මංජුල වෙඩඩිවර්ධනගේ “මේරි නම් වූ මරියා”

සේයා - අන්තර්ජාලයෙන්

සියලුම ස්වභාවික ආගම් යනු මිනිසුන්ගේ දෛනික ජිවිතය පාලනය කරන සොබා දහමේ ද්‍රව්‍යමය බලවේග ඔවුන්ගේ මනස තුල චිත්තරූප ලෙස පරාවර්තනය වීමක්, එකී භෞතික බලවේගවල ස්වරූපය ආරූඪ කරගන්නා පරිවර්තනයක් මිස අන් කිසිවක් නොවේ යයි ද, ඉතිහාසයේ ආරම්භයේ දී එසේ පළමුවෙන්ම පරාවර්තනය වූයේ සහ කාලය තුළ තවදුරටත් විකාශය විමේ ක්‍රියාදාමයේ දී විවිධ ප්‍රදේශවල ජීවත් වූ ජනතාවන් අතර ඉතාමත්ම බහුවිධ සහ අනේකවිධ පුද්ගලාරෝපණයන්ට භාජනය වූයේ අන් කිසිවක් නොව ස්වභාව ධර්මයේ බලවේගයන් ය යන්න ‘ඒංගල්ස්’ විසින් පෙන්වා දී තිබේ.

සමාජ පරිණාමයේ තවත් ඈත අවධියක දී, මේ සමාජ තුළ බිහිවූ විවිධාකාර දෙවිවරුන්ගේ සියලු ස්වභාවික හා සමාජීයය ආරෝපණයන් ඒක සර්වබලධාරී දෙවි⁣⁣යෙකුට පවරනු ලැබිණි. ඒ අන් කිසිවකු නොව වියුක්ත මිනිසාගේ ප්‍රතිබිම්බයයි.

දැන් මේ දේවත්වයන් විසින් ආරෝපණය කරගනු ලැබූ ස්වභාව දහමේ ගති ලක්ෂණ විවිධ ප්‍රවාදවලීන්ට ලක් වී ඇත්තේ ය. ඒ ප්‍රවාදයන් තාක්ෂණ, විද්‍යා දැනුම හා ඒ තුළින් විකාශනය  වූ නිෂ්පාදන බලවේගයන්ගේ වර්ධනය විසින් ජනිත කළ සමාජීයය වෙනස්කම් හා බැඳී විකාශයට ලක් විය. මේ ස්වභාවික ස්වයංසිද්ධ ආගම් පන්ති සමාජය තුළ වර්ධනය වූ රාජ්‍ය බලය මඟින් තමන් වෙත ආරෝපණය කර ගත්තේය. (දෙව් මිනිසා, (ක්‍රිස්තුස්) තමන් වෙත ආරෝපණය කර ගත් සීසර්වරු තම තමන් දෙවිවරුන් කියා වන්දනාමාන කර ගත්තේය. ඔගස්ටස් සීසර් මනුෂ්‍ය පියකුගේ පුතකු නොව, ඔහුගේ මවට ඔහු පිළිසිඳුනේ ඇපලෝ දෙවියන්ට දාවය යන මතය ප්‍රචාරය කර හැරියේ ය. බුදු දහම දේවාගමක් නොවූවත් පසුකාලීනව හින්දු දෙවිවරුන් ඒජන්තයින් බවට ආසියානු බෞද්ධ රජුන් ද පත් වූ අතර මේ දේවාලවලට  පඬුරු පෙට්ටි පන්සල්වල පැවැත්ම රැක දුන්නේ ය.)

මේ ස්වයංසිද්ධ ආගම් ඒවායේ මුල් කාලයේ දී මිනිසා රැවටීමේ කිසිම මැදහත්වීමකින් තොරව බිහිවූ ඒවාය. නමුත්, පෙර කී පරිදි ඒවා සමාජ සංවර්ධනයේ දී පංති රාජ්‍ය බලයේ කොටසක් ලෙස ඉදිරිපත් වූ කල වැඩිකල් නොගොස්ම පූජකයන් විසින් කරනු ලබන රැවටීම අනිවාර්යය වන බව පැහැදිලිව දිස්වෙයි. එහි දී මේවාගේ පැවැති ස්වයංසිද්ධභාවය ඉක්මවා රැවටීමෙන් හා ඉතිහාස නොමඟ හැරීම් මගින් පන්ති සමාජය රකින ව්‍යාකූලත්වයන්, මිත්‍යාවන් සහිත ගූඪවාදයන් බවට පෙරළිනි.

