මනුෂ්‍යත්වයේ මූලාරම්භය

සේයා - අන්තර්ජාලයෙන්

සමහරු හිතන්නේ මනුස්සකම පටන් ගත්තේ ක්‍රිස්තුස්ගේ දේශනා වලින් කියල.

ලෝකය පුරාම මේ අදහස පැතිරුණත් ඊට පෙර යුරෝපය පුරාම පැතිරුණ රෝම ග්‍රීක ශිෂ්ඨාචාරය ගැන කථා කිරීමට සිදු වෙනවා. එතැනදී දෙවියන් ගැන ප්‍රශ්න කළ මිනිස් දැනුම අගය කළ ග්‍රීක යුගයට යන්න වෙනවා. එවිට පෙනී යන්නේ සොක්‍රටීස්, හෙරක්ලිටස් ජීවත් වුනේ වඩාත් මිනිස්කම තිබුන ප්‍රජාතන්ත්‍රවාදී නිදහස පැවති සමාජයක බවයි. කාල් මාක්ස් දැක්ක ලෙසටම මිනිසා තිරිසන් බවෙන් වෙන් වුන කොමියුනිස්ට් සම සමාජ යුගය ගැන තොරතුරු දැන් එලිවෙලා තියෙනවා. එදා ඒක අගහිග සමාජයක වුනත් දැනුවත් මිනිසුන් ගෙවූ ජීවිත ගැන පුදුම හිතෙනවා. සොක්‍රටීස් ගැන සොයා බලන විට ඔහු තමාට පසුව ආ ප්ලේටෝ හා ඇරිස්ටෝටල්ට වඩා පිවිතුරු අදහස් හෙලි කළ කෙනෙක් බවට පත් වෙනවා. මෙයට සමානව ඉන්දියාවේ බුදුන් බිහි වුනේ සම සමාජ මිනිස් සමාජය එහි යථාවාදී වෙමින් තිබුන යුගයක කියල කියන්න පුලුවන්. මොහින්දජාරෝ – හරප්පා වල කථාව බැලුවහම දිගු කලක් සම සමාජයක් ඒ පෙදෙස් වල තිබූ බව හෙලි වෙනවා. මිනිසා යකඩ හොයාගෙන එයින් බිහිසුනු ආයුධ හදාගැනීමට පටන්ගත් පසු සම සමාජයේ ආලෝකය නිමා වුනා.

යුරෝපය තුළ පැවති මිනිස්කම වහල් යුගය තුළින් නිමා වෙනවා. ඇරිස්ටෝටල් එලිකළ තර්ක ඥානය තුළ චලනය පදනම් වූ දර්ශනවාදී අදහස දියවී ගියා. තර්කය සමග ආයුධ රැගත් සමාජය තවමත් වහල් සමාජයක් හැටියට තමයි පවතින්නේ. පුදුමය තමා වර්ණවත් දියුණු තාක්ෂණයෙන් වැසී ගිය මිනිස්කම දැන් නැවතත් ජය ගෝසා මැද එලියට එමින් තිබීම. යුරෝපය මෙලෙසට ගමන් කළත් ඉන්දියාවේ සම සමාජ පැරණි සමාජ සංස්ථාව ගමන් කළේ වෙනත් ලෙසකට. බුදුන්ගේ යුගයේදී ඈත ග්‍රීක සමාජයට වඩා බලවත් වුන දර්ශනවාදී ජයග්‍රහනයක් ලබා ගැනීමට හැකි වුනා. බුදුන්ගේ සමකාලීන, නැතිනම් ඊලග පරම්පරාවට අයත් හෙරක්ලිටස් යුරෝපය තුළ නිදහස් දැනුමක් ඇති යුගයක් තිබූ බව හෙලි කරනවා. මිනිසා අවුරුදු 3000 කට පෙර ඇත්ත ඇති සැටියෙන් දැක්කා. ගිනිගෙන ගමන් කරන විශ්වය තුළ චලනය ප්‍රධාන බවත් නිසල දෙය දෙවැනි බවත් පිළිගෙන ලෝකය හදුනාගත්තා. දැන් අපි අමාරුවෙන් එතැනට යන්න දගලනවා.

