චෙල්වනායගම් – දෙමළ ජනතාවගේ අනන්‍යතාවය එළියට ගත්ත වීරයා
දෙමළ ජනතාවගේ ආදරණීය නායක චෙල්වනායගම් මැතිදුගේ සමරු දිනයේ කථාව කරන්නට මටත් ආරාධනාවක් ලැබුනා.
උන්නැහේ මේ රටේ දෙමළ ජනතාවගේ අනන්‍යතාවය එළියට ගත්ත ඔවුන්ගේ වීරයා. එක අතකින් අනගාරික ධර්මපාල වගේ – තව පැත්තකින් බණ්ඩාරනායක වගේ. සුද්දගේ කාලයේ ඔවුන්ගේ උවමනා අනුව මුදලි මුහන්දිරම් පවුල් ඇති කරල නායකයන් බවට පත් කළා. ඒ අනුව නායකයින් සිංහල දෙමළ මුස්ලිම් සමාජයන්ට බිහි වුනා. සේනානායක, ඔබේසේකර, ජයවර්ධන ආදි පවුල් වගේම, රත්නම්, පොන්නම්බලම් රාමනාදන්, කුමාරස්වාමි ආදී පවුල් දෙමළ සමාජය තුළ රජ කෙරුවා. මේ පවුල් අතරින්ම ඊලග පරම්පරාවේ අය පිටරට අධ්‍යාපනය තුළින් බටහිර රටවල ධනපති සමාජය තුල ඇති වුන ප්‍රජාතන්ත්‍රවාදය , නිදහස , සමානාත්මතාවය මේ රටට ගෙනැවිත් ඒ වෙනුවෙන් සටන් කළා. බණ්ඩාරනායක මහ මුදලි කෙනෙකුගේ පුතකු වුනත් නිදහස, සමානාත්මතාවය ගැන කථා කළ මුල්ම කෙනෙක් වුනෙත් එයා. සිංහල සමාජයේ ග්‍රහණයට හිර වුන නිසා ප්‍රතිගාමීත්වයට ගියත් ඔහු සිංහල සමාජයේ වැදගත් ලිබරල් නායකයෙක්. ඔහුට සමගාමීව තමා චෙල්වනායගම් එළියට එන්නේ. ඔහුටත් රදළ මුදලි දෙමළ පවුල් වලට සම්බන්ධකම් තිබුනත්, එංගලන්ත සභාවේ මතවාදය සමග බණ්ඩානායක මෙන්ම නිදහස් සමාජ මතවාදයන් අරගෙන දෙමළ සමාජය තුළ පිබිදීමක් ඇති කිරිමට කටයුතු කළා. ඇත්තටම මේ දෙදෙනාම ශාත්ත තෝමස් විදුහල තුළදී එකට ඉගෙන ගත්ත අය. බණ්ඩා ඊලගට ඔක්ස්ෆර්ඩ් ගියත් චෙල්වාට උපාදිය මෙහේ ඉදන් ලියල ගන්න සිද්ද වුනේ මුදල් අමාරුකම් උඩ. චෙල්වා බණ්ඩාට වඩා පහල මට්ටමක ආර්ථික අතින් ඉදල තියෙන්නේ. ඒත් 1944 වන විට ACTC සංවිධානය හදන විට පොන්නම්බලම් මහතාට දෙවැනියා ලෙසට වැඩ කළේ චෙන්වනායගම්.
බණ්ඩාරනායක යූඇන්පී යෙන් කඩාගෙන එළියට එන වකවානුවේදීම චෙල්වා ACTC එක යූඇන්පී යට ඇතුල් වුන නිසා ඒකත් කඩාගෙන ආවා. දෙන්නාම එක ලෙසට යූඇන්පියෙන් වෙන් වෙලා අලුත් ලිබරල් ගමනක් පටන් ගත් බව පැහැදිලියි. එක් අතකින් සිංහලයාට පළමු තැන වෙනුවෙන් සටන අරඹන විටම අනෙක් අතින් දෙමළට ස්වපාලනයක් උඩ ෆෙඩරල් සටන නැත්නම් දෙමළ රාජ්‍ය සටන ආරම්බ කළා. මේ විදියට බලනකොට මේ දෙෙදනාම ඇන්ග්ලිකන් සදාචාරය උඩ හැදුන ලොකු මහත්තුරු දෙදෙනෙක් වගේම තම පාලක පැලැන්තියට ආයුබෝවන් කියල පහල ජනතාව අවදි කරමින් සිංහල ජාතියත්, දෙමළ ජාතියත් යන දෙකම පුබුදුවාලීමට කටයුතු කළ ජාතික වීරයන් දෙදෙනෙක්. මේ දෙදෙනා එකතු වෙලා බණ්ඩා-චෙල්වා ගිවිසුම ගැසීමෙන් විශාල පියවරත් ගත්තත්, එදා එයට වම උදව් දුන්නේ නැති නිසා රුදුරු ජාතිවාදීන්ට පාරක් විවර වුනා.
