යුද අපරාධ සම්බන්ධයෙන් යුක්තිය ඉල්ලා යාපනයේ විරෝධතා පෙළපාලි

සේයා - "ද ලීඩර්" වෙබ් අඩවියෙන්

උතුරේ දෙමළ ජනයාට යුද සමයේ සහ ඉන් පසු කාලයේ සිදුවූ අපරාධ සම්බන්ධයෙන් යුක්තිය ඉටු කරන ලෙස රජයට බල කරමින් යාපනයේදී විරෝධතාවයක් පවත්වා තිබේ.

ජාතික ධීවර සහයෝගීතා ව්‍යාපාරයේ සංවිධානයෙන් මාර්තු 23 වැනි බදාදා පැවැති මෙම විරෝධතාවයෙන් පසු එම ව්‍යාපාරයේ සාමය හා තිරසාර සංවර්ධනය සදහා වු ජනතා සංවාදයේ සම්බන්ධීකාරක ඇන්තනී ජේසුදාසන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කළේ, සංක්‍රාන්තික යුක්තිය ඉටුකිරීම වෙනුවෙන් ආණ්ඩුව මේ දක්වා ක්‍රියාත්මක වී නොමැති බවයි.

“යුද්ධය නිමා වෙලා අවුරුදු 13 ක් ගතවෙලා තිබුනත් මේ වෙනකම්ම සංක්‍රාන්තික යුක්තිය ඉටුකිරීම සදහා ආණ්ඩුව ක්‍රියාත්මක උනේ නෑ.”

ජාත්‍යන්තරය ගත් තීන්දු වලට අවනත නොවී ජාත්‍යන්තරයත් රවට්ටමින් මේ ආණ්ඩුව ක්‍රියාත්මක වන බවට චෝදනා කළ ඇන්තනී ජේසුදාසන් වැඩි දුරටත් සදහන් කළේ, විරෝධතාවය සදහා උතුරු පළාතේ දිස්ත්‍රික්ක පහම නියෝජනය කරමින් ධිවරයන්, ගොවීන්, කම්කරුවන් සහ කාන්තාවන් එක්ව සිටින බවයි.

යාපනය නගරයෙන් ආරම්භ කළ විරෝධතා පෙළපාලිය උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලය දක්වා පැමිණ, එහිදී ද උද්ඝෝෂණයක් දියත් කිරීමට විරෝධතා කරුවන් කටයුතු කර තිබුනි.

සිය ඉල්ලීම් ඇතුලත් සන්දේශයක් උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලය වෙත භාර දීමට ඔවුන් කටයුතු කර ඇති අතර, පොලිස් නිලධාරියකු මාර්ගයෙන් ආණ්ඩුකාරවරයා විරෝධතාකරුවන්ට දැනුම් දී ඇත්තේ සාකච්ඡාවක් සඳහා ලබන සතියේ දිනයක් ලබා දෙන බවයි.

අවනැත් වු ජනතාවට නැවත ඉඩම් ලබා දෙනු, අතුරුදහන් වූවන්ගේ පවුල් සඳහා යුක්තිය ඉටු කරනු, දේශපාලන සිරකරුවන් නිදහස් කරනු, දෙපාර්තමේන්තු නමින් දිගින් දිගටම සිදු කරන ජනතාවගේ ඉඩම් අත්පත්කරගැනීම් වහා නතර කරනු, විරෝධතාකරුවන්ගේ මුලික ඉල්ලීම් වේ.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ජාතික ධීවර සහයෝගීතා ව්‍යාපාරයේ සාමය හා තිරසාර සංවර්ධනය සදහා වු ජනතා සංවාදයේ සම්බන්ධීකාරක ඇන්තනී ජේසුදාසන් අනතුරු අඟවා සිටියේ, ආණ්ඩුව සංක්‍රාන්තික යුක්තිය ඉටු කිරීමට කටයුතු නොකළහොත් ජනතාව සමඟ එක්ව දිගටම අරගල කරන බවයි.

You may also like...

Leave a Reply

Your email address will not be published.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.