බුදු බණ සහ මිථ්‍යාව
බුදුන් විසින් මිනිසුන් හැර වෙනත් නොපෙනෙන දේව, භූත ආදීන්ට පවා කථා කළ බව, තවමත් බොදු දහම අදහන සමහර උදවියත් කියනවා. නමුත් ඇත්ත වශයෙන් සිදු වුනේ එයට විරුද්ධ දෙයක්.
බුදුන්ගේ කාලය වන විට දේව, යක්ඛ, පෙරේත ආදීන් ගැන විවිධ මත තිබුණ. මේ වැරදි අදහස් වලට නිසි පිළිතුරු දීල, ඇත්ත ඇති සැටියෙන් පිහිටුවීමට බුදුන් පියවර ගත්තා.
එදා කල පමණක් නොවෙයි, මෑතක් දක්වා මිනිසා එකම මිනිසත්කමකට අයත් බවත්, එකම මිනිස් දැනුමක් ඇති බවත් එවන් වෙනත් සත්ත්වය විශේෂයක් නැති බවත් විද්‍යාවෙන් දක්වන කල් මිනිසාව බෙදා වෙන් කිරීම තිබුන.
නීග්‍රොයිඩයන් ලෙස කළු මිනිසාත්, කොකේසයිඩ් ලෙස සුදු මිනිසාත්, මොන්ගොලොයිඩ් ලෙස කහපාට මිනිසුනුත් වර්ග ලෙස බෙදීම තවමත් සිත් තුළින් බැහැර වී නෑ.
ඒත් එදා මේ වෙනස්කම යට කරල සෑම මිනිසෙකුටම බුදු බණ වටහාගන්න හැකි බවත්, එයට ප්‍රඥාව තිබෙන බවත් පෙන්වා දුන්නා.
එදා දෙවියන් යක්ෂයින් වූයේ කවරුන්ද?
එදා මිනිසා බෙදා තිබුණේ ඉන්දු ශිෂ්ඨාචාරය තුළ දෙවියන්, මිනිසුන්, යක්ෂයින් ආදී ලෙසටයි. දෙවියන් වුනේ මැද පෙරදිග සිරියානු අධිරාජ්‍යයට සම්බන්ධ වූ මිනිසුන්. ඒ අය ඒ වන විට ඉන්දියාවේ කොටසකටත් බලය පතුරුවා සිටි බලවත් අධිරාජ්‍යයක්. සක්විති රජුන් වුනේ මේ අධිරාජ්‍යයේ බලවතා. දෙව් ලොව යන බව පවසා බුදුන් වැඩම කළේ ඒ අසිරිමත් සිරියානු රජයේ මහා නගරයටයි. එදා භාවිතා කළ නම් වලින් ඔවුන් හැදින්වූවත් බුදුන් මේ මිනිසුන් වටහාගෙන බණ දේශනා කළා.
ඉන්දියාව තුළ ආර්යයන් හා යක්ඛ කියන ගෝත්‍රයන් තිබුණත් මේ සැම, මිනිසුන් ලෙස සමානව හදුන්වා දීමට බුදුන් ක්‍රියා කළා. ඒ අය ඒ ඒ නම් වලින් හැදින්වුවත් එකම වර්ගයක් බව බුදුන් හෙලි කළා.
යක්කු ලෙසට සැළකුවේ ද්‍රවිඩ මිනිස් වර්ගයා, ඉන්දියාවේ පහල සහ ලංකාව තුළ විසිරී සිටියා. ලංකාවටත් තුන් සැරයක් බුදුන් වැඩම කර ද්‍රවිඩයන් අවදි කළා.
නාගයින් ලෙස එදා හැදින්වූයේ යුදෙව් හා අරාබිවරු. ඒ අය නාවිකයන් නිසා නාග නමින් හැදින්වුනා. එදා නාගයන් ලෙස නැවියන් සිටි බව අද දේශනා වලින් සමහර හාමුදුරුවරු පවා පෙන්නනවා. මේ අය මිනිසුන්. එදා ගෝත්‍ර යෙදුම තමා ඔය විදියට යුදෙව්වෝ නාගයෝ කියලා කියන්නේ.
මේ විදියට බලනකොට බුදුන් එදා මිනිස්සුන් එකම වහලක් යටට ගේන්න දේශනා කළා. විවිධ නම් වලින් පෙනී සිටින මිනිස් වර්ගයා එකම මිනිස් වර්ගයක් බවත්, බුදු බණ අසා එය වටහා ගන්නේ ඒ මිනිසාම බව තමා බුදුන් හෙලිකළේ.
එදත් දේව, ආර්ය, යක්ඛ ආදී වශයෙන් පෙනී සිටි සෑම මිනිසකුටම මේ ලෝක සත්‍ය දැනුම උන් වහන්සේ හෙලි කළා.
හේමවත හා සාතාගිරි යන දෙමළ සෙනවියන් දෙදෙනෙක් බණ අසා ඒවා සාකච්ඡා කිරීමේදී කාලි නම් තරුණියක් ඒ සාකච්ඡාව අසා සිට සෝවාන් වුන බව කියනවා. ඒ අනුව දෙමළ ජනතාව අතරටත් බුදුබන එකල්හි දී ම ගිය බව කියන්න පුළුවන්.
මේ විදියට විවිධ මනුස්ස කොටස් විවිධ පළාත් වලදී හමුවෙලා බුදු බණ අහලා ඇත්ත දැනගත් බව අපට පැහැදිළියි. ඒ අනුව බුදුන් දේශනා කළ මගධ පාලි යන බස ඒ ඒ රටවල් වල පැතිරුණු පොදු බාසාවන් බව අපට පිළිගන්න වෙනවා.
හින්දු ආගම ඉහලට ගෙන ගිය බුදුන්
ඒ නිසා බුදු දහම හින්දු ආගමේ අවසාන අදියර හැටියට ජවහල්ලාර් නේරු තුමා පිළිගැන්මෙන් මෙය තවදුරටත් තහවුරු වෙනවා. ඇත්තටම හින්දු ආගම දෙව් හා මාර යක්ෂ ආදීන් හදුන්වන ආගමක්. එය ඉහලම තලයට බුදුන් ගෙන ගියේ විශාල වෙනසක් ඇතිකරමිනුයි.
හින්දු ආගම තුළ තිබුණ විවිධ දෙවියන්, හොල්මන්, යක්කුන් හා පෙරේතයන් ආදීන් ගැන මත ඉවත් කරමින් නව පරාසයකට හින්දු ආගම ගෙන යන්නට බුදුන් වහන්සේ ක්‍රියා කළා.
බුදුන් දේව මනුස්සානං කිව්වේ මිනිසා තුළ ඉහල පහල බෙදීමක් තුළ ඒ දෙගොල්ලන්ගෙම විමුක්තිය උදා කළ යුතු නිසා හා එය එසේ ම වුන නිසයි.
එහෙම නැතුව අද්භූත ලෙස විවිධ නොපෙනෙන භූතයන් ලෝකය තුළ පවතින්නේ ය යන බොරුව ඉදිරියට ගෙනයාමට නොවෙයි.
ප්‍රඥාවන්ත මිනිසාට දැනුම තුළින් සතුට සැනසීම කරා යා හැකි බවත්, එය කළ හැක්කේ මිනිසුන්ට පමණක් බවත් හැම තැනම යමින් බුදුන් වදාලේ, බොරුවෙන් මිථ්‍යාවෙන් දුක් සයුරේ ගිළුන මිනිසා බේරාගැනීමට යි.
මහාචාර්ය වික්‍රමබාහු කරුණාරත්න