දේශපාලන ඉදිරි දර්ශනයන් – 2002 නසසප සම්මේලනය
සටහන- “අද අපත් ලොවත් මුහුණ දී සිටින සමාජ-ආර්ථික හා දේශපාලන අභියෝග හඳුනාගැනීම හා ඒ අභියෝග ඉක්මවායමින් මනුෂ්‍යත්වය රැක ගැනීමේ අරගලයේ ඉදිරි දර්ශනය ප්‍රකෘතිමත් කර ගැනීම සඳහා වෙර දැරූ නව සම සමාජ පක්ෂයේ 2002 සම්මේලනයේ දේශපාලන යෝජනාව මේ සමඟ ඉදිරිපත් කරමු. ඉන් මතු කළ සාකච්ඡාව තවමත් නිමා වී නැත.
ගතවූ දේශපාලන යුග සියල්ලට වඩා, හෙට දවසේ අපට මුහුණ දීමට සිදුවන බැරෑරුම් ආර්ථික උභතෝකෝටිකයන් හදුනා ගැන්මටත්; ඒවා සමඟ සටන් වැදීමටත් අවශ්‍ය සංකල්පමය සූදානම ඇතිකර ගැනීමට මෙම දේශපාලන යෝජනාවේ එන විශ්ලේෂණය හැදෑරීම ඉමහත් පිටුවහලක් වෙනු ඇතැයි ‘හරය’ විශ්වාස කරයි.”
දේශපාලන ඉදිරි දර්ශනයන් – 2002 නොවැම්බර් 23-24 දෙදින තුළ පැවැති නව සම සමාජ පක්ෂයේ 12 වැනි පාක්ෂික සම්මේලනය
ලෝක තත්ත්වය හා ධනවාදයේ නැගීම
පසුගිය කාලයේ ලෝක තත්ත්වයේ ලොකු වෙනස්කම් ගණනාවක් ඇති වුනා. මේ පෙරළිය පිටුපස්සෙන් තිබෙන්නේ තාක්ෂණයේ නව වර්ධනයන් බව පැහැදිලියි. මේ තාක්ෂණයට පොදුවේ කියන්නේ දත්ත තාක්ෂණය කියල ( Information Technology). ඒත් එය මූලික වශයෙන් ඉලෙක්ට්‍රෝනික තාක්ෂණ විප්ලවයක්. මේ උඩ නිෂ්පාදන බලවේග දියුණු උනා විතරක් නෙමෙයි. පළවෙනි වතාවට අඩු වියදම් සහිත අලුත් තාක්ෂණයක් ඇති වුනා. ඒ විතරක් නෙමෙයි මිනිස් සමාජයේ සංවිධාන ක්‍රම මුලුමනින්ම වෙනස් වෙන්න පටන් ගත්තා. ඒ අනුව ධනපති කළමනාකරණයත් වෙනස් වුනා. අද තිබෙන ගෝලීය ධනවාදයට පදනම වැටුනේ මේ ආකාරයටයි. මේ තාක්ෂණ සොයා ගැනීම් දෙවන ලෝක යුද්ධයත් ඉන් පසුව පැවතුන සීතල යුද්ධයත් තුළ ඇති වුනා, කියල කියන්න පුලුවන්. මෙය භෞතික තාක්ෂණ වෙනසක් පමණක් නොවෙයි. ධනපති ආර්ථික සමාජ දර්ශනයේ වෙනසකුත් ඇති වුනා. කේන්ස්, රසල්, සාත් වැන්නවුන්ගෙන් ඇරඹිලා ඇති වුන බලවත් බුද්ධිමය පෙරළියක්.
“අධිරාජ්‍යවාදය” හා “නොනවතින විප්ලවය”
ලෙනින්, ට්‍රොට්ස්කි ධනවාදයේ අධිරාජ්‍යවාදී යුගය ගැන අපිට කියා දීල තිබුණ. ට්‍රොට්ස්කි ඒ දවස් වලත් පෙන්නල දුන්න, දියුණු ධනපති රටවල් හා නොදියුණු රටවල් කියල සම්ප්‍රදායික ලෙස බැලීම වැරදි බව. පැරණි විදියට බලන කොට නොදියුණු රටවල් වෙන වෙනම තම රටේ ධනපති විප්ලවය දෙසට ගමන් කළ යුතුව තිබුණ. නමුත් ලෝකය ඒ විදියට වෙන වෙනම වර්ධනය වෙන්නේ නෑ. ඒකාබද්ධ හා අසමානතා වර්ධන නීතිය අනුවයි ලෝකය වෙනස් වෙන්නේ. ඒ නිසා අධිරාජ්‍යවාදය තුළ ලෝක සමස්තයක් ඒකාබද්ධව ඇති වෙනව. ඒ අනුව දියුණු රටවල් නොදියුණු රටවල් වෙන් කරල හදාරන්න බෑ. ඒ වුනත් එදා ලෝක අධිරාජ්‍යවාද කිහිපයක් ගැටෙමින් තිබුණ. ඒ නිසාම මේ ලෝක සමස්ත වර්ධනය එතරම් කැපිල පෙනුනේ නෑ. රුසියාවට වෙනම සමාජවාදයට යන්න පුළුවන් කියන මතයට එන්න ඉඩ ලැබුණෙ මේ අවුල තුළයි. අවසානයේ දී රුසියාව බිඳ වැටුනේ නව තාක්ෂණයට ඇතුල්වෙන්න බැරි වුන නිසා. ලෝක වෙළඳපොල තුළ නව තාක්ෂණ පෙරළියේ බලපෑම ඇති වෙනකොට රුසියාව ලෝක ආර්ථික සමාජ අර්බූදයකට හසුවුනා. ඒකාබද්ධ වර්ධනය තුළින් රුසියාව වීදුරු ගෙයක් වගේ විනාශ වෙලා ගියා.