මේ තතු යටතේ ආගමික අධිව්‍යූහයේ මිත්‍යාවන්ට එරෙහිව විවිධාකාර සමාජ බලවේගයන් මතු විය. එම තර්ක යථාවාදී මෙන්ම, අධි භෞතිකවාදී, ස්වභාවික විද්‍යාවේ වෘද්ධිය නියෝජනය කළ අයගෙන් මෙන්ම අරාජිකවාදී ස්වරූපයෙන් ද වේදිකා ගත විය. නමුත් මේ බොහොමයක් සමාජ අධිව්‍යූහයේ රඟදෙන කෘත්‍රිම ආගමික ප්‍රකාශනයන්ගෙන් ඔබ්බට තම විචාරයන් ගෙන යෑමට සමත් නොවීය. ආගමික අධිව්‍යූහයේ පවතින මේ මිත්‍යාවන්ට එරෙහිව තම සටනේ දී මාක්ස්වාදීන් එදා මෙදාතුර පෙන්වා දුන්නේ හා පෙන්වා දෙන්නේ මේ ආගමික මිත්‍යාවන්ට එරෙහි සටන හුදෙක් අතනින් මෙතනින් අහුලාගත් ඊනියා පුසාරම් දෙඩීම් මගින්, නැතිනම් පරිභව, අවඥා, අවලාද, ප්‍රකෝපකාරී ප්‍රකාශන මගින් පෙරට ගෙන යෑමට නොහැකි බවයි. එවැනි දැය මඟින් වසර දහස් ගණනක් ශිෂ්ට සම්පන්න මනුෂ්‍ය වර්ගයාගේ බහුතරයක් පාලනය කළා වූ ආගම් විස්ථාපනය කිරීම කළ නොහැකි වන බවයි. එමෙන්ම ඉන් සමාජයට ඥාණාලෝකය ගෙන යෑම වෙනුවට සිදුවන්නේ ආගමික මිත්‍යාවන් නිශ්ප්‍රභා වීමක් නොව තව තවත් ආගමික මිත්‍යාවන්ට සමාජය හිරකිරීමක් පමණක් බවයි.

ඒ වෙනුවට (ආගම්) එහි සම්භවය සහ සංවර්ධනය, එය පැන නැග්ගාවූ සහ ඊට සමාජයේ ආධිපත්‍යය උසුලන තත්ත්වය කරා ලඟා වීමට හේතු වූ ඓතිහාසික තත්ත්වයන්ගේ දෘෂ්ටි කෝණයෙන් පැහැදිලි කිරීමට අයකු සමත් වන තුරු ඔහුට මේ කිසිම මිත්‍යාවක් නිෂ්ප්‍රභා කිරීමට නොහැකි බවයි.

අපි එදා මංජුලගේ කෙටිකතා කෘතිය ඒ අයුරු විවේචනයට භාජනය කළෙමු. එපමණක් නොවේ. තමන්ගේ සීමිති දෘෂ්ටියෙන් උව තමන් නිර්මාණයක් ලෙස කල්පනා කරන දැයක් ඕනෑම ස්වරූපයකින් සමාජ ගත කිරීමේ අයිතිය ආරක්ෂා කිරීමට, කතෝලික පල්ලියට එරෙහිව අපි පෙළ ගැසුනෙමු. අදත් අපි එසේ කළ යුතු ය. මේ පැරණි ලිපිය, ආගම් පිළිබඳව යල් පැනගිය පුද්ගලවාදී විවේචන නොව වෙනස්වන ලෝකය තුළින් බිහිවන අලුත් අදහස් කරා ආලෝකයක් වේවා යි අපි පතමු.

