නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයේ මිත්‍යාව

සේයා - අන්තර්ජාලයෙන්

30.12.2020 දිනට යෙදී ඇති නව සම සමාජ පක්ෂයේ 43 වැනි සංවත්සර සැමරුම වෙනුවෙන්….

“ජනතාවනි, ඔබ පහසුවෙන් ම මුලා වන්නාහු ය; ඔබ රවටනු ලැබීමටත් චාටු බස් කියනු ඇසීමටත් කැමැත්තාහුය. හිස් බැල්මකින් ඉදිරිය බලමින් ඔබ හැම කථිකයෙකුම විශ්වාස කරන්නාහුය. ඔබට මොලය ඇත. නමුත් ඔබ ඔබගේ කන් පාවිච්චි කරන විට එය කොහාට ද පියාඹා ගොස් ඇත” (ග්‍රීක හාස්‍යොත්පාදක නාට්‍යකරු ඇරිස්ටොෆනීස්ගේ නාට්‍යයකිනි)

නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයේ මිත්‍යාව

“ලෝකයේ වඩාත්ම පිළිගන්නා ක්‍රමවේදය හැටියට දැනට සැලකෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදය යි. එතකොට ප්‍රජාතන්ත්‍රවාදයේ ප්‍රධානම කාරනය හැටියට එන්නේ ඒ මහජනතාවට තමන්ගේ අයිතිය ක්‍රියාත්මක කරන්න, තමන්ගේ අරමුණු අභිලාශ තමන්ගේ අදහස් අනුව තීරණ ගැනීමේ ක්‍රියාවලියට හවුල්වෙන්න, සක්‍රීයව සහභාගී වෙන්න අවස්ථාව තිබීම. එතකොට ඒ අනුව ඒ අවස්ථාව අද සලසා තියෙන්නේ මේ ඡන්ද බලය කියන එකෙන් තමයි. ඔක්කෝම රැස්වෙලා තීන්දු ගන්න බැරි නිසා, තමන්ගේ නියෝජිතයන් හරහා තමයි තීන්දු ගන්නේ. එතකොට තමන්ගේ නියෝජිතයෝ හරහා තීන්දු ගැනීමේ ක්‍රියාවලිය එන්නේ ඡන්ද බලයෙන්. එතකොට තමන්ගේ හෘද සාක්ෂිය තමයි, තමන්ගේ කැමැත්ත තමයි ඡන්දය කියල ප්‍රකාශ කරන්නේ. එතකොට මේ තමන්ගේ කැමැත්ත කියන එක අද අපේ නීතිය පිළිඅරන් තියෙනව. අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පිළිඅරන් තියෙනව ඒක. ජාත්‍යන්තරවත් පිළිඅරන් තියෙනව. ඒක ජනතාවගේ පරමාධිපත්‍ය අයිතිය කියල. එතකොට මැතිවරණ ක්‍රියාවලියක් හරහා ක්‍රියාත්මක වෙන්නේ ජනතාවගේ පරමාධිපත්‍යය අයිතිය. ඔවුන්ගේ හෘද සාක්ෂියේ අයිතිය තමා අපි ක්‍රියාත්මක කරන්නේ. එතකොට ඒක ක්‍රියාත්මක කරන කොට ඒක නිවැරදිව ප්‍රකාශ වෙන්න ඉඩ තියෙන්න ඕන.” යි මැතිවරණ කොමිෂන් සභාවේ නව සභාපති පදවියට පත් වූ නිමල් පුංචිහේවා පසුගියදා ප්‍රකාශ කර සිටියේ ය.

ඔහුට අනුව ජනතා පරමාධිපත්‍යය යනු ඡන්දය ප්‍රකාශ කර තමන්ගේ නියෝජිතයන් පත් කර ගැනීමේ අයිතියයි. ඔහුගේ වචන වලට අඩංගු කර නොගත්තද, ඔහු මේ කියන්නේ තෙවදෑරුම් නියෝජිතයෝ ගැන බව අපි දනිමු. එනම් පළමුව පාර්ලිමේන්තු හෙවත් රටේ නීති හදන, සංවර්ධන සැලසුම් හදන, මුදල් පාලනය කරන නියෝජිත කැලයි. දෙවනුව පත් කෙරෙන්නේ පලාත් සභා නියෝජිතයෝ ය. තුන්වනුව තම ප්‍රදේශය – එනම් නගරය හෝ ගම්බිම් සඳහා සභිකයන් ය.

