සප්ත ස්වරයේ උරුමය අහිමි වීම

සේයා - අන්තර්ජාලයෙන්

උතුරුකරේ අගනගරය යාපනයේ සංකේතය යාල් වීණාවයි.

එයම දෙමළ හින්දුන් තම භූමියේ උරුම කරගෙන සිටි සරුසාර සංගීතය විදහා දක්වන්නකි.

දෙමළ දරුවන්ට කර්ණ රසායන සංගීතය දායාද වූයේ අකුරු උගැන්මට පෙර සිටම ඇසුරෙනි.

කෝවිලද, නිවසද නිබඳ මහා සම්ප්‍රදායික කර්ණාටක ගායන වාදන සම්පත්තියෙන් ඒ කලාපය සංස්කෘතික අතින් පොහොසත් විය.

එහෙත් තිස් වසරකට ආසන්න කාලයක් පැවැති යුද්ධයෙන් ඔවුන්ට අහිමි වූයේ ජීවිත, ගේදොර, හරකබාන ආදී භෞතික සම්පත් පමණක් නොවේ. ඔවුන්ගේ ගෙදර තිබූ තැන අද ඇත්තේ යුද කඳවුරකි. අම්මා අප්පා අතුරුදහන්ය. මතු රැකෙනා බව කී උගත මනා සංගීත ධනස්කන්ධය ද මේ වන විට ආගිය අතක් නැත. ඉතින් අද ඒ දරුවන්ට මහා සංස්කෘතික සම්‍ප්‍රදාය අහිමි වීමෙන් ඔවුන් පත්ව ඇත්තේ දැඩි සංස්කෘතික අහේනියකටය.

මිනිස් වර්ගයාගේ සංවර්ධනය යනු ආර්ථිකය පමණක් නොවේ.

සංස්කෘතික ජීවියකු වන මනු සතා අංග සම්පූර්ණ වීමට කලාව අත්‍යාවශ්‍යය. එය අහිමි කරන ලද තැන ඉතිරිවන්නේ සංස්කෘතික දරිද්‍රතාවයි.

කිවිසුරු මහගම සේකරයෝ සිය ප්‍රබුද්ධ කාව්‍ය සංග්‍රහයේ මෙසේ අසති.

“බතක් – වතක් – ගෙයක් – දොරක්
ලද පමණින්
රස්සාවක් ලද පමණින්
විමුක්තියක් ලැබිය හැකි ද?
අසහනයෙන් මිදිය හැකි ද?
සංසාරේ නිරන්තර ව තැවරී ඇති
දුක එතනින් නිමා වේ ද?”

උතුරේ ජන ජීවිතය හා බැදී පැවති දකුණු ඉන්දීය ශාස්ත්‍රීය සංගීතයට නොඑසේනම් කර්ණාටක සංගීතයට මේ වන විට අත්ව ඇති ඉරණම සම්බන්ධයෙන් සිංහලෙන් කතා කිරීමට හෝ කිසිවකු ඉදිරිපත් නොවන තත්වයක් තුළ ඒ සම්බන්ධයෙන් අතීත හා වත්මන් තොරතුරු බෙදාගන්නට එක්වුයේ අඩ සිය වසකට ආසන්න කාලයක්‌ නර්තන ක්‌ෂේත්‍රයේ, සංගීත ක්‌ෂේත්‍රයේත් නිර්මාණ පමණක් නොව සිසුන් රැසකට ගුරුවූ ආචාර්ය අරුන්දතී ශ්‍රී රංගනාදන්ය.

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සංගීත අංශයේත් දෙමළ සේවයේත් අධ්‍යක්ෂිකා ලෙසින් මෙහෙවර කර ඇති ආචාර්ය අරුන්දතී අෂ්ඨ ලක්ෂ්මි, රාමායනය, නල දමයන්ති හා සකුන්තලා ඇතුලු ගීත නාටක විස්සකට වැඩි සංඛ්‍යාවක සංගීතය නිර්මාණය කර ඇත්තීය.

