1985 නසසප 05 වන සම්මේලනයේ දේශපාලන යෝජනාව

සටහන

1974 ඉල්ලීම් 28 ව්‍යාපාරය, සභාග ආණ්ඩුවේ සමාජ ආර්ථික පිළිවෙත් පිළිබඳව කම්කරු පංති ව්‍යාපාරය තමන්ගේ බලාපොරොත්තු කඩවීම ප්‍රකාශයට පත් කිරීමක් වූයේ ය. එම ව්‍යාපාරය සභාග ආණ්ඩුවේ මර්ධනයට හසු කරන ලද්දේ වී මුත්, අවසාන වශයෙන් සභාගය බිඳ හෙලන ලද්දේ ය. කම්කරු පංති ව්‍යාපාරයේ ස්වාධීනත්වය ප්‍රකාශ කළ ශක්තිමත් ඒකාබද්ධ කමිටුවක නායකත්වයෙන් දියත් වූ මෙම පංති සටන් රැල්ල, 1971 කැරැල්ලේ පරාජයත් සමඟ පසුබා සිටි ශිෂ්‍ය ව්‍යාපාරයද යලි සටන් බිමට කැඳවන ලදී. 1976 වර්ෂය කම්කරු පතියේ වැඩවර්ජන හා ශිෂ්‍යයන්ගේ දැවැන්ත අරගලයන් දියත් වූ වසරයි.
කම්කරු පංතියේ ඍජු අරගලයන් 1980 මහා වැඩ වර්ජනය දක්වා අඛණ්ඩව ඉදිරියට ගියේ ය. 1976-77 වර්ජන රැල්ල වමේ බලයක් තහවුරු කිරීම සඳහා යොදා ගැනීමට සම සමාජ – කොමියුණිස්ට් නායකත්වය ඉදිරිපත් නොවීය. එකල්හි වාම සම සමාජය ලෙස සංවිධානය වී විප්ලවවාදී ස්ථාවරයන් වෙනුවෙන් සම සමාජ පක්ෂය තුළ අරගල කරමින් සිටි සහෝදරවරුන්, වාමාංශික එක්සත් පෙරමුණක් ලෙස කම්කරු පංතියේ නැගීමට නායකත්වය දෙමින් විකල්ප පංති බලයක් ගොඩ නැගීම වෙනුවෙන් යෝජනා ඉදිරිපත් කරමින් සටන් කළ ද, ලසසප-කොප නායකත්වය කළේ බිඳවැටෙන සභාග ආණ්ඩුවෙන් එලියට බට ධනපති පංතියේ අවතාර කිහිපයක් නායකත්වයේ තබා ඊනියා “සමාජවාදී සමඟි පෙරමුණක්” ගොඩනැගීමටය.

මේ නිස්සාර තත්ත්වය කම්කරු පංතිය ව්‍යාකූල කළ අතර, ජේ.ආර්.ට පහසු ජයක් අත්කර දුන්නේ ය.

නමුත් කම්කරු පංතියේ ගමන ඉන් නිමා කිරීමට හැකි වූයේ නැත. ජේ.ආර්.ගේ විවෘත ආර්ථික ප්‍රතිපත්තියට එරෙහි අරගලය ලෙසින් කම්කරු පංතියේ ක්‍රියාකාරිත්වය ඉදිරියට ගියේ ය. සභාගයේ බිඳවැටීම නිසා මේ පංති ක්‍රියාකාරීත්වය නිරූපනය කළ වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව වඩාත් පුළුල් ඒකාබද්ධතාවයක් බවට පත් විය. ජේ.ආර්. පාලනයට එරෙහිව යුද්ධ ප්‍රකාශ කරමින්, කම්කරුවන් 25,000 ක් රැස්කළ මහා රැලියක් මගින් ව්‍යාපාරයේ අඛණ්ඩ ඉදිරි ගමන ප්‍රකාශයට පත් විය. මේ ව්‍යාපාරය 1974 සිට 1980 මහා වැඩවර්ජනය දක්වා ඉදිරියට ගියේ ය.

මහා වැඩ වර්ජනයේ පරාජය සමඟ, කම්කරු පංතියේ ඍජු අරගලයන්ගේ යම් පසුබෑමක කාලපරිච්ඡේදයක් ආරම්භ වුවද, දේශපාලන තලයේ මේ පංති බලය ප්‍රකාශයට පත් වීම දැඩි වූයේ ය. උතුරේ තරුණ ව්‍යාපාරයන්ගේ ක්‍රියාකාරීත්වය ද, සම්ප්‍රදායික දේමළ දේශපාලන පක්ෂ/නායකත්වයන් ඉක්මවා ජාතික විමුක්තිය සඳහා වෙනත් ස්වාධීන මාවත් සොයන්නට පටන් ගැනුනි. ඒ අනුව ශ්‍රීලනිපය-ලසසපය-කොප ආදී පක්ෂ වල පමණක් නොව, කුඩා දේශපාලන ව්‍යාපාර තුළ පවා විශාල විවාදයන්, කණ්ඩායම් ගැසීම් හා පුපුරා යාම් සිදු වෙමින් නව දේශපාලන ව්‍යාපාර බිහිවීම් සිදු වූයේ ය.

මේ සමඟ පළ කරනු ලබන නව සම සමාජ පක්ෂයේ 05 වැනි පාක්ෂික සම්මේලනයට “මධ්‍යම කාරක සභාව විසින් ඉදිරිපත් කරනු ලබන දේශපාලන යෝජනාව”, එම විවාදය පක්ෂය තුළ ප්‍රකාශයට පත්වූ ආකාරය විදහා දක්වයි. පංති අරගලයේ නව ගමන් මඟ දේශපාලන තලයේ ප්‍රකාශයට පත්වන අයුරු පිළිබඳව හා ජාතික විමුක්ති අරගලයේ වර්ධනයන් මෙන්ම කම්කරු පංතියේ ස්වාධීනත්වය නිරූපනය කරන නව දේශපාලන ව්‍යාපාරයක් ජනිත වීම සම්බන්ධයෙන් පැවැති මතභේධයන් සාකච්ඡාවට ගනිමින්, ඉදිරි මඟ හෙලිපෙහෙලි කර ගැනීම මෙම ලියවිල්ලේ අරමුණයි.

මෙම විවාදයේ විශේෂ ලක්ෂණයක් වූයේ එය පක්ෂයේ අභ්‍යන්තර විවාදයක් පමණක් නොව, පක්ෂය සම්බන්ධ වී සිටි හතරවන ජාත්‍යන්තරයේ ‘කම්කරු ජාත්‍යන්තරයක් සඳහා වූ කමිටුව’ ද සම්බන්ධ වූ විවාදයක් වීමයි. එම විවාදය සම්මේලනය තුළදී එකඟතාවයකින් නිමා නොවූ අතර, ඒ වෙනුවට වඩාත් තීව්ර වෙමින් ඊලඟ වසර දෙක තුන තුළදී වෙන්වීමක් දක්වා පෙරට ගියේ ය. (මේ පිලිබද සවිස්තර ලියවිල්ලක් නුදුරු දින වලදී ඉදිරිපත් කරමු.)

නව සම සමාජ පක්ෂයේ ඉහල පන්නරය ප්‍රකාශ වූයේ මතභේද, වැනීම් සහ කම්පාවීම් නොමැතිවීම තුළ නොව, අතිශයින්ම දුෂ්කර අවස්ථාවන් හි දී අභ්‍යන්තර අර්බූදයන් මගින් නියම අවස්ථාවේ දී එය තමාවම හරිබරි ගස්සා ගෙන, සිද්ධීන් තුළ තීරණාත්මක ලෙස මැදිහත්වීමට අවස්ථාව සලසා ගැනීම තුළිනි.

1985 ජූනි 20-21-22-23 දින වල දී කොළඹ නව නගර ශාලාවේ දී පැවැත්වෙන
නව සම සමාජ පක්ෂයේ
05 වැනි පාක්ෂික සම්මේලනයට
මධ්‍යම කාරක සභාව විසින් ඉදිරිපත් කරනු ලබන දේශපාලන යෝජනාව

ආර්ථික තත්ත්වය

ජාත්‍යන්තර දේශපාලන යෝජනාවේ පෙන්වා දෙන ලෙසටම දැනට පවතින සුළු උත්පාත තත්ත්වය 1985 අඟ භාගයේ දී හෝ 1986 මැද භාගයේ දී අවසන් වීමට ඉඩ ඇත. එසේ වුවද එයින් ඇතිවන බලපෑම ලෝකයේ රටවල් සමස්ථයක් ලෙස ගතහොත් ඉතා සුළුය. ලෝක වෙළඳපලේ යම් විකාශනයක් ඇති වී තිබුන ද, එය දීර්ඝ කාලීනව පවතිනවා යයි අපට කිසි සේත් විශ්වාස කළ නොහැක. කෙසේ වුවද මේ පවතින සුලු උත්පාත තත්ත්වය නිසා විශේෂයෙන් භාණ්ඩ අපනයනය කරන අපගේ ආර්ථිකයට යම් සුළු වාසියක් ‘83 සිට අපට දැක ගත හැකියි. විශේෂයෙන් තේ වලට ඉහල මිල මට්ටමක් ලැබීමත්, පොල් හා රබර් වලට හොඳ තත්ත්වයක් ලැබීමත් නිසා විදේශ විනිමය පැත්තෙන් ගත් කල අපට හොඳ වාසිදායක තත්ත්වයක් ඇති වී තිබුණි. එනිසාම මූල්‍යමය පැත්තෙන් තිබූ ආර්ථික අපහසුතාවයන් මැඩ පවත්වාගෙන ක්‍රියාත්මක වීමට ආණ්ඩුවට කෙටිකාලීන ඉඩක් මේ නිසා ඇති විය. එහෙත් දැන් පෙනී යන ආකාරයට මේ ඉඩකඩ ද බිඳවැටෙමින්, එක පිට එක වැටෙන විශාල අමාරුකම් තොගයකට ආණ්ඩුවට මුහුණ දීමට සිදුවන බව අපට සිතා ගත හැක.

ආණ්ඩුව පෙන්වා දෙන්නට උත්සාහ කරන්නේ 1984 වර්ධන වේගය 5% ආසන්නව තිබූන බවය. ඒ අනුව 1977 සිටම 5% කට වඩා වර්ධන රේට්ටුවක් දිගටම පවත්වා ගෙන ගිය බව හෝ, එයට ආසන්නව පවත්වා ගෙන ගිය බව ඔවුන් පෙන්නුම් කිරීමට උත්සාහ කරයි. එසේ වුවද ආර්ථිකය ඇත්තටම මුහුණ දෙන්නා වූ බරපතල තත්ත්වය වසන් කිරීමට නොහැකි තැනට අර්බූදය මතු පිටට එමින් පවතී. විශේෂයෙන් ම එක පැත්තකින් ණය ආපසු ගෙවීම සඳහා එන්ට එන්ටම පොලී රේට්ටුව වැඩිවීම බරපතල ප්‍රශ්නයක් වන්නේ ය. දළ දේශීය නිෂ්පාදිතයෙන් 25%කට වඩා ණය ආපසු ගෙවීම් රේට්ටුවකට යටත් කරන ආර්ථිකයක් ඉදිරි කාලයේ දී බලාපොරොත්තු විය යුතුය. අනිත් පැත්තෙන් ගත් කල තේ, පොල්, රබර් ආදායම් යලි බිඳ වැටීමක් විදේශ ආදායමේ බරපතල පහත වැටීමකට තුඩු දෙන අතර, ආණ්ඩුවට දැනට තිබෙන සහනදායක තත්ත්වය විනාශ වී යනු අපට දැකීමට පුළුවන් වනු ඇත. මේ අතරතුර ණය දෙන්නන් විසින් ඉදිරිපත් කරන ලද කොන්දේසි වලට ඉතාම බරපතල ලෙස යටත් වීමට ද ආණ්ඩුවට සිදුව තිබේ.

මේ කොන්දේසි අතර, රුපියල බාල්දු කිරීම, විශාල වශයෙන් බදු වැඩි කිරීම, සමාජ වියදම් කප්පාදු කිරීම, සමාජ සේවා කප්පාදු කිරීම, අනිත් අතට ලාබ නොලබන රාජ්‍ය ව්‍යවසායයන්, නැතිනම් රාජ්‍ය ධනවාදී අංග පමණක් නොව රාජ්‍යයේ විවිධ සේවා අංශ පවා පෞද්ගලික අංශයට පැවරීම එ් අතර වේ. ඒ කොන්දේසි ඉටු කිරීම සඳහා අද පියවර ගැනීමට ආණ්ඩුවට සිදුවී තිබේ. දැනටමත් පසුගිය අය-වැය දෙස බලන්නේ නම් අපට පැහැදිලි වන්නේ ඔවුන් ඒ සඳහා ගත් පියවරයන් නිසා ඇති වී ඇති තත්ත්වයයි. විශේෂයෙන්ම බදු ප්‍රශ්නය ඉතාම බරපතල ලෙස පෞද්ගලික අංශයට පවා බලපා තිබේ. විශේෂයෙන් ම සුලු කර්මාන්ත වල යෙදුනු හා සුලු සේවාවන් වල යෙදුනු විශාල කොට්ඨාශයකට අලුත් බදු වලට ඔරොත්තු දිය නොහැකිව බිඳ වැටෙන තත්ත්වයක් මතුවී තිබේ. සමාජ සේවාවන් කප්පාදුව නිසා විශේෂයෙන්ම සෞඛ්‍ය, අධ්‍යාපනය හා අනිකුත් සහනාධාර කැපීම නිසා බරපතල ලෙස ජීවන තත්ත්වයන් වල පහත වැටීමක් සෑම පැත්තකින්ම නගරයේ හා ගමේ ජනතාව තුල මතුවී තිබේ. දැනට පවතින තත්ත්වය තුල රුපියල බාල්දු කිරීමත් සමඟම නොයෙකුත් ගාස්තු හා බදු වැඩි කිරීමේ තත්ත්වය තුල ජනතාවගේ ජීවන මට්ටම් වල බරපතල බිඳ වැටීමක් බලාපොරොත්තු විය යුතුය.

මේ ලෙස පාරිභෝජනය කඩා වැටීම ද අනික් පැත්තෙන් සමාජ සේවා බිඳ වැටීමද නිසා අවපාත තත්ත්වයක් බරපතල ලෙස මතුවීම වැලැක්විය නොහැක. විශේෂයෙන්ම පසුගිය කාලයේම ගොඩනැගීම් අංශ වල හා ව්‍යාපාර හා සේවාවන් වල ඇතිවී තිබුන වර්ධන රේට්ටුව බිද වැටී, එක් අතකින් රැකියා වියුක්තභාවය ද අනික් අතින් මුළු ආර්ථිකයේ මන්දගාමී ස්වාභාවයක් ද ඇති වීම වැලැක්විය නොහැක. මේ ආණ්ඩුව විසින් ඉතාම බලාපොරොත්තු සහගතව ඇති කරන ලද නිදහස් වෙළඳ කලාපය, අද කථා කරන්නටවත් දෙයක් නැති තැනට පත්වී තිබේ. විශේෂයෙන්ම එහි රැකියා සංඛ්‍යාව 35,000 කට පමණ සීමා වන අතර, දැන් ක්‍රමානුකූලව එහි විවිධ අංශයන් වසා දමන තත්ත්වයක් උදාවී තිබේ. ඒ අතරතුර ආණ්ඩුව බලාපොරොත්තු තැබූ දෙවන අංශයක් වන සංචාරක ව්‍යාපාරයට කිසිසේත් නැගිට්ටුවාගත නොහැකි ලෙසට පහරවල් ලැබී තිබෙන බව ආණ්ඩුවේ නිවේදන වලින් පෙන්වා දී තිබේ. මෙය එක් පැත්තකින් පසුගිය ජාතිවාදී කෝලාහලයට සම්බන්ධ වන අතර, අනිත් පැත්තෙන් ආර්ථිකය තුලම ඇති වූ උද්ධමනකාරී ස්වාභාවය බලපා ඇති බව සැලකිල්ලට ගත යුතුය. මේ අංශ දෙකම ගැන තව දුරටත් බලාපොරොත්තු තැබිය නොහැකි බව ආණ්ඩුවේ ම ප්‍රකාශ වලින් පෙන්නුම් කර සිටී. මේ ලෙසට ගත් කල, ආණ්ඩුවේ මූලික අංශ දෙකක් කඩා වැටීම විශේෂයෙන්ම සැලකිල්ලට ගත යුතුය.

මෙහිදී ආණ්ඩුව බලපොරොත්තු තබා සිටි රෙදි පිලි හා ඇඳුම් ආයිත්තම් අංශය බිඳ වැටීමත් අප සැලකිල්ලට ගත යුතුව තිබේ. ඇමරිකාවේ වෙළඳපලට විශේෂයෙන්ම එල්ල කර ගොඩ නගාගත් ඇඳුම් ආයිත්තම් නිෂ්පාදනය, ඇමරිකාවේ නව ආරක්ෂක ප්‍රතිපත්තිය තුල ක්‍රියාත්මක කිරීමට සිදුව තිබේ. මේ අතරතුර ආණ්ඩුව විසින් ආරම්භ කරන ලද විශාල සංවර්ධන ව්‍යාපාරයන් දැන් එකින් එක අවසාන වෙමින් පවතී. මේ අවසාන වීමත් සමඟම ආයෝජනයන් වල ඇන හිටීමෙන් මතුවන්නේ ක්‍රියාකාරීත්වයේ විශාල බිඳවැටීමකි. රැකියා විරහිතභාවයටත් එය බලපානවා ඇත. අනික් අතට මේ විශාල ආයෝජනයන්ගෙන් මතුවන්නාවූ සම්පත් ප්‍රයෝජනයට ගැනීමේ පැත්තෙන් ද ආණ්ඩුව මුහුණ දී තිබෙන්නේ බරපතල ප්‍රශ්නයන්ටය. විශේෂයෙන්ම විදුලි නිෂ්පාදනයත්, ඒ වගේම ජල නිෂ්පාදනයත් කෙසේ පාවිච්චියට ගත යුතුද, එය කර්මාන්ත අංශයෙන් නම් කර්මාන්ත අංශයට කෙසේ යොදන්නේ ද යන ප්‍රශ්නයද, ජලය වාරිමාර්ග ආදියෙන් ප්‍රයෝජනයට ගන්නේ නම් ඒ ප්‍රයෝජනයට ගැනීම සඳහා පෞද්ගලික අංශය කොයි තරම් පාවිච්චි කරන්නේ ද, විදේශ ආයෝජනයන් කොයි ලෙසට යොදා ගන්නේ ද යන ප්‍රශ්න අද ආණ්ඩුව ඉදිරියේ පවතී. එය අවසන් නොවූ ප්‍රශ්නයක් ලෙස ආණ්ඩුව දිගින් දිගටම මුහුණ දෙන්නේ ය. මේ අතරතුර ඉහත නිෂ්පාදනයන්ගෙන් ජලය ලබා ගන්නා වූ ගොවියන්ට දමන්නා වූ බදු නිසා, ඔවුන් මහත් අර්බූදයකට පත් කර ඇත.

