ප්‍රංශ විප්ලවය හා 1818 කන්ද උඩරට කැරැල්ල
කන්ද උඩරට කැරැල්ල ලෝකය පුරා අවධානයට ලක් වූවක් විය. එය බ්‍රිතාන්‍ය යටත් විජිතවාදයේ කුරිරුකම හෙලි කළ වැදගත් සිද්ධියක් ලෙස ඉතිහාසගත වූවක් වෙයි. මන්දයත් මේ කැරැල්ල මර්ධනයේදී වෙල්ලස්සේ සිදුවූ මිනිස් සංහාරය මානව ඉතිහාසයේ දරුණුම ඛේදවාචකයක් වූ හෙයිනි. මේ භූමියේ වාසය කෙළ සෑම පිරිමියෙක්ම මේ බිලිගැනීමට ගොදුරු විය. ඔවුන් සතුවූ සියළු දේපොල විනාශ කෙරිණි. මේ මිනිස් සංහාරයට එදා බලය පැවරූ ගැසට් නිවේදනය අවලංගු කෙරුනේ කැරැල්ලට වසර දෙසීයක් ගත වෙද්දී මේ යහපාලන ආණ්ඩුවේ මැදහත්වීමෙන් වීම ද අවධාරනය කළ යුත්තකි. ඒ මගිනි ජනතාවට ඉඩම් ආපසු බාරදීම පවා නීති ගත කළේ.
ලෝක පරිමාණව ධනපති ක්‍රමය පැතිර යමින් තහවුරු වූයේ මෙවන් බිහිසුණු ක්‍රියාවන් සහිතව බව ඉතිහාසය පෙන්නුම් කරයි. මේ මර්ධනීය පියවරයන්හි අරුත වූයේ හුදු මිනිසුන් යටකර බලහත්කාරයෙන් වැඩ ගැනීම, නැතිනම් ඔවුන්ගේ සම්පත් කොල්ලකෑමේ පරමාර්ථයන්ට වඩා පැවැති දේපල ක්‍රමය නැතිනම් නිශ්පාදන ක්‍රමය වෙනස් කර ගැන්මේ උවමනාව ප්‍රධාන කොට ගෙනය. ඒ අනුව බලන කල ලංකාවේ ධනපති ක්‍රමය පුළුල් ලෙසින් ස්ථාපිත වීමට පදනම වැටුනේ 1918 කැරැල්ල මර්ධනය කිරීමෙන් පසුව බව පැහැදිලි වෙයි. පැරණි වැඩවසම්වාදී රදළ සමාජය බිද ධනපති ක්‍රමය, එහි නිශ්පාදන සබදතා ඇතුල්වීම එමගින් නීතිගත කෙරුණි. පැවැති වැඩවසම්වාදී වරප්‍රසාද අභිබවා ධනේශ්වර නීතිය ජයග්‍රාහී වීම සිදු වූයේ එසේය. මේ කැරැල්ලේ ආරම්භක නිමිත්ත සටහන් වන්නේ පැවැති සම්ප්‍රදායයන් ඉවත් කරමින් මුදල් සම්පාදනය (බදු අය කිරීම) සදහා මුස්ලිම් ජාතික මුහන්දිරම් වරයෙක් පලාතේ රෙසිඩන්ට් උන්නාසේ විසින් පත් කිරීම ලෙසිනි. තමන් ඉංග්‍රීසි පාලකයන් සමග ඇතිරගත් ගිවිසුම (උඩරට ගිවිසුම) උල්ලංඝනය කිරීමෙක් මේ තීරණය නිසා ඇතිවන්නේ යයි උඩරට රදළ පැලැන්තිය මෙන්ම සාමාන්‍ය සිංහල ජනයා ද දුටුවේ ය.
එකල දිවයිනේ අභ්‍යන්තරයට ලුණු ලබා ගැනීම එතරම් පහසු කරුණක් නොවීය. ඒ නිසා උඩරටට ලුණු ගෙන ඒම සැලසුම් කර තිබුණේ ඌව හරහා ය. කැරලිකරුවන් එයට අභියෝග කිරීමත් ඉංග්‍රීසි ආණ්ඩුවට දැරිය නොහැක්කක් විය. මේ ලෙසින් ඌව වෙල්ලස්සේ අවි ගැටුම් ආරම්භ විය. කෙටි කලකින්ම ගැටුම මුළු උඩරටම වෙලා ගැණිනි.
