දෙවියනුත් – උතුම් මිනිස්සුම තමයි
පින් පව් දෙකම මනුස්ස සිත් තුළින් මතුවෙන දේ බවට හාමුදුරුවරු අපට කියා දෙනවා. මෙවැනි පින් නිසා මීලග ඉපදීම විශාල පොහොසත් දෙයක් බවට පත් වෙන බවත් කියනවා. මේක ඇත්තටම හින්දු ආගමේ අදහසක් එලියට ගැනීමක්. ඒ අනුව නිම නොවන නොනැසෙන ආත්මයක් ගැන අදහන්න වෙනවා. නැත්නම් තමන්ගේ කෙරුවාවන් වල ප්‍රතිඵල මැරුණට පස්සේ එම තැනැත්තන්ට ලැබෙන්නේ කොහොමද කියල ප්‍රශ්නයක් මතුවෙනවා. ඒ අනුව ඊලග ඉපදීම ගතවූ පරණ ජීවිතය නිසා ඇතිවුන ඵලයක් කියල කිව්වත් එයට කලින් දිවියේ සම්බන්ධය ලැබෙන්නේ කොහොමද කියල කියන්න බෑ. කෙනෙක් මේ ජීවිතය තුළ ගොඩනගන හොද නරක ඵලදීමක් ඇත්නම් එය මේ ජීවිතය තුළම දැකිය හැකිය කියල නම් පිළිගන්න පුළුවන්. ඒත් එය නොදන්නා වෙන ජීවිතයක් ලෙසට එලියට එනවා කියන කථාව නම් අනාත්ම දැක්මට අනුව පිළිගන්න බැරි බවයි පෙනෙන්නේ.
හැබැයි ඉතින් මේ ලොව දිහා බලල, අප ගෙවන ජීවිත බලල, එක එක වෙනස්කම් සහිත සමාජයක් ඇතිවුනේ කොහොමද කියල සළකා බලන්න පුළුවන්. සතුන් දිහා බැලුව වුනත් ඔවුන්ගේ ජීවිත කතාව එකම කතාවක්. විශාල පරිසර හේතූන් උඩ වෙනස් වෙනවා ඇර සාමාන්‍ය සතෙකුගේ ජීවිතය එකම විදියට ගන්න එකම වෙලාවක පවත්නා ජීවිතයක්. වෙනසක් උනොත් එය බාහිර බලපෑම් ලෙසට වෙන් කරල කියන්න පුළුවන්. එසේ නැත්නම් නිකම්ම ගෙවෙන එකාකාර ජීවිත තමයි අපට හමුවන්නේ. හරකෙක් ගත්තොත් ඌ සිටින ගැහැණු පිරිමි ලෙස බෙදුනක් ගෙවන්නේ එකම වර්ගයේ ජීවිත කියල පිළිගන්න වෙනවා.
එතකොට එය කර්මයක් උඩ නොවෙයි, ස්වභාවධර්මයට අනුව ගෙවන ජීවිත කියල කිව හැකියි. සමහරවිට ඒ ජීවිත රටාව කඩා වැටෙන්නේ මිනිසාගේ මැදිහත් වීමෙන් පමණයි. හරකට තම සමාජ ජීවිතය ගෙවන්න බැරි වෙන්නේ මිනිසා හරකාගෙන් වැඩ ගන්න නිසයි. නැතිනම් ඒකාකාර ජීවිතයක් ඔහුට නියම වෙනවා. මෙතැන ස්වභාවික ගමන හැර වෙනත් ගමනක් නැති බව හොදට පැහැදිළි වෙනවා. මිනිසා නිසා එය වෙනස් වෙන්න පුළුවන්. මිනිසාගේ මැදිහත්වීම නිසා හරකාට වෙනස් ජීවන රටාවකට ඇතුල් වෙන්න වෙනවා. චේතනාව තමා කර්මය කියන කථාව ඇත්ත බව එයින් පෙනෙනවා. හරකා හිතාමතා කරන වැඩක් නැති නිසා, නැත්නම් ඉතා ස්වල්පයක් නිසා පින්පවු එම සතුන්ට නෑ කියල කියන්න පුළුවන්. එහෙනම් පින්පව් පළදෙන්නේ මිනිසාට පමණක්ය කියල කියන්න වෙනවා. සතුන්ට එවන් චේතනා නැති නිසා ඵලදීම් නැහැ කියල කියන්න පුළුවන්. මේ ගැන වාද කරන්න පුලුවන්. ඒත් චේතනාව කර්මයයි යන අදහස පොඩිත්තක් වත් වෙනස් කරන්න බෑ. චේතනාව නැතිව කර්මයක් නෑ. ඒ ලෙසටම චේතනාව පමණක් කර්මය නොවේ. චේතනාව මත ක්‍රියාවට අනුගත වෙන්න ඕන. එය පැහැදිළියි.
