ලීනස් – සටන්කරුවා, නායකයා, ගුරුවරයා

Linus Jayathilake

ලීනස් සහෝදරයාගේ ජීවිතය සහ කම්කරු නායකයෙකු ලෙස ලංකාවේ වාමාංශික ව්‍යාපාරය තුළ ඔහුගේ ක්‍රියාකාරීත්වය අලලා සම්පාදනය කරන ලද “ලීනස් – නිහඬ පෙරළිකරුවකුගේ මාක්ස්වාදී පෙරැත්තය…” නම් කෘතිය වෙනුවෙන්, රණත් කුමාරසිංහ සහෝදරයා පහත ලිපිය ලියන ලදී.

ලීනස් ගැන මෙම ලිපිය අසම්පුර්ණ වන අතර, එසේ වීමට හේතු දෙකක් තිබේ. සියල්ලටම වඩා ලීනස් ගේ චරිතාපදානයක් හෝ චරිත අධ්‍යයනයක් හෝ ඔහුගේ අදහස් හෝ ක්‍රියාකාරී ක්‍රම පිළිබඳ පූර්ණ නිරූපණයක් සඳහා යමෙකු මේ දෙස නොබැලිය යුතුය. මෙම ලිපිය මඟින් ඉදිරිපත් කරනුයේ ඉතිහාසයේ මොහොතක රූප සටහන්, කොටස්, අනෙක් අයගේ අනාගත වැඩ සඳහා දැකිය හා බැලිය යුතු, ලීනස්ගේ දේශපාලනට බලපෑම් කළ බාහිර ලෝකය ගැන මා දුටු දළ සටහන් ය. අනෙක් අතට, ජනප්‍රිය චරිතාපදානයන් සහ විශේෂිත කතාංග ගත් කල, අපගේ දේශපාලන ගමනින් බැහැරව, ලීනස්ගේ ජීවිතය හා පෞර්ෂත්වයේ විශේෂාංගයන් සම්බන්ධයෙන් මගේ අත්දැකීම් තුළ පවතින සීමිත බව, මේ අසම්පූර්ණ බවට හේතු වේ.

“Materialism removed this contradiction by carrying the analysis deeper, to the origin of man’s social ideas themselves; and its conclusion that the course of ideas depends on the course of things is the only one compatible with scientific psychology.” Lenin – Vol: 1 – pg 139

අපි උපන් ලෝකය

දෙවන ලෝක යුද්ධයට පසුබිම් වූ ධනපති ක්‍රමයේ පරස්පර විරෝධයන් සමථයකට ගෙන එමින්, නව සමාජ-ආර්ථික-දේශපාලන සම්මුති මාලාවක් ඔස්සේ මුල්‍ය ප්‍රාග්ධනය විසින් තමන්ගේ ලෝක හෙජමනිය ගොඩ නගද්දී, ලොව පුරා වර්ධනය වූ කම්කරු පංතියේ පිඹිදීම එම සැලසුම්වලට පරස්පරව පිහිටන්නා සේ පෙනී ගියේ ය. නමුත් යථාර්තයේ සිදු වූයේ කම්කරු පංතියේ මේ ක්‍රියාකාරීත්වය ලෝක විප්ලවය දිසාවට නොව, ජාත්‍යන්තරකරණය වූ මූල්‍ය ප්‍රාග්ධනය සමඟ පෙලගැසෙමින් ප්‍රතිසංස්කරණ මාවතට අවතීර්ණ වීම යි.

සුවිසල් හා දිගුකාලීන ආර්ථික වෘධියකට මඟ පෑදූ එකී පංති සම්මුතියට පදනම් වූ හේතු රාශියකි.

මේ අපර යුධ ස්ථාවරත්වයට අවශ්‍ය වූ දේශපාලන එකඟත්වයට ස්ටාලින් පහසුවෙන්ම අවතීර්ණ විය. ඔහුට අවශ්‍ය වූයේ යුද්ධයෙන් නටඹුන්වී ගිය අධිරාජ්‍යවාදී බලයන් බිඳ, නිර්ධන පංති රාජ්‍ය බලය දෙසට කම්කරු පංති අරගලයන් මෙහෙයවීම නොවේ. තමන්ගේ කොටස වෙන්කර ගැනීම පමණයි. එමෙන්ම ලෝකයේ කොමියුනිස්ට් පක්ෂ ද මේ පංති සම්මුතීන් වෙනුවෙන් ඉටු කළේ අසමසම මෙහෙයකි.

කළු මුහුදේ දකුණු වෙරළ තීරයේ ක්‍රිමියානු අර්ධද්වීපයේ පිහිටි නිවාඩු නිකේතනයක් වූ යොල්ටා නගරයේ දී අපර යුධ ලෝක බලවතුන් එක් රැස් වූහ. ඒ 1945 පෙබරවාරි යේ දී ය. එතැනට එක් වූ ටෲමන් (USA), චර්චිල් (UK) හා ස්ටාලින් (USSR) විශේෂයෙන් සාකච්ඡාවට ගත්තේ ජර්මණියේ හා යුරෝපයේ පශ්චාත් යුධ ප්‍රතිසංවිධානය පිලිබඳව ය. එහි දී නැගෙනහිර යුරෝපය හා ජර්මනියේ නැගෙනහිරින් කොටසක් සෝවියට් දේශයේ බල ප්‍රදේශ ලෙස පිලිගැනුනි. බටහිර යුරෝපයත්, රාජ්‍ය යාන්ත්‍රණයන් හා නිෂ්පාදන බලවේග බිඳ වැටී තිබූ ජපානය හා නැගෙනහිර ආසියානු රටවල් ද, ධනපති රාජ්‍ය බලයට අඩංගු ලෙස පිලිගන්නා ලදී. ඒ අයුරින් අපර යුධ ලෝකය; වෙනත් වචන වලින් කියතොත්, ප්‍රකෝටි සංඛ්‍යාත ලෝ වැසි ජනතාව “සමාජවාදී ලෝකය” හා “ධනවාදී ලෝකය” ලෙස සාමකාමීව දෙකට බෙදා ගන්නා ලද්දේ ය.

