ජාතිවාදයට එරෙහි සිංහල බලවේගය බලවත්

සේයා - dailymirror

ජාතික ආණ්ඩුවක් හැදුවත් ජනපති, අගමැති අතර සංධානය දිගට යන එකක් හැටියට හොද පිළිගැන්මක් ඇතිවී නැහැ. එයට හේතුව ඊට කලින් තිබුණ ගැටුම උඩ මොවුන්ගේ දර්ශන දෙකක වෙනස එලිවූ නිසයි. ජනාධිපති තුමා මහින්ද විවේචනය කළත් උන්නැහේ මහින්දට වඩා වෙනස් දර්ශනයක් පැහැදිලිව පෙන්වා නැත. එවන් දැක්මේ වෙනසක් ඇති නොකර, වේගවත් පහරක් දෙකක් මහින්දට එල්ල කළාට ඒ උඩ ජනතා පෙලගැස්මක් ඇතිවෙන්න බෑ. අද ලෝකයම බලා ඉන්නේ ලංකාව තුළ ජාතික ප්‍රශ්නය විසදා, මානව අයිතීන් උසුලන ව්‍යවස්ථාවක් ඇති කරමින් ප්‍රජාතන්ත්‍රවාදී ගමනක් යන බව පෙන්වයි කියලයි. එහෙත් එම යෝජනා වැඩට දමන බවට කිව්වත් ඒවා කෙරෙන වැඩක් වෙන බවක් කැබිනෙට්ටුවේම අය කියන කථා වලින් පෙනෙන්නේ නෑ. ඒ අතරේ මහින්දගේ ගමනේ වැරදි හදාගෙන ඉදිරියට යන එක හොදයි කියන තැනට ජනතාවගේ බලපෑම් දිගටම එන බව පෙනෙනව. මෙසේ වෙන්නේ එයට විරුද්ධ මතවාදයන් ගෙනයාමට තරම් උවමනාවක් නායකයන්ට ඇති බව පෙනෙන්නේ නැති නිසයි. ජනතාවගෙන් වැඩි දෙනා තවමත් බලා සිටින්නේ රනිල්ගේ නායකත්වයෙන් ඇතිවන ආණ්ඩුවකින් ලැබෙන ප්‍රතිඵල ගැන බවයි පෙනෙන්නේ. ඔහුට වැඩට ඇතුල්වීමට වත් ඉඩ නොතබා පොලු දමන නායකයන්ම ඊලගට කියන්නේ රනිල් වැඩට බහින්නේ නැති බවය. රනිල් නායකත්වයෙන් ඉවත් කිරීම ඉලක්ක කරන අය එසේ කරන්නේ ජනපතිගෙන් අවසර ලබාගෙන බවයි අපට නම් පෙනෙන්නේ.

රනිල්ට ජය ලැබුනේ මේ රටේ සුලු ජාතිකත්වයන්ගෙන් පැමිණි මන්ත්‍රීවරුන්ගෙන් පමණක් නොවෙයි. සිංහල පෙදෙස්වල පලාත්වලින් තේරී ආව මන්ත්‍රීවරු විශාල ගණනක් ඔහුට ඡන්දය දුන්නේ ජාතිවාදී ගමනට විරුද්ධවය. මෙය නැවත නැවතත් කිය යුතු ඇත්තකි. සිංහල ජනතාව අතර මහින්දගේ ෆැසිස්ට්වාදී දැක්මට ලොකු බලයක් ඇති බව කියන්නේ රටට බොරු කියන වාචාල මාධ්‍යකරුවන්ය. එයට මුදල් හදල් බහුලව ලැබෙන නිසා ඒ දෙයම එහෙට මෙහෙට කරකවමින් මතු කිරීමට මේ මාධ්‍ය සංවිධාන ගනුදෙනු හරහා කටයුතු කරන බව පිලිගැනීමට තරම් හේතු සාධක ඇත. කෙනෙක් සිංහල ජනතාවට වන අලාබ ගැන කථා කරනවා නම් එය වේදනාවක් උඩ කරන නන් දෙඩවිල්ලක් විය යුතු නෑ. ඇත්ත සාධක සහිත කථාවක් විය යුතුයි.

