පාංශු – බබා නෝනාගේ ප්‍රඥාවලෝකනය

The Leader හි පළ වූ මෙම ලිපිය, ඔබ වෙනුවෙන් හරය මෙසේ ඉදිරිපත් කරමු.

“පාංශු” සිනමාව අපට මව්වරුන් දෙදෙනෙකු මුනගස්සවයි.  

දෙදෙනාම ප්‍රාථමික වශයෙන් සමානය. මන්දයත් දෙදෙනාම සිය දරුවා අහිමි වූ මවුන් වන බැවිනි. නමුත් වෙනස්කම් තුනක් ද තිබෙන බව පෙනේ.  

පළමුව;

එක් මවකගේ දරුවා කාන්තාවකි (රූපාවතී ගේ මව). අනෙක් මවගේ (සිංගප්පුලි ආරච්චිගේ බබා නෝනා) දරුවා පිරිමියෙකි.

මනුෂ්‍යත්වය අනුව සලකා බලන කල, යමෙකුට මෙය වෙනසක් ලෙස දැක්වීම ගැන එරෙහි විය හැකිය. මන්ද යත් දෙදෙනාම පොදු මිනිස් කුලකයට අයත් වන නිසා ය. ඒත් විවිධ අවශ්‍යතාවයන් මත අපි ‘ගැහැනු’ හා ‘පිරිමි’ ලෙස මිනිසුන් බෙදා හදුන්වා ගනිමු.  

දෙවනුව;

කාන්තාවගේ මවට ඇය අහිමි වූයේ මරණයට පත්ව සෑයක දවා අලු බවට පත් කිරීම නිසාය.

ඇගේ මරණයට හේතුව පැහැදිලිය. ඇය වෙත එල්ල වූ වෙඩි පහරක් නිසා සිරුරේ අභ්‍යන්තර ඉන්ද්‍රියයන්ට සිදුවූ හානීන් ඇයව මරණයට පත් කර තිබේ. එය ඇය විසින් තමා වෙත එල්ලකරගත් වෙඩි පහරක් නොව අන් අයකු විසින් එල්ල කරන ලද වෙඩි පහරක් නිසා එය මිනිස් ඝාතනයක් ලෙස නීති අංශ මගින් තීරණය කර තිබේ.

සිරුර අධිකරණය ඉදිරියේ තිබූ බැවින් හා මළගිය පලාත් සභා අපෙක්ෂිකාවගේ අනන්‍යතාවය ඥාතීන් හදුනාගත් නිසා සැකයට හේතුවක් නැත. අධිකරණයේ අවසරය මත ඇයව ආදාහනය කෙරිනි.

නමුත් පිරිමියාගේ මවට ඔහුව අහිමි වී ඇත්තේ කොතැනකවත් නැති නිසාය. ගෙදරත් නැත. ගමේත් නැත, දිස්ත්‍රික්කයේ තබා රටේවත් සිටී දැයි දන්නා කෙනෙක් නැත.

දන්නා එකම දේ එක් රාත්‍රියක පැමිණි කිහිප දෙනෙකු ඔහුව සුදු වෑන් රියක දමාගෙන ගිය බව පමණි. එනම් තවදුරටත් ජීවමාන ප්‍රාණකරුවෙක් ලෙස හෝ මළ සිරුරක් ලෙස හෝ ඔහු නොසිටී. එබැවින් හෙතෙමේ සිය මවට අහිමි වී ඇත්තේ ‘අතුරුදහන්’ යන ප්‍රවර්ගයට අයත් වීම නිසා ය.  

තෙවනුව; 

කාන්තාවගේ මරණයට හේතුව ඇය 1988 පලාත් සභා මැතිවරණයට තරඟ කිරීම යයි සැවොම විශ්වාස කරයි. ඇය පලාත් සභාවට තරඟ කළ බවට සාක්ෂි තිබේ. ඇය තරඟ කළේ සමාජවාදී සමගි පෙරමුණෙන් බවත්, එවකට එම පෙරමුණේ සාමාජික පක්ෂයක් වු ශ්‍රී ලංකා මහජන පක්ෂයේ සාමාජිකාවක් ව සිටි බවටත් සාක්ෂි තිබේ.