මෙහි අරුත කුමක් ද? ලෝකය ‘සමාජවාදී’ රාජ්‍ය පද්ධතියක් හා ‘ධනවාදී’ රාජ්‍ය පද්ධතියක් ලෙස එකඟත්වයෙන් බෙදා හදා ගැනීම යි. මෙය සිදුවූ සාකච්ඡා මේසය ගැන චර්චිල් විසින් තමන්ගේ විශ්මය පල කර තිබේ. තමන්ලා ලෝකයේ නව බල තුලනය ගැන කතා කරන විට ස්ටාලින් එය ඉතා සරළ කාරණාවක් ලෙස සැලකූ බව කියන හෙතෙමේ, ලෝක සිතියම අතට ගත් ස්ටාලින් මොහොතකින් රතු පෑනෙන් ඇදි ඉරක් මගින් අදාල බෙදීම් සලකුණු කර ඉදිරිපත් කළ බව කියයි. ලක්ෂ සංඛ්‍යාත ජනතාවකගේ ඉරණම පිලිබද ප්‍රශ්නය මෙතරම් පහසුවෙන් විසදිය හැකි දැයි තමා එවිට ස්ටාලින්ගෙන් විමසූ බවත් ‘ආ..ඒක සුළු දෙයක්’ යි ඔහු ප්‍රශ්නය සමාප්ත කළ බවත් චර්චිල් ලියා තිබේ.

මේ එකඟත්වය හුදු ස්ටාලින්, ටෲමන් හා චර්චිල් අතර අත්සන් කිරීමක් නොවේ. ජාත්‍යන්තර පරිමානව ශ්‍රමය (කම්කරු පංතිය) හා මූල්‍ය ප්‍රාග්ධනය අතර එකඟත්වයන් සඳහා තබන ලද අත්සන් තුනකි.

ඒ මඟින් සමාජ-ආර්ථික හා දාර්ශනික තලයේ වෘධියට අදාල අවි සැකසීමට ජාත්‍යන්තර මූල්‍ය ප්‍රාග්ධනයට අවකාශ සලසන ලද්දේ ය. ඊනියා සමාජවාදී රාජ්‍ය පද්ධතියේ, සමාජ-ආර්ථික පැවැත්මද ඒ තුළම අන්තර් ගත වී ය.

මේ සමස්ථය තුළ, පාලක එකාබද්ධ මූල්‍ය ප්‍රාග්ධනයේ ක්‍රියාකාරීත්වයේ මහිමය බුද්ධිමය ලෝකය මුසපත් කළා සේ ය. ඇමරිකාව, යුරෝපය හා ජපානය මුල් කරගත් අපර යුධ උත්පාතය, හුදු ආර්ථික වෘධියක් පමණක් සංකේතවත් කළේ නැත. මේ කලාපයන්හි කම්කරු පංතියේ ජීවන මට්ටම් අති විශාල ලෙස ඉහල ගියේය. නිෂ්පාදන ක්ෂේත්‍රයන්ට සීමා නොවී කලා-සංස්කෘතික අංශයන්හි විප්ලවකාරී පර්වර්තනයන් සිදු කළා වූ මහා විද්‍යා-තාක්ෂණික වර්ධනයන් සිදු වූයේ ය. මිනිසා හඳට ගියේ ය.

මේ වර්ධනයන් එසේ තිබිය දීම බැලු බැල්මට ‘සීතල යුද්ධයක්’ පවත්නා සේ පෙනුන ද, අපර යුධ උත්පාතය යනු ‘සමාජවාදී-ධනවාදී ලෝකයන්හි’ විප්ලවකාරී විද්‍යා තාක්ෂණ වර්ධනයන්ගේ අන්තර් සබඳතාවයන්ගේ ඵලයන් වූයේ ය.

දියුණු ලෝකය එසේ ගලා යද්දී යටත් විජිත ලෝකයේ ඇති වූ සමාජ ආර්ථික හා දේශපාලන වර්ධනයන් ඒවාට අනුරූප වී ය. අපර යුධ උත්පාතය යනු, පෙර කාලයනි හි දී මෙන් යටත්විජිත ලෝකය සූරාකෑම මත නොව, දියුණු ලෝකයේ ඇතිවූ අතිමහත් සම්පත් වල විකාශනයේ ඵලයක් වීය. පැරණි යටත්විජිත හෙවත් තුන්වන ලෝකය සූරාකෑම අතරතුර කරුණක් විය. එපමණට මේ රට වලට දේශපාලන නිදහස පමණක් නොව, සාපේක්ෂ ආර්ථික නිදහසක් භුක්ති විදීමට ද අවකාශ සැලසිනි. මේ රටවල් වල යම් කාර්මික නිෂ්පාදන වර්ධනයක්, කෘෂිකර්මයේ නවීකරණයක්, ආරක්ෂණවාදී යාන්ත්‍රණයන් මගින් අභ්‍යන්තර ප්‍රාග්ධන සම්පාදනයකටත් ඉඩකඩ විවර විය. ඒ මඟින් නව ධනේශ්වර පංතීන් විකසිත වීමටත්, නාගරීකරණය ඉහල යමින් මධ්‍යම පංතින්ගේ ව්‍යාප්තියත්, අධ්‍යාපනයට ඇති අවස්ථාවන් ඉහල යෑම තුළ මධ්‍යම පංතික වෘත්තිකයන් කුලකයක ව්‍යාප්තියත් සිදු වූයේ ය. ඒ අතර කම්කරු පංතියේ ජීවන මට්ටම් හා විශේෂයෙන් සමාජීය අයිතීන් වර්ධනය වීමක් ද සිදුවිය. මෙහි දී බැර කර්මාන්ත වර්ධනය සඳහා, සෝවියට් දේශය ඇතුළු කම්කරු රාජ්‍ය පද්ධතියේ උපකාරයන් ද මේ රාජ්‍යයන්ට සැලසිනි. ඒ මගින් රාජ්‍ය ධනවාදයේ ව්‍යාප්තියත්, බැර කර්මාන්ත ප්‍රමාණයක් ඇතිවීමත් සිදු විය. ඒ ආශ්‍රිතව පුද්ගලික අංශයේ ලුහු කර්මාන්ත පද්ධතියක් ජනිත විය.