එදා කැප්පෙට්ටිපොල නිලමේ තුමාගේ මැදහත්වීම සිදු වුනේ එසේ බුර බුරා නැගී ගිය කැරැල්ල යටපත් කිරීම සදහා ය. නමුත් ජනතාවගේ විරෝධතා රැල්ල දුටු ඔහුගේ මනස වෙනස් වූ අතර පැවැති උරුමයන් රැක ගැනීමට ඔහුද යොමු වූ බව පෙනේ. එසේ තමන්ගේ පැත්තේ සිටි සමහර සිංහල ප්‍රභූන් කැරැල්ලට එකතු වූ නමුත් ඉංදියාවෙන් ද ලබාගත් උපකාර මගින් කැරැල්ල යටපත් කිරීමට බ්‍රවුන්රිග් ආණ්ඩුකාරයාට හැකි විය. එක අතකින් උඩරට පුරාම තහංචි දමමින් තියුණු මර්ධනයක් දියත් කරන අතරේ අනෙක් අතින් ආණ්ඩුව කළේ තම පාලනයට සහාය දෙන ජන කොටස් වලට බදු විරාම ඇතුළු විවිධ සහන ලබා දීමයි. ඒ සමග අනාගත ඉලක්ක අනුව විවිධ සම්මාන, තාන්න මාන්න දෙමින් රදළ පවුල් දිනා ගැනීමට ද කටයුතු කරන ලදී.
උඩුනුවර හා යටිනුවර රදළ පවුල් මේ සටනට යොමු නොවීම මෙහි දී කැපී පෙනෙන තත්ත්වය වන්නේය. ඒ් මගින් තම උඩරට ප්‍රධාන මධ්‍යස්ථානය ආරක්ෂා වීම නිසා ආණ්ඩුවේ පැවැත්මට විශාල තර්ජනයක් එල්ල නොවිනි. අදාල ගැසට් නිවේදනය නිකුත් කරමින් කැරැල්ල මර්ධනය සදහා සැළසුම් කිරීමේ දී මේ උඩුනුවර හා යටිනුවර රදළයන් ඒ සැලැස්ම සමග බැද ගැනීමට වැඩ බෙදීමක් කර තිබූ බව පෙනේ. කැප්පෙටිපොලට ඌවට යෑමට රාජකාරියක් පැවරුණේ ඒ අනුව ය. එසේ නොමැතිව උඩුනුවර රදළයන් හැටියට කැප්පෙටිපොල පවුල කැරැල්ල ගැන කලබල වී සිටි බවක් පෙනේනේ නැත. පානබොක්ක, දූල්ලෑව, දොඩන්වෙල හා ගිරාගම ආදී රදළ පවුල් මේ සටනට අවතීර්ණ නොවූයේ මේ දෙනුවර තුළ කැරැල්ලේ ගින්න පැතිර නොගිය නිසාය. කැප්පෙටිපොල මේ ගින්නට අසුවුනේ ඌවට ගිය පසුවය. එසේ වුවත් මඩුගල්ල, ගලගොඩ වැනි රදළයන් කැරැල්ලට මැදහත්වීම තුළින් පෙනෙන්නේ මේ දෙනුවර වටේටම ගින්න ඇවිලී ගොස් තිබුණ බවයි. එනමුත් එක් හිමි නමක් ධාතු කරඩුව රහසින් රැගෙන ගිය බව කීමෙන් පෙනෙන්නේ නුවර ඉංග්‍රීසි ආණ්ඩුව තහවුරුවී සිටි බවයි.
කෙසේ වෙතත් තමාගේ පාලනයේ අනුවනකම් උඩ සිදුවූ විපත ගැන මෙරට සුදු නිලධාරීන්ට ඔවුන්ගේ ලන්ඩන් නගර මධ්‍යස්ථානය කරුණු සහිතව පෙන්වා දී තිබේ. ඉන් ලද උපදෙස් ප්‍රකාර වහාම අවශ්‍ය ප්‍රතිපත්තිමය වෙනස්කම් කිරීමටත් එදාට නියමිත රාජකාරී ක්‍රම ක්‍රියාත්මක කිරීමටත් මේ පාලකයන් කඩිනමින් පියවර ගත් බව පෙනේ. එම උපදෙස් මත රදළ ප්‍රභූන් තම ධනපති අර්ථ ක්‍රමයට එකග කර ගැන්මට ඔවුන් උනන්දු විය. සැබැවින්ම ඒ වන විටත් බ්‍රිතාන්‍යයේ නාගරික මෙන්ම ප්‍රාදේශීය වශයෙනුත් කෙරුණු නවීන සංවර්ධන උපක්‍රම ගැන මෙහි සිංහල, මුස්ලිම්, දෙමළ නායකයන්ව දැනුවත් කිරීමට ලහි ලහියේ ක්‍රියාමාර්ග ගැනීමත් සිදු කෙරුණි. එසේ පැරණි කාලයේ නීති සම්ප්‍රදායයන් වෙනුවට වඩාත් ඵලදායී ධනපති නීති සම්ප්‍රදායයන් ඉදිරිපත් කිරීම මගින් තරුණ රදළ ක්‍රියාකාරීන් තම පාලනයට නතු කරවා ගැන්මට ඔවුන් ක්‍රියා කරන ලද්දේ ය. දළදාව සුරැකීමටත් එයට නිසි ගෞරව සැලකිලි දැක්වීමටත් එලෙසම අලුත් පන්නයේ වැඩ පිළිවෙලක් සකස් කර එය ප්‍රභූ නායකයන්ගේ වගකීමක් ලෙස පවරා දීමටත් කටයුතු කෙරිණි.
