ප්‍රජාතන්ත්‍රීය අරගලයට නායකත්වය දීම මාක්ස්වාදීන්ගේ මූලික කාර්යයකි

Terence Purasinghe

වික්‍රමබාහු සහෝදරයා විසින් “ලීනස් ජයතිලක සහෝදරයා” ගැන ඉදිරිපත් කරනු ලැබූ විවේචනය මුල් කරගෙන සුමනසිරි ලියනගේ ප්‍රමුඛ සහෝදරවරුන් කිහිපදෙනකු ස්වකීය මත පලකර තිබේ.

එහිදී වික්‍රමබාහු සහෝදරයා සම්බන්ධයෙන් ප්‍රබල විවේචන ඉදිරිපත් වීමක් දක්නට ලැබුණි.

පසුගිය දශක කිහිපය තුළ වික්‍රමබාහු සහෝදරයා ප්‍රමුඛ නව සම සමාජ පක්ෂ දේශපාලනයේ වඩාත් කැපී පෙණුනු අංගයන් වූයේ සභාගවාදයට විරුද්ධ එක්සත් පෙරමුණු දේශපාලනය (මෙය භාවිතයේදී සාර්ථක නොවුවද) සහ ජාතික ප්‍රශ්නය පිළිබඳ ස්ථාවරයයි.

මෙහිදී පිඩිත ජාතීන්ගේ අරගලය මුල්කරගත් ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා අරගලය තුළ සක්‍රීය මැදිහත් වීමක් වික්‍රමබාහු සහෝදරයා විසින් සිදුකරන ලදී.

ලංකාවේ උතුරු/නැගෙනහිර සන්නද්ධ අරගලය නිමවීමෙන් පසු සමස්ත දිවයින තුළ වර්ධනය වූ ෆැසිසට් තාලයේ අධිකාරිවාදී රාජපක්ෂ පාලනයෙන් මෙරටේ ප්‍රජාතන්ත්‍රවාදය බරපතල අභියෝගයට ලක්වූ අතර, එම අභියෝගය පරාජය කිරීම සඳහා සියලු ප්‍රජාතන්ත්‍රවාදී බලවේගයන් සමග එක්සත්ව සටන් කිරීමට නව සම සමජ පක්ෂය මැදිහත්වීම එම පක්ෂයේ නිවැරිදි ස්ථාවරයක් විය. එහිදී එක්සත් ජාතික පක්ෂය සමග පවා එක්සත් සටන් ක්‍රියාමාර්ග වලට සම්බන්ධවීම දේශපාලන වශයෙන් වැරදි තීරණයක් නොවීය. මක්නිසාදයත් ප්‍රජාතන්ත්‍රවාදය දිනාගැනීම උදෙසා වන අරගලය සමාජවාදී විප්ලවයේම කොටසක් වන බැවිනි.

“ජාතික ප්‍රතිපත්තිය සහ නිර්ධන පාංතික ජාත්‍යන්තරවාදය”  නැමැති ලියවිල්ලෙහි ලෙනින් මෙසේ සඳහන් කරයි. එනම් “සමාජවාදී විප්ලවය එක් තනිවූ ක්‍රියාවක් නොවේ. එය එක් පෙරමුණක එක් සංග්‍රාමයක් ද නොවේ. එය තියුණු පංති සටන් වල පූර්ණ යුගයකි. සෑම පෙරමුණක සියලු ආර්ථික හා දේශපාලනික ප්‍රශ්න අරබයා කෙරෙන සංග්‍රාම වල දීර්ඝ පෙළකි…. ප්‍රජාතන්ත්‍රවාදය සඳහා කරන සටන නිසා නිර්ධන පංතිය සමාජවාදී විප්ලවයෙන් ඈත්කරවීමට එයින් සඟවා තැබීමට, මුවාකර තැබීමට ආදි දේ කිරීමට හැකියැයි සිතීම බරපතල වරදකි. එයට පටහැනිව පූර්ණ ප්‍රජාතන්ත්‍රවාදය ව්‍යවහාරික ලෙස ක්‍රියාවක නොයෙදවන ජයග්‍රාහී සමාජවාදයක්ද තිබිය නොහැකිවාක් මෙන්ම, ප්‍රජාතන්ත්‍රවාදය සඳහා සර්ව පාර්ශවීය ස්ථිරසාර විප්ලවීය අරගලයක් කරන්නේ නැතිව නිර්ධන පංතියට ධනපති පංතිය පරදවා ජයගැනීම සඳහා සුදානම් වීමටද නොහැකිය” යනුවෙනි.

ලෙනින්ගේ උක්ත විග්‍රහයෙන් පැහැදිළි වන්නේ ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා අරගලයට මැදිහත්වීම මාක්ස්වාදීන්ගේ මූලික කාර්යයක් වන බවය. එහෙයින් මෙවර මහා මැතිවරණය සඳහා කළුතර දිස්ත්‍රික්කයෙන් එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයකු වශයෙන් වික්‍රමබාහු සහෝදරයා නාම යෝජනා ඉදිරිපත් කරන තෙක් ඔහු විසින් ක්‍රියාත්මක කළ දේශපාලන ස්ථාවරයන්ගේ නිරවද්‍යතාවය පිළිබඳව බරපතල විවේචනයක් මා තුළ නොමැත.

එහෙත් ඔහු එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයකු ලෙස තරඟ කිරීම පිළිබඳ ගැටළුව මෙහිදී බැහැර කළ නොහැක. එම ක්‍රියාමාර්ගයෙහි වැරදි බව හෝ නිවැරදි බව ඉතිහාසය විසින් තීරණය කරනු ඇත.

මහාචාර්ය ටෙරන්ස් පුරසිංහ – (ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යා අධ්‍යයනාංශයේ අංශාධිපති)

සබැදි ලිපි

You may also like...

2 Responses

  1. නසසප වෙනු⁣වෙන් දිවි පිදු සහොදරයන්ට කරපු බරපතල නින්දාවක්,තවත් විශාල පාවාදිමක්..

    • haraya says:

      මොකක්ද නින්දාව? පාවා දීම? පැත්තකට වී බැන බැන නොඉද දිගටම අරගලයේ රැදීම ද?

      තවත් කිව්වේ? කලින් කරපු පාවා දීම් මොනවාද?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.