යුද්ධය බඩ රස්සාවට ගැනුණු ගැමි සමාජයේ ඛේදවාචකය “පුරහඳ කළුවර”
අධ්‍යක්ෂණය – ප්‍රසන්න විතානගේ
“පුරහඳ කළුවර” ජූලි 28 වැනිදා සිට 05 වන මණ්ඩලයේ සිනමාහල්වල තිරගත කිරිමට නියමිතව තිබිනි. නමුත් උතුරු ප්‍රදේශය පිළිබඳ පුනරුත්ථාපන, ප්‍රතිසංස්කරණ හා සංවර්ධනය පිළිබඳ අමාත්‍ය සරත් අමුණුගම විසින් චිත්‍රපටය ප්‍රදර්ශනය කල් දමන ලෙස නියෝග කර තිබේ. ඇමතිවරයා කියා ඇත්තේ රටේ ආරක්ෂක තත්ත්වය යහපත් වූ වහාම චිත්‍රපටය ප්‍රදර්ශනය කරන බවය. නමුත් මේ ගැන අදහස් පළ කරන චිත්‍රපටයේ නිර්මාතෘ ප්‍රසන්න විතානගේ පෙන්වා දෙන්නේ “…නිමක් නැති යුද්ධයක් මැද දශක දෙකක් පුරා ජිවත් වී ඇති මට ඔහු කියන ලෙස කවදා රටේ ආරක්ෂක තත්ත්වය යහපත් අතට හැරේවි දැයි යන්න ගැන ඇත්තේ බලවත් සැකයක්. ඒ තත්ත්වය යටතේ ඒ ප්‍රකාශයෙන් පැහැදිලිවන එකම කාරණය වන්නේ යුද්ධය පවතින තුරු මාගේ චිත්‍රපටය යළි කිසි දිනක මේ රටේ ප්‍රදර්ශනය කරන්නට ඉඩ නොලැබෙන බවයි….” යනුවෙනි.
ප්‍රසන්නගේ මේ අදහස කෙසේ වෙතත් “පුරහඳ කළුවර” තහනම පිටුපස ඇත්තේ යුද්ධය සම්බන්ධ කාරණාවකට වඩා ආණ්ඩුවේ සීමිත උවමනාවක් බව තහවුරු කිරිමටද බොහෝ දෙනා වෑයම් කරනු පෙනේ. එළැඹෙමින් තිබෙන මහා මැතිවරණයට ප්‍රයෝජනයක් වන පරිදි “රාජ්‍ය සේවය පිණිසයි” චිත්‍රපටිය ශාලාවලට නිකුත් කිරීමේ පටු දේශපාලන වාසි සඳහා පොදු පෙරමුණු ආණ්ඩුවේ බලධාරීන්ට අවශ්‍යව තිබෙන බව ඔවුන් පෙන්වා දෙයි.
“පුරහඳ කළුවර” තුළින් ඉතාමත් සංයුක්තව ඉදිරිපත් කෙරෙන්නේ යුද්ධය මඟින් මනුෂ්‍යත්වය ගිලගන්නා අයුරුයි. සමාජයේ සියලුම සාරධර්ම විනාශ වී යන අයුරුයි. ඉතාම තියුණු ලෙස සමාජයේ ඉහළ සිට පහළටම යුද්ධය මිනිසාගේ සම්මස්ඇට සියල්ල කිසිවක් ඉතිරි නොකර ගිලගන්නා අයුරු සිත්සතන් කම්පා කරවමින් විදහා දැක්වෙයි. ආණ්ඩුව ප්‍රධාන ලෙස විරුද්ධ වන්නේ මෙයටය. අතරතුර හේතු මුල් තැනට ගන්නන් කරන්නේ එම සත්‍යය වසා දැමීමය.
වන්නිහාමි සංකේතයක් ලෙස
පුරහඳක් අහසේ නැඟී ඇත. එය බැස යද්දී දවස ආරම්භ වන්නේ ගරා වැටී නියඟයෙන් සිඳී ගිය වැවක, කර්කශව පුපුරා ගිය පොලෝ තලය මත පිය මනින මහලු – ඇස් අන්ධ වන්නිහාමිගේ අබල දුබල දෙපාවල දර්ශනයෙනි. ඔහු සෙමින් සෙමින් අස්ථීර ලෙස පිය මැන්නේ වැව මධ්‍යයේ ඉතිරිව ඇති ජලයෙන් තම ලබුකැටය පුරවා ගැනීමටය. වාණිජකරණයට හසුවී විනාශ වි ගිය ගැමි ආර්ථිකයත්, ඒ තුළින් අනාථ වි හව්හරණක් නැතිව සිටින ගැමි ජනයාත් ඉන් සංකේතවත් කෙරෙන්නා සේය.
