රාජ්‍ය සේවය කාර්යක්ෂම කළ හැක්කේ කෙසේද? වික්‍රමබාහු පහදයි

Office Building Window Structure  - wal_172619 / Pixabay
wal_172619 / Pixabay

ජනතාවට සමීප, ජනතා දුක දන්න අය කියල කතාවක් තියෙනවා. ඒ අනුව ඡන්ද ලැබෙන්නේ කියලත් කතාවක් තියෙනවා.

ජනතාවට දැනෙන්න ප්‍රශ්න කථා කරන අය, එම ප්‍රශ්නම පාර්ලිමේන්තුව තුළ මන්ත්‍රීවරුන්ට පැහැදිළි කරන්නේ නැත්තේ ඇයි කියන එක ප්‍රශ්නයක්. ජනතා නායකයෝ ජනතාවට පැහැදිළි කරන එම ප්‍රශ්න වලට පිළිතුරු ඉදිරිපත් කිරීම නම් බොහොම දුර්වලයි.

විශේෂයෙන්ම දෙමළ ජනතාවගේ අයිතිය පිළිබඳ ප්‍රශ්නය සිංහලයන්ට පැහැදිළි කරනවට වඩා සිංහලයන් කුපිත කරවන බේගල් ඇදබාලා, ප්‍රශ්නය යට ගැසීමට කථා කරන බව පැහැදිළිව පෙනෙනවා.

තමා කළ යුත්තේ ප්‍රශ්නය ගැන වැරදියට වටහාගෙන ඉන්න, දැනුවත් නැති ජනතාවට ඉතිහාසය, ලෝකයේ ජාතික ප්‍රශ්න විසදුව ආකාරයන් හෙලි පෙහෙලි කරන එක. ඒ වෙනුවට ලේසියට ඔවුන් කුපිත කරවා තමා ජාතිය බේරා ගැනීමේ වීරයෙකු ලෙස පෙනී සිටින බව නම් අපට නිතර අහන්න වෙනවා, පෙනෙනවා.

එතකොට මේ අය පාර්ලිමේන්තුව තුළ ප්‍රශ්න විසදීම සඳහා වැඩකොටසක් කරනව කියල කියන්න අමාරුයි. කරුණ වැරදියට දෙසා බාල අවුල් කිරීමෙන් හානියක් වන බව නම් පැහැදිළියි.

ජාතික ප්‍රශ්නය පමණක් නොවේ, ඕනෑම ප්‍රශ්නයක් තුළ කුපිත කර ප්‍රශ්නය අවුල් කර තමන්ට නතු පිරිස බේරා ගත්ත බවත් පෙනෙනවා.

ජනප්‍රිය වීමට ගොස් ඇදගෙන නෑම

ප්‍රසාදය ලබා ගැනීම සමහර මන්ත්‍රීවරුන්ගේ ජනප්‍රිය වීමේ ක්‍රමයයි.

ටික කලකට, වැරැද්ද හැදීමට, වැඩ කරගැනීමට කිසිසේත් ඉඩ නොදෙන තැනට ජනයා අවුල් කිරීම තමා දේශපාලන යුතුකම කියල හිතන “ජනප්‍රිය” දේශපාලන බලවතුන් නිතර එහෙම ක්‍රියා කරන බව රජයේ නිලධාරීන් පෙන්වා දෙනවා.

ඒ අනුව සමහර දේශපාලන නායකයන් ගැන එම නිලධාරීන්ට ඇත්තේ අවමාන මිනුමක්.

නිලධාරීන් හා මන්ත්‍රීවරුන් අතර තිබිය යුත්තේ වැදගත් හදුනාගැනීමක්. එවිට විශ්වාසය උඩ වැඩ කිරීම පහසු වෙනවා. නැත්නම් නිලධාරියා වපර ඇහෙන් බලාගෙන වැඩ කරනවා නම් වැඩ අඩාල වීම නිතර වෙන දෙයක්.

