1980 මහා වැඩවර්ජනයේ අත්දැකීම් – තෙවන කොටස “රත්මලානේ කම්කරුවන් කැළඹේ”

ඉදිරිපෙල - නිමල් කරුණාරත්න (ලංකා බැංකු සේවක සංගමය), බාලා තම්පෝ (වෙළද සේවක සංගමය), එල්. ඩබ්. පණ්ඩිත (ලංකා වෘත්තීය සමිති සම්මේලනය), වාසුදේව නානායක්කාර (එක්සත් කම්කරු සම්මේලනය), පී. ඩී. සවනදාස (රජයේ ලිපිකරු සේවා සංගමය), ටී. ඒ. නන්දසේන (පලාත් පාලන වෘත්තීය සමිති සම්මේලනය) 1980 මහ වැඩ වර්ජනයට පෙර සංවිධානය කරන ලද එක්සත් වෘත්තීය සමිති මැයි දිනය අතරතුර

සටහන – 1980 මහා වැඩවර්ජනයේ අත්දැකීම් පිලිබඳ මෙම ලිපි මාලවේ තුන්වන කොටසෙන් වික්‍රමබාහු කරුණාරත්න සහෝදරයා සාකච්ඡා කරන්නේ ඒ වන විට කම්කරු පංතිය තුළ ක්‍රියාත්මක වෙමින් සිටි; 1970 – 75 සභාග ආණ්ඩුවේ බිඳ වැටීමෙන් ඉවක් බවක් නැතිව උකටලී වූ දේශපාලන ධාරාවන් මේ ඓන්ද්‍රීය වැඩවර්ජන රැල්ල තුළ ක්‍රියාත්මක වූ අසාර ආකාරයත්, ඒ තුළ මතු වූ සංවිධාන දුර්වලතාවයනුත්, ඒ තත්ත්වයන් ඉක්මවා අරගලය ඉදිරියට ගෙන යෑම වෙනුවෙන් නව සම සමාජ පක්ෂය දැරූ වෑයමත් පිලිබඳවයි. එමෙන්ම වැඩවර්ජනයේ වර්ධනයට නිශේධනාත්මක ලෙස පැවැති කම්කරු පංතියේ අභ්‍යන්තර ප්‍රතිවිරෝධතාවයන් සම්බන්ධයෙන් විවරණයක් ද මේ තුන්වැනි කොටසේ ඇතුලත් වෙයි. ලිපි පෙලෙහි පළමු ලිපිය – අසූවේ අරගලයේ අත්දැකීම්

1980 ජූලි මාසය වන තෙක්ම මෙම නොසන්සුන් තත්ත්වය වඩාත් තියුණු වීම සිදු වූයේ ය. එක් අතකින් ආර්ථිකයේ බිද වැටීම බරපතල බලපෑමක් ඇති කළ අතර, ජීවන මට්ටම් කප්පාදුවට මුල්වන ආණ්ඩුවේ විවිධ සැළසුම් ගැන පැතිර ගිය ආරංචි වෛරය තව තවත් ඇවිස්සී ය. විශේෂයෙන්ම රජයේ සේවකයින් විශ්‍රාම යන අවස්ථාවේ දී විශ්‍රාම වැටුපෙන් එකවර ගෙවන මුදල කපා දැමීමට තිබුණ යෝජනාව වැඩිහිටි කම්කරුවන් ඇවිස්සීමට හේතු විය. මේ වාතාවරණය ඇතුළත දී රත්මලාන දුම්රිය වැඩපලේ කම්කරුවන් 12 දෙනෙකුගේ වැඩ තහනම් කිරීම බබාගේ ඇහැට ඇගිල්ලෙන් ඇනීමක් විය. විශාල කැලඹීමක් රත්මලාන වැඩබිම තුළ ඇතිවිය. ඇත්තවශයෙන් මෙම 12 දෙනාගේ ප්‍රශ්නය මතුවීමට පෙර දුම්රිය වැඩපලේ ෂොප් 24 හි කම්කරුවෙකුගේ වැඩ තහනම් කිරීම උඩ වරුවක වැඩවර්ජනයක් සිදුවී තිබිණි. එය සිදු වූයේ ජූලි 03 වැනිදා ය. 1976 මහ සටනේ පෙරමුණ ගත්තාවූ රත්මලාන දුම්රිය කම්කරුවන් ’80 ජූනි මාසය ඇතුලත දී සිදු වූ සිද්ධීන් තුළින් දණ්ඩෙන් පහරලත් සර්පයන් මෙන් කිපී සිටියා පමණක් නොව, ආණ්ඩුවේ ප්‍රහාරයන් ඉදිරියේ ප්‍රතිප්‍රහාරයන් සුදානම් කිරීමට ඉහළ නායකයින් පියවර නොගත්තේ ය යන අදහස ඇති වීම නිසා ප්‍රති ප්‍රහාරයන්ගේ ආරම්භය තමන් විසින් කළ යුතුය යන තැනට තල්ලු වෙමින් සිටියහ. වැඩවර්ජන සටන පිළිබඳව පහලින් බලපෑම ආවේ එලෙසටයි. එනිසාම ජූලි 07 වෙනිදා රත්මලානෙන් සටන අරඹන විටදීම එය දුම්රිය සටනකට වඩා පළල් වීමේ නිසඟ බලපැමක් මතුවී තිබුණි. ආණ්ඩුවේ සෑම අංශයකම පාහේ කම්කරුවන් මෙවරත් රත්මලානේ කම්කරුවන් පෙරමුණ ගන්නා තෙක් පුල පුලා බලා සිටින තත්ත්වයට පත්ව සිටියහ. එනිසාම වෘත්තීය සමිති එක්සත් ක්‍රියාකාරී කමිටු නායකයෝ කුමක් කළයුතු දැයි ඇගිළි ගනිමින් සිටිය ද, සටන වැඩ බිමෙන් වැඩ බිමට පහලින් ගලා යන්නට විය.

පලිගැනීම් හා මතුවී ඇති සටන්කාමීත්වය සාකච්ඡාවට ගන්නා ලෙසට වෘත්තීය සමිති එක්සත් ක්‍රියාකාරී කමිටුව වෙත දිගින් දිගටම නව සම සමාජ පක්ෂයට සම්බන්ධ වෘත්තීය සමිති නායකයින් බලපෑම් එල්ල කොට තිබුණ අතර 07 වෙනිදා රත්මලානේ දුම්රිය කම්කරුවන්ගෙන් ඇරඹුණ සටන සම්බන්ධයෙන් සාකච්ඡා කරන ලෙස විශේෂයෙන් යෝජනා විය. මේ බලපෑම් නිසාම 9 වැනිදා එය සාකච්ඡාවට ගනු ලැබූ අතර එහි දී කිසිම තීන්දුවක් ගන්නට නොහැකි වූයේ බාලා තම්පෝ තම මහා මණ්ඩලයට දන්වා තීන්දු ගත යුතු බව දැනුම් දුන් නිසා ය. එනිසා නැවත සාකච්ඡා කිරිම ජූලි 11 වෙනිදාට කල් දමන ලදී. මේ අතර සටන වැඩපලෙන් වැඩපලට ව්‍යාප්ත වීම දැඩි ලෙස ක්‍රියාත්මක වන්නට විය. 11 වැනිදා වෘත්තීය සමිති එක්සත් ක්‍රියාකාරී කමිටුව රැස්වන විට පහලින් විහිදී යන මහා වැඩ වර්ජනයක සියළු ලකුණු පහළ වී අවසන් ය. එනිසා ඇත්ත වශයෙන් ඉහළ නායකයින්ට ඉදිරිපත් වූයේ පහතින් මෙසේ විහිදී යන්නාවූ සටනට නායකත්වය දීම පිළිබද ප්‍රශ්නයයි. බාලා තම්පෝ ඒ වනවිට යෝජනා කළේ සංකේත වැඩවර්ජනයක් කළ යුතු බවය. එය ඇත්තවශයෙන්ම විහිළුවක් විය. එක් අතකින් සටන පැතිර යද්දී සම්මේලන ගණනාවකට මහා වැඩ වර්ජනයක ප්‍රශ්නය ඍජු ලෙස ඉදිරිපත් වී තිබිණි. අනෙක් අතින් සංකේත වැඩවර්ජනයකට ආණ්ඩුව මුහුණ දෙන්නේ පසුදා දොර වැසීමෙන් බව කාටත් පැහැදිලි වී තිබුණි. එවන් තත්ත්වයක් තුළ සංකේත යෝජනා කිරීම අවස්ථාවාදී ප්‍රෝඩාවක් පමණක් විය. එයට එකඟ වන්නට ලසසප නායකයන්ට හෝ කොප නායකයන්ට හැකි කමක් නොතිබිණි. එනිසා ඔවුන්ට සිදු වූයේ නව සම සමාජ පක්ෂයේ වෘත්තීය සමිති නායකයින් අනුව යමින් පැතිර යන්නාවූ සටනේ නායකත්වය ගන්නා තැනට ඉදිරිපත් වීමය.

