ලෝක වෙළද අවපාතය හා ෆැසිස්ට් වියරුව

සේයා - අන්තර්ජාලයෙන්

ලොවපුරා කොවිඩ්19 ආසාදිතයින් සංඛ්‍යාව පනස් අට ලක්ෂයක් හා මරණ තුන් ලක්ෂ පනස් දාහක් ඉක්මවන මේ අවස්ථාව වන විට දියුණු රටවල් පවා තියුණු ආර්ථික කඩා වැටීමකට මුහුණ පා ඇත. තෙල් බැරලයක මිල ඩොලරයක ඍණ අගයක් ගැනීමෙන් එහි ශීඝ්‍රතාවය කොතෙක්ද යන්න පැහැදිලි වේ. සංවර්ධිත රට වල පවා රැකියා වියුක්තියේ ඉහල අගයක් හා නිෂ්පාදන කර්මාන්ත වල පැහැදිලි බිඳවැටීමක් පෙන්වයි. ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, චීනය දෙසට තර්ජනය එල්ල කිරීම මෙම දැවැන්ත අර්බුදයේ පුපුරායාමකි. ලෝක සෞඛ්‍ය සංවිධානයට දෙනු ලබන ආධාර කපා හරින බවට කරන ප්‍රකාශයද මෙහිම  දිගුවකි. ලෝක සෞඛ්‍ය සංවිධානය වෙත ප්‍රදානය කරනු ලබන ඇමෙරිකානු ආධාර නවතා දැමීම පිළිබඳ ප්‍රකාශය ඇත්ත වශයෙන්ම සැළකිල්ලට ගත යුතු කාරණයකි. ඒ අතර සමාජ මාධ්‍ය දඩයමට නීති සකසා තම වියරුව හෙළිකරණ විවේචකයන් ව නිහඩ කිරීමේ ක්‍රියාමාර්ග අරඹා ඇත. එය සම්ප්‍රදායික ජනමාධ්‍ය කරුවා වෙලා ගන්නා දිනය වැඩි ඈත නොවනු ඇත.  එය එලෙසම සිදුවුවහොත් අප වැනි නොදියුණු රට වල ආර්ථික වලට එම කරුණ ඍජුවම බලපානු ඇත. එය ආසියා, අප්‍රිකා හා ලතින් අමෙරිකානු කලාප වල සෞඛ්‍ය ප්‍රවර්ධන කටයුතු කෙරෙහි අසුභවාදී සංඥාවකි.

සමස්ථ ගෝලීය ආර්ථිකයේ බිඳ වැටීම; වෙළඳ ආර්ථික රටාව වෙත නැඹුරු වූ, නිෂ්පාදන කර්මාන්ත අවම, දියුණුවෙමින් පවතින ආර්ථික කෙරෙහි අහිතකර බලපෑමකි. මෙවැනි බොහෝ රටවල් සංචාරක කර්මාන්තය වෙත විශාල වශයෙන් මුදල් යොදවා ඇත. සේවා නියුක්තිය හා ඒ ආශ්‍රිත යෙදවුම් අති මහත්ය. නමුත් කොරෝනා ව්‍යාප්තියත් සමග සංචාරක කර්මාන්තයේ ඇතිවූ බිඳවැටීම එම රටවල ආර්ථික වෘද්ධිය කෙරෙහි අයහපත් සළකුණු මතුකර ඇත. සංචාරක කර්මාන්තය හා ඍජු ලෙසම බද්ධ වූ ජාත්‍යන්තර ගුවන් සේවා වල දැවැන්ත බිඳ වැටීමක් වාර්ථා වේ. පසුගිය මාස තුනක කාලය තුළ ලොවපුරා ගුවන් සමාගම් වල අලාභය බිලියන 319ක් ලෙස දැක්වේ. ඇගලුම්, විසිතුරු භාණ්ඩ, කුලුබඩු අපනයනය කරනු ලබන තුන්වෙනි ලෝකයේ රට වල ආර්ථික තියුණු පසුබෑමකට ලක්ව ඇත. මෙවැනි ආර්ථික රටාවකට හිමිකම් කියන ශ්‍රී ලංකාවේ ආර්ථිකයද දැඩි අවදානමකට මුහුණ දී ඇති බව සැඟවිය හැකි නොවේ.