පලාත් සභා ශ්‍රී ලංකාව කැබලි වලට බෙදන්නේ ය යන ස්ථාවරය මත පිහිටා ක්‍රියා කළ දේශප්‍රේමි ජනතා ව්‍යාපාරය, එයට විරුද්ධව කැරලි ගැසූ බවටත් සාක්ෂි තිබේ.

එදා එම ව්‍යාපාරය සමග ජවිපෙ ක්‍රියා කළ බවත්, ශ්‍රී ලනිපය ද එම ස්ථාවරයම ගැනීම මඟින් මේ කැරලිකාරීත්වයට අනියම් ලෙස ශක්තිය සැපයූ බවටත් සාක්ෂි තිබේ.

ඒ අනුව එක් මවකගේ දරුවා පලාත් සභා හෙවත් මධ්‍යගත ඒකීය රාජ්‍ය බලය විමධ්‍යගත කර ජනතාවට වඩාත් පුළුල් වූ  ප්‍රජාතන්ත්‍රීය ව්‍යුහයක් භුක්ති විදීමට අවස්ථාව සැලසීම වෙනුවෙන් පෙනී සිටියාවූ කාන්තාවක් බව පැහැදිලිය.

නමුත් සිනමාව සාක්ෂි දරන්නේ අනෙක් මවගේ දරුවා වූ පිරිමියා එම දේශපාලන ප්‍රවාහයට විරුද්ධ පෙරකී කැරලිකරුවන්ගේ පාර්ශවයේ ක්‍රියාධරයෙක් වූ බවයි.

සිනමාව තම සමාප්තිය කරා පැමිනෙත්දී එය තහවුරු කරනවා පමණක් නොවේ අනෙක් මවගේ දරුවා වූ පලාත් සභා අපේක්ෂිකාවගේ ඝාතකයා ද ඔහුම වූ බවට ඉඟි කරයි.

ඒහි වැදගත්ම ජවනිකාව වන්නේ රූපාවතී මරා දැමූ දින රාත්‍රියේ යමක් වලදානු රහසින් බලා සිටි බබා නෝනා පසුව ඒ ස්ථානය හාරා එහි වල දමා තිබූ ටී 56 ගිනි අවිය රැගෙන ගොස් වැව මැද මඩ ඇතුලේ සැගවීමයි.

එම අවිය සිය ඉඩමේ වල දමා තිබී ආරක්ෂක අංශ මගින් සොයා ගැනීම සිය දරුවාට අනතුරුදායක වනු ඇති බව ඇය වහාම තක්සේරු කළේ ඔහුගේ ක්‍රියාකලාපය ගමේ සිදුවූ මේ ඝාතනයට හේතුවී ඇති බවට වටහා ගත් නිසා බව පෙනී යයි.

දැන් මෙතෙක් අප කරන ලද සාකච්ඡාව සරළය. එහි සවිස්තර තතු දැන හදුනා ගැනීමට සිනමාවක් කුමටද?

පුස්තකාල සේවා මණ්ඩලයේ ලේඛණාගාරය වෙත ගොස් යුගයේ පුවත් පත් මිටි දෙක තුනක් ගෙන පරීක්ෂා කිරීමෙන්, එකල ගතවීමෙන් පසු උපත ලද වත්මනේ තරුණ තරුණියන්ට ද මේ සිදුවීම් දැකගත හැකිය.   එසේ නම් කුමටද මේ සිනමාව? මේ සිනමාව වැදගත් වන්නේ මේ නූතන ඉතිහාසයේ යුගයක් තුලදී මාතෘත්වය මුහුණ දුන්නා වූ දැවැන්ත අර්බූදයක් අප ඉදිරියේ තබන නිසාය.

දරුවා කව්ද? තමන්ගේ දරුවා පමණක් ද දරුවා? මාතෘත්වය එපමණටම පුද්ගල තෘෂ්ණාවේ කොටසක් පමණද?