මෙතැනදී ඉතාමත් පැහැදිලිව වටහා ගත යුතු වන්නේ වෘත්තීය සමිති එක්සත් ක්‍රියාකාරී කමිටුව 11 වැනිදා මුහුණ දුන්නේ මහා වැඩවර්ජනයක් දියත් කිරීමේ තීන්දුවකට නොව පහළින් ගොඩ නැගෙන්නාවූ මහා වැඩවර්ජනයට තමා නායකත්වය දෙනවාද නැත්ද යන ප්‍රශ්නයටයි. එසේම එය දුම්රියට සීමා වූ සටනක් නොවී ය. 12 දෙනාගේ ප්‍රශ්නය හැරුණු විට මර්ධනය රජයේ මුද්‍රණාලයට, රජයේ කර්මාන්ත ශාලාවට පමණක් නොව ලිපිකරු අංශයට පවා පැතිර තිබුණි. අනෙක් අතට වැඩි වන්නාවූ ජීවන අංකය නිසා වැටුප් වැඩි කර ගැන්ම යන මතය දැඩි ලෙස පංතියට ඇතුල් වී තිබුණ අතර, සාර්ථක පිකට් ව්‍යාපාර නිසාත්, සෝමපාලගේ මරණය නිසාත් බරපතල ලෙස පංතිය අවදි වී සිටියේ ය. මේ නිසා සටන ගොඩනැගුනේ ඉහළ නායකයින්ගේ යම්කිසි උනන්දුවක් නිසා නොව පහලින් ඇති වූ බලපෑම නිසාය. ඉහළ නායකත්වයට තිබුණේ සටනට තම සංවිධාන ශක්තිය යොමු කොට පූර්ණ කිරීම ය. එයට සියළු කම්කරු කොටස් එකතු කිරීම ය. විශේෂයෙන්ම පසුගාමී කොටස් උනන්දු කරවා සටනට ඇද ගැනීමය. සටන ඇදීමේ වගකීම අනුන්පිට පටවා තමාගේ “සංවිධානාත්මකව සටන් කිරීම ගැන ඉදිරි දර්ශනයක්” ගැන අදෝනා නගන විවිධ නායකයින් මතු කළ විවේචනයේ බංකොලොත්කම හෙලි වන්නේ ඉහත කී අදහස සැලකිල්ලට ගැනීමත් සමඟ ය.

බාලා තම්පෝ ඉවත් වූ පසු ඉතිරි සංවිධාන සටන් තීන්දුව ගැනීමට කථා කර ගත්හ. එහෙත් ඇත්තටම සටන් තීන්දුව ගැනීමට එකඟ වූයේ සංවිධාන 12 කි. වෘත්තීය සමිති එක්සත් ක්‍රියාකාරී කමිටුව ලෙස ක්‍රියාකළ එම සංවිධාන 12, ඉල්ලීම් 3 ක් පදනම්ව මහා වැඩවර්ජනයක් කැදවීමට තීන්දු කළ අතර, ඒ පිළිබද නිවේදනය 14 වෙනිදා ප්‍රකාශයට පත් කළහ. එම නිවේදනයට අනුව එදා සිට 21 වෙනිදා දක්වා ක‍ාලය ඇතුළත දී සෑම සම්මේලනයක්ම තම සංවිධාන සටනට එක්කළ යුතු බවට තීන්දු විය. මේ සංවිධාන වලට අමතරව වෘ.ස.එ.ක්‍රි.කමිටුවෙන් පිටත සංවිධාන කීහිපයක් ද සටන් තීන්දු කරා එළැඹිනි. ඒ වන විට වෘ.ස.එ.ක්‍රි.කමිටුවට වැද්ද නොගෙන එළියේ තබා තිබුනාවූ සංවිධානයක් වූ ආණ්ඩුවේ එක්සත් කම්කරු සම්මේලනය මින් එකකි. ඔවුන් ඇත්ත වශයෙන්ම ඒ වන විට සටන වර්ධනය කිරීම උදෙසා ප්‍රධාන පියවර ගණනාවක් ගෙන තිබුණි. විශේෂයෙන් ම දුම්රිය පෙරමුණ තුළ සටන වෙනුවෙන් ඍජු ලෙස පෙනී සිටි ආණ්ඩුවේ එක්සත් කම්කරු සම්මේලනය, දුම්රිය පෙරමුණේ ඉහල පස් දෙනාගේ කමිටුවේ ද ප්‍රධාන නියෝජිතයෙක් විය. අනෙක් සංවිධාන අතරින් ලංකා ගුරු සංගමය හා මහ බැංකු සේවක සංගමය වැදගත් විය.

පහළින් ගොඩ නැගෙමින් තිබූ සටන් තත්ත්වයට, වෘ.ස.එ.ක්‍රි.කමිටුවෙන් බාලා වැනි කොටස් පලා යද්දී මේ සංවිධාන ඉදිරිපත්ව නයකත්වය ගැනීමට හා සටන පළල් කිරීමට ගත් තීන්දුව විශාල එකතුවක් විය. ඉක්මණින් සටන පළල් වන්නට විය. ආණ්ඩුවේ එක්සත් කම්කරු සම්මේලනයට සම්බන්ධ වී තිබූ ශාඛාවක් වූ රජයේ බෙහෙත් ගබඩා සමිතිය 14 වැනිදා සටනට එකතු විය. එම වැඩපල තුළ අනෙකුත් සම්මේලන වලට ශාඛා නොතිබුණ අතර නව සම සමාජ පක්ෂයට හැර වෙනත් කණ්ඩායමකට එතුල දේශපාලන බලපෑමක් තිබුණේ නැත. මේ නිසා තීන්දු ගැනීම අවහිරයකින් තොරව සිදුවිය. එම තීන්දුව ‘දිනකර’, ‘ඇත්ත’ පුවත්වත් වල සිරස්තලය වූයේ වී මුත් එවැනි උනන්දුවක් මේ පුවත්පත් වලට සම්බන්ධ පක්ෂ වලින් හෝ වෘත්තීය සමිති සම්මේලන වලත් තිබුණේ නැත. ඔවුන්ට 14 වැනිදා සිටම සටනට එකතු වීමට හැකියාව තිබුණත් එය එසේ නොවූයේ ඒ නිසා ය.