එසේ ලෝක ආර්ථික උත්පාතයේ උතුරා යන යම් යම් දේ, මේ අඩුදියුණු ලෝකයට ලැබුනා පමණක් නොවේ, එ්වාට වඩා ශක්තිමත් දායාදය වූයේ, මේ තත්ත්වය තුළ ප්‍රතිසස්කරණවාදය හා අනුභූතිවාදය මේ රටවල් තුළත් පැලපදියම් කිරීමයි. දියුණු ලෝකයේ නිල මාක්ස්වාදී ව්‍යාපාරයන් ග්‍රහණයට ගනිමින් පැතිර ගිය, ප්‍රතිසංස්කරණවාදී මිත්‍යාවන් වඩාත් වේගයෙන් තුන්වන ලෝකය කරා ගලා ආවේය. ඒ රාජ්‍ය ධනවාදී ක්‍රියාමාර්ග, සමාජවාදී ක්‍රියාමාර්ග ලෙස අර්ථ ගැන්වීමෙනි. ඒ අනුව රාජ්‍ය ධනවාදයේ ව්‍යාප්තිය මඟින් ධනපති ක්‍රමයේ සංවර්ධනයට පියවර ගන්නෝ, ප්‍රගතිශීලී කඳවුරට අයත් වූ අතර, ඒ ප්‍රගතිශීලී ධනපති පංතියේ රාජ්‍ය බලයට සහයෝගය දීම මගින් සමාජවාදය කරා පහසු මාවතක් කපා ගත හැකි බවට න්‍යායන් ගොඩ නැගිනි. බොහෝවිට මේ රටවල් වල සභාගවාදය පදනම් වූයේ මෙම මතවාදය තුළයි.

ලංකාවේ මේ පිලිවෙත 1960 ගණන් වන විට ඇරඹී දශකයක කාලයක් පුරා ගලා ගියේ ය.

නමුත් මේ මාවත පිලිබඳව ලොව පුරා සැකසංකා මෙන්ම ප්‍රතිවිරෝධතාවයන් පැවැතිනි. ඒ ප්‍රතිවිරෝධතාවයන් නිල මාක්ස්වාදී ව්‍යාපාරයන් තුළ, විවිධ මතවාදී ප්‍රවනතාවයන් හැඩ ගැසෙමින් පිපිරීම් සිදුවන්නට විය. ලංකාවේ ද තත්ත්වය එසේ ම විය.

අප ඇතුල් වූ ලෝකය

ලීනස් හා මා අතර උප්පත්ති කතාවේ දී කාල පරතරයක් පවතින බව ඇත්ත ය. නමුත් අප ඇතුල් වූ ලෝකයට, එම කාලය පිලිබඳ වෙනස බලපෑමක් නොවූ වා තරම් ය. අප ඇතුල් වුයේ ඉහත කී, මේ ප්‍රතිසංස්කරණවාදයෙන් ඔද්දල් වූ, ධනපති ප්‍රජාතන්ත්‍රීය ප්‍රතිසංස්කරණ සමාජවාදී පියවරයන් ලෙස ඉදිරිපත් කළා වූ, එනිසාම ප්‍රතිසංස්කරණවාදින් සමාජවාදීන් ලෙස පෙනී සිටින ලෝකයකට ය. ධනේශ්වර ප්‍රතිසංස්කරණ හා පුද්ගලික ප්‍රාග්ධනය හිඟ ක්ෂේත්‍රයන්ට රජය මැදහත් වීම සමාජවාදී පියවරයන් ලෙස පෙන්වන ලෝකයකට ය. ලංකාවේ සභාගවාදී දේශපාලනයට අත්තිවාරම වූයේ ද, මෙම ප්‍රතිසංස්කරණ වඩාත් ශක්තිමත්ව ඉදිරියට ගෙන යෑමට සමාජවාදීන් මැදහත් වීමෙන් ඉක්මනින්ම ‘සමාජවාදය’ කරා යා හැකිය යන න්‍යාය මතයි.

මෙම මතවාදය නිර්ධන පංති විඥානය තුළ කෙතෙක් කා වැදී ඇත්ද යත්, ධනපති ප්‍රතිසංස්කරණවාදය 1970 ගණන් මැද දී නිශේධ වෙමින්, මූල්‍යවාදය මගින් යලි වෙළඳපල නීති ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය ප්‍රතිපත්ති ක්‍රියාවේ යොදවද්දී ත්, පරණ ප්‍රගතිශීලී ලේබලයෙන්ම හදුන්වනු ලැබේ. ඒ මගින් පැරණි සභාගවාදයේ නව සංස්කරණයන් ක්‍රියාත්මක කරනු දක්නට ලැබේ. ගෝලීය බලවතුන් සමඟ එක්ව ලක්ෂයක් දෙමළුන් මරා දැමුවේ උවද, මේ ප්‍රතිසංස්කරණවාදයේ විකටරූප අදත් ‘ප්‍රගතිශීලීන්’ව සිටින්නේ පැරණි සභාගවාදයේ බල පරාක්‍රමය විදහා පාමිණි. එම සභාගවාදය තුළ ගැලී සිටින ‘හීරළු වාමාංශිකයින්’ හා ‘සමාජ ජාතිවාදීන්’ කම්කරු පංතිය මේ ප්‍රතිවිප්ලවකාරී මතවාදයේ ග්‍රහනයේ රදවා ගෙන සිටී.

මේ විකෘති පංති විඥානයට විරුද්ධව සමාජවාදයට මාවත ඇත්තේ ධනපති ක්‍රමය ප්‍රතිසංස්කරණය කිරීම ඔස්සේ නොව විප්ලවකාරී ලෙස ධනපති රාජ්‍ය බලය, නිර්ධන පංති රාජ්‍ය බලය මගින් විස්තාපනය කිරීමෙන්ය යන අදහස මත දේශපාලනයට එලැඹීමට මට බලපෑම් පැමිණියේ ය. විප්ලවකාරී ලෙස මුල් කාලීන සම සමාජ ව්‍යාපාරය මෙහෙය වූ නායකයන්ම, පසුව විප්ලවය අත්හැර ප්‍රතිසංස්කරනවාදීන් බවට පිරිහී ගියේ අපෝහකවාදය වර්ධනය කිරීම සඳහා වූ සටනින් පලා යෑම නිසා බව මට උගන්වනු ලැබී ය.