නිලධාරියා අනිවාර්යයෙන්ම උපාධිදාරී හෝ සම තත්වයේ උගත්කම් ලද, දිනපතා ජනයා සමඟ ගැටෙන කෙනෙක්.

ඔහු දැනුම අනුව පහදා දීම හා ඒ අනුව වැඩය ගලා යාමට පියවර ගන්න කෙනෙක්. ඔහුට නීති රාමුව තුළ ඉදල බලන්න වෙනවා. එයට ඔහු බැඳී සිටිනවා.

ඒ අතරම නීතිය ක්‍රියාත්මක කිරීමේදී කළ හැකි ප්‍රායෝගික වෙනස්කම් ඔහුට පෙන්වා දිය හැකියි. කළ යුතුයි.

එහෙත් මෙය සිදුවීමට නිලධාරියා මන්ත්‍රීවරයා සමඟ හදුනාගැනීමක් තිබිය යුතුය. වැඩ කිරීමට නිසි වෙනස්කම් ගලප්පා, වැඩය කළ නිලධාරියාට පස්සේ දොස් තැබීම කරනවා නම් වැඩ අනාත වෙනවා.

මන්ත්‍රීවරයා බලවත් ලෙස ඉන්නවා නම්, ජනතාව වෙනුවෙන් කළ යුතු වෙනස ඉල්ලා සිටි විට, මන්ත්‍රීවරයා හොඳ හිතින් කියන්නේ නැත්නම් සමහර විට කිසිම වැඩක් කර ගන්නට බැරි වෙනවා.

මේ නිලධාරී – මන්ත්‍රී ගැටුමට බොහෝ විට වරදකරුවන් මන්ත්‍රීවරුන් බව පෙනෙනවා.

බොහෝ මන්ත්‍රීවරු නිලධාරියාගෙන් නීති රෙගුලාසි හා සම්ප්‍රදාය දැන, එය තුළින් රිංගා වැඩයට බහින එකයි කරන්නේ.

මේ නිලධාරියාගේ දැනුම, ප්‍රායෝගික අතීත යෙදුම් දැනගෙන එය මන්ත්‍රීට ලබා දීමට බලා සිටින කෙනෙක්. ඔහුගේ වගකීම ලොකුයි.

සමහර මන්ත්‍රීවරුන් හිතන්නේ වැඩය තමා කියන හැටියට කළ යුතුයි, නීති රෙගුලාසි පැත්තකට කරල කියල. මේ ආකල්පය බොහෝ විට කලක් දේශපාලනය කළ අය තුළ මැකී යනවා.

සමහර දැන උගත්කම් නැති අය, තමාගේ නොදැනුවත්කම බලයක් හැටියට සළකා ප්‍රශ්නයට බැසීම විශාල ප්‍රශ්නයක් වෙන්න පුළුවන්.

මන්ත්‍රීකම ජනතා බලයක්. එයට යටත්ව වැඩ කළ යුතුයි. හැබැයි එය නීතිය හා සම්ප්‍රදාය ඇතුලත විය යුතුයි.

නිලධාරීන් මන්ත්‍රීවරුන්ට සැම විටම ගරු කරනවා වෙන රටවල. එංගලන්තයේ මන්ත්‍රීවරුන්ට ලොකම ගරුසරු කළත්, නිලධාරියා නීතිය තුළ තදින් ඉදල තමා ලිහිලක් දෙන්නේ.

ලංකාවේ එයිට වඩා වෙනස්. රජයේ නිලධාරියා සමාජය තුළ ලොකු පිළිගැනීමක් ඇත්තෙක්. ඒ නිසා නීතිය ලිහිල් කිරීමට නම්, වගකීම පවරා ගැනීමෙන් වැඩ කිරීමෙන් ම අවශ්‍ය අධිකාරී බලය මන්ත්‍රීවරයා ලබාගත යුතුයි.

