වසර 13 ට පසුවත් සාධාරණය ඉටුවීම පමා වෙයි
කම්කරු නායකයෙකු අසාධාරණ ලෙස සේවයෙන් පහ කිරීමට විරුද්ධව වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ගැනීම හේතුවෙන් රැකියාවෙන් පහ කරනු ලැබූවන් 159 දෙනෙකු නැවත සේවයේ හිග වැටුප් සහිතව පිහිටුවන ලෙස කම්කරු අධිකරණය විසින් බේරුම්කරන ප්‍රදානයක් ලබා දී තිබේ. මේ සම්බන්ධයෙන් එම අරගලයේ නිරත වූ ලංකා වෙළද කාර්මික හා පොදු කම්කරු සංගමයේ ප්‍රධාන ලේකම් සිල්වෙස්ටර් ජයකොඩි විසින් අප වෙත යොමු කරන ලද ලිපිය මෙසේ ඔබ වෙත ඉදිරිපත් කරමු. මෙසේ ලබා දුන් ප්රදානය ඇතුලත් ගැසට් පත්‍රය, කම්කරු අයිතිවාසිකම් පිළිබදව උනන්දුව දක්වන හා සටන් වැදීමට ඉදිරිපත් වන්නන්ගේ කියවීම සදහා, ලිපිය අවසානයේ අමුනා තිබේ.
2007 දෙසැම්බර් මස 28 වන දින ඒකල, ජාඇල, රිචඩ් පීරිස් කර්මාන්තශාලාවේ CMU ශාඛා ලේකම්වරයා සේවයෙන් පහ කිරීම හේතුකොටගෙන වැඩ වර්ජනය ආරම්භ විය.
එම කාල වකවානුව තුළදී සමාගම සමග ආරවුලට නායතත්වයදී සිටියේ එවකට සිටි ප්‍රධාන ලේකම් බාලා තම්පෝ මහතාය. ප්‍රධාන ලේකම් බාලා තම්පෝ මහතා විසින් කම්කරු ඇමති, කම්කරු කොමසාරිස්, සමග පවත්වන ලද සාකච්ඡා වලින් ආරවුල විසඳීමට නොහැකිවූ අතර ශාඛා ලේකම්ගේ වැඩ නැවැත්වීම පිළිබඳව විරෝධය දක්වමින් ආරම්භ කරන ලද වැඩවර්ජනය අතරතුර 2008 ජූලි මස 7 වැනි දින කාර්මික ආරවුල් පනත යටතේ බේරුම්කරණයකට යොමු කරන ලදී.
මේ තත්ත්වය යටතේ 2008 ජූලි මස 29 වන දින වැඩ වර්ජනය අත්හිටුවා සේවයට වාර්තා කරන ලද සියලුම සේවකයන්ට වැඩ ලබා නොදීමේ හේතුව මත තවත් ආරවුලක් ඇති විය.
කම්කරුදෙපාර්තමේන්තුවේ සාකච්ඡා ගණනාවක් පවත්වන ලද නමුත් කිසිදු විසඳුමකට එළඹීමට සමාගම එකඟ නොවීය. එවකට කම්කරු ඇමතිවරයා වශයෙන් සිටි ආතාවුද සෙනෙවිරත්න මහතා කම්කරු සම්බන්ධතා කොමසාරිස් වශයෙන් සිටි, ඩී. එම්. එස්. දිසානායක මහතා සහ කම්කරු අමාත්‍යංශ ලේකම් මහින්ද මඩිහහේවා මහතා ද විවිධ යොජනා මගින් විසඳුමක් ඇති කිරීමට දරන ලද සියලු උත්සාහයන් අසාර්ථක විය.
ඒ අනුව එම වැඩ වර්ජනයට සහභාගී වී සිටී 161 දෙනෙකුගේ සේවය ප්‍රතික්ෂේප කිරීමේ ආරවුල ද කම්කරු ආරවුල් පනත යටතේ විනිශ්චයකට යොමු කරන ලදී.
ශාඛා ලේකම් සේවයෙන් පහ කිරීම හා 161 දෙනෙකුට සේවයේ ප්‍රතික්ෂේප කිරීම යන ආරවුල් දෙකම එකම විනිශ්චයකරුවෙකු ට යොමු කිරීම ට එරෙහිව සමාගම විසින් අභියාචනාධිකරණයෙන් රිට් ආඥාවක් ඉල්ලා සිටින ලදී.
