ගොඩබිමත් නැතිවී මුහුදත් අහිමි වූ මන්නාරමේ මසුන් මරන්නෝ
රට වටකොට ඇති මහා සාගරය හා පොර බදිමින් මුහුදු යන හැමටම පොදු ජීවන අරගලයට අමතරව උතුරේ ධීවරයාට අද සිය ජීවිකාව ආරක්ෂා කරගැනීම සඳහා පෙරමුණු කිහිපයක සටන් වදින්නට සිදු වී තිබේ.
එක් පසෙකින් රජයේ ආරක්ෂක හමුදා ඔවුන්ගේ පාරම්පරික වෙරලේ වාඩිලා සිටින අතර ධීවර බලධාරීන්ගෙන්ද එල්ල වන බලපෑම් සුලුපටු නොවන බවට ඔවුන් චෝදනා කරති.
“අපේ සමාජ බැඳීම, සමාජ සම්ප්‍රදාය සහ යහපැවැත්ම වෙරල තීරයේ දිගටම රැඳී සිටින නාවික හමුදාවද ඇතුළු සන්නද්ධ හමුදාවල බලපෑමට හසුවී තිබේ,” යැයි උතුරේ මහ ඇමැතිවරයාද පසුගිය වර්ෂ අවසානයේ සමුලුවකදී ප්‍රකාශ කර තිබුනි.
මේ සියල්ලේ සත්‍ය අසත්‍යතාවය සොයා බැලීම සදහා මාත් මගේ සහෝදර මාධ්‍යවේදියාත් පිටත් වීමට තීරණය කළේ මන්නාරම වෙතයි.
කොළඹ කොටුවෙන් රාත්‍රියේ පිටත් වූ දුම්රිය මන්නාරම දුම්රියපොළ වෙත ළඟා වන විට මධ්‍යම රාත්‍රිය පසුවී හෝරා දෙක තුනක් ගතවී තිබුනත් අතරමං වීමක් නොවුනේ මගේ සහෝදර මාධ්‍යවේදියා කලක් තිස්සේ දැන ඇඳින සිටි මන්නාරම මිතුරකු විසින් ඔහුගේ නිවස වෙත අප කැදවාගෙන යෑම සදහා ත්‍රීරෝද රථයක් එවා තිබූ හෙයිනි.
“කුට්ටි” ලෙස හදුන්වන ත්‍රිරෝද රථ රියදුරා විනාඩි තිහක පමණ කාලයක් තිස්සේ ඔහුගේ රිය පදවමින් නවාතැන්පල වෙත අපව කැදවාගෙන ආ අතර පසුදා අපගේ රියදුරු හා මාර්ගොපදේශක ලෙස කටයුතු කිරීමට ඔහු කැමැති කරවා ගත්තේ ප්‍රදේශය පිළිබද හොඳ දැනුමක් ඔහු සතු බව අපට වැටහී ගිය හෙයිනි.
අරිප්පු
පසුදා උදෑසනම ඔහුගේ ත්‍රීරෝද රථයට ගොඩවු අප මුලින්ම ගමන් කළේ මුසලි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ අරිප්පු ධීවර ගම්මානය වෙතයි.
ධීවර ගම්මානයක සාමාන්‍යයෙන් දක්නට ලැබෙන කාර්ය බහුලත්වය හෝ උද්යෝගයක් එහිදී අපට දක්නට ලැබුනේ නැත.
කෙසේ නමුත් වැඩ නිම නොකළ කුඩා නිවෙස් සහිත ගම්මානයේ ධිවරයන් කිහිප දෙනකු සමග කතා කිරීමට අපට මහත් වෙහෙසක් දැරීමට සිදුවිය.
නාවික හමුදාවෙන් තම ජීවන වෘත්තියට බාධා එල්ල වන බව එම ගම්මානයේ දෙමළ ධීවරයන් කිහිප දෙනකුම අප සමග පැවසුවත් ඔවුහු ඒ බව අපගේ කැමරාව ඉදිරියේ සඳහන් කිරීමට හෝ අනන්‍යතාවය හෙළි කිරීමට හෝ පසු බට වූහ.
අපගේ මුලු සංචාරය පුරාම පාහේ එවැනි තත්වයකට මුහුණ දීමට සිදුවීමෙන් ඔවුන්ගේ ජීවිත වෙලාගෙන සිටින බිය හෙමින් හෙමින් අපටද ඒත්තු ගියේය.
