නසසප මැයි දිනය 2024 “ස්වපාලනය මත පදනම් වන සමාජ ආර්ථික සංවර්ධන මාවතක් උදෙසා!”
නව සම සමාජ පක්ෂයේ 2024 මැයි දින රැස්වීම පසුගිය මැයි 01 දින උදෑසන 10.00 ට ගෑස් පහ, කොළඹ පැරණි නගර ශාලාවේ පවත්වන ලදී.
“ස්වපාලනය මත පදනම් වන සමාජ ආර්ථික සංවර්ධන මාවතක් උදෙසා!” තේමාව කරගත් මෙම රැස්වීමට රාධිත කථිකයන් ලෙස මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි සහ කොමියුනිස්ට් කේන්ද්‍රයේ ප්‍රධාන ලේකම් නීතිඥ ඉලයතම්බි තම්බයියා සහභාගී විය.
නව සම සමාජ පක්ෂයේ ප්‍රධාන කථිකයන් ලෙස රණත් කුමාරසිංහ සහ නඩරාජා ජෙනගන් සම්බන්ධ වූ අතර, සුන්දරම් මහේන්ද්‍රන්, රංජිත් ගමගේ සහ කුෂාන් කණිෂ්ක සහෝදරවරුන්ද කෙටි අදහස් දැක්වීම් සිදු කරන ලදී.
නව සම සමාජ පක්ෂයේ 2024 මැයි දින සැමරුම අතරතුර සිංහල සහ දෙමළ ඉදිරිපත් වූ අදහස් පහතින්,
මෙහිදී නසසප සිය ස්ථාවරය ලිඛිතව බෙදා ගනිමින් ඉදිරිපත් කරන ලද්දේ, ඔවුන් මේ මොහොතේ සටන් කරන්නේ එළඹීමට යන ජනාධිපතිවරණයෙන් නැතිනම් මහ මැතිවරණයකින් පසු ඇති වන සම සමාජ පාලනයක් තුලින් රටේ අටඅනූවක් සමාජ ආර්ථික ව්‍යාධීන්ට ප්‍රතිකාර කර සුවය ලබා දෙන බවට පොරොන්දු දීමට හෝ ඒ පොරොන්දු මගින් එළැබෙන ජනපති නැතිනම් මහ මැතිවරණයකදී ඡන්ද කොටසක් වෙන් කර ගැනීමට ද නොවන බවයි. ඒ වෙනුවට, පෙර කී සමාජ ආර්ථික ව්‍යාධීන් ජන්මය ලැබූ බොරු පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදී මඩ ගොහොරුවත්, එය විසින් පවත්වාගෙන යන හමුදා, පොලිස්, උසාවි හා නිලධාරී තන්ත්‍රය මුල් කොට ගත් අත්තනෝමතික බලය බිඳ දැමීම වෙනුවෙන් තමන් පෙනී සිටින බවත් ඒ සඳහා නිෂ්පාදනය හා බෙදාහැරීමේ දී තීන්දු ගැනීමේ වරම ලද ජනතා ස්වපාලන ව්‍යූහයන් නගරයේත්, ගමේත් බිහි කරගැනීම වෙනුවෙන් තමන් ක්‍රියා කරන බවයි. එසේ නොවනතාක් දූරට; පවතින තතු යටතේ මෙකී ඕනෑම ඡන්දයක ප්‍රතිඵලය වනු ඇත්තේ අත්තනෝමතික සිංහල බෞද්ධ ඒකීය රාජ්‍ය යලිත් තවත් වසර කිහිපයකට ස්ථාපිත වීම පමණක් මිස අන් කිසිවක් නොවන බව නසසප අවධාරණය කළාය.
“2021 සිට ලක්වාසී ජනතාවට පෙර නොවූ විරූ මහත් වේදනාගෙන දෙමින් තිබෙන සුන් බුන් වූ සමාජ ආර්ථික තත්වයන් දිගින් දිටම ඇදී යමින් තිබේ. මෙම අර්බුදයේ මූලය වන්නේ ලංකාවේ ආර්ථිකයේ දිගුකාලීන ව්‍යූහාත්මක දුර්වලතා බව අද වනවිට ධනපති විද්වතුන්ට පිළිගැනීමට සිදුවී තිබේ. මේ ව්‍යූහාත්මක දුබලතාවයන්ගේ මුල් සොයා යන ඔවුන්ට මුන ගැසෙන්නේ මතුපිටට විත් පාවෙන දෑ පමණි. මතුපිටින් දර්ශණය වන මේ පරඩැලින් ආවරණය වී ඇති මූලික ප්‍රශ්න මොවුන්ට නොපෙනේ..