සටනට එකතු වීම සිදුවූයේ ඒ ඒ සංවිධානවල දේශපාලන නායකත්වයන් අනුව ය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ලංකා සම සමාජ පක්ෂය සටන පළල් වීම ගැන සැලකුවේ තමාගේ වගකීමක් ලෙස නොවේ.

විශේෂයෙන් ම “සටන් මගට යන අය ඉදිරියට ගොස් තුවාල කර ගනිල්ලා, අප නුබලා අරගෙන ’83 දී වේදිකා නගින්නම්” යන ආකල්පය මත පිහිටා සටන සංවිධානාත්මකව පළල් කිරීම පසෙක තබා සටන ගැන ප්‍රචාරයට හා වහසිබස් දෙඩීමට ඔවුන් සීමා වූහ. තමාට සම්බන්ධ වෘත්තීය සමිති උනන්දු කරවීමට විශේෂයෙන් ම ලසසප නායකයින් පියවර නොගත්තේ නමුත් සටනේ ඉහලින්ම සිටින බව පෙන්වීමට යුහුසුළු වූහ. කොමියුනිස්ට් පක්ෂය 15 වෙනිදා වන තෙක්ම ඉතාම නිරවුල් ලෙස බැලුවේ සටන දුම්රියට සීමා කොට ආණ්ඩුවෙන් සාකච්ඡාවක් ගැනීමටය. පුළුල් සටනක් දියත් කිරීම කිසිසේත් සුදුසු නොවන බව ඔවුන්ගේ විශ්වාසය විය. ඔවුන් සටන පුළුල් කිරීමට වෘ.ස.එ.ක්‍රි.කමිටුව තුළ එකඟ වූයේ ආණ්ඩුවට සාකච්ඡාවක් සදහා බලපැමක් ලෙසම මිස එය ඇත්තටම ඉදිරියට ගෙනයාම අවශ්‍යය යන අදහස උඩ නොවේ. රජයේ බෙහෙත් ගබඩා තීන්දුව මෙම බලාපොරොත්තු හා ඉදිරි දර්ශනයන් බිද දැමීමේ ආරම්භය විය.

රජයේ කර්මාන්ත ශාලාව හා රජයේ මුද්‍රණාලය ඇතුලත නොසන්සුන්කම වෘ.ස.එ.ක්‍රි.කමිටු තීන්දුව සමඟ අතිශයින් උත්සන්න විය. එම ස්ථාන දෙකේදී ම පැරණි සම සමාජය හා කොමියුනිස්ට් පක්ෂයට සම්බන්ධ වෘත්තීය සමිති නායකත්වයන් තීන්දුවක් දීමට නොහැකිව තමන්ගේ පක්ෂ කාර්යාලවලට යමින් එමින් සිටිය දී, කම්කරුවන් එම ආයතන ඇතුළත සිටිමින් මුත් වැඩ නවතා නායකයන් වටලා බලපෑම් කරන්නට විය. මේ බලපෑම් යටතේ ඔවුන්ට තීන්දු වලට එළඹෙන්නට සිදු විය. 15 වෙනිදා රජයේ කර්මාන්තශාලාව එලියට ආවේ ය. මෙයින් කොමියුනිස්ට් පක්ෂය වඩාත්ම අසීරු තැනකට පත් වන්නට විය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ලසසප නායකත්වය සිටියේ ප්‍රයෝගකාරී ලෙස සටන ඉදිරියට ගෙන යා යුතු බව අගවමිනි. විශේෂයෙන් ම ‘දිනකර’ හා ‘ජනදින’ පුවත්පත් එම ඇඟවීම බරපතල ලෙස පෙන්වීමට යුහුසුළු විය. කොමියුනිස්ට් පක්ෂය සංවිධාන මට්ටමෙන් වැඩබිම් වල වඩා ක්‍රියාකාරී වූයේමුත් ඔවුන්ට ඕනෑ වූයේ සටන යම් තැනකින් නවත්වා ගැන්මය. විශේෂයෙන් ම 15 වෙනිදා වන විට එය දුම්රිය අංශයේ සාකච්ඡාවක් මඟින් අවසන් කර ගැනීමටය. එහෙත් රජයේ කර්මාන්තශාලවේ සටන් තීන්දුව එම බලාපොරොත්තුවට අන්තිම ඇණය ගසමින් සටන වැඩවර්ජනයක් ලෙස පළල් කිරීම අත්‍යාවශ්‍ය බව ඉදිරිපත් කළේ ය. මෙය කොමියුනිස්ට් පක්ෂය තුළ ඇති කළේ බරපතල අවුලකි. මන්ද, සටන යන තාලයකට ඉදිරියට ගෙන ගොස්  තලා දමා එය මැතිවරණ සිහිනයක් කර ගැනීමට ඔවුන්ට වුවමනාවක් තිබුණේ නැත.

අනෙක් අතට බරපතල මහා වැඩවර්ජනයකින් පවතින ආණ්ඩුව එලවා දැමීමේ දේශපාලන අරගලයට ඔවුන් සූදානම් වූයේ ද නැත. එම ඉදිරි දර්ශනය සාකච්ඡා කිරීමට හෝ ඔවුන් සූදානම් වූයේ නැත. කොමියුනිස්ට් පක්ෂයේ මේ අවුල් සහත මා‍ධ්‍යමික ස්වරූපය සටන තුළ බලපෑ ප්‍රධාන සාධකය විය. ඇත්ත වශයෙන් ශ්‍රීලනිප නායකයින්ගේ අවස්ථාවාදී ක්‍රියාකාරීත්වය නොතකා ඉදිරියට යන්නට හැකියාව තිබුණි. 15 වැනිදා වන විට නව සම සමාජ පක්ෂය විසින් නිකුත් කළ පත්‍රිකාව මඟින් ඉතාම විවෘත ලෙස සටනේ දේශපාලන අනාගතය ගැන ඉදිරි දර්ශනය ඉදිරිපත් කර තිබුණ අතර, එම ඉදිරි දර්ශනය උඩ ඉදිරියට යෑමට එක්වන ලෙස වමේ සියළු කොටස් වලින් ඉල්ලා තිබුණි. කොමියුනිස්ට් පක්ෂයට දේශපාලන ඉදිරි දර්ශනයක් දෙන්නට හැකියාවක් තිබුණේ නැත. කොමියුනිට් පක්ෂය, ශ්‍රීලනිප නැවත බලයට ඒමට ඇති ඉඩකඩට බියවන බව පෙන්වූ අතර, ඔවුන් සමඟ සන්ධානයකට ඉඩ තැබිය යුතු නැතැයි පුනරුච්චාරණය කරයි. එහෙත් මෙම තර්ජනය පරාජය කරමින් සටන ඉදිරියට ගෙන යාමට ඔවුන් කිසිසේත් සූදානම් වූයේ නැත. එනිසාම ඔවුන් සටන එක තැන පල් කිරීමේ හා පරාජයට ගොදුරු කිරීමේ තැනට තල්ලු වූහ.