මෙයින් පසු ඇතිවුන සටන සමාජවාදය ගැන විකෘති අදහස උඩ වල්ගත වුනා. ට්‍රොට්ස්කි ඉතා තදින් අවධාරණය කළා රුසියාවේ කිසිම සමාජවාදයක් නැති බව. එය විශාල පරාජයක් මෙන්ම බියකරු සමාජ විකෘතියක් බව. ඒ වුනත් ජනසතු දේපල ක්‍රමයක් බිහිව තිබෙන නිසා දේශපාලන වරද නිවැරදි වේවි කියල කිව්ව. ඒ වුනත් සම සමාජය ඊට වැඩි බරක් මේ ජනසතුවට දුන්නා. එය අවශ්‍යයෙන්ම සමාජවාදය බිහිකරන වැඩක් ලෙස සැළකුවා. නිදහස ප්‍රජාතන්ත්‍රවාදය හා සමානාත්මතාවයට දිය යුතු තැන නොදී ජනසතුවට විශාල තැනක් දීල රාජ්‍ය ධනවාදය පූජිත තැනකට ගෙනැවිත් පොල්පොට් සමාජවාදයකට පාර කැපුව. කැස්ට්‍රෝ මාක්ස්ටත් වඩා උඩින් තියන විලම්බීත සමාජවාදයක් උඩ වැඩ කළා. බණ්ඩා-චෙල්වා සමග 1956 දී බලයට ඒමත් සමග ජාතික ප්‍රශ්ණයට විසදුම් දීමට දැරූ වෑයමට පස්ස හරවපු සම සමාජ නායකයන්ව, හරි තැනකට තල්ලු වුනේ 1986 ජේආර් ඔවුන්ව කැදවපු විටයි. එයට ඉඩ පෑදුවේ දැනුවත්වම නූනත් විජය නිර්ධන පීඩිත නායකයෙක් ලෙසට වැදගත් වැඩ ටිකක් කළ නිසයි. මට තාම මතකයි, ඔහු මරා දමන්නට සතියකට පෙර මා කැදවා කියනව ”දෙමළ ජනතාවගේ ස්වයං තීරණ අයිතිය ගැන ඔයා දිගට කථා කරන්න. ඒ අතරේ දැනට මේ ස්වපාලන ගිවිසුම අත්සන් කරල සමාජවාදී පෙරමුණ එකට හදමු….” කියල.
ඒ විදියට සිවිල් යුද්ධ තත්වයක් උඩයි ප්‍රජාතන්ත්‍රවාදී විප්ලවයට සම සමාජකාරයින් හැටියට අපට ඇතුල්වෙන්න වුනේ. ප්‍රජාතන්ත්‍රවාදී විප්ලවය සිදු නොවූ අපේ වගේ අඩුදියුණු රටවලට ඒ ප්‍රජාතන්ත්‍රවාදී විප්ලවයෙන් තොරව සමාජවාදී විප්ලවයට ගමන් කළ නොහැකි බව නැවත ඔප්පු වුනා. ට්‍රොට්ස්කි කිව්වේ ප්‍රජාතන්ත්‍රවාදී විප්ලවයේ කාර්යභාරයන් ඉෂ්ඨ කිරීමට ධනපති ලිබරල්වාදී නායකයන් අසමත් වන නිසා සම සමාජවාදීන් නිර්ධන බලයත් සමග එක්වෙලා සටන් කරමින් බලය ලබා ගත යුතු බවයි. මේ අදහස කනපිට ගහල ලිබරල් ධනපතියන් සමග රාජ්‍ය ධනවාදී පියවර ඔස්සේ සමාජවාදයට යෑමට වම උත්සාහ කිරීමෙන් ඇති වුනේ පොල්පොට් සමාජවාදයක් තහවුරු වෙන එක විතරයි. දැන් ඒ සියල්ල සුන්බුන් වෙලා. කියුබාවත් දැන් අලුත් ගමනක් ආරම්භ කරල. බණ්ඩාරනායක වගේම චෙල්වනායකම් මැතිදුත් සමාජවාදය ගැන කථා කළා. මතුකල්හි දෙමළ රාජ්‍ය සමාජවාදී බවත් ප්‍රකාශ කළා. ඒත් ඔහු අවධාරණය කළේ තම සමාජයේ ජාතික අනන්‍යතාවය ගැනයි. ඒ උඩ 1975 අතුරු මැතිවරණයේ දී ඔහු විශාල ජයග්‍රහණයක් කළා. මම 1973 දී යාපනයට ගිහින් කළ කථාව සැබෑ වුනා. මා ඉදිරිපත් කළෙත් ජාතික ප්‍රශ්ණය උඩ සමාජ අරගලය තීන්දු වන බවත්, ඊනියා සමාජවාදී පොරොන්දු හා ජනතසතු පියවරයන් ප්‍රශ්නයට පිළිතුර නොවන බවත් ය.
අපට ඉගෙන ගැනීමට හුගත් දේවල් තිබෙනව. ආසාව තිබුන පලියට සමාජවාදය ලබා ගන්න බෑ. එයට පදනම නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය හා සමානාත්මතාවය උඩ වැටිය යුතුයි. නිර්ධනයන් බලය ගත්තත් ඔවුන්ට පටන් ගන්න වෙන්නේ මේ ප්‍රජාතන්ත්‍රවාදී රාමුව ගොඩ නැගීමෙන් බව තහවුරු කරගත යුතුයි.
2018 අප්‍රේල් 24
ලක්බිම “නිනව්ව”