සොබාදහම පොදුවේ දී ඇති ඉඩ ප්‍රස්ථාවන්ගේ වැඩි කොටසක් තම දරුවා සන්තක කර දීම වෙනුවෙන් සටන් කිරීම ද මාතෘත්වය?

නැතිනම් තම දරුවාට වඩා කොටසක් අත්පත් කරගන්නා ගමන් අනෙකාගේ දරුවා වෙත පරාජය, විනාශය පැතීමද මාතෘත්වය?

බුදුන් ලෞකික සමාජය වෙත සැනසීම සතුට අත්පත් කරගත හැකි වන්නේ අන්‍යෝන්‍ය වශයෙන් එකිනෙකා කෙරෙහි පවතින ආකාරය අනුව බව අවධාරණයෙන් දෙසමින්, ඒ පැවැතිය යුතු ආකාරය සතර බඹ විහරණ මගින් පැහැදිලි කර දී තිබේ.

මේ සතර බඹ විහරණයෙහි ඇතුලත් පැවතුම් ඔහු වියුක්ත කොට ගන්නේ මාතෘත්වයේ යථා ස්වාභාවය තුළිනි.

මනුෂ්‍යත්වයේ මේ සමාධිය එළඹෙන්නේ විශ්ව ධාතුවෙහි අනිත්‍ය පිළිබද අවභෝධය ඔස්සේ ය. “සතර පෙරනිමිති” ඒ අවභෝධය ලැබීම දෙසට එලියක් විහිදුවන්නේ ය.  

සිනමාව මේ සාකච්ඡාවට මඟ විවර කරන්නේ ඝාතනය වූ කාන්තාවගේ මෑණියන් ගේ චර්යාව තුලිණි. ඒ තම ගැබිනි දියනියගේ ඝාතනය සම්බන්ධයෙන් ඇය අනුගමනය කරන නිසසල පිලිවෙත මඟිනි.

ඇයව ඝාතනය කළ උන්ගෙන් පලිගැනීමට හැගීමක් ඇය තුළ නැත. ඒ ඔවුන් කව්දැයි යන්න ගැන හාංකවිසියක්වත් නැති නිසා නම් නොවේ.

”මගේ දුව ඔය මල ඉලව් පලාත් සභා වලට ඉල්ලුවේ නැත්නම් ලැබෙන්න හිටිය දරුවට දැන් අවුරුදු පහක්.

එගොඩ ගොඩේ එවුන් දැන් ලජ්ජා නැතිව ඡන්ද ඉල්ලන්න යනව” ඇය කියන විට ඒ බව පැහැදිලි වෙයි.

තම දියණිය වෙඩි තැබුවේ “එගොඩ ගොඩේ එවුන්” ය. නමුත් “එගොඩ ගොඩේ එවුන්” ගෙන් පලිගැනීම වෙනුවට ඇය ඔවුන් පිළිබද පැවැත්ම ඔවුන් සමඟ වූ ගනුදෙනුව නොවෙනස්ව පවත්වාගෙන යයි.

“චේගුවේරාකාරයන්ට මොන වේලපත්කඩද?” යි බබා නෝනාව පලවා හරින චීවරධාරී පිරිමියාට වඩා ඇය මනුෂ්‍යත්වයට බොහෝ කිට්ටු බව පෙනේ.  

දැන් මේ “එගොඩ ගොඩේ උන්” යනු කවුරුන් ද? සිනමාකරුවා අපට පෙන්වා දෙන්නේ ඔවුන් “මෙගොඩ ගොඩේ” උන්ගේ “බැලමෙහෙවර” කිරීමෙන් ජිවත් වන උන් බවය.

නිදහස් අධ්‍යාපනය මඟින් මේ “එගොඩ ගොඩේ උන්”ට ත් විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලැබීමේ අවස්ථාව උදා වී තිබේ.

නමුත් ඔවුන් ඒ මඟින් හෝ ඔවුන්ට තමන් සමාජ සාධාරණත්වය ලද්දේ යයි සතුටු වීමට අවස්ථාව තවමත් සැලසී නැත.