ජනාධිපතිද මේ පරමාධිපත්‍ය උසුලන ජනතාවගේ ඡන්දයෙන් පත්වන්නකු මුත්, ඔහු පත්වීම ලද පසු කාගේවත් නියෝජිතයකු නොවන බව ව්‍යවස්ථාවේ ම සඳහන් ය. ඔහු පත්වූ පසු ජනතාවට තබා, නීතිය ඉදිරියේ කවුරුත් සමානය යන්නටවත් අඩංගු නැත. එබැවින් ඕනෑම නීති විරෝධී වැඩක් කර නඩු නැතිව සිටිය හැකි අද්භූතයෙක් බවට පත් වෙයි. එබැවින් ඔහු පසක තබමු. එවැන්නකු පත් විය යුතු නැතැයි මේ රටේ බහුතරයක් ජනතාව කීප විටත්ම බහුතර ඡන්දයෙන් ප්‍රකාශකර තිබුණ ද, අන් සැමදේ මෙන්ම මේ කැමැත්තත් අකමැත්ත බවට පෙරලීමට ජනතා පරමාධිපත්‍යයේ නියෝජිතයෝ කටයුතු කර ඇත.

දැන් ප්‍රශ්නය වන්නේ මේ පරමාධිපත්‍යය හිමි ජනතාව මෙසේ නියෝජිතයන් පත් කළ දා සිටම, ‘මුන් කියනදේ කරන්නේ නැති, කරන්නේ නෑ කියූ දේ ම කරන නියෝජිතයන් බවට පත් වී ඇතැයි’ කියමින් බෝඩ් ලෑලි අල්ලාගෙන අව්ව තපින්නේ ඇයි ද යන්න ය.

මේ ප්‍රශ්නයට මැතිවරණ කොමිසමේ සභාපති ගේ උක්ත විශ්ලේෂනයෙන් පිලිතුරක් නොලැබේ. ‘මම ඉන්නේ ජනතාවගේ ඡන්දෙ ආරක්ෂා කරල, ඒ වෙලාවේ පළ කරන කැමැත්ත අනුව නියොජිතයෝ පත් කරන්න විතරයි. ඊට පස්සේ ඒ අය ජනතාවගේ කැමැත්ත – පරමාධිපත්‍ය ක්‍රියාත්මක කරනව ද නැද්ද කියල බලන්න මට ප්‍රතිපාදන නෑ’ යි ඔහු නොඅනුමානවම කියනු ඇත.

හොඳයි. ඔහුට නැතිනම් ජනතා පරමාධිපත්‍යට පස්ස හරවන ජනතා නියෝජිතයන්ට කළ යුතු දේ ගැන ප්‍රතිපාදන තියෙන්නේ කොහේ ද? එය මෙතෙක් දැන ගැනීමට නැත. ඇත්තේ විශ්වාසභංග ක්‍රමයයි. එනම් නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ විධික්‍රමයයි.

විද්‍යාමාන ප්‍රජාතන්ත්‍රවාදය ගැන ඇති ලොකුම කරදරය වන්නේ බොහොමයක් ‘ප්‍රජාතන්ත්‍රවාදීන්’ එයට ප්‍රවේශ වන්නේ මේ අයුරින් ‘අලියා හා අන්දයෝ’ රීතිය පරිහරනය කරමින් වීමය. ප්‍රජාතන්ත්‍රවාදය යනු නියොජිතයන් පත් කිරීම පමණක් ද?

“තමන්ගේ අරමුණු අභිලාශ තමන්ගේ අදහස් අනුව තීරණ ගැනීමේ ක්‍රියාවලියට හවුල්වෙන්න – සක්‍රීයව සහභාගී වෙන්න අවස්ථාව තිබීම” යයි අපේ ඡන්ද සභාපතිවරයා ම කියයි. දැන් ඒක කොහොම ද වෙන්නේ? ජනතාවට තම අදහස් අනුව සක්‍රීයව තීන්දු තීරණ ගන්න හැකි රාමු සකසා තිබේ ද?

කලකට පෙර යම් ආකාරයක එවැනි රටාවන් ප්‍රමාණයක් පැවැතියේ ය. ගම් සභා, ගම් සභා උසාවි, ග්‍රාම සංවර්ධන සමිති, වෘත්තීය  සමිති හා තරුණ සමිති ආදියත්, ඒවා ආශ්‍රිතව ක්‍රියාත්මක වූ ජනතාවගේ කැමැත්ත වෙනුවෙන් හඬ නැගූ කම්කරු පක්ෂ ආදී මෙකී නොකී සියල්ල නිෂේධවී ගියේ 1970 සමගි පෙරමුණු ආණ්ඩුවත් සමග ය. ඒවා වෙනුවට දේශපාලන අධිකාරීන් පිරිසක් මතු කරන ලද්දේ ය. ඔවුන් සැම තැනටම අඩු පඩු විහිදුවමින් ජනතාව සතුව තිබූ සංවිධාන අවි (ඒවා කොපමණ මොට්ට වුවත්) උදුරා ගන්නා ලද්දේ ය. ඒ ‘සමාජවාදය කරා’ යන්නේ යයි මිත්‍යා වපුරමිණි. වැඩපල – ගම මට්ටමෙන් පැවැති සියළුම සාකච්ඡා සභාවන් දිය කර හරින ලද්දේ එසේ ය.