ට්‍රොට්ස්කි නොනවතින විප්ලව නියාමය එල්ල කළේ මේ ධනේශ්වර සමස්තය තුළටයි. අඩු දියුණු රටක ධනපති පංතිය ඇතිවෙන්නේ හා රදා පවතින්නේ අධිරාජයවාදයේ පදනමින් මිස, අභ්‍යන්තර සුළු ධනේශ්වරයේ නැගීමේ පදනමින් නොවෙයි. අනෙක් අතට අධිරාජ්‍යවාදය හැම විටම රටේ ප්‍රතිගාමී පැරණි සමාජ පංතීන් මත පදනම් වෙනව. ඒ නිසා රටේ ප්‍රගතිය සඳහා ඇති කළ යුතු ප්‍රජාතන්ත්‍රීය විප්ලවය ඇති කළ හැක්කේ ධනපති පංතියට නොවේ, අධිරාජ්‍යවාදය සමඟ හැපෙන නිර්ධන පංතියට පමණයි. මෙතැන ප්‍රශ්නයක් තියෙනව, ඇයි අධිරාජ්‍යවාදය ප්‍රතිගාමී පංති මත පදනම් වී කටයුතු කළේ කියල. එදා අධිරාජ්‍යවාද කිහිපයක් ගැටුන. ඒ වගේම එදා තිබුණ ආර්ථික සැලැස්ම තුළ සුපිරි සූරාකෑම ඇති වුනේ බලෙන් තහංචි ඇති කිරීම තුළ. මේ අනුව අධිරාජ්‍යවාදයට පැරණි ප්‍රතිගාමී පංති වලින් මිදිල බලය තහවුරු කරගෙන සුපිරි සූරාකෑම කරගෙන යන්න බෑ. මේ එදා තත්ත්වය.
පශ්චාත් යුධකාලීන වර්ධනයන්
දෙවන ලෝක යුද්ධයෙන් පස්සේ නව තාක්ෂණ වර්ධනයන් සමඟ අධිරාජ්‍යවාදය ඒකාබද්ධ වෙන්න පටන් ගත්ත. ඒ අනුව ලෝක ආධිපත්‍යය හා අධි සූරාකෑමේ රීති වෙනස් වෙන්න පටන් ගත්ත. මෙහි ප්‍රමුඛ උනේ මූල්‍ය ධනේශ්වරය. මේ අනුව ගෝලීය ධනවාදය ගොඩ නැගුනේම පොලීකාර ධනවාදයක් ලෙසට. හැම රටක්ම ‘ස්ව කැමැත්තෙන්’ මේ ‘පොදු ණයකාර පද්ධතියට ඇතුල් වෙනව. ඒ අනුව එහි ඇති විවිධ තන්ත්‍රයන්ට අනුකූලව කටයුතු කරනව. මේ සියල්ල සිදුවන්නේ තන්ත්‍ර අනුව (System). දැන් හමුදා බලය හෝ වෙනත් බලයක් එළිපිට ක්‍රියා කරන්නේ නෑ. ඒ වෙනුවට තන්ත්‍ර තුළ හැම කෙනෙක්ම ‘ස්වකැමැත්තෙන්ම’ ලෝක ධනේශ්වර පද්ධතියට ඇතුල් වෙලා වැඩ කරනව. හැබැයි මේ විධියට ධනපති රාමු ඒකාබද්ධ වුනාට ශ්‍රමය එලෙසට ඒකාබද්ධ වෙලා නෑ. ඇත්තටම වෙළඳපොලත් එලෙසට එකතු වෙලා නෑ. ඒක ඉතිං ‘පොඩි’ ප්‍රශ්නයක් නේ. හැබැයි මේ ගෝලීය ධනවාදී රටාවට පිටින් යන්න දැඟලුවොත්, දිගින් දිගටම කලබල කළොත් මුලු මානව ඉතිහාසයේම නොලැබුන දඩුවම් ලැබෙනව. එතකොට පමණක් ‘ලෝක පොලීසිය’ ක්‍රියාත්මක වෙනව.
අර මාර්ක්ස් ධනපති සිවිල් සමාජය ගැන කියන කොට කිව්වා, ‘එකඟත්වය උගන්වනු ලැබූ සමාජය’ කියල. ඒ විදියට අද ගෝලීය ධනවාදයත් ‘එකඟත්වය’ උගන්වන්නටයි ලෑස්ති වෙන්නේ. ඒ නිසාම ධනේශවරයට අද විවිධ රටවල ධනපති පැලැන්ති මත පදනම් වෙලා ක්‍රියාකරන්නට අවශ්‍ය නෑ. ඒ හැම කෙනෙක්ට ම තමන්ට ඕන විදියට සුද්ධ කරන්නට ගෝලීය ධනවාදයට අද හයිය තියෙනව. මේ අනුව ට්‍රොට්ස්කිගේ නොනවතින විප්ලවයේ එක උපකල්පනයක් වෙනස් කරන්න වෙනව. එනම් ප්‍රතිගාමීත්වයට විරුද්ධව නැගී එන ප්‍රජාතන්ත්‍රවාදී බලවේගයේ තල්ලුවත් සමග නිර්ධනීන්, ප්‍රජාතන්ත්‍රවාදයේ වැඩ කොටස් මුල් කරලම බලයට එනව කියන අදහස. රදල වැඩවසම් රටවල් පමණක් නොවෙයි. පසුගාමී රාජ්‍ය නිලධාරී තන්ත්‍රයන්, ජාතික ප්‍රශ්නය, කුලවාදී රටාවන්, ගැමි ගොවි සමූහ යැපුම් ක්‍රම, ගෝත්‍ර වංශ සභා, ගැමි ගොවි සභා මේ ආදී සෑම පැරණි රටාවක් ම බිහිසුනු ලෙස විනාශ කිරීමට ගෝලීය ධනවාදයට අද හැකියාව තිබෙනව.