එයට හේතුව සැමට “යුක්තිය – නිදහස – හා සමානාත්මතාවය” යන තත්කාලීන සමාජයේ පරමාදර්ශයන් භුක්ති විදීමට අවස්ථාව සැලසී නොතිබීමයි.

එනිසා “මෙගොඩ ගොඩේ” උන් භුක්ති විදිනා එකී පරමාදර්ශයන් අත්පත් කර ගැනීමේ සටනක් තමන් ඉදිරියේ පවතින්නේය යන සිහිකල්පනාවෙන් ඔවුන් නිම නොවූ ගමනක යෙදී සිටී.

එහි අරුත තමන් මේ සමාජයේ පිටස්තරයන් ලෙස පවතින බවය. තමන් පිටස්තරයන්ය යන මේ සිහිකල්පනාව ඔවුන්ව තල්ලු කරන්නේ ස්වකීයයන් හැර අන් සැම පිටස්තරයෝ ය යන ආකල්පය වෙතය.

එම ආකල්පය විශ්මිත ලෙස මුත්; තමන් සමාජ සාධාරණය ලබන්නේ මේ සමාජයේ උරුම කරුවන් බවට පත් වී, මේ පිටස්තරයන් තම “බැල මෙහෙවරකරුවන්” බවට පත් ගත් පසුව ය යන අඳුරු ආකල්පය කරා ඔවුන් ව ගෙන යයි.

ඒ අනුව තමන්ගේ සමාජ කොට්ඨාශය හැර අන් සැම පිටස්තරයන් බැවින් ඔවුන්ට පෙර කී පරමාදර්ශයන් උරුම නැත යන ඉදිරිදර්ශනය ගොඩ නගා ගනී.

එහිදී “යුක්තිය – නිදහස – හා සමානාත්මතාවය” පිලිබද තීරක බලය තමන් අතට ගෙන අනෙකා තමන් අද සිටින තැනට ඇද හෙලීම සදහා අරගලය දියත් වේ.

සිනමාකරුවා අප ඉදිරියේ මේ පිංතූරය විදහා පායි. එය උතුරටත් දකුණටත් සාධාරණය. මන්දයත් මේ පිටස්තර බවෙන් ගැලවීමේ අරගලය ප්‍රමාණාත්මක වෙනස් කම් සහිතව මුත් දෙපසේම ජනතාව මුහුණ දෙමින් සිටින නිසාය.

නමුත් ගුණාත්මක වෙනසක් ද තිබේ. ඒ ජාතීන් දෙකක් වීම ලෙසය.

ඒ වෙනස මේ “එගොඩ ගොඩේ උන්” අතිමූළික ලෙස සැලකිල්ලට ගැනීම, එය දෙමළාගේ අයිතිය ලබා දීම මෙතෙක් සිංහලයා දැරූ විශේෂ වරප්‍රසාධිත තත්ත්වය පහල දැමීමකියි අදහනු ලැබීම, මේ සිනමාවේ එන සිද්ධිවාචකයට පසුබිම් වී තිබේ.

ඔවුන් සිතන්නේ දෙමළ ජනතාවගේ “යුක්තිය – නිදහස – හා සමානාත්මතාවය” පිලිගන්නා වූ පලාත් සභා වැඩපිලිවෙල තමන්ට උරුම වීමට තිබෙන යමක් දෙමළාට පවරා දෙන්නක් ලෙසය.

ඒ මගින් සිදුවන ප්‍රජාතන්ත්‍රීය ප්‍රසාරණය තමන්ගේ සමාජ සාධාරණය වෙත හා  නිජබිම් වල සංවර්ධනය වෙනුවෙන් අද නොතිබෙන අවස්ථාවන් සැලසෙනු ඇති බව ඔවුන් නොදකී.

තමන්ට ලැබෙන දේ කුමක් දෝ යි කාරණයට අදාල නැත.