මන්නාරම ධීවර ජනතාව පවසන පරිදි පසුගිය කාලයේදී විටින් විට ඔවුනට නාවික හමුදාවෙන් මුහුදු රස්සාවට එල්ල වු පහරට අමතරව ගොඩබිමදීත් විවිධ හිරිහැර විඳීමට සිදුව තිබේ.
අරිප්පු ධීවර ගම්මානයට 2016 වසරේ නොවැම්බර් රාත්‍රියක කඩාවැදුනු නාවික බුද්ධි අංශයේ සෙබළුන් පිරිසක් අල්ලාගත් ගම්වාසීන් සහ නාවික හමුදා කඳවුරක් අතර හටගත් උණුසුම් තත්වයකින් අනතුරුව ගමට සන්නද්ධ නාවික රැකවල් යොදා තිබීම ගම්වාසී ධීවර ජනතාව තවත් බියගැන්වීමට හේතුවී ඇත.
නාවික හමුදාව සමග ගැටුම්
ගම්වාසී ධීවර ප්‍රජාව සහ නාවික හමුදාව අතර ඇතිවු ගැටුම්කාරී තත්වය සමනය කිරීම පිණිස ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ වව්නියාව ප්‍රාදේශීය කාර්යාලයේ නියෝජිතයකු, කතෝලික සභාවේ පියතුමන් සහ උතුරු පළාත් සභා මන්ත්‍රී නීතිඥ ප්‍රීමුස් සිරයිවා ගේ සහභාගිත්වයෙන් අරිප්පු ධීවර හා ප්‍රජා නායකයන් පසුව නාවික හමුදාව සහ පොලිසිය සමග සාකච්ඡාවක්ද පවත්වා තිබේ.
කෙසේ නමුත් ධීවරයන් අප සමග පැවසුයේ එම ගැටුම්කාරී තත්වයෙන් අනතුරුව ප්‍රදේශයේ ධීවරයන් ඇතැම් අවස්ථා වලදී නාවික හමුදාවේ පලි ගැනීම්වලට ලක්වන බවයි.
“අපි හැම වෙලාවෙම ඉන්නේ බයෙන්” තරුණ ධීවරයකු අප සමග පැවසුයේ ඔහුගේ දෙනෙත් පොළව වෙත යොමු කරමිනි.
මන්නාරම ධීවර සමුපකාර සමිති මහා සංගමයේ හා උතුරු ධීවර එකමුතුවේ සභාපති එන්.එම් ආලම් අප සමග කියා සිටියේ මුත්තරප්පත්තු තුරෙයි, සිලාවතුර, සවුත් බාර්, පලෙයිපාලම් වැනි ධීවර ජනයාට අයත් තොටුපල නාවික හමුදාව විසින් අත්පත් කරගෙන සිටීම නිසා ධීවරයන් මුහුදු යාමට නොහැකිව දුෂ්කරතා වලට මුහුණ දී සිටින බවයි.
මුහුදේ මසුන් මරන ධීවරයන්ගේ කටයුතු වලට නාවික හමුදාව කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව බාධා කරන බවටද ධීවරයන් චෝදනා කරන අතර ඒ සම්බන්ධයෙන් විමසීමේදී නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයෙන් සදහන් කර සිටියේ උතුරු මුහුදේ කේරල ගංජා සහ මත් ද්‍රව්‍ය ප්‍රවාහන කටයුතු සිදු වන බවට තොරුතුරු ලැබෙන අවස්තාවන්හිදී එවැනි පරීක්ෂාවන්ට ලක් කරන බවයි.
ගොඩබිම අහිමි වීම
උතුරු ධීවර එකමුතුවේ සභාපති සදහන් කළ කරුණ තව දුරටත් සනාථ කරමින් පල්මුනේ ධීවර සමිතියේ සභාපති රාජ් කුමාර් සඳහන් කළේ තම ප්‍රදේශයේ ධීවර ප්‍රජාවට අයත් ඉඩම් නාවික හමුදාව විසින් වසර 25 ක පමණ කාලයක් තිස්සේ අත්පත් කරගෙන සිටීම නිසා එම ජනතාව මහත් අපහසුතාවයට පත්ව සිටින බවයි.
“ගෙයක් හදා ගන්නවත් ඉඩමක් නෑ,” ඔහු අප හා පැවසීය.
නාවික හමුදාව විසින් එම භූමිය අත් පත් කරගන්නා සමයේ සිට මේ දක්වා ඥාතීන්ගේ නිවෙස් වල වසර ගණනක් ඉතා දුක සේ දිවි ගෙවන ඉඩම් අහිමි වු ජනයාගේ සංඛ්‍යාව මේ වන විට වැඩි වී තිබීම නිසා ඔවුන් දැඩි අසරණ තත්වයකට පත්ව සිටින බවද ඔහු අවධාරණය කළේය.