මේ අර්බූදය දල්වාලන ලද බාහිර කම්පන ලෙස ඔවුන් පාස්කු ඉරිදා ප්‍රහාරය, කෝවිඩ් වසංගතය පමණක් නොව රුසියානු-යුක්‍රේන හා මැදපෙරදිග ගැටුම් ද දකී. නමුත් මේ ඕනෑම බාහිර කම්පනයක් ඉක්මවන දැවැන්ත සමාජ-දේශපාලන-ආර්ථික කම්පනයක්, හා සියළු සමාජ සාරධර්ම (values) විනාශයක් රට අභ්‍යන්තරයේ ජනිත කළ මූලික සාධකය වන්නේ; දෙමළ විමුක්ති අරගලය තලා දැමීමට දියත් කළ ජන ඝාතක සිවිල් යුද්ධය ය යන්න මොවුන් නොසලකති. හා එකී යුද්ධය මගින් තහවුරු කළ සිංහල බෞද්ධවාදී දූෂිත අත්තනෝමතික බලය ගෙන ආ දූෂිත රාජ්‍ය පාලන තන්ත්‍රයේ තිරශ්චීනකරණය වූ (Animalize) පිලිවෙත් දකින්නේ ද නැත.
මොවුන් කෙසේ කල්පනා කළත් මේ සමාජ-ආර්ථික කම්පනය හා සාරධර්ම විනාශය සමනය කිරීමේ දී මූලික වන්නේ මේ දිවයින තම වාසභූමිය කොටගෙන පාරම්පරිකව ජීවත්වන සියළු ජාතීන්ට හා ජන කොට්ටාශ වලට තමන් ජීවත් වන ප්‍රදේශයන් හි ඉඩකඩම් හා වාරිමාර්ග පරිපාලනය, පොලිස් කටයුතු, සෞඛ්‍ය, අධ්‍යාපනය ඇතුළු සෑම සමාජ – ආර්ථික ක්‍රියාකාරීත්වයන් ම සම්බන්ධයෙන් තීන්ඳු ගැනීමට ඇති ප්‍රජාතන්ත්‍රීය අයිතීන් පිලිගැනීමයි. ඒ අයිතීන් නාමිකව පිළිගැනීම පමණක් නොසෑහේ. ඒවා ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය ස්වපාලනය හා බැඳුණු නෛතික තත්ත්වයන් සලසා දීම මේ අර්බූදයට පිලිතුරු සෙවීමේ දී ප්‍රාථමික අවශ්‍යතාවක් බව අපි කියමු.
මේ ජනතාවට ප්‍රජාතන්ත්‍රීය විසඳුම් නොදී; යුදවාදයේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම නිසා තවමත් ඔවුන් මුහුණ දෙන සමාජීය ප්‍රශ්න එනම්; අතුරුදහන් වූ සිය දූ දරුවන්ට සිදුවූයේ කුමක්දැයි හෙලිදරව් කර ගැනීම, දේශපාලන සිරකරුවන් නිදහස් කරගැනීම, ජන ජීවිතයෙන් සන්නද්ධ හමුදා ඉවත් කර ඔවුන්ව සම්ප්‍රදායික බැරැක්කවලට සීමා කිරීම හා යුධ කඳවුරු කරගත් සියළුම ඉඩකඩම් ආපසු ඒවායේ හිමිකරුවන්ට පැවරීම, ආදී ප්‍රජාතතන්ත්‍රීය ප්‍රශ්නවලට ක්ෂණිකව විසදුම් දීම මගින් සියළු ජන කොටස් වල විශ්වාසය දිනා ගැනීම යන කාරණා ඉටු නොකර ඒවාට උඩින් පැන යෑමෙන් මේ සමාජ-ආර්ථික අර්බූදයට පිලිතුරු සොයාගත නොහැකි ය.
දෙවනුව; ඒ හා සමඟ අවියෝජනීය (Inseparably) ලෙස බැඳී පවතින වැදගත්ම ප්‍රශ්ණය වන්නේ පොදුවේ කෘෂිකර්මාන්තයේ නිරත, එනම් මහ පොලවෙන් හා සාගරයෙන් වැව් පොකුණු ගංගා වලින් අස්වනු නෙලන ජනතාව මුහුණ දී සිටින කෘෂි ක්ෂේත්‍රයේ පත්ලටම කා වැදී ගිය ප්‍රශ්න වලට පෙර කී ස්වපාලන පදනම මත විසඳුම් ඉදිරිපත් කිරීමට ඒ හා සමගම පියවර ගැනීමයි.
