සිංහල පමණක් කොරෝණා
මුරුගසන් වරුසාව වගේ ලෝකය පුරා වසංගතයක් පැතිරුණා. එය යම් පිරිසක් විසින් හදල බෙදා හැරිය වසංගතයක් ලෙසට සමහරු ලොකු කයියක් කිව්වත් එය බොරුවක්. ඩොනල්ඩ් ට්‍රම්ප් එලෙසට තවත් කෙබර අත හරින්න හැදුවත් ලෝකය පිළිගන්නෙ නෑ. මෙය හදපු වසංගතයක් නොවන බවත්, පසුගිය කාලාන්තරයක් තිස්සේ ලෝකයේ සිදු වූ සංවර්ධනය තුළ සොබාදහමින් මතු වූ ප්‍රතික්‍රියාවක් ලෙසටත් උගතුන් මෙය පෙන්වනවා. ඒ නිසා වෙළඳපල ආර්ථිකයේ සාධාරණත්වය ගැන කෑ ගසපු උදවියට උත්තර නැති වෙලා. ලෝකය පුරාම සම සමාජ බලයක් තුළ නිදහස් අධ්‍යාපනය, සෞඛ්‍ය, නිදහස් ප්‍රවාහනය ආදිය තිබූ රටවල් වලට මේ වසංගතයට යන්තම් හරි මුහුණ දීමට හැකි වුනත් වෙළඳපළේ තනි බලය තිබුණ තැන් වල වසංගතය මැඩපැවැත්වීම අමාරු වුනා. ඒ විදියට බලන විට ඩොනල්ඩ් ට්‍රම්ප් කියන කතාව ඇත්ත. මේ වසංගතය, සම සමාජ ගුණය ප්‍රචලිත කරල, මෙවන් දුකක දී වෙළඳපල වෙනුවට සම සමාජය අවශ්‍ය බව පෙන්වා දී තිබෙනවා. මෙය චීනය විසින් කළ දෙයක් බව කීම ඔවුනට අනවශ්‍ය ගරුත්වයක් පැවරීමක්. ඇත්තටම නිදහස් මැතිවරණ හා සාකච්ඡාවක් ඇති වියට්නාමයේ ඉහල තලයෙන් වැඩ කළා. මේ ලෙසට ලංකාව තුළත් රජය ක්‍රියා කිරීම සම සමාජ බලයක් ලෙස පෙන්විය හැකියි. නමුත් මෙතනදි රජය හදන්නේ මේ සම සමාජ බලය නිසා සිදු වූ යහපත තමන්ගේ සාක්කුවට දමා ගනිමින් ඡන්දය පාගා දමා ෆැසිස්ට් තාලයේ බලයක් ගොඩනැගීමට කටයුතු කිරීමටයි.
ලංකාව තුළ සම සමාජ බලයක් ගොඩනැගුනේ ජාතිවාදයට විරුද්ධව එක්සත් ජාතියක් සෑදීමට එක්සත් ජාතික පක්ෂය සමඟ වැඩ කළ නිසයි. මෙහි ඇරඹුම සිදුවුනේ විජය කුමාරණතුංග එක්සත් සමාජවාදී පෙරමුණේ නායකයා ලෙසට, එක්සත් ජාතික පක්ෂයේ නායක ජේ ආර් ජයවර්ධන සමඟ ඇති කරගත් බලවේගය නිසයි. එමඟින් “සිංහල පමණක්” කියන මහා පාවාදීමේ වැඩ පිළිවෙළ අවසන් වීම තුළයි. ඒ උඩ, රට පුරා සම සමාජ කාරයින්ට, දෙමළ මුස්ලිම් ජනතාවගේ ප්රජාතන්ත්රවාදී අයිතීන් උඩ, වැඩ කිරීමේ බලය ඇති වුනා. එදා කොල්වින්ට සිද්ධ වුනා ශ්‍රීලනිප සමඟ ගොඩනගා ගත් ජාතිවාදී පෙරමුණ ඉවත දමා එක්සත් ජාතියක් ගොඩ නැගීමටත්, ඇත්ත ප්රජාතන්ත්රවාදී විප්ලවයට උර දෙන්නටත්. කලින් බණ්ඩාරනායක මැතිනිය එක්ක ඔවුන් දැඟලුවේ මේ සිංහල බලය උඩ ජනසතු මඟින් සමාජවාදයට යන්නයි. මහ බණ්ඩාරණායක ගේ කාලේ සිංහල පමණය යන්නට තදින් පහරදුන්, ඒ ජාතිවාදය සමග ඒකතුවෙලා සමාජවාදය සඳහා යොමුවුනා. මේ විහිළුව නිසා දෙමළ තරුණ ත්‍රස්තවාදී සටනට විශාල ඉඩකඩක් සපයා දුන්නා. ප්රජාතන්ත්රවාදය වල දමා සිංහල පමණයි යන සටන් පාඨය උඩ සමාජවාදය ගොඩ නගන්න උදව් කළේ ජනතා විමුක්ති පෙරමුණ පමණයි කියල කතා කළ නායකයො අන්තිමේදී ඔවුන් අතහැර එක්සත් ජාතික පක්ෂය සමඟ එකතු වෙලා පළාත් සභා පනත ගෙන ඒමටත්, භාෂා තුනම රාජ්‍ය භාෂා කිරීමටත් එකඟ වුනා.