නාවික හමුදාව විසින් වෙරළ තීරය ආසන්න භුමිය කටු කම්බි යොදා වටකොට කදවුරු ඉදි කර තිබෙන අයුරුද අපට දැක ගත හැකි විය.
එදින ධීවර බෝට්ටු විශාල ප්‍රමාණයක් මුහුදු නොගොස් තොටුපලේ නවතා තිබෙන අයුරු අපට දැක ගත හැකි විය.
බලපත්‍ර ඉල්ලන නාවික හමුදාව
මන්නාරම පනංකට්ටුකොට්ටු මුහුදේ මසුන් මැරීමේ නිරතව සිටින අරුල් පවන පරිදි ඔවුන්ගේ ධීවර කටයුතු සදහා තවත් බාධාවක් වී ඇත්තේ ධීවරයන්ගෙන් ධීවර යාත්‍රා, ආම්පන්න සහ ධීවර කටයුතු වෙනුවෙන් අවසර සහිත බලපත්‍ර පෙන්වන ලෙස නාවික හමුදාව ඉල්ලා සිටීමයි.
එම බලපත්‍ර ඉල්ලීම සැම ප්‍රදේශයකම සිදු නොවන බවත් ප්‍රදේශයේ සහකාර ධීවර අධ්‍යක්ෂවරයා තමන්ගේ රාජකාරිය නාවික හමුදාවට පවරා ඇති බවටත් ඔහු චෝදනා කරයි.
ජා කොටු පන්න ක්‍රමය යොදා ගනිමින් මන්නාරම දකුණු මුහුදේ මසුන් මැරීමට අවසර දීම සම්බන්ධයෙන් උසාවි නියෝගයක් ලබා දී ඇති බවද සඳහන් කරන ඔහු පවසන්නේ ප්‍රදේශයේ සහකාර ධීවර අධ්‍යක්ෂවරයා එම නියෝගය ක්‍රියාත්මක නොකරන අතර ඔහුට අල්ලස් ලබා දෙන පුද්ගලයන්ට පමණක් එම ක්‍රමය යොදා ගනිමින් මසුන් මැරීමට දෙන බවයි.
ධීවරයන් විසින් එල්ල කරන අල්ලස් චෝදනා පිලිබද කළ විමසීමේදී එය සම්පුර්ණයෙන් ප්‍රතික්ෂේප කළ මන්නාරම සහකාර ධීවර අධ්‍යක්ෂ බී එස් මිරැන්ඩා සදහන් කළේ ජා කොටු පන්න ක්‍රමය භාවිත කරමින් මසුන් මැරීමට හැක්කේ කලපු ප්‍රදේශයේ පමණක් හෙයින් ගැඹුරු මුහුදේ එම ක්‍රමය අනුගමනය කිරීමට අවස්ථාව නොදිය හැකි බවත් බවයි.
ධීවරයන් පවසන ආකාරයේ අධිකරණ තීන්දුවක් ලබා දී නොමැති බව ඔහු වැඩි දුරටත් කියා සිටියේය.
එමෙන්ම ධීවර ආම්පන්න සහ ධීවර යාත්‍රා වෙනුවෙන් බලපත් ලබා ගැනීම අනිවාර්ය දෙයක් වන අතර බලපත්‍ර නිකුත් කරනු ලබන්නේ ගාස්තු අය කිරීමකින් තොරව බවත් ඔහු සදහන් කළේය.
මසුන් මැරීමට මුහුදු යෑම සදහා සුදානම් වූ ධීවර පිරිසකගේ බලපත්‍ර පෙන්වන ලෙස නාවික හමුදාව ඉල්ලා සිටීම නිසා 2016 වසරේ නොවැම්බරයේද මන්නාරම පල්ලිමුනෙයි, පනන්කට්ටු, පෙරියකට්ටු ප්‍රදේශයේ නොසන්සුන්තාවයක් ඇතිවිය.
බලපත්‍ර පරීක්ෂා කිරීම නාවික හමුදාව විසින් සිදු කරන්නේ ප්‍රදේශයේ සහකාර ධීවර අධ්‍යක්ෂවරයාගේ සහයෝගයද ඇති බව එවකට නාවික හමුදා ප්‍රකාශක අක්‍රම් අලෙවි සදහන් කළේය.
ධීවරයන්ගේ කටයුතු වලට නාවික හමුදාව කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව බාධා කරන බව එමිලියාම් පිල්ලෙයි ඩැනී කැලිස්ටස් පියතුමා පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදී චෝදනා කර තිබුණි.