එදා සම සමාජ ගතවුන මිනිසා මැද පෙරදිග වගේම තවත් තැන්වල ඇත්ත හදුනාගෙන ජීවත් වෙන්න කටයුතු කළා. මිත්‍යාවන් ඉවත දැම්මා. මෙතැනදී පැරණි ද්‍රාවිඩ නැත්නම් දෙමළ සමාජය තුළ සිටි අවුරුදු දහස් ගණනක් හරහා යමින් ජීවත් වුන බුදුවරු 24 දෙනෙක් ගේ දේශනා ගැන සොයා බැලූ බව පෙනෙනවා. පැරණි ද්‍රවිඩ සමාජයට සමාන සමාජයක් මිසරයේ හෝ ඉරාකයේ තිබුන බව එලි වුනත් ඒවායේ පැවති මිනිස් දැනුම ගැන විස්තරයක් අපට ලැබිල නෑ. ඒත් ඉන්දීය ඉතිහාසය තුළ දර්ශනවාදී ගමනේ අඛන්ඩතාවය ඉදිරියට ගෙන යෑමට බුදුන් ගත් පියවර සාර්ථක වෙලා තියෙනවා.

ඒ අනුව මාක්ස් කියපු ප්‍රාථමික සම සමාජය ගැන අදහස් බොහොමයක් දර්ශනවාදී පැත්තෙන් බුදුබණ – ත්‍රිපිටකය තුළින් සොයාගත හැකි බව අපට පෙනී යා යුතුයි. මේ රජය ත්‍රිපිටකය ලෝක උරුමයක් කරනවාය කියන එක හොදයි. හැබැයි එය තුළින් හෙලිවන පැරණි මිනිසා උපන් සම සමාජය හෙලි කරගැනීමට ත්‍රිපිටකය යොදා ගැනීමට කටයුතු නොකරන එක මහ පාපයක්. ක්‍රිස්තු, මහම්මද් වැනි දහම් දෙසූ මුනිවරු මිනිස්කම දැක්කත් එය මොලොව දෙයක් ලෙස නොව නොදන්නා දෙව්ලොවක තිබෙන බලාපොරොත්තුවක් බවට පත් කළා. මිනිසාට මෙලොවදී මිනිසත්කම ලබාගන්නට බැරි බවයි එයින් කියවෙන්නේ. එතකොට ක්‍රිස්තුගේ සමාජය, මහම්මද් ගේ සමාජය මිනිසත්කම පෙන්වන සමාජයන් නොවෙයිද කියන ප්‍රශ්නය මතු වෙනවා. බුදුන් තදින්ම කිව්වේ නොපෙනෙන දෙව් ලොවක නොව මේ මිනිස් සමාජය තුළම මිනිසත්කම ඇති කළ හැකි බවයි. යුතු බවයි. ඒත් කරුමයකටදෝ අද බණ කියන ඇත්තෝ කියන්නේම ඒක අපර ආත්මයකදී නැතිනම් අරුම ලෝකයක ඇත්තාවූ නිවනක් වන බවයි. ඒත් බුදුන් පෙන්නුවේ සංඝ සභාව මගින් මෙලොවම මිනිසත්කම ඇති කරගන්නට හැකි බවයි.

බොදු දහම වෙනුවෙන් කෑ මොර දෙන උදවිය තමත් කරන්නේ මොකක්ද, කියන්නේ මොකක්ද කියල නොදන්නා පිරිසක් බවට පත් වෙලා. මිනිසාට මිනිසත්කම හදුනා ගැනීමට මෙන්ම, මෙලොවදීම එහි ඵල නෙලා ගැනීමටත් හැකි බව පෙන්වීමට ග්‍රීක සමාජය ඇතුළු සියලු මිනිස් සමාජයන්ට බැරි වෙද්දී එය තම දර්ශනය තුළ හෙලි පෙහෙලි කළ බුදුන් දෙසූ බණ කිසි ලෙසකින්වත් මිත්‍යාවන් තුළ යට කර දැමීමට ඉඩ දිය නොහැකියි. නිදහස, යුක්තිය සදහා සටනේ පරම ඉලක්කය එය විය යුතුයි.

ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න
2019.01.22
නිනව්වට

You may also like...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.