නව සම සමාජ ශාස්ත්‍රාලීයයෝ

මා ලීනස් වෙත සමීප වූයේ මේ දාර්ශනික ප්‍රශ්නය විසදා ගැනීම සඳහා ගෙන ගිය අරගලය තුළ දී ය. මෙතැනදී මඟහැරිය නොහැකි නමක් තිබේ. ඒ නලින් පෙරේරා යි. 1977 දෙසැම්බරයේ දී වමේ කණ්ඩායම ලෙස කැඳවනු ලැබූ ලංකා සම සමාජ පක්ෂයේ සම්මේලනයේ දී මමත්, ලීනස් හා නලීනුත් මධ්‍යම කාරක සභාවට ඡන්දයෙන් තේරී පත් වූ අතර, මධ්‍යම කාරක සභාව මගින් පක්ෂ මණ්ඩල පත් කිරීමේ දී අධ්‍යාපන මණ්ඩලයට නම් කරනු ලැබීමු. අධ්‍යාපන මණ්ඩලයේ ලේකම් වූයේ නලීන්. මට මතක හැටියට ලීනස් වෘත්තීය සමිති මණ්ඩලයේ ද සාමාජිකයෙක් වී ය. අනතුරුව, අප හා එක් වූ පුද්ගලික හා සංස්ථා අංශයන්හි වෘත්තීය සමිති එක් කර, එක්සත් කම්කරු සම්මේලනය ගොඩ නැගීමේ දී ලීනස් එහි භාණ්ඩාගාරික වූයේ ය.

එයට පෙර දී වාම සම සමාජ කණ්ඩායම ලෙස යම් යම් ක්‍රියාවන් හිදී අපි මුන ගැසුනා විය හැකි ය. එසේ මුත් අපට සමීප ලෙසින් පක්ෂයේ කටයුතු වල නිරතවීමටත්, විප්ලවවාදී ව්‍යාපාරයක් ගොඩනැගීමේ දී පවතින දාර්ශනික ගැටළු සම්බන්ධයෙන් අප අතර පැවැති සුවිශේෂ උනන්දුවත් අපි එක්තරා සමජාතිකයන් වූවා සේ ය. එක්තරා ලෙසකින් අපි අපේ ‘මාක්ස්වාදීත්වය’ එකම ගුරුකුලයකින් ඇරඹීමද ඊට හේතු වන්නට ඇතැයි සිතේ. එ් කෙසේ වෙතත් මේ ප්‍රශ්නයට පිලිතුරු සොයමින් ලෙනින් ගෙන ගිය අරගලයේ දී නිපැයූ මූලික කෘතීන් තුනක් වෙත අපි යොමු වීමු.

එනම් ලෙනින්ගේ පළමුවැනි, දාහතරවැනි හා තිස් අටවැනි එකතු කළ කෘතීන් හි එන, “ජනතාවගේ මිතුරෝ යනු කවරහු ද?” කෘතියත්, “භෞතිකවාදය හා අනුභූතික විචාරය” කෘතියත්, “දාර්ශනික සටහන් පොතත්” ය. එහි දී මාත් නලිනුත් වහාම අපගේ දර්ශනවාදය පිලිබඳ කුඩා ශාස්ත්‍රාලයේ ‘මඟ පෙන්වන්නා’ තනතුරේ ලීනස් ව අභිෂේක කළෙමු.

මෙකල්හි ක්‍රීඩා නිලධාරියෙකු ලෙස සේවය ළෙ නලීන් පක්ෂ පූර්ණකාලීනයකු නොවුවද, ඔහු සතියේ වැඩි දින ගණනක් සැදෑවේ පක්ෂ කාර්යාලයට පැමිණීම පුරුද්දක් කර ගත්තේ ද මේ ශාස්ත්‍රාලයේ කටයුතු නිසා යයි මට සිතෙයි. එසේ අපි දවසේ ප්‍රායෝගික කටයුතු අවසන් කර මුනගැසී හැදෑරිම් කරගෙන ගියෙමු. සමහර දින වලදී සරත් විදානපතිරණ (එකල්හි නීති සිසුවකු වූ) අපට ආරාධනා කරන්නේ නේවාසිකාගාරයේ රාත්‍රිය ගත කිරීමට යි. ඒ අපගේ සාකච්ඡා වලට සහභාගී වීමට ඔහු ද දැක්වූ උනන්දුව නිසාය.

හොදයි! “ලෝකය දත හැකි නම්, ඒ දැන ගැනීමේ මාර්ගය කුමක් ද? අපෝහක භෞතිකවාදියෝ ඥාණන සන්තතියක් මගින් ආරම්භක වශයෙන් ලෝකය දැන ගනිති. බාහිර ලෝකය සංවේදන ඉන්ද්‍රියයන්ට බලපා අනිර්ණිත මානසික රූපවල ආකාරයෙන් සංවේදන ඇති කරන්නේ ය.”

“බාහිර ලෝකයේ පැවැත්මේ අංගයන් වන චලනයේත්, අනිත්‍යතාවයේත් රූපාකාරයන් වන මේ මානසික රූප, ප්‍රපංචයන්හි සංකල්ප ලෙස සකසා ගනු ලැබෙයි. සාධනීය සංවේදනයේ සිට වියුක්ත නිශේදනය කරා ඒවා දිය කර හැරීම ලෙස සිදු කෙරෙන නිශේධනයෙන් ඉක්බිතිව ඡායාමාත්‍රයේ ස්වාභාවයේ සිට සාධනීය ඡායාමාත්‍රය තෙක් ඒවා යලිත් නිශේදනය කරනු ලැබෙයි. මනුශ්‍යයෙකුගේ දැනුම් න්‍යාය එයයි. මේ අන්තර් විනිවිදීමේ සන්තතියේ දී රූප, චින්තන රූපාකාර වශයෙන් සලකා අපෝහක තර්ක ශාස්ත්‍රය වන චින්තනයේ හා හේතුවාදයේ විද්‍යාවෙන් විශ්ලේෂණය කෙරේ.” යි අපේ සාකච්ඡා සම්බන්ධ මගේ සටහන් වල දක්නට තිබේ.