කොමියුනිස්ට් පක්ෂයේ මෙම වැරදි අදහසේ ප්‍රතිඵල 16 වැනිදා වන විට පැහැදිලි වන්නට විය. මුද්‍රණාල කම්කරුවන් සටන් තීන්දුව ගනිද්දී, ජුන්ටා (එජාප යේ ජාතික සේවක සංගමය) සමිතිය පවා ඉහළ නායකයන්ගේ බලපෑම් නොතකා සටනට එකතු වූහ. එතැන සටනට එකතු නොවූයේ කොමියුනිස්ට් පක්ෂයට සම්බන්ධ සමිතිය පමණි. කම්කරුවන් සමිති කාර්යයාල වටලා බලපෑම් කරද්දීත් සටන් තීන්දුව ගැනීමට එම නායකත්වය ඉදිරිපත් වූයේ නැත. පහල බලවේගයන් නිසා සියළු සමිති නායකයින් කැළඹීමට පත් වෙද්දී කොමියුනිට් සමිති නායකයින් තම දේශපාලන අවුල තුළ හිරවන්නට විය. ලිපිකරු පෙරමුණ ඇතුලේ මෙය තවත් වටයක් ඉදිරියට ගියේ ය. 14 වැනිදා රැස්වූ ලිපිකරු පෙරමුණ තුළ වැඩවර්ජන තීන්දුව ගැනුණ අතර තීන්දුව ක්‍රියාත්ම කිරිම ඉක්මන් දිනයක දී විය යුතු බව රජයේ ලිපිකරු සේවා සංගමය පෙන්වා දුන්නේ ය. ඒ අනුව ඇති වූ සාකච්ඡාව ඇතුළත දී 17 වැනිදා යෝජනා වූ අතර එයට අනෙක් සියළු ලිපිකරු සමිති එකග වූ නමුත් සමස්ථ ලංකා රජයේ  ලිපිකරු සංගමය (කොමියුනිස්ට් පක්ෂයට සම්බන්ධ සංගමය) පමණක් කල් ඉල්ලන්ට විය. ඔවුන් සටන 18 වැනිදාට තීන්දු කළ මුත් ඒ මන්දැයි කිසිදු හේතුවක් ඔවුන්ට ඉදිරිපත් කරන්නට හැකි නොවී ය. තමා වඩා ‘කල්පනාකාරීව’ වැඩ කරන බව පෙන්වීමක් ලෙස ඔවුන් ඇගවීමට උත්සාහ කළ මුත් ඇත්ත වශයෙන් ඔවුන්ගේ සාමාජිකත්වය පවා එම අදහස් පිළි නොගත්හ. එනිසා 17 වැනිදා අනෙක් ලිපිකරුවන් සටනට එක් වන විට දී කාර්යාල විශාල ගණනක සම්ස්ථ ලංකා රජයේ ලිපිකරු සංගමයේ කොටස් ඒ සමග සටන් මඟට අවතීර්ණ වූහ. 

ඔස්වින් ප්‍රනාන්දු සහෝදරයා – එක්සත් කම්කරු සම්මේලනය

රාජ්‍ය අංශයේ අනෙක් වැදගත් අංශයන් වූ තැපැල් හා සෞඛ්‍ය අංශයන්හි වෘත්තීය සමිති බලය තිබුනේ කොමියුනිස්ට් පක්ෂයටය. ජැක් (ජේ.ඒ.කේ.පෙරේරා) සහෝදරයාගේ නායකත්වයෙන් යුතු වූ රාජ්‍ය සේවා වෘත්තීය සමිති සම්මේලනය පෙලුනේ කොමියුනිස්ට් පක්ෂයේ වැරදි මතවාදී රෝගයෙන් පමණක් නොවේ. එය සභාග කාලය තුළ දී විවිධ මට්ටම් වලින් පිරිහී ගොස් තිබුණි. එනිසාම වැඩබිම් ඇතුළත සංවිධාන කඩා වැටී තිබුණි. මේ නිසා මේ අංශ දෙකේම සටන සාර්ථක කර ගැනීමට තබා සටන් තීන්දු ගැනීම ප්‍රමාද වෙද්දී සටන්කාමී කම්කරුවන් එළියේ කෑ කෝ ගසමින් බලපෑම් කරන්නට විය. අන්තිමේ දී තීන්දුව ගනු ලැබුයේ එම බලපෑම් ගාල ගෝට්ටියක් බවට පත්වන තත්ත්වය ඇතුළත දී ය. එසේ තීන්දුවක් ගනු ලැබුයේ වී මුත් එය ක්‍රියාත්මක කිරීම සදහා කිසිදු ප්‍රාණවත් වැඩ පිළිවෙලක් නොවී ය. එනිසා ඒ තැන්වල සටනට එක් වූයේ සටන්කාමී පිරිස් පමණි.

සෞඛ්‍ය අංශයේ තත්ත්වය ද මීටත් වඩා පසුගාමී විය. එම අංශයේ සමිති වල පැවැත්ම තිබුනේ ද ඉතාමත් නිලධාරිවාදී පිරිහීම් වලට යටත්ව ය. ජනරජ සෞඛ්‍ය සේවා සංගමය වැනි සමිති වල නායකත්වයන් අලුතෙන් ගොඩ නැගී තිබුණත් ඔවුන්ට ද ශක්තිමත් ආධිපත්‍ය්‍යක් ඇති කර ගැනීමට ඒ වන විටත් හැකි වී තිබුණේ නැත. එමෙන්ම ක්ෂෙත්‍රයට අලුතින් ඇතුලත් වූ නව නායකත්වයක් වූ නිසා මුළු ක්ෂේත්‍රයම විහිදී යන නායකත්වයක් ලෙස ඔවුන්ට වර්ධනයක් ලබාගත හැකි වී තිබුණේ ද නැති අතර සෞඛ්‍ය පෙරමුණ තුළ සාකච්ඡාවන්ට ඔවුන් පළමුවරට සහභාගී වූයේද මේ සටනේ ආරම්භයත් සමඟය. අනෙක් සම්මේලන වලද විවිධ ශාඛා කිහිපයක සටන්කාමී නායකත්වයක් මතු වී තිබුණද එය බලපෑ හැකි මට්ටමකට මතු වී තිබුණේ නැත. මේ නිසා සෞඛ්‍ය පෙරමුණ තුළ අඩුම තරමින් සටන් තීන්දුව ගැනීමට පවා ඉඩක් නොවී ය. මේ සංවිධානාත්මක පසුගාමීත්වය ද කොමියුනිට් පක්ෂ දේශපාලනයට අතිශයින් අනුරූප වූ අතර ඒ තත්ත්වය තුළ මේ පෙරමුණ තුළින් මතු වූයේ සටන් තීන්දුවට හරස්ව ඒකාරාශී වූ බලගතු විරෝධයකි.

රාජ්‍ය අංශය පුරාම මේ සටන තුළ දී කැපී පෙනුන ලක්ෂණයක් වූයේ, සෑම තැනකදී ම පාහේ ඉහළ පඩි ලබන පුහුණු ශ්‍රේණි සටනට හවුල් නොවීම යි. දේශපාලනික වශයෙන් මේ කොටස් බොහෝ දුරට සිටියේ යූඇන්පී ය පැත්තේ ය. 1977 දී ඔවුන් ඉතා තදින් ආණ්ඩුව පැත්තේ සිටියහ. මේ වන විටත් ඔවුන් සිටියේ කම්කරු පංතියේ පොදු ඉල්ලීම් උඩ ඉදිරියට යාමේ අදහස මත නොව, තම ශ්‍රේණි සමිති මඟින් තම ඉල්ලීම් වෙනම ඉදිරිපත් කොට යම් වාසි නෙලා ගැනීමට ය. ඔවුන් මේ ලෙසට සිතීමට එක්තරා පදනමක් තිබුණි. මේ රජය ඇතිවූ වෙලේ සිට එහි නායකයන් රාජ්‍ය අංශයේ කාර්යක්ෂමතාව වැඩි කර ගන්නට කල්පනා කළේ පාලක, විධායක ඉංජිනේරු ශ්‍රේණි වලට  විශේෂ වරප්‍රසාද දීමෙනි. මෙවැනි දීමනා ඒ වන විටත් ඉහළ ශ්‍රේණි ගණනාවකටම දී තිබුණ අතර තවත් ශ්‍රේණි ගණනාවක් සාකච්ඡා කරමින් සිටියහ. ආණ්ඩුවේ සංවර්ධන වැඩ සියල්ලට ගැලපෙන ලෙසට මෙම වැටුප් වැඩි කිරීම් ඔවුන් ලැබුවද සෞඛ්‍ය වැනි අංශවල දී එම ශ්‍රේණි වලට පවා ඒ වන විටත් එවැන් සහන දී තිබුනේ නැත. දොස්තරවරුන්ගේ තත්ත්වය මෙහි හොදම ප්‍රකාශනයයි.  එම සංගමයත් ආණ්ඩුවත් අතර ගැටුම සටන් තත්ත්වය කරා ඒ වන විට එළඹී තිබුණ අතර දොස්තර සංගමය වෘ.ස.එ.ක්‍රි.කමිටුව සමග අදහස් හුවමාරුව දක්වා පැමිණ සිටිහය. එහෙත් එවැනි ශ්‍රේණි අතර තිබෙන පොදු තත්ත්වය ප්‍රකාශ කරමින් ඔවුන් වැඩ වර්ජනය ඇරඹෙනවාත් සමඟම තමන්ගේ බලපෑම් තාවකාලිකව අත්හැර දැමූහ.  

