මාදුලාවේ සෝබිත මහ සමිඳු නැවතත් මතක් කරන්න කාලය ඇවිත්
මං උන්වහන්සේ සමඟ එකට වැඩ කළ කෙනෙක්. එක් අතකින් බුදු දහමේ යථා බව ගැන එළි පෙහෙලි කරල ගෙන ගිය සාකච්ඡාවන් තුළ උන්වහන්සේ තදින් මැදිහත් වුනා. එදා මහ ඇඳුරු නලින් සිල්වා වැනි ජගතුන් ධර්මය විඥානවාදයක් දෙසට ඇදගෙන යාමට විරුද්ධව අපට එකට වැඩ කරන්න සිද්ධ වුනා. අනෙක් අතට මේ රටේ ජාතික සම්පත් හා මානව අයිතීන් විනාශ වීමෙන් ගලවා ගැන්ම උඩ පාරට බැහැල ජනතා අරගලයන් ගෙන යාමට අවශ්‍ය වුනා. ඒ ගැනත් පොදු අරගල ක‍්‍රියා මාර්ගයකට උන් වහන්සේ මැදිහත් වුනා. එතැන දී ජාතිවාදීන් එම සටන් තුලට ඇතුල්වීම ගැන ප‍්‍රශ්නයක් මතු වුනා. මේ විදියට විවිධ බලපෑම් තුල ඇත්ත සොයා යන මගකට, සාධාරණය ඇති කිරීමේ ගමනකට යෑම වෙනුවෙන් උන්වහන්සේ කැප වුනා.
එවන් දුෂ්කර ගමණක් හරහා ඇවිත් පැවැති ඒකාධිපති දූෂිත පාලනය පෙරලා දැමීමේ වැඩ පිළිවෙල තුලත් උන් වහන්සේ ලොකු බරක් කරට ගත්තා. එහි ජය පෙනෙන විටම අප අතරින් උන්වහන්සේ සමු ගත්ත. හරියටම “…ඔන්න මං උවමනා දේ කළා. උඹලා ඉතිරිය කරපල්ලා…” කියන ආකාරයට උන් වහස්සේ වෙන් වී ගියා. ලංකා ඉතිහාසය පුරාම සෝබිත හිමියන් මෙන් සමාජ ගමන වෙනස් කිරීමට මැදහත් වුන හාමුදුරුවරුන් ගැන මහා වංශයෙත් සඳහන් වෙනව. ඒ අතරට ජාතියේ ගමන, රට ගිය පාර මකාලීමට මැදහත් වුන දුෂ්ඨ මහනුන් ගැනත් එම රජ කථා හා වංශ කථා වල සඳහන් වෙනව. මත්මනෙත් ඒ ලෙසට අමන චීවරධාරින් අතර රන් තරුවක් ලෙස බැබලෙමින් සෝබිත මහ ස්වාමිදරුවන් විශාල මෙහෙවරක් ජනතා ගමනට ඉටු කළා.
එතැනදී විවිධ දුෂ්කරතා වලට මුහුණ දෙන්නට සෝබිත හාමුදුරුවරුන්ට සිද්ධ වුනා. ඒවායින් කිසිසේත් සැළුනේ නෑ එතුමෝ. හිතා මතා වාහන ගැටුම් ඇති කිරීමට, වෙඩි තබා මරා දැමීමට සැලසුම් ඇති බව පෙනුනා. එයින් සැලෙන්නෙක් උනෙත් නෑ. සමහර නායකයන්ගේ දුර්වලකම් ගැන උන්වහන්සේ කම්පා වුනත් ඔවුන් යහ මගට ගැනීමට පියවර ගත්තා මිස සටන අත්හැර දැමීමට කල්පනා කළේ නෑ. සෝබිත හිමියන් සමඟ මුලදී බුදු සමයේ ඥාන විභාගය ගැනත් ලංකාවේ ජාතික ප‍්‍රශ්නයට විසඳුම ගැනත් මතභේද ඇති වුනා. ඒ උඩ වෙන් වෙලා අප කටයුතු කළත් නැවත අලුත් මගත් ගෙන එකතු වෙන්නත් හැකි වුනා.
