කලාකරුවන්ගේ අභියෝගය හුදකලාව ජය ගැනීමයි!
රණත් කුමාරසිංහ විසින් කිණිහිර වෙබ් අඩවිය වෙනුවන් සකස් කරන ලද මෙම ලිපිය මෙසේ ඔබ වෙත ඉදිරිපත් කරමු.
සියළුම කලාවන් කාලය පිලිබඳ කොන්දේසියට යටත් ය. ඒවා නිශ්චිත සමාජ සම්බන්ධතාවයන් මඟින් බිහිවන මනුශ්‍ය ප්‍රජාවේ අදහස්, සිහින, හැගීම්, ප්‍රාර්ථනාවන්, අභිප්‍රායන් හා ඕනෑ එපාකම් වලට අනුරූප වන්නේ ය. ඒවා නිරූපනය කරන්නේ ය. එමෙන්ම කලාව පෙනෙන දේ පිටපත් කරගත් නිශ්චල ඡායාරූපයක ගති ලක්ෂණ පෙන්නුම් කරන්නක් ද නොවේ. දෙන ලද මොහොතේත් සිදුවෙමින් පවතින ආර්ථික – සමාජීය සංවර්ධනයේ නියාමයන්ට අනුව නිර්මාණශීලී ලෙස මානව අභිවෘධියටත් – එහිම ප්‍රතිවිරුද්ධයට නැතිනම් ප්‍රතිගාමීත්වයටත් එය නිත්‍ය දායකත්වය ලබා දෙයි. මේ පරස්පරවිරෝධතාවය කලා කෘතියක් ලෙස එහි පැවැත්ම තීන්දු නොකරයි. මන්දයත් නිර්මාණකරුවාගේ කෘතියට අදාල අත්දැකීම් නිර්මල ආකාරයකින් නොපවතින නිසාත්, පැවැතිය නොහැකි නිසාත් සහ ඒවා කලාකරුවා වෙත ‘නිර්මලව’ එන්නේ නැති පරස්පරවිරෝධී දෑ නිසාත් ය. ඒවා හැම විටම නිර්මාණකරුවාගේ සිත, එනම් සංකල්පනා තුළින් ප්‍රතිනිර්මාණය වෙයි. සංකල්පනා යනු යුගයේ අධිකාරී බල මධ්‍යස්ථාන මගින් නිර්මිත මතවාදයන්ගේ පරාවර්තනයන්ය. ඒ අනුව රසිකයෙක් කලා කෘතියක් දෙස යොමු වූ කල්හි, ඔහුගේ යොමුව මුලින්ම ලක් විය යුත්තේ නිර්මාණකරුවා වෙතය. මන්දයත් ඔහුත්, කලා කෘතියත් ඔහු ජීවත්වන පරිසරයෙන් අන්‍ය වූ දෑ නොවන නිසාය.
ග්‍රීක පුරාණයන් හි එන මිඩාස් රජු අත ගැසූ සෑම සියළු දෙයක්ම රන් බවට පත්වූ සේම; ධනවාදය විසින් සෑම දෙයක්ම වෙළද භාණ්ඩ බවට පත් කළේ ය. ධනවාදී යුගයේ කලාකරුවාට තමන්වම දර්ශණය වූයේ අතාත්වික ප්‍රතිබිම්බයක් ලෙසිනි. හිතා ගැනීමට බැරි තරම් වේගයෙන් නිෂ්පාදනයන් හා නිෂ්පාදනය කිරීමේ හැකියාව වැඩිවී ගිය අතර නව පිලිවෙලේ ගතිකත්වයකින් යුතුව ගෝලීය වශයෙන් මනුෂ්‍යත්වය විස්තීර්ණත්වයට පත් කළේය. පැරණි ලෝකයේ පුද්ගල නිෂ්පාදන සමාජ සම්බන්ධතා අදුරු වළාවන්ගෙන් වැසී ගියේය. නිෂ්පාදකයා හා පාරිභෝගිකයා අතර පැවැති ඍජු සම්බන්ධතාවය විනාශ කර දැමුණි. සියළුම නිෂ්පාදනයන් විකිණීමත් මිලදී ගැනීමත් යන දෙකම අඥාත, අරාජික වෙළදපලකට වේගයෙන් තල්ලුකර දැමුනේය.
