සමාජය පවතින්නේ මිනිසාගේ ගනුදෙනුව උඩයි.

සේයා - අන්තර්ජාලයෙන්

මේ ලෙසට ගනුදෙනුව කරන ආකාරය තීන්දු වන්නේ ඉතිහාසය තුළ මිනිසා ආහාර හා අනෙකුත් දේ ලබා ගන්නා ක්‍රමයන් තුළයි. වෙනත් වචන වලින් කියනව නම් පංති සමාජය තුළයි. සමාජය ඇරඹෙන්නේ පවුල තුලින්. පවුල අම්මලා උඩයි ක්‍රියාත්මක වන්නේ. ඒ අම්මා හැර තාත්තා හදුනා ගැනීම එලිපිට ලැබෙන දෙයක් නොවන නිසයි. අම්මාවරුන්ගේ බලය එන්නේ හැම දරුවන්ටම සළකන ආකාරය උඩයි. ආත්තම්මලාගේ ඉදල පහලට ළමුන් හදන අම්මාවරුන් සමාජය තුළ අම්මා වරුන්ම මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා යන ධර්මයන් ඇති කළා. දරුවන්ට සමානව සළකනවිට මේ ලෙසට හැගීම් සංවිධාන වීම නිතැතින්ම කෙරුණා. ඒ, කිරිබොන, අම්මාගේ උකුලේ විශාල කාලයක් ගෙවන මොළය මුහුකුරා ගිය සත්වයා බිහි කළාම අම්මාගේ රාජකාරිය විශාල වූ නිසයි. සත්ව ලෝකයෙන් මනුස්ස ලෝකයට මානවයා ඇදගෙන ගියේ කාන්තාව කියල තියෙන්නේ ඒ නිසයි. අපේ ලගම සතා වුනත් අම්මලාගේ ආජකාරිය බඩ ඇතුලේ මිස උකුලේ සිදුවන්නේ නෑ. උපන් ගමන් මුකුත් බැරි ඒත් ලොකු මොළයකට යා හැකි දරුවා වෙනුවෙන් මිනිස් අම්මලා ගත් වෙහෙස මනුෂ්‍යත්වයේ පදනම වෙනවා.

එතනින් තමා අනෙකා ගැන සිතන්නට ආරම්භ වෙන්නේ. අනික් කුඩා දරුවන් ගැන විපරම තුළින් අනෙකාගේ විපරම ඉහලට ගලා යනවා. එය සමාජය බවට පත් වෙද්දී අම්මාවරුන්ගේ රාජකාරිය වඩාත්ම සමාජ වගකීමක් වෙනවා. අම්මා දරුවන්ට දෙන යුක්තිය, සාධාරණය පවුල් වලටත්, සමාජයටත් ගලාගෙන යනවා. ඒ නිසා දරුවන්ගේ හැසිරීම අම්මාවරු පමණක් වගකියන දෙයක් නොවෙයි. එය පවුලටත් වඩා සමාජයම වගකිව යුත්තක්. පාසල එයින් ලොකු කොටසක් භාරගෙන තිබෙනවා. එතකොට පාසල්වල තත්වය අනුව සදාචාරය වෙනස්වෙනව කියල මථයක්, හැගීමක් දියත් වෙනවා. හුගක් වෙලාවට හැසිරීම ගැන බලද්දී, ”මොන ඉස්කෝලෙටද ළමයි ගියේ” කියල අහන බව අපි කවුරුත් දන්නවා. හොද සීලාචාර ළමයි ඉහල පාසල් වලින් බිහිවෙනවා කියන අදහස ලොව පතල අදහසක්. මොන ලොක්කා වුනත් යුක්තිය සාධාරණය උඩ දන ගහල තම වරද බාර ගන්න ගතිය ලොකු පාසැල් වලට ගියහම ලැබෙනව කියල අදහසක් තියෙනවා. විශේෂයෙන් ඉගෙනීමේදී අකුරු ඉගෙනීම හා ක්‍රීඩා, සරඹ, වාදවිවාද තරග, චාරිකා ආදී සියලු දේවල් තුළ සදාචාරශීලීවීම ගලා යනව කියල කථාවක් තියෙනවා. මේ දවස් වල මන්ත්‍රීවරුන්ගේ සදාචාරය ගැන කථා කරන විට ”මුං මොන ඉස්කෝල වලටද ගියෙ” කියල අහන බවක් පේනවා.