එවිට මතුවූවා යයි මගේ මතකයේ ඇති වැදගත් ප්‍රශ්නය වූයේ, සංකල්ප වල හා ප්‍රවර්ග වල භෞතිකවාදී ස්වාභාවය සලකන කල්හි; ‘සැම දෙයක්ම වර්ධනය වන්නේ නම්, චින්තනයේ ඉතාම සාමාන්‍ය සංකල්ප වලටත්, ප්‍රවර්ග වලටත් එය යෙදෙන්නේ නැති ද?’ යන්නයි. එසේ යෙදෙන්නේ නැතිනම් එයින් පෙනෙන්නේ චින්තනය භෞතිකයට සම්බන්ධ නැති බව නොවේ ද? එසේ යෙදෙන්නේ නම් එයින් පෙනී යන්නේ වෛශයීක ලෝකයේ පවතින්නාවූ වර්ධනයන්, වර්ධනය තුළ සිදුවන, පවතින දෑ නිශේධ වී නව තත්ත්වයන් මතුවීම යන අපෝහකය, ඥාණනය පිලිබද අපෝහකයේ ද පවතින බව නොවේ ද?

එ් නයින් බලන කල, පෙරකී පශ්චාත් යුධ ප්‍රතිසංවිධානයන්; පූර්ව යුධ ඥානය ඉක්මවා නව සංකල්ප වලටත් ප්‍රවර්ග වලටත් පාදක වූ බව නොදන්නේ ද? එසේ නම් මේ භෞතික පරිවර්තනයන් එයට සම්බන්ධ චින්තනයට යෙදෙනු ලැබීම චින්තනයේ පැවැති දෑ නිශේධ වී නව තත්ත්වයන් මතු වීමක් ලෙස යුක්ති සහගත නොවන්නේ ද?

එසේ නම් ප්‍රතිසංස්කරණවාදය පාවාදීමක් නැතිනම් ද්‍රෝහී වීමක් යන ප්‍රවර්ගයන්ට ඇතුලත් කරන්නේ කෙසේ ද? ලෝකය විද්‍යා-තාක්ෂණ මෙන්ම සමාජ-ආර්ථික සංස්කෘතික සැම දෙසින්ම විකසිත වෙද්දී එය එසේ නොවේ යයි ද, හෙට නැත්නම් අනිත්දා මේ සියල්ල මායාවක් සේ නැති භංගස්ථාන වන්නේ ය කියමින් කඨෝර සටන්පාඨ හා ස්ථාවර කීපයක් මත ඒ සියල්ලට පස්ස හැරවීම ද අපෝහක විධික්‍රමය?

එසේ අපේ මේ දාර්ශනික අධ්‍යයනයේ මතුවූ විවාදයන් අති මහත් ය. අපි ඒවා කරගෙන ගියෙමු. නමුත් දිගු කලකට නම් නොවේ.

ඍජු පංති අරගලයේ පසුබැසීම

සංයුක්ත පංති අරගලයේ ප්‍රචන්ඩ වාසුලිය, අපගේ මේ ‘දාර්ශනික’ ශාස්ත්‍රාලයේ පියස්ය ආක්‍රමණය කළේය.

ඒ වන විට මා පක්ෂයේ වෘත්තීය සමිති අංශයට කැදවා තිබූ අතර, වාණිජ හා කාර්මික සේවක සංගමයේ පුර්ණකාලීනකයෙකු ලෙස කටයුතු කරමින් සිටියේය. ස්ථානගත කාර්මික ආරාවුල් වලට මැදහත්විමට මට ඒ අනුව සිදුව තිබුණ ද, ඒ සියල්ල මා කරපිට පැටවුන දැයම නොවේ. අතරතුර වගකීම් ය. නමුත් ’80 මහා වැඩවර්ජනය එවැන්නක් නොවී ය. එය 1970 සභාගය පුපුරුවා හරිමින් ඉදිරියට පැමිණි කම්කරු පංතියේ ස්වාධීනත්වය ප්‍රකාශයට පත් කළ මහා සටන විය. හුදු වෘත්තීය අරගල ඉක්මවා යමින්, ආණ්ඩුවේ මූල්‍යවාදී ප්‍රතිපත්තීන්ට ඍජුවම අභියෝග කළ දේශපාලන අරගලයක් විය. මා ජීවමානවම එයට මැදහත් වන්නකු වූ අතර, මේ සටන ලීනස් හා මා අතර සබඳතාවය ශාස්ත්‍රාලීය සීමාවෙන් ඔබ්බට ගෙන ගියේ ය. ඒ තියුණු රාජ්‍ය මර්ධනයකට ලක් කළා වූ මහා වැඩවර්ජනයේ ජයග්‍රහණය සඳහා මැදහතත්වීමට පමණක් නොවේ.

මන්දයත්, මහා වැඩ වර්ජනයේ පෙරමුණේ සිටි අප වෘත්තීය නායකයත්වයන්ට විශයබද්ධ තතු විසින් බලකරනු ලබන ඕනෑම මොහොතක දී, අවම තුවාල සහිතව පසුබැසීමට නායකත්වය දීම ද එදා අප පක්ෂයේ උරමත පැටවී තිබුණ නිසා ය.

එක්සත් කම්කරු සම්මේලනයේ මෙන්ම වෘත්තීය සමිති ඒකාබද්ධ පෙරමුණේ නායකයකු ලෙස ලීනස් සටනේ ප්‍රධාන මෙහෙයුම් කරුවකු වූ අතර, මම එක් ක්ෂේත්‍රයක සංවිධායකයෙකු වීමි. විශේෂයෙන් අප විසින් රජයේ ලිපිකරු සේවක සංගම් මූලස්ථානයේ සම්මන්ත්‍රණ ශාලාව මුල්කර සකසා තිබූ වර්ජන මෙහෙයුම් මධ්‍යස්ථානය මගින් දිනපතා සකසා බෙදා හැරි බුලටීනයේ සංස්කාරක වරයෙකු ලෙස මා කටයුතු කළ අතර, දිවා කාලයේ වර්ජක රැස්වීම් වල ගත කරන ලීනස්, සැම දිනකම පාහේ සැදෑවේ දී රලිසේසයට පැමිණ, බුලටීනය සැකසීමේ දී මධ්‍යම රාත්‍රිය වනතෙක් අප සමඟ මැදහත් වූයේ ය.

ලීනස් පිලිබදව මගේ අත්දැකීම් වඩාත් තහවුරු වූයේ වැඩවර්ජනයේ දී ට වඩා එය පරාජය වූ පසුව පරාජයට මුහුණ දීමේ දී ය.