බුදු දහම අනුව මිනිසා දැනුම ලබා ගැන්මට මාවත් දෙකක් තියෙනව. පළමුවෙන් සාමාන්‍ය දැනුම ලෙස තර්කය යොදාගෙන විමසීම සඳහන් වෙනව. එය අනුසොතගාමී යනුවෙන් හැඳින්වෙනව. මේ ගැන සමිත හිමියන් දැරුවේ එය වත් පෙළිවෙත් ප‍්‍රශ්නයක් හැටියටයි. අනෙක් අතට ඇත්ත ඇති සැටියෙන් දැකීමට තර්කනය ඉක්මවා ගොස් පටිසොතගාමී ගමනක් විය යුතු බව සඳහන් වෙනව. එය අපෝහක ගුණයක් ලෙස ඉදිරිපත් වෙනව. මේ ගැන අපේ මහාචාර්ය කරුණාදාස වැනි පඬිවරුන් සහිත සභා වලදී සාකච්ඡා කළා. මේ වැනි ක‍්‍රියාමාර්ග තුලින් ඇත්ත ඇති සැටියෙන් වටහා ගැන්ම ගැන ජනතාව අවදි කළා.
අනෙක් අතට එක්සත් ජාතික පක්ෂය තුළ ඇති බෙදීම් නවත්වා ගැන්ම වෙනුවෙනුත් උන්වහන්සේ මැදිහත් වුනා. ඒ උන්වහන්සේට පෙනුන නිසා එක්සත් ජාතික පක්ෂය සම්පූර්ණයෙන් මැදිහත් නොවී ශක්තිමත් බලවේගයක් ගොඩ නැගීමට නොහැකි බව. අපි ඒ දවස් වල විපක්ෂයේ විරෝධය නැමැති එකමුතුවක වැඩ කළා. ඒ 2008 වසරේ ඉඳලයි. එයට ආසිරි පැතුවත් උන්වහන්සේ එයට එකතු වුනේ නෑ. ඒ අනුව සාධාරණයක් සඳහා ජනතා ව්‍යාපාරය උන්වහන්සේ ඇති කළා. අපටත් එයට එකතු වීමට ඉඩ සලසා දුන්නා. ඒ අනුව කෙලින්ම දේශපාලන පක්ෂ වලට නොබැඳුණු බලවේගයක් ඇති කිරීමට ක‍්‍රියා කිරීම උන්වහන්සේ ගේ උවමනාව වුනා.
කෙසේ වෙතත් මේ දෙකම එකතු වී සමඟි බලයක් විය යුතු බව උන්වහන්සේගේ අදහස උනා. ඇත්තටම මේ ගමන සියයට සියයක් හරි ගියා. ඒ අනුව විශාල ජනතා බලයක් එකට එකතු වීමට ඉඩ සැලසුනා. දේශපාලන පක්ෂ, දේශපාලනයට නුහුරු ප‍්‍රජාතන්ත‍්‍රවාදී සංවිධාන, සමාජ සංවිධාන, වෘත්තීය සමිති, මාධ්‍ය සංවිධාන, ප‍්‍රජාතන්ත‍්‍රවාදී ආගමික සංවිධාන ආදී ලෙසට පුළුල් බලයක් එකතු වීම සඳහා උන්වහන්සේ උරගලක් වුනා. උන් වහන්සේ ජනාධිපති අපේක්ෂකයා විය යුතුය යන මතය ඒ උඩ ඇති වුනා මිසක උන්වහන්සේ ඇති කළ දෙයක් නෙමෙයි. මේ ලෙස උදාර සේවයක් ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජනතා නැගිටීමකට මග පෑදූ උන්වහන්සේ පැතූ ලෝකය දෙසට ගමන් කිරීම අපට ඇති වගකීම බව සැමට මතක් කර දිය යුතු වෙනව.
2017 ඔක්තෝම්බර් 30
ලක්බිම “නිනව්ව”
සබැදි ලිපි
3 Responses
[…] […]
[…] […]
[…] […]