ග්‍රාමීය කෘෂිකර්මයේ වෘද්ධියට රනිල් ගේ විසදුම්?

සේයා - අන්තර්ජාලයෙන්

සටහන (කොරෝණා සමඟ ජීවත් වීම)

මේ දින වල පවතින කොරෝනා වෛරසය අවස්ථාවක් කර ගනිමින් පැරණි ආර්ථික ආදර්ශය හැරදමා යම් කිසි ආකාරයක ස්වාභාවික සම්පත් හා මානව සම්පත් උපයෝගී කරගන්නා වූ, පොඩි පොඩි වෙනස්කම් ගණන් නොගෙන, අපේ මුළු ජාතියම එක් කරගන්නා නව ආර්ථික සැලසුමක් ඇති කර ගත යුතුව ඇතැයි බොහෝ ආර්ථික විශ්ලේෂකයෝ හඬ නගමින් සිටී. සමහරුන්ගේ සටන් පාඨය වී ඇත්තේ ඇත්තේ “නව ලිබරල් වාදයේ මියයයි – අවසන් කටයුතු පසුව දැනුම් දෙනු ලැබේ” යනුවෙනි. තවත් සමහරු පෙන්වා දෙන්නේ දෙවන ලෝක යුද්ධයට පෙර පැවති ආර්ථික කඩා වැටීමටත් වඩා මේ කොරෝණා අවපාතය ගැඹුරු බවය. මේවා දකින කල කොරෝණාව ස්වසන පද්දතියට බලපාන වෛරසයක් ද? නැතිනම් මොළයට බලපාන වෛරසයක් දැයි සැක සංකා දනවයි. 

මේ රටේ වසංගතයකින් බිඳවැටෙන්නට තරම් ආර්ථික සංවර්ධනයක් වී තිබුණා ද? යන්න පළමු ප්‍රශ්නයයි. ඇගළුම් කර්මාන්තයේ සේවයේ නියුතු සේවිකාවන්ගේ වැටුප්, මැද පෙරදිග ගෘහසේවිකාවන් මෙරටට එවන විදෙස් විනිමය, සංචාරක ව්‍යාපාරයේ ඉපැයීම් හා වැවිළිකරයේ උපයන විදේශ විනිමය යනාදිය මත පදනම් වූ මේ ‘ආර්ථිකය’  වැටෙන්නේත් නැගෙන්නේත් ගෝලීය ආර්ථිකයට සාපේක්ෂව බැවින් ඒ පිලිකන්නේ හිඟමන් යදිනවුන් ලෙස මේ රටේ පාලකයන්ටවත් ආර්ථික පඩිවරුන්ටවත් කිරීමට දෙයක් නැත.

ඒ නිසා අතිපණ්ඩිත කථා වලින් පඬිවරු වීමට වෑයම් කරනවාට වඩා, මේ රටේ එදා මෙදා තුර එක තැන පල්වෙන කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ වර්ධනය සදහා මාවතක් සොයා ගැනීමට යොමු වෙන්නේ නම් කොරෝණාත් ‘නරක’ නැත. (නොවෙන්නේත් එයමය). මෙහි දී මේ විශේෂඥයන්ට ඇග පත නොවෙහෙසා තමන්ගේ කාමර වල සිටම ප්‍රශ්නය තේරුම් ගත හැකිය. ඒ සදහා කළ යුත්තේ පසුගිය මාස දෙකක කාලය තුල ‘සිරස’ ප්‍රවෘත්ති වල විකාශනය වූ ගොවියන් මුහුණ දෙන ප්‍රශ්න පිලිබද වාර්තා වන් යලි යූ-ටියුබ් එක මගින් නිරීක්ෂණය කිරීමය.

