දැඩි නායකයෙක් අවශ්‍යමද?
දැඩි නායකයෙක් ගැන හැමෝම කථා කරන තැනට පත් වෙලා.
දැඩි අදිටන් ඇත්තන් ගැන හැම කලකම ජනතාව බලාපොරොත්තු වෙනව. මොකද ලෝකය ඉදිරියට ගියේ දැඩි උත්සාහය ඇති යට නොවෙන නායකයන් නිසා. බුදු බව ලබන්නෙත් ඥානය, වීරිය, සර්ධාව ඇත්තන් බව ඉතිහාසය කියනව. බුදුන් සිදුහත් කුමරු හැටියට මොන තරම් බාධක වලට මුහුණ දෙමින් අදිටන් කරගත් මග ගියාද. මේ වගේම කථාවක් ජේසු චරිතය තුළත් මහමද් චරිතය තුළත් දැකගත හැකියි. ඔවුන් සැම ඉතාම දැඩි වීර චරිත බව කිව යුතුයි. ඒ වුනත් බිහිසුනු අපරාධ කරමින් මිනිස්කම නොතකා ක්‍රියා කළ අයට එම ගරුත්වය ලැබෙන්නේ නෑ. තම නෑදෑ සුමිතුරන් අතර අන්‍යෝන්‍ය ලෙස සමාන ලෙස සුහදව වැඩකළ මිනිස් සමාජය එයින් ඈත් වී ජාති, කුල, වංශ තුළට බෙදුන සමාජයක් වීමෙන් පස්සේ ස්වකීය නොවන අනෙක් ජන කොටස් වලට, සතුන්ට, ගහ කොලවලට පහත් ලෙස සළකා අපරාධ වලට ලක්කළ සැහැසි නායකයන් ගැනත් අපේ මිනිස් ඉතිහාසය ගෙන හැර පානව. අපි අහල තියෙනව එළාර ගැනත් ඒ වගේම මාඝ ගැනත් අපි දන්නවා. එළාර මහ කරුණාවෙන් ජනයා දිහා බලා යුක්තිය ඉටු කිරීම සදහා තමන්ගේම පුතුට දැඩි දඩුවම් නියම කළ කෙනෙක්. ඒ අතර අවුරුදු හතලිහකට වඩා රට කළ කෙනෙක්. අන්තිමේ දී සටන් බිමේ ජීවිතය පූජා කළ කෙනෙක්. මෙලෙස බලවත් කම මතුවන්නේ හොද ක්‍රියාවෙන් බව පෙන්නුම් කර තිබෙනවා. ගැමුණු ඒ ගැන එළාරට අද දක්වා ගරු බුහුමන් කරනා ලෙසට විධි විධාන පැනවූවා.
හිට්ලර්ගේ මහා විනාශයෙන් බියපත්වී සිටි ලෝකය නැගිට්ටවා ගැන්මට විශාල බාධක මැඩගෙන චර්චිල් ඉදිරිපත් වුනා. ඔහුට එම තත්ත්වය ලබා දෙන්නට සම්ප්‍රදායික ලෙස රජකම් නොකළේ වී මුත් එංගලන්තයේ රජුටත් මැදිහත් වෙන්න වුනා. මුළු බ්‍රිතාන්‍යයම ඒ විදියට ලොව ජනයා නැගිට්ටවා ගැන්මට ක්‍රියා කළා. ඒත් යුද්ධයෙන් පසු ඔහුගේ පක්ෂය ජනතාව පසෙකට වීසි කරන අතරවාරේම චර්චිල් බරගානකින් තමන්ගේ ඡන්ද කොට්ටාශය දිනුව. ඒ තමා ජනතා තීන්දුව. කොන්සවේටිව් දේශපාලනයට බල්ලන්ට මෙන් සැලකූ ජනතාව යුද වීරයට නොමැකෙන ජයක් අරන් දුන්න. චර්චිල් ප්‍රජාතන්ත්‍රවාදය උඩ මහා රාජ්‍යයක් ලෙසට ඉංදියාව ඇතුළු සැමම එකට තියාගන්න වෙහෙසුනා. අන්තිමේදී පොදු රාජ්‍ය මණ්ඩලය තුළින් සතුටුවීමටයි ඔහුට සිදු වුනේ. ප්‍රතිගාමී දේශපාලකයෙක් වුනත් ඔහු බලවත් චරිතයක්. එදා ධනවාදයේ දුෂ්ඨයා හිට්ලර් නම් ධනවාදයේ වීරයා චර්චිල් කියල අපට කියන්න සිද්ද වෙනව. මේ අතර පැසිස්ට්වාදයට දරුණු ලෙස විරද්ධ වුනත් තම රටේ නිදහස පාවාදිය නොහැකි බව ලෙස්ලි ගුණවර්ධන ප්‍රකාශ කළා. එයත් එක්කම කොල්වින් ද එකග වුනා. මේ අනුව ජර්මන් ඔත්තුකාරයන් ලෙසට සැකකර හිරගෙවල්වල, අන්තිම අවදානම් තත්ත්වයන් තුළ සිටීමට සම සමාජ නායකයන්ට සිද්ධ වුනා. ඔවුන්ගේ ප්‍රතිපත්ති ගැනත් වීරකම ගැනත් ජනතාව සත්කාර කළා.
