උන් සහ මුන් අතර සිරවුණු මිනිසුන්

ගෞරවණීය සාමයත්, මානුෂික යුද්ධයත් යන සංකල්ප පැමිණීමට පෙර මා මෙන්ම බහුතර සිංහලයන්ගේත් බලාපොරොත්තුව වූයේ අහිංසක සාමයක්. දෙමළ සිංහල කොල්ලෝ කෙල්ලන්ගේ ජීවිත බේරෙන සාමයක්. එහෙම නැතිව දෙමලූන්ගේ ඇට මස් විසිරුණු මිනී පිට්ටනියක් දුප්පත් සිංහල කොල්ලන්ගෙ ලේ වලින් සෝදා යුධ ජයක් පිළිබද වූ බලාපොරොත්තුවක් ඔවුන් තුළ නොවීය.

කෝවලන්, වෙන්පුරාවේ, සියොතුනේ උතුරුන් සහ නිලම්ඹරේ සුදු පරවි රෑන් ගැන ගී පද බැදුනේ එවැනි සමාජ වාතාවරණයක් තුළය. නම මතකයට නොනැගෙන එක් ටෙලි නාට්‍යයක් (“උතුරු කුරු සටන” වෙන්න ඕනෙ) අවසන් ජවනිකාව වන්නේ එක පැත්තකින් රාජ්‍ය හමුදාවත්, අනික් පැත්තෙන් කොටි සාමජිකයින් විසිනුත් වට කෙරෙනු ලැබූ මිතුරන් දෙදෙනෙකුගේ (එකෙකු කොටියෙක් වන අතර අනෙකා ආර්මි කාරයෙකි) දර්ශනයකිනි. පළා යාමට අවස්ථාවන් සුන් වූ මේ මොහොතේ කොටියා සිය සයනයිඩ් කරල සපන අතර සිය මිතුරාගේ ප්‍රාණය නිරුද්ධ සිරුර තුරුලූ කරගන්නා ආර්මි කාරයාද අර සයනයිඩ් කරල සපයි.

මීට දස වසරකට පමණ පෙර අප කිලිනොච්චියේ සිට වවුනියාවට එමින් සිටියා. ඒ සටන් විරාමෙ කාලෙ. පාලූවට ගිය පාරේ පයින් ඇවිද යමින් සිටි කොටි කෙල්ලෝ දෙන්නෙක් හැරී අපගේ වාහනය දෙස බලමින් ඉදිරියටම ගියා. ඔවුන් අසල වාහනය නවතා ඔවුන්ට ලිෆ්ට් එකක් දෙන්නට සූදානම් වූ විට ඔවුන් විමතියක් මුසු වුනු ලෙංගතු සිනහවක් මුවගේ නගාගෙන අපගේ වෑන් රථයට ගොඩ වුනා.

මට ඒ වන විට අවුරුදු 14ක් හෝ 15ක් විතර ඇති. ඔවුන් දෙදෙනා විසි ගණන් වල වන්නට ඇති. මට ඔවුන්ගේ මුහුණු මතක නැත. නමුත් ඒ මුහුණු වල විටින් විට නැගුනු ඉරියව් සහ ඉන් ප්‍රකාශ වුන හැගීම් වල චිත්‍රනයක් එදා සිට අද දක්වාම සිතේ නොමැකී තිබේ. කිලිනොච්චියේ ඔවුන්ගේ අවසන් මුරපොළ ගාවින් අප ඔවුන්ගෙන් සමු ගත්තා. නමුත් ඒ ගමනත්, ඒ වෙන්වීම තුළත් වූ සාමය පිළිබද බලාපොරොත්තුව එදා ඔවුන්ගේත් මගේත් සිතේ ඇදුනේ එකම විදියටයි.

දයාඹර අක්කේ, උඹලා දෙදෙනා අද ජීවත්වනවාදැයි මම නොදනිමි. මූනිස්සමක් උඹලාගේ හදවත් පසාරු කළාද නැතිනම් තිරිසනෙකු ආශාවන් හමුවේ උඹලාගේ සිරුරු වැනසුනිදැයි මම නොදනිමි. අන්තර්ජාලයේ විසිරී ඇති නිරුවත් සිරුරු අතරේ උඹලාගේ සිරුරුත් ඇතිදැයි මම නොදනිමි.

ඒත් මට උඹලාට වඩා සිංහලයා ගැන දුකක් තියෙනව. උඹලට නැති උනේ ජීවිතය, ගෞරවය තමන්ගෙ දේපල. ඒත් සිංහලයට අද ආත්මයම නැති වී තිබේ. අද සිංහලයා බුදු දහම පිළිපැදීම හෝ පැතිරවීම සදහා අබෞද්ධයින්ගේ සොහොන් මතින් බුද්ධ රාජ්‍යයක් පිහිටුවීමේ කථීකාවතක යෙදෙයි.

බුදුන් වෙනුවෙන් දිවි පිදීමට සූදානම් එක උපාසක මහත්තයෙක් සමග විවාදයකට පැටලී ඔහු කී ප්‍රකාශයකින් මා නිරුත්තර විය. එනම්, “ඔව් එහෙනම් අපි සේරම රහත් වෙමු. රටට ජාතියට හෙන ගැහිල ගියදෙන්….” ඉන් ඉදිරියට කුමක් කියන්නදැයි මට නොහැගුනි. ඔහුට අනුව ආත්මාර්ථය නැසීමම ආත්මාර්ථයයි. තෘෂ්ණාවෙන් වෙළී අනෙකා මරා දැමීම පරාර්ථකාමයයි. තමාව බෞද්ධයෙකු ලෙස සලකන්නෙකුට මීට වඩා පිරිහෙන්නට හැකිදැයි මම නොදනිමි.

ඉතින් අක්කේ, උඹල දෙන්නටත් කියන්න තියෙන්නේ රශ්මි සංගීතාවන් කෝවලන් ට කියූ දෙයෙහි අනෙක් පැත්තය. උඹල නැගිටිය යුතුය නැවත. සටන තවමත් ඉතුරුය. හුදු ජාතිවාදී රාමුවකට කොටු නොවූ, උඹත් මමත් මිනිසුන් ලෙස මිනිසුන් නොමරා මිනිසුන් වෙනුවෙන් ගෙන යා යුතු සටන තාම ඉතිරිය…

කුෂාන්

You may also like...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.