මේරි නම් වූ මරියා

මේරි නම් වූ මරියාමංජුල වෙඩඩිවර්ධනගේ “මේරි නම් වූ මරියා” නම් වූ කෙටිකතා සංග්‍රහය තහනම් කරනු ලැබ තිබේ. ඒ අනුව පොත්සැල්වල තිබූනු එහි සියලු පිටපත් පොලිසිය විසින් එකතු කරගෙනද ගොස් ඇත. එපමනක් නොවේ ඔහුව අත් අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයටද පත් කර ඇති අතර අපරාධකාරයකු කොට සලකා පොලිස් ප්‍රශ්න කිරීම් වලියකට ද මැදිකොට ගෙනතිබේ.තම කලා කෘතිය අරභයා මේ හිරිහැර කරදර වැලකට මංජුලව භාජනය කොට තිබෙන්නේ කතෝලික පල්ලිය විසින් කරන ලද පැමිණිල්ලක් මුල් කොටගෙන ය. පැමිණිල්ලට අනුව මංජුල තම පොතේ එන කතාවකින් මරියා මව්තුමියට මහත් වූ අපහාසයක් කර තිබේ. එමෙන්ම එහි පිට කවරයේ එන අතෘප්තිකර හා අසහනකාරි ඉරියව්වක් ප්‍රකට කරන අඩ නිරුවත් කාන්තා ඡායාරූපයේ ලයෙහි එල්බෙන කුරුසියක් වෙයි. එවන් වූ කාන්තා ඡායාරූපයක කුරුසියක් සටහන් කර තැබීම කුරුසියට සිදුවන අවමානයක් ලෙසද කතෝලික පල්ලිය මගින් චෝදනා කර තිබේ.

මෙම කෙටිකතා සංග්‍රහයේ එන “ශාන්තුවරයා හා දෙකේ කාසිය”, “ශුද්ධ වූ ජුදාස්”, “මේරි නම් වූ මරියා” යන කතා ඍජු ලෙසත්, “සුගති උද්‍යානයෙන් නෙරපීම” යන්නෙන් අතරතුර ලෙසත් කතෝලික පල්ලියට යම් අභියෝගයක් එල්ල වී ඇති බව සැබෑය. එය බැලූ බැල්මටම පෙනේ. ඒත් මේරි නම් වූ මරියා කතාවේ එන මරියා, මේරි ජසින්තා ද සිල්වා නම් කාන්තාවක් ලෙස නම් කිරීමෙන් එම අභියෝගයේ ප්‍රමාණය දශමයකිනුදු අඩු වෙතැයි මට නම් නොසිතේ. කෙසේ වෙතත් ජන සමාජය තුල ප්‍රචලිත මතවාදයන් සමාජ ආර්ථික ගැටලු මෙන්ම ආගමික විශ්වාසයන් හා ඇදහීම් ආදියත් කලාකරුවාගේ විෂයපථයෙන් ඈත්ව තිබෙන දේ නොවේ. මිනිසා තුළ පවතින කිසිවකින් ඉවත් වී සිටීමට කලාකරුවාගෙන් ඉල්ලීම හෝ ඒ සඳහා අණපනත් පැනවීමට යෑම මිනිසාගේ යහපතට නොව, පිරිහීමට හේතුවක් වන්නේ වෙයි.