තමන්ගේ ඔලුවේත්, සාක්කුවේ ත් ක්‍රියා කරන කසල ඉවත් කර බැලීමට හැකි නම්, ඔවුන් ට පෙනී යනු ඇත්තේ මේ රටේ සැබෑ අතිරික්තය නිපදවන, ගොවියන්-ධීවරයන් ඇතුළු කෘෂි කාර්මිකයන් ආණ්ඩුවේ නිලධාරීන්ගේත්, බැංකු වල හා පොලී මුදලාලිලාගේත්, මෝල් හිමියන්ගේ හා ලොරි හිමියන්ගේත් ප්‍රවේණිදාසයන් බවට පත්ව සිටින බවයි.

එදාමෙදාතුර කුඹුරේ ගොවිපලේ පවතින්නේ පවුලේ ශ්‍රමයයි. බිම් සැකසීම, පැල සිටුවීම, වල් නෙලීම, පොහොර වතුර සැපයීම, අස්වනු නෙලීම ඈ මෙකී නොකී දහසක් කටයුතු කෙරෙන්නේ යන්තම් අත පය නගා ඇවිදින්නට පටන් ගත් දරු පැටියාගේ සිට පවුලේ සැමගේ මැදහත් වීමෙනි. ඒ අනුව ගොවිපලේ අස්වැන්න සංයුක්ත වන්නේ එය රැගෙන වෙළදපලට එන ගොවියාගේ ශ්‍රමයෙන් පමණක් නොවේ. ඒ නිසා අස්වැන්න විකුණා ලබන දැයෙන් නිෂ්පාදන වියදම අයින් කළ කල්හි ඉතිරිවන ‘ලාභය’ සැබෑවක් ද? ලාභයක් ගණින්නට නම් පවුලේ ශ්‍රමයේ වටිනාකමද අඩු කළ යුතුය. ඒ දිනක දෙකක ද? නැත. මාස දෙක තුනකය, පහ හයකය අවුරුද්දක දෙකක ය. එසේ කළහොත් මේ ගොවියන් ලබන ලාභයක් නැත. නගරයේ කුලී කරුවන්ගේ බසින් කථා කළහොත්, “අතින් කයිට්” ය.

හොදයි! ගොවියාට “අතින් කයිට් නම්”, ඔහුගේ නිෂ්පාදනයේ ලාභය යන්නේ කොහාට ද? ණය පොලී ලෙස බැංකුවේ  යකඩ සේප්පුවට ය, ගිනි පොලී කරුවාගේ මඩිස්සලයටය, ලොරිකාරයාට, තොග හා සිල්ලර වෙලෙන්දා අතටය, මෝල් කාරයින්ටය, ගබඩා කාරයන්ට ය, ශීතාගාර හිමියන්ට ය. කෘෂි නිෂ්පාදකයාගෙන් ඇද ගන්නා මේ ලාභය එහි පදනම වන කෘෂිකර්මයේ දියුණුව සඳහා යෙදවේ ද? නැත. ඒවා යෙදවෙන්නේ තම ව්‍යාපාරයන්ගේ දියුණුවට ය. දරුවන්ගේ විදෙස් අධ්‍යාපනයටය, යාන වාහන ඇතුළු සුඛෝපභෝගී පැවැත්මට ය. මේ ව්‍යාපාර පවත්වාගෙන යෑමට ආධාර දෙන දේශපාලනඥයන්, නිලධාරීන් ඈ මෙකී නොකී අයවලුංගේ ‘සම්තිං’ වලට ය. ව්‍යාපාරිකයන් අතර තරඟයේ දී අවශ්‍ය වන මැර කල්ලි නඩත්තුවට ය.