එදා නරෝඩ්නික්වරුන් ධනවාදයේ පැමිණීමෙන් ඇතිවන වෙනස්කම් වලට විරුද්ධව සටන් කළා. එසේ කළේ පැරණි රටාව තුළ ප්‍රතිගාමීත්වය පදනම් කරල නොවෙයි. සාමූහිකත්වය ගැන විශ්වාස කරල. ඔවුන් කිව්වේ ගැමි සමූහවාදය උඩ එක පිම්මෙන් සමාජවාදයට හෝ කොමියුනිස්ට්වාදයට යන්න පුළුවන් කියලයි. ආසියාතික රුසියාවේ එවැනි ගැමි කොමියුන් ලක්ෂණ තිබුණ. ඒ නිසාම ලොකු බලාපොරොත්තු ඇති කරන්නට සමාජ විප්ලවවාදීන්ට හැකි වුනා. ඒත් ධනවාදයට රදළ ඉඩම් ක්‍රමයවත් පූර්ණව අවසන් කරන්නට බැරි උනා. ඒ නිසයි ගැමි ගොවි විප්ලවය ඉදිරියට ආවේ. එහෙම නැතිව ගැමි සාමූහිකත්වය ධනවාදයට විරුද්ධවීමේ අරගලය තුළ නොවෙයි. ට්‍රොට්ස්කි පෙන්වා දෙන අන්දමට ගැමි ගොවි සටන හා ජාතික විමුක්ති සටන් ප්‍රජාතන්ත්‍රවාදයේ ප්‍රධානම අංග දෙකයි. මීට අමතරව ඒකාධිපතිවාදය, යුද්ධය ආදී ප්‍රශ්න තියෙනවා. මේවා තුළ ධනවාදයට ප්‍රජාතන්ත්‍රවාදී විසදුම් එදා තිබුනේම නෑ. ලංකාවේ ගැමි ගොවි ප්‍රශ්නය, ජාතික ගැටලුව, ඒකාධිපති අසහාය බලය, යුද්ධය හා මර්දනය; මේ සෑම ගැටලුවක් දෙසම බල කොට පෙනෙන්නේ කුමක් ද? ගෝලීය ධනවාදය මේවා තුළ පෙරළිකාරී ලෙස මැදිහත් වී තිබෙන බවයි. අපි කලු කොඩි දමාගෙන කෑගහන කොට, ගෝලීය ධනවාදය බලපෑම වැඩි කළා. ඉඩම් පෙරලියත්, ඉඩම් අයිතීන් ලබාදීම ගැනත් එලෙසම මැදිහත් උනා. දැනුත් වෙනව. ජාතික ප්‍රශ්නය ගැනත් එවැනිම දෙයක් තමයි කියන්ට තියෙන්නේ. අතුරුදහන්වීම් – කොටි පනත ආදිය ගැනත් එලෙසමයි.
මේ අනුව ප්‍රජාතන්‍රත්‍රවාදයේ ප්‍රශ්න උඩ අඩු දියුණු රටක කම්කරු පංතියට වඩා ඉක්මනින් බලයට ඒමට ඉඩ තිබෙනවායයි නොනවතින විප්ලවයෙන් පෙන්වන රීතිය තව දුරටත් එලෙසටම වලංගුය කියල අපට කියන්න බෑ. දැන් තියෙන්නේ ඊට වඩා වෙනස් දෙයක්. මේ සෑම ප්‍රජාතන්ත්‍රීය ප්‍රශ්නයක් වෙනුවෙන් ම ගෝලීය ධනවාදය පෙරළිකාරී ලෙස හා අමානුෂික ලෙස මැදිහත් වෙනව. ඔවුන් බලන්නේ ධනපති වෙළඳපොල ‘නිදහස්’ කර ගැනීම ගැන පමණයි. ඒ අනුව අවසානයේ දී ජනතාව දස දහස් ගණනින් අපතයන්, සරණාගතයන් වුවත් ඔවුන් ඉහලින් ‘ප්‍රජාතන්ත්‍රීය’ ප්‍රශ්න විසදුමකට ගෙන යනවා. එතකොට ප්‍රජාතන්ත්‍රීය ප්‍රශ්න මත ඉදිරියට යන්න හිටපු අය හැටියට අපට මොකද වෙන්නේ? එක්කෝ අපි ගෝලීය ධනවාදයට විරුද්ධව ඔවුන්ගේ රැඩිකල් වැඩපිළිවෙලට විරුද්ධ විය යුතුයි. ජාතික ප්‍රශ්නයේ දී ජෙප්පො ගන්නේ ඒ ස්ථාවරය. ගැමි ගොවි ප්‍රශ්නයේ දී සරත්ලා ගත්තේ ඒ ස්ථාවරය. මොකද්ද අපි කියන්නේ? ‘සමාජවාදය’ අපි කවදා හෝ ගෙනෙන තෙක් පෙරලිකාරී වෙනස් කම් නැවැත්විය යුතුයි කියල ද? ගලා යන යථාර්තය ‘සමාජවාදී සිහිනයෙන්’ වැලැක්වීම ද?
ගෝලීය ධනවාදය හා ප්‍රජාතන්ත්‍රවාදය
අනෙක් අතට ගෝලීය ධනවාදයේ අමානුෂික වැඩපිළිවෙල හෙලිකරන අතරම, ඒ සෑම ප්‍රජාතන්ත්‍රීය ප්‍රශ්නයකම සාධාරණ හා මානුෂික පැත්ත වෙනුවෙන් සටන් කිරීම අපට කළ හැකියි. අපට කියන්න බෑ වැවිලිකරය නවීකරණය කරන්න එපා! ඉඩම් අයිතිය නිරවුල් කරන්න එපා! කියල. අපිට කියන්න පුලුවන් දේ නම්, සෑම කෙනෙකුගේම ජීවත්වීමේ අයිතිය, නිවාස අයිතිය, සම්ප්‍රදායික අයිතිය, රැකියා අයිතිය රැක දිය යුතු බව. අපට කියන්න බෑ ජාතික ප්‍රශ්නයට මැදහත් වෙන්න එපා කියල. අප කියන්න පුලුවන් අපේ ඉඩම් සම්පත් කොල්ලකන්න එපා! විවෘත ආර්ථිකයේ මර උගුල් වලට හසු කරන්න එපා! කියල. එදා අපි කිව්වේ ප්‍රජාතන්ත්‍රීය ප්‍රශ්න උඩ දේශීය ධනපති පංතියට විරුද්ධව නිර්ධනීන් ප්‍රජාතන්ත්‍රීය විප්ලවයේ නායකත්වය ගත යුතුයි කියලයි. අද අපට සිදුවෙලා තියෙන්නේ ගෝලීය ධනවාදයේ මැදිහත්වීමෙන් කෙරෙන පෙරලියක් තුළ මනුස්සකම රැක ගැනීම වෙනුවෙන් සටන් කිරීමට පමණයි. එය ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදයේ කර්තව්‍යය ලෙසට අර්ථ දක්වන්න බෑ, ඔව්. ඔවුන් ඉහලින් දියත් කරන ‘ප්‍රජාතන්ත්‍රවාදී’ පෙරලිය තුළ වඩාත් පුළුල් හා සාධාරණ ලෙස ඒවා කරගැනීම වෙනුවෙන් සටන් කළ යුතුයි. ඒ දේ තමා අපි දිගටම කරගෙන ඇවිත් තියෙන්නේ. ඒ තුළින් එක්තරා ධනවාදී වර්ධනයකට ඉඩ ලැබිල තියෙනව. එක්තරා නවීකරණයකුත් සිදුවෙලා තියෙනව. තාක්ෂණයේ වර්ධනයකුත් තියෙනව. අනෙක් අතට ධනවාදී සමාජයේ ඉතාම විසකුරු ලක්ෂණ තුළින් මනුස්සකම යටවෙලා තියෙනව.