තමන්ගේ ඓයින්ද්‍රීය සංවිධාන රටාවන් තුලින් ගමන් ගත් ප්‍රබුද්ධ සාකච්ඡාවන් දියාරුවී යද්දී, ඒ තැනට ගෙන ආවේ  ජාතිවාදය, මූලධර්මවාදය, ගූඪ වාදය ආදියයි. හුදකලා වූ ජනතාව අතරට මේ සියල්ල ගෙන ඒම පාලක පැලැන්තියේ කොට්ඨාශයක් විසින් කරන ලද අතර, එයට ජවාරම්කරුවන්ගේ මනා පිටුබලය ලැබිනි.

දැන් ජනතාවගේ කැමැත්ත යනු කුමක් ද? රටේ පසුගාමීත්වයේ ප්‍රකාශනය වන අවිද්‍යාවේ ගැලී සිටින අසංස්කෘතික පාලක පැලැන්තිය විසින් වපුරන මිත්‍යාවන් ය. මේ මිත්‍යාංධකාරයන් රටේ ප්‍රජාතන්ත්‍රවාදයේ ඉදිරි ගමනට මහත් බාධයකයන් ලෙස පවතී.

ප්‍රජාතන්ත්‍රවාදය යනු වසර කිහිපයකට වරක් නියෝජිතයන් පත් කිරීම නොවේ. මැතිවරණයකදී ඡන්දය දී ‘නියෝජිතයන්’ පත් කිරීම වැදගැම්මකට නැති මුදල් නාස්තියක් ලෙස ජනතාව සලකන තැනට පත් වෙමින් තිබේ. එය වැදගත් කර්තව්‍යයක් ලෙස ජනතාවට පෙනී යෑමට නම් කළ යුතු විප්ලවකාරී ප්‍රතිසංස්කරණ ගණනාවක් තිබේ. එනම් මේ නියෝජිතයන් සැබෑ ලෙස ජනතාවගේ ‘කැමැත්ත’, ‘පමාධිපත්‍ය’ නියෝජනය කරන තැනට ගෙන ඒමෙනි. එසේ කළ හැක්කේ අද පවතින හුදකලා භාවයෙන් නිදහස් වීමට ජනතාවට ඉඩ සැලසෙන පරිදි, තම ප්‍රදේශ වල සංවර්ධනය ගැන තීන්දු ගැනීමේ බලය සහිත ජනතා සංවිධාන වලට අවස්ථාව සැලසීමෙනි.

බල කේන්ද්‍රය විමධ්‍යගත කිරීම

එහි දී ප්‍රාරම්භක ලෙස පළමුව කළ යුත්තේ ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික ප්‍රශ්නය වන, පවත්නා කේන්ද්‍රීය පරිපාලන බලය බෙදාහදා ගැනීමේ දැවෙන අවශ්‍යතාවයට නිසි පිලිතුරක් දීමට ඉදිරිපත් වීමය. පලාත් සභා ක්‍රමය ක්‍රියාත්මක කිරීමේ දී පවතින දැවැන්ත අඩුපාඩුව වන ඉඩම් බලතල, පලාත් සභාවලට පැවරීම, ගොවි ජනතාවගේ තීන්දු ගැනීමේ බලය ශක්තිමත් කිරීමේ දී ප්‍රාථමික අවශ්‍යතාවයක් වන්නේ ය. ඒ මගින් නිෂ්පාදනය මෙන්ම බෙදාහැරීමේ වැඩපිලිවෙල සංවිධානය කිරීමද ඒවාට පැවරීම ය. කෘෂි නිෂ්පාදනයේ අතිරික්තය කොල්ලකන ඒකාධිකාරී වෙළඳ මාෆියාවන්ගෙන් ගැලවී නිසි ප්‍රාදේශීය මූල්‍ය පරිපාලන සැලැස්මක් ඇති කරගැනීමට ඉඩ සැලසීමෙනි.

අඩුම තරමින් ඔය කියන අධිකාරීවාදයේ, වෙළද මාෆියාවන්ගේ හා පාතලයේ තිඹිරිගෙය මේ කේන්ද්‍රගත රාජය බලය ය යන්න වත් පිලිගන්නට සූදානම් අය කවුරුන් ද?