එවන් බලපෑම් කිරීමකට යම් ආගමික සංස්ථාවක් ප්‍රයත්න දරන්නේ නම් වර්තමාන ශබ්දකෝෂයට අනුව එය මූලධර්මවාදයකි. ඓතිහාසිකව බලන්නේ නම් එසේ මූලධර්මවාදී ප්‍රහාරයන්ට ගොදුරුවූවන් දහස් ගණනින් නොව ලක්ෂ ගණනින් ගණන් කිරීමට සිදුවෙයි. ඒ අතර කලාකරුවන් බුද්ධිමතුන් පමණක් නොව නම් ගම් සඳහන් නැති සාමාන්‍ය වැසියෝ අප්‍රමාණ ය. නමුත් 18 වන ශතවර්ෂයේ යුරෝපීය කම්කරු පංතියේ නැඟීමත්, ඒ ආශ්‍රිතව මධ්‍යම පන්තින් පදනම් කරගත් ලිබරල්වාදයේ නැඟීමත් නිසා කතෝලික පල්ලියේ මූලධර්මවාදය ප්‍රබල අභියෝගයකට මුහුණ දුන්නේ ය. ඒ අනුව 20 වන ශත වර්ෂය වනතෙක් වැඩවසම් රාජ්‍යයේ පුරෝහිතයාව සිටි කතෝලික පල්ලිය විමුක්ති දේවධර්මය කරා පසුබසිමින් ධනපති රාජ්‍යයන්ගෙන් පහර ලබන ජනතාවන්ගේ අයිතීන් වෙනුවෙන් කොඳුරන තත්ත්වයකට පත් වීම දක්නට ලැබේ. නමුත් දැනට දශකයක පමණ සිට Globalization වැඩ පිළිවෙළට අනුව සැකසෙමින් නැවත වතාවක් ලොව පුරා ඇමරිකාව- බ්‍රිතාන්‍ය මුල්කරගත් ආධිපත්‍යයකට සහාය දක්වන, ඒ වෙනුවෙන් මතවාදයන් හසුරුවන තැනට ගමනක් අරඹා තිබේ. කලකට පසු මංජුලගේ මේ පොතට පහරදීමට පෙරට ඒම ඒ නව ගමන් මගේ එක් සංකේතයක් ලාංකීය සමාජය මතින් ඉස්මතුවීමක් ලෙස සැලකුව ද වරදක් නැතැයි සිතමි. සැබැවින්ම මංජුලගේ පොතෙහි එන නීත්‍යානුකූල සැමියාගේ නොවන දරුවකු මරියාගේ කුස තුළ පිළිසිඳි කලෙක දිය හැකි පිළිතුර ලෙස, “ඔයා ජෝසප් ට කියන්න දරුවා ගෙමියන් වහන්සේගේ කියලා” යන උපදේශය පදනම් වන විවේචනය කතෝලික ඇදහීමට විරුද්ධ තර්කයක් ලෙස ලංකාව තුල මතු වූයේ මෙයට ශත වර්ෂයකට ද පෙර ය. ඒ බෞද්ධ සංඝයා හා කතෝලික පූජකයන් අතර පැවැති පංච මහා වාද වල දී ය. දෙවියන්ගේ කැමැත්ත පිළිබඳව “ශුද්ධ වූ ජුදාස්” හි එන තර්කයන්ද පමණක් නොව ලෝකයේ පළමු හොරකම කරන ලද්දේ ආදම්ගේ ඉල ඇටය සොරු ගැනීම මගින් දෙවියන් වහන්සේ විසින් ය යනාදී වූ තර්ක රාශියක් මෙම පංච මහා වාද වලදී නගනු ලැබිනි. කතෝලික ආගමික ඇදහීම් සම්බන්ධ වූ තියුණු විවේචනයක් සහිත මෙම පංච මහා වාද පසුව පොතක් ලෙස මුද්‍රණය කෙරුණි. එම පොත අදත් ප්‍රධාන මහජන පුස්තකාලවල මෙන්ම පෞද්ගලික පුස්තකාලයන්හි ද තිබේ. එම පොත තහනම් කරන ලෙස කතෝලික පල්ලිය අද වන තෙක් ඉල්ලා සිටියේ නැත. නමුත් මෙවන් විවාදයකට මධ්‍යකාලීන යුරෝපයේ යමකු ඉදිරිපත් වී නම් ඔහුගේ ගෙල අහිමි කිරිමට කතෝලික පල්ලිය මොහොතකඳු පැකිලුනේ නැත.

ජේසුන් නියෝජනය කළේ කුමක්ද?