පෙර යුගයේ දී කර්මාන්ත ශිල්පියා නියමිත ඇනවුම් අනුව, නියමිත ගැනුම්කරුවෙකු වෙනුවෙන් නිෂ්පාදනයේ යෙදුනේය. කැත්තක් හෝ පොරවක් හෝ හදන්නේ කා වෙනුවෙන් දැයි ඔහු දැන සිටියේ ය. නමුත් ධනවාදී ලෝකයේ වෙළද භාණ්ඩ නිෂ්පාදකයා වැඩ කරන්නේ තමන් නොදන්නා මිල දී ගන්නෙකු වෙනුවෙන් ය. ඔහුගේ නිෂ්පාදන, තරඟකාරීත්වයේ සැඩ පහර විසින් ගිල ගන්නා ලදුව අවිනිශ්චිත වෙළදපලක් වෙත තල්ලු කර දමන ලද්දේ ය. සැම තන්හිම පැතිරයන්නට පටන් ගත් වෙළද භාණ්ඩ නිෂ්පාදනය ශ්‍රම විභජනය තීව්ර කළේය. එමගින් සියළුම ශිල්පීන් විභේධනය කර දමන ලදී. ප්‍රාග්ධනය රජවූ ආර්ථික බලවේගයන්ගේ නිර්නාමිකත්වය විසින් මිනිස් සබදතාවන්ගේ ඍජු භාවය විනාශ කර දමන ලද අතර සමාජ යථාර්තයෙන් නොනැවතී තමන් කෙරෙන්ම මිනිසා පිටස්තර (පරාරෝපනය) කර දැමුණි.
මෙවන් වූ ලෝකයක කලාව වෙළද භාණ්ඩයක් බවටත්; කලාකරුවා වෙළද භාණ්ඩ නිෂ්පාදකයෙකු බවටත් පැමිණුනේ ය. නිදහස් වෙළදපල විසින් පූර්ව පුද්ගලික අනුග්‍රාහකත්වයන් අභාවයට යැවිනි. එවන් පැරණි නිෂ්පාදන සබදතා අනුව වැඩ කරගෙන යෑම එක්කෝ අපහසු විය, නැතිනම් කළ නොහැක්කක් වූයේ ය. ඒ සියල්ල අඥාත “පොදු ජනයා” ලෙසින් සම්පින්ඩනය වූ නන්නාදුනන. පාරිභෝගිකයන්ගෙන් සමන්විත නව සමාජය විසින් ගිල ගන්නා ලදී. සියළු කලා ශිල්ප වඩවඩාත් වේගයෙන් තරඟකාරීත්වයේ නීති වලට යටත් කෙරිණි.
මනුශ්‍ය වර්ගයාගේ ඉතිහාසයේ පළමු වතාවට කලාකරුවා ‘නිදහස්’ කලාකරුවෙක්, ‘නිදහස්’ ස්වීයත්වයක් බවට පත් වූයේ ය. ඒ සමඟම අමනාපයෙන් පෑරුණු, කාන්සියෙන් අදුරු වී ගිය හුදකලා බව ඔහු වසා ගෙන තිබිණි. අර්ධ විචිත්‍රත්වයත්, අර්ධ වාණිජත්වයත් අන්තර්ගත කරගත් වෘත්තියක් බවට තත්කාලීන කලාව සපැමිණියේ එසේ ය.
දැන් කලාකරුවා මුහුණ දෙන පළමු අභියෝගය වන්නේ මේ තරඟකාරීත්වය තුළ තම කලාශිල්ප යොදාගෙන ජීවනෝපාය සලසා ගැනීමේ අභියෝගයයි. පෙර යුගයේ රජුන්, මැති ඇමතින් ගෙන් සපිරි රාජ සභාවන්, නාගරික ධනවත් වෙළදුන් විසින් නඩත්තු කළ කලා කරුවෝ ඒ සමාජයේ මතුමහලේ පිරිස් වල රසාස්වාදනය සදහා තම කලා කටයුතු ඉටු කළාහු ය. මේ සීමිත රසිකයන් පිරිසගේ රසාඥතාවය සැලකිය යුතු කාලාන්තරයක් ඒකාකාරී වූයේය. ඒ හෝ මේ වීර කාව්‍යයක්, නැතිනම් දෙවොල් ආශ්‍රිත ගීතිකා මෙන්ම රාජ සභාවල නැටුම් ගැයුම් ශිල්ප වල ගුණාත්මක වෙනස්කම් ඉල්ලුම් කෙරුනා නම් ඒ බොහෝ සෙමින්ය. බොහෝ විට කලා ශිල්පීන් විසින් තමන් විසින්ම වර්ධනය කළා වූ (ස්වාභාවික වර්ධනයේ නියාමයන්ට යටත්) කාව්‍ය, සංගීත, රංගනයන් මේ අභියෝගයට සෑහුනේ ය.