එහෙනම් අපි සමාජවාදී පෙරළියට ආසන්න වෙලා ද? ඔව්. ඒත් තනිරටක සමාජවාදී බලය ගොඩනැගීම කියන කතන්දරය ඈත්වෙලා ගිහින්. මොකද? ඒ වෙනුවෙන් ගොනුකර ගැන්මට තිබුණ අමතර බලවේග නිර්ධනයින්ගෙන් ඈත්වෙන තැනට කරුණු යෙදිල. ගොවි-කම්කරු සන්ධානය, නැත්නම් සුළු ජාතික කම්කරු සංධානය විප්ලවීය සංධානයකට වඩා ප්‍රතිසංස්කරණ සංධානයක් බවට පත් වෙලා. මේක නව සමාජ ප්‍රජාතන්ත්‍රී සංධානයක් ලෙසට හදුන්වන්නත් පුළුවන් වෙන්නේ මේ නිසා. විශාල ජනතාවක් පැරණි රටාවලින් කැඩෙමින් සරණාගත වෙනව. ඒ අයගේ සටන ‘සමාජ ප්‍රතිසංස්කරණ’ අරගලයක ස්වරූපයට පෙරල ගන්න පුළුවන්. මෙය පැරණි ධනපති රටවල තිබුණ ‘සමාජ ප්‍රජාතන්ත්‍රවාදය’ නොවෙයි. එදා තිබුනේ ධනපති ප්‍රතිසංස්කරණ නිසා ධනපති පංතියට කොටුවුන සමාජ ප්‍රජාතන්ත්‍රවාදයක්. අද තියෙන්නේ බිදී විසිරෙන ජනතාවගේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදයක්.
එහෙම නම් ‘සමාජවාදය තමා විසදුම’ කියන ජෙප්පන්ගේ අදහස හරිද? මේ ඇතිවන පෙරලිකාරී සමාජය තුළ සමාජවාදය ලෝක ක්‍රමයක් හැටියට ඈත දෙයක්. ඇත්ත. එකවිට එය ලොව පුරා පුපුරන්න පුළුවන්. ඒත් තනිරටක කම්කරු බලය කියන තේරුමෙන් සමාජවාදී ආණ්ඩුවක් ඇතිවෙන්න තියෙන ඉඩ කඩ අඩුයි. ඇත්තටම දෙවන ලෝක යුද්ධයෙන් පස්සේ එහෙම ඇතිවුනේ ම නෑ. එදා පැරිස් කොමියූන් එක දිහා බලල රටක සමාජවාදී විප්ලවය ගැන කතා කරන්න ඉඩ තිබුණ. අද ඇතිවෙලා තිබෙන ගෝලීය ධනවාදී වර්ධනය තුළ පැරිස් කොමියූනය, බොල්ෂෙවික් පෙට්‍රෝග්‍රෑඩය දුරස්තර දෙයක් වෙලා. ආජන්ටිනාවෙන් ඒක තවත් තහවුරු වෙනව. ඒ නිසා ලෝකය පුරා පුපුරාගෙන යන විප්ලව රැල්ලක් ගැනයි අපට කල්පනා කරන්න වෙන්නේ. අද තාක්ෂණය අනුවත් ඒකයි යථාර්තය. ඒ නිසා සමාජවාදී විප්ලවය ගැන කිය කියා දැනට ගෝලීය ධනවාදයේ ලෝක වර්ධනයට මුහුණ දෙන්න බෑ (Face the local effects of Globalization). එයට ගෝලීය ධනවාදයට මුහුණ දීමේ අලුත් සමාජ ප්‍රජාතන්ත්‍රවාදී සැලැස්මක් අවශ්‍ය වෙනවා. ඒ සැලැස්මේ ප්‍රධාන කොටස වෙන්නේ – සිවිල් අයිතීන්, මානව අයිතීන්, ජාතික අයිතීන්, කාන්තා අයිතීන් පිළිබද ඉලක්කයන්. මේවා Democratic tasks – Permanent Revolution ආදිය සමඟ පටලගන්නත් බෑ, ඒ වගේම (Socialist tasks of the proletarian revolution) සමඟ පටල ගන්නත් බෑ. පළවෙනි එකට දැන් කාලේ පැනල. තනි රටක විප්ලවය අපෙන් ඈත් වෙලා. අනෙක් අතට දෙවැනි එකට තාම පොටක් අපට පෑදිල නෑ. ලෝක විප්ලවයේ ස්වර්ණමය මොහොත ලගා වෙනව. ඒත් ඇවිත් නෑ.
පශ්චාත් යුධකාලීන දේශපාලන වර්ධනයන්
දෙවැනි ලෝක යුද්ධයෙන් පසුව පහුගිය මුලු කාලය තුළම ඒකාබද්ධව ගෝලීය ධනවාදය ක්‍රියාත්මක වුනා. ඒ අනුව පැවතුන තත්ත්වය තමා මා පැහැදිලි කළේ. ඒත් සෝවියට් දේශය තිබෙනතාක් කල්, මේ තත්ත්වය එළියට පෙනන එක වසාගත් දේශපාලන බලපෑමක් තිබුන. සෝවියට් පදනම උඩ ජාතික ධනපතියන්ට හා මැද පංතික බලවේගවලට යම් සාපේක්ෂ ස්වාධීන කමක් ඇති වුනා. ජනතාවාදය මේ පදනම උඩ ඇති වුනේ. ලෝකය පුරාම මෙවැනි දේශපාලන බලපෑමක් තිබුණ. ඒක බිඳ වැටුන රුසියාවේ වැටීමත් සමඟම. අනෙක් අතට අලුත් ඉලෙක්ට්‍රෝන් තාක්ෂණය සම්පූර්ණ වුනේ පසුගිය ’70 දශකයේ දී. ඒ අනුවත් මේ මෑත කාලය ගෝලීය ධනවාදයේ පූර්ණ බලපෑම මතුවුන කාලය ලෙසට නම් කරතෑකි. ඒ නිසා මේ කාල පරිච්ඡේදය තුළ විප්ලවවාදීන්ට ගෝලීය ධනවාදය තුළ සටන් මඟක් සොයා ගන්නට සිද්ධ වුනා. අද ධනපති ලෝකය තුළත් ගෝලීය ධනවාදයට විරුද්ධව වමේ විප්ලවකාරී බලවේග ඇතිවෙන අතර ජාතිකවාදී අන්තයෙනුත් විරුද්ධත්වය ඇති වෙනව. ඒත් එය පැරණි ෆැසිස්ට්වාදයට සමාන කරන්න බෑ. කෙද ඔවුන් අනෙක් රටවල් අල්ලගන්න නොවෙයි හදන්නේ. තමන්ගේ රට ලෝකෙන් වෙන් කරගන්න. විදේශික යුදෙව් ජාවාරම්කාරයෝ ගැන නෙමෙයි, ඔවුන් කථා කරන්නේ තමන්ගේ රටවල රැකියා ලබාගන්න එන දුප්පත් රටවල කාර්මිකයො ගැන. ගෝලීය ධනවාදයේ ක්‍රියාමාර්ගයෙන් ඇතිවන සරණාගතයෝ මේ රටවලත් ඉන්නව. මේවට මුහුණ දෙන්න අලුත් මගත් ඒ රටවලටත් අවශ්‍යයි.