මේ විදියට ලෝකය තුළ විවිධ විදියට වීරයන් මතු වෙලා තියෙනව. සමහර විට වැරදි පැත්තේ ඉදලත් වීරයන් වෙන්න පුළුවන්. කර්නල් රත්නප්‍රිය කොටි හිතවතුන් හා ක්‍රියාකාරීන් අතර ආදරණීය හිතවතෙක් වෙලා තියෙනව. ඒ සියල්ලෙන් බලවන්තයෙක් ඇති වුනා කියන්න පුළුවන්. මොකද මනුස්ස විනාශය නොව මනුස්ස විකාශය බලාපොරොත්තු වුන නිසා. ඒ අනුව බැලුවම ජෙංගිස් ඛාන් මිනිස් විකාශයේ සළකුණක් වගේම හිට්ලර් මිනිස් විනාශයේ මග සලකුණක් වුනා. එය වලක්වන්න බෑ. අලුත් කරන්නත් බෑ. මනුස්ස විනාශය උඩ බලවත් වුනත් එය මහා සාපරාධී වැරැද්දක්ම තමයි. බලවත්වීම මගින් මනුස්සකමට සමානව, සාධාරණව සැලකීම තමයි වැදගත්. මිනිස් සදාචාර මිම්මට වැරදි කළ බිහිසුණු මිනිසෙක් බලවතෙක් හැටියට නොවෙයි සැලකෙන්නේ. දරුණු අපරාධකාරයෙක් ලෙසටයි. එසේ වීම වැලැක්විය නොහැක්කක්.
වීරත්වය වෙනුවට බලය යොදා මිනිසත් කම විනාශ කළ අයෙක් ශක්තිමත් කෙනෙක් ලෙස සලකා වැද පුදා ගැන්මට යෑමෙන් හොදක් වෙන්න බෑ. හිට්ලර් උදාහරණයකට ගැනීමම මහා විනාශයක මුලක්. දැන උගත් මහතුන් පමණක් නොවේ, දහම් මග ගිය උතුම් පුද්ගලයන් හිට්ලර් කෙනෙක් මේ රටට උදා කර ගැන්මට ක්‍රියා කිරීම විශාල විපතක ලකුණක්. හිට්ලර් වැනි මෘග විනාශකාරී පුද්ගලයන් හුවා දක්වන්නේ ඇත්ත වීරයන් ලංකාවේ මෙන්ම ලෝක ඉතිහාසයේ ඇති වී ලෝ වැසීන්ගේ ප්‍රසාදය ලබා සිටි බව නොදැන නොවේ. දැන දැනමයි. එවැන්නක් නූගත්කම හෝ වැරදුනා හෝ කියා බේරා හැරිය නොහැකියි. එයට හේතුවක් තිබිය යුතුයි. ඒ නිසා ඒ හේතුව සොයා බලා එය ඉවත් කළ යුතු වෙනවා. මේ ගැන හෙමින් කල්පනා කළොත් අප සමාජයත් වීරයන් නැති ප්‍රාපාතයකට වැටිල කියල පෙනෙයි. මෙය සමහර කලාකරුවන් පසුගිය දිනවල එළි දක්වලත් තියෙනව. නිවටකම, බැරි එකා පෑගීම, ගැහැණුන්ට හිරිහැර කිරීම ආදී පහත් කම් රට පුරා ලොකු දේවල් හැටියට පැතිරුන යුගයක් පහු කරලයි අපි ඉන්නේ. මේ දුප්පත් කමෙන් අපි ගොඩ එන්න ඕනා. හරි දේ කියන හරි දේට සළකන පරාදීසයකට මේ සමාජය ඇදගෙන යා යුතුයි. බෑ කියල බෑ. එය අප කළ යුතුමයි. ඒ වෙනුවෙන් පොඩියට හරි කැප විය යුතුයි.
2018 ජූනි 26
ලක්බිම – “නිනව්ව”