වැටුප් වැඩි නොකර පගාව දීම විසදුමක් ද?

සමහර විට මා මේ කියන දේ වැදගත් ද යන ප්‍රශ්නය ඔබට එන්න පුළුවන්. ඒත් රජයේ කාර්යාල වල ප්‍රශ්න විසදාගැනීමට රොක්වන ජනතාව ගැන බැලුවහම, මේ විශාල මුදල් හා වටිනාකම් විනාශයක් බව පෙනෙනවා.

යම් වැඩක් කර ගැනීමට යම් රජයේ කාර්යාල වල රස්තියාදු වෙන්න වෙන එක ගැන හඬ නැගීම හැම තැනම තියෙනවා.

ඒ අතරම මේ අස්සේ වැඩ ඉක්මන් කර ඉවර කර ගැනීමට පගා වලින් පුළුවන් කියන මතයත් තියෙනවා. වැඩිපුර මුදලක් දීල හෝ වැඩ කරගන්න බෑ කියන අදෝනාව තමා දැනට ඇති ප්‍රශ්නය. ඒක හැම දේකටම දෙන්න පුළුවන් පිළිතුරක් නෙමෙයි.

වැඩ ප්‍රමාණය සමඟ බැළුවහම කාර්යාලය තුළ ඇති පහසුකම් මදි බවත්, දුර බැහැර සිට එන අයගෙන් වෙන අතපසුව ගැන බැළුවහම මීට වඩා කාර්යක්ෂම පිළිවෙතක් නෑ කියල තමා හිතෙන්නේ, නැත්නම් කියවෙන්නේ.

රජයේ නිලධාරී පඩිය වැඩි කිරීමටත්, කාර්යයාල සිසිල් කර තැබීමත් ගැන කථාව දිගටම යනවා.

කාර්යාල සේවකයන් හැටියට ඇදුම පැලදුම සන්සන්දනාත්මකව පිලිවෙලකට,  සුදුසු ලෙස සිටීමටත් තිබෙනවා. ඒවා සඳහා පහසුකම් පරණ කාර්යයාල වල නම් නැති තරම්ය.

රාජ්‍ය සේවයට ඉංග්‍රීසිය

මෑත ඉතිහාසය වන තෙක්ම ඉංග්‍රීසි බස රජය තුළ රජ කළා. දැන් නම් මේ බාසාව කථා කරන අය ඉතා අඩුයි. සිංහල දෙමළ ලෙස බාසා දෙකක් තුළ වැඩ කිරීමට සිදුවීමත් තව ප්‍රශ්නයක්.

රටට අදාල නීති පිළිබඳ වැඩකටයුතුවත් ඉංග්‍රීසි බසින් කළ යුතු අවදිය ආපසු ඇවිල්ලා. මුලු රටට අදාල නීති රීති ක්‍රියාත්මක කිරීම ඒ විදියට පහසු කරගත හැකි බව සමහරු කියනවා.

විදුලි සන්දේශ ක්‍රමයත් යොදා ගැනීමේදී ඉංග්‍රීසි අවශ්‍යම උපකාරයක් වෙනවා.

සියළු තොරතුරු ඉංග්‍රීසි බසින් දෙන්නේ කීමත් ලේසියි. ඒ නිසා ඒවා ගැන සොයා බැලීමත් ඉංග්‍රීසිය හරහා පහසු වෙන බව කියන්න ඕනේ නෑ.

සමහර ප්‍රශ්න ඉංග්‍රීසි වචන කිහිපයකින් විසදා ගත හැකි වුනත්, සිංහලට බැස්සොත් වැඩේ ඇදෙන බවත් නම් පේන්න තියෙනවා.

මහාචාර්ය වික්‍රමබාහු කරුණාරත්න

සබැදි ලිපි

You may also like...

Leave a Reply

Your email address will not be published.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.