ගැමියා දෛනික ජිවිතයේ අවශ්‍යතා සපුරා ගනු ලැබුවේ පරිසරය සමඟ සහජීවනයෙනි. එ නිසා පැරණි ගම්මානය සුරක්ෂිත විය. වර්ෂාව ප්‍රමාද වී ඇදහැලුන ද වනාන්තරය නිරතුරුවම පිළිසරණ විය. වැවේ ඒ මේ අත සරන මසුන් වනයේ අල වැල් -පලතුරු-පලා වර්ග ඔවුන්ගේ ස්ථාවර ධනය වූයේ ය.
නමුත් ඊනියා සංවර්ධනය මේ සියල්ල විනාශ කළේය. ගැමි ජනයා කතරක අතරමං වී ගියහ. ඊනියා සංවර්ධනය ඔස්සේ ඔවුන් සතු වූ සියලුම ආකාරයේ ස්වභාවික දායාදයන් අහිමි කළා පමණක් නොවේ. මේ සංවර්ධනයේ කොතැනකටවත් ඇතුල් වීමට ඔවුහු වරම් නොලදහ.
ඔවුන් වරම් ලද්දේ මේ දුෂ්ඨ සංවර්ධනයේ අනිටු දායාදය වූ වර්ගවාදී යුද්ධයට ඇතුල් වී පණ නල ගැට ගසා ගැනීමට පමණය. යුද්ධයම බඩ රස්සාව කර ගැනීමට පමණි.
නියඟය නිසා ජලය සොයා වැවේ අන් තැනක ජලය එකතු කරමින් සිටි අයකුගේ කතාවකට පිළිතුරු දෙන වන්නිහාමි කියන්නේ තව දින හතරකින් වැසි වැටෙන බවය. එයට පෙර තම නිවස හෙවිල්ලීමට එන ලෙසද ඔහු කියයි. නැතිව ගිය තම නෙත් අඩ ලෙස අහසට යොමු කරමින් ඔහු කරන මේ ප්‍රකාශය, පරිසරය සමඟ අනන්‍යව වෙසෙමින් ගැමි ජනයා එදා ගත කළ බලාපොරොත්තු සහගත දිවියේ සේයාවක් වැන්න.
බණ්ඩාරේ ගෙදර එයි
කබල් වි ගිය අවමංගල රියක් ගමට ඇතුල්වෙයි. එයට ද වඩා අබලන් වූ පා පැදියක සංඝයාවහන්සේ නමක් ද පටවා ගෙන යන ගැමියෙකුගෙන් අවමංගල රියේ මඟියෝ යමක් විමසති. පා පැදිය ආපසු හරවාගන්නා ගැමියා අවමංගල රියට ඉදිරියෙන් පා පැදිය පදිමින් මග පෙන්වයි. මේ ගමන හමාර වන්නේ වන්නිහාමි මාමාගේ පිදුරු සෙවි කළ පැල්පත් කඩුල්ල අසලිනි. දිව එන ගැමියෝ රියේ පැමිණි සොල්දාදුවන් දෙදෙනා සමඟ එක්ව මිනී පෙට්ටිය කර තබාගෙන එයි. සුදු පාට සව්කඩදාසියෙන් තැනූ කුඩා මල්වඩම බාරගන්නා දරුවෙක් මිනී පෙට්ටිය කර තබා ගත්තවුන්ට පෙරටුවේ එයි. පෙට්ටිය නිවස තුළ තැන්පත් කරතත් එය විවර කිරිම තහනම් ය.
මිනී පෙට්ටිය ඇතුලේ වන්නිහාමි මාමාගේ එකම පුතා වන හමුදා භට බණ්ඩාරේ ගේ මළ සිරුර තිබෙන බව කවුරුත් පිළිගෙන සිටී. පැමිණි හමුදා භටයෝ දෙදෙනා එසේ කියා ඇත. රණ විරුවෝ බොරු නොකියති.
බණ්ඩාරේගේ නැඟණිය හඬා වැලපෙයි. බල්ලෝ උඩු බුරලති. චිත්‍ර ශිල්පියෙක් පොටෝ රාමුවක් දෙස බලාගෙන බණ්ඩාරේගේ අනුරුවක් සිත්තම් කරයි. සුදු කොඩි ගැට ගසති. අක්කාද තම සැමියා සමඟ පැමිණ හඬා වැලපෙයි.
“උන්ගෙත් බර ගානක් ගිහිල්ලා. රූපවාහිනියෙන් කිව්වා අපිට වඩා උන්ගේ මලා කියලා….” නිදි මරන්නෝ තෙපලති. කණගාටුවට කරුණක් නැත අපේ උන්ට වඩා උන්ගේ උන් මැරිලාය.
