අවිහිංසාව හා ගව ඝාතනය

Man Cattle Animals Cows Bulls  - Herriest / Pixabay
Herriest / Pixabay

මේ දවස් වල ගව ඝාතන නැවැත්වීම සඳහා නැවත අරගලයක් ඇවිත් තිබෙනවා. මෙය කලක ඉදල තිබෙන උද්ඝෝෂණයක්.

එදා ධර්මපාල උන්නැහෙලාගෙ ජාතික සටන තුළත් මෙය ලාවට හරි තිබුණ. හාමුදුරුවරුන් වරින් වර කල එලි බහිනවා, මෙයට මඟ පෙන්වීමට.

ඇත්ත, බුදුන් වහන්සේ ගව ඝාතනයට විරුද්ධයි. එපමණක් නොවේ, උන්වසන්සේ පන තිබෙන කිසිම සතෙකුට හානි කිරීම වැරදියි, එපා කියල කිව්ව.

පංච ශීලයෙත් ප්‍රධානතම ශීලය තමා ඝාතනයෙන් ඉවත් වීම.

අවුරුදු 3000 කට පෙර, සීලාචාරය ඇරඹුන දිනය සිටම මේ මහා නියෝගය පැනවීමෙන් බුදුන් ලෝකයේ සෑම ප්‍රාණියාටම ආවරණය දුන් මහා මිනිසකු බවට පත් වෙනවා.

මිනිසාට උන්වහන්සේ දේශනා කළේ, කිසිම ප්‍රාණියෙක් පමණක් නොව, ජීවත් වන ගස් කොලක් පවා රැකිය යුතුයි කියල.

එහෙත් ජීවත් වීම සඳහා ගස් කොලන්, සත්තු මගින් මිනිසාට යම් යම් දේ ලබාගත යුතු බවටත් පැහැදිළිව එකඟ වුනා.

ගසක් නැති කිරීම, එනම් වෛරයෙන් කරනා දෙයකින් නම් එලෙසට පාපයක් බවට පත් වෙනවා. සතෙක් මරණ විට ඊට වඩා දරුණු සිතකින් කළ යුතු වැඩක් හැටියට අපි පිළිගත යුතුයි.

හරක් මැරීම මෙන්ම හරක් නොවන වෙනත් සතුන් මැරීමේදීත් වඩා වෛරක්කාර, දැඩි සිත් තුළින් කළ යුතු වැඩක්. අනුකම්පා විරහිත වැඩක්. ඒ නිසා එය පළමු ශික්ෂා පදයට දමල තියෙනවා.

එතකොට ඇයි මේ ගව ඝාතනය ගැන විතරක් වේදනාවක්, කම්පාවක් ඇති කරගෙන පාරට බහින්නෙ කියල යම් ප්‍රශ්නයක් තියෙනවා.

ඇයි එළුවා, කුකුලා ආදී සතුන් ගැන වෙනසක් කරන්නේ?

ඇත්තටම මාළුවො මරණ එකත් මෙයට එකතු කළ යුතුයි. පන තියෙන සතුන් හැම කෙනෙක් ගැනම හිතන්න වෙනවා.

වඩා දැන නුවන ඇති සතුන් මැරීම, ගහක් කොළයක් කඩා දමනවාට වඩා බර හැගීම් තුළින් කළ යුතුයි කිව්වොත් ඒක ඇත්ත.

කොහොමටත් දැඩි වේගයක් අරගෙන මේ උදවියගෙන් ගව ඝාතනයට මේ ලෙසට වරින් වර බලපෑම් එන්නේ වෙනත් කාරණයක් තුළින් කියල සමහරු තර්ක කරනවා.

ලංකාවේ ප්‍රාදේශීය ගව පාලනය

මොකද ලංකාවෙ හරක් ඇති කිරීම සිංහල දෙමළ ගම්බද සමාජයට පුරුදු වැඩපිළිවෙලක්.

ලංකාවේ සිටින සිංහල, දෙමළ හැම ගම් වලම සතුන් ඇති කිරීම කරන අතර, ගව පාලනය පාරම්පරිකව එන වැඩපිළිවෙලක්.

හැබැයි හරක් මැරීම සඳහා එදා සිටම සිටියේ මුස්ලිම් උදවිය. ඒ අය සමහරු තම රක්ෂාව හැටියටම ගව පාලනය සමඟ ගව මස් වෙළදාමත් කරගෙන ඇවිත් තිබෙනවා.

සිංහල, දෙමළ ගම් වල ඉන්න වයස් ගත හරක් එකතු කරගෙන, ඒ ගවයන් මරා වෙළදාම් කිරීම මුස්ලිම් අයගෙන් කෙරෙන්නේ.

එය ඉතා ලොකු උදව්වක් සිංහල, දෙමළ ගව පාලනය කරන ගම්මුන්ට. එහෙම තිබියදී ගව ඝාතනය නැවැත්වීමට කථා කිරීම ප්‍රශ්නයක්.

මේක සිංහල ගම් වලටත් තදින් බලපානවා. වයස් ගත හරක් ගම් වල සිටීම ගම්මුන්ට බරක් වෙන නිසා.