ජනතාව බල ගන්වනවා වෙනුවට විශ්‍රාමික හමුදා නිලධාරීන් ආර්ථික මර්මස්ථාන වල පිහිටුවීම විද්‍යාමාන ප්‍රජාතන්ත්‍රවාදයේත් ගෙල සිඳලීම නොවන්නේ ද? ඔවුන් හා ඔවුනගේ පිටුබලය ලබා 13 වන ව්‍යවස්ථා සංශෝධනයටත්, පලාත් සභා පනතටත් එරෙහිව විදී බස්සවා ඇති අන්තවාදී උද්ඝෝෂණය, ඒ සඳහා අවශ්‍ය ගිලටීනය සූදානම් කිරීමක් බව සක්සුදක් සේ පැහැදිලිය. මොවුන් අවශ්‍ය යයි කියන නව ව්‍යවස්ථාව යනු 13 හා පලාත් සභා නැති ව්‍යවස්ථාවක් වීම නියතය. කේන්ද්‍රීය බලයක්, එක් පාතාලයක් මර්ධනය කරන්නේ තමන්ගේම පාතාලයකට අවකාශ සැලසීම සඳහාය යන්න ඉතිහාසයේ අත්දැකීමයි.

භූමියෙන් උපදින අතිරික්තය භූමියටම

රටේ සංවර්ධනයේ මූලය වන මේ කෘෂිකාර්මික ක්ෂේත්‍රය සංවර්ධන මාවතකට යොමු කරවීම යන්න, හුදු ශිල්පීය දැනුවත්කමේ ප්‍රශ්න කිහිපයක් පමණක් නොවේ. ප්‍රජාතන්ත්‍රවාදී පිලිවෙත් මගින් ගැමි ගොවි පෙරළියක් කරමින් ආහාර නිෂ්පාදන කෘෂිකර්මය නැංවීමෙනි.

ඒ සඳහා ආහාර නිෂ්පාදන කෘෂිකර්මයේ කළ යුතු විප්ලවකාරී පරිවර්තනයන් කිරීම සම්බන්ධයෙන් වැඩපිලිවෙලක් ගැන අදහසක් ඇත්තේ කාටද? බණ්ඩාරනායකගෙන් පසු ඒ දෙස බැලුවේ කවුද?

2015 දී යහපාලන ආණ්ඩුව ඉදිරිපත් කළ සංවර්ධන සැලැස්මේ මේ පිලිබඳව වැදගත් ලෙස සැලකිය යුතු ‘පොකුරු ගම්මාන’ නම්වූ, නිෂ්පාදකයාට තීන්දු ගැනීමේ බලය පැවරෙන ක්‍රියාමාර්ගයක් අඩංගු වීය. ඒ ගැන කථා කළේවත් කවුද? අතවත් තැබීමට ඉඩක් වී ද?

බණ්ඩාරනායක ඝාතනයේ පිටුපස ඇති සාධක අතර ඔහුගේ ඉඩම් පිලිබඳ ප්‍රතිපත්තිය ප්‍රමුඛ තැනක් ගත්තේ ය. ඒ සැම විටම මේ භූමියෙන් අතිරික්තයක් ඉපයීම පිලිබඳ සැලැස්මක් ඉදිරිපත් විය. එම අතිරික්තය ක්ෂේත්‍රයේ වෘධියට අවශ්‍ය ප්‍රාග්ධන සම්පාදනයට අවකාශ සැලසෙන අයුරු විශේෂිත බැංකු ක්‍රමයක් ඇති කිරීමට ද අදහස් ඉදිරිපත් විය. නමුත් අද ඒ සියල්ල වෙනුවට භූමිය සංවර්ධනය ප්‍රදේශයේ ගොවියාගේ මැදහත්වීමෙන් තොරව, ඔවුන්ගේ ප්‍රමුඛත්වය නොතකා ව්‍යාප්ත කිරීමට කටයුතු සිදු වෙයි. සුපුරුදු පරිදි මේ ආණ්ඩුව විසින් කරමින් යන්නේ, ගමේ අතිරික්තය සූරාකන මහා පරිමාන අතරමැදි කෘෂි ව්‍යාපාරිකයන් ශක්තිමත් කිරීම ය. ගොවියා උපදවන අතිරික්තය සූරාකන මොවුන්ගේ ප්‍රාග්ධන සංකේන්ද්‍රණයට ඉඩ සැලසීම ය. අන්තිම වශයෙන් ගොවියා කුලියට වැඩ කරන්නවුන් බවට පත් කිරීම ය. එය දේශීය නිෂ්පාදනය දියුණු කිරීමක් නොව, ගෝලීය ධනවාදයේ ඉඩම් විප්ලවයට ඉඩ සලසා දීමයි.