1938 දී ට්‍රොට්ස්කි Transitional Programme එක ඉදිරිපත් කරමින් කීවේ ධනවාදයේ මරලතෝනිය ගැනයි. එදා ඒක ඇත්ත. ඒ වගේම ට්‍රොට්ස්කි කිව්ව, යුගයේ ලොකුම ප්‍රශ්නය විප්ලවවාදී නායකත්වය ගොඩනැගීමේ ප්‍රශ්නය කියල. ඒකත් ඇත්ත. ඒ උනත් එම විප්ලවවාදී නායකත්වය ලොව පුරා වැඩෙනවා වෙනුව විනාශ වුනා. ධනවාදය දිනුව. ඒත් ධනවාදය තම මර ලතෝනියෙන් බේරුනේ මිනිස් සංහතියටම ඉතිහාසයේ නොවූ විරූ විනාශයක් ඇති කරමින්. සමහරවිට මනුස්ස සමාජයම නැතිවෙන්න තිබුන. මේ මහා ලෝක සමාජ පිපිරුම හරහා ධනේශ්වර මර ලතෝනිය, නව උපතේ ලතෝනිය බවට පෙරළ ගත්ත. ඒ අනුව ඇතිවුන ගෝලීය ධනවාදය තුළින් එතෙක් ඉතිහාසය ගොඩ නැගූ සියළු ජයග්‍රහණ එකතු කළත් යන්තම් අලගු තියන්නවත් බැරි වන තරමේ යෝධ පිම්මක් මනුස්ස සමාජයටම ඇති කළා. මාර්ක්ස් කිව්ව විදියට, මිනිහ දිහා බලල වදුරා හදුන ගන්නව කියල. ඒ වගේ ගෝලීය ධනවාදය දිහා බලල ධනවාදය අපට හදුන ගන්න පුළුවන් වෙනව.
ධනවාදය පළමුවෙන්ම ඇති වුනේ නගරවල වෙළඳ මධ්‍යන්ථාන වල සුළු ධනේශ්වරය හැටියට. ප්‍රාදේශීයවාදී පාලනයක් තුළයි එය හැදී වැඩුනේ. ඊලගට ජාතික විප්ලවය තුළින් දේශීය වෙළඳපල මුල් කරගෙන ජාතික ධනේශ්වරය, නැත්නම් මාර්ක්ස් Das Capital එකේ හදාරන ධනවාදයට බැස්සා. ඊළගට ලෝක වෙළදාමට බැස්ස. යුරෝපා වෙළඳ සමාගම් සමඟ ඒකාධිකාරී අවධියට ගමන් ගත්ත. ඒකාධිකාරී ධනවාදයේ වර්ධනය තුළ ඇතිවන බිහිසුණු තත්ත්වය තුළ ගොඩ එන්න බෑ කියල තමයි ලෙනින් දුටුවේ. එදා කෞට්ස්කි සුපිරි ලෝක ධනවාදයක් ගැන කථා කරන කොට ලෙනින් කිව්වේ, ඇති නොවන සිහිනයකට වර්තමානය හිලව් කරන්න එපා කියලයි. ලෙනින් ලොකු කෝචොක් එකක් කළේ. ඒත් විප්ලවය පරාජය වුනා. ට්‍රොට්ස්කි ඝාතනයට ලක් වුනා. ඒකාධිකාරී ධනවාදය යුධ අවදිය පසු කරගෙන ඒකාබද්ධව කළමනාකාරී වුනු සුපිරි ගෝලීය ධනවාදය කරා ගමන් ගත්තා. රුසියන් විප්ලවය නොනවතින විප්ලවයේ ගමන ගියේ නෑ. පළමු පියවර අරන් දෙවැනි පියවරට යනකොට පීලි පැන්න. ලෝක විප්ලවය වෙනුවට ධනවාදයේ ආරක්ෂක වසංගතයක් ලෙසට ස්ටාලින්වාදය නැගීම නිසා, නොනවතින විප්ලවයේ තුන්වන පියවර ලෙසට ලෝකයේ ප්‍රධාන ධනපති රටවල් වල විප්ලවය ජය ගත්තේ නෑ.
ඒකාධිකාරී ධනවාදයේ තුන්වන අවදිය හැටියට තමා ගෝලීය ධනවාදය මතු වුනේ. Bretton Woods Agreement එක උඩ එය ඉහලින් සැලසුම් සහිතව ඇරඹෙනව. Logical Positivism දර්ශනවාදී පසුබිම ලබා දෙනව. Social welfare Corporate Polices මගින් ලොව පුරා පංති සන්ධාන දේශපාලනය ඇති වෙනව. Keynes ගේ ආර්ථික සැලසුම් මගින් ආර්ථික න්‍යායන් සපයනව. හැබැයි මේ ගමන සුමට වුනේ නෑ. ප්‍රංශයේ 1968 විප්ලවය වගේ බරපතල අභියෝග මතු වෙනවා. ඒත් ධනවාදයේ ගෝලීය සැලැස්ම මේ හැම අභියෝගයක්ම ජය ගත්තේ ප්‍රජාතන්ත්‍රවාදය උඩ. අලුත් ආර්ථික සැලැස්ම උඩ ප්‍රජාතන්ත්‍රවාදී පියවර ගැනීමට අනිවාර්ය ඉඩක් ඇති වුනා. දේශපාලන නිදහස, පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය, ගැමි ගොවි ප්‍රතිසංවිධාන, කාන්තාවාදය, කුල වර්ග බේද තුරන් කිරීම, සම ලිංගික නිදහස, මාධ්‍ය නිදහස මේ ආදී කී නොකී සියළු දේට ඉඩ දෙමින් අති විශාල සමාජ පරිවර්තනයක් ලෝකය පුරාම ඇති වෙනව. ඒ වගේම ආර්ථික බලවේග වල, නිෂ්පාදන බලවේග වල විශාල වෙනසක් ඇති කරමින් Information Technology අවධිය කරා ගමන් ගන්නව.