අනිත් අතට මැදපෙරදිග රැකියා පහත වැටීම නිසා ආණ්ඩුවේ ආර්ථික ක්‍රියාකාරිත්වයට වැදී ඇත්තේ දැඩි පහරකි. දැනට පෙන්වා දෙන ලෙසට මැදපෙරදිග රැකියා ප්‍රමාණය අඩුවන අතරම ලැබෙන ආදායම් තත්ත්වයද විශාල ලෙස පහත වැටෙමින් පවතී. අනික් අතට, මෙතුවක් කල් රැකියා වල නිරතව සිටි අය පවා ආපසු එන තත්ත්වය නිසා ලංකාවේ අභ්‍යන්තරික රැකියා ඉල්ලුමක් – විශේෂයෙන්ම පුහුණු කාර්මිකයින් තුලින් – ඉදිරිපත් වීම වැලැක්විය නොහැක. මේ අනුව ගත් කල, ඉදිරි කාලයේ දී මුළු ආර්ථිකයම අවපාත තත්ත්වයක් කරා ගමන් කිරීම අප විසින් සැලකිල්ලට ගත යුතුව ඇත.

පංතීන්ගේ ස්වාභාවයන්

පසුගිය කාල පරිච්ජේදයන් තුල ලංකාවේ ඇති වුනාවූ වර්ධනයන් නිසා පවතින පංති සමාජයේ විවිධ පංතීන්ගේ වර්ධනයන් ද සැලකිල්ලට ගත යුතුව පවතී. විශේෂයෙන් ම පසුගිය හත් අවුරුද්ද තුල ඇතිවූ ආර්ථික වර්ධනයන් නිසා සෑම පංතියකම, ස්වාභාවයේ යම් යම් වර්ධනයන් දැකිය හැකිය. අධිරාජ්‍යවාදී බලපෑම් යටතේ පංතීන්ගේ ක්‍රියාකාරීත්වයේ විවිධ හැඩ ගැසීම් අපට මේ සමාජය තුලදී දකින්නට හැකිය.

ධනපති පංතිය ගත් කල, එහි පෙර කාලයේ දී ප්‍රමුඛත්වයේ සිටි ඉඩම් හිමි පංතිය වෙනුවට අධිරාජ්‍යවාදී ආනයන අපනයන හා ඊනියා සංවර්ධන ක්‍රියාකාරීත්වය සමග බැඳුනාවූ නව නාගරික කොම්ප්‍රදෝරු ධනේශ්වර පැලැන්තියක වර්ධනය වීම සැලකිල්ලට ගත යුතුය. මූලාරම්භයේ සිටම නගරය මුල්කොට පැවැති ආනයන අපනයනයන් ආශ්‍රිත, නාගරික අධිරාජ්‍යවාදී ව්‍යවසායයන් වලට සම්බන්ධව සිටි කොම්ප්‍රදෝරු ධනේශ්වරය පසුගිය කාලය තුල වඩාත් පුළුල් පංතියක් බවට පත්වී තිබේ. අලුතින් ගොඩ නැගුණු විවිධ ආයෝජන ක්ෂේත්‍රයන් හා ආනයන අපනයන ක්ෂේත්‍රයන්ද එසේම විවිධ සංවර්ධන වැඩපිලිවෙල ඔස්සේ ද ඔවුන්ගේ ක්‍රියාකාරීත්වය වර්ධනය වී තිබේ. එලෙස අලුත් තට්ටු කීපයක් ද මේ කොම්ප්‍රදෝරු ධනේශ්වර පැලැන්තියට එකතුව තිබේ. පසුගිය කාලය තුල ජාතික ධනේශ්වර ක්‍රියාකාරිත්වය යටතේ ගොඩ නැගුනාවූ පංති අතරින් ද, පවුල් ගණනාවක්ම මෙම කොම්ප්‍රදෝරු ගණයට අද ඇතුල්වී තිබේ. මේ ලෙසට ගත් කල, ධනපති පංතික සමස්ථ බලවේගයේ ක්‍රියාකාරීත්වය කොම්ප්‍රදෝරු අධිරාජ්‍ය ගැති ධනේශ්වරයට හිමිව තිබීම මූලික ලක්ෂණයක් ලෙස සැලකිල්ලට ගත යුතුය.

මේ අතරතුර අධිරාජ්‍ය ගැති ධනේශ්වර කොටස් සමග සමීපව සිටින නාාගරික සුළු ධනපති කොටස් හා විවිධ සේවාවන් වලට සම්බන්ධිත මධ්‍යම පංතික කොටස් ද අද කොම්ප්‍රදෝරු පංතියේ සමාජ පදනම හැටියට ඉතාම ආසන්නව සකස් වෙමින් පවතී. අලුත්න් ඇති වුනාවූ සියළු ව්‍යාපාර වලට මෙන්ම, ආණ්ඩුවේ විවෘත ආර්ථික ප්‍රතිපත්තිය යටතේ ක්‍රියාකාරීත්වයට ඇතුළු වූ විවිධ සේවාවන් වල නියුතු, එලෙසටම විවිධ ශිල්පීන්ට සම්බන්ධ මධ්‍යම පංතික හා ඉහල මධ්‍යම පංතික කොටස් ද මේ අධිරාජ්‍යවාදී කොම්ප්‍රදෝරු පැලැන්තියේ යම් තලයක කොටස් කරුවෝ බවට පත්වී සිටිති.

මේ කොම්ප්‍රදෝරු පැලැන්තියත් සමග එක්තරා ගැටුමක් ඇතිකර තිබෙන්නාවූ ජාතික ධනේශ්වර යයි කිවහැකි කොටස් අද රට පුරා විසුරුණු ස්වාභාවයකින් ක්‍රියා කරන්නා වූ අතර පසුගිය හත් අවුරුද්ද තුල ධනේශ්වර පංතියේ වැදගත් කමක් තිබෙන කිසියම්ම කොටසක්, කොම්ප්‍රදෝරු ධනේශ්වර නායකත්වයෙන් ඉවත් වී ස්වාධීන මාවතක් සෙව්වේ නැත. එහෙත් පසුගිය අවුරුදු දෙක තුල කැපී පෙනෙන ලක්ෂණයක් වී තිබෙන්නේ නැවත වටයකින් ජාතික ධනේශ්වර යයි කිවහැකි කොටස් දේශපාලන වශයෙන් සාපේක්ෂව වෙන්වී ක්‍රියාකාරී වීමය. සිංහල ජාතික ධනේශ්වරය යයි කිවහැකි කොටස් පමණක් නොවේ; දෙමළ ජාතික ධනේශ්වර කොටස් වල ක්‍රියාකාරීත්වයේ සාපේක්ෂ වූ වෙන්වීම් ද වැදගත් කොට සැලකිය යුතුවේ. අධිරාජ්‍යවාදී කොම්ප්‍රදෝරු ධනේශ්වරයට අනියම් ලෙස සහාය වෙමින් සිටි දෙමළ ජාතික ධනේශ්වරයටද අද නිශ්චිත වශයෙන් ඔවුන්ගෙන් වෙන් වී ක්‍රියාත්මක වීමට ජාතික ප්‍රශ්නයේ වර්ධනයන් නිසාම සිදුවී තිබේ.

මෙයට අමතරව සිංහල ජාතික ධනේශ්වර යැයි කිව හැකි තීරුවක් පසුගිය අවුරුදු දෙකක කාලය තුල ක්‍රමාණුකූලව සාපේක්ෂ වූ ස්වාධීන බලපෑමක් සමාජය තුල මතු කිරීමේ තැනට පිවිස තිබේ. මේ අය ආණ්ඩුව යටතේ ක්‍රියාත්මක වුනු අලුත් ව්‍යවසායයන් හා ව්‍යාපාරයන් සඳහා මැදිහත් වුවත්, අද ඒවායේ බංකොලොත්කම ගැන සලකා බලමින් නැවතත් රටේ කර්මාන්ත සැලැස්ම අලුත් කර ගැනීමටත්, එසේම ජාතික කෘෂිකාර්මික සැලැස්මක් ඉදිරිපත් කිරීමටත් බලාපොරොත්තුව සිටිති. පසුගිය සභාග ආණ්ඩුව කාලේ ඇතිකරගත්තාවූ ආරක්ෂාවාදී ප්‍රතිපත්තිය යම් දුරකට නැවතත් ඇති කර ගත යුතුය යන හැඟීම ඔවුන් තුල පවතී. මොවුන් කම්කරු පංතිය සමග සංධානයක් ඇතිකර ගැනීමට පසුගිය වකවානුවේ සූදානම් නොවූවත් යම් ආරක්ෂාවාදී ප්‍රතිපත්තියක් තුල ආර්ථික රටාව පනගැන්විය යුතු යයි යන අදහස අද ඔවුන් තුල පවතින ප්‍රබල අදහසක් බවට පත්ව ඇත. මේ තත්ත්වය දෙමළ ජාතික ධනේශ්වර කොටස් අතර වඩාත් ප්‍රබලව පවතී. විශේෂයෙන්ම උතුරු-නැගෙනහිර ප්‍රදේශ වලට මේ විවෘත ආර්ථික ප්‍රතිපත්තිය යටතේ අධිරාජ්‍යවාදීන්ගේ බලපෑම නිසා ඇති වුනාවූ පීඩනය නිසාත් දෙමළ ජාතික ධනේශ්වරය අද නිශ්චිත ලෙසින් දෙමළ ජාතියේ අධිරාජ්‍ය ගැති කොම්ප්‍රදෝරු ධනපති පංතියෙන් සාපේක්ෂ වශයෙන් වෙන් වී නව ක්‍රියාමාර්ගයක් ගැන බලපොරොත්තු ඇතිව සිටිති. එසේ වුවත් අනෙක් අතට අද පවතින ජාත්‍යන්තර ධනේශ්වර අර්බූදකාරීත්වය යටතේ ‘ජාතික’යයි කිවහැකි රාජ්‍ය ධනවාදී සැලසුමක් සහිත ආරක්ෂාවාදී ධනපති ප්‍රතිපත්තියකට ඉඩ නැත. අධිරාජ්‍යවාදය ගැන පමණක් නොව ප්‍රජාතන්ත්‍රවාදය, ජාතික ප්‍රශ්නය, ගැමි ගොවි ප්‍රශ්න ආදී සෑම සමාජ-ආර්ථික කටයුත්තක් ගැනම ඔවුන්ට වෙනස් ප්‍රතිපත්තියක් නැති වුවත් ඒ සෑම කරුණක් ගැනම ඔවුන් විවේචනාත්මක පදනමක සිටිති.

සුළු ධනේශ්වරය පැත්තෙන් ගත් කල, ඉතාම පැහැදිලිව පෙනෙන කරුණක් වන්නේ සිංහල ප්‍රදේශ වල පසුගිය කාලයේ දී ආණ්ඩුවට තිබුන ග්‍රාමීය සුළු ධනේශ්වරයේ ඉහල තට්ටුවල හිතවත්කම් පවා ඉතා සීඝ්‍රයෙන් බිඳවැටී ඇති ආකාරයයි. 1982 ජනාධිපති ඡන්දයෙන් පෙන්නුම් කළේ උඩරට හා රජරට ග්‍රාමීය ප්‍රදේශ වලින් බලගතු කොටසක් කොම්ප්‍රදෝරු ධනපති කොටස් සමඟ එකතුව එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්ති ආරක්ෂා කිරීමට ඉදිරිපත් වන ආකාරයයි. ආණ්ඩුවේ ආයෝජන හා විවෘත ආර්ථික ප්‍රතිපත්තිය එක එල්ලේම මොවුන්ට ලබා දුන්නේ වාසියක් මිස අවාසියක් නොවේ. ක්‍රමානුකූලව පංති බේරීම, පංති බෙදීම ග්‍රාමීය සමාජය තුල තියුණු වුවත්, මතුපිටින් ගත් කල තමන්ට වාසිදායක තත්ත්වයක් පවතී යන හැඟීම විශේෂයෙන් ම ගැමි මධ්‍යම පංතියේ උඩ තට්ටුව තුල ඇති කරලීමට ආණ්ඩුවේ ප්‍රතිපත්ති වලට හැකිවී තිබුණි. එහෙත් දැන් ආණ්ඩුව අලුතින් ලෑස්ති කර ඇති ආදායම් බදු ප්‍රතිපත්තිය මෙන්ම ණය ආපසු ලබා ගැනීම සඳහා මූල්‍ය ආයතන මගින් එනම් ෆිනෑන්ස් හා බැංකු ආයතන මගින් ඇති කර තිබෙන්නාවූ කොන්දේසි නිසාම, ඉතාම තියුණු ලෙස ග්‍රාමීය සුළු ධනේශ්වරය අර්බූදයකට අසුවී තිබේ. නාගරික සුළු ධනේශ්වරයෙන් විශාල තීරුවක්, විවෘත ආර්ථික ප්‍රතිපත්තිය ඔස්සේ; විශේෂයෙන් ම සිංහල ප්‍රදේශ වල නාගරික වශයෙන් ඇතිව තිබුනාවූ ආයෝජන යටතේ ක්‍රියාකාරීත්වයට මැදිහත් වී සිටි අතර, මැද පෙරදිග රැකියාවල් නිසා වඩාත්ම සහනයක් ලබා ගත් කොටස් ලෙස පසුගිය කාලය පුරාම ඔවුන්ව සලකනු ලැබිනි.

නමුත් පසුගිය කාල පරිච්ඡේදය තුලදී ක්‍රමානුකූලව නාගරික ප්‍රදේශවල දියත් වූ ප්‍රතිපත්තිය නිසා ඉහත දැක්වූ නාගරික සුළු ධනේශ්වරයද අද අධිරාජ්‍ය ගැති කොම්ප්‍රදෝරු නායකත්වයෙන් ඉවත් වීමේ දිශාවට නැඹුරුවී තිබේ. ඔවුන්ට විශේෂයෙන් ම අද බලපාන්නේ මැද පෙරදිග ඇති වී ඇති අර්බූදයයි. මැද පෙරදිග ආර්ථිකයන්හි ඇතිවූ වැටීමත්, එම නිසා එහි රැකියාවල අර්බූදයටත් හසුව ඔවුන් ආපසු පැමිණීම නිසා මධ්‍යම පංතික විශාල තට්ටුවක් අද විශාල වශයෙන් කලකිරී රැඩිකල් පිළිතුරක් නාගරික ප්‍රදේශ වලින් බලපොරොත්තු වෙමින් සිටින බව අපට අමතක කල නොහැකිය. ග්‍රාමීය සුළු ධනේශ්වරයේ ඉහල තීරු පවා විශේෂයෙන්ම අධ්‍යාපන ප්‍රතිපත්තියේ කප්පාදුවත්, සමාජ සේවාවල කප්පාදුවත් නිසා අද වෛරක්කාරී තත්ත්වයට පත් වෙමින් තිබේ. පොදුවේ ගත් කල සුළු ධනේශ්වරය වඩාත්ම වැදගත් කොට සැලකුවේ නිදහස් අධ්‍යාපනය ඔස්සේ තමන්ගේ දූ දරුවන්ට ඉහල නැග ගැනීමට ඉඩ කඩ සලසා ගැනීම ගැනය. මේ ඉඩ කඩ බරපතල ලෙස අර්බූදයකට අසුවන බව පෙනෙන විට දී ග්‍රාමීය සුළු ධනේශ්වරය ඉතාම ප්‍රකෝපකාරීත්වයකට පත්වීම වලක්වන්නට බැරිය. ඇත්ත වශයෙන් මේ පවතින ප්‍රකෝපකාරීත්වය ශිෂ්‍යයන් අතර දිගින් දිගටම පවතින අසහනකාරී තත්ත්වයෙන් හා පංති වර්ජන ආදී ක්‍රියා මාර්ග තුල දී ත් පෙන්නුම් කෙරේ. මීට පෙර ශිෂ්‍ය ව්‍යාපාරය තුල ඇතිවුනාවූ වර්ධනයන්ට වඩා හාත්පසින්ම වෙනස් ලෙසට ඉතාම තියුණු ප්‍රකාශණයන් ශිෂ්‍ය ව්‍යාපාරය තුලින් මතුව තිබෙන්නේ මෙලෙස සුළු ධනේශ්වයේ ඇති වී ඇති රැඩිකල් වෙනස්කම් තුලින් බව අප සැලකිල්ලට ගත යුතුය. දෙමළ සුළු ධනේශ්වරය පැත්තෙන් ගත් කල ඔවුන්ගේ ඉහල තට්ටුව ආණ්ඩුවෙන් බිඳීම ඉතාම මුල් වටයේ සිටම ආරම්භ වී තිබුණි. විශේෂයෙන් ම දෙමළ කථාකරන ප්‍රදේශ වලට ආණ්ඩුවේ ආයෝජන ප්‍රතිපත්තියෙන් හෝ විවෘත ආර්ථික ප්‍රතිපත්තියෙන් කිසියම්වූ ඊනියා සහනයක් හෝ නොලැබුන නිසාම මුල් වටයේ සිටම දෙමළ සුළු ධනේශ්වරය සිටියේ ආණ්ඩුවට විරුද්ධ තැනය. මේ නිසාම ආණ්ඩුවට විරුද්ධ අරගලයේ දී වැදගත් වැඩ කොටසක් උතුර හා නැගෙනහිර ප්‍රදේශවල සුළු ධනේශ්වරය විසින් ඉටුකල බව අපට අමතක කිරීමට නොහැක.
කම්කරු පංතිය පැත්තෙන් ගත් කල ඉතාම පැහැදිලි වෙනස්කම් කිහිපයක් පසුගිය කාලයේ ඇති වූ බව සැලකිල්ල්ට ගත යුතුය. 1980 වැඩ වර්ජනයත් සමග සටනට සහභාගී වූ සම්ප්‍රදායික හා පැරණි ක්ෂේත්‍රවල කම්කරුවන්ගේ ව්‍යාපාරය අර්බූදයට ගියේ ය. එහෙත් අලුත් කර්මාන්ත ව්‍යාප්තිය නිසාත්, ගොඩ නැගීම් හා අනිකුත් අංශවල ව්‍යාප්තිය නිසාත්, නව කම්කරු පංති තීරු ගණනාවක් ඇති වූ බව අප සැලකිල්ලට ගත යුතුය. මෙම කම්කරු තීරුව තරුණ කම්කරු තීරුවක් වන අතර, ඔවුන්ට පැරණි කම්කරු ක්ෂේත්‍රයේ වැඩ වර්ජන හා වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ගැන අත් දැකීමක් නොමැත. එහෙත් ඔවුන් 1971 කැරැල්ලේ අත්දැකීම් එක අතකින් ද, සභාගයේ ඇති වුනා වූ දුර්දාන්ත විපාක අනිත් අතින් ද සැලකිල්ලට ගත්තාවූ, ඒ තේරුමෙන් යම් දේශපාලන ප්‍රවීණත්වයක් ලබා ගත්තාවූ කොටස් වෙති. එහෙත් ක්‍රමාණුකූලව වර්ධනය වන කම්කරු පංති ව්‍යාපාරය තුල ආවේනිකව පවතින සංවිධානාත්මක වැඩ කොටස් ඔස්සේ ගොඩ නැගුණ විඥානයක් ඔවුන්ට නොමැත. එසේම සම්ප්‍රදායික වාමාංශික පක්ෂ ඔස්සේ ඇති වුනාවූ පොදු වාමාංශික අදහස් රෝපනයටද මෙම කම්කරු පංති කොටස් අසුවී නොමැත. මේ නිසාම ඔවුහු හුදු සටන්කාමී එඩිතර කොටස් ලෙසට බොහෝ විට ප්‍රදර්ශනය වේ.