එසේ නම් ලංකාව දියුණු වන්නේ කෙසේ ද? දියුණු වීමට නම් භූමියෙන් උපදින අතිරික්තය කොල්ලකෑම වලක්වා කෘෂි ක්ෂේත්‍රයේ දියුණුවට යෙදවිය හැකි ප්‍රාග්ධනයක් ලෙස සංකෙන්ද්‍රණය වීමට මඟක් තිබිය යුතුය. එම ප්‍රාග්ධනය මේ ගිනි පොලීකාරී බැංකු හා ෆිනෑන්ස් සමාගම් වෙනුවට ගොවියන්ගේ ඍජු පාලනය යටතේ සැකසෙන මූල්‍ය ආයතන පද්ධතියක් සැකසිය යුතුය. ගොවියාගේ -ධීවරයාගේ පාලනය යටතේ ක්‍රියාත්මක වන ප්‍රවාහන, ගබඩා මෙන්ම පසු අස්වනු නිෂ්පාදන වෙනුවෙන් කුඩා හෝ මධ්‍ය පරිමාන කර්මාන්තශාලා බිහි කිරීමට අවශ්‍ය ප්‍රාග්ධනය සම්පාදනය කිරීමට වැඩ පිලිවෙලක් තිබිය යුතුය. කර්මාන්තශාලා අපනයන ප්‍රමිතියට සැකසිය යුතු අතර ඒවායේ නිෂ්පාදන අඩු මිලට නගරයේ වැටුප් ශ්‍රමිකයන් වෙත ලගා කළ යුතු ය. 2015 මහ මැතිවරණයෙන් පසු එවකට අගමැති ඉදිරිපත් කළ සංවර්ධන ඉදිරි දැක්මේ සදහන් වු ගැමි ගොවි ක්ෂේත්‍රයේ වෘද්ධියට අදාල කොටස පිලිබදව විශ්‍රාමලත් විදුහල්පති හේමචන්ද්‍ර සූරියආරචිචි අතින් සැකසුනු කෙටි විමර්ෂණය කි මේ. එය 2016 ජනවාරි-පෙබරවාරි “හරය” පුවත් පතේ පළවිය. කෘෂි ක්ෂේත්‍රයේ අතිරික්තය මංකොල්ල කනවුන්ගේ ලාභයම පමණක් සලකන වත්මන් පාලනය, මෙවන් වැඩ පිලිවෙලක් දෙස ඇස් ඇර බලනු ඇතැයි විශ්වාස නොකළ ද ඔබගේ විචාර බුද්ධය අවදි කරනු වස් මෙය අද යලිත් පළ කරමු.

මෙම වැඩ පිළිවෙලේ මුල් බීජ වසර හැටක් පමණ පැරණිය. ඒ දැකීම සදහා 1956 ආණ්ඩුව ගෙන ආ කුඹුරු පණතේත්, සමූපාකාර සංවර්ධන බැංකුවේත්, බණ්ඩාරණායක-චෙල්වනායගම් ගිවිසුමේත් මූලික යෝජනා වෙත යොමු විය යුතුය. ඒවායේ සැබෑ පරමාර්ථ කවදාවත් ඉටු වූයේ නැත. ඒ වෙනුවට සිදු වූයේ එම ආණ්ඩුව බිදීමේ කුමන්ත්‍රණ හා අන්තිම වශයෙන් අගමැති බණ්ඩාරණායක ඝාතනය කිරීමත් ය.

රටේ කෘෂිකර්ම ක්ෂේත්‍රයේ මෙවන් වූ විප්ලවකාරී පරිවර්තනයක් එල්ල කර නොගෙන, “කොරෝණා සංවර්ධන” ඝෝෂාව, ආර්ථික ඉන්ද්‍රජාලිකයන් තමන්ටම පෙන්නාගෙන සැනසෙන මනෝ විකාර යි. අපට පෙනෙන අයුරු කොරෝණා මගින් ඉඩ විවර වී ඇත්නම් ඒ මැද පෙරදිග හා සී ෂෙල්ස් වැනි කලු සල්ලි මගින් මුදල් උපයන රටවල සගවා ඇති, අල්ලස්, කොමිස් වැනි අයථා ක්‍රම මගින් දේශපාලනඥයන් හා නිලධාරීන් උපයාගත් මුදල් මෙරටට ගෙන්වාගෙන සුද්ධ කර ගැනීමට පමණි.

ග්‍රාමීය කෘෂිකර්මයේ වෘද්ධියට රනිල් ගේ විසදුම්?

