එදා වෙසක් – ඊලගට පාස්කු බෝම්බ – මෙදා කොරෝනා

මැයි දින සැමරුම!

2020 කම්කරු දිනය නිහඬ දිනයක් වී ඇත. ලෝකයේ වැඩකරන ජනතාවගේ හඬ යටපත් කරමින් කොවිඩ් 19 වෛරසය ක්‍රියාත්මක වේ. මෙම ස්භාවය අහිතකර කාර්මීකරණයේ හා යුධමය මෙවලම් නිෂ්පාදනයේ ප්‍රතිවිපාකයක් ලෙස ඇතැම් විශ්ලේෂකයෝ මත පළ කරති. මෙය ධනේශ්වර ආර්ථික සංවර්ධනයේ දැවැන්ත කඩා වැටීමකි. ඇති නැති, උස් පහත් බේදයකින් තොරව කොරෝනා වෛරසය ක්‍රියාත්මක වුවද, ලෝකයේ ජනාකීර්ණ කාර්මික නගර ආශ්‍රිතව වෛරසය පැතිරයාමේ සීඝ්‍ර ප්‍රවණතාවක් දැකගත හැක. නාගරික කම්කරු ජනතාව වෛරසයේ පහසු ගොදුරු බවට පත්ව සිටිති. ශ්‍රී ලංකාව ආශ්‍රයෙන් පෙනෙන චිත්‍රයද ඊට සමානය. කොළඹ, ගම්පහ, කලුතර දිස්ත්‍රික්කවල දිගින් දිගටම ක්‍රියාත්මක වන ලෙස ඇඳිරි නීතිය පනවා ඇත. වැඩිම ආසාදිතයින් එම දිස්ත්‍රික්කවලින් හමුවී තිබේ.

නාගරික කම්කරු ජනතාවගේ ක්‍රියාකාරිත්වය කොරෝනා වෛරසය හමුවේ නැවතී ඇත. දේශපාලන හඬඳ නිහඬය. ඔවුන්ගේ දේශපාලන රාවයේ උද්යෝගිමත් දිනය අකර්මන්‍යය. කම්කරු දිනය සැමරීම මීට වසර දෙකක සිට ඔවුන්ට අහිමිය. 2018 වසරේ වෙසක් සතිය නිමිතිකොට ‘කම්කරු දිනය’ දින දර්ශනයෙන් ඉවත් කෙරුණි. එය සතියකට කල් දමන ලදි. වෙසක් පොහෝ දිනය 2018 අප්‍රේල් 29 වෙනි යෙදෙන බව තීරණය විය. අප්‍රේල් 30 දිනද වෙසක් පෝය නිමිති කොට නිවාඩු දිනයක් ලෙස නම්කෙරුණි. වෙසක් පෝය දිනය මැයි 29 වෙනි දිනය බවට තර්ක විතර්ක මතුවිය. දින 07 කින් එළඹෙන දිනයේදී මැයි දිනය සැමරීමට ඇතැම් වාමාංශික පක්ෂ හා සංවිධානද එකග විය. මැයි දින සැමරුම බිඳී විසුරුණි.

එය 1987 මැයි දින සැමරුම සිහිපත් කිරීමකි. එදා මැයි දිනය කල් දැමීමට පැවති ධර්මිෂ්ඨ පාලනය හදිසි නීතිය උපයෝගී කරගත්තේය. 2018 පාලනය වෙසක් සතිය නිමිතිකර ගත්තේය. 2019 කම්කරු දිනය අවලංගු කිරීමට පාස්කු දින බෝම්බ ප්‍රහාරය හේතුවිය. එවර කම්කරු දිනය එළඹුණේ එම සිදුවීමට දින 09 කට පසුවය. නමුත් මැයි දින තහංචියට එම සිදුවීම පාදක  කරගත්තේය. අද කම්කරු දිනය සමරණ මොහොතේ දහස් ගණන් කම්කරු ජනතාව අව් වැසි නොතකා සහනාධාර පෝලිම්වල ලැග සිටිති. මෙහිදී දෛනික වැටුපකින් යැපෙන කම්කරුවන්ගේ තත්වය අතිශයින්ම කණගාටුදායකය. ඡන්ද නාමලේඛණ වලට ඇතුලත් නැති, කුලී නිවාස වල ජීවත්වන කම්කරු ජනතාව තවත් අසරණය. ඇතැමුන්ගේ නම් දුගී සහන ලේඛන වලට පවා ඇතුලත්ව නැත.

විද්‍යුත් මාධ්‍ය ඔස්සේ  ‘කම්කරු දින පණිවිඩ’ නිකුත් කරන පාලකයෝ, වැඩ කරන ජනතාව නගා සිටුවීමට නව ක්‍රමවේදයන් දියත් කළ යුතු බව කියා සිටිති. ඔවුන්ගේ ජීවන තත්ත්වය උසස් කිරීමට කඩිනම් පියවර ගත යුතු බව කියති. 2020 ලෝක කම්කරු දිනය, කොරෝනා වසංගතය තුළ ගිලී ගියද, එතුළින්ම මානව වර්ගයාගේ ඉදිරි පැවැත්ම සදහා නව ප්‍රවේශ මාර්ගයක් වෙත යොමුවීම අනිවාර්යය බව ඉස්මතුවීම සුවිශේෂී කරුණකි. එය දැඩි ලෙස ග්‍රහණය කර ගැනීම කම්කරු පංතිය, පක්ෂ හා සංවිධාන වල ද වගකීමකි.

ප්‍රියන්ත සිල්වා

You may also like...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.