කැරැල්ලට සහභාගී වූ රදළ නායකයින් බලාපොරොත්තු වූ පරිදි ලංකාවේ උඩරට පැවැති රදළ වැඩවසම් ක්‍රමය යලි ස්ථානගත වූයේ නැත. ඒ වෙනුවට නියමිත වූ ධනේශ්වර සංවර්ධනයටත්, සමාජ ප්‍රගමනයටත් ගැලපෙන පරිදි පරිපාලන වෙනස් කම් කිරීමට බ්‍රිතාන්‍ය පාලකයෝ ක්‍රියා කළහ. මේ පියරවයන්ට රදළ පවුල් යොමු කර ගැන්ම සදහා තාන්න, මාන්න, තරාතිරම් ලබා දුන් අතර ඉඩම් ඇතුළු ස්වාභාවික සම්පත් වල නව පන්නයේ සංවර්ධයකට ඔවුන් යොමු කර ගැනීමටත් ලහි ලහියේ පියවර ගැනිනි.
ඒ අතර කැරැල්ල මර්ධනය කිරීමේ දී දියත් කෙරුණු බිහිසුණු මර්ධන පිලිවෙත් ගැන විශාල වශයෙන් තොරතුරු ලබා ගැන්මට ලන්ඩන් බලවත්තු ක්‍රියාත්මක වූහ. ඒවාට වගකිව යුත්තන්ට විරුද්ධව ක්‍රියා කරන වගක් ලොවට පෙන්විමටත් කටයුතු කෙරිණි. මේ සියල්ල ලෝකයේ මානවවාදී බලවේග ඉදිරියේ සැබෑ තතු එළිවීම වැලැක්වීමට ඉදිරිපත් කරන ඇස්බැන්දුම් බව එළි කිරීමට නිදහස්කාමී ධනපති ඉතිහාසඥයෝ ක්‍රියා කළහ. මේ ඓයිතිහාසික සිදුවීම විමසන කල්හි පෙනී යන්නේ එදා කැරළි නායකයන්ගේ ලොකුම අඩුපාඩුව බිහිවන ධනපති ක්‍රමයට මුහුණ දිය හැකි ඉඩම් හා සම්පත් බෙදී යෑමේ වැඩ පිළිවෙලක් නොතිබීමයි. ඒ හේතුවෙන් මේ කැරැල්ල මුස්ලිම් විරෝධී සටනක් ලෙසට හැදින්වීමටත් මෙහි සිටි සුදු පාලකයින්ට ඉඩ සැලසුන බවද පෙනේ. කැරැල්ල පරාජය කිරීමෙන් පසුව ඔවුන් නිරන්තරයෙන් අවධාරණය කරන ලද්දේ තමන්ගේ නව පන්නයේ සංවර්ධනයේ විශිෂ්ඨත්වය ගැනය.