හේමචන්ද්‍ර සූරියආරච්චි – “හරය”, 2016 ජනවාරි-පෙබරවාරි

ලංකාව ගොවිතැන ජීවන වෘත්තිය කරගත් බහුතර ගැමි ජනතාවක් වෙසෙන රටකි. එහෙයින්ම අප ගොවි ජනතාව ගොවිතැනේ දී විශාල අපහසුතාවයන් රැසකට මුහුණ දෙන බව අපි දනිමු. ගොවිතැනට ඉඩම් හිඟවීම, සාර්ථක බීජ සපයා ගැනීමේ අපහසුව, නිසි ප්‍රමිතියකින් යුත් පොහොර අවශ්‍ය වේලාවට නොලැබීම, කෘමි නාශක හා වල් නාශක නිසා පරිසරයට ඇති වී තිබෙන හානිය සහ එහෙයින් ම ගොවීන් මුහුණ දෙන සෞඛ්‍ය ගැටළු, අලෙවිකර ගැනීමේ දී මුහුණ දෙන ගැටළු, ප්‍රවාහනය, තම නිමි කෘෂි නිෂ්පාදන ගබඩා කර ගැනීමේ ගැටළු එම ප්‍රධාන ගැටළු වලින් කිහිපයකි. ගොවියා අතරමැදි වෙළදුන්ගේ හා වී මෝල් හිමියන්ගේ ග්‍රහණයට ලක්ව ඇති බව ද පසුගිය කාලය පුරාම අපි දුටුවෙමු. තම නිෂ්පාදන අලෙවි කරගත නොහැකිව තැවෙමින් ඒවා ගිනි තබා විනාශ කරන ගොවීන්, නිෂ්පාදන අලෙවි කළ ද ඉන් ලැබෙන ආදායමෙන් ගත් ණයවත් ගෙවා ගත නොහැකිව වස පානය කරන ගොවීන් අපි ඉතිහාසය පුරාම දැක්කෙමු. එය එසේ වෙද්දී කෘෂි නිෂ්පාදන හා ගොවි නිපැයුම් වෙළදාමේ යෙදෙන්නවුන් හා වී මෝල් හිමියන් කෝටිපතියන් වී සිටින අයුරු ද අපි දකිමු. අතරමැදි ගසාකෑම් වලින් ගොවි ජනතාව රැක ගන්නේ කෙසේ ද? වස විස වලින් තොර ආහාර වේලක් ජනතාවට ලබා දෙන්නේ කෙසේ ද? ආහාර වලින් ස්වයංපෝෂණය වනවා සේම අපනයනය මගින් රටට ආදායමක් ලබා ගත හැකි පරිදි නිෂ්පාදනය ඉහළ දමන්නේ කෙසේ ද? මේ ගැටළු වලට විසදුම් අප රට සොයා ගත යුතුව ඇත.

මේ පිළිබදව වර්තමාන ආණ්ඩුව ප්‍රකාශ කර ඇති ප්‍රතිපත්තිය විමසා බැලීම ප්‍රාථමික වන්නේ අන්තිම වශයෙන් මේ ප්‍රශ්න වලට විසදුම් සෙවීම රජයක පුරෝගාමීත්වයෙන් සිදුවන කාර්යයක් වන නිසා ය. ග්‍රාමීය ආර්ථිකයේ ගැටළු විසදීම සදහා කෙටි කාලීන කඩිනම් සංවර්ධන සැලසුම් සකස් කර ඇති බව රජය කියයි. එහි දී ගොවි ජනතාව සංවිධාන ගත කිරීම ප්‍රමුඛ කාරණයක් ලෙස සළකන බව කියන ආණ්ඩුව, මේ පිළිබදව සංවිධිත ආයතන රාමුවක් බිහි කරන බවද පවසයි. මේ අනුව කෘෂිකාර්මික සංවර්ධන අධි කලාප 23 ක් බිහි කිරීමට නියමිතව ඇත. මේ මගින් නව කෘෂි තාක්ෂණික යන්ත්‍රෝපකරණ, පසු අස්වනු තාක්ෂණය සහ කෘෂි ණය ගොවීන් වෙත සැපයීමට අදහස් කරයි. එමගින් සහල්, එළවළු, රබර්, තේ, පොල්, පළතුරු වගාව ඇතුලු ඉහල වටිනාකම් ඇති අපනයන භෝග නිෂ්පාදනය දිරි ගැන්වීමට අදහස් කරන අතර අප රට තුළත්, කලාපීය රටවල් වලත් ඇති වන ඉහළ ඉල්ලුම සඳහා ගැමි ආර්ථිකය සූදානම් කිරීම රජයේ අරමුණ බව කියැවෙයි. මීට අමතරව මහවැලි ව්‍යාපාරය යටතේ තවත් කෘෂි අධි සංවර්ධන කලාප දෙකක් බිහි කරනු ඇත. ඒ මහවැලි ව්‍යාපාරය යටතේ ඇති ඉඩම් වල වගා කටයුතු සංවර්ධනය කිරිම උදෙසා වෙයි.