ඇත්තටම ලොකු පොඩි කොයි පාසලත් හැදෙන්නේ ගුරුවරු හා ලොකු මහත්තයා උඩයි. විදුහල්පතිතුමා සාදාචාරශීලී නම් ප්‍රඥාවන්ත නම් පාසල හැදෙනව කියල හැගීමක් තියෙනවා. මෙතැනදී වැඩි බර වැටෙන්නේ පිරිමි ලොකු මහත්වරුන්ට. ඒ තවම පිරිමියා, පාලන බලයෙන් ඉහල තැනක සිටින නිසයි.

කොහොමටත් ආනන්ද, නාලන්ද, රෝයල්, ශාන්ත තෝමස්, විශාකා, දේවි බාලිකා වල උගත් අය සදාචාරශීලී කියල පිළිගැනීමක් තියෙනවා. හැබැයි මේ පාසල් වල ළමයි දමාගන්න දගලන්නේ සදාචාරයට වඩා විභාග සමත්වීම ගැන සළකල කියලයි අපට සිහිපත් වෙන්නේ. කොහොම වුනත් මධ්‍ය මහා විදුහල් ගැනත් ලොකු ආඩම්බරයක් රට තුළ තියෙනවා. පාසල අනුව පුද්ගලයන් සදාචාරශීලී වීම බලාපොරොත්තු වීම ගැනත් සලකන්න වෙනවා. මන්දයත් කලක් පැවතුන දේ තුළ යම් සම්ප්‍රදායන් තහවුරු වෙනවා කියල පිළිගැනීමක් තිබෙන නිසා. ඇත්තටම පාර්ලිමේන්තුවක් තුල කලක් දේශපාලනය කරල පුහුණු වුන අය වඩා සම්ප්‍රදායයන්ට ගරුකරල වැඩ කරනව කියල පිලිගැනීමක් තියෙනවා. ඒ අනුව පරම්පරාගත සම්ප්‍රදායයන් අනුව හැඩ ගැසීම සම්ප්‍රදායන් අනුව හැඩ ගැසීම සදාචාරයට අවශ්‍ය දෙයක් ලෙස සළකනවා.

සමාජ විප්ලවයන් වෙන ඉතිහාසය සැම විටකම පංති බලයේ හැඩ ගැස්ම තුළින් සමාජ වටිනාකම්, සදාචාරය අලුත් වෙනවා. ඇත්තටම දේශපාලනය උඩම සදාචාරය වෙනස් වෙනවා. සමාජවාදී යන අදහස තුළ සියලු මිනිස්කම ඇතුල්වෙලා තියෙනවා. කුළ භේද, පංති භේද, පරම්පරා භේද, වර්ග භේද අතහැරල හැමෝම සහෝදරවරු කියල පිළිගැනීමක් එතන ඇති වෙනවා. සහෝදරයා කියන ඇමතුම තුළම විශාල සදාචාරයක් ගැබ් වෙලා තියෙනවා. සහෝදරයා කියල අමතන්නේ අලුත් ගරුත්වයක් සහෝදරත්වයක් බලාපෙරොත්තුවෙන්. උස් පහත් අදහසක් නැතුව අපට සලකනවා කියන අදහස එය තුළ ගැබ්වෙලා තියෙනවා. වාසු සහෝදරයා ජාතිවාදී වුනේ කොහොමද කියල පුදුමයකට පත්වෙන අය ඒ ගැන සාකච්ඡා වෙනවා, කොහොමද මෙයාට සහෝදරයා කියන්නේ කියල. විප්ලවය, සමාජවාදය තුළ ඉතාමත් තදින් සදාචාර පෙරළියක් තියෙනවා. එම පෙරළිය හදවත් තුළට ගලායාම තුළින් යුක්තිය, සාධාරනය, මනුස්සකම – අම්මාවරුන් ඇති කළ මනුස්සකම – ගැබ් වෙලා තියෙනවා කියල හැම දෙනාම මතක තබා ගත යුතුයි.

2019.01.16
“නිනව්ව” ලක්බිම පළ විය

You may also like...

3 Responses

  1. Sanath Rajapakse says:

    මං හිතන්නේ මේ වගේ කියවන්න බාහු ගේ ලිපි එකතුව ක් තිබීම කාලෝචිතයි

  1. 2020-10-18

    […] සමාජය පවතින්නේ මිනිසාගේ ගනුදෙනුව උඩය… […]

  2. 2020-10-23

    […] සමාජය පවතින්නේ මිනිසාගේ ගනුදෙනුව උඩය… […]

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.