මේ ඉහළ ශ්‍රේණි තුළ තිබුණා වූ තත්ත්වය කාර්මික හා අදාල ශ්‍රේණි වලටද බලපා තිබුණි. පංතියේ නායකත්වය ශක්තිමත් ලෙස මැදිහත්වී නිවැරදි ඉදිරි දර්ශනයක් නොදීම නිසා මෙම පසුගාමීත්වය බිඳ දමා ඉදිරියට යන්නට නොහැකි විය. වෘ.ස.එ.ක්‍රි. කමිටුව තුළ කාර්මික සේවක සම්මේලනය හා බැංකු සේවක සංගමය සටන දෙස වැනෙන සුළු ආකල්පය දක්වද්දී එයට විරුද්ධව සාමාජිකත්වය වෙතට ප්‍රශ්නය බරපතල ලෙස ගෙන යාමට දැඩි උවමනාවක් සටන මෙහෙය වූ පුධාන නායකත්වයට නොතිබුණි. මේ නිසාම සැම අංශයකම පසුගාමීත්වය හිස ඔසවන්නට විය. දුම්රිය තුළ ගාඩ්වරු හා රියැදුරන් සටන පිළිබදව සාකච්ඡා කළ මුත් කිසිදු ස්ථීර තීන්දුවකට එන්නට මැලි වූහ. තැපැල් අංශයේ තැපැල් ස්ථානාධිපතිවරුන් හා සමාන ශ්‍රේණි සටනට දැක්වුයේ වැනෙන සුළු ආකල්පයකි. විශේෂයෙන්ම ඖෂධ ශිල්පී සමිතිය සාකච්ඡාවකට පවා එකඟ නොවී ය. මෙම තත්ත්වය බිද දමා ඉදිරියට යාම උදෙසා පහළ සාමාජිකත්වයට අයදුම් කරමින් මැදිහත් වන්නට සටනට එළඹුණු සමිති නායකත්වයන්ට ඉදිරි දර්ශනයක් නොතිබුණා පමණක් නොව, තමන්ගේ කල් මැරීම උදෙසා එම තත්ත්වයන් යොදා ගන්නට ද ඔවුන් යුහුසුළු වූහ. සෞඛ්‍ය අංශයේ සෙසු ශ්‍රේණි ද වැඩබිම් වල තාක්ෂණ ශ්‍රේණි ද මතු කළේ මෙම ප්‍රශ්නමය.

පෞද්ගලික අංශයේ සමිති තුළ වාමාංහික නායකත්වයේ තහවුරු වීම සමගි පෙරමුණ නිසා ද බිද වැටුනේ නැත. ඇත්තවශයෙන් හාම්පුතුන් සමඟ ඍජු ලෙස එදිනෙදා ජිවිතයේ දී හැපෙන්නාවූ කම්කරුවන් යූඇන්පී ය හාම්පුතුන්ගේ පක්ෂය ලෙස ලෙහෙසියෙන් තේරුම් ගනිති. රාජ්‍ය හා සංස්ථා අංශය ඇතුළත සමගි පෙරමුණු ආණ්ඩුව ඇති කළා වූ අවුල ඔවුන්ට වැදුනේ නැත. මේ නිසාම පණ්ඩිත, බැටී, බාලා, ඔස්වින් යන කම්කරු නායකයින් අතර පෞද්ගලික අංශයේ සමිති නායකත්වය බෙදී තිබුණ අතර, ඒ ඒ දේශපාලනයන්ගේ ස්වරූපයන් සැබැවින්ම එලිවූයේ මේ අංශය තුළ සටන පැතුරුන ආකාරය ඇතුළතය. පළමුවෙන්ම බාලා පැන ගියේ තමාගේ වෘත්තීය සමිතිවාදී වුවමනාවන්ට මේ සටන එක එල්ලේම පටහැනි බව තේරුම් ගනිමින් ය. කතාවෙන් විප්ලවවාදී මාක්ස්වාදියෙක් වූ බාලා මේ වැඩවර්ජනය ගමන් ගන්නේ දේශපාලන සටනක් දෙසට බව තේරුම් ගත්තේ ය. එනිසාම එය ඔහුගේ පැවැත්මට කිසිසේත් ගැලපෙන්නේ නැත. තමා දේශපාලන වශයෙන් නිරුවත් වෙද්දී වෘ.ස.එ.ක්‍රි.කමිටුවෙන් ඔහුට ඉවත් වන්නට වූයේ මේ නිසාය.

බැටී, පණ්ඩිත යන අයට ඇත්ත වශයෙන් බාලාගේ පැන යාම විශාල සහනයක් විය. තමන්ගේ වැඩකොටසේ සියළු අඩුපාඩුකම් දැන් ඒ මඟින් වසා ගත හැකිය. එනිසාම බාලා තම්පෝට සරදම් ලෙස පහර ගසනවා ඇරෙන්නට ඔහුගේ සාමාජිකත්වය අතරට යාමට වුවමනාවක් ඔවුන් පෙන්වූයේ නැත. සියළු වගකීම් අරගනිමින් එම සේවකයින්ට දොට්ට බසින ලෙසට ඒකාබද්ධ උද්ඝෝෂණයක් පැවැත්වීමට එක්සත් කම්කරු සම්මේලනය ගෙන ගියාවූ බලපෑම් සාර්ථක නොවී ය. එසේම පෞද්ගලික අංශයේ ඒ ඒ පෙදෙස් වල සටන සාර්ථක කර ගැනීම උදෙසා ඒකාබද්ධ කොමිටි ගොඩනැගීමට එක්සත් කම්කරු සම්මේලනය උත්සාහ දැරීය. විශේෂයෙන් ම ඒකල, උතුරු කොළඹ, රත්මලාන යන පෙදෙස් වල මෙවැනි ඒකාබද්ධ සංවිධාන අත්‍යාවශ්‍ය වී තිබුණි. එම ඒකාබද්ධතාවයේ ශක්තිය නොමැතිව බාලා තම්පෝගේ මඟ ඇරීමට පිටුපා සටන දියත් කිරීම අසීරු විය. එහෙත් අනෙක් සම්මේලන වලින් ඒ වෙනුවෙන් ලැබුනේ උදාසීන ප්‍රතිචාරයක් පමණි. මේ නිසාම සටන දිගින් දිගටමව පවත්වාගෙන යාම අසීරු කරුණක් විය. සටනට අවතීර්ණ වූ ශාඛා පවා සටන තුළ තබාගත හැකි වූයේ හාම්පුතුන්ගේ ලොකවුට් සැලැස්ම නිසා ය. එසේ නොමැතිනම් 21 වැනිදා ඇරඹුන පුද්ගලික අංශයේ සටන 25 වෙනිදා වන විට මුළුමණින්ම අවසන් වන්නට ඉඩ තිබුණි.