ඔවුන් මුහුණ දෙන ඇත්ත අභියෝගයන් වන්නේ පෝර හෝ කෘෂි රසායන නොමිලේ ලබාගැනීම නම් නොවේ. ඒ දශක පනහකට පෙර අභාවප්‍රාප්ත රාජ්‍ය කේන්ද්‍රීය ධනවාදය ජනිත කළ (මේ වන විට වඳබැසගොස් ඇති – sterile) සුබසාධනවාදයේ ඉතුරු බිතුරු පමණකි. සත්‍ය නම් අස්වනු කාලයේ සිය නිෂ්පාදනයන්ගේ වෙළදපල වටිනාකම බිංදුවට වැටීම පිළිබඳ ප්‍රශ්නයන් ය. එම අභියෝගයට මුහුණ දිය හැකි වන පරිදි ගබඩා පහසුකම්, අස්වනු කල්තබා ගැනීමේ නවීන තාක්ෂණ ක්‍රම යොදා ගැනීම, ශීතාගාර පහසුකම් කෘෂිකාර්මික ප්‍රදේශවල ඇති කල යුතුය. ඒ ආයතන පරිපාලනය නිෂ්පාදකයන් අතරින් ඡන්දයෙන් තෝරා පත්කර ගන්නා ප්‍රජාතන්ත්‍රීය සභාවන්ට පැවරිය යුතුය.
මෙහි දී දැනට පවතින සාධාරණ ලාභයක් මත නොව නිෂ්පාදකයා හා පාරිභොගිකයා යන දෙපාර්ශවයම මහ දවල් කොල්ල කන ඒකාධිකාරී මෝල් ක්‍රමය, ජාවාරම්වාදී කෘෂි ද්‍රව්‍ය ප්‍රවාහන සේවා, ග්‍රමීය කෘෂි නිෂ්පාදකයා මෙන්ම නාගරික සුළු නිෂ්පාදකයන් ද පෙලන ගිනි පොලී ක්‍රම අභාවයට ගෙන යා යුතුව තිබේ. ආණ්ඩු විසින් මූලික ලෙස ආයෝජනය කළ යුත්තේ මේ යටිතල පහසුකම් දියුණුවටයි. ඒ මගින් මිල නියම කිරීමේ බලාධිකාරය සියතට ගැනීමේ අවස්ථාව නිෂ්පාදකයා අතට ලැබීම ස්ථීර කරදිය යුතු වේ.
මෙහි දී විශේෂයෙන් අවධානය යොමු කළයුතු වන්නේ කඳුරට දෙමළ ජනතාව වෙතයි. කෘෂිකර්මාන්තය පිළිබඳව ඔවුන් පාරම්පරිකව ලබා ඇති විවිදත්වයෙන් යුත් අත්දැකීම් සමග කළාපයේ සෞම්‍ය දේශගුණය එක් වූ කළ එළවලු, පලතුරු, අලවර්ග පමණක් නොව පශු පාලනයට ඇත්තේ මහඟු භූමිභාගයන් ය. ඒ සඳහා අවශ්‍ය වන්නේ සෑම වතුයායකම නිසි ඉඩම් ප්‍රමාණයක් කෘෂිකාර්මික කටයුතු සඳහා මේ ජනතාවට වෙන්කර දීමයි. හා පෙරකී පරිදි අදාල යටිතල පහසුකම් සපයා දී අතරමැදි කොල්ලකරුවන්ගේ ග්‍රහණයට හසුවීමට ඉඩ නොතැබීමයි. එම ඉඩම් හා ඒවායේ නිෂ්පාදනයන් පරිපාලනය කිරීම ඔවුන්ගේ ප්‍රජාතන්ත්‍රීය සභාවන්ට පවරා දීමයි.
