අධිපති සමාජයට එරෙහි වූ ධෛර්යවන්ත මිනිසා

යුක්තිය ඉල්ලා 2016.04.29 කොටුව දුම්රියපල ඉදිරිපිට විරෝධතාවය

මනුෂ්‍යත්වය යනු සමාජයීය ප්‍රකාශනයකි. පුද්ගලයා යනු සමාජයේ නිර්මාණයකි. එසේ බිහිවන පුද්ගලයාගේ ‘මනුෂ්‍යත්වය’ සමාජ ගමන හැඩ ගස්වයි. ඒ අනුව තව තවත් මනුෂ්‍ය සත්වයින්ගේ වර්තමානය – අනාගතය ගොඩ නැගීමට අවශ්‍ය අමුද්‍රව්‍ය සපයයි.

පුද්ගලයා හා සමාජය එකිනෙක ගැටෙමින්, එකිනෙක පෝෂණය කරමින් ඉදිරියට ඇදෙයි. නැතිනම් වලපල්ලට ඇද වැටෙයි.

සමාජය විසින් පුද්ගලයාගේ දැක්ම හැඩ ගස්වයි. ධෛර්යය අඩු වැඩි කරයි. එම පුද්ගලයාගේ දැක්ම හා ඒ අනුව වැඩ කිරීමට ඇති ධෛර්යය, නැවත මනුෂ්‍ය සමාජය හැඩ ගස්වයි.

ඒ අනුව පසුගිය දශක දෙක තුනක පමණ ලාංකීය සමාජය දෙස, ලෝකයෙන් වෙන් කර බැලූ කල, යුද්ධය අවසන් වෙනකන් බලා සිටි යුගයක්ද, බලය බෙදා එකතු වන්න කල්පනා කළ යුගයක්ද, මිනී උඩින් කිරිබත් කෑ යුගයක්ද පසු කර ඇති බව පෙනේ. මේ ගමන විවිධ පුද්ගලයන්ගේ පරිකල්පනය විවිධ අයුරින් හැඩගැස්වූවා මෙන්ම, එම පරිකල්පනයන්ගේ සාමූහික බලවන්ත භාවය උඩ අපට මෙම යුගයන් පසු කිරීමට සිදු විය.

දෙමළ කථා කරන ජනතාවගේ මුක්තිය සදහා අරගලය හුදෙක් ඔවුන් සදහා සීමා වූවක් නොව, මුලු මහත් ලාංකීය ජන සමාජයම ගිලගත් ජාතිවාදී, ආගම්වාදී අදුරින් ගොවි, කම්කරු මුලු මහත් පීඩිත ජනතාවම මුදවාගෙන, ඔවුන් පංති සටන උදෙසා නිවැරදිව මෙහෙයවීමේ අත්‍යවශ්‍ය අංගයක් වෙයි. අනෙකාගේ අයිතිය පාගා දමන විට හුරේ දමන්නා, අතීතයේ දස දහස් ගණනින් ජීවිත පූජා කර ලබාදී ඇති, තම අයිතීන් ගිලිහී යන බව නොදකී.

කෝටි දෙකක මිනිස් සමූහයක් මැද, සිය දැක්ම මත සමාජයට ‘වැඩි බලපෑමක්’ කිරීමට ‘වැඩි ධෛර්යයක්’ ලාංකීය සමාජය විසින්ම සමහර මනුෂ්‍යයින් හට ලබා දුනි. ඒ අනුව සාධාරණ, යුක්ති සහගත සමාජයක් උදෙසා වූ අරගලයේ යෙදී සිටි එක් ධෛර්යමත් පුද්ගලයෙකු අපගෙන් උදුරාගෙන පසුගිය 28 වන දිනට වසර 15ක් ගත වී තිබේ.

සිය දැක්ම උඩ ලාංකීය සමාජය වඩා යහපත් මාවතකට හරවන්නට පෑන හැසිරවූ මේ ධෛර්යවන්ත මනුෂ්‍යයා, අදුරේ නියමුවන් විසින් එදා අපගෙන් උදුරා ගනු ලැබුවා. එනමුදු ඔහු සමාජය මත තබා ඇති සටහන කිසිදා නොමැකෙනු ඇත. වඩා යහපත් අනාගතයක, ‘තාරකී’ අදටත් වඩා බැඹලෙනු ඇත.