දකුණේ සිංහල අපට ශාස්ත්‍රීය සංගීතය ආගන්තුක වුවත් ඇය පවසන්නේ යාපනයේ ජන ජීවිතය හා ශාස්ත්‍රීය සංගීතය වෙන් කොට කතා කළ නොහැකි බවයි.

වීනාව හා තත විලසින් එය ජීවිතයේම කොටසක් බවට පත්ව තිබුනා සේම සෑම ගෙදරකම දරුවන් ශාස්ත්‍රීය සංගීතය ඉගෙන ගත් අතර එය නච්ච, ගීත වාදිත පිරි කෝවිල සමග දැඩි ලෙස බැදී තිබු බවයි ආචාර්ය අරුන්දතී ශ්‍රී රංගනාදන් පවසන්නේ.

සංගීතය නැති ජීවිතය

“ගායනය, වාදනය, නර්තනය සෙල්ලමක් වාගේ තමයි අපි ඉගෙන ගත්තේ,” යි ඇය සදහන් කළේ යාපනයේ ජන ජීවිතයට ශාස්ත්‍රීය සංගීතය එදා සම්බන්ධ වී තිබු ආකාරය සම්බන්ධයෙන් නුහුරු ලෝකයකට අප ගෙන යමිනි. “ඒවා ඉගෙන ගත්තේ නැත්තම් ජීවිතය සම්පුර්ණ නැහැ වගේ අදහසක් තමයි අපිට තිබුනේ.”

මීට දසක හතර පහකට ඉහතදී යාපනය සරු සංගීතයකට උරුමකම් පෑ වකවානුවේ ශාස්ත්‍රීය සංගීතයට කාන්තා පුරුෂ පාර්ශවය පිරිස් බේදයකින් තොරව දැඩි සේ ඇලුම් කර තිබේ.

ශාස්ත්‍රීය සංගීතය හදාරා ඉහලටම පැමීනීමේ උවමනාවක් යාපනයේ සියලු දෙනා සතුව නොපැවතියත් කෙලෙස හෝ එම සංගීතය ඉගන ගත යුතු ය යන අදහස  හින්දුන්  සතුව පැවැති බව ඇය සඳහන් කරන්නේ දැඩි ප්‍රබෝධයකිනි.

තරුණියකට විවාහ යෝජනාවක් ගෙනෙන මොහොතකදී “ මගේ දුවට සින්දු කියන්න පුලුවන්, නර්තනය පුලුවන්, වාදනය පුලුවන් කියලා“ දැවැද්ද අඩු කරගැනීමට හැකි බවට එකල විහිලුවට මෙන් සඳහන් කළ බවද ඇය ආවර්ජනය කළේ ශාස්ත්‍රීය සංගීතයට උතුරේ තිබූ වටිනාකම විදහා පාමිනි.

කෙසේ නමුත් යුද්ධය උතුරට කඩා වැදීමත් සමගම ඒ සංස්කෘතියට එල්ල වී ඇත්තේ මරු පහරකි.

දකුණු ඉන්දීය කර්නාටක ශාස්ත්‍රීය සංගීතයෙන් ඉදිරියට ආ කලාකරුවන් බොහෝ පිරිසක් යුද්ධය හේතුවෙන් ජීවිත ආරක්ෂාව පතා රට හැර ගොස් තිබේ.

තවත් සමහරකුට සිදුව ඇත්තේ මරු වැළද ගැනීමටයි.

යුද සමය තුලදී කිසිදු ශාස්ත්‍රීය වැඩ සටහනක් උතුරේ දියත් කිරීමට නොහැකි වු බව පෙන්වා දෙන ආචාර්ය අරුන්දතී ශ්‍රී රංගනාදන් දුක් වන්නේ අවම වශයෙන් කොළඹදී කර්ණාටක සංගීතය වෙනුවෙන් ගුවන් විදුලි වැඩ සටහනක් හෝ විකාශනය කර ගැනීමට නොහැකි වීම ගැනයි.

