බෞද්ධයින්ට හරක් මස් අකැපද?
ලංකාව තුළ ගව ඝාතනය තහනම් කිරීමටත්, හරක් මස් පිටරටින් ආනයනය කිරීමටත් ආණ්ඩුව විසින් හදිසියේ ගෙනා යෝජනාව උඩ, මේ පිළිබඳ කතිකාවක් රට තුළ ඉස්මතු විය. එම තීරණය මසකින් කල් ගියද මේ පිළිබඳ අදහස් දැක්වීම් විවිධ තැන් වලින් ඉදිරියට පැමිණෙමින් තිබේ.
මෙහිදී ගව ඝාතනය තහනම් කිරීමට පක්ෂව අදහස් දක්වන්නන් අතර මතුව එන තර්කයක් නම් ‘බෞද්ධයින්’ වශයෙන් ගව ඝාතනයට විරුද්ධ විය යුතු බවයි.
ආසියාතික කෘෂිකාර්මික කොමියූනයේ බලපෑම නිරූපනය කරමින් හින්දු ආගම තුළ ගවයා පූජනීය සත්වයෙකු ලෙස සැළකුවද, බුද්ධ ධර්මය තුළ එසේ එක් සත්ව වර්ගයක ප්‍රාණය අන් සත්ත්වය වර්ගයක ප්‍රාණයෙන් වෙනස්කොට, වටිනාකම වර්ගකර දැක්වීමක් තිබේ ද?
කෙසේ වෙතත් අද වන විට සත්ව පාලනය එදා මෙන් කෘෂිකර්මයේ කොටසක් ලෙස නොව හුදු සත්ව නිෂ්පාදන මගින් ලාබ ලැබීමේ පරමාර්ථයෙන් කරගෙන යන තතු යටතේ තත්ත්වයන්ගේ වෙනස්කම් රාශියක් සිදුවී ඇත්තේ ය.
මෙම කතිකාවත ගොඩ නගමින්, ජ්‍යෙෂ්ට වෘත්තීය සමිති නායකයෙකු වන ප්‍රියන්ත වික්‍රමසිංහ සිය මුහුනු පොතට හඬ පටයක් එක් කර තිබෙනු අපට හමු වූ අතර, මේ නැගී ආ සාකච්ඡාව සාධනීය ලෙස වර්ධනය කර ගැනීම සඳහා ඔහුගේ අදහස් දැක්වීම ද වැදගත් වේ යැයි යන හැඟීමෙන් එය ඔබ වෙත ඉදිරිපත් කරන්නට තීරණය කළෙමු.
මෙහිදී ඔහු බුදු දහමේ හිංසනයෙන් වැළකෙන ලෙස වන ප්‍රකාශයන් උපුටා දක්වමින් එහි සැබෑ අරුත විශ්ලේෂණය කිරීමට යොමු වෙයි.
බුදු දහමට අනුව කර්මයක් ගොඩ නැගෙන්නේ චේතනාව මතය. ජීවය නම් සතා සීපාවාට පමණක් නොව ගහකොළට ත් පොදු දෙයකි. හුදෙක් ජීවයක් නැසීම වැරදි නම් කෑමට කිසිවක් ඉතිරි නොවේ.
සොබා දහම නිවැරදිව දුටු බුදුන්, අන්තවාදී හෝ ප්‍රානීන් වර්ගකර කරුණාව දැක්වීමේ වංචනික අවිහින්සා වාදයකට නොගොස් චේතනාවට මූලික තැන දී දේශනාව කළේ එනිසා ය.
ආහාර ලබා ගැනීම සඳහා එක ජීවයක් තව ජීවයක් වෙනුවෙන් දායක වීම සොබා දහමේ නීතියයි. මුවා ගහක දළු කඩන්නේත්, සිංහයා මුවා මතට පනින්නේත් ආහාර සඳහාය. චේතනාව ආහාරය මිස අනෙකා ගැන වෛරයක්, ද්වේශයක් නොවේ.
සොබා දහමට අනුව ආහාරය සඳහා ය යන චේතනාව හා අනෙකා කෙරෙහි ඇති වෛරය නැතිනම් ද්වේශ සහගත චේතනාව තෘප්තිමත් කර ගැනීම සදහා සිදු කරන ඝාතන කර්ම සමාන නොවන්නේ ඒ නිසයි.
වෛරය හා ද්වේශය මත කරන ඝාතන / විනාශයන් දේශප්‍රේමය වෙනුවෙන් කරන, සිංහල-බෞද්ධ සංස්කෘතියට අනුකූල ලෙස ද, ඒවාට විරුද්ධ වීම දේශද්‍රෝහී කමක් ලෙසද සලකන වටපිටාවක, කුසට අහරක් ලබා ගැනීමේ චේතනාවෙන් කරන ඝාතනයක් තහනම් කළ යුතු යැයි මතවාදයක් ගොඩ නැගීම විහිළු සහගතය.
මෙම ගව ඝාතන විරෝධය තුළ ගැබ්ව ඇත්තේ ද, සත්ත්ව කරුණාව හෝ අවිහින්සාවාදයද? නැත්නම් සහෝදර මිනිස් කොට්ඨාශයක් පිළිබඳව වෛරය වැපිරවීමක් ද යන්න පිළිබඳව ද එහි දී අප සැළකිලිමත් විය යුතු වෙමු.
විල්පත්තුව වටේ ඇති කැලෑ ගැන තිබූ අමාරුව සිංහරාජය මැදිං යන පාරවල් සම්බන්ධයෙන් නොපවතින බව ද මෙම ගව ඝාතන විරෝධයට සමාන්තරව සැළකිල්ලට ගැනීම වැදගත් බවට අපට හැඟී යයි.
බෞද්ධයින් වශයෙන් කළ යුතු වන්නේ, කුමන හෝ හේතුවක් මත තමං කෑමට අකමැති වූ පමණින් එම ආහාරය කෑමට අනෙකා ට ඇති ඉඩ ප්‍රස්ථාව බලය යොදා නැති කර දැමීම නොව, වෙනස් වන ලෝකයේ සියලුම විශයයන්ට අදාල වනවා සේම, දිවට දැනෙන රසයට වුවද ඇලීමක් ඇති කර ගත හොත් එය ද දුකට හේතුවන බව වටහාගෙන අනෙකාටත් එය කියා දීම බව අපගේ අදහසයි.
එසේ හෙයින්, යම් පිරිසකගේ ආහාර රුචිකත්වය පිළිබඳ කාරණයක්, ජාතිවාදයකට තල්ලු කිරීමට ඉඩ නොතබා, නිවැරදි සිහියෙන් අදාල තත්වයන් විග්රහ කර ගැනීමට ප්‍රියන්ත වික්‍රමසිංහ සහෝදරයාගේ මෙම අදහස් දැක්වීම මගින් ඔබට යම් ඉඩ හසරක් ලැබේ යැයි සිතමින් එම අදහස් දැක්වීමට අදාල හඬ පටය පහතින් සටහන් කරමු.
Posted by Priyantha Wickramasinghe on Sunday, September 13, 2020
සබැදි ලිපි
1 Response
[…] බෞද්ධයින්ට හරක් මස් අකැපද? […]