පරාජයේ කටුක අත්දැකීම් මධ්‍යයේ හැකි අයුරින් සටන්කාමීන් පංති සටන තුළ රැක ගැනීම, පරාජයේ තුවාල වලට පිලියම් කරමින් අනාගතය හෙලිපෙහෙලි කිරීම, ඒ සඳහා සුදානම් කිරීම ආදී ලෙසින් වූ ඒ අරගලයේ දී, ලීනස් නව පෙනුමකින් දෘෂ්‍යමාන වූවා සේ ය. ඔහු දිවා රෑ මහත් වූ ප්‍රායෝගික කටයුතු වල යෙදී සිටියා පමණක් නොවේ, අපව ද ඒ සඳහා යොදා ගත්තේ ය. වැඩවර්ජනයේ ඓයින්ද්‍රීය නායකයන් ක්‍රියාකාරීව සටන් බිමේ රදවා ගැනීම සඳහා වන ආර්ථික වැඩ පිලිවෙලවල් සංවිධානය කළා පමණක් නොවේ, ඒවාට අවශ්‍ය අරමුදල් සම්පාදනය සඳහා පක්ෂයේ පමණක් නොව, පුද්ගලිකව තමන් සතු සියළුම සබඳතා යොදා ගැනීමට ක්‍රියා කළේ ය.

සමාජ අරගලය ඉස්මත්තට පැමිණිම

මහා වැඩවර්ජනයේ පරාජය විසින් පංති සටන් බිමේ සමාජීය ප්‍රමුඛතාවය ඉහල පහල යැවී ය. සටන්පාඨ අලුත් ප්‍රමුඛතාවයන් අනුව අඩුක් කරනු ලැබීය. ඒ එසේ වූයේ මහා වැඩවර්ජනය පරාජය වූ නිසා පමණක් නොවේ, එයට සාපේක්ෂව සමාජ අරගලය ප්‍රමුඛස්ථානය ගැනීම නිසාය. ප්‍රජාතන්ත්‍රීය අරගලයන් පෙර නුවූ පරිමාණයෙන් ඉතිහාසයේ ප්‍රමුඛස්ථානයට පැමිණි නිසාය.

ඒ නිසාම අනිත්‍ය ලෝකය වටහා ගැනීමේ දී අමතර ප්‍රමේයයන් ලෙස සැලකූ දැය ඉස්මත්තට පැමිණි අතර, ඒවා මත පදනම්ව වර්ධනය කළා වූ නොනවතින විප්ලවය පිලිබඳ න්‍යාය ය වඩ වඩාත් තියුණු ලෙස හැදෑරීමට විශයබද්ධ තත්ත්වයන් විසින් අපට බල කෙරිනි.

වෛශයික ලෝකයේ නියාමයන් වන වර්ධනයේ අසමාකාර ස්වාභාවය හා සම්මිශ්‍රිත ස්වාභාවය හේතුවෙන් පැනනගින ප්‍රතිවිරෝධයන් ජන සමාජය සම්බන්ධයෙන් ද වෙනස් නොවේ. ඒ අනුව තාක්ෂණ දියුණුවේ ඵලයක් ලෙස වර්ධනය වූ නව නිෂ්පාදන සබඳතා හෙවත් ධනපති ක්‍රමය එක මොහොතක, එක සමානව වර්ධන වූයේ නොවේ. මේ අසමාන වර්ධනය නිසා ප්‍රමාද වී ධනපති ක්‍රමයට ඇතුල් වූ සමාජයන් හි සාරයත් උරා ගනිමින්, ධනපති ක්‍රමය ලොව පුරා තම අනසක පතුරවමින් ශක්තිමත් විය. ප්‍රමාද වූවෝ දියුණු ධනපති සබඳතා ඇති කර ගැනීමේ අසමත්ව, ධනපති ප්‍රජාතන්ත්‍රීය විප්ලවය ඉටු නොවූ අඩු දියුණු “මොංගල්” රටවල් බවට පත් වූයේ ය.

දැන් නොනවතින විප්ලවය පිලිබඳ න්‍යාය මගින් මූලික ‍ලෙස සාකච්ඡා කළේ මේ රටවල විප්ලවය පිලිබද ප්‍රශ්නයයි. ඒ අනුව මේ රට වල විප්ලවවාදීන්ට, ධනපති පංතියට ඉෂ්ට කරගැනීමට නොහැකි වූ ප්‍රජාතන්ත්‍රීය අයිතීන් වෙනුවෙන් සටන් කිරීමට සිදුවන අතර, එම අරගලය තුළදී ධනපති ප්‍රජාතන්ත්‍රීය විප්ලවයේ සටන්පාඨ, සමාජවාදී කර්තව්‍යයන් සමඟ මිශ්‍රවනු ඇත්තේ ය. මක්නිසාද යත්, මේ රට වල ධනපති පංතිය එහි ප්‍රජාතන්ත්‍රවාදී ඉල්ලීම් තබා ව්‍යවස්ථානුකූල අයිතීන් වත්, සුළු ජාතීන්ගේ අයිතීන්වත්, කෘෂිකාර්මික ප්‍රතිසංස්කරණයන් වත් සම්පූර්ණ කිරීමට සමත් නොවන නිසාය.

මේ තත්ත්වය තුළ ලංකාවේ ජාතීන්ගේ අරගලයන් අන් සියල්ල ඉක්මවා වර්ධනය වූයේ ය. එජාප පාලනය කළේ, දෙමළ ජනතාවගේ ධනපති නායකයන් සමග ඉහලින් සම්මුති වලට යමින්, වර්ධනය වන දෙමළ ගැමි තරුණ කැරලිකාරිත්වය තලා දැමීමට කටයුතු කිරීමය. මේ පිලිවෙතේ අවසානය සටහන් වූයේ 1983 ජූලි සිදුවීම් සමඟය.

ජූලි සිදුවීම් මගින් ජාතික හා ජාත්‍යන්තර වශයෙන් ඇති වූ දේශපාලන වර්ධනයන් තුළ, දෙමළ ජනතාවගේ අරගලය ප්‍රජාතන්ත්‍රීය අරගලයක් ලෙස පිලිගැනීමට ජේ.ආර්. පාලනයට බල කෙරුණු අතර, බලය බෙදීම ප්‍රතිපත්තියක් ලෙස පිලිගැනිනි. අවම මට්ටමේ බලය බෙදීමක් යෝජනා වූ පලාත්සභා පනත එහි ඵලයක් විය.