වතු කම්කරුවන් මේ ආණ්ඩුව බලයට පත්වීමත් සමග එක්තරා මට්ටමක ජීවන තත්ත්වයේ උසස්වීමක් ලැබුවත් අද උද්ධමනකාරී ක්‍රියා කලාපයත්, වතුකරයේ ගරාවැටීමත් නිසා අද නැවත වටයකින් දරිද්‍රතාවයට පත් වෙමින් සිටිති. වතු කම්කරු ක්ෂේත්‍රවල පැතිරී යන වසංගත ආදිය සැලකිල්ලට ගත් කල මෙසේ වතු කම්කරුවන්ගේ ජීවන තත්ත්වය බිඳ වැටී ඇති බව අපට විශ්වාස කල හැක. ඒ නිසා සංවිධාන ශක්තියෙන් යුක්ත වූ වතු කම්කරුවන් නැවතත් සටන්කාමී මාවතකට ගොස් තමන්ගේ පඩි වැඩිකර ගැනීම සඳහා කරන අරගලකාරී ක්‍රියාකාරීත්වය ඉදිරි කාලයේ දී වර්ධනය වන බව අප සැලකිල්ලට ගත යුත්තේ ය. වතු කම්කරුවන්ගේ ප්‍රධාන නායකත්වය තවමත් තොන්ඩමන්ගේ නායකත්වය බව පෙනී යයි.

උතුරුකරයේ කම්කරු පංතිය විශාල බලවේගයක් ව නොසිටියත්, සුළු ධනේශ්වරය අතරින් බේරී වෙන් වන අර්ධ කම්කරු ජනගහනයක් උතුර නැගෙනහිර ප්‍රදේශවල සිටිති. විශේෂයෙන්ම ධීවරයන්, අනෙකුත් කුලීකරුවන් හා රා මදින්නන් ආදී පිරිස් අතර අප සැලකිල්ලට ගත යුත්තේ අර්ධ කම්කරු ස්වාභාවයක් පවතින බවය. උතුරු-නැගෙනහිර ප්‍රදේශවල ආර්ථිකය පැත්තෙන් ගත් කල මෙවැනි අර්ධ කම්කරු ස්වාභාවයක් පවතී. උතුරු-නැගෙනහිර ප්‍රදේශවල ආර්ථිකය පැත්තෙන් ගත් කල මෙවැනි අර්ධ කම්කරු වැඩ කටයුතු ඉතාම වැදගත් වැඩ කොටස්ව පවතී. මෙම පිරිස් කම්කරු පංතියේ අද්දර කොටස් හැටියට සැලකිල්ලට ගත යුතු අතර, කම්කරු පංතියේ වැදගත් ප්‍රධාන කොටස් (යාපනය අර්ධද්වීපයේ හෝ අනිකුත් ප්‍රදේශ වල සිටින) අනිවාර්යයෙන්ම මෙම කම්කරු පංතියේ ආසන්න කුලීකාර තත්ත්වය වෙතද නායකත්වය දෙමින් ඉදිරියට ආ යුතු බව අප සැලකිල්ලට ගත යුතුය.

1982 සිට අද දක්වා දේශපාලන ප්‍රවණතාවයන්

1982 ජනාධිපති ඡන්ද‍යේ සිට ඇතිවූ ක්‍රියාකාරීත්වය පිළිබඳව එක්තරා දුරකට අපි 1982 සම්මේලනයේ දී සාකච්ඡා කළෙමු. එතැන් සිට ආපසු හැරී බැලූ විට අපට පෙනී යන ප්‍රධාන කාරණයක් වන්නේ අප විසින් 1982 සම්මේලනය තුල දුටුවාවූ ඉදිරි දර්ශණ වල සත්‍යතාවයයි. අප බලාපොරොත්තු වූ ලෙසටම 1982 අග භාගයේ සිට ඇති වුණා වූ ආර්ථික බිඳ වැටීම එක්තරා දුරකට හෝ රඳවා ගැනීමට හැකි වූයේ ජාත්‍යන්තර මට්ටමේ ඇති වුනු උත්පාතය පදනම් කර තේ, රබර්, පොල් වලට ලැබුනාවූ ඉහල මිල මට්ටම නිසාය. එසේ වුවද ලංකාව තුල අසහනකාරී තත්ත්වයේ වර්ධනය දිගින් දිගටම ප්‍රකාශ වන්නට පටන් ගැනුනි. අප ජනමත විචාරනයේ දී පෙන්වා දුන්නේ කම්කරු පංති ව්‍යාපාරය හා ජන ව්‍යාපාරයේ සමස්ථ බිද වැටීමක් 1982 කාලයේ සිදු නොවුන බවය. මෙහි සත්‍යතාවය පසුගිය කාලයේ වර්ධනයන් තුලින් හොඳාකාරව පැහැදිලි වෙයි.

1983 ජාතිවාදී කෝලාහලය එක්සත් ජාතික පක්ෂයේ ඇම්බැට්ටයන්ගේ හා අන්තේවාසිකයන්ගේ ක්‍රියාකාරීත්වයෙන් ඇති වුනා වුවත් එය හුදෙක් ජාතිවාදී කෝලාහලයක් ලෙස පමණක් සැලකීමෙන් ප්‍රශ්නය අවසන් වන්නේ නැත. සමාජය තුල පැවතුනාවූ අසහන, එනම් ආර්ථික අසහනයන් මෙන්ම මහ මැතිවරණය කල් දැමීම නිසා ඇතිවුනු දේශපාලන අසහනයත් ඇතුළුව සමස්ථ අසහනකාරී තත්ත්වයන් පිටාර ගැලීමක් ලෙස 1983 වර්ධනය වූ සිද්ධීන් අප සැලකිල්ලට ගත යුතුය. ඒ තේරුමෙන් ගත් කල 1983 කැරලි කෝලාහලය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා ලෝක බැංකුවේ ක්‍රියා පටිපාටියන් නිසා අනිත් රටවල් වල ඇති වුනාවූ කෝලාහල සමග සංසන්දනය කර බැලීමට ඉඩක් පවතී. කෙසේ වෙතත් ජනාධිපති ඡන්දය හා ජනමත විචාරණය නිසා ඇතිවූ දේශපාලන පරාජය නිසා ඇති වුනා අසහනකාරී තත්ත්වයේත්, අනිත් පැතෙන් ආර්ථික තලයේ බිද වැටීම නිසා ඇති වුනා වූ අසහනයත්, ප්‍රධාන ලෙස ප්‍රකාශයට පත් වූයේ විරුද්ධ පක්ෂයේ ප්‍රධාන ක්‍රියාකාරීත්වය ලෙසට තිබූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුලිනි. අප 1982 සම්මේලනය තුල සාකච්ඡාවේ දී පෙන්වූ ලෙසටම ජනාධිපති ඡන්දයේ දී කොබ්බෑකඩුවගේ ව්‍යාපාරය වටා පෙලගැසුන බලවේගය දිගින් දිගටම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සීමාසහිත භාවය නිසා අතරමංවූ බව අප විසින් සැලකිල්ලට ගත යුතුය. එහෙත් මෙම බලවේගය ඇද ගැන්මට වමේ පක්ෂවලට එක්සත් විකල්පයක් පෙන්වීමට නොහැකි විය. එයට හිලව් කල හැකි වෘත්තීය ක්‍රියාකාරීත්වයක් ද නොවී ය. මේ නිසාම 1983 වමේ පක්ෂ තහනම් කිරීමත් සමගම වඩ වඩාත් තියුණු තත්ත්වයකට පත් වූයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අභ්‍යන්තර අරගලයයි. විශේෂයෙන්ම ශ්‍රී.ල.නි.ප.ය තුල ධනේශ්වර කොටස්වල බලපෑම තියුණුවීමත් සමගම කම්කරු පංති හා ඒ සමග ඇදී ආ තරුණ කොටස් එම නායකත්වයන් සමග හැප්පෙමින් වෙනත් මාවතක් සොයා යාම වැලැක්විය නොහැකි විය. මෙහි දී තනිවම ගත් කල අප විකල්පයක් නූනත් ජනාධිපති ඡන්දයේ සිටම අප කල මැදිහත්වීම් නිසා අපගේ අදහස් වලින් ජනතා ව්‍යාපාරයේ ඇතිවූ වර්ධනයද අඩුවෙන් තක්සේරු කල නොහැක. අපගේ බලපෑම් නිසාත් පොදුවේ වාමගාමීවූ විෂයබද්ධ බලපෑම නිසාත් ශ්‍රීලනිප තුල එක් රොක්වූ කම්කරුපංති කොටස් වෙන්වී ස්වාධීන ගමනක් ආරම්භ කිරීම වැලැක්විය හැකි වූයේ නැත. එය ‘83 ජාතිවාදී ක්‍රියාකාරීත්වයට ප්‍රතිවරුද්ධ ගමනක් වූයේ ය.

නමුත් මේ කම්කරු පංතියේ ගමන තුල, ශ්‍රීලනිප තුල වැජඹුනාවූ සුළු ධනේශ්වර නායකත්වයේ තට්ටුවක් එතනින් ගලවා ඉදිරියට ගෙන ඒමද අනිවාර්යයෙන් සිදුවූ කරුණකි. කම්කරු පංතියේ ගමනත් සමග ඇදී ආ සුළු ධනේශ්වර නායකත්වය අනිවාර්යයෙන්ම එක්තරා දුරකට කම්කරු පංතියේ වාමගාමී ගමනට තිරිංගයක් හැටියට ද පවතී. මේ සුළු ධනේශ්වර නායකත්වය දිගින් දිගටම පෙන්නුම් කරන්නේ ශ්‍රීලනිප තුල පැවතුනාවූ ග්‍රාමීය ජනතාවාදය පිළිබඳව බොල් අදහස් තුල ඔවුන් රැඳී සිටින ආකාරයයි. එසේ වුවත් කම්කරු පංතියේ වාමගාමී ගමන නියෝජනය කරන්නා වූ සංවිධානයක් ලෙස මහජන පක්ෂය තුල දිගින් දිගටම පෙන්නුම් කරන්නේ පහලින් සටන්කාමී වූ කම්කරු පංතික ජනතාවගෙන් එල්ල වන්නාවූ පීඩනය නිසා ඇති වන්නාවූ මාධ්‍යමිකවාදයේ ස්වරූපයයි. ඒ නිසා ක්‍රියාකාරීත්වයේ දී පවා සටන්කාමී මුහුණුවරක් පෙන්වීම දෙසට ගමන් කිරීමට ඔවුන්ට නිරන්තරයෙන්ම බලකිරීමක් පවතී. කම්කරු පංතියේ සටන්කාමී එඩිතර ජන කොට්ඨාශයක් මහජන පක්ෂයේ පසුතලයේ සිටීම මෙයට හේතු වන්නේය. මේ නිසාම මහජන පක්ෂය කම්කරු පංතියේ බහුතරයක් නියෝජනය වන පක්ෂයක් ලෙස අප තත්සේරු කිරීම ඉතාම නිවැරදි ය.

කම්කරු පංතියේ ප්‍රධාන බලවේගයන් වමේ පක්ෂ වලින් ඉවත් වී ශ්‍රීලනිප දෙස බලා සිටීම පසුගිය කාලය තුලම අප දැක්කාවූ විශේෂ ලක්ෂණය විය. එම කම්කරු පංති බලවේගය ශ්‍රීලනිප ජාතික ධනේශ්වර නායකත්වයෙන් ඉවත් වී කම්කරු පංති පක්ෂයක් ලෙස අද වෙනම සංවිධානය වීම මහජන පක්ෂයෙන් නියෝජනය වන බව අපි ඉතාම නිවැරදිව තක්සේරු කළෙමු. මහජන පක්ෂයේ ඉහල නායකත්වයේ වැජඹෙන සුළු ධනේශ්වර නායකත්වය නොතකා එහි පහල තට්ටුවලින් එල්ල වන්නාවූ සටන්කාමී බලපෑම් මාධ්‍යමිකවාදී ස්වරූපයකින් නියෝජනය වීම වැලැක්විය නොහැක. එසේම කම්කරු පංතියේ ප්‍රධාන බලවේගයක් ලෙස මතුවීම නිසාම සුළු ධනේශ්වර සටන්කාමී බලවේගයන් ද මහජන පක්ෂය වටා එකතු වන බව අපි දැකිය යුතු කරුණකි. මේ නිසා මහජන පක්ෂය මැදිවී දැනට ගොඩනැගී ඇති වමේ පක්ෂවල ඒකාරාශීවීම කම්කරු පංතියේ ප්‍රධාන ඒකාරාශීවීම හැටියටත් දේශපාලන ප්‍රවණතාවය ලෙසටත් සැලකිය යුතු වන්නේ ය. ඒ අනුව මෙය ඉතාම ප්‍රධාන දේශපාලන සාධකය ලෙස පමණක් සලකමින් අපට දේශපාලන ක්‍රියාකාරීත්වය ගැන සාකච්ඡා කල හැකි වන්නේ ය. දේශපාලන වශයෙන් වෙන්වූ සාපේක්ෂ වශයෙන් ස්වාධීන වූ කම්කරු පංතික බලවේගයක් මේ ලෙසට ඇති වූයේ 1964 කාලයේ දී ඇති වුනා වූ සභාගයෙන් පසුවය. මේ ලෙසට ගුණාත්මක වශයෙන් වෙනස් වූ සාපේක්ෂ ස්වාධීනත්වයක් කම්කරු පංතිය ලබා ගැනීම විප්ලවවාදී ගමනක මූලාරම්භයක් ලෙස සැලකිය යුතු වන්නේ ය. එසේමුත් එය ඒ අතරම වැඩපල මට්ටමේ කම්කරුවන්ගේ නියෝජන සභාවක් වෙනුවෙන් ඇතිවන ඓයන්ද්‍රීය බලපෑමට විරුද්ධව සිට ගත්තේ ය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තවමත් ගම්බද ශක්තිමත් බලවේගයකි. විශේෂයෙන්ම ආණ්ඩුව සමග කලකිරී ඉවත්වන සම්ප්‍රදායික සුළු ධනේශ්වරය යොමු වන්නේ ශ්‍රීලනිප දෙසට ය. මේ අනුව ගත් කල ශ්‍රීලනිපය නැවත වරක් 1956 ට පෙර තිබූ ජන පදනමට වැටී ඇත. ඒත් එදා උත්පාතය මත පදනම් වූ ජනතාවාදී හඬක් තිබුණි. අද එයට විරුද්ධව ඇත්තේ ගමේ පංති අරගලය තියුණු වීම පමණි. මේ නිසාම ශ්‍රීලනිපය මේ මට්ටමෙන් ද තියුණු ගැටුමකට පත් වේ. එක් අතකින් පවතින ව්‍යවස්ථාව තුල ජේ.ආර්.ට වඩා හොඳින් ඉංදියාවේ සහයෝගය ඇතිව එම ප්‍රතිපත්ති ඉදිරියට ගෙන යා හැකි නායකත්වයක් ලෙසට අනුර වැජඹෙමින් සිටී. අනෙක් අතට පැරණි ජනතාවාදී සිහිනය තුල (පොදු ජන යුගයක) වීරයන් වීමට දඟලන පාර්ලිමේන්තුවාදීහු සිටිති. මොවුනට උවමනා මොන විදිහකින් හෝ මහ ඡන්දයක් ලබා ගැනීම ය.

සුළු ධනේශ්වරයේ මේ ගැටුම් ජනතා විමුක්ති පෙරමුණ තුලින් ද ප්‍රකාශ වේ. ගැමි සුළු ධනේශ්වරයේ වැඩි නැඹුරුව යූඇන්පී යට තිබෙන විට දී ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලනය ගමන් කළේ යූඇන්පී ය සමග ඍජු ලෙස හැප්පීමට වඩා වියුක්ත ලෙස පොදු ධනපති විරෝධී සටන් පාඨය යටතේ ය. ‘82 සිට මේ තත්ත්වය වෙනස් වී පොදුවේ අතුරු මැතිවරණ එකට කිරීමට පවා ඔවුහු උත්සාහ ගත්හ. මෙසේ යූඇන්පී යේ අනියම් සම්බන්ධය බිද වැටීමත් සමගම ඔවුන් ගමන් කර ඇත්තේ ශ්‍රීලනිප ධනපති නායකත්වය දෙසටය. පසුගිය කාලයේ ඔවුන් යෝජනා කලේ ශ්‍රීලනිපය ද අඩංගු වන ආණ්ඩු විරෝධී පුලුල් පෙරමුණකි.
මේ අතර සිංහල සුළු ධනේශ්වරය තුල ද ගරිල්ලාවාදී යම් වුවමනාවක් මතු වී ඇතත් එහි වර්ධනයට ප්‍රධාන බාධාව වන්නේ අපගේ පක්ෂයේ පැවැත්මයි. මේ අතර ශ්‍රීලනිපය ය නැවත වටයකින් 1964 ට පෙර තිබුනාවූ තත්ත්වයට අළුත් ස්වාභාවයකින් පත්වී තිබේ. එහි ජනතාවාදී අංග ලක්ෂණ ගෙවී ගොස් ඇති මුත් තවමත් ග්‍රාමීය සුළු ධනේශ්වර කොටස් වල නායකත්වය උසුලා ගත හැකි, නායකත්වයක් උදුරා ගත හැකි, ජාතික ධනේශ්වර බලවේගයක් හැටියට එය ශක්තිමත්ව පවතී. නාගරික ප්‍රදේශ වල ඔවුන්ගේ පදනම මුළුමනින්ම ගලවා වැටුනද ග්‍රාමීය ප්‍රදේශවල එලෙසට ශ්‍රීලනිප යේ පදනම බිඳ වැටී නැති බව අප සැලකිල්ලට ගත යුතුය. ඒ නිසා සම්ප්‍රදායික ධනේශ්වරයේ පක්ෂයක් ලෙසට පැවැතීමේ හැකිකම ශ්‍රීලනිපයට උදා වී තිබේ. විශේෂයෙන්ම වමේ පක්ෂ විසින් ගැමි ජනතාව ඇද ගැනීම සඳහා සටන්කාමී ක්‍රියාමාර්ගයක් ඔස්සේ ක්‍රියාකාරීත්වයක් නොපෙන්වන නිසා ඡන්ද මට්ටමේ ක්‍රියාකාරිත්වය හා සාමකාමී ක්‍රියාකාරිත්වය පැත්තෙන් ගත් කල, හා ව්‍යවස්ථාදායක බොනපාට්වාදය සමග ව්‍යවස්ථානුකූල මාර්ගයෙන් පමණක් හැප්පීම සැලකිල්ලට ගත් කල ශ්‍රීලනිපය අමතක කල සොහැකි ප්‍රධාන බලවේගයක් ලෙස ඉතුරුවී පවතී.