චේතනාව සිත් තුළ දිගට යන අතර, සිදුවීම් සමාජගතව ඉදිරියට යනවා. මේ ඇර මේ සිදුවීම සටහන් වන තැනක් නැහැ. සියලු චේතනා සදහන් වන තැනක් විශ්වයේ යම් තැනක තියෙනවද කියල හෙව්වොත් අපට ලැබෙන්නේ ස්ටීවන් හෝකින්ස්ට ලැබුන පිළිතුරමයි. ඔහු කීවේ දේව බලයක් තමාට පෙනුනේ නැති බවයි. දෙවියෙක් එහෙම නැත්නම්, වෙනත් ඒ වගේ අතාත්වික බලයක් තිබුනෙත් නෑ. එසේනම්, චේතනා නැත්නම් කර්මය එකතු වෙන තැන කුමක්ද යන ප්‍රශ්නයට උත්තරයක් නෑ. ඒ නිසා එය ඇත්ත කියල පිළිගන්න බෑ. එතකොට කර්මය සිදු වූ පසු සමාජගත වීම ඇර වෙන තාත්වික ගලා යෑමක් නෑ. සතුන්ට කර්මය නැති නිසා ඔවුන් තුළත් ආත්මගතවීමක් නෑ. එකම කර්ම කාරයා මිනිසා පමණයි. අනිවාර්යයෙන් සෑම කර්මයක්ම තමාගේ සිත තුළ සටහන් වෙනවා. චේතනාව දැඩිව තිබූ විට එය තැන්පත් වීම නිසා අපට ආපසු ඒ චේතනාව ගැන සොයා බලන්න පුළුවන්. එය සිත තුළ ආත්මගත වෙලා තියෙන්න පුළුවන්. එසේ තැන්පත් වීම ආත්මය කියල කියන්නත් පුළුවන්. ඒ විදියට තමා කළ දේ සමග චේතනාවෝ සිත තුළ තැන්පත්වීම සිද්ද්ද වෙනවා. එතකොට සිහිය තියෙනතාක් ආත්මයක් ලෙස එසේ තැන්පත් වන දැය ක්‍රියා කරන බව පිළිගන්න පුළුවන්. ඒ විදියට නම් වික්‍රමබාහුට ආත්මයක් තියෙනවා. ඒ තමා චේතනාන්විතව මා කළ කී දේ. ඒ අනුව මා කළ කී දේ ගැන විවේචන වලට මුහුන දීමට මට පුළුවන් විය යුතුයි. මොකද මා තුළ එය ආත්මගතව තිබෙන නිසා. හැබැයි එය වෙන්නේ මා සිහියෙන් ජීවත් වන තුරු පමණයි. ඒ තොරතුරු ලියා තබන තරමට එය නොදිරා තියේවි. බුදුන්ගේ ආත්මය අප සමග සිටින්නේ ධර්මය තුළින් පමණයි. වෙන බුදුන් කෙනෙක් නෑ.
මට මතක හැටියටට බුදුන් මෙලෙසටම කියා තිබෙනවා. කාලය ඔස්සේ මා පවතින්නේ ධර්මය තුළ පමණි කියල කොතැනක හෝ කියා තිබෙනව බව මට මතකයි. ඒ අනුව ලෝකය සියළු චින්තකයින් අපට හමුවෙන්නේ චින්තනය ලේඛනගතව පවතින තරමට අනුවයි. බැලුවහම හැම වචනයකටම අර්ථයක් තිබෙනවා, එය හරි චින්තනය තුළ බැළුවහොත්. දෙවියන් අප තුළම බිහිකරගත හැකියි. ඒ එම ගුණාංග සිත තුළ පිහිටුවාගැනීමෙන්. සමහර දේවගැතිවරු එලෙස තම පැවැත්ම දෙවියන්ගේ රාමුවක් තුළට දමාගන්නවා. ඇත්තටම දේවත්වය පිළිපදිනවා. තමා දකින ඇත්ත ඇතිසැටියෙන් ක්‍රියාත්මක කරනවා. ඔහුට එය ඇත්ත තත්වයක්. ඒ ලෙස සිල්වත් මහණුන් සිටින්න පුළුවන්. ඒ චේතනාව මත පදනම් වන යහපත් කල් ක්‍රියාවන් පුහුණු කරගත් නිසා. ඒ විදියට දෙවියන් ඉන්නවා. වෙන කොහෙවත් නොවේ, මිනිසාගේ චින්තනය තුළම. දෙවියන් සිටින්නේ බැතිමත් පාදිළියා තුළමයි. ජේසු කියන්නේ දෙවියන්, මොකද ඔහු බැතියෙන් දේවත්වය උතුම් යයි විශ්වාස කළ නිසා. ඒ උතුම්කම තුළම ක්‍රියා කළ නිසා.
06.03.2020
2 Responses
[…] දෙවියනුත් – උතුම් මිනිස්සුම තමයි […]
[…] දෙවියනුත් – උතුම් මිනිස්සුම තමයි […]