නමුත් දැන් මේ රසික පිරිසට ‘පොදු ජනයා’ ලෙස සමස්ථ සමාජයම ඇතුල් කරගෙන තිබේ. ඔවුන්ගේ ඉල්ලුම තීරණය කරන්නේ සමාජ විඥානය විසිනි. සමාජ විඥානය සමාජ ආර්ථික හා දේශපාලන හේතු මත වේගයෙන් වෙනස් වෙයි. ඒ දේශීය වශයෙන් පමණක් නොවේ. මේ වෙනස්කම් ගෝලීය පරිමානව සිදුවන අතර, ඒ අනුව කලා කටයුතුත් ගෝලීය පරිමානව වෙනස් වෙයි. මන්දයත් අනෙක් සැම වෙළද භාණ්ඩයක් සේම ‘කලා භාණ්ඩයන්’ ද ගෝලීය වෙළදපලක් සදහා නිෂ්පාදනය වන නිසාය. රසිකයෝ දූපත් විඥානයෙන් මිදී ලෝකය දැකීමේ ආශාවෙන් පෙලෙන විශ්ව රසිකයන් බවට ද පත්වන නිසා ය. පාලක දේශපාලනඥයෝ ලෝකයේ මතුවන සමාජ ආර්ථික වෙනස්කම් වලට යටත්ව පියවර ගන්නා හෙයින් රටේ ආනයන අපනයන ප්‍රතිපත්ති, දේශපාලන-එනම් ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම්-ජාතීන්ගේ අයිතීන් වෙනුවෙන් මොහොතක දී ක්‍රියාකරන අතර, තවත් මොහොතක දී එහි අනෙක් පැත්තට හැරී ජාතිවාදී, අත්තනෝමතික ෆැසිස්ට් පන්නයේ ක්‍රියාකාරීත්වයන් අරඹති. නිදහස් වෙළදාම ගැන කියමින්, ලෝක ආර්ථික වෘධිය සමග අනන්‍ය විය යුතුයයි කියමින්, ඒ අනුව ප්‍රතිපත්ති සැකසෙන අතර අනතුරුව දේශීය නිශ්පාදන හා වෙළදපල බේරා ගැනීමේ ප්‍රතිපත්ති වෙනුවෙන් ඝෝෂාව ඇරඹෙයි. මෙවන් වූ වෙනස් කම් කලාකරුවන්ගේ නිර්මාණශීලීත්වයේ අඛණ්ඩ වෘධිය නිරන්තරව කඩා බිඳ දමයි. පාලකයෝ තම ප්‍රතිපත්තිවල මේ වෙනස්කම් අනුව ඉතිහාසය භූගෝලය පවා තමන්ට ඕනෑ හැටියට හැසිරවීම සඳහා විද්වතුන් යොදා ගනී. කලා භාණ්ඩ සඳහා වෙළදපල මේ අනුව වේගයෙන් යලි යලිත් වෙනස් වෙයි. සාමය පිලිබඳ කලා භාණ්ඩ, වෙළදපලට ගෙනා කලාකරුවාටම යුධයේ වැදගත් කම පිලිබඳ කලා භාණ්ඩයක් නිෂ්පාදනය කිරීමට සිදුවන්නේ, එසේ නොකළොත් වෙළදපලක් නැති වන නිසාය. එසේ වෙළදපලක් නැත්නම් තම දරුපවුලේ පැවැත්ම රැකෙන්නේ කෙසේ ද?