එතකොට ඒ අය අසන ප්‍රශ්නය තමා, “ඇයි එළුවො, කුකුල්ලු, මාළුවො ආදී සතුන් මරා කෑම ගැන ප්‍රශ්නයක් නැත්තේ?” කියල. ඒ සතුන් සිංහල, දෙමළ අයත් මරා දමන නිසා ද ප්‍රශ්නයක් ලෙසට සළකන්නේ නැත්තේ?

එතකොට මේ ගව ඝාතන නැවැත්වීමට බල කරන ව්‍යාපාරය සාධාරණ ව්‍යාපාරයක් නොවෙයි කියල හිතන්න පුළුවන්.

මේක තුළ හරක් මැරීම පමණක් වැරදි ඇයි කියන ප්‍රශ්නයට නිසි පිළිතුරක් උවමනායි.

ගව ප්‍රේමය ද? මුස්ලිම් විරෝධය ද?

එහෙම බලනකොට පහසුවෙන් පෙනෙන්නේ හරකුන් ඇති කරන්නේ ගම් වල සිංහල, දෙමළ අය වුනත්, හරක් මැරීම හා මස් විකිණීම කරන්නේ මුස්ලිම් උදවිය බවයි.

එතකොට මෙය ලංකාවේ මුස්ලිම් මිනිසාට පහර ගැසීමට, ජීවිත අඩාල කිරීම උදෙසා ගෙනයන හඬක් කියල අපට කියන්න වෙනවා.

හරක් මස් කෑම ගැන සිංහල උදවිය අතර විරුද්ධත්වයක් හැදීමට ව්‍යාපාරයක් මේ සමඟම යනවා.

ඒත් හුඟක් දොස්තරවරු කියන්නේ ගවමස් ඉතා හොඳ ආහාරයක් බවයි. දරුවන්ගේ මොළය වැඩීමට උර දෙන කෑමක් කියල ඒ ඇත්තො විද්‍යා ඇසෙන් බලා කියනවා. මේ නිසා මෙය සිංහලයන් අතර පළහිලව්වක් වෙලත් තියෙනවා.

හරක් මැරීම වළක්වාලීමට ගෙනයන මේ ගෝසාව මුස්ලිම් මිනිස්සුන්ට විරුද්ධව කරන ජාතිවාදී ව්‍යාපාරයක් කියල දැන් බොහෝ දෙනෙක් කථා කරන්න පටන් අරන්. ලාබෙට ලැබෙන හරක් මස් වල ගුණය ඇති වෙන කිසිම කෑමක් නෑ කියල ඒ අය කියනවා.

මේ අනුව සිංහල දරුවන්ගේ මොළේ වැඩීම විනාශ කිරීමට ගෙනෙන ගොන් තප්පුලෑමක් ලෙසට මේ ගව ඝාතන නැවැත්නීමේ ව්‍යාපාරය සමහරු සළකන්න පටන් අරගෙන.

යථාවාදී බුදු දහම

බොරුවට ආගම් තුළ නොතිබෙන බන අරගෙන විවිධ තහංචි දැමීමට බලවේග දියත් කිරීම බුදු දහමට අනුකූල නෑ.

බුදුන් පන නැසීමට විරුද්ධ වුනා. එය පළමු ශික්ෂා පදය බවටත් පත් කළා. ඒත් උන්වහන්සේ මස් මාළු ආහාරයට ලැබෙන විට ඒවා පිළිකෙව් කළේ නෑ. ඌරු මස් වුනත් ආහාරයට ගත් බව කවුරුත් දන්නවා. එසේම සතුන් මැරීමේ වරද ගැනත් තදින්ම පෙන්වා දුන්නා.

බුදුන්වහන්සේ චේතනාව කර්මය ලෙසට හැදින්වූ නිසා ක්‍රියාවක් මුල් කරල විවිධ බොරු නිගමනයන්ට එළඹීම වැරදි බවයි අප දැනගත යුතු වන්නේ.

බුදුන් වදාල දහම ඉතාම යථාවාදීයි. එය ඇත්ත ඇති සැටියෙන් පෙන්වනවා.

ඇත්ත වහල වෙන දෙයක් ඇත්ත ලෙසට පෙන්වීමට යාමෙන් විසාල විනාසයන් ඇති වෙන්නට පුළුවන්.

උන්වහන්සේ තර්කයෙන් පමණක් යමක් සොයා බැලුවේ නෑ. විශ්වයට අදාල ලෙසට උත්පාථ, තිථි, භංග රීතිය තුළින් සොයා බැලුවා.

යමක් ඇතිවෙයි, පවතියි, නැතිවෙයි, යලිත් ඇතිවෙයි යන විශ්ව රීතියෙන් සියලු සිදුවීම ගැන සොයා බැලිය යුතුයි.

හුදු තර්කය පමණක් යොදාගෙන කෑ කෝ ගැසීමෙන් ඇත්ත ඇති සැටියෙන් බලාගන්න බෑ. එයින් වෙන්නේ අනවශ්‍ය ගැටුම් ඇති කරගැනීමයි.

මහාචාර්ය වික්‍රමබාහු කරුණාරත්න

05.10.2020

සබැදි ලිපි

You may also like...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.