යුද්ධය හා සංගීතය

“යුද්ධ කාලයේ ශාස්ත්‍රීය සංගීතය සම්පුර්ණයෙන්ම නැතිවුනා,” ඇය පැවසුයේ සෝබර සිනාවක් නගමිනි.

ප්‍රවාහන පහසුකම් නොතිබීම නිසා ශාස්ත්‍රීය සංගීත වැඩ සටහනක් වෙනුවෙන් උතුරෙන් කොළඹට කලා කරුවන් ගෙන්වා ගැනීමට බාධා පැමිණි සේම යුද්ධය නිසා උතුරේ ජනතාවගේ ජීවන රටාවම විනාශ වු බැවින් ශාස්ත්‍රීය සංගීතයත් අතුරුදහන් වී හැකියාවක් සහිත කලාකරුවන් පවා පසුබා ගිය බවද ඇය පෙන්වා දෙයි.

“උච්චතම ස්ථානයක තිබු සංගීතය පහලටම ඇද වැටුනා” ආචාර්ය අරුන්දතී ශ්‍රී රංගනාදන් ශෝක වෙයි.

අවාසනාවන්ත කාරණය වන්නේ යුද සමයේදී ඒ මහා සම්ප්‍රදාය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් විකල්පයක් දෙමළ භුමියේ නැති වීමයි.

සැලකිය යුතු කාලයක් යාපනයත් දීර්ඝ කාලයක් වන්නියත් පාලනය කළ එල්ටීටීඊ සංවිධානය විසින් සංගීතය වැඩි පුරම යොදා ගන්නා ලද්දේ සරල ගී ලෙසින් පමණක් බව ආචාර්ය වරිය පෙන්වා දෙයි. නමුත් එල්.ටී.ටී.ඊ සංවිධානය විසින් ශාස්ත්‍රීය සංගීතයට නගා සිටුවීමට පියවර නොගත් බවයි ආචාර්ය අරුන්දතී ශ්‍රී රංගනාදන් පවසන්නේ.

යුද්ධයෙන් පසු

දෙමළ හින්දු කෝවිල් විනාශ වී ඒ තැන ගන්නට පැමිණ ඇත්තේ නැටුම්, ගැයුම්, වැයුම් ආදී මිනිස් වර්ගයා පිනවන සංස්කෘතිකාංග බැහැර කරන ථෙරවාද සිංහල බෞද්ධ පන්සලය.

නැති වී ගිය සංගීත උරුමය නැවත ගොඩ නැගීම සදහා 2009 වර්ෂයේදී “නෝර්වේ ශ්‍රී ලංකා මියුසික් කෝපරේෂන් ආයතනය” පටන් ගැනීමට ආචාර්ය අරුන්දතී ශ්‍රී රංගනාදන් මුලිකත්වය ගෙන තිබේ.

යුද්ධයෙන් පසු ජන සංගීතයට සහ ශාස්ත්‍රිය සංගීතයට නගා සිටුවීමේ උවමනාවෙන් එම ආයතනය මගින් යාපනයේ ශාස්ත්‍රීය සංගීත වැඩසටහනක් දියත් කළද ඒ සදහා කිසිදු සහයෝගයක් නොලැබුන අතර යාපනයේ ජනතාව එයට සහභාගි වීමද ප්‍රතික්ෂේප කළ බව ඇය සදහන් කරයි.

“අපිට සංගීතය ඕන් නෑ. අපි දැන් බයවෙලා ඉන්නවා,” එහිදී උතුරේ ජනයා පවසා තිබේ.

කෙසේ නමුත් එම සංගීත වැඩ සටහන මහත් වෙහෙසක් දැරීමෙන් පසු පැවැත්වුවත් උතුරේ ජනයා නැවත ශාස්ත්‍රීය සංගීතයෙන් පෙර සිටි තත්වයට ගෙන ඒමට සෑහෙන කලක් ගත වනු ඇති බවයි ආචාර්ය වරියගේ මතය වී ඇත්තේ.