ගෝලීය ධනවාදය හා තුන්වන ලෝකයේ පංති සබඳතා
හැබැයි ධනපති ප්‍රජාතන්ත්‍රවාදයේ ඇත්ත ඉඩ ලැබෙන්නේ ප්‍රාග්ධනයට හා එහි අවශ්‍යතාවයන්ට පමණයි. අධි සූරාකෑම වෙනුවෙන් තහංචි පැනවීම එම ඊනියා ප්‍රජාතන්ත්‍රවාදයේ ම අනෙක් පැත්තයි. මෙය සිදුවන්නේ ජාතික රාජ්‍යයේ පදනමෙන්. එතකොට ගෝලීය ධනවාදය තුළ අරුම විදියට ජාතික රාජ්‍ය පද්ධතියක් සුරැකෙනව විතරක් නොවෙ, සමහර විට සංකීර්ණව තහවුරු වෙනව. මහා බ්‍රිතාන්‍ය අද ජාතික රාජ්‍ය හතරකට කැඩිල. ඒ මගින් ප්‍රාග්ධනයේ ගලායෑමට අවහිරයක් නෑ. ඒත් ශ්‍රමය කොටුකර ගැන්මට නම් එයින් වැඩි ඉඩක් ලැබෙනව. නිර්ධන පංතියට ඒ ඒ ජාතිකත්ව අනුව වෙන්වෙලා හිතන්න මෙයින් ඉඩ ලැබෙනව. පංතිය මෙල්ල කරගැන්මට මෙය පියවරක්. මෙය ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදයේ තිබෙන අදුරු පැත්ත හැටියට අපට සලකන්න වෙනව. අනෙක් අතට යුරෝ ජාතික තත්ත්වයක් තුලින් මුලු යුරෝපයම එකට එකතු කර ගැන්මත් ඒ තුළ ශ්‍රමය ගලා යෑමට ඉඩ ලැබීමත් ලොකු වරමක් හැටියට ධනපති පංතිය පෙන්වනව. මේ තත්ත්වය අනුව නව ජාතිවාදී කට්ටිවාදී දේශපාලන සංවිධාන යුරෝපය පුරාම ඇතිවෙමින් පවතිනව. මෙය පංති ව්‍යාපාරයට ලොකු පාඩුවක්. මේවා ෆැසිස්ට් ව්‍යාපාර ලෙසට නිකම්ම ලඝු කිරීමෙන් වැඩි ප්‍රයෝජනයක් නැති වුනත්, මේ පක්ෂ වල ප්‍රතිගාමී ලක්ෂණ ගැන අවධාරණය කරන්න වෙනව.
ඒ අනුව බැලුවහම ගෝලීයකරණ ප්‍රජාතන්ත්‍රවාදී පෙරලියක්, නිර්ධන පංතියට කුරීරු ප්‍රතිඵල ඇති කරල තියෙනව. ඒ නොනවතින විප්ලව න්‍යාය අනුව අඩු දියුණු රටවල දේශපාලන රාජ්‍ය බලය අල්ලා ගැනීමට නොහැකිවීම නිසා පමණක් නොවෙයි. මේ නූතන ප්‍රජාතන්ත්‍රවාදී පෙරලියෙන් ගැමි ගොවි සමාජයත් කඩා ඉහිරී යමින්, විශාල වශයෙන් තරුණ තරුණියන් නාගරික සමාජයට තල්ලු කරල එවනව. මේ අර්ධ නිර්ධනීන් සෑම සියලු සම්බන්ධතාවයකින්ම මුදවාපු උදවිය. ඒ අනුව ඔවුන්ට වෙන කිසිම පැවැත්මක් නෑ. මාර්ක්ස් එදා පැවැති නූතන සමාජය ගැන මෙහෙම කියනව. “A society in which privileges have been abolished and dissolved, a developed civil society where the elements of existence which were politically fettered by privilege have been freed.” ඒ අනුව ගැමි සමාජයේ තිබුන සියලු බැදුම්කර සමඟ තිබුණ ඉතාම අවම වරප්‍රසාදයන් පවා විනාශ කිරීම දැන් ඉතාම හොදින් කෙරෙනව. රදළ සමාජයේ නොවෙයි, වහල් සමාජයේ පවා නිශ්චිත බැමි තිබුන. වහලාටත් එල්ලෙන්න ස්වාමියෙක් හිටිය. දැන් ගෝලීය ධනවාදය කියන විදියට ධනපති ‘නිදහස දෙනව.’ මාර්ක්ස් මෙහෙම කියල තියෙනව. “The slavery of civil society is, in appearance, the greatest liberty….. when in reality it is nothing but the expression of his absolute enslavement and loss of his human nature.” මේ විදියට තමා මේ මනුස්සකමේ ඇත්තම අහිමිකම නූතන ප්‍රජාතන්ත්‍රවාදයෙන් ගැමි ජනතාවට ලබල දෙන්නේ.
ගෝලීය ධනවාදයේ මේ ක්‍රියාකාරීත්වය තුළ බොහෝවිට ජනතාවට තේරෙන්නේ නෑ, මොකද්ද මේ වෙන්නේ කියල. සමහරුන්ට තේරෙනව මහා විනාශකාරී අඝාධයකට වැටෙන්නේ කියල. ඒත් මේ කාටවත් තේරෙන්නේ නෑ මොකක් ද මේකට විසදුම කියල. කොහොමද මනුස්සකම රැකගන්නේ කියල. කිසිම මූලධර්මවාදී පක්ෂයකට මේකට විසදුමක් නෑ. එකම විසදුම නිර්ධනීන් යෝජනා කරන ලෝක සමාජවාදයයි. එය දැන් වඩාත් ඇත්ත වෙලා. වඩාත් ලංවෙලා. ඒත් ඒ ඒ රටවල තනි තනි විප්ලව තව තවත් ඈත් වෙලා.