දෙවනුව; ප්‍රාග්ධනය පිලිබද අභියෝගයන් කලාකරුවා පෙලයි. එය වඩාත්ම බලපාන්නේ සිනමාව වැනි ප්‍රබලම කලා මාධ්‍යයයන් ඇසුරිනි. සිනමාව යනු ධනේශ්වර සමාජය තුළ බිහි වූ වඩාත්ම ප්‍රගතිශීලී කලා මාධ්‍යයි. එය එක් පසකින් කතා හා දෙබස් රචකයන්, නාට්‍ය කරුවන්, සංගීතඥයන්, ගායක ගායිකාවන්, වාදක ශිල්පීන්, කැමරා ශිල්පීන්, තාක්ෂණික ශිල්පීන් ඈ මෙකී නොකී විවිධ ක්ෂේත්‍ර වල තනි තනිව නියැලී හුදකලාවේ වේදනාවෙන් පීඩිතව සිටි කලාකරුවන් එක කලා නිෂ්පාදනයක් වටා ගොනු කළේය. එපමණක් ද? නැත මේ මගින් ලක්ෂ සංඛ්‍යාත රසිකයන් පිරිසක් සුදු පැහැ තිරයේ දිස්වන එක් කලා කෘතියකට යොමු කර, එක්ව සිනාසෙන්නට, එක්ව කදුළු සලන්නට, එක්ව සංත්‍රාසයෙන් විස්මෘත වන්නට, එක්ව ජයගන්නට හා පරදින්නට හැකි තත්ත්වයක් ඇති කළේ ය. අතේ මුදලට ගැලපෙන පංතියක් තෝරාගෙන සිනමාව නැරඹීමට අඩු ආදායම් ලාභීන්ටද හැකි විය. වැඩිම විනෝදය ලැබුවෝ ‘ගැලරියේ’ අවම මිල ගෙවා ඇතුල් වූ අයයි.
මනුෂ්‍ය විඥානය තුළ කුසීතවූ බරක් ලෙස වැතිර පවත්නා අරුත්සුන් චාරිත්‍ර-වාරිත්‍ර, ආගමික ඇවතුම් පැවතුම්, හුදෙක් විවේචන මගින් පමණක් අහෝසි කළ හැකි නොවන බවත්; එය කළ හැක්කේ ඒ වෙනුවට ඉදිරිපත් වන ජීවනයේ නව ආකාරයන්, නව බහුරූ හා වඩාත් ප්‍රබුද්ධ වූත් නව්‍යවූත් සංස්කෘතියක් සහිත වේදිකාවන් මඟින් බවත් ලියොන් ට්‍රොට්ස්කි පෙන්වා දී තිබේ. මෙහිදී මිනිසා සතු සිතිවිලි රටාවන් ස්වාභාවිකම, වඩාත්ම බලවත් වේදිකාව – මක්නිසාදයත් එය වඩාත්ම ප්‍රජාතන්ත්‍රීය වන නිසා – එනම් සිනමාව කරා ඇදෙන බවත් ඔහු අවධාරණය කර තිබේ.
සැබැවින්ම සිනමාව සිත් කාවදින අයුරින්, අනුරූප මඟින් දැනුමත් පරිකල්පනයත් ගෙන ආ හැකි කලා මාධ්‍යකි. එවන් සිනමාවකට වෙනත් ඕනෑම විධියකට වඩා මිනිසා ග්‍රහණයට ගෙන ඇති සියළු නිස්සාර විශ්වාසයන්ගෙන් නිදහස් කර ගැනීමේ ශක්‍යතාවය ඇත්තේ ය.