සිවරාම් නමැති ඔහුගේ 15 වැනි අනුස්මරණය වෙනුවෙන්, සිය පියා ගැන වෛශ්නවී සිවරාම්, වෛතකී සිවරාම් හා ඇන්ඩෘ සේරලාදන් ධර්මරත්නම් විසින්, තැබූ සටහනක්, JDS වෙබ් අඩවියන් උපුටාගෙන මෙසේ අපි ඔබ වෙත ගෙන එමු……

සේයා – JDS

අපේ තාත්තාගේ මරණයෙන් 15 වැනි අනුස්මරණය මේ වසරට යෙදෙන අතර අද දක්වාත් ඔහුගේ මරණයට කිසිවකු වැරදිකරු ලෙස දඬුවම් ලබා නැත. මේ පිළිබඳව අපි විස්මයට පත් නොවෙමු. අපගේ පවුලේ පිරිස් ඒ පිළිබඳ යුක්තියක් නොසොයති. රාජ්‍ය ප්‍රචාරණයට ප්‍රතිවිරුද්ධ ආඛ්‍යානයක් ලිවීමෙහි නිරත මාධ්‍යවේදීන් දඩයම් කිරීම ශ්‍රී ලංකා රජය තවදුරටත් සිදුකරමින් තිබේ. ශ්‍රී ලංකාවේදී අතුරුදහන්වීමට, පහරදීමට හෝ මරා දැමීමට ලක් වූ වෙනත් මාධ්‍යවේදීන් බොහෝ දෙනා සම්බන්ධයෙන් ද වගඋත්තරදායක වීමක් අඛණ්ඩවම සිදුනොවේ. අප්පාගේ සිරුර ශ්‍රී ලංකා පාර්ලිමේන්තු සංකීර්ණය නුදුරු ස්ථානයක දමා තිබීම ම, රට තුළ පවතින මාධ්‍ය නිදහස පිළිබඳ යථා තත්ත්වය පිළිබඳවත්, තමන්ගේ කතිකාව හා එකඟ නොවන අය නිහඩ කිරීම සඳහා කෙතරම් දුරක් යාමට ශ්‍රී ලංකා රජය සූදානම් ද යන්න පිළිබඳවත් බරපතල සිහිකැඳවීමකි. සිවිල් යුද්ධය අතරතුර හා එයින් පසුවත් අතුරුදහන් වූ සිය ආදරණීයයන් පිළිබඳ තවමත් පිළිතුරු සොයන අති මහත් වූ ජනයාට වෙනස්ව, අපේ තාත්තාගේ සිරුර සොයාගැනීමටත්, ඒ මගින් යම් මානසික සමාප්තියක් ලබාගැනීමටත් හැකිවීම අපට අස්වැසිල්ලකි.

ශ්‍රී ලංකාවේ ජීවත්වන දෙමළ ජනයාගේ අරගලය පිළිබඳව සාකච්ඡා නොකොට අපේ තාත්තා පිළිබඳ කතා කිරීම දුෂ්කර වූද, කළ නොහැකි වූද දෙයකැයි අපට හැඟී යයි. පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ උගෙනුම ලබමින් සිටි තරුණයකු වශයෙන්, ශ්‍රී ලංකාවේ දෙමළ ජනයාට එරෙහිව දියත් වූ වාර්ගික හිංසනයන් අපේ තාත්තා කෙරෙහි මහත් සේ බලපෑවේය. එහි ප්‍රතිඵලයක් වශයෙන්, ස්වකීය අධ්‍යාපනය අතරමග අත්හැර දමා, ශ්‍රී ලංකා රාජ්‍යයේ ව්‍යුහාත්මක පීඩනයකට පාත්‍රව සිටි දෙමළ ජනයා ගේ විමුක්තිය වෙනුවෙන් සටන් කරන්නට හෙතෙම කැපවිය. ස්වකීය ජීවිතයත්, ලේඛනයත් මෙකී අරමුණට කැපකරන්නට ඔහු ක්‍රියා කළේය.