මාර්ක්ස් ජාතික රාජ්‍ය ගැන කියන්නේ මෙහෙම. “Civil society is only this mutual conflict of all individuals who are no longer distinguished by anything but their individuality.” ඊලගට පැහැදිලි කරනව “The bases of modern state is civil society and the indicial of civil society. That is the individual whose only link with other individuals is private interest.” මේ අනුව මේ පුද්ගලිකත්වය ඇත්ත නෙමෙයි. මවපු පුද්ගලිකත්වය උඩ තමා රජය තියෙන්නේ. ඒ උඩ ජාතික රාජ්‍ය මගින් මේ පුද්ගලිකත්වයන් බැඳල තියෙනව. එතකොට මිනිසා බැඳ තැබීමේ පුද්ගලිකත්වයේ ආයතනය තමා ධනපති රාජ්‍යය. එතකොට ගෝලීය ධනවාදය ප්‍රාග්ධනයට ඉඩ දෙන අතරම ශ්‍රමය වඩාත් තදින් ජාතික රාජ්‍යයන්ට පවරනව. ඒ මගින් නව වහල්භාවය පවත්වාගෙන යනව. එමගින් අධි සූරාකෑම පවත්වාගෙන යනව. එතකොට ගෝලීය ධනවාදය ජාතික ප්‍රශ්නයට ඊනියා විසදුම් ගෙන එන්නේ ඒ ඒ ජාතික රාජ්‍ය තුළ වඩා දරුණු වහල් බවක් ඇති කර ගැන්ම වෙනුවෙන්. ඒත් ගෝලීය ධනවාදයේ ඉලක්කය පෙන්නල අපට බෑ ජාතික අනන්‍යතාවයන් වෙනුවෙන් දගලන ජනතාවන් අදාල රටවල මහ ජාතිවාදයට පාවල දෙන්න. මෙන්න මේ ගැටුමට හැම පැත්තෙන්ම අපට මුහුණ දෙන්න වෙනව. නූතන ප්‍රජාතන්ත්‍රවාදය එපා කියල අපට කියන්න බෑ. ඒ වගේම එයින් ඇති කෙරෙන විසකුරු බලපැම ගැන කටපියාගෙන ඉන්නත් බෑ.
මේ අනුව ජනතා විමුක්ති පෙරමුණ හා කොටි සංවිධානය ගැන අපට දිව දෙකෙන් කථා කරන්න වෙනව. අපට ඒ සංවිධාන පිටුපස රොක්වන අපත නිර්ධනීන් අමතක කරන්න බෑ. අනෙක් අතට ඔවුන් ගෝලීය ධනවාදයේ ක්‍රියාවන් ගැන නිසි ලෙස නොදැන කරන විගඩම් ගැන කටපියාගෙන ඉන්නත් බෑ. නිර්ධනීන්ගේ සම්මුති විරහිත අරගලය ඇර වෙන විසදුමක් මේ තත්ත්වය තුළ ඇත්තේ නෑ. අද චීනය වගේ රටක් තුළත් ධනපති පංතියේ බලය වැඩෙන්න පරන් අරන්. මොකද? රුසියාවේ මෙන්ම චීනයෙත් නිර්ධන රාජ්‍යයක ඇත්ත තත්ත්වය ඇති වුනේ නෑ. පුද්ගලිකත්වය උඩ රජයේ තිබෙන පැවැත්ම වෙනස් කරන්නට අවශ්‍ය වෙනව. මුලු සමාජයම සාමුහික කණ්ඩායම් තුළින් ක්‍රියාත්මක වෙන්නටත්, රජය මෙවැනි සභා මත ගොඩ නැගෙන්නටත් අවශ්‍ය වෙනව. පැවැති රාජ්‍ය යන්ත්‍රය සුණුවිසුණු කිරීම කියන්නේ මේ පුද්ගල අයිතියේ රජයේ පදනම විනාශ කිරීමයි. මැතිවරණ පුද්ගලයන්ගෙන් වෙන් වූ දෙයක් නොවෙයි. වැඩපලේ, ගොවිපලේ, සරසවියේ ජීවමාන දැනුවත් ඡන්දයකින් මැතිවරණ පවත්වන තත්ත්වය උදා විය යුතුයි. එහෙම නැතිව ධනපති රාජ්‍යයේ සීමාව ඉක්මවා යන්නට බෑ. මුලු රුසියානු විප්ලවයේ විනාශයේ ප්‍රධාන සාධකය, සෝවියට් සභාවල ප්‍රජාතන්ත්‍රීය තීන්දු ගැනීමේ ජීවිතය මරා දැමීම යි.
ගෝලීය ධනවාදී යුගයේ සංක්‍රමණික ක්‍රියාමාර්ගය
ගෝලීය ධනවාදය සමඟ පොරබැදීම සැම බිම් අඟලකම සිදු විය යුතුයි. පාරක් හදන විට අස්ථාන ගතවන ජනතාව ගෙන යන අරගලයත්, පුද්ගලිකකරණයෙන් අතරමංවන නැත්නම් වරප්‍රසාද අහිමිවන ජනතාවත් යන දෙකොට්ඨාශයම ගෙන යන අරගලයන් නිවැරදි අරමුණක් ඇතිව ඉදිරියට ගෙන යා යුතුයි. ගෝලීය ධනවාදයේ ඇත්ත ස්වරූපයට මුහුණ දීම වෙනුවට ‘මිශ්‍ර ආර්ථිකයක්’, ‘මානවවාදී විවෘත ආර්ථිකයක්’ ගැන බොරු පොරොන්දු දෙමින් ජනතාව අදුරට පත් කිරීමට කිසි ලෙසකින් අපට හවුල් වෙන්න බෑ. මිනිස් අයිතිවාසිකම් රැක ගැනීම ගැන පැහැදිලි යෝජනා තිබිය යුතුයි. එහෙම නැතිව ජනසතු දේපොල මේ තිබෙන ආකාරයෙන් ම රැක ගැනීමට අපට ඉදිරිපත් වෙන්න බෑ. එවැනි එක ධනවාදයක් වෙනුවට තවත් ධනවාදයක් රැකීමක් ප්‍රතිපත්තියක් බවට පත් කරන්න බෑ. හැබැයි කිසිම අයිතියක් නැති වෙන්න දෙන්නත් බෑ. අසහනයක් ඇතිවෙන්න දෙන්නත් බෑ. හැම කෙනෙකුටම රැකියාවක්, නවීන තාක්ෂණයෙන් දැනුම ලබාදීම, වැඩ අඩු වැඩි විවේකය, නිවාඩු වැඩි කිරීම, වැඩියෙන් රැකියා දීම යනාදිය එකට සම්බන්ධ කිරීම, incentive payment හැම තැනකම පොදුවේ මතු කිරීම, වැඩ අනුව ගෙවීම වැඩි දියුණු කිරීම, කලා හා වෙනත් හැකියාවන් වැඩි දියුණු කර ගැනීම ආදී සටන් කාලීනයි. මේ අතර ශ්‍රමයේ ගලා යෑමේ නිදහස ගැන ජාත්‍යන්තර තලයේ සටන් කළ යුතුයි. එය නැතිව කිසිම ගිවිසුමක් වලංගු වෙන්න බෑ.