තම ජීවිතය රඟ දැක්වෙනු දැක්මට මිනිසාට ඇති රුචියත්, නිතර දක්නට නැති අසාමාන්‍ය දැය දැකීමටත් ඇසීමටත් ඇති රුචියත්, සාමාන්‍ය ජීවිතයේ ඒකාකාරී නිසරු බවෙන් මිදීමට ඇති රුචියත් විශිෂ්ට වනවාක් මෙන්ම කිසිදා තුරන් කර දැමිය හැක්කක් ද නොවේ. එය මිනිසාගේ ජීවිතයේ අලුයම වන ළමා අවදියේ පටන් උසස් සැදෑ සමය දක්වාම නොනැසී මුරණ්ඩු අයුරින් රදා පවතී. “පොදු ජනයා” ගතානුගතික චාරිත්‍රවාරිත්‍රයන්ගෙන්, විවිධාකාර ආගම් වල පූජක කාරකාදීන්ගෙන් උරුමකරගත්, නැත්නම් පරිචිත ඇබ්බැහිකම් වලින් ක්‍රමිකව එලිපහලියට ඒමට හුදු ආගම් විරෝධී ප්‍රචාරයන් ප්‍රයෝජනවත් නොවනවා සේම නුසුදුසු ද වෙයි. ඒවා අනවශ්‍ය යයි කියනවාම නොවේ. නමුත් එවන් ප්‍රචාරයන් සමාජයක කුඩා පිරිසක් වන නිවහල් නිර්භයවූවන්ගේ අධ්‍යාත්මයට පමණක් සීමිත ලෙස ගෝචර වනු ඇත.
නමුත් එදා 1923 දී, ට්‍රොට්ස්කි දුටු සිනමාව සතු ගුණය හා බලය දුටුවේ ඔහු පමණක් නොවේ. එය ග්‍රහණයට ගත් විවිධ සමාජ කණ්ඩායම් සිනමාව සතු හැකියාව ගතානුගතිකත්වයට එරෙහිව වරක් යොදා ගත්තේ නම්; ගතානුගතිකත්වය තහවුරු කර ගැනීම සඳහා සිය වාරයක් යොදා ගන්නවා අපි අත් දකිමු. මනුෂ්‍ය සබඳතා වල සුවිශේෂයන්ට යොමුවන සිනමාවන් තහනම් කෙරෙයි. ඒ එකී සිනමාව පදනම් වන ජනමාධ්‍ය වාර්තා හා ‘විචිත්‍රවත්’ විශේෂාංග තහනම් නොවී තිබිය දී ම ය. එයිනුදු තහවුරු වන්නේ සිනමාව කෙතරම් ප්‍රබල කලා මාධ්‍යක් ද යන්නයි.
මේ විශිෂ්ඨ කලා මාධ්‍ය විශාල ප්‍රාග්ධනයක් ඉල්ලා සිටීමේ අභියෝගයට අමතරව එය සතු දැවැන්ත ප්‍රකාශන හැකියාවට එරෙහි වන ප්‍රතිගාමී බලවේගයන්ට මුහුණ දීම ද කලාකරුවන්ට එකසේ ම බැරෑරුම් අභියෝගයක් ලෙස පවතී.
ලිපිය දිගුවනවා වැඩි බව හැඟෙන නිසා එය අවසන් කිරීමට කාලය එළඹ ඇතැයි සිතමි. ඒ අනුව මා දකින කලාකරුවා මුහුණ දෙන තුන්වන බැරෑරුම් අභියෝගය ඉදිරිපත් කිරීමෙන් මෙහි නිමාව දකින්නට කැමැත්තෙමි.
ඒ නම් කලා මාධ්‍යයන්ගේත්, කලාකරුවන්ගේත් විවිධත්වයන් එසේ තිබිය දී, සම්මේලනගත වීමේ අවශ්‍යතාවය පිලිබද අභියෝගයයි. අතීතයේ කලාකරුවෝ හුදකලා වූ අය නොවී ය. ඔවුහු විවිධ ගුරුකුල ලෙස, පරම්පරා ලෙස, කුලගොත් ලෙස, ආදී විවිධාකාරයෙන් ස්වාභාවික සංවිධානයන්ට අඩංගුව සිටියහ. ඒ ඔස්සේ රාජ්‍ය බලය පවා අවනත කර ගැනීමට (සාපේක්ෂ ලෙස හෝ) සමත්ව සිටියහ. එවන් ගුරුකුල අද දියාරුවී ගොස්ය. ඒ ස්වාභාවික සංවිධාන නව යුගයට අනුවර්තනය නොවූ නිසා ය. මුදලට ශිල්ප හදාරන්නෝ තවදුරටත් ගුරුකුල නොපවත්වති. ඒ වෙනුවට ඔවුන් කලා වෙළදපලට බැස, ජනවහර අනුව ගත් කල තනියම ‘බුදුවීමට’ වලිකති. ඒ සඳහා ඒ හෝ මේ දේශපාලන බලවතුන් සරණ යමින් පාරමිතා පුරයි. ඒ වෙනුවට කලාකරුවන්ගේ ජාතික මට්ටමේ ප්‍රජාතන්ත්‍රීය සංවිධාන බලයක් වේ නම්, තනතුරු – වරප්‍රසාද – කප්පම් මඟින් විකිණීයෑමේ පරිසන්දීමට ලක් නොවන්නේය. පදවි, තානාංතර, ආදායම්, තම කටයුතු සදහා නය ප්‍රාග්ධන සම්පාදනය ආදී මෙකී නොකී අවශ්‍යතා වෙනුවෙන් එකී සංවිධිත බලය මත කාගේත් එකඟත්වයෙන් ඇතිකරගන්නා ප්‍රතිපත්ති මත තීන්දු කර බලධාරීන්ට යෝජනා ඉදිරිපත් කළ හැක. අතීතගත පෙර කී ස්වාභාවික සංවිධාන රටාවන් මේ නව සංවිධාන රටාවන් මගින් දැනුවත්ව හිලව් (Replace) කළ යුතුය.