අනෙකාට යමක් ලැබීම තමන්ට අහිමිවීමක් ය යන අධම ආකල්පයකින් මේ “එගොඩ ගොඩේ උන්” ක්‍රියා කිරීම තල්ලු වන්නේ සිවිල් යුද්ධ තත්ත්වයකටය.

සිවිල් යුද්ධ යනු කෲරතරම යුද්ධයන්ය. එම යුද්ධ පවතින්නේ හමුදා අතර නොවේ. ජන කොට්ඨාශ අතරය.

එහි දී අවිගත්තා, නොගත්තා, ගැහැණිය, දරුවා යන වෙනසක් ඇත්තේ නැත. සිවිල් යුද්ධයකදී යුධ වදින දෙපාර්ශවයේම අවිදරන්නන් වෙත දේශපාලන හා පලිගැනීමේ චේතනාවන් ද තිබෙන බව කරුණකි.   හොදයි දැන් අපි යලි මුලට එමු.

පෙරකී ලෙස රූපාවතීගේ මව තම දියණිය ඝාතනය කළවුන් පිළිබදව අවබෝධයෙන් සිටියත් ඒ ගැන නොසොයයි. ඇයට අනුව වරද ඇත්තේ පලාත් සභා වලය. ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙනී සිටීම මරණයට හේතුවකි.

ඇයගේ ඉලක්කය තම මිණිපිරියගේ අනාගතය සුරක්ෂිත කිරීම වෙනුවෙන් කළ හැකි දේ කිරීම ය. “එගොඩ ගොඩේ උන්” සමග කුමන ගැටුමක් ද?

නමුත් බබා නෝනාගේ තත්ත්වය වෙනස් ය. ඇයගේ පුත්‍රයා තවමත් අතුරුදහන් ය. ඔහු සොයාගත යුතුය.

අවුරුදු පහක් අතුරුදහන් ව සිටිය අයට දෙන මරණ සහතිකය හා රුපියල් විසිපන්දාහේ වන්දිය කුමට ද?

වසර ගණන් පසුවීත් අතුරුදහන්යයි සිතා සිටි යම් අයෙක් ගෙදර පැමිණ ඇති බව ඇගේ නැගණිය කියයි.

ඇය තම දරුවා පැහැරගෙන ගිය වුන්ට විරුද්ධව නඩු පවරා සිටී.

දරුවා පැහැරගෙන ගිය උන් අතරින් අයෙක් මේ වන විට ඇය විසින් පෙරෙට්ටුවේ දී ඇඟට අත තබා හදුනාගෙන ඇත්තී ය.

තම දරුවා කොහිදැයි දන්නේ ඔහු ය. එනම් ලයනල් යකුපිටිය ය. 

දැන් අපට තුන්වන මවක් මුණගැස්සීමට සිනමා කරුවා පියවර ගනී. ඒ ලයනල් යකුපිටියගේ භාර්යාවයි. ඇය පෙනෙන පරිදි හත් අට මසක ගැබිණි මවකි.   අවාසනාවන්ත කම උතුරායන අදුරු මුහුණින් යුතු ඇය නොවරදවාම සැමියා සමග උසාවියට පැමිණෙයි.

ඇය තම කුසයෙන් නොබෝදා ලොවට බිහිවන කිරිකැටියාගේ පියා දරා සිටින මානසික පරිහානිය පිලිබදව මහත් කම්පාවෙන් වෙසෙයි.

වරෙක උසාවියේ වැසිකිලියේ සිට තම කලිසමේ සිප් එක සකසමින් ඇය වෙත එන යකුපිටිය ඇගෙන් වතුර බෝතලය ඉල්ලා ගෙන බොයි.

“ඔච්චර වතුර බොන්නේ මොකටද?….” යි ඇය නැගන පැනයට ඔහුගේ පිලිතුර “මටනේ තිබහ තියෙන්නේ”. “එයාට ලෙඩක් තියෙනව නැන්දේ. එක තැනක ඉන්නෙ නෑ” ඇය බබා නෝනාට කියයි.