වමේ බලයක් ඇති කිරීමට අප වෙහෙසිය යුත්තේ මේ ලෙසට කෙටිකාලීන පිළිතුරුත්, අවසානයේ ගෝලීය සමාජවාදයක් ගැන ඉදිරි දර්ශනය තුළයි. අප බලයට පත් වුවහොත් මානව අයිතීන් වෙනුවෙන් අපගේ සටන ආණ්ඩු බලයත් යොදා ගනිමින් ගෙන යෑමට සැලසුම් දැමිය යුතුයි. අනෙක් අතට විප්ලවකාරී ලෙසට ජනතාව ඉදිරියට එන්නේ නම් ජාතික විප්ලවකාරී බලයක් ඇති කිරීමට පසුබට විය යුතු නැත. එහෙත් අපගේ මුළු ආර්ථික සමාජ ප්‍රතිපත්තියම ගෝලීය විප්ලවය මුල්කොට ගෙන යා යුතුව ඇත. එදා රුසියාවේ දී ට්‍රොට්ස්කි අවධානරණය කළ දෙය අද වඩා අවධාරණය කළ යුතුය. මොකද? අද සමාජවාදී ලෝක විප්ලවය එදාටත් වඩා සමීප නිසා. ඒත් ගෝලීය ධනවාදයේ ගැම්ම තව කොච්චරද කියල කියන්න බෑ. ඒ නිසා තනි රටක සමාජවාදය තබා තනි රටක නිර්ධන රාජ්‍යයක් කියන එකත් අරුම කතන්දරයක් වගේ වෙලා. එදා තනි රටක සමාජවාදී රාජ්‍යය ඛේදවාචකයක් වුනා. ඒත් අද එය විහිලුවක් වෙලා. ඒක නිකම් විහිලුවක් නොවෙයි. ගොඩයන්ගේ තකතීරු විහිලුවක් වෙලා.
අද සමාජවාදී විප්ලවය නැතිව ගෝලීය ධනවාදය පෙරලන්න බෑ. මොකද? ධනවාදයට විරුද්ධ නොවී ගොලීය ධනවාදයට විරුද්ධ වෙන්න බැරි නිසා. ඉස්සර බණ්ඩාරනායක ආණ්ඩු තිබුන බොරැවට ධනපති විරෝධී බව පෙන්නපු. ඒත් ඔවුන් නූතන ධනවාදයේ එක්තරා වැඩ කොටසක් කරපු අය බවට ඉතිහාස ගත වෙලා තියෙනව. මේ වෙනකොට එවැනි උපාමාරු පවා ධනවාදය වීසි කරල දමල තියෙන්නේ. ඒ ලෝකය පුරාම තමන්ට යන්න තිබෙන ගමන නිසා. ඒත් එම ශක්තියම එක්වරම ඔවුන්ගේ කඩා වැටිමට හේතු වන බව පමණක් අපට කියන්න පුළුවන්.
ගෝලීය ධනවාදයට විරුද්ධ වම යනුවෙන් අපට හිතන්න වෙන්නේ කාවද කියන ප්‍රශ්නය මීට පෙර අපි කතා කරල තියෙනව. ඒ ගැන සංවිධාන ලියවිල්ලක්, න්‍යායිකව පැහැදිලි කරන ලියවිල්ලක් ඒ දින වලම ප්‍රධාන ලේකම් සහෝදරයා විසින් ඉදිරිපත් කළා. ඒ ලියවිල්ල මේ දේශපාලන ලියවිල්ලේ ඇමුණුමක් හැටියට සලකන්න කියල සැමට අවධාරණය කරන්න ඕනා. කෙටියෙන් කියනව නම්, මේ යුගයේ ඇති කරන ගෝලීය ධනවාදයට විරුද්ධ වම එකතු කරන ප්‍රධානම සාධකය තබා අපේ සංවිධානය. එය විප්ලවවාදී පක්ෂයේ කොදු නාරටිය වගේ නිසි ලෙස ජාල ගත කර ගත යුතුයි. ප්‍රාදේශීය මට්ටමෙන් වගේම වෘත්තීය මට්ටමෙන් එය ජාලගත කර ගැන්ම ඉතාම වැදගත්. හැබැයි එය ජාල ගත කරගත්තට මදි. වමේ එකතුව ඉතාම අවශ්‍යයි. ආණ්ඩු බලය අල්ලා ගත්තත් නැතත් අපට කරන්න තිබෙන විශාල රාජකාරියට යන ඉනිමඟ තමා වමේ එකමුතුවක් ඇති කර ගැන්ම.
ඒ නිසා නොසැලී ඉදිරියට යමු. ධනවාදයට විරුද්ධව වම එක්සත් කරමු!
2002 සැප්තැම්බර් 07 වැනිදා පැවැති නසසප මධ්‍යම කාරක සභාව මගින් අනුමත කරන ලද මෙම දේශපාලන යෝජනාව, එම නොවැම්බර් 23-24 දෙදින තුළ පැවැති පක්ෂයේ 12 වැනි පාක්ෂික සම්මේලනය මගින් මීලග සම්මේලනය දක්වා වන ඉදිරි දර්ශනය ලෙස පිලිගන්නා ලදී.