ඒ අතර ගොවි ජනතාව සාමූහික කිරිම යටතේ පොකුරු ගම්මාන සංකල්පය ඉතා වැදගත් වෙයි. සමාජ, ආර්ථික සහ සංස්කෘතික ජීවිතයේ ජීවනාලිය වන ග‍මේ වැඩ කටයුතු සැළසුම් කිරීමටත්, මෙහෙයවීමටත්, ග්‍රාම රාජ්‍ය සංවර්ධන කේන්ද්‍ර නමින් ගම්මාන එක්කොට පොකුරු ගම්මාන ආයතන 2500 ක් ස්ථාපිත කරන බව කියයි. මේවායේ මෙහෙයවීම දේශපාලනඥයන්ගෙන් තොර වෙයි. මෙම වෙළදපල ආර්ථික ඒකක සදහා නියෝජිතයින් ගම්වාසීන් අතරින් පත් කෙරෙයි. දේශපාලනඥයින් සහ රාජ්‍ය නිලධාරින්ව මෙහෙයවමින් මෙම ග්‍රාම රාජ්‍ය සංවර්ධන කේන්ද්‍ර නියෝජිතයින් විසින් ගමේ කෘෂි සංවර්ධන කටයුතු මෙහෙයවිය යුතු වෙයි. මහ ආණ්ඩුවත්, පළාත් සභා සහ පළාත් පාලන ආයතනත් මගින් වෙන් කෙරෙන මුදල් මෙම පොකුරු ගම්මාන සංවිධාන නියෝජිත සභා වෙත ලබා දෙනු ලැබේ. මෙම මුදල් වියදම් කිරීම පිළිබදව තීරණ ගනු ලබනුයේ මෙම ග්‍රාම සභා මගින් වෙයි. දේශපාලනඥයින් සහ රාජ්‍ය නිලධාරීන් මෙහෙයවනු ලබන ගමක් වෙනුවට ගම්වාසීන් විසින් මෙහෙයවනු ලබන ගමක් බිහි කිරීම රජයේ අරමුණ බව කියයි. ආසියාතික ගැමි කොමියූන වලට පැවැති ආකෘතීන්ගේ වර්ධිත තත්ත්වයක් මේ යෝජිත රටාව තුළ ද අඩංගුව ඇති බව දැකිය හැකිය. රනිල් ගේ ලිච්ඡවී ප්‍රජාතන්ත්‍රවාදයේ තවත් ලක්ෂණයක් මේ තුළින් එලි දැක්වේ දෝ යි යමෙකුට විමතියක් ඇතිවීමට ද ඉඩ නැත්තේ නොවේ.

විසිරී සිටින ගොවීන් එකමුතු කිරීමටත් සංවිධානගත කිරීම හා සාමූහිකකරණය අපට ඉතා අගනා දෙයක් බව නොකිවමනාය.