සටනට අවතීර්ණවීම හා ආපසු යෑම ගැන වඩා එඩිතරව කථා කළ යුතු වන්නේ අවස්ථාවාදී නායකයන් තම ගැලවුම උදෙසා අප වෙත බොරු බේගල් වලින් මඩ පහර එල්ල කරන නිසාය. විශේෂයෙන්ම ඔවුන් ටුබැකෝ හා ලීවර් බ්‍රදර්ස් කම්කරුවන්ගේ සටන ගැන පච කෙලිති. ඇත්ත නම් කොළඹ ටුබැකෝ හා ලීවර්ස් සමිති දෙකම එම සමිති නායකත්වයේ මැදහත්වීමෙන් සටනට බැස්සා වූ නමුත් ඒවා පවත්වාගෙන යන්නට නොහැකි වූයේ අනෙක් සම්මේලනයන්හි ශාඛා සටනට අවතීර්ණ නොවීම නිසා ඇති වූ බලපෑමෙන් ය.

කොළඹ ටුබැකෝ සමාගමේ වෘත්තීය සමිතිය එක්සත් කම්කරු සම්මේලනයට අයත් වුවත් නුවර ශාඛාව අයත් වූයේ ලංකා කම්කරු සම්මේලනයට ය. එනම් බැටීට ය. එම ශාඛාව 18 වෙනි සිකුරාදා සටනට විත් 21 වැනි සදුදා ආපසු ගියේ ය. එම බලපැම කොළඹ ශාඛාව තුළ මතු විය. කොළඹ ශාඛාව ඇත්ත වශයෙන් 1976 වසරේ දී වැඩ වර්ජනයකින් පරාජය වී දරුණු තුවාල ලබා යන්තම් හිස එසවූවා පමණි. එවන් අබලන් තත්ත්වය තුළදී වුවද එම ශාඛාව සටනට ගැනීම එක්සත් කම්කරු සම්මේලනයේ නායකත්වයේ බලගතු කමේ ප්‍රකාශනයක් විය. එහෙත් නුවර ශාඛාව සදුදාම ඇතුළට ගිය තත්ත්වය තුළ හා උතුරු කොළඹ ඒකාබද්ධ බලපෑමක් නොකෙරුන තත්ත්වය තුළ එම ටුබැකෝ ශාඛාව රදවා ගන්නට ගත් සියළු උත්සාහයන් නිෂ්ඵල විය. ඔවුන් 23 වැනිදා ආපසු වැඩට ගියහ. උතුරු කොළඹ පණ්ඩිත හා බැටීගේ ශාඛා ගණනාවක් එළියට ආවේම නැති අතර 18 වැනිදා සටනට බැස්ස ශාඛා ද 21 වෙනිදා ආපසු ගියෝ ය. රැදී ඉතිරි වූයේ ඇත්ත වශයෙන් හාම්පුතුන් විසින් ගේට්ටු වසා දමා තිබූ තැන්වල පමණි. බාලාගේ සමිති සටනට අවතීර්ණ නොවීම තුළ අධෛර්ය වී සිටි අනෙක් කම්කරුවන් මේ ආපසු යාම් තුළ තවත් අඩපන වීම වැලැක්විය නොහැකි විය. ලීවර් කම්කරුවන් ලොකවුට් වූයේ නැත. එහෙත් ඔවුන් සටන තුළ රදවා ගැනීම එක්සත් කම්කරු සම්මේලන නායකත්වයට පළමු සතිය තුළ දී හැකි විය. ඉහළ පඩි ලබන කම්කරුවන් පිරිසක් වූ ද, එසේම යූඇන්පී ප්‍රබල බලයක් ඇත්තාවූ ද තැනක එසේ ඔවුන් සටන තුළ රදවාගෙන තිබීම එක්සත් කම්කරු සම්මේලනයේ ශක්තිය ප්‍රකාශ වීමක් වූයේ ය. ඇත්ත වශයෙන් එම ශාඛාවේ දෙහිවල-ගල්කිස්ස යූඇන්පී නාගරික මන්ත්‍රීවරයෙකු ද සිටි අතර, ඔහුද සටනට එක්කර තබා ගැනීමට සමිති නායකත්වයට හැකි විය.

පහත එන ලේඛණයේ (සටහන 1 බලන්න) යම් යම් අඩුපාඩු තිබේ නම් ඒවා නිවැරදි කර ගැනීමට අප නිතරම සූදානම් ය. එහෙත් මොන උප්පර වැට්ටිය යෙදුවත් වසා තබන්නට බැරි කරුණු කිහිපයක් එයින් එළි වී ඇත. එනම් පෞද්ගලික අංශයේ තමාට තිබූ ශාඛා සියල්ලම දෙවන සතිය වන විට සටනට එකතු කළ එකම සම්මේලනය එක්සත් කම්කරු සම්මේලනය බවයි ඒ. පණ්ඩිතවත්, බැටීවත් තම ශාඛා සියල්ලම සටනට බැස්සුවේ නැත. වෙනත් ලෙසකින් කියනවා නම් එම ශාඛා එළියට ගැනීමට නායකත්වය දීමට ඔවුන්ට හැකි වූයේ නැත. මේ නිසා කරුණු කිහිපයක් තහවුරු වෙයි. පළමුවෙන්ම බාලා තම්පෝගේ පලායාම නොතකා කම්කරුවන් එළියට ගැනීමට අනෙක් සම්මේලන වලට ඉඩ තිබුණ බවයි. ඇත්ත වශයෙන් සටන් තීන්දුවට පැමිණි පෞද්ගලික අංශයේ මේ සම්මේලන තුන එකාමෙන් සිටියා නම් බාලා තම්පෝ නොතකා එම අංශය ඉදිරියට යන්නට ඉඩ තිබුණ බවත්, එවැනි පියවර ගනු ලැබුවා නම් එය එම අංශයට පමණක් නොව මුළු පංතිය තුළම දැවැන්ත බලපැමක් ඇති කරනු ලබන බවත් ඉන් පෙනී යයි.  දෙවන කරුණ නම් සමහර වැඩබිම් හා කම්කරුවන් ගේ සිතුම් පැතුම් සටන් තත්ත්වයට මෝරා තිබුනේ නැත යන තර්කයේ ඇති බොරුවයි. එය එසේ නම් එක්සත් කම්කරු සම්මේලන ශාඛා පමණක් වෙනස් වූයේ කෙසේ ද? එම සම්මේලනය තුළ ලීවර්ස් මෙන් දැවැන්ත ඉතිහාසයක් ඇති ශාඛා මෙන්ම සීපා පාවහන් මෙන් නොමේරූ ශාඛා ද විය. එහෙත් ඒ සියල්ල සටන් බිමට ගනු ලැබුවේ නායකත්වය ශක්තිමත් ලෙස මැදහත් වූ නිසාය. මේ තත්ත්වය අනෙක් සමිති තුළ නොවුනේ ඇයි? විශේෂයෙන් ම බැටීගේ සම්මේලනය එතරම් පහත් දුබල තත්ත්වයට වැටුණේ ඇයි? නායකත්වයේ දේශපාලනය නිසා නොවේ ද?