‘අවශේෂ කැලෑ’ ලෙස නම් කර හෙක්ටෙයාර් දස දහස් ගණනක් වනාන්තර ‘සංවර්ධනය’ සඳහා යොදා ගැනීමේ අයිතිය ප්‍රාදේශීය ලේකම්වරුන් වෙත යලි පැවරීම පිටුපස ඇත්තේ, මහා පරිමාන ප්‍රාග්ධනයට දඩබිම් බවට ගොවීන්ගේ භූමිය පත් කිරීම ය. එක් උදාහරණයක් ලෙස සිරකරු සුබසාධනයේ ආවරණයෙන් නිශ්ශංක සේනාධිපතිට බඩ ඉරිඟු වගා කිරීමට මෙවන් ඉඩම් අක්කර 40,000 ලබා දීමට යන බවට වාර්තා වූ අතර, මේ වන විටත් අක්කර 5,000 ලබා දී තිබීම පෙන්වන්නේ උක්ත පියවර ගමන් කරන දිසාවයි. තවත් උදාහරණ ගණනාවකි.

දැන් මේ කැලෑ වල විසූ වන සතුන්ට හා අසබඩ ගම් වල වෙසෙන ගොවියන්ට සිදුවන විනාශය ගැන වගකියන්නේ කවුද?

රාජය ප්‍රජාතන්ත්‍රීයකරණය කිරීම

මේ රාජ්‍ය හා ආණ්ඩුව එක්ව ගෙන යන ප්‍රජා හා ප්‍රජාතන්ත්‍ර විරෝධී පාලනය, පුළුල්ම ජනතාවට සෙත සැලසෙන පරිදි සමාජ, ආර්ථික පර්වර්තනයන් කිරීමට සුදුසු, සූදානම් තැනකට ගෙන ඒමේ අභියෝගය ඉතා බරපතලය. ඒ සදහා ඉහත කී සමාජ-ආර්ථික කටයුතු දිසාවෙන් ජන මතයේ විප්ලවකාරී පරිවර්තනයක් යලි අවශ්‍ය වේ. මේ පාලකයන්ගේ ආදිකල්පික සංස්කෘතික ලක්ෂණ ජනසමාජයේ වෘධිය සඳහා කිසිසේත් සුදුසු නොවීම පැහැදිලි විය යුතුය. මේ පාලකයන් කවරදාක වත් රටේ ජන සමාජයේ පවතින ජාතික, ආගමික හා සංස්කෘතික විවිධත්වය සලකා සැකසෙන සැබෑ සමාජ-ආර්ථික වෘධියක් වෙනුවෙන් පවතින්නක් නොවන්නේමය. අද පවතින රජය රටේ බහුතර ජනතාවට ඉහලින් පවත්නා හුදු මර්ධනකාරී පංති රාජ්‍යයකටත් වඩා, ෆැසිස්ට් පන්නයේ වියරුවක් නියෝජනය කරන බව පැහැදිලි කරුණකි. මේ තත්ත්වය ආණ්ඩුවේම සමහර කොටස් වලට ඔරොත්තු නොදෙන්නට ද ඉඩ ඇත. නමුත් පවතින විපක්ෂයේ අප්‍රබුද්ධ බව, ආණ්ඩුවේ ප්‍රතිවිරෝධයන් ඇති උවත් ඒවා ඉක්මනින් එලියට ගැනීමට සමත් බවක් නොපෙනෙයි.

මේ මර්ධනකාරී පිලිවෙත් සමඟ එකතුවන ආර්ථික අහේනියත්, ජන ජීවිතය වියවුල් වන මට්ටමට විදෙස් ප්‍රාග්ධනයට යටවීමට සිදුවීමත් නිසා, ජනතාව අතරින් මෙන්ම කම්කරු පංතිය තුලින් ද විරෝධයන් ඇති වීම කාලය පිලිබද ප්‍රශ්නයක් පමණක් වීමට ඉඩ තිබේ.

මහජනයාගේ ප්‍රශ්නවලින් ඈත්ව වෙනම ලොවක ජිවත් වන මෙවැන්නවුන් හඩක් නැතියවුන්ට වඩා නිෂ්ප්‍රයෝජන මිනිස්සු වෙති.

