෙන්නේ එය මිනිසුන්ට තමන්ගේ ඉඩම් පිළිබඳ තීරණ ගැනීමට වැඩිපුර නිදහස සහ පාලනයක් ලබා දෙන ‘ප්‍රගතිශීලී පියවරක්’ ලෙස වැරදි අයුරින් නිරූපණය කර ඇති බවයි.

කාන්තා අයිතිය

“කාන්තාවන්ට ඉඩම් උරුමකර ගැනීමේ අයිතිය ඇතුළත් කිරීමෙන් ඉදිරිගාමී පියවරක් ලෙස පනත් කෙටුම්පත ඉදිරිපත් කර ඇත. ජනතා විරෝධී නීති ගෙන ඒම සඳහා කාන්තාවන්ගේ ඉල්ලීම් වැරදි ලෙස භාවිත කළ පළමු අවස්ථාව මෙය නොවන බව පෙන්වා දීමට අපි කැමැත්තෙමු. වැඩකරන ජනතාවගේ අයිතීන් කප්පාදු කළ නම්‍යශීලී කම්කරු නීති හඳුන්වා දීමට කාන්තාවන් පාවිච්චි කළා මෙන් ආණ්ඩුව ඉඩම් පෞද්ගලීකරණය කිරීමට සහ වෙළඳ භාණ්ඩයක් කිරීමට කාන්තාවන්ගේ ඉල්ලීම් අවභාවිතා කරමින් සිටී.”

මාර්තු 17 වැනිදා වෘත්තිය සමිති හා සිවිල් සංවිධාන 32 ක් ඒකාද්ධව නිකුත් කළ ලියවිල්ලක් මගින් පෙන්වා දී ඇත්තේ ගොවීන්ට ප්‍රදේශයේ දිසාපතිවරයාගේ අවසරයකින් තොරව ඔවුන්ගේ ඉඩම් බැංකුවලට උකස් කිරීමේ හැකියාව LDO සංශෝධන පනත් කෙටුම්පත මඟින් ලැබන අතර එහි ප්‍රතිඵලයක් වශයෙන්, ගොවීන්ට තම ඉඩම් උකස් කිරීමට ඇති අයිතිය සඳහා බලගැන්වීමක් ගැන ඉඟි කරමින් මෙම පනත් කෙටුම්පත ‘ප්රගතිශීලි’ පියවරක් ලෙස වැරදි ලෙස අර්ථකථනය වෙමින් ඇති බවයි.

බැංකුවලට, මූල්‍ය සමාගම්වලට සහ ප්‍රදේශීය මුදලාලිලාට ඉඩම් සින්න වූ දහස් ගණනක් ගොවීන් දන්නා පරිදි ඉඩම් උකස් කිරීමට ඇති නිදහස ‘නිදහස් කැමැත්ත’ හෝ ‘විමුක්තිය’ සම්බන්ධ දෙයක් නොවන බව අවධාරණය කරන ඒකාබද්ධ ප්‍රකාශය මගින් වැඩි දුරටත් අවධාරණය කර ඇත්තේ ගොවීන්ට තම ඉඩම් උකස් කිරීමට සිදුවන්නේ එසේ කිරීම හැර වෙනත් කිසිම විකල්පයක් ඔවුන්ට නොමැති නිසා බවයි.

“අඩු ආදායම්ලාභී වැඩ කරන ජනතාවගේත්, ගොවීන්ගේත් ජීවන අත්දැකීම් කිසිත් නොසලකා, නව LDO සංශෝධන පනත් කෙටුම්පත උත්සහ කරන්නේ ද්‍රරිද්‍රතාවයෙන් පෙළෙන ගොවීන්ගෙන් ගොවිබිම් උදුරා ගැනීමට සහ ගොවියන්ට ඇති වටිනාම මෙන්ම එකම වත්කම වල ඉඩම සොරකම් කිරීමට බැංකුවලට සහ මූල්‍ය සමාගම්වලට ඇති හැකියාවට වැට බැඳමින් ගෙන ආ ප්‍රගතිශීලී ඉඩම් ප්‍රතිසංස්කරණ නීති හොර රහසේ ආපසු හැරවීමටයි.”

වෘත්තිය සමිති හා සිවිල් සංවිධාන පෙන්වා දෙන්නේ මෙම සංශෝධනය ඉදිරිපත් වන්නේ ගොවීන් දැනටමත් ණය බරින් මිරිකී සිටින අවස්ථාවක බවයි.