ස්පාටකස් මෙහෙයවන ලද ඓතිහාසික වහල් කැරැල්ල ලේ ගංඟාවක ගිල්වා විනාශ කර දමනු ලැබූ අතර වහලුන්ගේ තත්ත්වය වඩාත් තිරශ්චීන තත්ත්වයකට හෙලන ලදි. මහත් වූ වේදනාවන්ගෙන් ගිලීගිය වහලාගේ විමුක්තිය අපේක්ෂාව අනතුරුව ප්‍රකාශයට පත් වූයේ ජේසුන්ගේ ක්‍රියාකාරීත්වය ලෙසිනි. එය වහල් සමාජයේ පාලකයන්ගේ සියලු ආගමික ඇදහීම්, දේව රූප-පිළිම වන්දනාවන්, සුරුවම් වන්දනාවන්, බිලිපූජා ආදී සියල්ල අභියෝගයට ලක් කරන අතර පන්තිභේදයට එරෙහිව මිනිසාගේ සමානාත්මතාවය වෙනුවෙන් මහත් හඬක් නැංවී ය. ඒ නිසාම වහල් හිමියන්ගේත්, උන්ගේ ආරක්ෂාව වෙනුවෙන් මතවාදයක් සකසා වහල් සමාජයේ රජුන්ටත් වඩා සැප සම්පත්, වරප්‍රසාද භුක්ති විඳි පූජකයන්ගේත් මහත් වෛරයට ජේසුන් හා ඔහුගේ අනුගාමිකයන් ලක් කෙරිනි. ජේසුන් මරණයට පත් කිරීමෙන් නොනැවතුණු මෙම මර්දනය ඔහුගේ අරගලයට භක්තිමත් වූ සැම වෙතටම ගලා ආවේ ය.ඔවුහු සතු සියල්ල පැහැරගත් අතර නිවෙස් වලින් පන්නා දමනු ලැබූහ. ජේසුන් පිළිගත් ලොකු කුඩා, ධනවත්, දිළිඳු, උගත් නූගත් සෑම අයෙකුම අමානුශික ලෙස මරා දමනු ලැබිනි. නීරෝගේ ක්‍රි.ව 55-68 කාලයේ වඩාත් තියුණු  වූ මෙම මර්දනීය ක්‍රියාකලාපය අඩුවැඩි වශයෙන් ඊළඟ ශතවර්ෂ  ගණනාව තුළම පැවැත්තේ ය.

රෝම අධිරාජ්‍ය ක්‍රිස්තියානිය වැලඳ ගනී

නමුත් අන්තිම වශයෙන් බහු ජනතාව අතර කිතුනු දහම ලෙසින් ප්‍රචලිත වූ මේ අදහස් මාලාවට එරෙහි අරගලය රෝම අධිරාජ කොන්ස්ටන්ටයින් යුගයේ දී, හතරවන ශත වර්ශයේ මුල් භාගයේ දී, නිමා කෙරුනේ මේ අදහස් මාලාව රාජ්‍ය මඟින් අත්පත් කර ගැනීම මඟිනි. මෙය බුදුදහම – මහමදාගම ඇතුලු සියලුම ප්‍රමුඛ ආගම්වලට අත් වූ ඉරණමයි. එමගින් කිතු දහමත් පැරණි දේව ඇදහීමුත් ඒකාබද්ධ කෙරුණු අතර රූප-පිළිම-සුරුවම් වන්දනාව හා ශුද්ධ  ධාතු වන්දනාව කිතු දහමට ඇතුළත් කෙරිණි. ඒ සඳහා රූප වන්දනාවට එරෙහිව පැවැති පැරණි දස පනතේ දෙවන පනත ඉවත් කර දසවන පනත පනත් දෙකක් බවට පත් කරන ලදී. පැරණි සබත් දවස වෙනුවට පැරණි හිරු වන්දනාවේ ශුද්ධ දවස වූ ඉරිදා දිනය ශුද්ධ දිනය බවට පෙරලන ලද අතර කොන්ස්ටන්ටයින් අධිරාජ්‍යයා ඉරු දින ශුද්ධ දිනයක් ලෙස තම අධිරාජ්‍ය පුරා පැවැත්විය යුතු යයි නියෝග කරන ලදී.

පාප්වරයා දෙවියන් එවූ ගැලවුම්කරු වීම

දෙවියන් වහන්සේගේ ප්‍රමුඛත්වය ක්‍රිස්තියානි සභාවේ නායකයාට (පාප්වරයාට) ආරෝපණය කරන ලදී. පාප්පරයාට නොවරදින සුලු භාවය ඇතැයි ඉගැන්වී ය. රෝම සභාව එමගින් උත්තරීතර භාවයට ගෙන එන ලදී. පාප් තුමා කෙතරම් ගෞරවනීය ද කොතරම් උතුම් ද කිවහොත් හෙතෙම සාමාන්‍ය මිනිසකු නොව දෙවියන් වහන්සේ ද දෙවියන් වහන්සේ ගේ නියෝජිතයා ද මෙනි. එහෙයින් පාප් තුමා ස්වර්ගයේද, පොළවේ ද පාතාලයේ ද රජාණන් ලෙසින් ත්‍රිත්ව ඔටුන්නකින් සැරසී සිටින සේක. පාප්වහන්සේගේ බල අධිකාරිය මනුෂ්‍යයාගෙන් නොව දේවියන් වහස්සේගෙන්ම වන බැවින් දිව්‍ය ව්‍යවස්ථාව නවීකරණය කිරීමේ බලය උන්වහස්සේ සතුය යනාදී ලෙසින් පාප්වරයාට දෙවියන්ගේ සියලු බලතල පවරන ලදි. මෙසේ පාප් ආධිපත්‍ය කිතුනුවන් මත හයවන ශතවර්ෂය තුළ දී ස්ථාපිත කර පූර්ණ කරන ලදි. අනතුරුව රූප වන්දනාව, ශුද්ධවන්ත වන්දනාව සහ මරියතුමියට වන්දනා කිරීම පාප් ආධිපත්‍ය යටතේ ගොඩ නැංවී ය. පව්කාරයින් දැවෙන සදාකාලික නිරයක් ගැන ඉගැන්වීම ද මේ රෝම සභාවේ ම නිර්මාණයකි.