මෙරට පවතින නීති අනුව විවිධ අධිකරණ ක්‍රියාමාර්ග තුළ නඩු කල් ගතවීමෙන් බරපතල අසාධාරණයට මුහුණපාන්නේ වැඩකරන ජනතාව බව ඔප්පු කිරීමට මෙම ආරවුලද කිදිම නිදසුනකි.
එම අධිකරණ ක්‍රියාවලිය අවසානයේ දී, 2013 සැප්තැම්බර් මස වෙනත් බේරුම්කරුවෙකු, මෙම සේවකයන් 161 දෙනාගේ සේවය අහිමි කිරීම පිළිබඳව විභාග කිරීමට පත් කරන ලදී.
2011 දෙසැම්බර් 9 වන දින වන විට ශාක ලේඛම්ගේ සේවයෙන් පහ කිරීම් විභාගය අනුව එම සේවයෙන් පහකිරීම යුක්ති සහගත නොවන බවට බේරුම්කරු විසින් තීරණය කර, නැවත සේවය ස්ථාපිත කරන ලෙසට දී තිබූ නඩු තීන්දුවට එරෙහිව සමාගම අභියාචනාධිකරණයට ඉල්ලුම් පතක් ඉදිරිපත් කර තිබුණි.
මේ අතර 161 ට රැකියාව ප්‍රතික්ෂේප කිරීම පිළිබඳව නඩු විභාගය 2013 ඔක්තෝබර් ආරම්භ වී 2018 අගෝස්තු මාසය දක්වා වසර 5ක් නඩුවාර 56 ක් පැවතුණි.
එම නඩු විභාගයේ තීන්දුව 2020 අගෝස්තු මස ප්‍රකාශයට පත් කරන ලදී .
එම තීන්දුවට අනුව සේවකයන් සේවයෙන් පහකිරීම අසාධාරණ බවට තීරණය කර ඇති අතර ඒ වනවිට ඉතිරිව සිටි 159 දෙනාට නැවත රැකියාව ලබාදී, ඔවුන් අවසන් වරට ලබමින් සිටි මාසික මුලික වැටුප අනුව ගණන් බලා හිඟ වැටුප් සහිතව ලබාදිය යුතු බවට නියෝග කර ඇත.
එසේම එම හිඟ වැටුප් මත ඔවුන්ට හිමි සේවක අර්ථසාධක අරමුදල්, සේවක භාරකාර අරමුදල්, පාරිතෝෂික දීමනා ආදී ආදී ව්‍යවස්ථාපිත ප්රතිලාභ හිමි යුතු බවට ද නියෝග කර ඇත.
මෙම සියලුම හිඟ වැටුප් සහ අදාල මුදල් එම නියෝගය ගැසට් පත්‍රයේ පළ වූ දින සිට මාස තුනක් ඇතුළත කම්කරු කාර්යාලය තැන්පත් කළ යුතු බවට ද වැඩිදුරටත් නියෝගය සඳහන් වේ.
මේ වනවිට සාමාජිකයන් දෙදෙනෙකු ජීවිතයෙන් සමුගෙන ඇති අතර තවත් සාමාජිකයන් ජීවිතයේ නොවිඳි දුක් කම්කටුලු විඳ ඇත.
ප්රශ්නය වන්නේ වැඩ කරන ජනතාවට සිදුවන අසාධාරණයකදී යුක්තිය ඉෂ්ට කර ගැනීම සඳහා ගතවන කාලයයි. මෙම තත්ත්වය වෙනස් කිරීම සඳහා අධිකරණ ක්‍රියා පද්ධතියේ යුක්ති සහගත වෙනසක් අත්‍යාවශ්‍ය බව මේ වන විට පැහැදිලිය.
සිල්වෙස්ටර් ජයකොඩි
ලංකා වෙළද කාර්මික හා පොදු කම්කරු සංගමය (CMU)
ප්‍රධාන ලේකම්
සබැදි ලිපි
- බාලා තම්පෝ සහෝදරයාගේ 06 වන ගුණ සමරුව (වීඩියෝ)
- සමාජ ආරක්ෂණ යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කිරීම අද අත්‍යාවශ්‍යයි – CMU
- තවත් මාස හයක් පඩි බාගෙන් ජීවත් වෙන්න බෑ – CMU සටනේ