මේ අතර වමේ එක්සත්කමක් මතුවීම හා ඒ වටා කම්කරු පංතිය ප්‍රමුඛ බලවේගයක් ගොනුවීම නිසාම පක්ෂ වලට දමා තිබූ තහනම ඉවත් කිරීමට ජේආර්ට සිදු විය. හදිසි නීතිමය ක්‍රියාමාර්ග ද ක්‍රියාත්මක කළේ වැනි වැනී ය. එමෙන් ම අනික් පැත්තෙන් ජාතිවාදය යටපත් වීමට ද විශේෂයෙන් ජාතිවාදය නාගරික ක්ෂේත්‍රයෙන් ක්ෂය වී යෑමට ද එසේ වමේ සාපේක්ෂ ස්වාධීන බලවේගයක් මතුවීම හේතු සාධක වූ බව අප සැලකිල්ලට ගත යුතුය. මේ ලෙසට වමේ ස්වාධීන බලවේගය සාපේක්ෂ ස්වාධීනත්වයක් ඇතිව ගමන් කරන අතර, ශ්‍රීලනිප නැවත සභාගයක් අටවා ගැනීම සඳහා පරිශ්‍රමයක යෙදෙමින් සිටියි. එසේ වුවද තවමත් ධනපති පංතියේ ප්‍රධාන උපාය මාර්ගය වී ඇත්තේ ව්‍යවස්ථාදායක බොනපාට්වාදය වටා පෙල ගැසීමය. ව්‍යවස්ථාදායක බොනපාට්වාදයේ ක්‍රියාකාරීත්වයේ සිටිමින් ඉන් ඉදිරියට පියවර ගැනීමට ධනපති පංතියට අවශ්‍ය වුවත් ඒ සඳහා ධනපති පංතියේ සියළු කොට්ඨාශ වලට එකඟත්වයකට ඒමට නොහැකි ව තිබේ. ජේ.ආර්. ජයවර්ධනගේ නායකත්වය යටතේ ව්‍යවස්ථාදායක බොනපාට්වාදයට එහා යමින් යම් බලතල කේන්ද්‍රගත කිරීමක් සඳහා ශ්‍රී ලනිපයේ ප්‍රධාන නායකත්වය සූදානම් නැත. අනුර බණ්ඩාරනායකගේ නායකත්වයෙන් දක්ෂිණාංශික කොටස් ජේ.ආර්.සමග යම් සංධානයක් පවත්වාගෙන ගිය මුත් ශ්‍රී ලනිපයේ සිරිමා බණ්ඩාරනායකගේ නායකත්වයට ඒ ලෙසට ජේ.ආර්.සමග ඍජු සම්මුතියකට යාමට අවශ්‍යතාවයක් නැත. තමන්ට ජාතික මට්ටමේ තිබුණාවූ නායකත්වය නැවතත් ඇති කර ගැනීම සඳහා ශ්‍රීලනිප නායකත්වය ක්‍රියාකාරී වීම තේරුම්ගත යුතුය.

මේ සඳහා සිරිමා බණ්ඩාරනායක පෙනී සිටින්නේ ජාතිකවාදී ප්‍රතිපත්ති මාලාවක් උඩය. එය ඍජු ලෙසින්ම ජාතිවාදී ප්‍රතිපත්තියක් ද නොවේ. එසේ වුවද සමස්ත ජාතිය වෙනුවෙන් එසේ නැත්නම් ජාතීන් දෙක එක්සත් කිරීම පිළිබඳ යම් පැහැදිලි වැඩ පිලිවෙලක් මත පදනම් වූවක් ද නොවේ. කෙසේ වෙතත් ශක්තිමත් බොනපාට්වාදයක් ගොඩ නගා ගැනීම සඳහා තමාට හැකියාව ඇත්තේ ය; එසේම ඉංදියාවේ විශ්වාසය උඩ ජාතික සමගිය ඇති කරගත හැක්කේ තමාට පමණක්ය යන විශ්වාසය උඩ විකල්ප නායකත්වයක් ධනේශ්වරය වෙනුවෙන් ඉදිරිපත් කිරිම දෙසට ශ්‍රීලනිපයේ ප්‍රධාන නායකත්වය ගමන් කර තිබේ. මේ නිසා එක්සත් ජාතික පක්ෂ නායකත්වයෙන් යුත් ව්‍යවස්ථාදායක බොනපාට්වාදය යටතේ අද පවතින තත්ත්වයට වඩා කේන්ද්‍රගත බලයක් ඇති කර ගැනීම මේ මොහොතේ පවතින පරිසරය තුල ලේසි නැත. විශේෂයෙන්ම එවැනි ගමනක් යෑමට නම් සමස්ථ ධනපති පංතියේ එකඟත්වය උඩ බලතල ඒකාරශී කරගත යුතුවේ. ශ්‍රීලනිපය ප්‍රධාන නායකත්වයේ ආකල්පය නිසා එවැනි තත්ත්වයකට අද ඉඩ නැත.

එසේ වුවද පවතින අර්බූදය තුල ව්‍යවස්ථාදායක බොනපාට්වාදයට එහා ගොස් මිලිටරි බොනපාට්වාදයක් කරා යා යුතු බවට එක්සත් ජාතික පක්ෂයේ දක්ෂිනාංශික කොටස් නිරන්තරයෙන් කරුණු ඉදිරිපත් කරයි. අද අධිරාජ්‍යවාදය පැත්තෙන් ගත් කළ අධිරාජ්‍යවාදය ව්‍යවස්ථාදායක බොනපාට්වාදයට එහා යෑම සඳහා අධිරාජ්‍යවාදී ධනපති නායකයා ලෙස ජේ.ආර්.ජයවර්ධනට ඍජු ලෙසට උපදෙස් දෙන්නේ නැත. ඔවුන් තවදුරටත් ඔහුට බල කරන්නේ ව්‍යවස්ථාදායක බොනපාට්වාදය යටතේ ම දෙමළ ජාතික ධනේශ්වරයත් එකඟත්වයකට ගනිමින් ශක්තිමත් පදනමක් මේ පවතින ව්‍යවස්ථා රාමුව යටතේම තහවුරු කර ගත යුතු බවය. මේ නිසාම තව දුරටත් ජේ.ආර්.ගේ පාලනයට අධිරාජ්‍යවාදීන් විසින් ඔවුන්ගේ බලපෑම එල්ල කරන්නේ යම් සම්මුතියක් දෙමළ ධනපති නායකත්වයන් සමග ඇති කර ගනිමින් ජාතික ප්‍රශ්ණයට යම් විසඳුමක් ලබා ගත යුතු බව පෙන්වා දීමට ය. එසේ නැතිව මිලිටරි බොනපාට්වාදී විසඳුම සඳහා උපදෙස් දෙන්නේ නැත. කෙසේ නමුත් ආණ්ඩුව තුල ගැටුම උත්සන්න වීමක් අප බලාපොරොත්තු විය යුතුය.

ඉතාමත් බැරෑරුම් ගැටුමක් වුව ද එක්සත් ජාතික පක්ෂය පැත්තෙන් ඉදිරිපත් වීමට ඇති ඉඩ කඩ අප මුළුමනින්ම ඉවත් කළ යුතු නැත. එහෙත් පවතින ව්‍යවස්ථාදායක බොනපාට්වාදයෙන් එපිටට යමින් මීට වඩා දක්ෂිනාංශික ඒකාධිපති ව්‍යවස්ථාවක් කරා ගමන් කිරීමට ඇති ඉඩ කඩ සීමිතය. එය මුළුමනින්ම ප්‍රතික්ෂේප කළ නොහැකි මුත්, ඒ සඳහා පසුබිම සකස් කර ගැනීමට ඔවුන්ට තිබෙන ඉඩ කඩ අඩුය. ඇත්ත වශයෙන් අර්බූදය උග්‍ර වීමත් සමග තව තවත් පැති වලට දෝලනය වෙමින් වහසි බස් දොඩමින් ගමන් කරන අතර අනිත් පැත්තෙන් සන්ධානගතවීම හා සහන දීම සඳහා පෙළඹවීම ජේ.ආර්.ගේ නායකත්වය තුලින් පෙන්නුම් කරයි. ජාතික ප්‍රශ්නය පැත්තෙන් ගත් කල ද එක පැත්තකින් සාහසික කථා හා වහසිබස් දෙඩීමත්, අනිත් පැත්තෙන් නිරන්තරයෙන්ම සාකච්ඡා මාර්ගය සඳහා දොරවල් විවර කර ගැනීමත්, යටි කූට්ටු ලෙස සංවාදය ඇති කර ගැනීමට ඉඩ කඩ පාදා ගැනීමත් සිදුවේ. ශිෂ්‍ය ව්‍යාපාරය තුලින් ඇති වූ අරගලය තුලදී ද, එලෙසටම වැඩ වර්ජන ව්‍යාපාරයන් තුල ඇති වූ ක්‍රියාකාරීත්වයන් තුලදී ද අප පසුගිය වසර දෙක තුල දුටුවේ ජේ.ආර්.ජයවර්ධනගේ මේ ක්‍රියා කලාපයයි.

එක පැත්තකින් ඉතා දැඩි ක්‍රියාමාර්ගයක් ගන්නා බව පෙන්වන අතර, අනික් පැත්තෙන් යම් ආකාරයක සංධානයක් ගොඩ නගා ගැනීමට ද ක්‍රියාකර තිබේ. වතු කම්කරුවන්ගේ පැත්තෙන් ගත්තද හෙදියන්ගේ පැත්තෙන් හා අනිකුත් සියළුම ක්‍රියාකාරිත්වයන් ගේ පැත්තෙන් ගත්ත ද, ඔහුගේ විචිකිච්ඡා ස්වාභාවය හා අර්බූදකාරී ස්වාභාවය දිගින් දිගටම පවතින්නාවූ ලක්ෂණයකි.

වමේ පක්ෂ තුන එකතු වීම සිදුවූයේ මුත් ඒ මගින් අද ගොඩනැගෙන ජන බලවේගයන් ගැන වමේ නායකත්වය බියට පත් වී සිටිති. විශේෂයෙන්ම වමේ නායකත්වය යටතේ ව්‍යවස්ථාවට අභියෝග කරමින් යන ගමනක් ගැන වමේ නායකත්වයන් අතර සිටින තුන් කොට්ටාශය තුලම ඇත්තේ ඉතා ම අපැහැදිලි ස්වාභාවයකි. ඔවුන් තේරුම් නොගන්නා වූ එක දෙයක් නම් මේ බලවේගය ව්‍යවස්ථා රාමුව බිඳ ගෙන යාම දෙසට ගමන් කිරීමට ඉඩ ඇති බවය. ඒ නිසාම ඔවුන් වඩාත්ම සාමකාමී මාවත්, වඩාත්ම ව්‍යවස්ථාදායකයේ සීමාවන් තුල ගමන් කිරීමේ ක්‍රියාකාරීත්වයක් දෙසට යොමු ව සිටිති. ඇත්ත වශයෙන්ම සිරිමා බණ්ඩාරනායක ගේ මහා මැතිවරණයක් ඉල්ලීමේ උද්ඝෝෂණය පැත්තෙන් ගත් කල වමේ නායකත්වයේ උද්ඝෝෂණය එක්තරා දක්ෂිනාංශික ස්වාභාවයක් දරන්නේ ය. ඔවුන් ජේ.ආර්.ගේ ව්‍යවස්ථාවට, අභියෝග කරමින් නායකත්වයක් ගොඩ නගනවා වෙනුවට ඒ රාමුව තුල සිටිමින් ඉදිරියේ ඇති වන ඡන්දයක දී මුහුණ දීමට සූදානම් වන නායකත්වයක් ලෙස ගොඩ නැගීමට උත්සාහ කරයි. මේ නිසාම වමේ පක්ෂ, එක් පැත්තකින් ජාතිවාදයට විරුද්ධව ජාතික ප්‍රශ්නයට විසඳුම් සෙවීම පැත්තෙන් එඩිතර පියවරක් තබන්නා ලෙස ප්‍රදර්ශනය කලත්, අනික් අතට ආණ්ඩුවට එරෙහිව මතුවන විරුද්ධත්වය පැත්තෙන් ගත් කල ඔවුන් සිටින්නේ බොහෝ ප්‍රවේශම්වාදී තැනක ය. මේ නිසාම ශ්‍රීලනිපයට නැවත රැඩිකල් කොටස් අතර පදනමක් දමා ගැනීමට ඉඩකඩක් වමේ නායකත්වය විසින් ඉතුරු කර තිබේ. විශේෂයෙන්ම මහියංගනය අතුරු මැතිවරණය වර්ජනය කිරීමට ශ්‍රීලනිපය තීන්දු කර තිබියදී, වමේ පක්ෂ ඉදිරිපත් වීමෙන් පෙන්වන්නේ ව්‍යවස්ථාවට අභියෝග කරන ව්‍යාපාරවලට සහභාගී වීමට, එකතු වීමට වමේ පක්ෂ වල ඇති මැලි භාවයයි. ඔවුන් වඩාත්ම පවතින රාමුව තුල ක්‍රියාකාරී වෙමින් නායකත්වයක් ගොඩ නැගීම හා ජයග්‍රහණයක් ලබා ගැනීම තමන්ගේ පරම ක්‍රියාමාර්ගය ලෙස සැලකනු පෙනේ. වෙනත් ලෙසකින් කියනවා නම් මතුව ඇති වමේ බලවේගය පවත්නා ව්‍යවස්ථා නීති රාමුවට අභියෝග කරමින් ගමන් කිරීමට ඇති ඉඩ කඩ ගැන වමේ නායකත්වයන් ම බිය පත්ව සිටිති. නව සම සමාජ පක්ෂය වමේ පෙරමුණ තුලට ඇතුල් කර නොගන්නේ ද මේ නිසාය. ඔවුන් කල්පනා කරන ලෙස නව සම සමාජ පක්ෂය විසින් ජනතාව ක්‍රියාකාරී කිරීම සඳහා වමේ නායකත්වය දෙසට අභියෝගයක් එල්ල කිරීමට ඉඩ ඇත්තේ ය. මේ නිසා එක් පැත්තකින් ගත් කල ජේ.ආර්.ජයවර්ධනගේ ව්‍යවස්ථාදායක රාමුව 1988-89 දක්වාම ආරක්ෂා කර දීම සඳහා ඉදිරිපත් වන සහයෝගීතා බලවේගයක් ලෙස වමේ පෙරමුණ ක්‍රියා කිරීමේ අනතුර ද ඉතාම පැහැදිලිව පවතී. විශේෂයෙන් කොල්වින් ආර් ද සිල්වාගේ නායකත්වය යටතේ පසුගිය කාලයේ ලසසප ක්‍රියාකල ආකාරයත් ඒ වගේම කොපයේ ක්‍රියා කලාපයන් ද පෙන්නුම් කළේ ඔවුන් දිගින් දිගටම ව්‍යවස්ථාදායක සීමාවන්ට ඉතාම යටත්ව ඉතාම ප්‍රවේශම්කාරී ලෙස ක්‍රියා කරන ආකාරයයි. මෙම බලපෑම මහජන පක්ෂයට ද ඇතුල් කරමින් එම පක්ෂයේ මාධ්‍යමිකවාදී බලපෑම පවා යටපත් කර ඉතාම අවස්ථාවාදී පෙරමුණක් තුල හිර කර ගැනීමට ඇති ඉඩ ගැන සැලකිල්ලට ගත යුතුය. මහජන පක්ෂයේ සුළු ධනේශ්වර නායකත්වයේ තිබෙන්නා වූ ඕතෑනිකම නිසාම වමේ සම්ප්‍රදායික සුළු ධනේශ්වර නායකයන්ට තමන්ගේ අවස්ථාවාදී ප්‍රතිපත්ති රාමුව තුල රඳා පවතින වැඩ පිලිවෙලකට ඔවුන් එකඟ කරවා ගැනීමට හා හිර කරගෙන ඉදිරියට යෑමට හැකි වී තිබේ. මෙයින් සිදුවී තිබෙන්නේ මහජන පක්ෂයේ පහල මට්ටමින් එන්නා වූ දැඩි බලපෑම නොතකා ඒ බලපෑම නිසා ඇතිවන රැඩිකල්වීම මත මහ ජන පක්ෂ නායකත්වයන් ක්‍රියාත්මක වීම වලක්වාලීම ය.

සිරිමා බණ්ඩාරනායකගේ මැතිවරණ සඳහා වූ උද්ඝෝෂණය කෙසේ වෙතත් ශ්‍රීලනිප අනිවාර්යයෙන්ම ජේ.ආර්.ගේ ව්‍යවස්ථා රාමුව තුලට යටහත්ව ක්‍රියාකරන බලවේගයකි. එසේම දැන් වමේ එක්සත් පක්ෂත් එලෙසටම ව්‍යවස්ථාදායක නීති රාමුවේම කීකරු සංවිධාන ලෙස ක්‍රියා කිරීම නිසා ජේ.ආර්.ට අත් වන්නේ ඉතාම වාසිදායක තත්ත්වයකි. එකම ආකාරයේ දේශපාලන ක්‍රියාමාර්ග ඉදිරිපත් කරමින් මුත් දෙකොට්ඨාශයක් ලෙස ක්‍රියාකරන බලවේග දෙකක් මතුවීමෙන් එක්සත් ජාතික පක්ෂයට දිගින් දිගටම බලපෑම් වලට උපාමාරු තුල මුහුණ දෙමින් තම පාලනය ගෙන යාමට ඉඩ කඩ ඇති වීම වැලැක්විය නොහැක. ඔවුන්ට පාර්ලිමේන්තුව විසුරුවා හැර ඡන්දයක් තැබීමට හෝ බලපෑමක් එම නිසා නැති වී යයි. ඇත්ත වශයෙන් ඡන්දයක් එලෙස ලබා ගැනීම සඳහා හෝ සියළුම විරුද්ධ පක්ෂ වලට ක්‍රියාකාරීව සහභාගී වන වැඩ පිළිවලක් සඳහා ඉදිරියට යා යුතු වන්නේ ය.

විශේෂයෙන්ම වමේ පක්ෂ වලට එවැනි ක්‍රියාකාරීත්වයක් ආරම්භ කිරීම තුලින් පමණක් එක පැත්තකින් දේශපාලන විකල්පයක් ලෙස මතුවීමටත්, අනෙක් පැත්තෙන් ආණ්ඩුව පෙරලා දැමීමේ ඇත්ත අරගලයක් දියත් කිරීමටත් හැකි වන්නේ ය. නමුත් වමේ නායකත්වය එවැනි ක්‍රියාකාරීත්වයකට සූදානම් නැති බව නව සම සමාජ පක්ෂය කිට්ටුකර ගැනීමටවත් සූදානම් නොවීමෙන් ඉතාම පැහැදිලි වන්නේ ය.

මේ අතරතුරේ උතුරේ තරුණයින්ගේ ක්‍රියාකාරීත්වය ක්‍රමාණුකූලව ජාතිවාදී සුළු ධනේශ්වර ක්‍රියාකාරීත්වයේ සිට වඩා වාමගාමී දිසාවට නැඹුරු වෙමින් පවතී. ජාතික ව්‍යපාරයක් ලෙසට තරුණයින්ගේ රැඩිකල් ව්‍යාපාර ආරම්භ වූයේ දෙමළ විමුක්ති පෙරමුණේ අමිර්තලිංගම්ලාගේ නායකත්වයන්ටත් බලපෑම් එල්ල කරන හා එලෙසටම ආණ්ඩුවටත් බලපෑම් එල්ල කරන අතිරේක බලවේගයක් ලෙසටය. විශේෂයෙන්ම කොටි ව්‍යාපාරය ආරම්භ වූයේ, මෙසේ අනියම් බලපෑම් ඉදිරිපත් කරන්නා වූ සංවිධානයක් ලෙසට ක්‍රියාත්මක වීමට මිස ඊට වඩා ප්‍රමුඛත්වයක් ගන්නාවූ, නායකත්වයක් ගන්නාවූ බලවේගයක් ලෙස නොවේ. දිගින් දිගටම කොටි ව්‍යාපාරය එක්තරා දුරකට ද්‍රවිඩ විමුක්ති පෙරමුණේ අනියම් සහකරුවන් ලෙසට ක්‍රියාකිරීම සැලකිල්ලට ගත යුතු වන්නේ ය. මෙසේ දෙමළ ජාතික ධනේශ්වරයේ සහායක ව්‍යාපාරයක් ලෙස සුළු ධනේශ්වර විමුක්ති ව්‍යාපාරයක් ඇති වුවත් ක්‍රමානුකූලව ධනේශ්වරය නොතකා ඉදිරියට යා යුතු බව තේරුම් ගැනීමේ දිසාවට තල්ලු වී තිබේ. දෙමළ ජාතික ව්‍යාපාරය විමුක්තිය සඳහා ගන්නාවූ මාර්ගයට දෙමළ ජාතික ධනේශ්වරය බාධාවක් බවත්, එම දෙමළ නායකත්වය නොතකා ඉදිරියට යාමෙන් ද්‍රවිඩ විමුක්තිය දිනා ගත හැකි බවත් අද උතුරේ තරුණයින් තේරුම් ගන්නා තැනට පත්ව තිබේ.