වාණිජ සමාජයේ අකටයුතුකම් පක්ෂග්‍රාහීකම් ගැන චෝදනා කරනවාට වඩා තම ක්ෂේත්‍රයේ ප්‍රාමාණිකයන්ගේත්, පොදුවේ සියළු ශිල්පීන්ගේත් අයිතිය, ආරක්ෂාව සඳහා නිසි ලෙස සංවිධාන ගතවීමට මඟක් සොයා ගැනීම මඟින් කලාකරුවන්ගේ පමණක් නොව තම නිර්මාණයන්ගේ අයිතීන් සුරක්ෂිත කර ගැනීමටත්, කලා නිෂ්පාදනයටන්ට, කලාවේ වෘධිය සදහා වැදගත් වන නව පරික්ෂණයන් සදහා අවශ්‍ය පහසුකම් සලසා ගැනීමටත් අවස්ථාව පාදා ගැනීමේ අභියෝගයන් ජය ගැන්මේ මේ මඟ, ජයගැනීමේ අභියෝගය ජය ගත යුතුය. ඒ සඳහා අවශ්‍ය වෛශයික පරිසරය පෙර කී අයුරු නව තාක්ෂණය මගින් කලා නිෂ්පාදනයේ ඇති කර ඇති වර්ධනයන් මඟින් සලසා දී තිබේ.
මා දන්නා තරමින් විවිධ කලා මාධ්‍යයන්හි නියුතුව සිටින්නන් අතර විවිධාකාර නම් වලින් පෙනී සිටින විවිධාකාර සංවිධාන අප්‍රමාණය. ඒවා එකිනෙකාට චෝදනා කරගන්නවා පුවත්පත් වල, කලා පිටුවලින් දකිනවා හැර පොදු ප්‍රශ්න මත, පොදු ඉල්ලීම් වගකිවයුත්තන්ට ඉදිරිපත් කරනවා නම් දකින්නට ඇත්තේ අහම්බයෙනි. ඒ නිසා මේ විවිධාකර සංවිධාන එසේ තිබිය දී මුත් ඒවා එක් ජාතික සමුළුවක් මඟින් පොදු එකඟත්වයක් ඇති කර ගැනීමේ අභියෝගයට මුහුණ නොදෙන තාක් කල් වෙළදපලේ ඉල්ලුම සැපයුම අනුව නිර්මාණයේ යෙදෙන්නන්ය යන නින්දා සහගත විවේචනයෙන් ගැලවීමක් නැත.
ඉන් මෙහාපැත්තේ සිට කරන ඕනෑම කතා බහක් හිස් බස් දෙඩවීමක්, අරුත් විරහිත ශබ්ද තරංග ලෙස එදා මෙන්ම අදත්; අද මෙන්ම හෙටත් හිස් වා තලයේ දිය වී යනු ඇත.
රණත් කුමාරසිංහ
සබැදි ලිපි
2 Responses
[…] කලාකරුවන්ගේ අභියෝගය හුදකලාව ජය ගැනීම… […]
[…] කලාකරුවන්ගේ අභියෝගය හුදකලාව ජය ගැනීම… […]