මුල්ලිවයික්කාල්හිදී නිමා වූ දෙමළ ජනයාගේ විමුක්තිය සඳහා වූ සන්නද්ධ අරගලයේ අවසානය දකින්නට ජීවත්වී නම් ඔහු කෙතරම් කම්පාවට පත්වනු ඇතිදැයි ඔහුගේ දරුවන් වශයෙන් අපි නිරන්තරයෙන් කල්පනා කරමුු. දහස් සංඛ්‍යාත දෙමළ ජනයාට එරෙහිව ශ්‍රී ලංකා රජය විසින් සිදුකළා වූ ඝෝර සැහැසිකම් විසින් ඔහු බිඳලන්නට ඉඩ තිබිණ.

අපේ තාත්තාට ප්‍රණාමය පළකිරීමෙන් නොනැවතී, විශේෂයෙන්ම මුල්ලිවයික්කාල් යුද්ධයේදී සංහාරය කරන ලද දහස් සංඛ්‍යාත දෙමළ ජනයා ඇතුළු යුද සමයේ මරණයට පත් සියළුම දෙනා ස්මරණය කිරීම අත්‍යවශ්‍ය වෙතැයි අපට හැ‍‍ඟෙන්නේ ඒ නිසා ය. මුල්ලිවයික්කාල් සංහාරයේදී සිදුකළ යුද අපරාධ පිළිබඳව ශ්‍රී ලංකා රජය වගඋත්තරදායක කිරීම වනාහී මේ යුගයේදී අපේ තාත්තාට යුක්තිය ඉටු කිරීමකි. සන්නද්ධ ගැටුමේ අවසාන අදියරේදී හමුදාවන්ට යටත්වීමෙන් පසු තවදුරටත් අතුරුදහන්ව සිටින සිය ආදරණීයයන් අහිමි වූ දෙමළ පවුල් වෙනුවෙන් යුක්තිය සහ වගඋත්තරදායකත්වය අවශ්‍යව තිබේ. තවදුරටත් අවතැන්ව දිවි ගෙවන පවුල් සහ උතුරු – නැගෙනහිර පළාත්වල රාජ්‍ය පීඩනය යටතේ දිවි ගෙවන්නා සියල්ලන්ට යුක්තිය අවශ්‍යව තිබේ.

ඔහුගේ දරුවන් වන අපි, අප ආරක්ෂා කරමින්, අපට රැකවරණ සහිත වරප්‍රසාදිත දිවියක් සපයා දුන් ඉතාමත් ප්‍රේමණීය පියකු ලෙස අප්පා සිහිපත් කරමු. ඔහුට හඳුනාගැනීමට ලැබුණු ආර්ථික දුෂ්කරතා විඳි සිසුන් වෙනුවෙන් මූල්‍යමය වශයෙන් හේ ආධාර කළේය. කෙසේ නමුත්, සිය පවුල සහ පිළිසරණක් ඇවැසි අයට වඩා, ඔහුගේ පරම නිෂ්ඨාව වූයේ ස්වකීය ජනයාගේ ස්වෛරීභාවය සිය ලේඛන කාර්යය මගින් සුරක්ෂා කිරීම ය. බහුවිධ මරණ තර්ජනයන්ට පාත්‍ර වීමෙන් පසුත් විදෙස්ගත වීම ඔහු විසින් ප්‍රතික්‍ෂේප කරන ලද අතර, තමන්ගේ කාර්යය ඇත්තේ ශ්‍රී ලංකාවේ බවට හෙතෙම තර්ක කළේය.

අප්පා වඩාත් පෙම්කළ කාර්යයෙහි යෙදෙමින් සිටින අතරතුරදීම ඔහු මියයාම ගැන ප්‍රත්‍යාවලෝකනාත්මකව අප සතුටු වන අතර දෙමළ ජනයාගේ ස්වාධිපත්‍යය වෙනුවෙන් ඔහු කළ සටන යම් දිනක ප්‍රත්‍යක්ෂ කරගනු හැකි වෙතැයි අපි අපේක්ෂා කරමු.

JDS 2020.04.29 දින පළ කළ මුල් ලිපිය –

ධර්මරත්නම් සිවරාම්: ‘අප්පා මියගියේ ඔහු වඩාත් පෙම්කළ යුක්තිය පිළිබඳ සටනේදී ය’

You may also like...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.