විශේෂයෙන්ම කම්කරු පංති ව්‍යාපාරය සමග සම්බන්ධ වෙමින් ඒකාබද්ධ සටනක් හැටියට සටන දියත් කිරීමෙන් පමණක් අධිරාජ්‍යවාදයේ පිටුබලය ලබා ගෙන පාලනය කරන්නාවූ ජේ.ආර්.ගේ කොම්ප්‍රදෝරු පාලනයට මුහුණ දිය හැකි බව අද උතුරේ සටන්කාමී තරුණයින් තේරුම් ගනිමින් සිටිති. කොටි සංවිධානයේ සිට ප්ලොට් සංවිධානය හරහා ඊරොස්, ඊපීආර්එල්එෆ් වැනි සංවිධාන ද ඊටත් වඩා සටන්කාමී සංවිධාන ද ඔස්සේ මාක්ස්වාදී සංකල්ප මත ක්‍රියා කිරීමට සූදානම් වන ප්‍රවණතාවයක් ද මතුවීම පෙන්නුම් කරන්නේ මේ උතුරේ තරුණයින්ගේ වාමගාමී ගමනය. විශේෂයෙන්ම ඉංදියාව මැදිහත් කරවා ගැනීම තුලින් ජාතික ප්‍රශ්නය විසඳා ගත හැකිය යන බංකොලොත් අදහස දිය වී යෑමත් සමගම, වඩ වඩාත් කම්කරු පංතියට ආසන්න වන උතුරේ හා නැගෙනහිර ධීවරයින් හා අනිකුත් කුලීකාර පංතීන්ට සම්බන්ධ වෙමින් වාමගාමී බලවේග මතුවීම අනිවාර්ය වන්නේ ය. එලෙසටම ඒ බලවේගය වඩ වඩාත් පැරණි ද්‍රවිඩ විමුක්ති සුළු ධනේශ්වර ව්‍යාපාරයෙන් බි‍‍දෙමින්, මාක්ස්වාදී ව්‍යාපාරයක් බවට පරිනතභාවය ලබා ගනිමින් නව සම සමාජ පක්ෂය සමග අනිවාර්යයෙන්ම එකතු වීමේ ලක්ෂණ ද අප සැළකිල්ලට ගත යුතුය.

ජාතික ප්‍රශ්නය

ලාංකීය දේශපාලනයේ ඉතාම තියුණු හා වැදගත් කමක් උසුලන ප්‍රශ්නය ලෙසට පසුගිය කාල පරිච්ඡේදය තුල ජාතික ප්‍රශ්නය මතු වී තිබේ. මේ ආණ්ඩුවේ ක්‍රියාකාරීත්වය නිසාම ක්‍රමාණුකූලව එය ජාත්‍යන්තර තලයේ දී සාකච්ඡාවට ගැනෙන ප්‍රධාන දේශපාලන ප්‍රශ්නයක් බවට පත් වී තිබේ. උතුරේ දෙමළ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රීය අයිතිවාසිකම් පිළිබඳ ප්‍රශ්නය පමණක් නොව වතුකරයේ ද්‍රවිඩ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් පිළිබඳ ප්‍රශ්නයද එකට ගෙන දෙමළ ජනතාවගේ ජාතික ප්‍රශ්නය වර්ධනය වීම ස්වාභාවිකය. වතුකරයේ ජාතික නායකයා ලෙසට සම්ප්‍රදායිකව ගොඩ නැගී තිබෙන තොණ්ඩමන්, ආණ්ඩුවේ බලගතු ඇමතිවරයෙකු ලෙස සිටින මුත් එන්ට එන්ටම එම ජනතාවගේ අයිතිවාසිකම් පිළිබඳ ප්‍රශ්නය බරපතල බවට පත් වී තිබේ. උතුරු-නැගෙනහිර ප්‍රදේශවල විශේෂයෙන් අද පවතින්නේ යුද්ධමය තත්ත්වයකි. ඉතාම බිහිසුණු ලෙස හිරකර දැමූ ජනතාවක් ලෙසට ඔවුන්ට ජීවත් වීමට සිදුවී තිබේ. බොහෝ ධීිවරයින්ට අද ඔවුන්ගේ වෘත්තිය කර ගැනීමට නොහැකි තත්ත්වයක් මතුවී තිබෙන අතර, කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ නියැලුනු අයද තමන්ගේ ජීවනෝපාය අත්හැර දමන තැනකට පත්වී සිටී.

නිරන්තරයෙන් පවතින යුද්ධමය තත්ත්වය නිසා සෑම පැත්තකින්ම ආර්ථික ක්‍රියාකාරීත්වය බිඳ වැටී තිබේ. මේ නිසා එන්ට එන්ටම තියුණු වූ දරිද්‍රතාවය නිසා ඇති වී තිබෙන තත්ත්වය බරපතලය. ඒ ප්‍රදේශ වලින් පිටස්තරව ආදායම් සොයා ගන්නා වූ පවුල් හැරුණු විට එම ප්‍රදේශ තුලින්ම ආදායම් ලැබීමට බලාපොරෙත්තු වන්නාවූ අයගේ තත්ත්වය ද ඉතාමත්ම නරක තත්ත්වයකට හැරී තිබේ. විශේෂයෙන් ම සිංහල ප්‍රදේශ වලට කෘෂි කාර්මික ද්‍රව්‍ය එවීම තුලින් ජීවනෝපාය සලසා ගත්තා වූ ගොවීන්ගේ තත්ත්වය ද නරක ය. සුළු කර්මාන්ත හැටියට පවත්නාවූ බොහෝ කර්මාන්ත හා අනිකුත් කර්මාන්ත හැටියට පවත්නාවූ බොහෝ කර්මාන්ත වල ක්‍රියාකාරීත්වය ද බරපතල ලෙස පාඩු වී තිබේ. මේ නිසාම ජාතික ප්‍රශ්නය විප්ලවවාදී විසඳුමක් ක්ෂණිකවම ඉල්ලා සිටින්නාවූ ප්‍රශ්නයක් බවට පර්වර්තනය වී තිබේ. ජේ.ආර් බලයට පත්වීමත් සමඟම දෙමළ ධනපති කොටස් අතර එක්තරා විශ්වාසයක් ඔහු ගැන ඇති වී තිබුණි. ද්‍රවිඩ විමුක්ති පෙරමුණේ නායකයන් එක්තරා දුරකට ගත් කල ජේ.ආර්. සමඟ ගිවිසුමක් තිබුණාය යන කියමන සත්‍යයකි. ඔවුන් බලාපොරොත්තු වුනේ ජේ.ආර්. බලයට පත් වීමත් සමඟ ප්‍රාදේශීය බලතල ඔවුන්ට ලබාගත හැකි වේය යන්නය. එසේම වතු කම්කරුවන්ගේ මානව අයිතිවාසිකම් සහිතව පුරවැසි අයිතිය පිළිබඳව ද ඉඩම් ප්‍රශ්නය හා අනිකුත් ප්‍රශ්න පිලිබඳව ද විසඳුම් ලබා දේවි යන විශ්වාසයක් වතු කම්කරු නායකත්වයන් තුල තිබුණි. එසේම දෙමළ ජනතා නියෝජිතයන්ගේ ඡන්දය පාර්ලිමේන්තුව තුල දී තමන්ට අවශ්‍ය වේ යයි ජේ.ආර්. සිතූ අතර යූ.ඇන්.පී.ය විශාල ජයක් ලබා ගනී යයි අමිර්තලිංගම් ලා සිතුවේ නැක. සිංහල ප්‍රදේශ වල ශ්‍රීලනිපය පරාජය කිරීම සඳහා ද දෙමළ කොටස් ඡන්දය පාවිච්චි කලා විය යුතුය.

ජේ.ආර්. වට මේසයක් නැතිව වුවත් සරසවි පිවිසුම පැත්තෙනුත්, දෙමළ භාෂාව පාවිච්චි කිරීමේ පැත්තෙනුත්, උතුරු-නැගෙනහිර ප්‍රදේශ වල යම් ප්‍රාදේශීය පාලනයක් දීම ඇතුළුව යම් අයිතිවාසිකම් ලබා දීම පැත්තෙනුත් පියවරක් ගත්තේ ය. නමුත් ආරම්භයේ සිටම ඔහුට මුහුණ දෙන්නට සිදුවූ එක ප්‍රශ්නයක් නම් මුළු උතුරුකරයම ද්‍රවිඩ විමුක්ති පෙරමුණට ලැබීම තුලින් තමන්ගේ බොනපාට්වාදයට අභියෝගයක් ඇතිවේද යන්න යි.

1977 ආණ්ඩුවේ ජයග්‍රහණයෙන් පසු මාස කිපයක් තුලදීම දෙමළ ජනතාවගේ නායකත්වය විසින් තබා ගෙන තිබුණා වූ විශ්වාසය බිඳ වැටුණි. මෙම ප්‍රදේශවල තරුණයන්ගේ ක්‍රියාකාරීත්වය ඇතිවීමත්, ද්‍රවිඩ විමුක්ති පෙරමුණේ නායකයන්ට බලපෑම් දමීම සඳහා ක්‍රියාකාරී වීමත් දකින්නට තිබූ ලක්ෂණයකි. මේ සිංහල ප්‍රදේශවල සිංහල ජාතිවාදය ඇවිස්සීමේ අවශ්‍යකම එක්සත් ජාතික පක්ෂයේ දක්ෂිණාංශික කොටස්වල උවමනාව විය.

සිරිල් මැතිව් ඇතුළු කර්මාන්ත ක්ෂේත්‍රයේ සිංහල ධනේශ්වර කොටස් වලට මේ අවශ්‍යතාවය ඉතාම තදින් පැවතුණි. 1977 දී ඇතිවුනාවූ ජාතිවාදී කෝලාහලය ඇරඹුනේද මේ ලෙසට ය. මේ නිසාම ජේ.ආර්. ජයවර්ධන මගින් විසඳුමක් ලබා ගැනීම පිළිබඳව ඇති විශ්වාශයේ බිඳී වැටීමක් දෙමළ තරුණ කොටස් අතර ඇතිවීම ස්වාභාවිකය. එසේ වුවද දෙමළ ධනේශ්වර නායකත්වය දිගින් දිගටම උත්සාහ කළේ ජේ.ආර්. මගින් විසඳුමක් සොයා ගැනීමට ය. දිසා සංවර්ධන සභා ලබාගැනීමට හා ඒවා ක්‍රියාත්මක කිරීමට ඔවුන් සූදානමින් සිටියහ.

මේ අතරතුර තොන්ඩමාන්ද දිගින් දිගටම වතුකරයේ කම්කරුවන්ගේ අයිතිවාසිකම් ආණ්ඩුව තුල ක්‍රියාකාරී වීම තුලම විසඳා ගත හැකිය යන පදනමේ සිට වැඩ කටයුතු කලේ ය. මේ අනුව ගත් කල දෙමළ ජනතාවගේ සම්ප්‍රදායික නායකයන්ගේ ඉදිරි දර්ශණය වූයේ ජේ.ආර්. සමග සාකච්ඡා මාර්ගයෙන් ප්‍රශ්න විසඳා ගැනීමය. එසේ වුවත් සිංහල ජාතිවාදයේ පදනම් පලුදු නොකරගෙන කිසිසේත් දෙමළ නායකයන්ට විශ්වාස කල හැකිවූ විසඳුමක් දීමට ජේ.ආර්.ජයවර්ධනයට නොහැකිය. 1980 වන විට උතුරු-නැගෙනහිර ප්‍රදේශවල ජනතාවගේ නායකත්වයට ලැබෙන සහනයක් වශයෙන් දිස්ත්‍රික් සංවර්ධන සභා ක්‍රියාත්මක කිරීමේ දී ත්, ඒවායේ බලතල පිළිබඳව තීන්දු කිරීමේ දී ත්, එසේම ඒවා ක්‍රියාත්මක කිරීමේ දී ත් සිංහල ජාතිවාදීන්ට යටවීමට ජේ.ආර්.ජයවර්ධනට සිදුවිය. උතුරේ දිස්ත්‍රික් සංවර්ධන සභා ඡන්දයේ දී ඇතිවූ සාහසික ක්‍රියා සැලකිල්ලට ගත් කල ජේ.ආර්.ජයවර්ධන හා දෙමළ නායකත්වය අතර තිබූ සංධානය කඩා බිද දැමීම සඳහා ආණ්ඩුව තුලම එක්තරා කොටසක් විසින් කටයුතු කල බවට සැකයක් නැත. මෙම කොටස් තුල මුලාරම්භයේ සිටම, ආණ්ඩුව වඩා දක්ෂිණාංශික ස්ථාවරයක් කරා ඇද ගැනීමේ උත්සාහයක් තිබූ බවට විශ්වාස කල හැකිය. උතුරු-නැගෙනහිර ප්‍රදේශවල ද්‍රවිඩ නායකයන්ට සහනයක් දීම ඉංදියානු බලපෑමට ඉඩදීමක් ලෙසට ආණ්ඩුව තුල දක්ෂිණාංශික කොටස් කල්පනා කිරීම මෙයට හේතු වන්නේ ය.

ද්‍රවිඩ විමුක්ති පෙරමුණේ නායකයින් කොටසක් පසුගිය කාලය පුරාම ඇමරිකාව දෙස බලා වැඩ කළ බව ඇත්තකි. එහෙත් අමිර්තලිංගම්ලාගේ නායකත්වය යටතේ ක්‍රමානුකූලව ද්‍රවිඩ විමුක්ති පෙරමුණේ නායකත්වයන් ගමන් ගත්තේ ඉංදියානු ධනේශ්වර නායකත්වයන්ට සම්බන්ධ වෙමින් වඩා සෝවියට් දේශයත් සමග සංධානයක් තබා ගැනීමේ පදනම් දෙසටය. ඉංදියානු ධනපති නායකත්වයේ විශේෂම ක්‍රියාකාරීත්වය මෙහි දී සැලකිල්ලට ගත යුතුය.

කොන්ග්‍රස් නායකත්වය මුල් කාලයේ අවුරුදු ගණනාවක ක්‍රියාකාරීත්වයකින් පසුව ගමන් ගත්තේ අධිරාජ්‍යවාදය සමග එක්තරා දුරකට හැපෙමින් ඉංදියාවේ ආර්ථිකය ගොඩනැගීමේ දෙසටය. මේ නිසාම වඩ වඩාත් ජාත්‍යන්තර ක්ෂේත්‍රයේ ස්ටාලින්වාදී රාජ්‍යවල පිහිටාධාර සොයන්නට‌ ඔවුන්ට සිදුවිය. 50-60 ගණන්වල ගොඩ නැගුණාවූ ජනතාවාදී දේශපාලන රැල්ලේ එක් අංගයක් ලෙසට ඉංදියානු නායකත්වයට වර්ධනය විමට හැකිවීම අපට දකින්නට හැකි විය. ඉංදිරා ගාන්ධිගේ නායකත්වය යටතේ මෙය වඩ වඩාත් ආරක්ෂාවාදී ප්‍රතිපත්තියක් කරා ගමන් කල අතර, රුසියාව සමග යුද්ධමය ගිවිසුම් වලට පවා යාමට පියවර ගන්නා ලදී. ‌මේ නිසා ඉංදියානු අර්ධද්වීපය තුල අධිරාජ්‍යවාදී සැලසුම් ගැන සැලකීමේ දී ඔවුන් වඩාත් ඉංදියාව වටා ක්‍රියාකාරී වූ බව පෙනේ. සුවිශේෂයෙන් ම පකිස්ථානය හා තායිලන්තය වැනි රටවල් අධිරාජ්‍යවාදී කඳවුරු කරගනිමින් ඉංදියාවේ මේ ක්‍රියාකාරීත්වය සීමා කිරීම සඳහා අධිරාජ්‍යවාදී සැලසුම් සකස් වී තිබුණි. ඉංදියානු රාජ්‍යය කඩා බිඳ දමමින් ජාතීන් ගණනාවකට වෙන් කර දීම අධිරාජ්‍යවාදී සැලසුම් වල යටිකූට්ටු අදහස විය.

එවැනි ක්‍රියාකාරීත්වයක් තුලින් ඉංදියානු අර්ධද්වීපයේ ඇමරිකානු බලපෑම් වැඩි කරගත හැකි බව අධිරාජ්‍යවාදීන් තේරුම් ගෙන සිටියහ. විශේෂයෙන්ම පකිස්ථානය හා ඉංදියාව බිඳීමේ තැන සිටම ඉංදියානු බලතල සිඳ බිඳ දැමීම තුලින් තමන්ගේ බලතල වැඩ කරගත හැකි බව ඔවුහු තේරුම් ගත්හ. බංග්ලාදේශය වෙන්වන අවස්ථාවේදී පවා ඔවුන් තේරුම් ගත්තේ මෙසේ වෙන් වන සෑම රාජ්‍යයක්ම තමාට වාසිදායක ලෙස යොදා ගත හැකි ආකාරය යි.

ඉංදියානු ජාතික ධනේශ්වරයේ ශක්තිය ප්‍රමාණවත් වන තරමට ඉංදියාව සාපෙක්ෂව නිදහස් ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමට ඉඩ ඇති බවත්, එසේම රුසියාවත් සමග ජාත්‍යන්තර ක්ෂේත්‍රයේ ගනුදෙනු කළ හැකි බවත් අධිරාජ්‍යවාදීන් තේරුම් ගෙන සිටියහ. මේ අනුව ගත් කල අධිරාජ්‍යවාදී ක්‍රියාකාරීත්වය එක් පැත්තකින් ඉංදියාව තුලම ක්‍රියාකාරී වූ නමුදු අනික් පැත්තෙන් ඉංදියාව බෙදා වෙන් කර ගැනීමේ එකගත්වයෙන් ක්‍රියාකාරී විය.