මේ වනවිට කර්මාන්ත ක්ෂේත්‍රයේ 25%ක පිරිසකට රැකියා අහිමි වී ඇති අතර වෙළඳ හා ඇගලුම් ක්ෂෙත්‍රයේ ලක්ෂ 2 ක පමණ සේවකයින්ගේ රැකියා අවදානමට ලක්ව ඇති බව පැවසේ. නමුත් ලෝක වෙළඳපොළේ මිල අඩුවූ ඛණිජ තෙල් සහනය ජනතාව වෙත ලැබී නොමැත. මේ වනවිට අප රට දැරිය නොහැකි ණය අර්බුදයක ගිලී සිටී. ශ්‍රී ලංකාව දකුණු ආසියාතික රටවල් අතරින් ඉහලම ණය බරකින් පෙළෙන රටක් ලෙස ජාත්‍යන්තර ආර්ථික සංවිධාන පෙන්වා දේ. ඉදිරි මාස කීපය තුළදී ඩොලර් බිලියන 3 ක ණය වාරිකයක් ගෙවීමට නියමිතය. කොවිඩ්19 ය ජනතාවගේ දෛනික දිවි පැවැත්මට බලපා ඇති අකාරුණික ස්වරූපය පසුගිය දින වල අසන්නට ලැබුණි. සීනි, පරිප්පු, සැමන්, අර්තාපල් හා ඇතැම් කුලුබඩු සඳහා ඉහල බදු අනුපාත නියම කර ඇත්තේ දේශීය නිෂ්පාදන නගාසිටුවීම අරමුණු කරගෙන බව රජය මාධ්‍ය ඔස්සේ ප්‍රකාශ කරයි. එය සත්‍යක් නම් මෙවැනි ව්‍යසනයක් නොමැති කාලයක, එම අදහස ඉතාම යහපත්ය. නමුත් වසංගතකාරී පරිසරයක් යටතේ අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ මිල ඉහල යාම නිසා පාරිභෝගිකයාට සිදුවන පීඩාව සැළකිය යුතු වේ. මේ අතර වත්මන් රජය බලයට පත්වීමත් සමගම ඉවත් කළ බදු වලින්, රජයට ලැබීමට නියමිතව තිබූ රුපියල් කෝටි ගණනක ආදායමක් අහිමිවූ බවට චෝදනා නැගේ. ඒ කියන්නේ මෙසේ දේශීය නිෂ්පාදන ගොඩ නගනවා කියා කරන්නේ සෘජු බදු ගෙවන ඉහල ආදායම් ලාභීන්ට සහන දී අහිමි කරගත් බදු ආදායම, වක්‍ර බදු ලෙස අත්‍යවශ්‍ය භාණ්ඩ වලට දැමීමෙන් දුප්පතාගෙන් අයකර ගැනීම නොවේද?

පසුගිය දිනවල ලෝක පාරිසරික පද්ධතියේ ඇතිවූ ලැව් ගිණි, නායයෑම්, ගංවතුර, ධ්‍රැවාශ්‍රිත ප්‍රදේශ වල හිම දියවී යාමේ ප්‍රවණතාවයන්, වායු ගෝලය උණුසුම්වීම නිසා පාරිසරික සමතුලිතතාවයේ බිඳ බිඳවැටීමක් ලෙස විද්වත්හු හඳුන්වා දෙති. වායුගෝලය අපවිත්‍ර වීම හේතුවෙන් ඇතිවන අහිතකර ප්‍රතිවිපාකයන්හි වර්ධනයක් තවදුරටත් ඇතිවිය හැකි බවට ලෝක පරිසර සංවිධාන විසින් අනතුරු ඇඟවුණි. නමුත් පසුගිය දිනවල,කොරෝනා වසංගතය නිසා මිනිස් ක්‍රියාකාරකම් අවම වීම හේතුවෙන් වායුගෝලීය පවිත්‍රතාවයේ ශීඝ්‍ර වර්ධනයක්ද, ලෝකයේ කාර්මික ප්‍රදේශ ආශ්‍රිතව පාරිසරික හානිවල අවම ප්‍රතිශතයක්ද වාර්ථා විය. එවැනි කලාප වල වායුගෝලයේ පිරිසිදු ස්වභාවයක් නිර්මාණය වී ඇති බව පසුගිය දින පැවති ලෝක පාරිසරික දිනයේදී ප්‍රකාශ විය. අප රටේ කැළණි ගංගාවේ ජලයේ පැහැදිලි පවිත්‍ර බවක් පෙන්නුම් කළ බවද පසුගිය දිනවල මාධ්‍ය මගින් හෙළි කෙරුණි.

