ගාසා සංහාරයට විරුද්ධව කොළඹ විරෝධතා

පලස්තීනුවන්ට එරෙහිව ඊශ්‍රායලය විසින් ගාසා තීරයේ ගෙනයන යුද්ධය වහාම නවත්වන ලෙස බල කරමින්, ඇමරිකානු තානාපති කාර්යයාලයට සංදේශයක් භාර දීමේ විරෝධතා පා ගමනක් අද (මැයි 17) දින කොළඹදී සංවිධානය කර තිබුණි.

ලෝක යුධ විරෝධී සංධානය විසින් සංවිධානය කර තිබූ මෙම පා ගමන, දේශපාලන පක්ෂ, වෘත්තීය සමිති, කලාකරුවන්, ආගමික නායකයන්ගේ සහභාගීත්වයෙන් පවත්වන ලද අතර, මෙම විරෝධතා පා ගමනට නව සම සමාජ පක්ෂය ද සිය සහය පළ කරන ලදී.

එහිදී නව සම සමාජ පක්ෂයේ නඩරාජා ජෙනගන් සහ ප්‍රියන්ත වික්‍රමසිංහ සහෝදරවරුන් දැක්වූ අදහස් ද, ලංකා බැංකු සේවක සංගමයේ රන්ජන් සේනානායක සහ අනූප නන්දුල සහෝදරවරුන්ද, කලා ශිල්පී සේනක විජේසිංහ සහෝදරයා ද දැක්වූ අදහස් පහතින්.




වර්තමාන ඊශ්‍රායලය රාජ්‍යයක් ලෙස සැකසුනේ දෙවන ලෝක යුද්ධයෙන් පසු එක්සත් ජාතීන්, එනම් සෝවියට් දේශය සමග ලෝකය බෙදා ගත් ධනේශ්වර ලෝක බලවතුන්ගේ මැදහත්වීමෙනි. ඒ සඳහා වැය කෙරුණේ පලස්තීන ජනතාවගේ භූමියයි.

එහි ඇති හරි වැරදි ගැන විවාදයට මෙය වේලාව නොවේ. ඒ වෙනුවට මේ මොහොතේ පවතින්නේ, (සැබැවින්ම 1960 ගණන් වල අග භාගයේ දී ඊශ්‍රායලය විසින් පලස්තීනයට අයත් යයි උක්ත ලෝක බලවතුන් විසිම වෙන් කරන ලද භූමිය ආක්‍රමණය කිරීමේ ආරම්භයේ සිටම) ඊශ්‍රායලය හා පලස්තීනය අතර මායිම පිළිබඳ ගෝලීය බලවතුන් ඇති කළ එකඟත්වයන් බිඳහෙලීමයි.

එනම් පලස්තීන ජාතියට අයත් ලෙස සැලකූ භූමිය ආක්‍රමණය කිරීමයි. වර්තමානයේ සිදුවන්නේ පලස්තීන භූමිය ආක්‍රමණය කර අත්පත් කරගැනීම තවදුරටත් ඉදිරියට ගෙන යෑමයි.

මේ තත්ත්වයන් යටතේ පලස්තීනුවන්ගේ ‘ත්‍රස්තවාදයක්’ ගැන විලාප කීම සත්‍ය තත්ත්වය වසංකිරීමක් පමණි.

එක්සත් ජාතීන්ගේ වගකීම වන්නේ මේ මායිම පිළිබද ප්‍රශ්නය මග හැර ඊනියා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයට ලිපි ලිවීම නොවේ. තමන් විසින් සැකසූ අපර යුධ මායිම් වලින් පැන යමින් පලස්තීනය ආක්‍රමණය කිරීම වැලැක්වීමට බලය පාවිච්චි කිරීමයි. ඊශ්‍රායලය අවි බලය පාවිච්චි කරන්නේ නම් එක්සත් ජාතීන් නැතිනම් ලෝක බලවතුන් තමන් සතු අවි බලය යොදා පලස්තීන භූමියට ඇතුල්වී සිටින ඊශ්‍රායෙල් හමුදා ඊශ්‍රායෙල් මායිමෙන් එපිටට පලවා හැරීමට පියවර ගැනීමයි.

ආක්‍රමණිකයා හුරතල් කිරීමෙන් පලස්තීන ජනතාව දශක හයක් තිස්සේ මුහුණ දී සිටින අයුක්තියට උත්තර ලැබෙන්නේ නැත. ආක්‍රමණිකයා පලවා හැරීමට පියවර නොගැනීමෙන් හා ආක්‍රමණිකයාටම සහන සැලසීමේ වර්ථමාන ප්‍රතිපත්තිය දැඩිසේ ප්‍රතික්ෂේප කිරීම, පලස්තීනයේ ආරක්ෂාව සැබෑ ලෙස පතන අයගේ වගකීමයි. යුද්ධධයනැවතීමට ආයාචනය නොව ආක්‍රමණිකයා පලස්ථීන භූමියෙන් පලවා හරින ලෙස බල කර කියා සිටීමයි අද අවශ්‍ය වන්නේ.

ස්වපාලනය සදහා වූ ලංකාවේ දෙමළ ජනතාවගේ අරගලය ‘ත්‍රස්තවාදී’ වීමේ චෝදනාව මත ලෙයින් යකඩින් තලා දමා, තවදුරටත් යකඩ සපත්තුවෙන් මැඩගෙන සිටියි. ඊනියා ‘සිංහල බෞද්ධ’අයිතියක මුවාවෙන් පවත්වාගෙන යන අත්තනෝමතික රාජ්‍ය බලය මට්ටු කිරීමට කිසිම බරපතල ක්‍රියාමාර්ගයක් නොගෙන සිටීම දෙස බලන කල, ‘එක්සත් ජාතීන්’ පලස්තීන ජනතාව ගැන කරන සැලකීම තේරුම් ගත හැකිය. මේ පාගමනට පසු දිනයේ ‘සිංහල බෞද්ධ’ යුදවාදීන් තම ජාතියට කළ විනකැටීම දෙමළ ජනතාව සිහිපත් කරණු ඇත. නමුත් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් යුක්තිය මිරිඟුවක් වී ඈත ක්ෂිතිජයේ දිස් වෙනවා පමණි.

ලෝකයේ මනුස්ස අයිතිවාසිකම් ගැන කථා කිරීම නරක නැත. නමුත් තමන්ගේ රටේ (ලංකාවේ) අඩුතර ජනයාගේ මනුස්ස අයිතිවාසිකම් වෙනුවෙන් සටන් නොකර ලෝක මනුස්ස අයිතිවාසිකම් ගැන කථා කිරීම වංචාවකි. තමන්ගේ රටේ පුරවැසියන් කොටසකගේ විලාපයට ඇහුන්කන් දී ඒ වෙනුවෙන් සටන් නොකර ලෝක මනුස්ස අයිතිවාසිකම් ගැන කථා කිරීමට කිසිවකුට සදාචාරාත්මක අයිතියක් නැත. එය තමන්ගේ ප්‍රාථමික වගකීම නොතකා හරින්නකුගේ හිස් ප්‍රලාප දෙඩීමක් පමණි.

You may also like...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.