එහෙත් මෑත භාගයේ දී ඉංදියානු ධනේශ්වර නායකත්වයෙන් ලෝක බැංකුවේ ආධාර ලබා ගනිමින් වඩා විවෘත වෙළඳ ආර්ථික ප්‍රතිපත්තියකට ගමන් කරමින් බටහිර අධිරාජ්‍යවාදී සැලසුම්වලට අනුගත වීම නිසා මේ ප්‍රතිපත්තිවල වෙනසක් ඇති වූයේ ය. එක් අතකින් රුසියානු සම්බන්ධකම් වලින් ඈත් වෙමින් වඩා ලෝක වෙළඳ පල තුලින් අධිරාජ්‍යවාදීන් සමග ගිවිසුම් ගසා ගැනීම වෙතට ඉංදියානු ධනේශ්වර නායකත්වය තල්ලුවන නිසා අධිරාජ්‍යවාදී ක්‍රියාකලාපයන්ට ඉංදියාව තුලින්ම වර්ධනය වීමේ ඉඩකඩ ඇති වුනි. මේ නිසාම කොන්ග්‍රස් නායකත්වය අර්බූදයට යන ආකාරයට පහල මට්ටමේ පිපිරීම් ගනනාවකට මුහුණ දෙන්නට සිදු විය. වි‌ශේෂයෙන්ම ප්‍රාදේශීය ධනේශ්වර කොටස් පවා මෙම ක්‍රියාකාරීත්වය තුල මහ ධනේශ්වරයෙන් වෙන් වෙමින් ප්‍රාදේශීය ක්‍රියාකාරීත්වයක් කරා තල්ලු වන්නට පටන් ගත්තේ ය. දකුණු ඉංදියානු තමිල්නාඩුව ද එක්තරා දුරකට මේ ලෙසට නොසන්සුන් තාවයක් ප්‍රකාශ කළේ ය. මේ බලපෑම උතුරු-නැගෙනහිර ලංකාවේ විවිධ නායකයින් වෙත ද ඇදී ආවේ ය. මෙම තත්ත්වය නිසා කොන්ග්‍රස් නායකත්වයට විටින් විට අධිරාජ්‍යවාදය ගැන කෑ කෝ ගැසීමටත්, ඊටත් වඩා විශේෂයෙන් ලංකාවේ ද්‍රවිඩ ජාතික ප්‍රශ්නය සම්බන්ධයෙන් වැඩි මැදහත්වීමක් කරන්නටත්, ද්‍රවිඩ නායකයන්ගේ ඉල්ලීම් වලට ඉඩ දීමටත් සිදුවිය.

මේ නිසා එන්ට එන්ටම දකුණු ඉංදියාවේ වැඩි අඩිතාලමක් සහිතව ක්‍රියාකිරීමට ද්‍රවිඩ විමුක්ති පෙරමුණේ නායකත්වයට හැකි වූ අතර, ද්‍රවිඩ තරුණයින් පවා මේ ඉඩකඩ යොදා ගනිමින් ක්‍රියාකරන්නට පියවර ගත්‌තේය. ආණ්ඩුවේ විවෘත ආර්ථික ප්‍රතිපත්තියත්, ඉතාම පැහැදිලි අධිරාජ්‍යවාදී ප්‍රතිපත්තියත් නිසා වඩ වඩා ඉංදියානු ධනේශ්වර නායකත්වයට, තමුන් අධිරාජ්‍යවාදයට ගැති නොවන බව පෙන්වීම උදෙසා උතුරේ දෙමළ නායකත්වයට ඉඩ දෙන්නටත්, උතුරේ තරුණයින්ට ඉඩ දෙන්නටත් සිදුවීම ස්වාභාවික වන්නේ ය.

විශේෂයෙන්ම විවෘත ආර්ථික ප්‍රතිපත්තිය යටතේ ධනේශ්වර ක්‍රියාකාරීත්වයන්ට බලවත් පහරක් එල්ලවීම නිසාත්, එය එක්තරා දුරකට ඉංදියානු ජාතික ධනේශ්වරයට බලපාන්නටත් පටන් ගැනීමෙන් මේ තත්ත්වය වර්ධනය විය. මේ නිසා ඉංදියානු ජාතික ධනේශ්වරයේ බලපෑම් වැඩිවීමත් සමග එය හුදු ලාංකික ජාතික ධනේශ්වර ප්‍රශ්නයක් හැටියට නොව මුළු අර්ධද්වීපයේම ප්‍රශ්නයක් හැටියට ඉතාම නිරවුල්ව මතුවීම මේ කාලයේ දී සිදුවූ වර්ධනය ලෙස සැලකිල්ලට ගත යුතු වන්නේ ය.

ඇත්ත වශයෙන්ම දෙමළ ජාතික ප්‍රශ්නය සමස්ථ වශයෙන් ගත් කල, ලාංකීය ප්‍රශ්නයක් නොවේ. මෙය අප දිගින් දිගටම දැක්කාවූ තත්ත්වයයි. තමිල්නාඩුවේ සිටින දෙමළ ජනතාව හා ලංකාවේ සිටින දෙමළ ජනතාව අතර ඇත්තේ ඉතාම සමීප සම්බන්ධතාවයකි. බංග්ලාදේශයේ හා බටහිර බෙංගාලයේ වැසියන් අතර තිබෙනවාටත් වඩා සමීප සම්බන්ධතාවයක් මේ ජනතාව තුල ඇත්තේ ය. ආගමික වශයෙන් වත් ඔවුන් තුල බෙදීමක් නොමැත. හැම පැත්තකින්ම ගත් කල එකම ජාතියක් ලෙස ගත හැකි ආකාරයේ ස්වාභාවයක් ඔවුන් තුල දක්නට තිබේ. මේ නිසා ලාංකීය ද්‍රවිඩ ජනතාවගේ විමුක්තිය පිළිබඳ ප්‍රශ්නය අනිවාර්යයෙන්ම දකුණු ඉංදියාවේ ජාතික ප්‍රශ්නයත් සමග සම්බන්ධ වීම සැලකිල්ලට ගත යුතුය. නමුත් දකුණු ඉංදියාවේ දෙමළ ජනතාවගේ ජාතිකත්වය පිළිබඳ අදහස් ගමන් කර ඇත්තේ වෙනත් දිසාවකටය. විශේෂයෙන්ම හිංදුවාදී රාජ්‍යයක් ලෙස එක්තරා විදියකට ඉංදියාව වර්ධනය වීමත් සමගම වඩ වඩාත් දකුණු ඉංදියාවේ බලපෑම මධ්‍යම ආණ්ඩුව තුලත් ප්‍රදර්ශනය විය.

මේ නිසාම තමිල්නාඩු ප්‍රාන්තයේ භාෂා අයිතිවාසිකම් පිළිබඳ ප්‍රශ්න විසඳා ගැනීමත් සමගම දෙමළ ජනතාව අද ඉංදියාව තුල තමන්ගේ ජාතිකත්වය පිළිබඳ ප්‍රශ්නය තියුණු ලෙස ඉදිරිපත් කිරිම අත්හැර දමා ඇත. මුළු ඉංදියාවේ ජාතීන්ගේ ජාතිකත්වය පිළිබඳ ප්‍රශ්නය විසදුනේ නැති උවත්, සික් වරුන්ගේ එසේ නැත්නම් නාගා වරුන්ගේ ප්‍රශ්නය මෙන් එක එල්ලේම මතුවන ජාතික ප්‍රශ්නයක් නොමැත. තමිල්නාඩුවේ දෙමළ ජනතාවගේ ප්‍රශ්නය එසේ මතුවී තිබුනේ නැත. මේ නිසා ලංකාවේ ප්‍රශ්නය ඉංදියාව පැත්තෙන් ගත් කල ඔවුන්ට ප්‍රබල බලපෑමක් කරනා ප්‍රශ්නයක් බවට පත්වී තිබේ. එක්තරා විදියකින් හෝ විසඳා ගත්තායයි ඉංදීය මහ ධනේශ්වරයට විශිවාස කල හැකි වූ දෙමළ ජාතික ප්‍රශ්නය ලංකාවේ ක්‍රියාකාරීත්වය නිසා නව වටයකින් ක්‍රියාත්මක වීම ඔවුන්ට බරපතල ප්‍රශ්නයකි. විශේෂයෙන්ම කොන්ග්‍රස් නායකත්වයේ අඩිතාලමක් ලෙස දිගින් දිගටම ක්‍රියාකල නායකයන් සහිත දෙමළ ධනපති නායකත්වය බිඳී වෙන්වීමත්, ඒ නිසා එම ප්‍රශ්නය ගැන බරපතලව සිතන්නට ඉංදියානු නායකත්වයට සිදුවී තිබේ. අනෙක් පැත්තෙන් ගත් කල දෙමළ තරුණයන් තුල වාම අදහස් පැතිරීම ඉංදියානු ධනේශ්වරයට බරපතල ප්‍රශ්නයකි. විශේෂයෙන් දෙමළ තරුණයන් විමුක්තිය පිළිබඳ ප්‍රශ්නයේ සිට ක්‍රමානුකූලව වර්ධනය වෙමින් ජාතික විමුක්ති ව්‍යාපාරය කම්කරු පංතිය සමග එකතු විය යුතු බවත්, එය නොනවත්වා ඉදිරියට ගෙන යා යුතු අරගලයක් බවත්, අද සාකච්ඡාවන් තුලින් වටහා ගනිමින් සිටිති.

තමන් කම්කරු පංති පදනමක් ඇති මාක්ස්වාදී ව්‍යාපාරයක් ලෙස වර්ධනය විය යුතු බව දකින ප්‍රවණතාවයන් පවා තරුණයෝ තුලින් මතුවී තිබේ. මේ අනුව රැඩිකල් සටන්කාමී මාවත ඔස්සේ මොවුන් මාක්ස්වාදය කරා ගමන් කිරීම ඉංදියාවට ති‌බෙන බරපතලම ප්‍රශ්නයකි. මේ නිසාම දකුණේ ජනතාව හා ඒකාබද්ධ මාවතක් ගැනීමට ඇති ඉඩකඩ වැඩිවන බව ඉංදියානු ධනේශ්වර නායකත්වය වටහා ගනිති. ජේ.ආර්.ගේ බංකොලොත් සැලැස්ම බිඳ වැටීමත් සමගම ලංකාව පුරා ඇති වන්නාවූ ආණ්ඩු විරෝධී ක්‍රියාකාරීත්වය ඒකාබද්ධ බලවේගයක් ලෙසට මතු වෙමින් විප්ලවයේ මාවත ගත හැකි බව ඉංදියානු ධනේශ්වරය වටහා ගෙන තිබේ. මේ නිසා ඔවුන් අද සූදානම් වන්නේ එවැනි ක්‍රියාකාරීත්වයක් අතර මග නවත්වා එය තමන්ගේ නායකත්වය යටතේ හසුරුවා ගැනීමට හැකි පදනමක් සකස් කර ගැනීමටය.

ඉංදියානු ජාතික ධනේශ්වරය මේ ප්‍රශ්නය ගැන මැදිහත් වී සිටින්නේ දකුණු ඉංදියාවේ දෙමළ ජනතාවගෙන් ඇති වී ඇති පීඩනය නිසා ය. අනිවාර්යයෙන්ම එකම ජාතියකින් සමන්විත වන්නා වූ දෙමළ ජනතාවට ඇති වන්නාවූ පීඩනයන් නිසාම එය බලාපොරොත්තු විය යුතුය. මේ නිසාම දෙමළ ධනපති තමිල්නාඩු නායකත්වයන්, ඒ වගේම ඉංදියානු නායකත්වයන් බරපතල පීඩනයකට අසු වී ඇත. මේ නිසා ඔවුන්ට මෙහි මර්ධනය ඉවත් කරවා ගැනීම සඳහා මැදහත්විමට සිදුව ඇත. අනිවාර්යයෙන්ම ජාතික පීඩනය තුල මේ නායකත්වයන්ට ලංකාවේ දී හෝ ඉංදියාවේ දි විප්ලවකාරී මාවතක් නැති බව පැහැදිලි වන්නේ ය. එසේ වුව ද පහළ විවිධ ජන කොටස් තුලින් මතු වන්නාවූ ක්‍රියාකාරීත්වය නිසා ඔවුන් වරින් වර යම් යම් පියවරයන් ගන්නා බව පෙන්නුම් කිරිමට උත්සාහ කෙරේ. විශේෂයෙන්ම අමිර්තලිංගම් පමණක් නොව තොන්ඩමාන් පවා ඇති කරන්නා වූ පීඩනය නිසා ජේ.ආර්.ගේ නායකත්වයට බලපෑම් කරමින් සාකච්ඡා මේසයක් හරහා යම් සාකච්ඡාවක් ලබා ගැනීම ඔවුන්‌ගේ බලාපොරොත්තුවය. යුද්ධමය ක්‍රියාමාර්ග වශයෙන් තිබෙන්නාවූ සියළුම කටයුතු මෙ පදනමින් සලකා බැලීමේ දී උතුරේ ධනපති නායකත්වය නොතකා සුළු ධනේශ්වරය තුලින් මතුවන්නා වූ සටන්කාමී ක්‍රියාකාරීත්වය මෙසේ යුද්ධමය ආකාරයට වර්ධනය වීම ධනපති නායකයින්ද බලාපොරොත්තු වන්නකි. ඔවුන් මෙසේ බලපෑම් කරන්නේ එයින් ඇති කරන්නා වූ බලපෑම් හරහා සිංහල ධනපති නායකත්වය සාකච්ඡා මේසය හරහා විසඳුමකට තල්ලු කර ගැනීමේ උවමනාව නිසාය.

යුධමය පීඩනය වුව ද අධිරාජවාදයත් සමග සංධානයක් ඇති කර ගැනීම සඳහා පීඩනයක් එල්ල කිරීමට යොදා ගත හැකියයි ඔවුන් කල්පනා කරති. විශේෂයෙන්ම උතුරේ කොටි ව්‍යාපාරයේ ප්‍රභාකරන්ගේ නායකත්වය අමිර්තලිංගම් ගේ අනුදැනුමෙන් ක්‍රියාත්මක වූ බව අපට පෙනේ. එසේම එම ව්‍යාපාරය මුළුමනින්ම ජාතික ධනේශ්වරයෙන් වියෝ උනු සංවිධානයක් ලෙසට පිලිගත හැකි නොවේ. මේ සංවිධානය හා ද්‍රවිඩ විමුක්ති පෙරමුණ අතර අන්යෝන්‍ය අනුරූප වූ ක්‍රියාමාර්ගයක් දැකිය හැකි ය. එක් අතකින් ඉතා සාහසික ලෙස කොටි ව්‍යාපාරය ඔස්සේ ජාතික වාදී අදහස් ගලාගෙන එන්නේ මේ උවමනාව නිසාය. පංති අරගලයක් ලෙසට, පංති අරගලයේ ක්‍රියාකාරීත්වය තුලින් ජාතික විමුක්ති අරගලය දියත් කිරීම මග හරවා ගැනීමට ඔවුන් ක්‍රියා කරන්නේ මේ නිසාය. අනිවාර්යයෙන්ම, කම්කරු පංති නායකත්වයෙන් දියත් වන විමුක්ති අරගලයක් ලෙසට ද්‍රවි‌ඩ ජනතාවගේ අරගලය ගමන් කිරීම වැලැක්විය නොහැක. විශේෂයෙන් ම දෙමළ ධනපති නායකත්වයේ වැනෙනසුළු භාවය, කෛරාටික ස්වාභාවය හා අනියම් ලෙස අධිරාජ්‍යවාදය සමග සම්මුති ගැසීමට තිබෙන උවමනාව දෙමළ ජනතාවට එලිදරව් වීම වැලැක්විය නොහැක. මේ නිසා සිංහල ජනතාව සමග විශේෂයෙන් ම කම්කරු පංතියත් සමග එක් වී ද්‍රවිඩ ජනතාවගේ විමුක්ති අරගලය ඉදිරියට ගෙන යාමේ අවශ්‍යතාවය ද්‍රවිඩ තරුණයන්ට කා වැද්දීම අනිවාර්යයෙන්ම සිද්ධ වන්නේ ය. දැනටමත් එය සිද්ධ වෙමින් පවතී. මේ නිසාම උතුරේ තරුණ ව්‍යාපාරය තුල ප්‍රභේධ ගණනාවකට බෙදී යාම අප සැලකිය යුතුය. ඒ නිකම්ම පුද්ගලයින් අතර බෙදීමක් නොව නිශ්චිත පංති පදනම් හා යම් පංති උවමනාවන් අතර බෙදීමක් ලෙස සැලකිය යුතුය. සමස්ථ සුළු ධනේශ්වරයේ ක්‍රියාකාරීත්වයක් ලෙස උතුරේ සටන්කාමීන්ගේ ව්‍යාපාරය අප තක්සේරු කල ද, එහි ප්‍රභේදයන් ගණනාවක් මතු වී ඇත්තේ විවිධ පංති බිහිවීම නිසා බව අප තේරුම් ගත යුතු ය.

ප්‍රභාකරන්ගේ කොටි ව්‍යාපාරය, ද්‍රවිඩ ධනපති නායකත්වය හා සම්බන්ධ එහි පීඩනයට හසුවන බලවේගයක් ලෙස අප තක්සේරු කරන අතරම; අනික් පැත්තට ගමන් කරන්නා වූ ප්‍රවණතාවයන් සිංහල කම්කරු පංතිය දෙසට නැඹුරු වූ පොදුවේ කම්කරු පංතිය දෙසටද, මාක්ස්වාදය දෙසටද ගමන් කරන්නා වූ දෙමළ තරුණයන්ගේ විවිධ අවස්ථා ලෙස සැලකිය හැකිය. PLOTE සංවිධානය මේ නිසා වමට ගමන් කරමින් ගැමි ගොවි තරුණ ව්‍යාපාරයක් ලෙසට හැඩරුව ගනිමින් තිබෙයි. විශේෂයෙන්ම ගම්බද ගැමි ජනතාව අතර පදනම් වූ බහුජන ව්‍යාපාරයක් ලෙස ගොඩ නැගීමේ උවමනාව PLOTE සංවිධානය මගින් පෙන්නුම් කර තිබේ. ඊරොස් හා EPRLF ගමන් කර ඇත්තේ ඊටත් වඩා වමට ය. ඔවුන් විශේෂයෙන් ම පදනම් කර ගෙන ඇත්තේ උතුරේ කම්කරු පංතියේ හා කුලී කොටස්-ධීවර කොටස් අතරය. මේ නිසාම නැවත වටයකින් කම්කරු පංතිය සමග ක්‍රියාත්මක වීමටද පසුගිය කාලයේ යම් උවමනාවන් මතු වී ආවේ ය. විශේෂයෙන්ම අන්ත ධනේශ්වරය විසින් කම්කරු පංතියේ ක්‍රියාකාරීත්වය අවුල් කර දමා තිබෙන තත්ත්වයක් තුල; බහුජන ක්‍රියාකාරීත්වයට බාධා කරමින් නොයෙක් විට ඒවාට අවහිර කරමින් සිටි තත්ත්වය මැඩපවත්වා ගෙන නැවතත් කම්කරු පංතිය හා දෙමළ ජනතාව අතර එකමුතුව ඇති කිරීමට ගත් උත්සාහයන් තුල දී මේ ප්‍රභේද මතු වී ඇත. උතුරේ කම්කරු පංතියේ වෘත්තීය සමිති ව්‍යාපාරයේ වෘත්තිය සමිති 15 ක් එකතු වී ඒකාබද්ධ කමිටුවක් ගොඩනගා ගැනීමත් ඒ තුලින් ක්‍රියාකාරී වැඩ පිළිවෙලක් ආරම්භ කිරීමත් දැනටමත් දැක ගත හැක. තවද මේ සංවිධානය ඔස්සේ වැඩ වර්ජන මාවත ගැන්මත්, ආණ්ඩුවට දැනෙන වැඩ වර්ජන කිරිමට හැකිවීමත් ජයග්‍රහනයකි.