“හදිසියේ කාබනික වගාව ඇති කිරීමට උත්සාහ කිරීම නිසා අස්වැන්න දැවැන්ත ලෙස කඩා වැටීමේ කම්පනයෙන් පොරබදමින් සිටින ගොවීන් දැනටමත් ආදායම් අහිමිවීමේ තර්ජනයට මුහුණ පාමින් සිටියි. පිරිහෙන ආර්ථික තත්ත්වය ගොවීන්ගේ ණයගැතිභාවය තීව්ර කරනු ඇත. අතීතයේ ගොවීන් සිය ගණනකට සියදිවි නසා ගැනීමට බල කළ ගොවි ණය මෙන්ම වර්තමානයේ ප්රධාන වශයෙන් ගොවිතැන් කරන ප්‍රදේශවල පවතින ක්ෂුද්‍ර මූල්‍ය ණය අර්බුදය ද ගොවීන් ජීවත් වන අවිනිශ්චිත, අවදානම් තත්ත්වය පැහැදිලි කරයි.”

මෙම සන්දර්භය තුළ, නව LDO කෙටුම්පත ක්‍රියාත්මක කිරීම නිසා ගොවි ඉඩම් මහාපරිමාණයෙන් බැංකු සහ මූල්‍ය සමාගම් වෙත පැවරීමකට තුඩු දී ඉඩම් නොමැති ගොවීන් සමූහයක් නිර්මාණය කරනු ඇති බවටත් වෘත්තිය සමිති අනතුරු අගවා තිබේ.

මෙම පනත අතීතයේ මෙන් සමාජයේ කිහිප දෙනෙකුට පමණක් ඉඩම් හිමිව තිබූ ඉඩම්-හිමි යුගය යළි ස්ථාපිත කිරීම අරමුණු කරගත් ප්‍රතිගාමී නීතියක් බව පෙන්වා දෙන වෘත්තිය සමිති ඒකාබද්ධ ප්‍රකාශය මගින් තවදුරටත් අවධාරණය කර ඇත්තේ එමෙන්ම, මේ පනත ඉදිරිපත් වීමට සමගාමීව ශ්‍රී ලංකාවේ ජනතාව විසින් මුළු හදවතින්ම ප්‍රතික්ෂේප කරන ලද මිලේනියම් චැලෙන්ජ් ගිවිසුම නැවත සාකච්ඡා කිරීමේ උත්සාහයක් ද ඉදිරියට පැමිණ ඇති බවයි.

MCC පනත පරාජය කිරීමේදී ගොවි ඉඩම් අත්පත් කර ගැනීම සඳහා කෘෂිකාර්මික සමාගම් සහ බහු ජාතික සමාගම් බල ගැන්වෙන ඉඩම් පෞද්ගලීකරණය කිරීමට ඇති ජනතා විරෝධය සැලකිය යුතු කාර්යභාරයක් ඉටු කළ බවත් වෘත්තිය සමිති සිහිපත් කරයි.

“බැංකු, මූල්‍ය සමාගම් සහ බහුජාතික සමාගම්වල ග්‍රහණයෙන් ගොවීන්ගේ ඉඩම් ආරක්ෂා කරන අධීක්ෂණය ඉවත් කිරීමෙන් රජය දිනා ගැනීමට උත්සාහ කරන්නේ කුමක්ද? අපේ ගොවීන්ගෙන් තවත් ඉඩම් අත්පත් කර ගැනීමට බැංකු, මූල්‍ය සහ බහුජාතික සමාගම් වලට උදව් කිරීමට රජයට අවශ්‍යද? අපගේ ගොවීන්ට ඉතිරිව ඇති අවසන් වත්කම ඔවුන්ගෙන් උදුරා බැංකු සහ ආයතනික අංශය පොහොසත් කිරීමට රජය උනන්දු වන්නේ ඇයි?” ඔවුන් තව දුරටත් ප්‍රශ්න කර සිටි.

නව ඉඩම් පනත නීතියක් ලෙස සම්මත වීමට පෙර LDO සංශෝධන පනත් කෙටුම්පතේ 4 සහ 9 වගන්ති ඉල්ලා අස්කර ගන්නා ලෙසත්, අපේ රටේ සුළු පරිමාණ ගොවීන්ට අවාසිදායක නීති සම්මත කිරීමට පාර්ලිමේන්තුවේ බහුතරය භාවිතා නොකරන ලෙසත්, අනාගතයේදී ගොවීන්ගේ ඉඩම් බැංකුවලට අහිමි වූ විට ඒ වරද පැටවෙන්නේ ආණ්ඩුවේ කරමත බවත්, ඉඩම් අහිමි ගොවීන්ට ආණ්ඩුව වගකිව යුතු බව මතක තබා ගන්නා ලෙසත් වෘත්තිය සමිති හා සිවිල් සංවිධාන 32 ක් ආණ්ඩුවට දැනුම් දී සිටි.

එම ඒකාබද්ධ ප්‍රකාශයේ ඉංග්‍රීසි පිටපත පහතින්.

LDO-Demand-English-Final

You may also like...

1 Response

Leave a Reply

Your email address will not be published.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.