මේ රටේ ජනතාවගෙන් වැඩි දෙනෙක් සිංහලය. ඔවුන් දැන් සියයට 75 දක්වා ගමන් කර ඇත. මේ නිල ලේඛන වල තත්ත්වයයි. මෙය බොරු බව කියමින් සිංහලයන් නොබෝ කලකින්ම රට තුළ සුලු ජාතියක් වන බව දේශනා කරන බොරුකාරයන් එමටය. මහ සොහොන් බලකාය ඇර තවත් අයත් මේ ලෙසට කියාපාන බව අපට නිවේදන තුළින් දැකගත හැක. මේ වැනි උද්ඝෝෂණ තුළින් ඔවුන් බලාපොරොත්තු වන්නේ සිංහල ජනයා කැරලි වලට යොමු කිරීමයි. ඒ තුලින් වීරයන් ලෙස කෑ ගසා ඡන්ද ලබාගන්නට ඔවුන් හිතනවා විය යුතුයි. මෙයින් සිදුවන්නේ ඇත්ත ඇති සැටියෙන් දැන ගැන්මට පුරවැසියන්ට හැකියාවක් නැති වීමය. රට තුළ ඇත්ත දේශපාලන කථිකාවකට වඩා උසිගැන්වීම් වලින් කරන්න හදන්නේ ඊනියා වීරයන්, භූමි පුත්‍රයන්, දේශපාලන බලය අල්ලා ගැන්මයි. එයින් පසු විනාශකාරී ගැටුම් වලට රට තල්ලුවන බව, ඇමරිකාව දෙස බැලුවත් වටහා ගන්නට පුළුවන්. එයට විරුද්ධ ජනතා බලයත් නැගීමත් ඒ සමග සිදුවිමත් පෙනෙන කාරණයක්. ඩොනල්ඩ් ට්‍රම්ප් බලයට ආවෙත් උසිගැන්මවීම් හා ජාතිවාදය ඇවිස්සීම උඩයි. ඒත් රට පුරා උද්ඝෝෂණ වලින් ඔහුව වට කර ඇති නිසා ඔහුට ඕනා ඕනා දේවල් කරන්නට බැරිය. ඡන්ද වලින් දින්නත් ඇත්ත ජනතා මැදිහත්වීම තුළින් ඔහුට විරුද්ධ බලවේගයක් බලවත් ලෙස ක්‍රියාත්මක වීම සැමටම පාඩමක් වනු ඇත.

ලෝකයේ ඉහලම දියුණු රට ලෙස කියන එරටට ඇති වී තිබෙන විපත සැමටම පාඩමක් වී ඇත. වල්පල් දොඩන නායකයන් සමග එකතුවී තම බඩකට පුරවා ගැන්මට දේශපාලනය කිරීමෙන් ඕනැම රටක් මේ විපතට ගොදුරු වන බව කිය යුතුව ඇත. එදා ජර්මනියට සිදුවූයේ මෙවැනිම තත්ත්වයකි. එය වඩාත් දුර දිග ගියේය. ඒ සියළු කම්කරු සංවිධාන විනාශ කළ නිසාය. එවැන්නක් ඇමරික‍ාවේ තවම සිදුවී නැත. ඇත්තටම එම පංති බලය ඔහුට උවමනා දේ කරන්නට ඉඩ නොදෙමින් බලය අහුරන බව සතුටින් කියන්න පුළුවන්. ඔහු උතුරු කොරියාව සමග ගිවිසුමක් හදා ගැන්ම වැඩක් ඇති දෙයක් ලෙස ගත්තත් එයින් ඇති වන වර්ධනයක් ගැන තක්සේරුවක් නැත. ලෝක බලවතා ලෙසට යලි පෙනී සිටිම අවශ්‍ය නැති බවත් තම රට තුළ වර්ධනය දෙසට යොමු විය යුතු බවත් එහුගේ මතය වුවත් දැන් ගමන් කරන්නේ වෙනස් ලෙසටය. එයින් බටහිර සමග ගමන් කළ රටවල් නැවත සමිප කර ගන්නට හැකි වෙනු ඇතත් ගෝලීය ධනවාදයේ මූලික ප්‍රශ්න වලට කිසිදු විසදුමක් තවම ලැබෙන පාටක් නැත. මුස්ලිම් ලෝකය සමග ඇති කරගත් ගැටුම්කාරී ගමන නැවතුනත් ත්‍රස්තවාදීන්ට ලැබුණ පණිවිඩය වෙනස් වී නැත.

මේ තත්ත්වය තුළ බර්නි සොන්ඩර්ස්ගේ බලය වැඩිවීමක් දිනෙන් දින පෙනෙමින් ඇත. ඔහුට හා සගයන්ට මෑත පලාත්පාලන ඡන්ද වලදී මෙන්ම වෙනත් තේරීම් වලදීත් වාසි ලැබී ඇත. වැඩ කරන ජනතාවගේ ක්‍රියාකාරීත්වය වැඩිවීමත්, ඔවුන්ගේ සංවිධානාත්මක මැදහත්වීම් වර්ධනය වීමත් බර්නිගේ වම බලවත් වීමට හේතු වී ඇත. මෙයින් බලාපොරොත්තු සහගත තත්ත්වයක් ලෝකය පුරා ඇති කිරීමට හැකි වී ඇති බව පෙන්වා දිය හැකිය.


2018 මැයි 08
ලක්බිම – “නිනව්ව”

You may also like...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.