මෙහි දී විශේෂයෙන් පවතින පාර්ලිමේන්තු නියෝජනය පිලිබදව ඇති විය හැකි කලකිරීම ජනතාව කුප්පන්නට ඉඩ තිබේ. ලෙනින් ගැන නොදන්නවා වුවත්, මොක නැතත් මේ යන විදියට ලංකාවේ පාර්ලිමේන්තුව නම් ‘ඌරු කොටුවකැයි’ ඔවුන් ඉක්මනින්ම නිගමනය කිරීමට ඉඩ තිබේ. අප කුඩා කල පන්සල් වල තියෙන වාර්ෂික සල්පිල් වලදී ‘කජු මුල’ කැයි වෙන්දේසි කරන පාර්සලය තරුණයන් පොරකමින් ලන්සු තබා ලොකු මිලකට මිලදී ගනු දැක ඇත්තෙමු. ඒ එය තම මිතුරියන්ට තෑගි දීමේ බලාපොරොත්තුවෙනි. නමුත් පාර්සලය ගෙන බැලූ කල එහි ඇත්තේ කජු මද නොව කජු ගසක මුල් කැබැල්ලකි. එතැනදී ලජ්ජා වී විහිලුවෙන් කාරණය හමාර කෙරුනද, දිගින් දිගට සිදුවන තමන් පත් කළ මන්ත්‍රීන්ගේ එවන් ක්‍රියාවන් සැමදා ඉවසා සිටින්නේ කෙසේ ද?

මිනිසුන්ගේ සමාන අයිතීන් ගැන කෙතෙක් නම් කීවද, දේශපාලන අයිතිවාසිකම් අහිමි වූ, සමාන දේශපාලන අයිතිවාසිකම් ක්‍රියාත්මක කල නොහැකි, නිරන්තර රැවටිල්ල උරුම කරගත්, ජනතාවක් පිලිබද ඉතාම අශෝබන යුගයක් අපි මෙසේ ගත කරමින් සිටිමු.

දැන් ප්‍රජාතන්ත්‍රවාදී පදනම මත සමාජ-ආර්ථික යටිව්‍යූහයේ කැකෑරෙන මේ මූළධර්මාත්මක පරිවර්තනයන් නොකර, අධිව්‍යූහයේ ධරණීය ප්‍රජාතන්ත්‍රවාදයක් ගැන කතා කිරීම පන්චේන්ද්‍රියයන්ට පමණක් සීමා වන දැනුමේ ඵලයකි. සැබැවින්ම මේ විටින් විට නැගෙන හා වැටෙන මතුපිට ප්‍රජාතන්ත්‍රීය ලක්ෂණ තිබෙන්නේ ද ජාතික සාධක මත නොව, ඒවා ඉක්මවන ජාත්‍යන්තර කම්කරු පංතිය ප්‍රමුඛ ප්‍රජාතන්ත්‍රීය බලවේගයන්ගන් එල්ලවන සමාජ ආර්ථික බලපෑම් පදනම්ව ය. 

ලංකාවේ පංති අරගලය ඉක්මවා සමාජ අරගලය තීරණාත්මක තැනට පැමිණියේ මේ සත්‍ය නොදකින දේශපාලන අනුවනකම් නිසා ය. ලංකාවේ අධිකාරීවාදය හෝ ප්‍රජාතන්ත්‍රවාදය පදනම් වන්නේ මේ මූලික ප්‍රශ්න සම්බන්ධයෙන් පාලක පැලැන්තීන්ගේත්, ඔවුන්ගේ මතවාදයන් ජන සමාජයේ බහුතරය මත ඇති කරන තෙරපීමේ ස්වාභාවයත් මත ය. රාජ්‍ය බලය කොළඹ කෙන්ද්‍රීය විය යුතු ද නැතිනම් ජාතිකත්ව, භූගෝලීය හා නිෂ්පාදන ක්‍රියාවලියේ විවිධත්වයන් අනුව බෙදා හැරිය යුතුද යන්න මත ය.

ග්‍රීක ප්‍රජාතන්ත්‍රවාදය

සැබැවින්ම නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය ගැන අතීතයේ දී පවා මෙවන් තත්ත්වයන් ඇතිවීම පිළිබඳව සලකා තීරණ ගෙන තිබේ. ඒ සඳහා මෙයට සියවස් 25 කට පමණ පෙර ග්‍රීක ප්‍රජාතන්ත්‍රවාදයේ අත්දැකීම් හා යොදාගත් විසදුම් දැකීම ප්‍රයෝජනවත් වෙතැයි සිතේ.