මත්ස්‍ය අස්වැන්න නෙලීමට සුදුසු කාල සීමාවන් වලදී නාවික හමුදාව විසින් සිදු කරන අඩන්තේට්ටම නිසා ධීවරයන්ගේ ජීවිකාව මෙන්ම ආදායම් මාර්ගයද අනතුරට ලක් වන බව ඔහු පෙන්වා දෙයි.
වසර ගණනක් තිස්සේ යුද්ධයෙන් බැටකා තමන්ට මේ වන විටත් ලැබෙන ආදායම ප්‍රමාණවත් නොවීම නිසාත් එදිනෙදා සහතික ආදායම නොලැබීමේ තත්වයක් උදා වී තිබීම නිසාත් රජයේ ආරක්ෂක අංශ වලින් සහ ධීවර බලධාරීන්ගෙන් එල්ල වන බලපෑම් නිසාත් සෑම දිනම ණය මත යැපීමට සිදුව තිබෙන බව මන්නාරම් ධීවරයන් බොහෝ දෙනෙක් අප සමග කියා සිටියහ.
දාසන් හිල්මන් ගේ මරණය
ධීවරයකු මසුන් මැරීමේ යෙදී සිටි සිටි බෝට්ටුවක නාවික යාත්‍රාවක් ගැටී එක්දරු පියකු මියයාමෙන් අනතුරුව මන්නාරමේ විඩත්තල්තීවු ගම්වාසීහු පසුගියදා යළිත් නොසන්සුන් තාවයට පත්විය.
මියගිය 39 හැවිරිදි දාසන් හිල්මන්ගේ සිරුර ඥාතීන් වෙත භාරදී තිබු අතර අතර මරණය සම්බන්ධයෙන් සැකපිට අත් අඩංගුවට ගන්නා ලද නාවික සෙබළුන් දෙදෙනකු මාර්තු 24 සිකුරාදා ඇප පිට නිදහස් කර යවා තිබේ.
බ්‍රහස්පතින්දා හවස් යාමයේ නොගැඹුරු මුහුදේ මසුන් මැරීමට පිටව ගිය දාසන් හිල්මන් ගේ බෝට්ටුවේ වෙරලින් මීටර 200ක් පමණ ඔබ්බේ දී නාවික යාත්‍රාව ගැටෙන්නට ඇති බවට ගම්වාසී ධීවරයන් සැක කරති.
කෝපයට පත් ගම්වාසීන් බ්‍රහස්පතින්දා රාත්‍රියේම විඩත්තල්තීවු නාවික හමුදා කඳවුර ඉදිරිපිට උද්ඝෝෂණයක යෙදීමෙන් අනතුරුව තමන් අතින් අනතුර සිදුවූ බව නාවික හමුදාව විසින් පිළිගෙන තිබේ.
වරදකරුවන්ට දඬුවම් දෙන බවට කඳවුර භාර නිලධාරියකු දුන් පොරොන්දුව ගම්වාසීන් විශ්වාස නොකිරීම නිසා නාවිකයන් දෙදෙනා පොලිසියට භාර දීමට කඳවුරු ප්‍රධානියාට සිදුවී තිබුනි.
උතුරේ ධීවරයන්ගේ ජීවිකාව සුරක්ෂිත කිරීමට නම් නාවික හමුදාව වැල්ලෙන් ඈත් විය යුතු බවට උතුරේ මහ ඇමැති වරයා පවසා තිබුනේ ශ්‍රී ලංකාවට ණය ආධාර දෙන ප්‍රමුඛතම ජාත්‍යන්තර බැංකුවක් විසින් 2016 වසරේ සැප්තැම්බර් මාසයේදී පවත්වන ලද සමුළුවක ප්‍රධාන දේශනය පවත්වමිනි.
යුද හමුදාවත් නාවික හමුදාවත් විසින් උතුරේ ධීවර ජනතාව මත දරිද්‍රතාව පටවා ඇති බව මහ ඇමැති සීවී විග්නේස්වරන් විසින් ප්‍රකාශ කරන ලද්දේ ආසියානු සංවර්ධන බැංකුවේ මුල්‍ය ප්‍රදානයෙන් පසුගිය වසරේ සැප්තැම්බර් මස යාපනය මහජන පුස්තකාල ශ්‍රවනාගාරයේ පැවති ධීවර වැඩ මුලුවකදීය.
සටහන : චතුරංග රත්නමලල
සේයා සහ වීඩියෝ : රොෂාන් චතුරංග
2018
සබැදි ලිපි
1 Response
[…] […]