ඒ අතරවාරයේ විද්‍යුත් මාධ්‍ය ඔස්සේ අතිශයෝක්තියට නගා පෙන්නුම් කරන පිළිකුල් සහගත, අප රටේ ඇතැමුන්ට බිහිසුණු කොරෝනා වෛරසය මුදල් ඉපයීමේ පහසු මෙවලමක් වී ඇති අන්දම පසුගිය දිනවල ප්‍රකට විය. ඇඳිරි නීතිය නිසා පාරිභෝගික භාණ්ඩයක් මිලදී ගැනීමට අපහසු අවස්ථාවලදී, අත්‍යවශ්‍ය භාණ්ඩ හිතූ හිතූ මිල ගණන් වලට විකුණන අන්දම දක්නට ලැබුණි. පසුගිය දිනක දිවුලපිටිය ප්‍රදේශයේ අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමට ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරියකගේ අවසරය ගැනීමට සිදුව තිබූ පුවතක් රූපවාහිනී ප්‍රවෘත්ති ප්‍රචාරයක කියැවුණි. කෘෂි කටයුතු කරන ප්‍රදේශ වල අස්වැන්න සරුවී භෝග වලට කර කියාගත හැකි දෙයක් නොමැතිව ගොවියෝ ලතැවුල්ලෙන් පසුවූහ. නමුත් නාගරික ප්‍රදේශ වල ජනයාට සාධාරණ මිලකට එළවලු ටිකක් ලබාගැනීමේ අවස්ථාවක් නොමැති විය. එකී ප්‍රදේශ වලින් නාගරික ප්‍රදේශ වලට අවශ්‍ය එළවළු ප්‍රවාහනය කිරීමේ අපහසුතාවයක් ඇතිව තිබුණි. නමුත් අත්‍යවශ්‍ය සේවා ප්‍රවාහන බලපත් ලබාගත් ඇතැම්හු මත්ද්‍රව්‍ය හා මගී ප්‍රවාහන කටයුතු සඳහා එම වාහන යොදාගත්හ. මිනිසත් බව පරදා ලාභ සංකල්පය ඉස්මතුවූ අවස්ථා බහුලය. සහන සේවා කටයුතු වලදී දේශපාලනය තැවරී තිබුණු අන්දමද ප්‍රකට ලක්ෂණයකි. සහනාධාර ලැබීමට සුදුසු කුලී නිවැසියෝ සහනාධාර වලට සුදුස්සෝ නොවූහ. හේතුව ඔවුන් ඡන්ද නාම ලේඛන වලට ඇතුළත් නොවීමයි. සහනාධාර හිමි නාම ලේඛණ වල පාක්ෂිකත්වය හගවන සළකුණු යොදා තිබුණු බවට විවේචන පැන නැගුණි.

පාර්ලිමේන්තු මැතිවරණය වහාම දේශපාලන කරලියට ගෙන ඒමට පාලකයින් වෙර දරන මොහොතක ‘සාමාන්‍ය ජන ජීවිතය ක්‍රියාත්මක කළ යුතුය’ යන හඬ ප්‍රබලව මතුවෙමින් තිබේ. එහි අරුත වසංගතය දුරුවී ඇති බව හෝ මහ මැතිවරණය එල්ල කර ගැනීමක් නොවේ. ජන ජීවිතය යම්තාක් දුරට පීඩාවෙන් මුදවාගැනීමටයි. මහමැතිවරණය සඳහා යොමු වූ මාර්ගෝපදේශ ගැන මැතිවරණ කොමිෂමේ සභාපතිවරයා හා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා කළ ප්‍රකාශ මැතිවරණය සඳහා ලබාදුන් කොළ එළියක් ලෙස අර්ථ දැක්වීමට පාලකයින් පෙළඹීම ඛේදයකි. දුකකි.

ප්‍රියන්ත සිල්වා

You may also like...

1 Response

Leave a Reply

Your email address will not be published.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.