මේ සියල්ල මගින් ක්‍රමිකව ගොඩ නැගෙන වැඩවසම් සමාජයේ ඉඩම් හිමියන්ගේ ආධිපත්‍ය තහවුරු කිරීම සිදු කෙරිණි. ස්පාටකස්ගේ කැරැල්ල වහල් අරගලයේ උච්ච අවස්ථාව විය. එහි පරාජය වහල් සමාජයේ පැවැති ඍජු පන්ති අරගලයේ අවසානය පමණක් නොව වහල් සමාජයේ ම බිඳවැටීම ද සනිටුහන් කිරීමක් ය. ඒ සමඟ පෙරට ආ ඉඩම් හිමියාගේ ආධිපත්‍ය තුළ  වූ වැඩවසම් සමාජයේ පන්ති විෂමතාවය පවත්වා ගැනීමේ සංකල්ප පද්ධතිය බවට කිතු දහම පත් කරන ලදි. ඒ සඳහා පැරණි ස්වභාවික කිතු දහම නිශේද කර රෝම සභාව පදනම් කර ගනිමින් ඉඩම් හිමියාගේ අවිය බවට කිතු දහම පත් කෙරිනි. ප්‍රවේණිදාසයා විඳින පිඩාව දේව කැමැත්ත විය ඉඩම් හිමිකමට එරෙහිව තම නිදහස පතා සටන් කිරීම ප්‍රවේණදාසයා සදාකාලික නිරයට වැටීමට හේතුවක් බවට පත් කෙරිණි. පුද්ගලික දේ වල ශුද්ධ වූ අයිතියයි.එමගින් මධ්‍යකාලීන යුරෝපය වසා පාප්වරයාගේත්, කාදිනල්වරුන්ගේ හා බිෂොප්වරුනගෙත් ආධිපත්‍ය පතුරුවාහරින ලදී. පාප්වරයාගෙන් එන රොටී සහ මිදි යුෂ ක්‍රිස්තුස්වහන්සේගේ සැබෑ ශරීරය හා රුධිරය බවට හරවන ලදී. සියල්ලේ මැවුම්කරුවාණන් රොටි(පූපය) සහ මිදි යුෂ තුළ මැවීමට වැඩ කටයුතු කරන ලදී. සත් ප්‍රසාදය දෙවියන් වැඩ සිටීම සැකයට පාත්‍ර කළ උන් පුලුස්සා මරා දමන ලදී. පාප්වරයාගේ නියෝගයන්ට අභියෝග කළ හෝ රූප වන්දනාව හා ශාන්තුවර වන්දනාව අභියෝගයට ලක් කළ වුන්ගේ ඉරණම මරණය විය. තම පැවැත්ම රැක දෙන මේ රෝම සභාවේ පූජ්‍ය පක්ෂය සියලු මධ්‍යකාලීන යුරෝපීය රජුන් විසින් ගෞරව පුරස්සරව නඩත්තු කෙරිණි. රාජ්‍ය වරප්‍රසාද මගින් හා බලතල මගින් පිරිහී ගිය පාප්වාදී ආගමික නායකයෝ තම අසීමිත බලතල යොදාගනිමින් නිදහසේ අවකල් ක්‍රියාවන්හි යෙදුනහ. වැඩවසම් රදලයන්ගේත් මොවුන්ගේත් දුෂ්ට පැවැතුම්වල වෙනසක් නොවීය. පාප්වරයාගේ ද, සභා නායකයන්ගේ ද මන්දිර අධම සල්ලාල මධ්‍යස්ථාන වූ බවත් ඇතැම් සභානායකයන් කොතරම් අපරාධයන්හි ගැලී සිටියේද කිවහොත් ලෞකික පාලකයෝ එම සභානායකයන් ගැන තවත් ඉවසා සිටිය නොහැකිව ඔවුන් තනතුරු වලින් පහ කිරිමට වැයම් කළ අවස්ථා ගැනත් පොතෙහි වයිට් නම් කතුවරිය සඳහන් කර ඇත.