“ඔහොම ලෙඩ නොවේ හැදෙන්න ඕන. මගේ දරුව ගෙනියන්න එපා කියල මම දනින් වැටිල කොච්චර පිංසෙන්ඩු උනාද? පන පිටින්ලු වලදාල තියෙන්නේ. නියපොතු ගලවල, ඉල ඇට කඩල තිබුනලු. උපනුපන් ජාති දරුවන්ටත් මේව පරිසන් දෙනව” ඒ බබා නෝනාගේ ක්ෂණික පිලිතුරයි.   ඒ වන විට තවදුරටත් පුත්‍රයාගේ ඉරණම පිළිබද බබා නෝනාට විමතියක් තිබුනේ නැත.

කදුරුගහවත්තේ සමූහ මිනී වලවල් එලිපෙහෙලි කිරීමේ දී නීතීඥයා ඇය කැටුව ගොස් පැහැරගත් අවස්ථාවේ දරුවා ඇද සිට ඇදුම් වල ඉතුරු බිතුරු හදුනා ගැනීම මගින් ඔහුගේ ඉරණම ඇය හදුනාගෙන සිටියාය.

ඇය ඒ වන චාරිත්‍ර අනුව ඔහු වෙනුවෙන් දානමාන පිංකම් ඉටුකර තිබුණි.

නමුත් ඒ දානමාන චාරිතු-වාරිත්‍ර වුවා පමණි. ඒවා ඇගේ පලිගැනීමේ චේතනාවෙන් ඇයව මුදා හැර නැත.   පිල පසක ලැග සිටින බලුකුක්කාගේ අසරණකම යකුපිටියගේ භාර්යාවගේ මුහුණේ ඉරියව් මගින් ප්‍රකට කරනවා වැන්න.

උසාවි තීන්දුව යකුපිටියගේ ඉරණම ගැනද? තම කුසේ ඉන්නා දරුවාගේ ඉරණම ගැනද? යන්න ඇයට විමතියක් වූවා සේ ය.

“මහ බැල්ලි වාහනේකට යට වෙලා මැරුණ. කරුමක්කාර සත්තු” ඇගේ කුසයේ ඉන්නා දරුවාගේ ඉරණම මේ බලුකුක්කා වෙතින් සිතුවම් වී ඇත්තා සේය.

රැකවරණය දෙන්නා අහිමිවන්නේ කුමන හේතුවක් මත ද යන්න ඉන් තනි වී විපතටපත් අයගේ ඉරණමට ඒ හෝ මේ ලෙස පරස්පර අයුරින් බලපාන්නේ නැත.

වෙනසක් නම් ඒ මතුපිටිනි. විකල්ප රැකවරණයක් අත්‍යාවශ්‍ය ය. බලුපැටවා බබා නෝනාගේ රැකවරණය ලබයි. නැවත උසාවිය. යකුපිටියගේ ගැබිණි භාර්යාව උසාවි පිළේ කනුවක එල්ලී වමනය කරයි. ඇය තම පුත්‍රඝාතකයාගේ භාර්යාවයි. ඇගේ කුසයේ ඉන්නේ ඔහුට දාව ‍මෙලොව එලි දැකීමට නියමිත මිනිස් පැටියෙකි. ඌත් ඝාතයකයකු වීමේ ඉරණම ඇත්තෙක් ද?

එහෙම සිතුවොත් මගේ පුතා! ඔහු මෙලොව එලිය නොදැක ගබ්සා වූවා නම් රූපවතීත් ඇගේ කුස ඔත් දරුවාත් නැති භංග වන්නේ නැත. යකුපිටිය හා ඔහුට දාව කුස ඔත් දරුවාගේ බර දරාගෙන මේ ගැඹිනි මව උසාවි පිලේ ලගින්නේ ද නැත.   බබා නෝනා වතුර බෝතලය ගෙන ඇය වෙතට යයි. ජීවත් වන්නවුන් හා ජීවය ලබන්නන්ට ඉඩක් තිබිය යුතුය. “අනේ අපි මොන තරම් පව්කරල ඇද්ද මේව අහන්න දකින්න. නැන්දට හිටිය එකම දරුව නේද? දැන් සලකන්න කෙනෙකුත් නෑ නේද? මෙයාට සහෝදරයෝ හතර දෙනෙක් හිටිය දෙන්නෙක් හමුදාවේ හිටියේ – කොටි ගහල මැරුව. ඔහොම හිටියට එයා ලෙඩෙක් නැන්දේ. රෑට නැගිටල කෑ ගහනව. ඇද තෙමාගන්නව. එයා ඉන්නේ අපායක නැංදේ. නඩුව අත් ඇරල දාන්න.”