මේ සංවිධාන රාමුව ඇති වීමට වෘත්තීය එක්සත් කිරීමේ කමිටුව හැටියට අප විසින් කළ උද්ඝෝෂණ වැඩ කොටස වැදගත් කොට සැලකිය යුතුය. මේ බලපෑම ඔස්සේ අප ඒකරාශී කරගත් කම්කරු නියෝජිතයින් මගින් ඇති වූ පීඩනය නිසා අනිකුත් කම්කරු පක්ෂ වල වෘත්තීය සමිති වලට පවා ක්‍රියාකාරී වීමට ද, සුළු ධනේශ්වරය තුල ක්‍රියාත්මක වූ අයට පංතිය සමග කටයුතු කිරීමට යොමු වීමටද ඇති වූ බලපෑම වැදගත් ය. මේ නිසා වෘත්තීය එක්සත් කිරීමේ කමිටුව පැත්තෙන් කර ඇති වැඩ කොටස් සැලකිය යුතු වන්නේ ය. මේ නිසාම උතුරේ දෙමළ ධනපති නායකත්වය වඩ වඩාත් බිරන්තට්ටු වී සිටිති. ඔවුන් දකින්නේ මේ ක්‍රියාකාරීත්වය දෙමළ තරුණයින්ගේ වාමගාමීත්වය සමග සම්බන්ධ වෙමින් මුළුමනින්ම ඔවුන්ගේ අතින් ද්‍රවිඩ ව්‍යාපාරයේ නායකත්වය ඩැහැ ගැනීමට ඇති ඉඩකඩ ගැනය. මේ නිසාය ඔවුන් වඩ වඩාත් ජේ.ආර්.ජයවර්ධන මේසයට ගෙන්වා ගැනීම සඳහා ඉංදියානු ධනපති නායකත්වය හරහා පීඩනය කරනු ලබන්නේ. ඒ වෙනුවෙන් ඔවුන් අධිරාජ්‍යවාදයත් සමග මුක්කු ගැසීමට ඇති ඉඩ කඩ ගැන ද සැලකිල්ලට ගත යුතුය. චන්ද්‍ර හසන් වැනි නායකයින් වඩ වඩාත් එලියට දැමීමෙන් ඔවුන් උත්සාහ කරන්නේ අධිරාජ්‍යවාදයත් සමග ගැටුමට තමන් සූදානම් නැති බවත්, අධිරාජ්‍යවාදයට විරුද්ධව යන්නාවූ මාක්ස්වාදී වාමගාමී තරුණ ව්‍යාපාරයන් මෙල්ල කිරීමට තමන්ව උපයෝගී කර ගත හැකි බව ඔවුන්ට පෙන්නුම් කිරිමටය. මේ අනුව ගත් කල දෙමළ ධනපති නායකත්වයන්ගේ උසි ගැන්වීම් ඔස්සේ හෝ ඉංදියාව ලංකාවට මැදිහත් වීමට ඇති ඉඩකඩ ඉතා සීමිතය. ඇත්ත වශයෙන් ඔවුන් දැනටමත් ඔවුන්ට කල හැකි දේ අනියම් ලෙස කරති.

ගරිල්ලා කණ්ඩායමක් ලෙස ඉංදියාවෙන් හමුදා කණ්ඩායමක් එවීමේ ඉඩ කඩ ඇත. එවැනි පිරිස් එවීමේ දී මුහුදු ආරක්ෂාව සැලසීම ඉංදියාවට පහසු කාර්යයකි. මෙවැනි තත්ත්වයන් යටතේ අනියම් ආක්‍රමනයන් හෝ කිරීමේ තැනට ගමන් කිරීමට ඉංදියානු ධනපති නායකත්වයට හැකිය. ඉන්දියානු මැදහත්වීමක් ඍජු ලෙස කිරීමට ඔවුන්ට අවශ්‍යකමක් නැත. නමුත් මෙවැනි ගරිල්ලා ප්‍රහාරයක් හෝ කිරීමට ඔවුන් සූදානම් නැත්තේ අධිරාජ්‍යවාදය නොතකා ජේ.ආර්. සාකච්ඡා මේසයට ගෙන්වා ගැනීමට ඔවුන් අර අඳින නිසාය. කෙසේ හෝ මෙවැනි උත්සාහයක් ගත්තා වූවත් ලංකාවට ගරිල්ලා ප්‍රහාරයක් ගසමින් උතුරු-නැගෙනහිර ප්‍රදේශ නිදහස් කර ගැනීමට ඉංදියාව මැදහත් වන්නේ ද යන්න ගැන අපට මුළුමනින්ම ප්‍රතික්ෂේප කල නොහැකි ය. එවැනි තත්ත්වයකට ඔවුන් පියවර ගනු ඇත්තේ දෙමළ ජනතාවගේ පැත්තෙන් බලගතු පීඩනයක් ඉදිරිපත් ව එය තමිල්නාඩුව පුරා පැතිරී යන තත්ත්වයක් තුලය. මේ නිසා වාමගාමී මාක්ස්වාදී කම්කරු පංති බලපෑමක් ඇති කොටස් වර්ධනය වෙමින් ඒවා තමිල්නාඩුවට ලොකු බලපෑමක් කරන තත්ත්වයක් තුල මෙය මග හරවා ගැනීම සඳහා ප්‍රබල ගරිල්ලා මැදිහත් විමක් සංවිධානය කර, එය නාවික-අහස්යානා ආදී දේ තුලින් ආරක්ෂා කර දීමට ඉදිරිපත් විය හැක. එවැනි තත්ත්වයක් උද්ගත වන්නේ උතුරේ හා නැගෙනහිර වාමගාමී ජනතාව දකුණේ අරගලකාරී තත්ත්වයක් සමග ඒකාබද්ධ වෙමින් එය දකුණු ඉංදියාව හරහා ඉංදියාවට බලපෑමක් ඇතිවන තත්ත්වයක් තුලදී ය. ඒ ලෙසට ජාතික විමුක්ති අරගලය ලියලා යාමක් වලක්වා ගැනීම සඳහා දෙමළ ධනපති නායකත්වය තහවුරු කරදීමට ඔවුන් එවැනි මැදිහත්වීමක් දියත් කිරීමට ඉඩ ඇත. එවැනි තත්ත්වයක් තුල දෙමළ ධනපති නායකත්වයට උතුරු-නැගෙනහිර බාර දෙමින් ද දකුණු ප්‍රදේශවල ඉංදියාවට පක්ෂපාත නායකත්වයකට ඉඩ කඩ සකස් කර දෙමින් ද එවැනි මැදහත් වීමක් අවසන් කල හැක. ඍජු ලෙස ඉංදියානු මැදහත්වීමක් උතුරු-නැගෙනහිර ප්‍රදේශ වල දියත් කිරීමෙන් දකුණු ප්‍රදේශවල ඇමරිකන්වාදී ඒකාධිපතීත්වයක් තහවුරු වන බව ඔවුහු දකිති. ඒ නිසා ඇමරිකන්වාදී කඳවුරු වලට අත ගැසිමට ඇති ඉඩ කඩ වසා දැමීම සඳහා ද ඔවුන් කටයුතු කරනු ඇත. එසේම අධිරාජ්‍යවාදීන් සමග යම් සම්මුතියක් ගොඩ නගා ගෙන මේ ප්‍රශ්නය ඉදිරියට ගෙන යාමට උවද ඔවුන් සූදානම් වනවාට සැක නැත. ඉංදියානු ගරිල්ලා ප්‍රහාරයක් වුවද ඇමරිකන් අධිරාජ්‍යවාදීන් සමග කථාකර “එවැනි ප්‍රහාරයක් නොකලහොත් මුළු දකුණු ප්‍රදේශය සිසාරා යන විප්ලවකාරී රැල්ලක් ඇති වීමේ ඉඩකඩ” පෙන්වා දෙමින් කටයුතු කිරීමට ඉංදියානු ධනපති නායකත්වය පියවර ගැනීමට ඉඩ ඇති බව ද අප සැලකිල්ලට ගත යුතුය. කෙසේ වුව ද එවැනි තත්ත්වයක් හෝ ඇති වන්නේ ජනතාවගේ සටන් ක්‍රියාකාරීත්වයේ තත්ත්වය අනුව ය. උතුරේ ක්‍රියාකාරීත්වය සමග දකුණේත් වැඩ වර්ජන, සත්‍යග්‍රහ ඔස්සේ සටන් ක්‍රියාකාරීත්වයක් වර්ධනය වන අවස්ථාවේ දී ගරිල්ලා ප්‍රහාරයක් දෙමින් මෙම අරගලයට සහයෝගය දෙන බව පෙන්වමින් මැදහත්වීමක් සිදු වුවහොත් එම අවස්ථාවේ දී ක්‍රියා කිරීම සඳහා විප්ලවවාදී පක්ෂයට පැහැදිලි එක්සත් පෙරමුණු උපාය මාර්ගයක් තිබිය යුතුය.

මෙවැනි තත්ත්වයක් ඇති වීමේ මුළු වගකීම ජේ.ආර්.ජයවර්ධනගේ ආණ්ඩුවට පවරමින් ජනතාව පෙල ගස්වමින්ද, උතුරේ ජනතාවට ඉංදියානු ධනපතියන් ගැන විශ්වාස නොතබන ලෙස ඉල්වමින් ද උතුරු-නැගෙනහිර රඳවා ඇති හමුදා කණ්ඩායම්වලට ධනපති පත්ෂ ගැන විශ්වාස නොකරන ලෙස ඉල්වමින් ද, කම්කරු කමිටු, ගොවි කමිටු මත පදනම්ව උතුරු-නැගෙනහිර බලය බලය තහවුරු කරගන්නා ලෙස ඉල්ලමින් ද කටයුතු කිරීම අත්‍යාවශ්‍යය. ඒ අතරම දකුණු ප්‍රදේශ වල මේ ලෙසට රට දෙකට තුනට කැඩීම ගැන මුළුමනින්ම ජේ.ආර්. වගකිවයුතු බව පෙන්වමින් ආණ්ඩුවට ඉල්ලා අස්වන ලෙස බල කරමින් කම්කරු පංතිය සන්නද්ධ කර ආණ්ඩුව එලවා දැමීමට පියවර ගත යුතු අතර; උතුරු-නැගෙනහිර ගරිල්ලා හමුදා දකුණු ප්‍රදේශ වලට පැමිණීම කිසිම සාධාරණ ක්‍රියාවක් නොවන බව පෙන්වා දෙමින්, උතුරේ හා දකුණේ කම්කරුවන්ගේ, ගොවීන්ගේ හා සොල්දාදුවන්ගේ කමිටු හරහා ඇති කර ගත යුතු සමුළුවක් තුලින් ඒකාබද්ධ ආණ්ඩුවක් ගොඩ නැගීමට ආරාධනා කරමින් ද කටයුතු කල යුතුය.

ඒ අතරම එක්සත් ජාතික පක්ෂයට හා අධිරාජ්‍යවාදී සියලු ආධාර දෙන්නන්ට විරුද්ධව එක්සත් අරගල දියත් කිරීමේ අවශ්‍යකම ද අප සැලකිල්ලට ගත යුතුය. අපට කිසිසේත් අධිරාජ්‍ය ගැති ජේ.ආර්.ගේ ආණ්ඩුවට විරුද්ධව සටන් කරන සියලු කොටස් අතර එකවර ගැටුම් ඇති කර ගත නො හැක. අරගලයේ දී මේ කොටස් එකම පෙරමුණේ සිට කටයුතු කරන බව පෙන්විය යුතුය. එසේ වුවද අපගේ සටන් පාඨ, ප්‍රතිපත්ති හා වැඩ පිළිවෙලවල් ස්වාධීනව තබා ගත යුතු අතර එකට පහර දීමට ඉදිරිපත්වීමේ අවශ්‍යකම තේරුම් ගත යුතුය. ඒ ලෙසටම නිරන්තරයෙන් ම සිංහල, දෙමළ හා ඉංදියානු ධනේශ්වරයේ වංචාකාරී ස්වාභාවය පෙන්වා දෙමින් හා එලිදරව් කරමින් ගොවි-කම්කරු ආණ්ඩුවක් වෙනුවෙන්, එනම් කම්කරු සභා, ගොවි සභා, සෙබල සභා හා තරුණයින්ගේ සභා මත පදනම් වූ විප්ලවකාරී ආණ්ඩුවක් ගොඩනැගීම වෙනුවෙන් පියවර ගත යුතුය. මෙහි දී උතුරේ දමන්නා වූ උප උපායික අංග හා දකුණේ දමන්නාවූ උප උපායික අංග ඒකාකාරී විය යුතු නැත. දමන්නා වූ සටන් පාඨ එකම විය යුතු නැත. මක් නිසාද යත් උතුරේ හා දකුණේ යන්නා වූ සටනේ දී ඒ ඒ තත්ත්වයන් හිදී සටනේ මෝරායෑම උඩ සටන් පාඨ දැමිය යුතු නිසාය. උදාහරණයක් ලෙස උතුරේදී සිංහල හමුදා පලවා හරිව්! යන සටන් පාඨයක් දමනු ඇති මුත් දකුණේ ප්‍රදේශ වල හමුදාව විසුරුවා හමුදා සභාවල් ගොඩ නගා ගන්නා ලෙස ඉල්ලා සිටීමත්, ඒ සඳහා හමුදාවේ වාමගාමී ක්‍රියාකාරීත්වයක් වර්ධනය වන ලෙසටත්, සටන් පාඨ දැමිය යුතුය. මේ ලෙසට උතුරු හා දකුණු ප්‍රදේශවල දමන්නාවූ සටන් පාඨ වලදී යම් යම් වෙනස් කම් අරගලයේ සංවර්ධනයන් අනුව කිරීමට සිදු වන්නේ ය.

’85 ඉදිරි දර්ශනයන්

දැනට පවතින තත්ත්ය තුල ආර්ථිකය බිඳවැටීම සමගම උතුරේ පමණක් නොව දකුණේ ද අනිවාර්යයෙන්ම සටන් ඇතිවීම බලාපොරොත්තු විය යුතු වන්නේ ය. දැනටමත් කම්කරු පංතියේ අරගලයන් ක්‍රමානුකූලව වර්ධනය වෙමින් පවතී. ශිෂ්‍යයන්ගේ අරගලය රට පුරා වර්ධනය වෙමින් අනිකුත් කොටස්වල අවධානය ලබා ගනිමින් ද සමහර ප්‍රදේශ වල කැරලිකාරීත්වය දක්වාම වර්ධනය වෙමින් ද පවතී. ගැමි ගොවි ජනතාවගේ බදු විරෝධී අරගලය හා සහන ලබා ගැනීම වෙනුවෙන් කරන්නාවූ විරෝධතා අරගලයන් වර්ධනය වෙමින් පවතී. විශේෂයෙන්ම රජරට ගොවියාට එල්ල කරන්නා වූ විශාල බදු වලට විරුද්ධව ප්‍රබල එක්සත් ව්‍යාපාරයක් වර්ධනය වෙමින් පවතී. මේ අතර වතුකරයේ වතු කම්කරුවන්ගේ පැත්තෙන්ද මහා වැඩ වර්ජනයකට යාමට ඇති ඉඩකඩ ගැන අප සැලකිය යුතුය. තවමත් කම්කරු පංතියේ ඒකාබද්ධ මධ්‍යස්ථානයක් නොමැත. නමුත් ඉදිරි කාලයේදී ඒකාබද්ධ මධ්‍යස්ථානයක් ඇති වීමේ ඉඩ කඩ ගැන මුළුමණින්ම ප්‍රතික්ෂේප කල නොහැක. පවතින නායකත්වය යටතේ වුවත් 1980 ට පෙර තිබුණා වූ තත්ත්වයට එක්සත් පෙරමුණක් ඇති වීමේ ඉඩ කඩ පවතී. කෙසේ වෙතත් එක්සත්කම වෙනුවෙන් වැඩ පල මට්ටමේ ගෙන යා යුතු උද්ඝෝෂනය ගැන අපට අමතක කළ නොහැක. විශේෂයෙන්ම ඉදිරි කාලය තුල විවිධ පන්තීන්ගේ ප්‍රබේධකාරී තත්ත්වයන් ඇතිවීමේ ඉඩකඩ තුල අප විසින් එය පෝෂණය කළ යුතු උද්ඝෝෂණයක් වන්නේ ය. වෘත්තීය එක්සත් කිරීමේ කමිටුව සමස්ත කම්කරු පංතියේ එක්සත්භාවයක් වෙනුවෙන් උද්ඝෝෂණය කරන්නාවූ ආයතනය ලෙස වැඩ පලට ගෙන යා යුතු වන්නේ ය. එය ඉදිරි කාලයේ දී වඩ වඩාත් වැදගත් ස්ථානයක් ගන්නවා ඇත. මක්නිසා ද යත් අරගලයන් තුලදී කම්කරු පංතියේ එක්සත් සභාවන් ගොඩ නැගීමේ අවශ්‍යතාවය හා උවමනාව මතුවන නිසාය. ඒ ගැන අත්දැකීමක් අද කම්කරු පංතියට ඇත. ඒ නිසා ඒකාබද්ධ සටන් ක්‍රියාකාරීත්වයක් ඇති වූ විට ඒකාබද්ධ සමුළුවක් කැඳවීමේ අවශ්‍යතාවය හා ස්ථාවර නායකත්වයක් පවත්වා ගැනීමේ දිසාවට ගමන් කිරීමද වැලැක්විය නොහැක.

යම් පඩි ඉල්ලීම් මත හෝ පොදු සටනක් ඇතිවූ විට යම් නියෝජන සභාවක ආරම්භවීමක් අප බලාපොරොත්තු විය යුතුය. එවැනි සභාවක් කොළඹ පමණක් නොවේ ප්‍රාදේශීය වලද ක්‍රියාත්මක වන්නාවූ ඒකාබද්ධ මධ්‍යස්ථානයක් ලෙස වර්ධනය වෙනවා දකින්නට පුළුවන් වෙනවා ඇත. දැනට උතුරේ වෘත්තීය එක්සත් ක්‍රියාකාරී කමිටුවේ බලපෑම නිසා ඇතිවී ඇති සමිති 15 ඒකාබද්ධතාවය කම්කරු සභාවක ස්වාභාවය ගනිමින් තිබේ. මෙවැනි සභාවක ස්වරූපයක් අනිවාර්යයෙන්ම සටනේ ස්වාභාවයත් සමග ආරම්භ විය යුතු වන්නේ ය. අනික් අතට ඉදිරි සටන් 1980 මෙන් ආකාරගතව ඇති වී පරාජය වන්නක් ලෙස නොව අංශයෙන් අංශය ව්‍යාප්ත වෙමින් වර්ධනය වන්නා වූ ද, ඉදිරියට යන්නා වූ ද; සටනක් ලෙස අප බලාපොරොත්තු විය යුතුය. විශේෂයෙන් ම ඒ ඒ අංශ වල ක්‍රියාකාරීන්ගේ සභාවල් ඇතිවීමේ අත්දැකීම් අපට නිරතුරුව තිබේ. බැංකු, හෙදි හෝ වෙනත් අංශයක හෝ මෙවැනි ක්‍රියාකාරී සභාවල් අවස්ථාවාදීන් නොතකා ඇතිවීම වැලැක්විය නොහැක. එවැනි අවස්ථාවකදී වෘත්තීය එක්සත් කිරීමේ කමිටුවේ වැඩ පිළිවල ඉදිරියට ගෙන යාම සඳහා ඉතා ක්‍රමානුකූල සැලැස්මක් ඇති කර ගත යුතුය. එහි දී අනිවාර්යයෙන්ම ප්‍රචාරක පැත්ත ප්‍රධානය. අපගේ නායකත්වයෙන් කම්කරුවන්ගේ සභාවක් කැඳවීම බලාපොරොත්තු විය යුතු නැත. ඊට වඩා ‘කම්කරු සභා ජාතික මධ්‍යස්ථානයක්’ ලෙස එය ගොඩ නැගීම සඳහා ප්‍රචාරාත්මක හා උද්ඝෝෂණාත්මක වැඩපිලිවෙලක් ක්‍රියාත්මක කරමින් පංතියට අදහසක් ගෙනයාම අවශ්‍ය වන්නේ ය.