ඒ අතර ඉතා වැදගත් වන්නේ ජනතාවගේ එදිනෙදා පාරිභෝජනයට අවශ්‍ය පමණට වඩා ලැබෙන අතිරික්ත අස්වනු ඒවා ආශ්‍රිත කර ගනිමින් නිමි පාරිභෝගික භාණ්ඩ නිෂ්පාදනය සඳහා අවශ්‍ය කුඩා හා මධ්‍ය පරිමාන කර්මාන්තශාලා ද මේ ප්‍රදේශවල ඇති කිරීමයි. එසේ භූමියෙන් ගොඩනැගෙන ප්‍රාග්ධනය එදිනෙදා පාරිභෝජනයට නොව නිෂ්පාදනයට ආයෝජනය කිරීමෙන් සැබෑ සංවර්ධන මාවතක් ඇති කර ගැනීමට අවස්ථාව සැලසිය යුතුය. එහිදී ජාවාරම්වාදී වී ඇති පවත්නා ග්‍රාමීය හා පලාත් බද බැංකු ක්‍රම මුළුමනින්ම ප්‍රතිසංවිධානය කර කෘෂිකාර්මික කටයුතු සඳහා සහණ පොලී මත ප්‍රාග්ධනය සපයන බැංකු ක්‍රමයන් ඇති කළ යුතුය. ඒ සඳහා අවශ්‍ය තාක්ෂණික හා කළමණාකරණ දැනුම ලබා ඇති මුත් ඒ දැනුමෙන් නිසි ඵල ලබාගත නොහැකිව ලතවන තරුණ තරුණියෝ කෘෂි ප්‍රජාවන් අතර බොහෝ ය. මේ නිෂ්පාදනයන්ට දේශීය පමණක් නොව ජාත්‍යන්තර වෙළද පල ද ඉලක්ක වන්නේ ය.
මේ වන විට මෙවන් තරුණ තරුණියෝ විශාල පිරිසක් තම ඥානය ක්ෂේත්‍රයේ සංවර්ධනයට යෙදීමට මඟක් නැතිව සොච්චම් දීමනාවකට උතුරේත්, දකුණේත් නැගෙනහිර හා බස්නාහිරත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල ලතවෙමින් සිටිති. ඉහත කී පරිදි ප්‍රජාතන්ත්‍රීය ජනතා බලය සංවිධානය කර ප්‍රජාතන්ත්‍රීය සංවර්ධන මාවත ඉදිරියට ගෙන යෑමට ඔවුන්ට අවස්ථාව සලසාදීමට කාලයයි මේ.
මෙයටම සම්බන්ධ බැරෑරුම් ප්‍රශ්නය වන්නේ “ජාතික සම්පත්” යයි වර්තමානයේ දී උජාරුවෙන් හඳුන්වන (අතීතයේ “ජනසතු” දේපල ලෙස හැඳින් වූ); ආණ්ඩු කරන්නවුන්ගේ ඥාති හිතමිත්‍රාදීන්ගේ දඩබිම් බවට පත් කරගෙන තිබෙන ධනේශ්වර රාජ්‍ය දේපලයි. හෙවත් ගජමිතුරු ධනවාදයේ දේපලයි.
ගජමිතුරු ධනවාදයට “ජාතික සම්පත්” යයි කීමෙන් ඒවායේ පාඩුවීම් ආවරණය කිරීම සඳහා බදු ගෙවන ජනතාව කර ගසා සිටින වගකීමේ ප්‍රමාණය ඇඩ්වොකාටා ආයතනය පසුගිය දා හෙලිදරව් කළේ ය. එම හෙලිදරව්ව අනුව 2022 දී රජයට අයත් ප්‍රධාන ව්‍යපාර 52 හි සමුච්චිත (එකතුවූ) අලාභය රුපියල් බිලියන 744.6 ක් විය. එහි අරුත වන්නේ ඔබ ලියාපදිංචි බදු ගෙවන්නෙකු නම් ඒ අලාභය වෙනුවෙන් රුපියල් මිලියන 1.7 ක් වාර්ෂිකව වැය කළ යුතු බවයි. පුරවැසියකු නම් (උපන්දා සිට) රුපියල් 33,949 ක් සහ පවුල් මට්ටමෙන් ගත් කල එක් පවුලකට රුපියල් 141,809 ක් ද වැය වේ.
මේ ආයතන ප්‍රතිසංස්කරණය කර ලාබදායී කිරීම සැලසුම් කිරීමට පවතින ගජමිතුරු ධනවාදයට කිසි කළෙකත් නොහැකිය. එබැවින් කල යුත්තේ කම්කරු පාලනයේ පදනම මත මේ ජනසතු දේපලවල ඍජු කළමනාකරණය යලි ස්ථාපිත කර; ඒවායේ අනාගත ඉරණම පිළිබඳ තීන්දු ගැනීමේ සියළු බලය එකී කම්කරු කළමණාකරණ කමිටු වලට පැවරීමය.
මේ අන්ධකාරයෙන් වැඩකරණ ජනතාව එලියට ගෙන ඔවුනගේ ඓන්ද්‍රිය සංවිධාන බලය, ධනපති පංතියේ ඒකාධිකාරී අත්තනෝමතික බලය නිරූපනය කරණ පාර්ලිමේන්තුවට අභියෝග කරන සමාන්තර ස්වපාලන බල මධ්‍යස්ථාන ලෙසින් ගොඩ නැගීමට අද අප සටන් ඇරඹිය යුතුව තිබේ.”