මෙම පොකුරු ගම්මාන සංකල්පය යටතේ ග්‍රාමීය වෙළඳපළ ඒකක සංවර්ධනය කෙරෙයි. එනම් පවත්නා ගමේ පොළ සංවිධාත කෙරෙයි. සංවර්ධනය කෙරෙයි. ගැමියාගේ නිෂ්පාදන රාශීභූත වන, ගැමියාම එහි අලෙවිකරු වන, ගමටම එහි ආදායම ලැබෙන මෙම ගැමි පොළ දියුණු කිරීම ගොවි ජනයාට සහ ගමේ දියුණුවට මහගු උපකාරයක් වනු ඇත. සුපිරි ධනවතුන් අතට මුදල් යන සුපිරි සාප්පු, ෆුඩ්සිටි වෙනුවට දුප්පත් ගැමියාම වෙළදුන්, ගනුදෙනුකරුවන් වන, ජීවමාන ගමක් බිහි කෙරෙන මෙම කාර්යය සාර්ථක කළ යුතුව ඇත.

පොකුරු ගම්මාන බිහිවන මෙම ග්‍රාම රාජ්‍ය සංවර්ධන කේන්ද්‍ර මගින් ගමට යටිතල පහසුකම් සැපයීම සිදු කෙරෙනු ඇත. ගමේ සිට වෙළදපොළ වෙත දිවෙන මාර්ග සංවර්ධනය, වැව් සහ වාරිමාර්ග සංවර්ධනය, ග්‍රාමීය කුඩා ව්‍යාපාර වලට අත දීම ප්‍රධාන කාර්යයන් අතර වෙයි.

ගැමි කාන්තාව ණය බරින් මුදවා ගැනීමත්, ලීසිං ජාවාරම්කරුවන්ගෙන් සහ පොලී මුදළාලිලාගෙන් ග්‍රාමීය කාන්තාව මුදවාගෙන ඒ වෙනුවට පහසු ගෙවිම් ක්‍රම මත ණය ලබා දීමටත් මෙම ආයතන ක්‍රියා කරන බව පැවසෙයි.

එමෙන්ම ගොවියාට අවශ්‍ය කෘෂි ව්‍යාප්ති සේවාවන්, ගුරුහරුකම්, නව භෝග හදුන්වාදීමේ, පසු අස්වනු තාක්ෂණය සහ වැඩි ආදායම් ලැබෙන මාර්ග පිළිබදව අපදෙස් දීමට කෘෂි සායන, පොකුරු ගම්මාන තුළ බිහි කරන බව ද කියයි. මුලික කෘෂිකාර්මික සංවර්ධන අධි කලාප තුළ එම සායන අරඹා කෙමෙන් පොකුරු ගම්මාන දක්වා ව්‍යාප්ත කරන බව ද කියයි.

දේශීය වෙළඳපළ මෙන්ම ජාත්‍යන්තර වෙළඳපළ ද ඉලක්ක කරගත් ගොවින්ගේ කෘෂි ව්‍යාපාර සමාගම් බිහි කරමින් අතරමිට සරු ගොවි ජනතාවක් බිහි කිරීම රජයේ අරමුණ බව කියැවේ.

එමෙන්ම ගොවි නිෂ්පාදන මිලට ගැනීම සදහා ජාතික කෘෂිකාර්මික අලෙවිකරණ අධිකාරියක් පිහිටුවීම රජයේ තවත් අරමුණකි. මෙමඟින් කෘෂිකාර්මික නිෂ්පාදන මිලට ගැනීම, අලෙවි කිරිම, ප්‍රවාහනය, ගබඩා කිරීම, ශීතකරණ පහසුකම් සැපයීම සිදු කෙරෙයි. දැනට පවතින අලෙවිකරණ ආයතන සියල්ල මෙම ආයතනයට ඒකාබද්ධ කෙරෙන බව ද කියයි.

අස්වනු නෙලන සමයේ අප ගොවීන් මුහුණ දෙන ගැටළු අප්‍රමාණය. මෙයට පිළියමක් ලෙස සුවිශාල ගබඩා පහසුකම් සැපයීමට ද අදහස් කෙරේ. එම කටයුතු සඳහා කාලය ගතවන නිසා එතෙක් ආනයනය කෙරෙන ජංගම ගබඩා පහසුකම් ඇති කරන බව ද පොරොන්දු වෙයි.