විශේෂයෙන්ම යුරෝපයේ, ලතින් ඇමරිකාවේ සිදුවන අරගල වලදී කම්කරු පංතිය ප්‍රමුඛස්ථානය ගත්තද, ඔවුන්ගේ තන්ත්‍රයන් ගොඩනගා දෙමින් ඒකාබද්ධ සභාවල් ලෙස ව්‍යාප්ත කිරීමට ඔවුන්ගේ නායකත්වයන් ඉදිරිපත් නොවීමේ තත්ත්වය අපට දැක ගන්නට පුළුවන. ඒ නිසාම කම්කරුවන්ගේ තන්ත්‍ර හා සභාවල් ගොඩ නැගීමටද ඒහරහා තමන්ගේ බල තන්ත්‍රයන් ගොඩ නගා ගැනීමේ අවශ්‍යතාවය ගැන ද කම්කරුවාගේ මනසට ඇතුල් කිරීමට වෘත්තීය එක්සත් කිරීමේ කමිටුව ක්‍රියා කරනවා ඇත. මේ ලෙස කම්කරු පංතියේ හා පළල් ජනතාවගේ ක්‍රියාකාරීත්වය වර්ධනය වීමත් සමගම උතුරේ ක්‍රියාකාරිත්වය ද වඩා වාමගාමීව වර්ධනය වනු ඇත. විශේෂයෙන්ම සුළු ධනේශ්වර ජාතිකවාදී ව්‍යාපාර තුලින් වියෝවෙමින් දැනට වමට ගමන් කරන්නාවූ සංවිධාන වඩ වඩාත් වාම ගාමීව සිංහල කම්කරු පංතිය සමග ඒකාබද්ධ වෙමින් ඒකාබද්ධ ක්‍රියාකාරීත්වයක් ලෙස අරගලයන් දියත් කිරීම ඉදිරි කාලයේදී එන්න එන්නම වර්ධනය වනු ඇත.

මෙහි දී අත්‍යාවශ්‍ය වන්නේ එක්සත් පෙරමුණු උපාය මාර්ගයේ කාලීන වෙනස්කම් සටහන් කර ගැන්මයි. අප ආරම්භ කරන්නේ විප්ලවවාදී ඉදිරි දර්ශනයෙනි. අධිරාජ්‍යවාදී ණය මත යැපුන සැලසුම් නොතකා පවතින විප්ලවවාදී විෂය බද්ධ තත්ත්වය අප දිගින් දිගටම අවධාරණය කර ගත්තකි. එහෙත් එම විෂය බද්ධය තුල පවතින දේශපාලන ව්‍යාකූලත්වය ප්‍රධාන බාධාව ලෙස අප විසින් නිරන්තරයෙන් අවබෝධ කරගන්නා ලදී. සභාග අත්දැකීම් තුලින් 1977 වන විට පංතිය මතුවූයේ ඉතාම බලවත් දේශපාලන ව්‍යාකූලභාවයකිනි. පැරණි වමේ ව්‍යාපාරය බිඳවැටීම හා පංතිය විසිරීයාම ඍණ ලක්ෂණය විය. එහෙත් 1971 හා 1975/76 වැඩ වර්ජන හා පංතියේ පාලනය ගැන අනියම් ලෙස ලබාගත් අත්දැකීම් සම්භාරය එක් අතකින්ද අනෙක් අතට නව සම සමාජය විප්ලවවාදී බහුජන ව්‍යාපාරයක් ලෙස මතුවීම ද ධන ලක්ෂණ ලෙස පැවතිනි. ඒ අතර සුළු ධනේශ්වරයේ පවතින රැඩිකල් භාවය සිංහල හා දෙමළ සටන්කාමී තරුණ සංවිධාන වලින් පෙන්වී ය. මේ අනුව එදා පංතිය එක්සත් කොට බහුජන අරගලකාරී ව්‍යාපාරය ගොඩ නැගීම වෙනුවෙන් අංශ හතරකින් යුතු එක්සත් පෙරමුණක් ඉදිරිපත් කළෙමු. එහි දී කම්කරු නියෝජන සභාව ගැන අවධාරණය තියුණුව ඉදිරිපත් කළෙමු.

1980 වැඩ වර්ජන/සත්‍යග්‍රහ පරාජයෙන් පසුව පංතිය දේශපාලන පැත්තට යොමු වෙමින් ශ්‍රීලනිපය ප්‍රමුඛ පෙරමුණට යොමු විය. මෙය විනිවිදගෙන යාමට අප ප්‍රමාණයෙන් බලවත් නොවීමු. මේ අනුව අප එක්සත් පෙරමුණු වැඩ පිළිවෙලේ අවධාරණය දේශපාලන ක්ෂේත්‍රය වෙත යොමු කළෙමු. 1982 ජනාධිපති තරගයෙන් පරාජය වීමත් සමග දේශපාලන පෙරමුණේ අර්බූදය තියුණු විය. එහෙත් පංතිය බිඳ වැටීමක් එයින් සිදු නොවිනි. පංතියේ බලාපොපොරොත්තුව ක්‍රියාකාරී උද්ඝෝණයකට යොමු විය. එහෙත් පංති සංවිධාන පැත්තෙන් තිබෙන්නේ ‘80 ටත් වඩා අවුල් සහගත තත්ත්වයකි. අඩු තරමේ වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුවක්වත් නැත. මේ නිසා පංතිය ක්‍රියාකාරී බලවේගයක් ලෙස මතු නොවිනි. සුළු ධනේශ්වරය ජාතිවාදී පිපිරීම් මත පෙළ ගැසුනේ මේ තත්ත්වය තුලය. අවුරුද්දක හදිසි නීති හා පක්ෂ තහනම් මගින් පොදු සටන් තත්ත්වය යටපත් වීම නිසාම මහජන පක්ෂය ලෙසට දේශපාලන ප්‍රවනතාවය මතුවීම බලාපොරොත්තු විය යුත්තකි. මෙසේ පංතියේ දේශපාලනමය වෙන්වීම එක් පැත්තකින් විප්ලවවාදී ගමනේ පියවරකි. අනෙක් අතට වැඩපල මට්ටමේ ඓයින්ද්‍රික සංවිධාන මතුවීමට විරුද්ධව සිටින දේශපාලන සාධකයකි. එනම් වැඩපල මට්ටමේ ක්‍රියාකාරී සභාවල් හා ඒවා පදනම් වූ පොදු මහා නියෝජන සභාව යන්න අද වමේ පෙරමුණ තුලින් දියත් කළ යුතු සටන් පාඨයක් වන්නේ ය. එයට දේශපාලන සාධකය අභිබවා ඉදිරියට ඒමට නොහැකි ය.

වමේ පෙරමුණ සටන් පෙරමුණක් ලෙස ගොඩ නැගීම හා එහි බලපෑම මත වැඩ බිම් ක්‍රියාකාරී කිරීම අරමුණ ඇතිව අප ක්‍රියාකළ යුුතුය. එහෙත් වමේ අනෙක් පක්ෂ ඉස්මතු කරන්නේ හුදු පාර්ලිමේන්තු විකල්පයක් ලෙස වර්ධනය වීමේ උවමනාවයි. මේ දේශපාලන විකල්පය වුවද ඔවුන් ඉදිරිපත් කරන්නේ කෙටිකාලීනවය. ඔවුන් එය ශ්‍රීලනිප ය සමග වඩා වාසිදායක සභාගයකට යාමේ පළමු අදියර ලෙස පමණක් සලකනු ඇත. විශේෂයෙන්ම කොමියුනිස්ට් පක්ෂය තුල පීටර් -පංඩිත නායකත්වය ඉදිරිපත් කරන සභාගවාදී ප්‍රතිපත්තිය ජය ගන්නා විට සභාගය කෙලින්ම යෝජනා වෙනු ඇත. ඔවුන් එය ඉදිරිපත් කරනු ඇත්තේ පවතින අනතුරුදායක තත්ත්වයට මුහුණ දීමේ එකම මාවත ලෙස පෙන්නුම් කරමිනි. එසේම එය සටන් වැඩ පිළිවෙලක් ලෙස ඉදිරිපත් කරනු ඇත. එනම් ‘82 ජනාධිපති තරගයේ දී කරගැනීමට නොහැකි වූ සභාගය වඩා හොඳින් කර ගැන්ම දෙසට ඔවුන් යොමු වෙනු ඇත. මේ අනුව වමේ පෙරමුණ; ශ්‍රීලනිප ධනපති නායකත්වයෙන් කැඩී වමට යන කම්කරු ප්‍රමුඛ ජනතාව හා වාමගාමී ලෙස ශ්‍රීලනිප ය සමග ගිවිසුමකට අර අඳින ඉහළ නායකත්වයත් අතර ගැටුම් නිරූපනය කරයි. මෙහි දී 1964 දී මෙන් නොව විප්ලවකාරී ගමන ප්‍රමුඛය. සභාග පදනම දෙවනුවය. එනිසා අපගේ මැදහත් වීම තීරණාත්මකව බලපාන්නේ මේ අරගලය තුලය.

මේ අනුව අප එක් අතකින් වමේ පෙරමුණ තුල පොදු ජන සටන වෙනුවෙන් ක්‍රියාකරන අතර අනෙක් අතට මතුවන සටන් ඉදිරියට ගෙන යාමට ක්‍රියා කල යුතුය. වමේ පෙරමුණ සභාගවාදී ස්ථාවරය එළියට දමන ප්‍රමාණයට අපගේ විවේචනය දැඩි විය යුතුය. අනෙක් අතට ඇතිවන සටන් ඉදිරියට ගෙන යාමට වමේ නායකයින්ගේ මැදිහත් නොවීම විවේචනය කළ යුතුය. 1986 වර්ෂය වීමට පෙර බොහෝ දුරට සභාග යෝජනා ස්ථීරව එළියට දමනු ඇත. මෙහිදී එක් අතකින් තියුණු වන ජනතා සටන යොදා ගනිමින්ම; අනික් අතින් ආණ්ඩුවේ ප්‍රති විප්ලවකාරී ස්වාභාවය නැත්නම් ආඥාදායකත්වයේ ස්ථීර ගොඩ නැගීමට විරුද්ධව ඇති කළ යුතු පුළුල්ම සටන් සමඟිය ලෙසින් සභාග යෝජනාව එළියට දමනු ඇත. එනිසාම එය ඒ වන විට මතුවී එන වැඩ බිම් මට්ටමේ පනගැන්වුන සටනට දේශපාලන තිරිංගයක් දැමීමක් ලෙසටද දොරට වඩිනු ඇත.

ඇති වන සටන් තත්ත්වයට විරුද්ධව ඍජු ඒකාධිපතිවාදී මර්ධනයකට ඉඩ නැති බව පෙනෙන විටම; එසේම යම් සභාගයක් අටවාගත් විගසම ධනපතියන් මුළු බරම යොදනු ඇත්තේ 1989 ඡන්දය දෙසට ජනතා සිත් යොමු කරවා ගැනීමටය. මේ නිසාම ඉදිරි අවුරුදු දෙක ඉතාම තීරණාත්මක වීමට ඉඩ ඇත්තේ වමේ ‍පෙරමුණේ ඉතිහාසය පැත්තෙන් ගත් විටය. මතුවන ජනතා ක්‍රියාකාරීත්වය ජන අරගල මාවගේ දේශපාලන අභියෝගයන් කරා ගෙන යනවාද නැත්නම් මැතිවරණ මාවතට ජනතාවගේ බහුතරය යොමු වනවාද යන ප්‍රශ්නය මේ අවුරුදු දෙක තුල තීන්දු වනු ඇත. විශේෂයෙන්ම මහජන පක්ෂය සභාග යෝජනාවෙන් බිඳ වැටෙන විට අප පක්ෂය ප්‍රධාන කම්කරු බලවේගය ලෙස මතුවන්නේ නම් විෂයබද්ධව පැන නගින ජනතා සටන විප්ලවකාරී මාවතේ ගෙන යාමට අපට ඉඩකඩ සැලසෙනු ඇත.

ශ්‍රීලනිපයේ අනුර සහිත ප්‍රධාන බලපෑම වන්නේ ‘89 පවත්වන ඡන්ද සඳහා ව්‍යවස්ථාව තුලම නිසි ලෙස සංවිධානය වීමය. මේ නිසා සභාගයක් ඇති වන්නේ මෙම ඡන්ද බලාපොරොත්තුවෙන් එහාට මැදිහත්වීම් මුල් කොටය. විශේෂයෙන්ම ජනාධිපති තරගයේ දී තමාට ජය අත් විය හැකිය යන විශ්වාසය උඩ අනුර ක්‍රියාකරනු පෙනේ. එනිසා මහ මැතිවරණය උවද සාධාරණව ලබා ගැන්ම ගැන ඔහුගේ උනන්දුවක් නැත. ශ්‍රීලනිපයේ අනෙකුත් නායකයන්ට එසේ බලාපොරොත්තු තැබීමට ඉඩක් නැත. එනිසා සාධාරණ ඡන්දයක් ගැන කෑකෝ ගැසීමට වඩ වඩාත් යොමු වනු ඇත. යම් යම් පොදු බලපෑම් දැමීම් වලටද ඔවුන් ඇදී එනු ඇත. පංති සටන් හා ජන අරගල තියුණු ලෙසට වර්ධනය වන විට ඒවාට පිටුපා යන්නට ඔවුන් ක්‍රියා කලත් ආරම්භක අවස්ථාවල යම් පියවර වලට හවුල්වනු ඇත. සභාගවාදය ජය ලබනවාද යන්න තීන්දු වනු ඇත්තේ මතුවන අරගල තුලදී ඇතිවන ක්‍රියාකාරීත්වය මෙහෙයවීමට උපායිකව අප මැදිහත් වන ප්‍රමාණයටය.

ජනතා විමුක්ති පෙරමුණ දිගටම සැඟවී සිටිමින් සභාගය වෙනුවෙන් දැඩිව පෙනී සිටිනු ඇත. මේ නිසාම තරුණයන් අතර ඉදිරියේ දී බලවත් විවාදයක් ඇති වනු ඇත්තේ ජවිපෙ යෝජනා කරන පොදු පෙරමුණ හා අප යෝජනා කරන එක්සත් සටන් වැඩ පිළිවෙල අතරය. එලිපිට වැඩ නොකරන නිසාම ජනතා විමුක්ති පෙරමුණ බහුජන ව්‍යාපාරයක් ලෙස ගොඩ නැගීමට ඉඩ කඩ නැත. එහෙත් කුමන්ත්‍රණයකට ලොල්වන තරුණ පිරිස් අතර පදනම ඔවුන් රැක ගනු ඇත.

වමේ පෙරමුණේ සීමිත ක්‍රියාකාරීත්වය එළි කරමින් අපට ගොඩනැගීමට නොහැකි වන්නේ යම් ප්‍රමාණයකට ද එම ප්‍රමාණයට දෙමළ තරුණයන්ගේ කැරලිකාරීත්වය පමණක් නොව සිංහල සුළු ධනේශ්වර කැරලිකාරීත්වයද වැඩෙනු ඇත. දැනටමත් තැනින් තැන සටන්කාමී තරුණ සංවිධාන ඇති වන බව හා ගරිල්ලාවාදී අදහස් සාකච්ඡා වෙනු පෙනේ. එහෙත් ඒවා තවමත් බලවත් සාධක නොවේ. විශේෂයෙන්ම අපේ ඉදිරි දර්ශණය සමග ගැටී ඉදිරියට යෑමට ගරිල්ලාවාදයට නොහැකි ය. එහෙත් අපට ඉදිරි කාලය තුල දී නිවැරදිව මැදිහත් වෙමින් අනෙක් අතින් වමේ පෙරමුණ තුල ඇතිවන දේශපාලන බෙදීම් ඉදිරියට ගෙන යාමට සූදානම් නොවුන හොත් ඇතිවිය හැකි ප්‍රතික්‍රියාවන් බියකරු ප්‍රතිඵල ගෙන දිය හැකිය.
ණය හා ආධාර මත පදනම් වූ ආණ්ඩුවේ ඊනියා සංවර්ධන වැඩ පිළිවෙල නොතකා මේ රට තුල ඉතාම පැහැදිලි විප්ලවකාරී විෂය බද්ධ තත්ත්වය විටින් විට වූ පිපිරීම් වලින් පැහැදිලි විය. 1980 පරාජය මෙන්ම 1982/83 පරාජයන්ද දේශපාලන රාමුවේ ඇති බලවත් ව්‍යාකූල තත්ත්වයෙන් ඇති වූවකි. විප්ලවවාදී පක්ෂය ලෙසට අපට එම අභියෝගයන් ඒ වන විට ජය ගත නොහැකි විය. එයට අපද වගකිව යුතුය. අපගේ දේශපාලන ඉදිරි දර්ශණයන් නිවැරදි වුවත්, ඒවා නිරවුල්ව පංතිය තුලට ගෙන යෑමේ දී අප අතින් අඩු පාඩු සිදු විය.

සංවිධානාත්මක දුර්වලකම් ගණනාවක් තිබුණි. භාවිතයේ ගොඩ නැගුණ නායකත්වය ප්‍රමාණවත් නොවී ය. එහෙත් අද අප මේ සෑම පැත්තකින්ම ඉදිරියට යමින් සිටිමු. දේශපාලන වශයෙන් අපගේ ඉදිරි දර්ශණයන් නිරවුල් ය. එය ප්‍රතිවාදී මතවාද බිඳගෙන පැහැදිලිව ඉදිරියට යමින් සිටී. සංවිධාන දුර්වලකම් මැඩ ගෙන බලවත් සංවිධාන රටාවක් ගොඩ නගමින් සිටින්නෙමු. අපගේ සංවිධාන හැකියාවන් ගැන මිතුරන් මෙන්ම සතුරන් පවා විශ්මයට පත් වෙමින් සිටිති. භාවිතයේ ගොඩ නැගුණ රට පිළිගන්නා නායකත්වයක් ලෙස අප කීර්තිය ලබා ගනිමින් සිටිමු. නායකත්වය අංශ හා ප්‍රදේශ විහිදා යමින් සිටී. අසුභවාදී දුබලවාදී ආකල්ප අගුපිල්වලට දමමින් අපි ඉදිරියට යමින් සිටිමු.

අප ඉදිරියේ ඇත්තේ පැහැදිලිවම විප්ලවකාරී තත්ත්වයක් මතුවිය හැකි කාලපරිච්ජේදයක්ය. ඒ සඳහා අප පක්ෂයක් ලෙස සූදානම් විය යුතුය. දේශපාලන වශයෙන් ඉහලින් අවදි වූ කේඩරයක් ගොනුකර ගැන්ම තව තියුණු කොට ඉදිරියට ගෙන යා යුතුය. දේශපාලන දියුණුව ප්‍රධානතම සාධකය ලෙස අවධාරණය විය යුතුය. දැනට ලබා ඇති සංවිධාන ශක්තිමත්භාවය සෑම අංශයකටම ගලා යා යුතුය. වැඩ බෙදීම පැහැදිලි විය යුතුය. නිසි ලෙස සුදුසු අය ඉදිරියට ගෙන වගකීම් භාර දිය යුතුය. මධ්‍යගතභාවය රැක ගනිමින් සියල්ලන්ගේම උපරීම මැදිහත්වීම් ලබා ගත යුතුය. ඒ අතරම භාවිතයේ දී ජනතාව තුල පිළිගැනීම ලබා ගනිමින් නායකත්වයක තත්ත්වය ලබාගත යුතුය.

You may also like...

1 Response

  1. 2022-10-30

    […] 1985 නසසප 05 වන සම්මේලනයේ දේශපාලන යෝජනාව […]

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.