ආගමික ප්‍රජා පීඩනයට එරෙහිව

ශතවර්ෂ ගණනාවක් යනතුරු සැබැවින්ම කාර්මික විප්ලවය හරහා මතු කෙරුණු නව පුනරුදය දක්වාම යුරෝපය අධ්‍යාපනයෙන් ද කලාවන්ගෙන් හෝ ශිෂ්ටාචාරකමින් කිසිදු  ප්‍රගතියක් නොපෙන්වීය. පාප් ආධිපත්‍යට එරෙහි වූ ක්‍රිස්තියානි ලෝකය සදාචාරත්මක හා බුද්ධිමය බෙලහීනකමකට හසුවී තිබුණි. මේ යුගයේ පැවැති එම තත්ත්වය මුල්කර ලියැවුණු නවකතා අතරින් අයිරිෂ් ජාතික එතල් වොයිනික් ගේ The Gadfly වත්මන් පාඨකයාට ඒ දැකීමට හැකි මහත් ආලෝකධාරා විහිදුවන්නකි. ඩොස්ටොයෙව්ස්කිගේ කර්මසෝ සහෝදරයෝ නවකතාවේ එන කතෝලික පූජකයෝ නැවත මෙලොවට පැමිණි ජේසුන්ව හිර ගෙදරට දමන්නේ කිතු දහමේ ආරක්ෂාව සඳහා තමන් කරන අපරාධවලට ඔහු විරුද්ධ වන බව දැන සිටි නිසාය. ජේසුන් විසින් වහලාගේ විමුක්තිය වෙනුවෙන් කල අරගලය ප්‍රවේණිදාසයා කොල්ලකෑමේ වැඩ පිළිවෙළක් බවට උඩු යටිකුරු කෙරුණු මේ ක්‍රියා මාර්ගයට එරෙහිව අරගලයක් එදා නොපැවතුනා නොවේ.මහත් වූ මර්දනයන් මැද එම අරගලය මාටින් ලුතර් තුළින් ප්‍රකාශයට පත් කෙරිණි. ඔහුගේ අරගලය පාදක කරගනිමින් ගොඩ නැගුණු පොතෙස්තන්තය ද පසුව පාලකයන්ගේ ගොදුරක්ම බවට පත් වී ගියේ ය. පොතෙස්තන්තවාදයේ ඉතිහාසය ගැන ලියන ජේ වයිල් පවසා ඇත්තේ “පාප් පාලනයේ දිවා කල ලොවෙහි මධ්‍යම රාත්‍රිය බවය.”