කෘෂි රසායන, වල් නාශක සහ රාසායනික පොහොර භාවිතය නිසා පරිසරයත් ගොවිජන ජීවිත වලටත් සිදුව ඇති හානිය අපි දැනට අත් විදිමු. ගොවි බිම් ආශ්‍රිතව ජිවත් වූ ශාක සහ සතුන් විශාල සමූහයක් දැනට ම අපගේ මිහිමතින් තුරන්ව යමින් සිටී. ගොවි ජනතාව අනේක විධ වූ ලෙඩ රෝග වලින් පෙළෙති. මේ නම් අපගේ මෙම සදාහරිත භූමිය අද මුහුණ දෙන දැවැන්ත  අර්බූදයකි.

මේ සදහා කාබනික ගොවිතැනට මුල් තැන දී කටයුතු කිරීම රජයේ අරමුණයි. එමගින් පරිසර හිතකාමී කෘෂිකාර්මික රටාවක් බිහි කිරීමත්, එමගින් හරිත නිෂ්පාදනය සදහා ලෝකයේ ඇති ඉල්ලුම අප රට වෙත දිනා ගැනීමටත් අදහස් කෙරෙයි. මේ නිසාම රෝගකාරක වන පරිසර හානිකර කෘෂි රසායන ද්‍රව්‍ය ආනයනය තහනම් කෙරෙනු ඇත.

මෙතෙක් ගම පිළිබද තීරණ ගනු ලැබුවේ මධ්‍යම රජයේ, පළාත් සභාවේ හෝ ප්‍රාදේශී සභාවේ දේශපාලන නියෝජිතයනින් විසිනි. එහි දී ඇවැසි තැනට සුදුසු දේ බොහෝ විට නොලැබුණු බව අපි දනිමු. ගම සහ ගැමියාටම එම බලය පැවැරෙන මෙම අදහස් ගමට ප්‍රජාතන්ත්‍රවාදී ඉඩකඩක් විවර වෙන අවස්ථාවක් වනු ඇත. එවන් තීන්දු තීරණ ගැනීම දේශපාලනඥයින් වෙතින් ගැමි ජනයා වෙතට විමධ්‍යගත වීම ආරක්ෂා කිරිම අපගේ ද යුතුකමක් වෙයි.

මුළු මහත් නිර්ධන පංතියේ සහ ගොවි ජනතාවගේ උවමනාවන් සහ අයිතිවාසිකම් හැර ඒවාට වෙනස් වූ අවමනාවන් හා අයිතිවාසිකම් අපට තිබිය නොහැක. උනුත් එකයි මුනුත් එකයි කියමින් සිටිනවාට වඩා මෙම පොරොන්දු ඉටු කර දීම වෙනුවෙන් රජයට බලපැම් කිරිම, කථාවට සීමා නොවී ඉක්මණින් ක්‍රියාමාර්ග ගැනීම සදහා උද්ඝෝෂණය කිරීම හා මෙවන් ප්‍රජාතන්ත්‍රීය ක්‍රියාමාර්ගයන් කඩාකප්පල් කිරීමට පෙරට ආ හැකි විවිධ පොලී කරුවන්, වෙළඳ කොල්ලකරුවන්, බහු ජාතික හෝ මහා වෙළඳ ආයතන වලට මුහුනදීම සඳහා ගොවි ජනතාව සමඟ එක්ව සටන් කිරීමට සූදානම් විය යුතුය. ගම ගැන තීන්දු ගන්නා ප්‍රජාතන්ත්‍රීය සභාවන් නිසි පරිදි බිහි කර ගත හැකි වන්නේ නම් මේ බලවේගයන්ට මුහුන දීමේ ශක්තිය ගොනු කර ගත හැකි වනු ඇත. ජනයා බලගැන්වෙන පමණට ජනතාවගේ වාමගාමී ඉදිරි මඟ පෑදෙන විවරයන් ද මතු කෙරෙනු ඇත්තේ ය.

  

You may also like...

Leave a Reply

Your email address will not be published.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.