මෙන්න මේ එකඟතාවය තුළයි එක්සත් ජාතික පක්ෂයේ ප්රජාතන්ත්රවාදී පියවර සමඟ එක් වෙලා සටන් කරන්නට සම සමාජයට ඉඩකඩ ලැබුනේ. මෙතැනදී ජනතා විමුක්ති පෙරමුණේ ප්රතිගාමීත්වය එලි වුනා. යැංකි ප්රතිගාමීත්වය කථා කරමින්ම අනෙක් පැත්තෙන් වතුකරයේ කම්කරුවන්ට පුරවැසිකම දීම, පළාත් සභා මඟින් බලය බෙදීම, භාෂා තුනටම රාජ්‍ය භාෂා තත්වය ලබා දීම, 13 වන ව්‍යවස්ථාව ඉදිරිපත් කිරීම ආදියට ඔවුන් තරයේම විරුද්ධ වුනා. ඒ තනිකරම සිංහල ජාතිවාදයට යට වීම තුළින්. ඉන්දියාව මැදිහත් වුනේ දෙමළ ජනතාවගේ විශ්වාසය ජේ.ආර්. රජයට ලබා දීමට හා අවි ආයුධ භාර ගැනීමට. JVP උදවිය කීවේ මෙය රාමාගේ ආක්රමණයේ අනුරුවක් කියලයි. ඒ උඩ වඳුරු හමුදාව ඉවත් කිරීමේ රාවණාවාදී සටන් පාඨයක් ගොඩ නඟා ගත්තා. ආදරයේ මල් මාලා දැමීමෙන් දෙමළ කුමරියක් තමාට අපහාස කළා කියල කන් නාසා කපා, තලා පෙලා හිරිහැර කළ පුරුෂෝත්තමවාදී සටනක් තමන්ගේ උරුමය හැටියට ගත්තා. එහෙම දරුණුම විදිහේ ප්රතිගාමී පිලක ඉඳගෙන ප්රජාතන්ත්රවාදය වෙනුවෙන් සටන් කළ අය අමු අමුවේ මරා දැමුවා.
එයින් කිපුන ප්‍රේමදාස රජය සර්ව පාක්ෂික වටමේසයක් කැදවා, ඒ සැමගේ අනුමැතියෙන් ඔවුන්ට විරුද්ධව දරුණු මර්ධනයක් දමා 25,000 ක් පමණ මරා දැමුවා. ජවිපෙ එක මගින් 7000 ක් UNP අය මරා දැමුවා. 1000 කට වැඩි සම සමාජ කාරයින් අමු අමුවේ මරා දැමුනා කියල වමත් කියනවා. අපෙත් විසි ගණනක් මරා දැමුවා. ජාතිවාදී යුද්ධයක් දියත් කරල විප්ලවයක් ගැන අඬා වැලපීම විහිළුවක්. මේ අවස්ථාවේත් හරි පැත්ත තෝරගන්නට මේ දැන උගත් නායකයන්ට හැකි වේද කියල අපට අහන්න වෙනවා. ගොඩක් වාද කරන්න වෙලා නෑ. මේ රජය දැන් මේ වසංගතයට මුවා වෙලා ජාතිවාදය අවුස්සමින් ගෙනයන ෆැසිස්ට් තාලයේ ක්‍රියා මඟ සම්බන්ධයෙන් එතුමන්ලගෙ දැක්ම මොකක්ද කියල අපි බලාගෙන ඉදිමු. එදා විජේවීර වෙනුවට අනුර ඇවිත්. රනිල් වෙනුවට එදා හිටියෙ ප්‍රේමදාස. තව අය අලුතින් වේදිකා ගතවෙන්න, රඟපාන්න පුළුවන්. ඒත් කළ යුතු දෙය වඩාත් පැහැදිළියි. සිංහල only කියන ෆැසිස්ට් වැඩපිළිවෙළ, ‘එක්සත් ජාතික’ වැඩපිළිවෙලින් යට කරන තාක් මේ රටට සමාජවාදය තියා මොනයම් වගතුවක්වත් ඇති කරගන්න බෑ.
බාහු