හිට්ලර් මූණ දැම්මොත් ඡන්ද නැතිවෙනවා!
ජනාධිපතිධුරයට පත් වීමෙන් පසු පැවැත්වෙන පළමු මැතිවරණයටම මුහුණ දීම සඳහා ජනාධිපතිවරයා බිය වී ඇති බව එක්සත් ජාතික පක්ෂයෙන් මහ මැතිවරණයට ඉදිරිපත්වී සිටින ජ්‍යෙෂ්ඨ වාමාංශික නායකයෙකු පවසයි.
මැතිවරණ ව්‍යාපාරයේදී තම මුහුණ ඇතුලත් සේයාරූ භාවිත නොකරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් අපේක්ෂකයන් වෙත උපදෙස් ලබා දී ඇත්තේ එබැවින් බවයි මහාචාර්ය වික්‍රමබාහු කරුණාරත්න පවසන්නේ.
“ඒකෙන්ම පේනවා ගෝඨාභයගේ ඒකාධිපති, ජාතිවාදී රූකඩය මිනිසුන්ට අප්‍රිය බව”
එජාප කළුතර දිස්ත්‍රික් ලයිස්තුවෙන් මහ මැතිවරණයට තරඟ කරන නව සම සමාජ පක්ෂයේ නායක මහාචාර්ය වික්‍රමබාහු කරුණාරත්න ඒ බව සඳහන් කළේ නව සම සමාජ පක්ෂ මුලස්ථානයේදී ජුලි 02 බ්‍රහස්පතින්දා පැවැති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි.
ජනාධිපති මාධ්‍ය අංශයේ අධ්යක්ෂ ජනරාල් මොහාන් සමරනායක විසින් ජුලි 01 බදාදා නිකුත් කර තිබු නිවේදනයක සදහන්ව තිබුනේ එළඹෙන මහ මැතිවරණයට තරඟ වැද සිටින අපේක්ෂකයන් ප්රචාරක කාර්යන් සදහා තම ඡායාරූප භාවිත නොකළ යුතු බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් නියෝග කර ඇති බවයි.
මැතිවරණ ප්රචාරක කටයුතු සදහා තම රූපය භාවිත කිරීම තුළින් ඡන්ද ප්‍රමාණය අඩුවනු ඇතිය යන්න ජනාධිපතිවරයාගේ එකී නියෝගයේ ගැබ්ව තිබෙන බව පෙන්වා දෙන මහාචාර්ය වික්‍රමබාහු කරුණාරත්න පවසන්නේ එය සත්‍ය තත්වයක් බවයි.
ජනාධිපතිවරයාගේ ඒකාධිපති ස්වරූපය ජනතාවට අප්‍රිය වී ඇති බව නැවත නැවතත් පෙන්වා දෙන මහාචාර්යවරයා අවධාරණය කරන්නේ එම තත්වය රට පුරා ව්‍යාප්ත වී යෑම යම්තාක් දුරට හෝ අඩු වීමට පටන් ගත්තේ මහින්ද රාජපක්ෂ අගමැති ලෙස වැඩ කිරීමට පටන් ගත් පසුව බවයි.
ජනප්‍රිය වාමාංශික දේශපාලන නායකයකුගේ ස්වරූපයට අනුව මහින්ද රාජපක්ෂගේ දේශපාලන අතීතයේ යුගයක් ගොඩ නැගී තිබීම එයට හේතුව ලෙස ඔහු එහිදී වැඩි දුරටත් පෙන්වා දුන්නේය.
“ඒ නිසාම ඔහු ජාතිවාදී දෙමළ විරෝධි, මුස්ලිම් විරෝධි තැනකට ගියයි කියලා සාමාන්‍යයෙන් ජනතාව තුළ හැගීමක් නෑ. ඒ නිසා ඒ මුහුණ දාලා ඡන්ද ප්‍රමාණයක් වැඩි කරගන්න පුළුවන් කියන එක තමයි ඊලඟට ඒකෙන් කියවෙන්නේ.” දශක දෙක තුනකට ඉහත විවිධ අවස්ථා වලදී තම සටන් සගයකු වු මහින්ද රාජපක්ෂ කෙරෙහි ඇති ජනතා ආකල්පය සමසමාජ නායකයා විග්රහ කළේ ඒ අයුරිනි.
“අර ගෝඨාගේ හිට්ලර් මුහුණ දැම්මාම හමුදාවයි ඒකාධිපතිවාදයයි දාගෙන යන ගමනම මිනිස්සුන්ට අප්‍රියයි කියලා ඒ ගොල්ලොම දැන් වටහාගෙන තිබීම තමයි අපිට මේකෙන් පෙනෙන්නේ”
වත්මන් ආණ්ඩුව පසුගිය කාලය පුරාවට ඇමරිකන් විරෝධී බව පෙන්වීමට උත්සාහ දැරුවද සැබැවින්ම ආණ්ඩුව ඇමරිකන් ගැති බව මහාචාර්ය වික්‍රමබාහු කරුණාරත්න මාධ්‍ය හමුවේදී වැඩි දුරටත් පෙන්වා දුන්නේය.