එම තත්වය නැවත නගා සිටුවීම සදහා ඉන්දියාවේ මෙන් සංගීත සභා සම්ප්‍රදායක් ලංකාවේ නොමැති බව පෙන්වා දෙන ඇය සදහන් කරන්නේ එවැනි සභා එකක් දෙකක් ඇත්තේ ද උතුරේ නොව කොළඹ බවයි.

උතුරේ දෙමළ සිසුන්ට කර්ණාටක සංගීතය ඉහලට හැදැරීමට ඇත්තේ යාපනය විශ්ව විද්‍යාලයට අනුබද්ධ රාමනාදන් ඇකඩමිය සහ මඩකලපු ස්වාමි විපුලානන්ද ඇකඩමිය පමණි.

නමුත් තවමත් යාපනයේ නිවෙස් වල සෑම පවුලකම එක් ළමයෙක් හෝ ශාස්ත්‍රීය සංගීතය ඉගැනීමට උත්සාහ දැරුවත් අතීතයේ පැවැති ආකාරයේ ප්‍රමිතියක් එහි නැති බව ඇය පෙන්වා දෙයි.

ශ්‍රී ලංකාවේ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ කර්නායක සංගීත ආචාර්ය වරිය ද වන ඇය පෙන්වා දෙන පරිදි ශ්‍රී ලංකාවේ සිට විදෙස් ගත වු දෙමළ මව්පියෝ දකුණු ඉන්දීය ශාස්ත්‍රීය සංගීතයට තිබු දැඩි ඇල්ම නිසාම තම දරුවන්ට ශාස්ත්‍රීය සංගීත ඥානය සහ දැනුම ලබා දෙති.

සංහිඳියාව සහ සංස්කෘතිය

මෛත්‍රී-රනිල් පාලනය දෙමළ ජාතික සන්ධානයේ ද ආශිර්වාදයෙන් ප්‍රචාරය කරන සංහිඳියාව නම් වැඩ පිළිවෙලේ උතුරට අලුත් ගෙවල්, අලුත් රැකියා ආදී අලුත් ආර්ථික සම්පත් ලබා දීම ගැන කතා වෙයි.

එහෙත්, අහිමි කරනු ලැබූ සාම්ප්‍රදායික දෙමළ, හින්දු සංස්කෘතික උරුමය යළිත් ඒ භූමියේ පිහිටුවා ලන්නේ කෙසේද යන්න පිළිබඳ සැලසුම් එහි ඇති බවක් නොපෙනේ.

දෙමළ ජනතාවගේ එදිනෙදා ගැටළු වෙනුවෙන් නිරන්තරයෙන් පෙරට එන උතුරු පළාත් සභාවට තම ඡන්දදායකයාගේ සංස්කෘතික උරුමය නගා සිටුවීමේ පියවර ගැනීම සම්බන්ධයෙන් මහත් වගකීමක් පැවරේ.

‘ගී පුරහඳ’ විරුදාවලි ලත් ඉන්දීය මහා ගායක එස්පී බාලසුබ්‍රමනියම් දෙමළ සිනමාවේදී ගංගෙයි අමරන් සමග පසුගිය ඔක්තෝබරයේ යාපනයේ දැවැන්ත ප්‍රසංගයක් පවත්වමින් රසික ජනයාට දැනුම් දී සිටියේ උතුරේ සංගීත ඇකඩමියක් පිහිටුවීමට පියවර ගන්නා බවයි.

ඒ පොරොන්දුවත් අතුරුදහන් වූ සැටියකි.

ආණ්ඩුවේ හමුදා විසින් උදුරා ගත් තම සමීපතමයන් සහ භූමිය මෙන්ම ඒ යුද්ධයේ ම විනාශ වී ගිය සංගීතය හා නර්තනයත් යළි හමුවීම දුරස්තර බලාපොරොත්තුවක්ම පමණක්ද?

තමන් සතු භුමියේ උරුමය වෙනුවෙන් දිවා රෑ කරන අරගලය ජය ගන්නා තුරු උතුරුකරේ සංස්කෘතික සාඩම්බරය යලි නින්නාද වන්නේ කෙලෙසකදැයි මට සිතෙයි.

චතුරංග රත්නමලල

2018

You may also like...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.