ශාඛා සටනට ගත්තත්, සටන පවත්වාගෙන යාම පිළිබද ප්‍රශ්නයට සමිති වල ස්වාභාවය අතිශයින්ම බලපාන්නේ ය. විශේෂයෙන්ම සටන් තීන්දුව ගත්තාය කියන්නාවූ සමිති පවා සටනට සහභාගී නොවන්නා වූ තත්ත්වය තුළ එක්සත් කම්කරු සම්මේලනයට තම ශාඛා සටන තුළ දිගින් දිගටම රදවා ගැනීම අසීරු විය. නව සම සමාජ පක්ෂය ඉදිරිපත් කළා වූ ඉදිරි දර්ශනය පංතිය ඇතුළත සටන්කාමීන් අතරේ සටනේ වර්ධනය තුළ තහවුරු වුවත් මෙලෙසට සටනට නොඑන්නාවූ තත්ත්වය නායකයින්ගේ දුබලකමින් ඇති වෙද්දී එය මුළුමනින්ම පරාජය කරන්නට නොහැකි විය. එනිසා සටනට එළඹුනාවූ ශාඛා අතර ආපසු ඇතුළට යාමට ඉඩකඩ තිබුණි. ඇත්තවශයෙන් බොහෝ තැන්වල යලි ඇතුළට නොගොස් එළියට වී සිටියේ ඇතුළට යාමට ඉඩ නොතිබුණ නිසාය. එනම් ලොකවුට් නිසාය.

මෙලෙසට පළමු සතිය තුළදීම සටනේ නායකත්වයේ ඉතාම දුර්වල ස්වාභාවය එළි වන්නට වූ අතර, සටන ඉදිරියට ගියේ බොහෝ නායකයන් නොතකා ය. ආණ්ඩුවේ අංශයේ සිට සටන විශේෂයෙන්ම සංස්ථා හා සමූපාකාර අංශයට විකාශනය වූයේ ඉතාම සුළු වශයෙනි. වතුකරයට ඇතුල් වූයේම නැත. වෘ.ස.එ.ක්‍රි.කමිටුවට සම්බන්ධ වතු අංශයේ කොමිටිය රැස්කරවීමේ වගකීම පැවරී තිබුණෙත් කොමියුනිස්ට් පක්ෂයට සම්බන්ධ වතු සමිති නායකත්වයටය. ඔවුන්ද ඇත්ත වශයෙන්ම මේ ආංශික කමිටුව කැදවීම පවා අත්හැර කට්ටි පනින්නට විය. සටන් තීන්දුවක් ගන්නවා තබා කම්කරුවන්ට කරුණු පහදා දීම උදෙසා රුස්වීම් මාලාවක් ගෙන යාමට පවා එක්වන්නට ඔවුන්ට නොහැකි විය. තොන්ඩමන් හා අසීස් නොඑන නිසා සටන් තීන්දුව ගැනීමට නොහැකි බව සමහරුන්ගේ මතය විය. මේ අනුව කිසිවිටෙක මේ ආණ්ඩුව ඉදිරියේ වතු කම්කරුවන්ට සටන් තීන්දුවක් ගන්නට බැරි වන්නා සේ ය. ඉහළ නායකයින් සමග එක්ව සටන් තීන්දුව ගන්නට බැරිනම් පහළ මට්ටමේ, වතු මට්ටමේ හෝ ප්‍රාදේශීය මට්ටමේ නායකයින්ට බලපෑම් කරමින් සටන් තීන්දුවට එළැඹීම කරා යන්නට ද ඔවුන් සූදානම් නැත.

සංස්ථා අංශයේ මතු වූ තත්ත්වයද මෙයට දෙවැනි නැත. විශේෂයෙන්ම ලංගමය පොදු සටනක් තුළ අති විශේෂ ස්ථානයක් ගනියි. ඒ එය දුම්රිය සමග කිට්ටුවෙන් එකම අංශයට බැදී ඇති නිසාම නොවේ. එයින් අනෙක් සියළු අංශයන්ට ඇතිවන විෂයබද්ධ බලපෑම නිසා ය. එක් අතකින් කම්කරුවන්ට වැඩට යෑමට ඇති මාවතට පහර වැදීම නිසා වැනෙන සුළු පිරිස් වැඩට යාම හීන වීමට කටයුතු යෙදේ. අනෙක් අතට ඉන් මගී ප්‍රවාහනය ඇනහිටීම සියළුම ජන කොටස් වලට ක්ෂණිකව බලපාන්නාවූ ඉතාම පැහැදිලි වැඩ නැවැත්විමකි. මේ නිසාම ලංගම සටන විශේෂ සටනක් වන්නේ ය. මෙය මෙතෙක් සිදුවූ සැම සටනක් තුළදීව පැහැදිලිවූ කරුණක් ය.

ලංගමය තුළ වමේ සමිති ව්‍යාපාරය ඉතාම දරුණු ලෙස කඩා වැටුනෙත්, සභාග වැඩපිළිවෙලේ වැඩිම නරක ප්‍රතිඵල ලැබුනෙත් ලංගමය ඇතුළතය. අනිල් මුණසිංහ ඉතාම වෙහෙස මහන්සි වී කම්කරුවන්ගෙන් වැඩ ගත් අතර විවිධාකාර නව උගුල් කම්කරුවන්ට විරුද්ධව යෙදී ය. ඊනියා සේවක සභා මෙයින් එකකි. මේ වැඩපිළිවෙලේ ප්‍රතිඵලය වූයේ අන්තයට අර්බූදයට ගොස් තිබූ ලංගමය තාවකාලිකව ධනේශ්වරයට ගැට ගසා දීම හා කම්කරුවන් වාමාංශික සමිති ගැන අන්තයටම කළකිරීම ය. ඔවුන් ඉතා නිවැරදි ලෙසට දුටුවේ කම්කරුවාට ඇත්ත බලය ලැබී නැතිවා පමණක් නොව සුභ සාධනය ද අහිමි වන බවය. එනිසාම සුභ සාධනය උදෙසා ඔවුහු බැලුවේ ශ්‍රීලනිප සමිතිය දෙසයි. එනිසා එය වර්ධනය වූ අතර ලංගමයේ බලවත්ම සමිතිය බවටද පත්විය. ඒ හා සමාන අයුරු අනෙක් අතට ආණ්ඩු පෙරලියත් සමග වාසි නෙලා ගැනීමට කල්පනා කළ කොටස් ජාතික සේවක සංගමය දෙසට යොමු වූහ. ආණ්ඩු පෙරලියත් සමග වමේ සමිති ව්‍යාපාරය බිංදුවට බැස්ස අතර වාමාංශික සටන්කාමීන් දැඩි මර්ධනයට හසුවිය.

ඉහත කී තත්ත්වය නිසා කඩා වැටුන සමිති ව්‍යාපාරය පන ගැන්වීම උදෙසා නව සම සමාජය අරගලය ඇරඹුවේ 1973 පමණ සමයේ සිටය. ඇත්ත වශයෙන් වාම සම සමාජය ලෙසට සමිති ව්‍යාපාරය තුළ මැදිහත්වීම මුලින්ම ආරම්භ කෙරුණේ ද ලංගම සමිති ව්‍යාපාරය තුළිනි. ඒත් එදා එම සටන එක්සත් මෝටර් කම්කරු සමිතිය තුළ අරඹන විටදීම අනිල්ලා, මාටිනස්ලා කළේ ඉතාම සාහසික ලෙස පහර ගැසීමයි.