“….ගමේ අය කැමතියි මිනිය දැකගන්න…” කෝ ඒක නිතියෙන් තහනම්. මළ රණවිරුවන්ගේ මුහුණ දැකීම, කතරගම දෙයියන්ගේ මුහුණ දැක්කා වගේ වස් වැදීමට ඉඩ ඇත. එ නිසාම මරණයට ද හේතු විය හැකි කරුණකි. වැසි ඇරඹෙයි. දිරාගිය පිපිරූ වහලයෙන් රූරා ගලන වැසි දිය බණ්ඩාරේගේ මිනී පෙට්ටිය මතට වැටෙයි. පෙට්ටිය ස්ථාන මාරු කරයි.
ණය ගෙවන්න ලක්ෂයක්
ගමේ ග්‍රාමසේවක යතුරු පැදියකින් වන්නිහාමි මාමා සොයා එන්නේ ෆෝරම කොළයක් ද රැගෙන ය. මේක පුරවලා ඇඟිලි අත්සන තබා දෙන්නැයි ඔහු වන්නිහාමි මාමාට කියයි. “…..එතකොට බණ්ඩාරේගේ මරණෙට රුපියල් ලක්ෂයක් ලැබෙනවා. ඒකෙන් මට උකස්කරල තියෙන ගේත් බේරාගෙන තුන් මාසේ දානෙත් කරගන්න බැරියැ….” ඔහු කියයි.
බණ්ඩාරේ උන්නාට වඩා මලා හොඳ බවය ඔහු කියන්නේ. මරණයේ ප්‍රයෝජනය රුපියල් ලක්ෂයක් ලැබීමය. ඉන් ගේ දොර උකසද බේරා ගත හැක. බණ්ඩාරේගේ නංගීව විවාහකර ගැනීමට එන තැනැත්තා යෝජනා කරන්නේ ඒ රුපියල් ලක්ෂය ලබාගෙන කාටත් හොඳින් ඉන්න පුළුවන් ව්‍යාපාරයක් පටන් ගමු කියායි. ඔහුට ද බණ්ඩාරේගේ මරණය වෙස්වලා ගත් ආශීර්වාදයකි. අක්කා – නංගී තුන්මාසේ දානෙට යන වියදම ගණන් බලයි. අටපිරිකර – සෙසුපිරිකර – මස්මාළු වියදම රුපියල් දහපහලොස් දාහකි. ඒ වියදම හොයන්නේ කොහොමද? ෆෝරමය පුරවා දි රුපියල් ලක්ෂය ගැනීමෙන් ප්‍රශ්නය විසඳෙන බව ඇයගේ මතය යි.
වන්නිහාමි මාමා තම පුතුගේ මළ මිනියෙන් ලද හැකි වාසි ගැන නොසිතයි. පැරණි ගැමි සමාජයේ මනුෂ්‍ය සාරධර්මයන්ගේ බලපෑමෙන් ඔහු තවම මිදී නැත. “…..මම පොට්ටයා බව ඇත්ත….ඒත් ඇස් පේන උඹලවත් දැක්කද බණ්ඩාරේගේ මළමිනිය….ඌ හමුදාවට බැදුනෙ මැරිලා වන්දි ගන්න නෙමේ….නංගීගෙන් නිදහස් වෙන්න බලාගෙන…. ගේ දොරක් හදාගන්න බලාගෙන….” වන්නිහාමි පුතුගේ බලාපොරොත්තුව ප්‍රකාශ කරයි. ගැමි දුගී තරුණයාට අද ඇති එකම වෘත්තිය හමුදාවට බැඳීම පමණකි. හමුදාවට යන ඔහුගේ බලාපොරොත්තුව ගුරු – ලිපිකරු – දොස්තර වැනි වෘත්තියකට යන අයකුගේ බලාපොරොත්තූන් හා සමය. එයට ඊනියා දේශප්‍රේමී රණවිරු බෝඩ් ලෑලි එල්ලන්නේ දේශපාලකයෝ – ව්‍යාපාරිකයෝ හා සංඝයාවහන්සේලාය. ඒ බොරු කතා වන්නිහාමි මාමාට පළක් නැත. තම පුතුගේ අපේක්ෂාවන් ඔහු හොඳින් දනී.
රණවිරු සිහිවටන බස් නැවතුම
මේ අතර ප්‍රදේශයේ දේශපාලකයා – ප්‍රධාන ව්‍යාපාරිකයෝ හා නායක හාමුදුරුවෝ වන්නිහාමි මාමාගේ නිවසට පැමිණෙති. “…..බණ්ඩාරේගේ දානෙත් ලඟයි නොවැ. …ගමට හැරෙන හංදියේ බණ්ඩාර වෙනුවෙන් බස් නැවතුමක් හදන්නයි යන්නේ. රට වෙනුවෙන් දිවි දුන්නට උපහාරයක් හැටියට….” ඔවුන් කියයි. වන්නිහාමි මාමා ඉවත බලාගනී. “…. කවුරු වෙනුවෙන් හරි ඒක කරන එක නම් හොඳයි හාමුදරුවනේ…” ඔහු කියයි.