පශ්චාත් යුධ බලපෑම් වලට ලක්ව සිටින අවිගත්තවුන් මෙන්ම සිවිල් වැසියන්ගේ ද මානසිකත්වය පිලිබදව සොයා බලා ප්‍රතිකාර කිරීම ඔවුන් යලි සමාජ ගත කිරීමේ දී පාලකයන්ට පැවරෙන බැරෑරුම් වගකීමකි.

තිබෙන ජාත්‍යන්තර වාර්තා අනුව මෙවන් යුධ තත්ත්වයන් පසු කර ගිය සමාජයන් හි මේ දෙකොටස අතරින් 67.7% ක් විශාධියෙන් එනම් මානසික අවපීඩනයෙන් හ දොම්නසින් පෙලෙයි. කාන්සාව එනම්  අවුල් සහගත බවෙන් පෙලෙන්නෝ 72.2% කි. පශ්චාත් යුධ කම්පනයෙන් ආතතියට හා වියවුලට (PSTD) පත්වූවෝ 42% කි.

නමුත් ලංකාවේ මෙවන් සමීක්ෂණයක් මගින් තොරතුරු වාර්තා ගත කළ බව හෝ අදාල අය ප්‍රතිකාරවලට හෝ පුණරුත්ථාපනයට හෝ යොමු කළ බවක් දන්නේ නැත.

රූපාවතීගේ වැඩිමහල් දුවණිය වැඩිවිය පැමිණ ඇත. ඇගේ ආච්චී එනම් රූපාවතීගේ මව ඇය දොරට වැඩීමේ චාරිත්‍ර ඉටුකිරීම සදහා බබා නෝනා ගෙන්වාගෙන තිබේ.

බබා නෝනා දියණියගේ කාමරයේ ඇගේ ඇදුම් අන්දවයි. කාමරයේ බිත්ති වල රූපාවතීගේ ඡන්ද ව්‍යාපාරයේ පෝස්ටර් අලවා ඇත.

“රූපා අපිට – අපි රූපාට”. ඒ සමග විජයගේ හා ඔසීගේ ඡායාරූප ද වෙයි.

“පුංචි නෝනගේ අම්මව නෑව්වෙත් මම නේ” “ජේවිපේ එකෙන් අපේ අම්මට වෙඩි තිබ්බා. ඔයාට මතක ද එදා?” “එදා පුතාට හොදටම උණගැනිල උන්නේ. රෑ එලිවෙනකල් උණ විකාරෙන් දෙඩෙව්වා” ඔහු ද වියවුලට පත්වූයේ යකුපිටියගේ අත්දැකීම ම එදා ලද නිසාද?   “අද අම්මගේ සාක්ෂිය ගන්නයි යන්නේ” “සමරප්පුලි හේනයලාගේ බබා නෝනා” “අදුන ගන්න බෑ. ඒ අය මුහුණ වහගෙනයි හිටියේ. කළුවරේ හරියට අදුන ගන්න බැරි උනා. අදුරගැනීමේ පෙරේට්ටුවේ දී එක් අයෙක් අදුන ගත්තට මට හරියටම නිච්චියක් නෑ එයාමද කියල”   “ඇයි සාක්කිය හරියට දෙන්න බය වුනේ” “බයකට නොවෙයි මට ඕන නෑ මේ නඩුව.”   ඔව් නඩුමොකට ද මට “මගේ සුදු පුතා හීනෙන් ඇවිල්ල එයා කොහේ දෝ දුක් විද විද ඉන්නව කියල කියල කිව්වේ” පුතා හීනෙන් ඇවිත් කථා කරල කියන්නේ එයා ඉන්න තැනින් බේරගන්න කියල මිසක් කාටවත් දඩුවම් දෙන්න කියල නොවෙයිනේ.