නමුත් මේ බලය බෙදීමේ පනත සිංහල බෞද්ධ ජාතිවාදීන්ගේ ප්‍රබල විරෝධයට පාත්‍ර වූ අතර, ඒ මගින් ඇති කරනු ලබන ප්‍රතිවිප්ලවකාරී කැරැල්ලක් මගින් රාජ්‍ය බලය අල්ලා ගැනීමේ වෑයමක් දියත් කෙරිණි. පලාත්සභා මගින් ඇති කරනු ලබන සරල බලබෙදීමට පවා විරුද්ධ වූ ශ්‍රී ලනිපයේ පිටුබලයද මෙම කැරැල්ල රටපුරා පැතිර යෑමට හේතු විය.

කැරැල්ල දරුණු ලෙස රාජ්‍ය මර්ධනයට ලක්කරන ලද අතර, ඒ මර්ධණීය වැඩපිලිවෙල දියත් කිරීම සඳහා ශ්‍රීලනිප නායකත්වයද එක් වූයේ ය. කැරැල්ල යටපත් කළේ වී මුත්, පලාත්සභා පනතේ වැදගත්ම අංගයන් දෙක වූ ඉඩම් හා පොලිස් බලතල පැවරීම අත්හිටුවීම, කැරැල්ල මැඩ පැවැත්වීමට සිංහල බෞද්ධ ජාතිවාදී නායකයන් දුන් සහාය වෙනුවෙන් කැප කළ කප්පමක් ලෙස දිගටම පැවැතියේ ය.

ඒ අනුව පලාත්සභා; බලබෙදීමේ පියවරක් ලෙස ගත් කල සාර්ථක නොවූයේ වී මුත්, එතැන් සිට ඉදිරියට යෑම සදහා එජාපය තුලින් යලි යලිත් උත්සාහයන් මතු විය. උතුරු-නැගෙනහිර විමුක්ති කොටි සංවිධානයේ බලය අනියම් ලෙස පිලිගනිමින්, අගමැති රනිල් වික්‍රමසිංහ හා විමුක්ති කොටි සංවිධානය සමග ඇති වූ එකඟතාවයන්, අන්තර්වාර පාලනයක් සඳහා යොමු වීම වැදගත් අවස්ථාවකි. එමෙන්ම එයට අමතරව විශේෂයෙන් විමුක්ති කොටි සංවිධානය සමඟ එකඟ වූ ඒකාබද්ධ සුනාමි යාන්ත්‍රණ වැඩ පිලිවෙලත් පෙන්නුම් කළේ, ගෝලීය ධනවාදයේ සමාජ ආර්ථික පිලිවෙත් සමඟ එක්ව, ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහයන් ශක්තිමත් කරමින්, ධනේශ්වර සංවර්ධන මාවතකට ඇතුල්වීමේ උවමනාවයි.

නමුත් චන්ද්‍රිකා මුල් කොට පැවැති සභාගයේ පිටුබලය ලත්, සිංහල බෞද්ධ ජාතිවාදී බලවේගයන් මේ ප්‍රජාතන්ත්‍රීය වෑයම් පරාජය කරමින්, එජාප පාලනය බිද හෙලා “ත්‍රස්තවාදයට එරෙහි යුධය” කරා රට තල්ලු කරගෙන යෑමට ශක්තිය ලද්දේ ය. එහි දී සිංහල බෞද්ධ යුධවාදය, ඇමරිකාවෙන් දියත් වූ “ත්‍රස්තවාදයට විරුද්ධ යුද්ධය” පිලිබඳ වැඩපිලිවෙලින් හා ඉංදියාවේ විමුක්ති කොටි විරෝධී පිලිවෙතින් මහත් අභිෂේක ලද්දේය. ජාතිවාදී බලවේගයන් හුදු ජාතිවාදය ඉක්මවා, ෆැසිස්ට් පන්නයේ දේශපාලන-ප්‍රායෝගික පිලිවෙතකට පිවිසියේ එ් ශක්තිය මතය.

අපේ වෙන්වීම

ඍජු පංති අරගලයේ පරාජය ඉක්මවා ප්‍රජාතන්ත්‍රීය අරගලයන් මුල් කර ඉදිරියට ගමන් කළ ව්‍යාපාරය, මේ මගින් මහත් වූ පරාජයකට මුහුණ දුන්නේය. යුද්ධය – යුධවාදයක් ලෙසින් සමාජීය විඥාණය අදුරු ගැබකට ඇදගෙන ගියේය. දෙමළ විමුක්ති අරගලයේ පරාජය, සමස්ථ සිංහල බෞද්ධ ජන සමාජයේ ජයග්‍රහණයක් බවට පත් විය. දෙමළ විමුක්ති අරගලය, කම්කරු පංතියේ අයිතිවාසිකම් සටනට බාධකයක් බවත්, එය පරාජය වීමෙන් පංති සටනට වාසියක් වන බවත් ලසසප, කොප නායකයන් හා වෘත්තීය සමිති නායකයන්ගෙන් අතිමහත් බහුතරය කම්කරු පංතිය වෙත ගෙන ආ මතවාදය බවට පත්විය.

දැන් කිසිඳු පංති භේධයකින් තොරව සිංහල බෞද්ධ ඒකීය රාජ්‍ය තහවුරු කිරීමේ ෆැසිස්ට් ක්‍රියාමාර්ගය විමුක්ති මඟ ලෙසත්, ප්‍රජාතන්ත්‍රවාදය සඳහා සටන ප්‍රතිගාමීත්වය සමඟ සහයෝගී වීමක් ලෙසත් ජන සමාජයේ අතිමහත් බහුතරයේ පිලිගැනීම බවට පත්විනි.

මේ මතවාදය අප පක්ෂය තුළටත් ගලා ආවේ ය. අප පක්ෂයේ වෘත්තීය සමිති බාරව ක්‍රියා කළ වෘත්තීය සමිති නායකයන් බහුතරය ද මොහොතකින් “තම සාමාජිකයන් සමඟ ගැටුමක් ඇතිවීම මඟ හරිමින්”මේ මතවාදය වැළඳගත්තේ ය. ඒ මත පක්ෂය විසින් එතෙක් පිටස්තර බලවේගයන් සමඟ ගෙන ගිය මතවාදී අරගලය, පක්ෂය තුළ මත් ගෙන යෑමට සිදු වීය. එසේ ප්‍රජාතන්ත්‍රීය අරගලයේ පැත්තේ සිටින්නෝ හා එයට පිටුපාන්නෝ ලෙස පක්ෂය තුළ ඇතිවූ ප්‍රබල විවාදයේ දෙවන වටය එළඹෙද්දී ලීනස් ද ඒ සමඟ පෙල ගැනී සිටිනු අපට දක්නට ලැබුනේ ය.