එදා ප්‍රජාතන්ත්‍රවාදය ගැන ප්ලේටෝ කීවේ, ‘ප්‍රජාතන්‍ත්‍රවාදය සෑම මිනිසාම, ඔවුන් එකිනෙකාට සමවූවත් නැතත් සම හැටියට සලකයි’ යනුවෙනි. උපත හා ධනය අතින් සමාන නොවූවත් දේශපාලනමය වශයෙන්

උනුන් සම වීමට ඇති අයිතිය පිළිබද සංකල්පය ග්‍රීක ප්‍රජාතන්ත්‍රවාදයේ ශ්‍රේෂ්ඨතම දායාදයකි. මේ අදහස වංශවතුන්ගේ බලය තහවුරු වීමට පහර දුන්නේ ය. එහි දී ‘නීතිය හමුවේ සැමගේ සමතාවය’ ද ‘නිදහසේ’ කැපී පෙනෙන අංගයක් ලෙස කථන නිදහස ද සැලකිනි. ප්‍රජාතන්ත්‍රවාදයේ දක්නට ඇති සමතාවය පිළිබද සංකල්පය සමඟ මේ කථා කිරීමේ නිදහස පිලිබඳ සම අයිතිය සමානුපාතික ය.

“බැදුම්වලින් මිදුණු දිව ඇතිව ඔවුහු වෙසෙත්, ඔවුන්ගේ නිවස අර පෙනෙන කීර්තිමත් ඇතන්ස් පුරයයි.” යන්න ග්‍රීක නාට්‍යයක චරිතයක් කියන දෙබසක එයි.

ග්‍රීක ප්‍රජාතන්ත්‍රවාදය ඍජු ප්‍රජාතන්ත්‍රවාදයක් විය. විවාදයට හා තීරණ ගැනීමට අවශ්‍ය කටයුතු සංසන්දනයට හා මහජනතාවගේ කැමැත්ත තීරණය කිරීමට, අවුරුද්දකට තෝරා ගනු ලැබූ නියෝජිතයන් 500 දෙනෙකුගේ පිරිසක් විය. මේ පිරිසට පන්සිය දෙනාගේ මණ්ඩලය යයි කියනු ලැබේ. මේ සංඛ්‍යාව සෑදුනේ ජන පර්ෂද (ගෝත්‍ර) දහයෙන් එක් එක් පර්ෂධයෙන් පනස් දෙනා බැගින් රැගෙනයි. මෙහි දී ප්‍රාදේශීය බෙදීම් ද සැලකිල්ලට ගෙන ඇත. ඒ ඒ පර්ෂධයේ පනස් දෙනා නිලතල දැරුවේ අවුරුද්දකින් දහයෙන් පංගුවකට වන කාලයකට අතර, අවුරුද්දේ රැස්වන හැම දිනකටම සභාපතිවරයා වෙනස් විය. එහි නියෝජිතයන් තෝරාගනු ලැබුවේ ඡන්දයෙන් නොව දාදු දැමීම (not by vote, but by draw of lots) මගිනි. මේ ක්‍රමය ගැන සඳහන් කරන ඇරිස්ටෝටල්, ප්‍රජාතන්ත්‍රවාදයට වඩාත් උචිත එය වන බව සදහන් කරයි. ඊට හේතුව සැමගේම සමතාවය එයින් පිළිගැනෙන බැවිනි. ඡන්ද ප්‍රකාශ කිරීමේ ක්‍රමය වඩාත් සුදුසු වන්නේ වංශවතුන්ගේ පාලනය ඇති ක්‍රමයකට යැයි ඔහු පවසයි.

නමුත් ඍජු ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක කිරීම වැඩි දුරටත් අපහසු වූ පසුකාලයේ දී, එය අප වර්තමානයේ දක්නා පාර්ලිමේන්තුවේ ස්වරූපයට පරිවර්තනය විය. ඒ සමඟම එය අනුක්‍රමයෙන් මහජනතාවගෙන් වෙන්වී බලයෙන් හා ආටෝප බවින් ආඨ්‍ය වූවක් බවට පත් විය.

තවද නිලය දැරිය හැකි කාලය දැඩි ලෙස සීමාවීම නිසා තමන් නියෝජනය කරන මහජනයාගේ බලය අයුතු ලෙස ප්‍රයෝජනයට ගැනීම වළක්වනු ලැබිනි. එමෙන්ම ඇතන්ස්හි පැවති මෙම තෝරාගැනීමේ ක්‍රමය කිසිවකුට නොකඩවා දිගු කලක් සේවය කිරීමට හැකියාව නැති කළ අතර, අද අපගේ දේශපාලනයේ මුල් බැස පවත්නා දේශපාලන නියෝජිත භාවය සිය වෘත්තියක් කර ගැනීමට ඇති ප්‍රස්තාවට ද මඟ ඇවිරිණි.