මෙහි නව ධනපති නිශ්පාදන සබදතා බිහිකිරීම සදහා පුරෝගාමීව කටයුතු කළ ඩොයිල් හා බ්‍රවුන්රිග් ආදීහු ප්‍රංශ විප්ලවයෙන් ආභාෂය ලැබූවෝ වූහ. ඒ අනුව ලංකාව තුළ ඔවුන් දුටුවේ ප්‍රතිගාමී රජෙක් හා වැඩවසම් රදළ තන්ත්‍රයක් විය. එයට විරුද්ධව සමානාත්මතාවය, සාධාරණත්වය හා සහෝදරත්වය උඩ වූ සටන තමන් ගෙන යන බවයි ඔවුන් විශ්වාස කරන්නට ඇත්තේ. රාජාංඩුව බිද හෙලීමෙන් නොනැවතී වැඩවසම් සමාජ ක්‍රමය මේ භූමියෙන් මකා දැමීමත් එමගින් ධනපති නිශ්පාදන ක්‍රමයේ වර්ධනයට මාවත පෑදීමත්, එම අවදියේ පැවැති මූලික හා වැදගත්ම කර්තව්‍යයන් ලෙස ඔවුන් දුටුවා නිසැකය. ලාංකීය ගැමි සමාජය තුළ තිබුණු ආසියාතික ගැමි ගොවි නිශ්පාදන සම්බන්ධතා සහිත සරළ ගොවි සමාජය ඔවුන් දුටුවේ නූතන ආර්ථික වෘධියට බාධා කරන එක තැන පල්වෙන නිද්‍රාශීලී ක්‍රමයක් ලෙසය. එම ගැමි සමාජයන් මුලිනුපුටා දැමීමට ඌව – වෙල්ලස්ස හා අනෙක් ගම් තුළ ඔවුන් ක්‍රියා කළේ ඒ දැක්ම අනුවය. ආසියාතික ගම් ක්‍රමය පැලවෙන ගසක් ලෙසට ඔවුන්ට පෙනීයාම සාධාරණ බවටද තර්ක කළ හැකිය. කාල් මාක්ස් පෙන්වා දුන් පරිදි එය නොනැසෙන හා තැනින් තැන නිරායාසයෙන් පැතිරෙමින් ගලා යන පැලෑටි වර්ගයක් වූයේය. බ්‍රවුන්රිග් යුරෝපා විප්ලවය වෙනුවෙන් මෙන්ම මනුස්සකම ඉහලට ගැනීමට රෙපරමාදු මිෂනාරී පිරිස් ගෙන්වීමට කටයුතු කළේය. ඒ ප්‍රංශ විප්ලවයේ දෙවන පාඩම ලංකාවේ පිහිටුවීමටයි. ඇමරිකන් ක්‍රිස්තියානි සංවිධාන බලයත් ඔහු පාවිච්චි කළ බව පෙනේ. ඒ අතර මහා මාර්ග වර්ධනය කරමින් ජල වහන පද්ධති සැකසීමටත් කටයුතු කෙරිණි. ඒ අනුව බ්‍රිතාන්‍ය පාලකයාගේ ඇසින් බලන කල්හි සටහන් වන්නේ පසුගාමී සමාජ සම්බන්ධතා බිද ලංකාවේ ජනතාව අදුරින් ආලෝකය වෙත ගෙන ඒමට කටයුතු කළා වූ ලෙසිනි. නූතනත්වය ගැන සලකන කල්හි එම කාරණාවත් අමතක කළ නොහැක්කකි. රජු හා රදලයන් අතර රාජ්‍ය පාලනයේ විවිධ වියවුල් ගහනව පැවැති මොහොතක එම අවුල් ජාලය මතට බර අඩි තබමින් කන්ද උඩරටට ප්‍රංශ විප්ලවය පැමිණියේ එසේ ය.
1789 ප්‍රංශ විප්ලවය මධ්‍යකාලීන අදුර අභිබවා අනාගතය ලත් ජයග්‍රහණයයි. එම විප්ලවය නියෝජනය කළේ හුදු එය සිදු වූ භූමියේ අවශ්‍යතාවයන් පමණක් නොවේ. එම අවදිය වන විට මතුව තිබූ ලොව පැවැති අවශ්‍යතාවයන් ය. ඒ අනුව ප්‍රංශ විප්ලවයෙන් පසුව ඇති වුන මේ කැරැල්ල යුරෝපා උන්නතිවාදී විප්ලවයේ ගිනිදැල් වැරදි පැත්තෙන් හට ගැනීමක් යයි සුදු ජාතිකයෝ කියූහ. ප්‍රංශ විප්ලවය මිනිස් ඉතිහාසයේ විශාලම පෙරළිය ලෙසින් තවමත් සැලකෙයි. රුසියාවේ 1917 ඇති වූ නිර්ධන පංති විප්ලවයේ ජයග්‍රහණය වෛශයික හේතු ගණනාවක් නිසා කැලේ පැන්න හෙයින් මේ කථාව තවමත් ඇත්ත ලෙසින් පිලිගැනීමට සිදුවේ. ප්‍රංශ විප්ලවය යුරෝපා විප්ලවයක් ලෙසින් විකාශනය වී පෙර දුටු පරිදි, ලංකාවටත් අවුරුදු 15 කින් පමණ ලගා වූයේ ය. එසේ වතුදු ගැමි ගොවි සිංහල විප්ලවයට තවමත් අපව නූතන ලෝකයට කැදවා ගෙන යෑමට නොහැකිවීම ගැන ඇත්තේ කණගාටුවකි. නමුත් සිදුවූයේ ඒ දේ තමයි.
2018 ජූනි 05
ලක්බිම – “නිනව්ව”