ප්‍රජාතන්ත්‍රීය විප්ලවය පිලිබදව විවිධ දිසාවෙන් පක්ෂය තුළ මතුවූ එකම අරගලය මෙය නොවේ. ඒ මතවාදී අරගලයන් තුලදී 1977 දෙසැම්බරයේ පක්ෂය ගොඩ නැගීමට එකමුතු වූ බොහෝ දෙනා, විවිධ ලෙසින් මතවාදී කණ්ඩායම් ගොඩ නගා ගනිමින් විවාද කරමින් වෙනම ‘පක්ෂ’ ගොඩ නැගීමට නික්ම ගියහ. කොටසක් (පෙරකී) රාජ්‍ය ධනවාදය ඔස්සේ විකෘති කම්කරු රාජ්‍ය ගොඩ නැගීම පිලිබද න්‍යාය වෙනුවෙන් පෙනී සිට, පක්ෂය එය නොපිලිගැනීම නිසා නික්ම ගියහ. කොටසක් චන්ද්‍රිකා බලයට පත්ව ජාතික ප්‍රශ්නය විසදා රට සංවර්ධනය කරන්නේ යයි කියා සිටිමින්, පක්ෂය ඒ මතය නොපිලිගත් නිසා නික්ම ගියහ.

ජාතික මෙන්ම ජාත්‍යන්තර මට්ටමෙන් පැවැති මේ සෑම විවාදයකදීම, ලීනස් පක්ෂය ගත් මාක්ස්වාදී ස්ථාවරයන් වර්ධනය කිරීම සඳහා වෙහෙස නොබලා පෙරමුණේ සිටිමින් සටන් කළේ ය. පක්ෂය මුහුණ දුන් දැවැන්ත රාජ්‍ය මර්ධනයන්ට එරෙහිව සමාජ ව්‍යාපාර ගොඩ නැගීමේ දී නොමැකෙන නායනකත්වයක් සැලසී ය.

නමුත් මෙතැන්හිදී ලීනස් ඒ ස්ථාවරයන්ගෙන් පසු බැස ගියේ ය. ඔහුගේ පසුබැස්ම අන් කවරකුගේ නික්මයෑමකට වඩා කැපී පෙනුනේ, එසේ ඔහු පක්ෂයේ මතවාදයන් සංවර්ධනය කිරීම සඳහා වැදගත් මෙහෙයක් කළ අයෙකු වීම නිසාය. නමුත් අද ලීනස් පක්ෂයේ මූලික මතවාදයන් අත්හැර ඇතිවා පමණක් නොව විකෘති කිරීම් ද කරමින් සිටී.

පක්ෂය එදා මෙදා තුර ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් ගෙන අරගලයේ දී මොහොතකට හෝ ඒ සමඟ සිටගන්නවුන්, ධනපති පංතියට අයත්ද? වාමාංශිකයන් ද? සුළු ධනේශ්වර ද ආදී ලෙසින් වර්ග කළේ නැත. පක්ෂය ගෙන යන අරගලයේ දී එක පෙලට විත් සිටගන්නෝ සමග පක්ෂය කටයුතු කර ඇත. නමුත් ලීනස් සහිතව ඇරඹූ මේ විවාදයේ දී ප්‍රශ්නය වූයේ එජාපය සමඟ කටයුතු කිරීමයි. ශ්‍රීලනිපය සමග පවතින සභාගයට එරෙහිව ‘ප්‍රතිගාමී’ යූඇන්පී ය සමග කටයුතු කිරීමයි. ‘ප්‍රගතිශීලී’ මහින්දට එරෙහිව ‘ප්‍රතිගාමී’ රනිල් සමග කටයුතු කිරීමයි. එදා මෙදා තුර සභාගවාදී දේශපාලනයේ ආදර්ශ පාඨයට යටවීම මින් පෙන්නුම් කරයි.

ජනඝාතන යුධය මධ්‍යයේ දී ඇරඹී වසර 05 කට වැඩි කාලයක් ඇද්දී ගිය මේ විවාදයේ දී, මේ ලාමක කරුණු දැක්වීම හෙලි කරමින් දිගින් දිගටම අප පෙන්වා දුන්නේ, කම්කරු පංතියේ පංති දෘෂ්ඨිය නිලංකාර කරමින් පතුරුවා හැරි යුධවාදය ට විරුද්ධව සටන් කිරීම මඟහැර ඔබ ඉන් ගැලවී යන බවයි. ඒ කෙතෙක් දුරටද යත්, විමුක්ති කොටි සංවිධානය ෆැසිස්ට් සංවිධානයකැයි කියන තරමට ඔබ ප්‍රජාතන්ත්‍රීය අරගලයන් පිලිබඳව වැරදි මතවාදයන්ට එළැඹී ඇති බවයි. එසේ ලංකාවේ සුළු ජාතින්ගේ ස්වපාලනය පිලිබද අරගලය දක්ෂිනාංශික කුමන්ත්‍රණයක් ලෙස දැකීමයි. මේ අරගලයන් තෘප්තිමත් කිරිමට මේ රටවල ධනපති පංතිය අසමත් වීම, සමාජ විප්ලවයේ ආරම්භය ය යන්න අමතක කිරීමයි.

මාක්ස්වාදී ස්ථාවරයන් වෙනුවෙන් සටන් කිරීමට ඇති නිදහසම, එයට විරුද්ධව සටන් කිරීමට ද කෙනෙක්ට ඇත්තේ ය. තම අභිමතයට යටත් ය. අභිමතය තමන්කරා එන්නේ කොහෙන් දෝ යැයි අපි දනිමු. නමුත් වර්තමානය මඟින් අතීතය වල දමන්නේ නැතිවා සේම, අතීතය විසින් වර්තමානය ද වල දමනු නැත්තේ ය.

රනත් කුමාරසිංහ – 2021 පෙබරවාරි 25

You may also like...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.