තවද නිලතල දැරිය හැකි කෙටි කාලය නිසා ප්‍රජාතන්ත්‍ර විරෝධී ලෙස මේ නියෝජිතයින් තුළ ‘බලය එක් රැස්වීම’ වැලැක්වුනු අතර දිළිදුම පුරවැසියාට පවා, අවුරුද්දකට නියෝජිතයෙකු වීමට පමණක් නොව,  දවසකට සභාපති වීමට පවා අවස්ථාව උදා විය.

මේ ‘පනසිය දෙනාගේ’ මණ්ඩලයේ සාමාජිකයෙකු වශයෙන් ධූරයක් දැරීමට අදාලව ඇතීනියානු ප්‍රජාතන්ත්‍රවාදයේ ‘ඩොකිමාසියා’ නැමැති ආයතනයක් පැවතී තිබේ. මෙබදු ආයතනයක් නූතන ලෝකයේ ප්‍රජාතන්ත්‍රවාද වල නොමැති කම වරදකැයි සමහර විචාරකයන්ගේ මතයයි. මන්ද යත් මේ ‘ඩොකිමාසියා’ සංකල්පය වනාහී රජයේ නිලතල දැරීමට අපේක්ෂා කරන සියල්ලවුන් සම්බන්ධව ඔවුන් නිලතල වලට පත් වීමට පෙරාතුව ඔවුන්ගේ චරිතය හා ප්‍රසිද්ධ වාර්තා සම්බන්ධව කැරෙන කිට්ටු හා පුළුල් සෝදිසියයි. මෙහි අභිප්‍රාය ඉතා පැහැදිලියි. තව ද මෙය ඉතා සුදුසු වන්නා සේම එම සෝදිසිය කෙරුණේ අන් කවරකු හෝ විසින් නොව ඊට පෙරාතුව නිලතල අත්හරින්නා වූ නියෝජිතයන් විසිනි.

මාණ්ඩලිකයන් හා නිලධාරීන් පරීක්ෂණයකට ලක් කෙරුණේ නිලයකට පත් වන විට පමණක් නොවේ. එයින් ඉවත් වන විටද එවැන්නක් විය. මේ පරීක්ෂණයට ‘එව්තුනේ’ යැයි කියන ලද අතර මෙහි දී නිලධාරීන් තිස් දෙනෙකුගෙන් යුත් මණ්ඩලයක් විසින් මොවුන්ගේ ක්‍රියා පටිපාටිය හා ගණන් හිලව් ගැන සවිස්තර පිරික්සුමක් කරන ලදී. මේ නිලධාරීන් තෘප්තියට පත් විණි නම්, ඉවත්ව යන මාණ්ඩලිකයාට හෝ නිලධාරීයාට එසේ තනතුර හැර යන්නට ඉඩ දෙන්නැයි යන නිර්දේශය සමග ඔහු මහජන අධිකරණයක් හමුවට යවන ලදී. එසේ වුව ද මේ අවස්ථාවේදී ඕනෑ ම පුරවැසියකුට අසවල් මාණ්ඩලිකයාට හෝ නිලධාරීයාට සිය තනතුරින් නිරුපද්‍රිතව ඉවත් වීමට ඉඩ නොදිය යුතු යයි යනුවෙන් හේතු දැක්විය හැකි වූ අතර, අපචාර පිළිබද සාක්ෂ්‍ය වුවහොත් ඒ කරුණ නඩු විභාගයක් සදහා අධිකරණයට ඉදිරිපත් කරන ලදී. විශ්‍රාම යන මාණ්ඩලිකයාට, නිලධාරියාට හෝ මහජන සේවකයාට විරුද්ධව චෝදනා ඉදිරිපත් කිරීමට ඕනෑම පුරවැසියෙකුට අවස්ථාව දෙන ලද අතර, පුද්ගලික වැරදි ක්‍රියා ද චෝදනාවක් වීමට හැකි විය.

මහජන නිලතල දැරූ තැනැත්තන්ට මුදල් ගෙවීම කෙරිනි. මෙය ඉතා සුළු මුදලක් වූ අතර එමගින් නියත වශයෙන්ම දිළිදු මිනිසුන්ට ජීවිකාව සදහා වෙනත් කටයුතු වල නොයෙදී ප්‍රජාතන්ත්‍රවාදයේ පරිපාලන කටයුතු වල නියුතු වන්නට හැකි විය. 

(අදටත් අතිශයින් වැදගත් වන ග්‍රීක ප්‍රජාතන්ත්‍රවාදය ගැන මේ තොරතුරු සදහා මර්ලින් පීරිස් හා ඥානසිරි ගුණරත්න ගේ ‘ග්‍රීක ප්‍රජාතන්තුවාදයේ පැතිකඩ’ කෘතියට ණය ගැති වෙමු)

රණත් කුමාරසිංහ

You may also like...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.