එයා ගෙදරට එන සපත්තු සද්දේ ඇහෙනව. එයාව දුකින් බේර ගන්න එකනේ මට කරන්න තියෙන්නේ. ඒ වෙනුවට කාගෙන් හරි පලිගත්ත කියල පුතාට සහනයක් ලැබෙනව ද?   බබා නෝනා කාටවත් සමාව දී නැත. සමාජ අරගලයක නිරතවූවන්ගෙන් ඒ හෝ මේ අයෙක් සමඟ පුද්ගලික වෛරය නිශ්ඵලය.

කලෙක තිස්සේ කළේ සමාව දීමක්ද? තම දරුවාගේ ගැලවීම වෙනුවෙන් වෛරය අත්හැරීම ද?

ඇයගේ පුතාගේ වේශයෙන් ඇයම ඇයට ඒ ගැන කලෙක සිට කථා කළේය. පුතාගේ හඬ ලෙස ඇයට ඇසෙන්නේ ඇගේම මොළයේ ඇති වන ප්‍රතික්‍රියාවයි. තමා විසින් තමාට කථා කිරීමයි.

එය බේබි නෝනාට පමණක් සිදු වන දැයක් නොවේ. විශාධියෙන් පෙලෙන්නෙකුට නැතිනම් එවන් වූ පෙර කී පශ්චාත් කම්පන කැළඹීම මොලයේ විද්‍යුත් රසායනික ක්‍රියාවලීන් මඟින් ඇති කරන තත්ත්වයකි.

එය නොදැන සිටි ඈත අතීතයේ දී මිනිසුන් ඇත්තටම මලවුන් කතා කරන්නේ යයි සිතූහ.

දෙවියන් කථා කරනු ඇසූ මෝසස් ඒ දේව වාක්‍යයන් දසපනත ලෙස ගල් පුවරුවල ලියා පොරොන්දු දේශය බලා යන තම ගෝත්‍රයේ වැසියන් සාමයෙන්, සමානාත්මතාවයෙන් ජීවත් වීමට සූදානම් කිරීමට වැර දැරී ය.

නමුත් ඒ දස පනත තමන්ගේම ප්‍රඥාව එනම් මොලය තමාට කථා කර කියු දැය බව කවදාවත් මෝසස් සිතන්නට නැත.

සිය පුතාගේ වෙඩි පහර එක් අයෙකු නොව දෙදෙනෙක්ගේම දිවි අහිමි කළේය. කුසයේ සිටින දරුවා නීතිය මගින් පුද්ගලයෙකු ලෙස නොසැලකුවාට මවකට එසේ සැලකිය හැකි ද?

ඇයත් ඇගේ කුස ඔත් දරුවාත් පුතාට කළ වරද කුමක් ද? තමාගේ පුතා යකුපිටියට කළ වරද කුමක් ද? ඒ ප්‍රශ්න දෙකම පිළිතුරු විරහිතය.   සියල්ල කාලය විසින් අභාවයට යවයි. අලුත් දැය අවකාශය තුළ දී මුන ගැසේ. අනාගතය කුඩා දැරියකගේ වේශයෙන් තමා ඉදිරියේ සිටිනු බබා නෝනා දකී.

සිනමාව එසේ මාතෘත්වය පිළිබද ඉතා සැලකිල්ලෙන් යුතුව, සිනමාවේ දක්නට ලැබෙන ඇගේ සිනහව සහිත එකම රූප රාමුව අප ඉදිරියේ ඉදිකරයි.

රණත් කුමාරසිංහ – 2020 ඔක්තෝබර්

සබැදි ලිපි

You may also like...

1 Response

  1. 2020-11-05

    […] බබා නෝනාගේ ප්‍රඥාවලෝකනය […]

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.