මෙසේ ඓතිහාසිකව බලන කළ කිතු දහමටත්, ජේසුන්ට හා ඔහුගේ දුගී  මෑණියන්ටත් අවමන් කිරීම ගැන ජිවිතාන්තය දක්වා හිරගෙට යැවිය යුත්තේ මේ පූජකයන් ය. තහනම් කළ යුත්තේ ඔවුන්ගේ ලියකියවිලිය පොත්පත්ය. සැබැවින්ම මංජුල අභියෝග කරන්නේ ලොවට එරෙහි වූ මෙම මිත්‍යාවන්ට ය. නමුත් ඒ සඳහා ඔහු යෙදාගන්නා නිමිති බොහෝ කොට ක්‍රිස්තියානියේ ගැඹුරට මිනිසුන්ගේ දැක්ම මෙහෙයවන්නට හේතු වේ යයි මට සිතෙන්නේ නැත. හින්දු ආගම මෙන් ම මහමදාගම මඟින් පුරුෂාධිපත්‍යයට අසීමිත වූ සංස්කෘතික හා සදාචාරත්මක බලයක් හිමිකර දෙමින් කාන්තාවන්ගේ සියලු ශාරීරික, මානසික හා සමාජ-ආර්ථික අයිතින් ගසා කෑමට ලක්කර තිබීම හෙළිදරව් කළ තස්ලීමා නස්රීන් මේ ආගමික මතවාදයන්ගේ වෙනසක් වෙනුවෙන් හඬ නැගුවාය. “කුරානය” යළි ලිවිය යුතුය යන ඇගේ ප්‍රකාශය විසින් කුපිත කරන ලද මහමදාගමික පුරුෂයින් ඇගේ හිස ඉල්ලා උද්ඝෝෂණය කළහ. බංගලිදේශ ආණ්ඩුව ඇයට ස්වේච්ඡාවෙන්ම පිටුවහල් වීමට ඉඩහැර ලෝක ජන මතයෙන් ගැලවුණේ  ය. නමුත් කුරානය නැවත ලියවෙන්නේ පවතින සමාජ සම්බන්ධතාවන්ගේ විප්ලවකාරී පරිවර්තනයක් මඟින් බව ඇය තේරුම් නොගන්තී ය.එනිසා මහමදාගමේ මූලයන් කරා යමින් ඒ මත පදනම්ව එහි වර්තමානයේ තිබෙන දුර්පැවැත්මත් එහි ආනාගතයේ ඇතිවන වෙනස්කමුත් පැහැදිලි කිරීමට ඇයට හැකි නොවීය. මේ නිසා මුස්ලිම් ජනතාව අතරට ඇය ගෙන ගිය නවමු දැනුමක් ද නොවී ය. මානව ඉතිහාසයේ නොමැකෙන සටහන් තබා ඇති මහා අරගලයක් මගින් තම විමුක්තිය සලසා ගැනීමට වෑයම් කර පරාජිත වූ වහලාගේ බිඳ වැටුණු ආත්මයේ බර කරට ගත් ජේසුන්ගේ උතුම් බලාපොරොත්තුව කතෝලික පල්ලිය විසින් බඩගෝස්තරයටත් කාම සුඛල්ලිකානු යෝගයටත් වැඩවසම් රජුන් වෙත පාවා දුන්නේය. කතෝලික පල්ලියට සැබෑ ලෙස අභියෝග කළ හැක්කේ ජේසුන්ගේ ඒ උතුම් වූ අපෙක්ෂාවන් අද පවතින පන්ති අරගලයේ අවශ්‍යතා මත පදනම්ව ජය ගැනීමට සටන් කිරීමෙනි. එමඟින් ප්‍රජා පීඩනයේ මධ්‍යස්ථානයක් වන වතිකානුවේ මහ මැදුරු පුපුරුවාගෙන ජේසුන්ගේ පුනරාගමනයට මං සැලසීම මගිනි. එසේ නොමැතිව කුප්‍රකට යාන් හෑලිවලටත් යොදාගෙන ඇති මතුපිට තලයේ විවේචනයන් නැවත නැවත ආකෘති හරඹ ඔස්සේ තම නිර්මාණ තුළින් එළි දක්වා නොවේ. එයින් සිදුවන්නේ කාන්තාවටත් මාතෘත්වයටත් අවමන් වීම විනා කතෝලික පල්ලියේ ප්‍රජා පීඩනය හෙලිදරව් වීම නම් නොවන්නේ ම ය. 

මංජුලගේ නිර්මාණකරනයේ ප්‍රතිභාවත්, භාෂාව හැසිරවීමේ දී දක්වන නිරවුල් බවත් අපගේ ප්‍රීතියට හේතු වෙයි. එවන් තරුණ කලාකරුවෙකුට අඩන්තේට්ටම් කිරීම නොමනා ය. කලාකරුවාගේ නිර්මාණ නිදහසේ රසිකයන් අතර ගලා යෑමට ඉඩ හල යුතුය. නිර්මාණකරනයේ ඇද පලුදු හරි වැරදි උස්මිටි තැන් හැඩ වැඩ වීම සිදුවන්නේ එමඟිනි. මංජුලට බොහෝ දුර ගමනක් යා හැකිය. එයට බාධා කරන්නන් හෙළීමට අපි සූදානමින් සිටින බව සඳහන් කළ යුතුය.

රණත්

මෙම ලිපිය ඕ පියම වෙබ් අඩවියේ 2019.07.12 දින පළ විය.

You may also like...

2 Responses

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.