තම පුතාගේ මිනියෙන් දේශපාලන වාසි ලබාගැනීමට මේ මිනිසුන් කරන වෑයම ඔහුට පිළිකුලකි. පුරහඳ නැවත නැඟෙයි. උදැල්ලක් කර තබාගන්නා වන්නිහාමි මාමා පුතුගේ මළ දේහය තැන්පත් කළ තැන සොයා යයි. ඔහු වල හාරන්නට පටන් ගනී. පිරිස් රොක්වෙයි. “…..මාමාට ඕනේ මිනිය බලන්නනේ….” කියන ඔවුහු පෙට්ටිය එළියට ගෙන විවර කරති. පෙට්ටිය තුළ ඇත්තේ කෙසෙල් කොට දෙකක් හා කළු ගලකි. ගල තබා ඇත්තේ සිරුරේ බර හරියන්නට ය. කෙසෙල් කොට දෙකෙන් කරන්නේ ඒ බර තුලනය කිරීමය.
ඒ හැර බණ්ඩාරේගේ සිරුරක් නැත. බණ්ඩාර යුද්ධය විසින් ගිලගෙන හමාරය. යුද්ධය මිනිසුන්ව මුලුමනින්ම ගිල දමයි. මළ මිනීවත් ඉතුරු කරන්නේ නැත. නොමළ උන් කළ යුත්තේ ඒ ගැන සොයා බලා කරදර වීම නොවේ. තමන් ගත් බිල්ල වෙනුවෙන් යුද්ධය ගෙවන වන්දි මුදල ගෙන බඩකට පුරවා ඇන බා සිටීම ය.
එතැනට කඩා බිඳගෙන එන ග්‍රාම සේවක හිසේ අත ගසා ගනියි. “….මොකද්ද තමුසෙල මේ කර ගත්තේ….” ඔහු අසයි “….දැන් කොහොමද වන්දි මුදල ගන්නේ…..” මළ මිනියක් නැති බව වන්නිහාමි මාමා ඔප්පු කර ඇත. දැන් බණ්ඩාරේ වෙනුවෙන් ඔහුට වන්දියක් නොලැබෙයි. බණ්ඩාරේ ද නැත. වන්දියද නැත. ග්‍රාමසේවකගේ ණය මුදල ලැඛෙන්නේ ද නැත. සත්‍ය සේවීම යනු රුපියල් ලක්ෂයක් පාඩු කර ගැනීම හා සමය.
ප්‍රසන්නගේ කෘතිය එසේ දුගී ගැමි දිවියේ ඒකායන පැවැත්ම බවට කුරිරු යුද්ධය පත් වෙමින් තිබෙන අයුරු එළිපෙහෙළි කරයි. යුද්ධයෙන් මහ උන් කෝටි ගණනින් කොමිස් ගසමින් ප්‍රාග්ධනය එකතු කරයි. දුගියා දිවි පරදුවට තබා වැටුපට යුද්ධයට යයි. ඔහු මළ පසු වන්දි මුදල පවුලේ ආර්ථික ගැටලුවලට විසඳුම් දෙන ප්‍රාග්ධනයක් ලෙස යොදා ගැනෙයි. ඒ වෙනුවෙන් ගැමි තරුණයාගේ සියල්ල නැති වී යයි. ඔහුට සිදුවූ දේ කිසිවෙක් නොදනී. මිනියක් නැත. භෂ්මාවශේෂ නැත. මකරෙකු ගිල්ලා වැනිය.
විනාශයෙන් විනාශයට ගෙන යන අපේ ගැමි ජනයාගේ ඉරණම මෙය යි. එය පෙන්නීමට ප්‍රසන්නට ඉඩ දිය හැකි ද?
සමාජ යථාර්ථය ගැන කතා කිරිම අද තම දේශපාලනයට හානියක් ලෙස ආණ්ඩුව සලකයි. එසේ සලකා ක්‍රියා කරයි. “පුරහඳ කළුවර” තහනම අපට දෙන පාඩම එයයි.
මේ සැබෑ අභියෝගය එක්කෝ වල්පල් දොඩවා මඟහැරිය හැකිය. එසේ නැත්නම් එයට යටත් විය හැකිය. එසේ නැතිනම් එයට එරෙහිව ඉදිරිපත් විය හැකිය. අපි බලා සිටිමු. මේ කලාකරුවන් ගන්නේ කුමන මාවතද කියා.
රණත්
2000 අගෝස්තු “හරය” කලාපයේ හා “බැංකු සේවකයා” 2000 සැප්-ඔක් කලාපය (ලංකා බැංකු සේවක සංගමයේ ප්‍රකාශනයකි) පළවිය.
1 Response
[…] […]