පෞද්ගලික අංශයේ ක්‍රියාකාරීත්වය දළ වශයෙන් ගත් කළ පහත ලේඛණයෙන් (සටහන 01) පෙන්නුම් කෙරේ. සම සමාජ පක්ෂයෙන් පමණක් නොවේ, සමිතියෙන් පවා සටන්කාමීන් එළවා දැමීම ඔවුන් ආරම්භ කළහ. සිරිතුංග, හර්ශ්චන්ද්‍ර පීරිස්, විජයදාස පතිරණ, වොෂින්ටන් සල්ගාදු, මොහොමඩ්, ගරුසිංහ ආදීන් එම මර්ධනයට හසු වූවන් ගෙන් සමහරෙකි. ලංගමය තුළ සටන්කාමී සමිති ව්‍යාපාරයක් ගොඩ නැගීමට විරුද්ධව එම දරුණු පහර එල්ල කළා පමණක් නොව අනිල් අලුත් නීතියක් ද ගොඩ නගා තිබුණි. එනම් 5000 ක් සාමාජිකයන් නැති සමිති පිළිගන්නට බැරි බවයි.

මෙය නව සටන්කාමී සමිති ආරම්භ කිරීමට විරුද්ධව ඇති කරන ලද විශේෂ මර්ධන නීතියක් විය. අද වන විට කොමියුනිස්ට් පක්ෂ සමිතිය ද කැපී ගොස් ඇත්තේ ද මේ නීතිය නිසා ය.

යූඇන්පී යේ ජයග්‍රහණයෙන් පසුව අනෙක් ස්ථාන වල මෙන්ම ලංගම තුළද වෘත්තීය සමිති ක්‍රියාත්මක වීමට ඉඩ ලැබුනේ නැත. සමිති ව්‍යාපාරය තුළම ඇතිකර තිබූ අවුල නිසා කම්කරුවන්ගේ පොදු සංවිධාන ලෙස ක්‍රියා කිරීමේ හැකියාවක් සමිතිවලට ඉතිරි වී තිබුණේ නැත. අවස්ථාවාදී දේශපාලනයේ අතකොළු ලෙස සමිති ක්‍රියා කිරීම උඩ සමිති ව්‍යාපාරයම අවුල්වී බලයේ සිටින පක්ෂයට ගැති වී ප්‍රශ්න විසදා ගැනීමේ පටු අවම සුභ සාධනය දෙසට සාමාන්‍ය කම්කරුවෝ යොමු වී සිටියහ. ජුන්ටා සමිති (ජාතික සේවක සංගමය) වලට පදනම වැටුනේත් මේ දේශපාලන සංකල්පය ඔස්සේ ය. මෙය ලංගම ඇතුළේ තදින් බලපෑ ප්‍රශ්නයක් විය. අනෙක් අතට පාලන නිලධාරී බලයට අමතර සහායක් ලෙස ක්‍රියා කළ වෘත්තීය සමිති නායකයින්ට ලංගමය ඇතුළේ සමිති ව්‍යාපාරය දියුණු කිරීමට මැදහත්වීමට ඉඩකඩක් හෝ උවමනාවක් නොතිබිණි. මේ නිසා ලංගම සේවකයින්ගේ නියෝජිතයින් කැදවා කළ සාකච්ඡාව සාර්ථක වූයේ නැත. එයට ලංකාව පුරාම ඇවිත් තිබුණේ 400 ක් පමණ නියෝජිතයන්ය. එයින් 100 ක් පමණක් එක්සත් මෝටර් සමිතියෙනි. තව 25 ක් පමණ කොමියුනිට් පක්ෂ ගමනා ගමන සමිතියෙන් ය. ඉතිරි පිරිස මව්ලානාගේ (ශ්‍රීලනිප) සමිතියේ ය. ඒ පැමිණි නියෝජිතයන්ගෙන් ද වඩාත්ම සටන්කාමී හඬ ආවේ ශ්‍රීලනිප  නියෝජිතයන්ගෙන් ය. සභාගයෙන් ලැබුණ තවත් එක් ප්‍රතිඵලයක් එයයි. විශේෂයෙන් ලංගමය තුළ සටන්කාමී වාමාංශිකයන් දියවී යාමත්, ශ්‍රීලනිප සමිතිය වඩා බලවත් වීමත් ය.

ලංගමය තුළ සටන් තීන්දුව ගත්තත් එය ක්‍රියාත්මක කිරීමට හැකි වූයේ ඉතාම සීමිත වශයෙනි. විශේෂයෙන්ම ධාවන අංශය සටනට එක් වූයේ ඉතාම සුළු වශයෙනි. මුළු සටන තුළදීම එක් දිනක් හෝ සටනට එක් වූවන් ගැන ද සළකාබැලූ විට ලංගම සටන තුළ සිටි ප්‍රමාණය 10,000 ක් පමණ විය. අනෙක් සංස්ථා අංශයන් වල සටන මෙයටත් වඩා, මේ තත්ත්වයන් උඩම අසාර්ථක විය. එහෙයින්ම මුළු සටනම ආණ්ඩුවේ අංශයේ සටනක් ලෙසට ප්‍රධාන වශයෙන් වර්ධනය විය. සටනේ උපරීම අවස්ථාවේ දී එනම් ජූලි 21-23 සතිය තුළ දී වැඩවර්ජනයට සහභාගී වූ ප්‍රමාණයන් දළ වශයෙන් මෙසේ ය. (සටහන 2 බලන්න)

වැඩ වර්ජනය කළ අංශ පමණක් ගත්ත ද වැඩ වර්ජක ප්‍රමාණය 10% ක් පමණ වේ. එහෙත් එවැනි ගණන් බැලීමකින් ඇතිත තත්ත්වය එලි වන්නේ නැත අප බැලිය යුත්තේ සංවිධානය වූ කම්කරු පංතිය පැත්තෙන් ගත් කළ කෙතරම් ශක්තියක් ප්‍රකාශ වූවාද යන්නයි.

ලංකාවේ වැඩ කරන මුළු ජනතාව දශ ලක්ෂ 4.1 ක් වන අතර ඒ අතරින් දශ ලක්ෂ 2.0 ක් පමණ කම්කරුවන් වෙති. වතු කම්කරුවන් මෙයින් බාගයක් පමණ වන අතර දශ ලක්ෂ 0.9 ක් පමණ නාගරික කම්කරුවන්ය. මෙයින් වෘත්තීය සමිති වල සංවිධානය වී සිටින ප්‍රමාණය දශ ලක්ෂ 0.4 ක් පමණ වේ. ඒ අනුව සංවිධිත නාගරික කම්කරුවන්ගෙන් කාලක් නැත්නම් 1/5 ක් පමණ වැඩ වර්ජනයට සහභාගී විය. මහ වැඩවර්ජනයක් වශයෙන් එය සාර්ථක යැයි කිව නොහැකි වුවත් එය බරපතල සටනක් විය. සෑම අංශයකින්ම සටනට සම්බන්ධවීමට නැමියාව තිබුණ අතර සත්තකින්ම, වතුකරය හැර අන් සෑම අංශයකින්ම කම්කරුවන් වැඩවර්ජනයට ඇතුල් වී තිබිණි.

මීලඟට හතරවන ලිපිය – “ආණ්ඩුව යුද්ධයට සැරසෙයි”

ලිපි පෙළ

You may also like...

3 Responses

  1. 2020-07-30

    […] තුන්වන ලිපිය – 1980 මහා වැඩවර්ජනයේ අත්දැකීම් – තෙවන කොට… […]

  2. 2020-07-30

    […] තෙවන ලිපිය – 1980 මහා වැඩවර්ජනයේ අත්දැකීම් – තෙවන කොට… […]

  3. 2020-08-10

    […] 1980 මහා වැඩවර්ජනයේ අත්දැකීම් – තෙවන කොට… […]

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.